රටක නායකයා අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා හෝ විය හැක. ප්‍රජාතන්ත්‍රවාදී රටවල මේ නායකයන් බිහිවන්නේ මහජනතාවගේ ඡන්දයෙනි. ඡන්දයකින් බලයට පත්වන නායකයා කවරකු වුවද ඔහුට හෝ ඇයට අයිති වරප්‍රසාද ගණනාවකි. රටකින් රටකට මේ වරප්‍රසාදවල වෙනස්කම් පැවතිය හැකි වුවද ඒවා ධූරයට පමණක් අදාළ බවත් පුද්ගලයකුට ඒවා අදාළ කරගත නොහැකි බවත් යන්න අවිවාදිතය. එහෙත් එසේ නොවන අවස්ථා ද තිබෙන බවත් සඳහන් කළ යුතුය.

අප මේ කරුණු සැකෙවින් සඳහන් කළේ තේ බීම සඳහා තේ පැන්හලකට ගිය නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වන ජසින්ඩා ආඩේන් සහ ඇයගේ සහකරුට ආපසු හැරී යාමට සිදු වූ ප්‍රවෘත්තිය දැකීම හේතුවෙනි. නවසීලන්තය නව කොරෝනා වයිරස වසංගතය ව්‍යාප්ත වීම සාර්ථකව පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝකයේම අවධානයට ලක්වූ රටක් වෙයි. රටේ සෞඛ්‍ය පද්ධතිය පීඩනයකට හසුවීමට පෙර වසංගතය සාර්ථකව පාලනය කරගැනීමට නායකත්වය දුන් නවසීලන්ත අගමැතිනිය වන ජසින්ඩා ආඩේන්, එරට ජනතාවගේ පමණක් නොව ලෝකයේම ගෞරවයටත් ඉහළ පිළිගැනීමටත් ලක් වී සිටින්නීය. තේ පැන් සලේ ඉඩකඩ නොමැති වීම නිසා ආපසු හැරී යාමට සිදුවූයේ එවන් ගෞරවණීය නායකයකුටය.

කොරෝනා වසංගතය පසුබැසීමත් සමඟ නවසීලන්තයේ ‘දොරගුළු’ද ක්‍රමානුකූලව විවෘත කෙරිණි. එහිදී දැඩි සීමා පැනවීම ද සිදුවිය. එහි එක් ප්‍රතිඵලයක් වී තිබුණේ අවන්හල් ඇතුළු ජනතාව කෑම බීම ගන්නා සියලු‍ හෝටල් විවෘත කිරීමට අවසර ලැබුණ ද කායික දුරස්ථභාවය රැකගැනීම අත්‍යවශ්‍ය  කොන්දේසියක් වීමය. තේ පැන් හලට පසුගිය සෙනසුරාදා තම සහකරු සමඟ අග්‍රාමාත්‍යවරිය ගිය අවස්ථාවේ ඒ තුළ කායික දුරස්ථභාවය රකිමින් පනවා තිබූ ආසන සියල්ල පිරී තිබීම හේතුවෙන් අවන්හල විසින් ඈ ආපසු හරවා යවනු ලැබුවාය. තම රටේ පමණක් නොව ලෝකයේම ගෞරවයට නතුව සිටි රටේ නායිකාව වුවද ඇය තම තනතුරට අදාළ වරප්‍රසාද එහිදී භාවිත කිරීමට තැත් නොකළාය. ඒ වෙනුවට ඇය ආපසු හැරී ගියේ සමාජය තුළ සෙසු පිරිසට ක්‍රියාත්මක නීතිරීතිවලට තමාද යටත් වන බව තම ක්‍රියාපිළිවෙතින්ම පෙන්නුම් කරමිනි. එය ඉතාම දුර්ලභ මෙන්ම යහපත් වූ ආදර්ශයක් බව පෙන්වා දිය යුතුය.

තම ධූරයට අදාළ වරප්‍රසාද පෞද්ගලිකව පරිහරණය කරමින් රටේ සෙසු සියලු‍ ජනතාව තම යටත් වැස්සන් වශයෙන් සලකන අපේ රටේ ඇතැම් මැති ඇමැතිලාට ද මෙය කදිම පාඩමකි. තනතුරින් පිම්බී රාජ උෂ්ණත්වයෙන් මත් වී තමන් පය තබන කිසිම තැනකට සාමාන්‍ය මිනිසුන් පය නොගැසිය යුතු බවට සිතමින් කටයුතු කරන එවැනි හිස උදුම්මාගත් චරිත රටක ජනතාව අතරින් ප්‍රතික්ෂේප වන්නේ නිතැතිණි. පෞද්ගලික විනෝද ගමනකදී පවා ආරක්ෂක රථ පිරිවරාගෙන තමන්ගේ ආරක්ෂාවට පමණක් නොව තම පවුලේ සාමාජිකයන්ට ද රැකවලු‍න් තබා ගනිමින් හෝටල්වලට ගොස් තම ආධිපත්‍යය පෙන්වීමට උත්සාහ කරන අපේ ඇතැම් දේශපාලන ලොකු ලොක්කන්ට නම් මෙවැනි සිදුවීම් අදහන්නටත් බැරි වනු ඇත. සමහර ප්‍රබලයන් කාර්යාලයේ විදුලි සෝපානය පාවිච්චි කරන විට තවත් කෙනකුට යා නොහැක. මෙවැනි සිද්ධි ද සමාජයේ කොතෙකුත් වෙයි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ දේශපාලන නායකයන් ක්‍රියා කළ යුත්තේ නවසීලන්තයේ අගමැතිනිය ක්‍රියා කළ ආකාරයට මිස, හිස උදුම්මාගෙන වරප්‍රසාද තමන්ගේ නීතිය බවට පත් කරගන්නා දේශපාලකයන්ගේ ආකාරයට නොවන බව ඔවුන් තේරුම් ගත යුතුය.

දේශපාලන නායකයන්ට අදාළ වරප්‍රසාද සහ සුවිශේෂී සැලකුම් තිබිය යුත්තේ තනතුරට අදාළව පමණක් බව අපි මීට ඉහතින් සඳහන් කළෙමු. එම වරප්‍රසාද රාජ්‍ය නායක තනතුරට අදාළ සියලු‍ රාජකාරිවලදී භාවිත කිරීම ද අවශ්‍යය. රාජකාරියට අදාළ වරප්‍රසාද භාවිත නොකිරීම උසස් නායකයකුගේ ලක්ෂණයක් නොවන බවද මෙහිදී පෙන්වා දිය යුතුය. අපේ රටේ ද මීට දශක කිහිපයකට ඉහතදී එවන් නායකයන්, මැති ඇමැතිවරුන් සිටි බවද අපගේ මතකයේ රැඳී තිබේ.

බැංකුවලට සද්ද නැතිව ගොස් පෝලිමේ සිට තම චෙක්පත මාරු කරගත් ඇමැතිවරුද සාප්පුවලට ගොස් තමන්ට අවශ්‍ය දෑ තෝරාගෙන මුදල් ගෙවා නිහඬව පිටව ගිය නායකයෝ ද සිටියහ. පවුලේ අය සමඟ කිසිදු වෙනසකින් තොරව හෝටල්වලට ගොස් ආහාර පාන ලබාගත් අය සේම තමන් පැමිණෙන විට සෙසු සියලු‍ දෙනා ඉවත් කළ යුතු බවට අණ දී පැමිණි ලොක්කෝ ද සිටියහ. වරප්‍රසාද අයුතු ලෙස භාවිත කරන පිරිස සහ එසේ නොකරන පිරිස පිළිබඳ පැහැදිලි මතකයක් රටේ ජනතාවගේ හදවත් තුළ නොමැකෙන ලෙස පවතින බව ඇතැම් මැති ඇමැතිලා දන්නේම නැත.

සුද්දන්ගේ රටවල සංස්කෘතිය ආසියානු රටවල සංස්කෘතියට වඩා බෙහෙවින් වෙනස් බව අපි දනිමු. ඇතැම්විට සුද්දන්ගේ රටවල ක්‍රියාකාරකම් පහත් ලෙස සැලකීමටත් ඒ දෙස අවඥාවෙන් බැලීමටත් අපි පුරුදුව සිටිමු. එහෙත් එය සෑමවිටම එසේ නොවන බවටත් ඔවුන්ගෙන් අප රටවලට විශේෂයෙන්ම දේශපාලන නායකයන්ට ඉගෙනගන්නට යහපත් පාඩම් බොහෝ සෙයින් තිබෙන බවටත් නවසීලන්ත අගමැතිනියගේ ක්‍රියාව අපට පෙන්වා දී තිබේ.