මන්ත්‍රී උපන් දිනය සමරන්න පාර්ලිමේන්තුවට කේක් දෙකක්


රාජ්‍ය ඇමැති ඩී.වී. චානක සහ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන දෙදෙනාගේ උපන් දිනය යෙදී තිබුණේ ඉකුත් 11 වැනිද‌ාටය. එදින පාර්ලිමේන්තු දිනයක් වූ නිසා. ඔවුහු දෙදෙනා ද එදින පාර්ලිමේන්තුවට පැමිණියහ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා එදින උදේ පාන්දර චානකටත්, ප්‍රමිතටත්, දුරකථනයෙන් කතා කර සුබ පැතුවේය.

 
මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රමිත හමු වූ විට කීවේ ප්‍රමිත පොඩ්ඩක් අගමැතිතුමා හමුවෙන්න ඕනැ.’ යනුවෙනි. ලෙඩක්ද ඇමැතිතුමා යැයි ඔහු ජොන්ස්ටන් ගෙන් ඇසුවේ හේතුව කුමක්දැයි නොදන්නා බැවිනි. මේ අතර නෙළුම් මාවතේ කාර්යාලයේ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට ද ප්‍රමිත පිටව ගියේය. චානක ද සිටියේ පාර්ලිමේන්තුවේ නොව වෙනත් කටයුත්තකට ගොසිනි. දෙන්නාගේ උපන් දිනයට කේක් ගෙඩි දෙකක් ගෙනැවිත් තිබුණේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ද වන ඇමැති ජොනීය. එය ගෙනැවිත් පාර්ලිමේන්තුවේ අගමැතිවරයාගේ කාර්යාලයේදී කැපීමට සූද‌ානම් කර තබා ජොනී ඔවුන් දෙදෙනාටම වහාම අගමැති කාර්යාලයට එන්නැයි දැන්වීය.
ඒ වනවිටත් අගමැතිවරයා බොහෝ වේලාවක් තිස්සේ බලාගෙන සිටියේ ප්‍රමිතත් චානකත් එක්ව කේක් කපා දෙදෙනාගේ උපන් දිනය සමරන්නටය. ඔවුන් දෙදෙනා ඒමට ප්‍රමාද වූ නිසා අගමැතිවරයා අභයාරාමයේ උත්සවයකට පිටව ගියේය. අනතරුව ප්‍රමිතත් චානකත් අපසුව චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමැතිවරුන් සමග එක්ව කේක් කපා ඔවුහු දෙදෙනා උපන් දිනය සැමරූහ.

ගෙවී ගිය සතියේ දී දේශපාලන කරළිය ගිනියම් වූයේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙනි. විපක්ෂය එහි දොස් දකිද්දී ආණ්‍ඩුව එහි හොඳ ගැන කතා කළේය. එහෙත් ආණ්ඩුවේ ද සමහරුන් 20 වැනි සංශෝධනයේ ඇති අඩුපාඩු ගැන ද අදහස් දක්වනු අසන්නට ලැබිණි. සමහරු ඒ ගැන ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී කතා කළහ. තවත් සමහරු මාධ්‍යවල ඒ ගැන කතා කළහ. කෙසේ නමුත් දේශපාලන කරළියේ උණුසුම්ම මාතෘකාව බවට පත්වූයේ ද මේ විස්සය.


ආණ්‍ඩුවේ ඇතැම් පාර්ශව 20 තියෙන අඩු ලුහුඩුකම් ගැන කතා කරද්දි ඒ පිළිබඳ අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව විසින්ම කමිටුවක් පත්කරනු ලැබීය. මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කරනු ලැබූ එම කමිටුවට නව දෙනෙක් ඇතුළත් විය. නිමල් සිරිපාල ද සිල්වා, අලිසබ්‍රි, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමැතිවරු ද සුසිල් ප්‍රේමජයන්ත, එස්. වියලේන්ද්‍රන් යන රාජ්‍ය ඇමැතිවරු ද ඩිලාන් පෙරේරා සහ ප්‍රේමනාත් දොළවත්ත යන මන්ත්‍රීවරු ද එහි සෙසු සාමාජිකයෝ වූහ. එහි විශේෂත්වය වූයේ ද 20 අඩුපාඩු ගැන කතා කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ප්‍රේමනාත් දොළවත්ත යන තිදෙනා ද ඊට ඇතුළත් වීමය. කමිටුව පත්කරනු ලැබුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. කමිටුව රැස්වී සාකච්ඡා කර ඉකුත් බදාදාට පෙර එහි වාර්තාව දෙන්නැයි අගමැතිවරයා ද උපදෙස් දුන්නේය.


ඒ අනුව කමිටුව ඉකුත් සඳුදා රාත්‍රියේ රැස්වූයේ මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැතිවරයාගේ නාරාහේන්පිට පිහිටි නිවසේය. කමිටුවේ සියලු සාමාජිකයෝ ඊට සහභාගි වූහ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු ඒ පිළිබඳව ඉදිරිපත්ව තිබෙන සාධනීය විවේචන ආදිය සම්බන්ධයෙන් කමිටුව පැය තුන හතරක්ම සාකච්ඡා කළේය. කමිටු සාමාජිකයන් සාකච්ඡාව හමාර කර රාත්‍රී ආහාරය ද ගෙන ජී.එල්.ගේ නිවසින් පිටව ගියේ පසුවදා උදේ අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට තීරණය කරමිනි.
කලින්දා රාත්‍රියේ ජී.එල්. ගේ නිවසේ පැවැති සාකච්ඡාවේ දී කතාබහට ලක්වූ කරුණු ගැන කමිටු සාමාජිකයෝ අගමැතිවරයා දැනුවත් කළහ. මහාචාර්ය ජී.එල්. පීරිස් එම සාකච්ඡාවේ කරුණු සාරාංශයක් ලෙස පැහැදිලි කළේ කමිටුවේ සභාපතිවරයා වශයෙනි. අනතුරුව අගමැතිවරයා දැනුම් දුන්නේ බදාදා පැවැත්වෙන කැබිනට් රැස්වීමට මේ ගැන වාර්තා කරන ලෙසය.


කමිටු වාර්තා කැබිනට්ටුවට නෑ


සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි බදාදා හවස 4.00 ට පමණ ආරම්භ වූයේ ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට අගමැතිවරයා විසින් පත්කරන ලද කමිටුව එම වාර්තාව එදින කැබිනට්ටුවට ඉදිරිපත් කරන බවට වාර්තාවී තිබිණි. ඒ ගැන මාධ්‍යවල ද පළ විය. එහෙත් කමිටුව ඉදිරිපත් කළ වාර්තාවක් එහි නොවීය. එසේ වුවද කමිටුව සඳුදා රාත්‍රියේ ජී.එල්. පීරිස් ඇමැතිවරයාගේ නිවසේ රැස්වී කළ සාකච්ඡාවේ දී මතුවූ කරුණු කාරණා ගැන කැබිනට්ටුවේ සාකච්ඡා විය. කැබිනට් රැස්වීම පැවැති කාලයෙන් භාගයක්ම ගතවූයේ 20 ගැන සාකච්ඡා කරන්නටය. එහිදී ආන්දෝලනයට ලක්වූ ප්‍රධාන කාරණයක් වූයේ ද්විත්ව පුරවැසිභාවයයි. ද්විත්ව පුරවැසිභාවය ඇති අයට මැතිවරණයකට ඉදිරිපත්වීමට නොහැකි වගන්තියක් දහනව වැනි සංශෝධනයෙන් හඳුන්වා දෙනු ලැබුවේ යහපාලන ආණ්‍ඩුව විසිනි. විසි වැනි සංශෝධනයෙන් එම වගන්තිය ඉවත් කර ඇත. එ් ගැන මතු කළේ වාසුදේව, උදය ගම්මන්පිල හා විමල් වීරවංශ යන ඇමැතිවරුන් තිදෙනාය. විගණන කොමිසම අහෝසි කිරීම සම්බන්ධයෙන් ද එහිදී කතා බහ කෙරිණි. වාසු, විමල්, ගම්මන්පිල මතු කළ ප්‍රශ්නවලට මුල දී උත්තර දුන්නේ ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන යන ඇමැතිවරුන් තිදෙනා සහ පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරියවයි. විමල්, ගම්මන්පිල, වාසු තිදෙනා එක ස්ථාවරයක සිට අදහස් දක්වන ස්වරූපයක් පෙනෙන්නට තිබූ අතර ප්‍රසන්න, එස්.එම්., රෝහිත සහ පවිත්‍රා යන සිවු දෙනා තවත් ස්ථාවරයක සිට අදහස් දක්වන බවක් පෙනෙන්නට තිබිණි. ඇතැම් කරුණු සම්බන්ධයෙන් විමල් සහ පවිත්‍රා අතර උණුසුම් වාදයක් ද හටගෙන තිබිණි.


විසිවැනි සංශෝධනය හැදුවේ කවුද යන්න සම්බන්ධයෙන් ද පසුගිය කාලයේ ආන්දෝලනයක් ඇතිවිය. ආණ්‍ඩුවේම සමහර මැති ඇමැතිවරුන් පවා කීවේ එය හැදුවේ කවුරුන්ද යන්න නොදන්නා බවය. විස්සේ කර්තෘත්වය සම්බන්ධ මතුව තිබෙන ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු කතා කළේ විස්සේ වගකීම බාර ගනිමිනි. “19 වන සංශෝධනය නිසා වැඩක් කරන්න බැහැ කියලා අපි දිගටම කිව්වා. අපි පසුගිය ජනාධිපතිවරණයේ දීත් මහ මැතිවරණයේ දීත් ජනතාව ළඟට ගිහින් මේක ගැන කිව්වා. ජනතාව අපට තුනෙන් දෙකක බලයක් මහ මැතිවරණයෙන් ලබා දුන්නේ මේ රට හිර කරල තියෙන 19 වැනි සංශෝධනය අහෝසි කරන්නයි. අපි 19 අහෝසි කළ යුතුයි. ජනතාව බලය දුන්නේ ඒකට. පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව මා ජනාධිපති විදියට පත් කර ගත්තේ රටට වැඩක් කරන්න. මම ඒ වගකීම ඉටුකරන්න බැඳිල ඉන්නවා. 19 වැනි සංශෝධනය තියාගෙන වැඩ කරන්න බැහැ. ඒක අහෝසි කරන්නයි විස්ස ගෙනාවේ. ඒක ගෙන ඒමේ වගකීම මමත් රජයත් බාර ගන්නවා.” ජනාධිපතිවරයා කීවේ දැඩි ස්ථාවරයක සිටිමිනි.


ජනාධිපතිවරයා මේ ගැන දීර්ඝ විග්‍රහයක යෙදුණේ ඇතැම් ඇමැතිවරුන් මතු කළ ප්‍රශ්නවලට ද පිළිතුරු දෙමිනි. දැන් බලන්න පසුගිය ආණ්ඩුව කාලෙ රට විනාශ වුණා. මේ 19 වැනි සංශෝධනය නිසා නිලධාරීන් වැඩ කළේ නැහැ. ඔවුන් බයේ හිටියෙ. දැන් බලන්න විගණන කොමිසම කියලා එකක් ගෙනල්ලා නිලධාරීන් හිර කළා. ඔවුන් බයේ හිටියෙ. විගණනයයි හොරකම් කරනවා කියන එකයි දෙකක්. දැන් මේ කොමිසම තිබුණා කියලා පසුගිය ආණ්ඩුව කාලෙ අැමැතිවරුන් හොරකම් කළේ නැද්ද? අමාත්‍යාංශවල වෙච්ච දේවල් ඔයාලාට තේරෙන්නෙ නැද්ද? මේවා තියාගෙන රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්නෙ නෑ. නිලධාරීන් පසුගිය කාලෙ බය වුණා. නිලධාරීන් වැඩ කළෙත් නැහැ. ආණ්ඩුවෙන් වැඩක් වුණෙත් නැහැ. හොරකම් නතර කරන්න ඕන. හොරකම් වෙන්න දෙන්න බෑ. හැබැයි නිලධාරීන්ට වැඩ කරන්න සුදුසු පරිසරය අපි හදල දෙන්න ඕනෑ.


දැන් මේ විස්ස ගැන විපක්ෂය එක එක දේ කියනවා. මේකට අයිතිකාරයෙක් නෑ කියනවා. ඔයාලා ඕන කෙනකුට කියන්න මේ 20 වැනි සංශෝධන කෙටුම්පත් සම්පූර්ණ වගකීම මම බාර ගන්නවා කියලා’’ යැයි ජනාධිපතිවරයා දැඩිව කියා සිටියේය. මට ජනතාව ඡන්දය දුන්නේ රටට වැඩ කරන්න. දහනවයෙන් මගේ අතපය බැඳලා තියෙද්දි මම වැඩ කරන්නෙ කොහොමද? ඒක හින්ද තමයි මම 20 ගෙනාවේ. කාට හරි මේකට සංශෝධන ගේන්න ඕනෑ නම් ඒක කාරක සභා අවස්ථාවේ දී ​ගේන්න. හැබැයි මේ කෙටුම්පත ඉදිරිපත් කරපු අපි රටට අහිතකර කිසිම දෙයක් කරන්නෙ නැහැ.’’ ජනාධිපතිවරයා කීවේය.


අගමැති මහින්ද අනතුරුව කතා කළේය. ඔහු කීවේ ද රාජ්‍ය නිලධාරීන් හි​රේ දැම්මා මිස පසුගිය ආණ්ඩුව වැඩක් නොකළ බවය. 19 අහෝසි කිරීමට ජනතාව ආණ්‍ඩුවට බලය දී ඇති බව ද අගමැතිවරයා කීවේය.
අවසානයේ තීරණය වූයේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට එලෙසින්ම ඉදිරිපත් කර සංශෝධන තිබේ නම් කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කිරීමටය. එයට ඇමැතිවරුන් ද එකඟතාව පළ කළහ. අධිකරණ ඇමැති අලිසබ්‍රි ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කළේය. ඔහු කීවේ අවශ්‍ය සංශෝධන සිදුකිරීමට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට දැනුම් ද ඇති බවය.


විශ්වවිද්‍යාල පාඨමාලා සහ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් වෙනස්කම් රැසක් කිරීමට අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් කටයුතු කරමින් සිටී. ඔහු සියලුම විශ්වවිද්‍යාලවලට ද ගොස් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ද තීරණයක් ගෙන ඇත්තේ එය කඩිනමින්ම කළ යුතුව ඇති බැවිනි. ඒ අනුව ජී.එල්. අද (20) පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන අතර ඉදිරි සති කිහිපයේ දී අනෙකුත් විශ්විද්‍යාලවලට ද යනු ඇත.


බුද්ධි අංශවලටත් සොයන්න බැරි 20 හදපු කෙනා


20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කළ වහාම එහි ඇති භයානකත්වය වටහාගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එයට එරෙහිව විපක්ෂයේ සියලු‍ කණ්ඩායම් හා සිවිල් සංවිධාන එක් කර විරෝධය දැක්වීමට අවශ්‍ය නායකත්වය ලබාදුන්නේය. සිවිල් සංවිධාන බලමුළු ගැන්වීමේ නායකත්වය පැවරී තිබෙන්නේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාටය. පසුගිය සතියේදී සෝභිත හිමි පිළිරුව අසලින් ආරම්භ වූ 19න් ඉදිරියට ජාතික ව්‍යාපාරයේ විරෝධතාවන් පසුගිය සතිය ​ෙවන විට ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ පැවැත්වීම දක්වා වර්ධනය වී තිබුණේය. කොළඹ නව නගර ශාලාවේදී පළමු සම්මන්ත්‍රණය පැවැත්වූයේ ජාතික වශයෙන් පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ ආරම්භය ලෙසින්ය.


ජාත්‍යන්තර ප්‍රජාතන්තවාදී දිනයේදීම මේ සම්මන්ත්‍රණය පැවැත්වීම කාගේත් අවධානයට ලක්ව තිබුණේය.
“අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන ව්‍යවස්ථා සංශෝධනයකට විරුද්ධව සම්මන්ත්‍රණ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනයේදි පවත්වන තැනට ආණ්ඩුව පත් කරලා. මෙහෙම ගියොත් ලංකාව ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය අතින් පහළින්ම තිබෙන රටක් බවට පත්වෙන එක වළක්වන්න බෑ”‍ රාජිත කීවේ සම්මන්ත්‍රණයට පැමිණි සජිත්ටය.


“ආඥාදායක්වය පරාජයට පත් කරලා, ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහහණය කරවන්න අපි හැමෝම අද එකතු වෙලා ඉන්නවා. මම විධායක ජනාධිපති ක්‍රමය පිළිගත්ත කෙනෙක්. ඒත් 2010-14 කාලේදීත්, ඊට කලිනුත් මේ ක්‍රමයේ තිබුණ යම් යම් ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලක්ෂණ මම දැක්කා. ඒ නිසා තමයි 2015 ​ෙවන විට යුගයට ඔබින ආකාරයට විධායක ජනාධිපති ක්‍රමයේ සංශෝධන කරලා, බලය අඩු කිරීමට මම එකඟ වුණේ”‍ සජිත් කීවේ සියල්ලට ඉහළින් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන බව පවසමිනි.


විසි වැනි සංශෝධනය කෙටුම්පත් කළේ කවුරුන්ද යන්න ගැනද සජිත් මෙහිදී ප්‍රශ්න කළේය.


“20 වැනි සංශෝධනය ගෙනාපු කණ්ඩායම හරි, පුද්ගලයා හරි මේ වෙනකොට පොලෝ තලයෙන් අතුරුදහන් වෙලා. 20 වැනි සංශෝධනය කෙටුම්පත් කළ පුද්ගලයා කවුද? රාජ්‍ය බුද්ධි අංශ දාලා සෙව්වත් 20 වැනි සංශෝධනය කෙටුම්පත් කළේ කවුද කියලා සොයා ගන්න නම් බැරි වේවි. දැන් මාධ්‍යවේදීන් මයික්‍රෆෝන අරගෙන විස්ස හැදුවේ කවුද කියලා ආණ්ඩුවේ ප්‍රබලයින්ගෙන් අහනවා. එතකොට ඒ අය පලායනවා”‍ සජිත් කීවේ උපහාසාත්මක සිනහවක් මුවට නංවාගනිමිනි.


20 වැනි සංශෝධනයට විරුද්ධ කණ්ඩායම් සියල්ල සමග සජිත් සාකච්ඡා කරන්නේ 20ට එරෙහිව ශක්තිමත් ජන බලවේගයක් ගොඩනැගීමටය. ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ විධායක කමිටු සාමාජිකයින් සජිත් හමුවූයේ ඒ අනුවය.


“20 වැනි සංශෝධනය හරහා විගණන කොමිෂන් සභාව අහෝසි කරලා, රාජ්‍ය සංස්ථා හා සමාගම් පනත යටතේ ලියාපදිංචි කර තිබෙන රජයට සියයට පනහකට වඩා කොටස් හිමි සමාගම්, ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය, ඇමැතිවරුන්ගේ කාර්යාල, පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම විගණනයෙන් ඉවත් කරලා. විගණකාධිපතිවරයා රජයේ නිලධාරියෙක් නොවන බවට තිබෙන වගන්තියත් ඉවත් කරලා. මේවා හරහා විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය අභියෝගයට ලක් කරලා”‍ සජිත් තමන්ගේ අදහස් ඉදිරිපත් කළේය.


“ඒක හරියටම හරි. මේ යෝජනා මගින් රුපියල් ට්‍රිලියනක විතර වත්කම් තිබෙන රාජ්‍ය සමාගම් 117 ක් රාජ්‍ය විගණනයෙන් බැහැර කරලා. ඒ වගේම රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පැවරී තිබෙන බලතලත් හෑල්ලු‍වට ලක් වෙනවා”‍ විගණන සේවා සංගමයේ නිලධාරීහු පෙන්වා දුන්හ.
“අපි දැන් හදලා තියෙන 19 ප්ලස් යෝජනාවලිය හරහා කිසිදු බාධාවකින් තොරව ස්වාධීන රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කිරීමටත්, 19 වැනි සංශෝධනයේ පැවති යම් යම් අඩුපාඩුත් මග හරවා ගැනීමටත් යෝජානා කර තිබෙනවා”‍ සජිත් පැහැදිළි කළේය.


වාහන හිඟය  ගැනත් අවධානය


විගණන සේවා සංගමයේ නිලධාරීන් හමුවීමෙන් පසුව සජිත් හමුවූයේ වාහන ආනයනකරුවන්ය. වාහන වෙළදපොළේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන ඔවුන් විපක්ෂ නායකවරයාගේ අවධානය යොමු කළේය.
“දැන් වාහන සේල්වල මෝටර් බයිසිකල් නෑ. දැන් තියෙන ඉල්ලු‍මට සැපයුමක් දෙන්න බැරිව ඉන්නේ”‍ වාහන ආනයනකරුවෝ සජිත්ට කීහ.


“එතකොට තවත් අවුරුදු දෙකකට වාහන තියෙනවා කියලා ආණ්ඩුවේ අය කියන්නේ”‍ සජිත් එහි ඇත්ත නැත්ත විමසුවේය.


“මොන බොරුද සර්. අවුරුදු දෙකකට අවශ්‍ය තරම් වාහන තියෙනවා කියන කතා සම්පූර්ණ බොරු”‍ වාහන ආනයනකරුවෝ කීහ.


මේ අතර පරිසර විනාශය ගැන විපක්ෂ නායකවරයාගේ දැඩි අවධානය යොමුවී තිබුණේය. ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය පරිසර කමිටුවක් පිහිටවූයේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන්ය.
”‍ඕසෝන් දිනයදා පරිසර කමිටුව අපි පිහිටුවනවා. සිදු​ෙවන පරිසර හානිය ගැන අවධානයෙන් ඉඳලා ඒවා වැළැක්වීමට අවශ්‍ය සක්‍රීය දායකත්වය ලබාදෙන්න”‍ සජිත් නලින් බණ්ඩාරට උපදෙස් දුන්නේය.


දිනමු කමිටු ගැන සජිත්ගේ අවධානය


සමගි ජන බලවේගය පසුගිය මැතිවරණයේදී විශාල ආසන සංඛ්‍යාවක් ලබාගත්තේ බිම් මට්ටමේ විධිමත් පක්ෂ යාන්ත්‍රණයක් නොමැතිවය. ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් දිනමු කමිටු පිහිටුවීම ආරම්භ කරන්නේ මේ සති අන්තයේ සිටය. ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක දෙක කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර සජිත් එහි ප්‍රගතිය ගැන විමසුවේ එහි වගකීම් පැවරී තිබෙන හරින් ප්‍රනාන්දුගෙන්ය.


මේ අතර අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ආසන සංවිධායකවරුන් පසුගිය සතියේදී කොළඹට කැඳවා තිබුණේ දිනමු කමිටු ලබන සති අන්තයේ පිහිටුවන්නේ එම දිස්ත්‍රික්ක දෙක කේන්ද්‍ර කරගනිමින් වන නිසාය.


“අපි පක්ෂයේ බිම් මට්ටමේ යාන්ත්‍රණය ශක්තිමත්ව හදමු. ඒක ශක්තිමත්ව සකස් කළාට පස්සේ අපිට ඊළඟ මැතිවරණය පහසුවෙන් ජයගන්න පුළුවන්”‍ හරින් කීවේ දිනමු කමිටු ගැන දැඩි විශ්වාසයක් ඇතිවය.

පැය දෙකකදී රුවන්ට සුබපැතුම් පණිවිඩ 600 ක්


එජාප නායකත්වය පිළිබඳව අභ්‍යන්තර අර්බුදය නිමා කිරීමට පසුගිය සඳුද‌ා කෘත්‍යාධිකාරි මණ්ඩලය සිරිකොත දී එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස් විය. එහිදී වජිර අබේවර්ධන තමන් ගැන ලියූ පොතක් නායකතුමා ඇතුළු සාමාජිකයන්ට බෙද‌ා දුන්නේය. ඔහු පැමිණියේ පොත් මිටියක්ම රැගෙනය.
එදින කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් 39 දෙනෙකු රැස්ව සිටි අතර විජයකලා මහේෂ්වරන් පැමිණ සිටියේ නැත.


‘වජිර නියෝජ්‍ය නායක කමට තරග කරනවාද? සාමාජිකයෝ විමසූහ.


‘නැහැ. නැහැ. මා නායකකමට මිසක් නියෝජ්‍ය නායකකම්වලට තරග කරන්නේ නැහැ. මොකද, එජාපයේ හිටපු නියෝජ්‍ය නායකවරුන් හැමෝම එක්කෝ ද‌ාලා ගියා. නැතිනම් පක්ෂය කැඩුවා.’ වජිර කීවේ සිනාසෙමිනි.


අනතුරුව නායකයා ප්‍රකාශ කළේ පක්ෂයේ නියෝජ්‍ය නායක හා සෙසු තනතුරු ඉක්මනින් පිරවිය යුතු බවය.
‘මා වසර විසි ගණනක් නායකතුමා එක්ක වැඩ කළා. ඒ නිසා දැන් නියෝජ්‍ය නායකයෙකු නොවෙයි, නායකකමයි වෙනස් විය යුත්තේ. ඒ තනතුරට මාව ඒකමතිකව පත් කරයි කියා හිතනවා.’ රවි කරුණානායක කීවේය.


‘පක්ෂයේ කැරලි 12 ක් ආවා. ඒ බොහෝ දේවල් බේරන්න මා මැදිහත් වුණා. නායකතුමාට සුදුසු තීන්දුව ගන්න ඉඩ දෙමු. ඡන්ද තියලා පක්ෂය බේද කරන්න නරකයි.’ වජිර අබේවර්ධන දැරුවේ එවැනි අදහසකි.
එහෙත් රවි කරුණානායක, නවීන් දිසානායක, ලක්ෂ්මන් විජේමාන්න, අනෝමා ගමගේ ඇතුළු පිරිස් විවිධ ප්‍රතිවිරෝධතා එල්ල කළ අතර දැන් නායකයා ඉවත් විය යුතු බව ඔවුන් බොහෝ දෙනෙක්ගේ අදහස විය. අනතුරුව නැඟී සිටි රවි කීවේ තමා වජිරගේ යෝජනාවට එකඟ නැති බවය.


‘එකඟතාවකින් නොහැකි නම් ඡන්දයකින් හෝ අද ප්‍රශ්නය ඉවර කරමු.’ රවි කීවේය.
‘වජිරගේ ස්ථාවරය තමයි හොඳම එක. අනිත් අයත් තරගයට ඉදිරිපත් නොවී නායකයාගේ තීන්දුවට ඉඩ දෙනවා නම් මමත් ඊට එකඟයි.’ රුවන් විජයවර්ධන කීවේ එවැන්නකි.


එහෙත් ඡන්දයකින් ප්‍රශ්නය කෙළවර කරගත යුතු බවට දිගටම හඬ නැඟුණු හෙයින් මහ ලේකම් අකිල ඡන්ද පෙට්ටිය රැගෙන විත් අවශ්‍ය පසුබිම සූද‌ානම් කළේය. ඡන්ද පත්‍රිකාවේ රුවන් හා රවිගේ ඡායාරූප ඇතුළත් කර තිබේ. ඡන්දය විමසන අවස්ථාවේ දෙදෙනාටම එක ළඟ පුටු දෙකක් තබා අසුන් ගැනීමට සලස්වා තිබිණි.
ඡන්දය ගණන් කරන ස්ථානයේ රවි, රුවන්, අකිල හා වජිර ද සිටි අතර අවසානයේ නායක නිවේදනය කළේ රුවන්ට ඡන්ද 28 ක් සහ රවිට 10 ක් ලැබී තිබෙන හෙයින් නියෝජ්‍ය නායක ලෙස රුවන් විජයවර්ධන පත්වන බවය.


අනතුරුව රවි, නවීන්, විජයමාන්න, අනෝමා ඇතුළු කණ්ඩායම පිටව ගිය අතර සිරිකොත සිටි අය විවිධ ප්‍රශ්න යොමු කරමින් නායකගෙන් කරුණු විමසන්නට විය. එහිදී නායකයා මෙන්ම සෙසු පිරිස තුළින් මතු වූයේ විවිධ මතවාදයන්ය.
රුවන් විජයවර්ධනට ඡන්ද 18 ක් පැහැදිලි ලෙස තිබූ බවත්, කරු සහ රවිට එරෙහි කණ්ඩායම අවසානයේ රුවන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර ඇති බවට එහිදී විග්‍රහ විය. 
එළියට පැමිණි වජිර එහි සිටි මාධ්‍යවේදීන් ඇතුළු පිරිසට ද තම ග්‍රන්ථයේ පිටපත් ප්‍රධානය කළේය.
‘මාස තුනකින් නායකත්වය ගැන යම් තීන්දුවක් ගන්නවා. ආණ්ඩුව 20 සම්මත කර අලුත් මැතිවරණ කොමිසම යටතේ ලබන වසරේ මාර්තු, අප්‍රේල්වල පළාත් සභා තියාවි කියා අනුමාන කරනවා. අප ඊට සූද‌ානම් වෙන්න ඕනෑ.’ එජාප නායක කීවේය.
‘වජිර අද ගේම් එක ප්ලේ කළේ නායකතුමා වෙනුවෙන්ද?’ ඇතැමුන් විමසුවේ මද උපහාසය ද සමගිනි.
‘මා දන්නේ නැහැ. එයාගෙන් අහන්න. හැබැයි ඔහු පක්ෂය බේද නොකර සූක්ෂම ගේම් එකක් ප්ලේ කළා. මට දිගටම ඉන්න අවශ්‍ය නැහැ. මට පෞද්ගලික ජීවිතයකුත් බලන්න තිබෙනවා. පොත් දෙක තුනකුත් ලියන්න සූද‌ානම් කර තිබෙන නිසා දැන් රෙස්ට් එකක් අවශ්‍යයි.’ එජාප නායක කීවේ ද සිනාසෙමිනි.
ඉන්පසුව ඒ අසල පිහිටි බුදු මැදුරට මල් පූජා කළ රුවන් විජයවර්ධන දුරකථන ඇමැතුම්වලට ද පිළිතුරු දුන්නේය. සුබ පැතූ අය අතර කරු ජයසූරිය, බන්දුල ගුණවර්ධන, සජිත් ප්‍රේමද‌ාස, තිස්ස අත්තනායක, රංජිත් මද්දුම බණ්ඩාර යන අයද වූහ.


පැය දෙකක කාලය තුළ සුභපැතුම් දුරකථන පණිවිඩ 600 ක් පමණ ලැබී තිබුණු බව රුවන්ගේ ආරක්ෂක නිලධාරියෙක් කීවේය.

 

-ගජබා-