2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

මහනුවර පාසලක සැරිසරන මියගිය සිසුවියකගේ අවතාරය ගැන කළ ගවේෂණයක්

2012 අගෝස්තු මස 05 13:38:50 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

”මහනුවර ප‍්‍රදේශයේ බාලිකා විද්‍යාලයක භූතාත්මයක් සැරි සරසරනවා. ඒ විදුහලේ ඉගෙනුම ලැබූ සිසුවියක් මීට ටික කාලයකට කලින් හදිසියේ මිය ගියා. ඔය කියන සිසුවිය තමා භූතාත්මයක් වෙලා විදුහලේ සැරිසරන්නේ. මියගිය සිසුවියගේ භූතාත්මය අපේ නර්ස් කෙනෙක් ගත්තු පොටෝවල ඉන්නවා. මේ ගැන ඇත්ත  මොකක්ද කියලා හොයලා බලන්න”

හිතවත් හෙදියක් ඉල්ලා සිටියේ සිසුවියගේ භූතාත්මය යැයි කියන ඡායාරූපයක් ද මගේ අතට පත් කරමිනි.

මා වෙත මේ තොරතුරු ලබා දුන් හෙදිය සේවය කරන්නේ මහනුවර ශික්‍ෂණ රෝහලේය.

සුදු ගවුමකින් සැරසුණු යුවතිය ඡායාරූපයේ සිටින අතර ඇයගේ එක් පාදයක් නොමැති බවද ඒ ඡායාරූපය පරීක්‍ෂාකර බැලීමේදී පැහැදිලිවම පෙනී යයි.

හදිසි අනතුරකට ලක්වී පසුගිය වසරේ මිය ගොස් ඇති සිසුවිය මුලින්ම ප‍්‍රතිකාර ලබා ඇත්තේ පේරාදෙනිය ශික්‍ෂණ රෝහලේදීය. පසුව ඇය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියාය.

හදිසි අනතුර නිසා ඇයගේ එක් පාදයකට ද දැඩි ලෙස හානි සිදුවී තිබී ඇත.

පාසලේ සැරිසරනු ලබන බව කියන්නේ මෙලෙස මියගිය සිසුවියගේ අවතාරය බව මා සමග තොරතුරු හෙළිකළ හෙදිය කීවාය.

මහනුවර ප‍්‍රදේශය පමණක් නොව මධ්‍යම පළාත පුරා මේ අවතාර සිද්ධිය ප‍්‍රසිද්ධියට පත්ව ඇත.

මේ හොල්මන් කථාවෙන් පළාතේ පාසල් සිසු සිසුවියන් පමණක් නොව මවු පියෝ ද තිගැස්සීමකට ලක්ව  සිටින බව අපට දැන ගැනීමට ලැබිණි.

සිසුවියගේ භූතාත්මය යැයි කියා අප සතුව ඇති ඡායාරූප ඒ පළාතේ සිටින බොහෝ දෙනෙකුගේ ජංගම දුරකථනවල හා පරිගණක යන්ත‍්‍රවල ඇතුළත් කරගෙන ඇත.

ඒ අද්භූත ඡායාරූපය සතුව ඇති අය ඔවුන් දන්නා හඳුනන තවත් අයගේ ජංගම දුරකථන හා පරිගණකවලට යවා ඇත.

මේ භූත ඡායාරූපය පමණක් නොව ඒ හා බැඳුනු කතා ද පිට පළාත්වලට ද පැතිර ගොස් ඇති බව තවදුරටත් අප කළ සොයා බැලීම්වලදී දැනගැනීමට ලැබිණි.

කට කතා පැතිරවීමට වර්තමානයේ නූතන විද්‍යාත්මක මෙවලම් ද යොදා ගන්නා බව මේ අනුව පෙනී යයි.

මහනුවර හෙද පාසලේ පුහුණුව ලැබූ නවක හෙදි පිරිසක් පුහුණුවෙන් පසු විසිරයාමේ උත්සවයක් පසුගියදා පවත්වා ඇති අතර එම උත්සවය පවත්වා ඇත්තේ මහනුවර ප‍්‍රදේශයේ පිහිටි බාලිකා විද්‍යාලයක පිහිටි ශාලාවකය.

නවක හෙදියන් පිරිසක් උත්සවය පැවැත්වෙන මේ ශාලාව මධ්‍යම රාත‍්‍රිය වන තෙක් අලංකාර ලෙස සරසා ඇත්තේ උත්සවය පැවැත්වීමට කලින් දිනයේදීය.

උත්සවය පැවැත්වන ශාලාව අලංකාර ලෙස සැරසීමෙන් පසු එක් නවක හෙදියක් ඇය සතු ඩිජිටල් කැමරාවෙන් ශාලාව ඡායාරූපකර තිබේ.

නවක හෙදිය ලබාගත් එක් ඡායාරූපයක පාසල් නිල ඇඳුමින් සැරසුණු යුවතියක් උත්සවශාලාවේ ඇවිද යන ආකාරය අපූරුවට ඡායාරූපගතවී ඇති අන්දම දැක ඇය පුදුමයට පත්වෙලාය.

”මොකක්ද මේ පුදුමය බලන්නකො. පාසල් ඇඳුමෙන් සැරසුණු නංගි කෙනෙක් උත්සවශාලාවෙ හිටියෙත් නැහැ.  සැරසිලි කරපු උත්සවශාලාව පොටෝ ගනිද්දී කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඒත් පාසල් සිසුවියක් මේ පොටෝ එකේ ඉන්නවා.”

ඡායාරූපය  ලබාගත් හෙදිය මිතුරු හෙදියන්ට කියා ඇතැයි කියන්නේ දැඩි කුතුහලයකින් යුතුව බව කියති.

මේ තොරතුරු අප දැන ගත්තේ හෙදියන් පිරිසක් පැවසු ආකාරයටය.

බොහෝ දෙනෙකුගේ ජංගම දුරකථනවලට හා පරිගණකවලට පසුව ඇතුළත් කරගෙන ඇත්තේ මෙම ඡායාරූපය බව අපට දැන ගැනීමට ලැබිණි.

ප‍්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති මේ අවතාර කතාව බොහෝ දෙනෙකුගේ කුතුහලයට මෙන්ම දැඩි කතා බහකට ද ලක්ව ඇති නිසා ඒ ගැන විද්‍යාත්මක ගවේෂණයක් කර මේ කථාවේ ඇත්ත කුමක් ද යන්න ගැන සොයා බැලීමට ඉදිරිපත් වූයේ ගලගෙදර දිසා රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතාය.

මෙවැනි අද්භූත දේවල් රැසක් ගැන පරීක්‍ෂණ පවත්වා ජනතාවට ඒවායේ ඇති මිථ්‍යාව ගැන කරුණු අවබෝධකරදී ඇති විද්වතෙකු වන වෛද්‍ය ජනක ජයසූරිය මහතා මේ පරීක්‍ෂණය ආරම්භ කිරීමට මුල පිරුවේ සිසුවියගේ අවතාරය රාත‍්‍රි කාලයට සැරිසරන බව කියන මහනුවර ප‍්‍රදේශයේ බාලිකා විද්‍යාලයෙන්ය.

මේ ගැන විස්තර දැනගැනීමට මම මුලින්ම බාලිකා විද්‍යාලයට දුරකථනයෙන් කතා කළා. මගේ දුරකථන ඇමතුමට පිළිතුරු දුන්නේ ඒ විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරියයි.

අපේ පාසලේ ඉගෙනුම ලබමින් සිටියදී හදිසි අනතුරකට ලක්වෙල හිටිය සිසුවියක් කාලයකට ඉහතදී මිය ගියා. හෙදියක් ගත්තු ඡායාරූපයක ඔය කියන සිසුවියගේ අවතාරය ඡායාරූපගත වෙල තියෙනවා කියා කියන ආරංචිය මටත් ලැබුණා. මා මේ කතාවේ ඇත්ත නැත්ත සොයා මධ්‍යම රාත‍්‍රියේ ඔය ශාලාව ඡායාරූප ගත කිරීමට කටයුතු යෙදුවා. ඒ ඡායාරූප පරීක්‍ෂා කර බැලූවත් කිසිම අවතාරයක් ඒවායේ තිබුණේ නැහැ.  ඒකයි මට තියන පුදුමය. ඔය කියන විදිහට අවතාරයක් අපේ ඉස්කෝලෙ සැරිසරනවා නම් අපි ගත්තු ඡායාරූපවල හිටියෙ නැත්තේ ඇයි. ඒකයි අපට තියෙන පුදුමය. මේ සිද්ධිය ආරංචිවෙලා ළමයි බයට පත්වෙලා හිටියේ. දැන් ඒ බිය සම්පූර්ණයෙන්ම පහව ගිහින් තිබෙනවා යැයි ද නියෝජ්‍ය විදුහල්පතිතුමිය මා සමග කීවා යැයි වෛද්‍ය ජනක ජයසූරිය මහතා පැවසීය.

පස්සේ මම මේ ගැන තොරතුරු සොයා බලන්න මහනුවර හෙද පුහුණු පාසලට ගියා. එහි සිටි ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනියක් පරිගණකයට ඇතුළත් කරගෙන තිබුණ ඒ ඡායාරූපය මට පෙන්නුවා. මා ඒ ඡායාරූපය ඉතා හොඳට පරීක්‍ෂාකර බැලූවා. එදා හෙදියක් ගත්තු බව කියන ඡායාරූපයේ පාසල් නිල ඇඳුමකින් සැරසී සිටින සිසුවියගේ දකුණු පාදය නොමැති බව පෙනී ගියා යැයි වෛද්‍ය ජයසූරිය මහතා පැවසීය.

හෙදිය මුලින්ම ශාලාවේ ඡායාරූපයක් ගෙන තිබෙන බවත් එය සෙළවී තිබූ නිසා ඊට තප්පර 10කට පමණ පසු තවත් ඡායාරූපයක් ගෙන ඇති බවත් අද්භුත දසුන ඇතුළත් ඡායාරූපය එහි සටහන්ව තිබූ බවත් එහි සිටි හෙද නිලධාරියෙක් කිව්වා. යැයිද ඔහු පැවසීය.

හදිසි අනතුරට පත්ව මියගිය සිසුවිය මුලින්ම ප‍්‍රතිකාර ලබාගෙන ඇත්තේ පේරාදෙණිය ශික්‍ෂණ රෝහලෙන් වන අතර පසුව ඇය කොළඹ ප‍්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ප‍්‍රතිකාර ලබාගනිමින් සිටියදී මියගොස් ඇත.

සිසුවිය මුලින්ම ප‍්‍රතිකාර ලැබූ පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ගොස් තොරතුරු සොයා බැලීමට වෛද්‍ය ජනක ජයසූරිය මහතා පියවර ගෙන ඇත්තේ ඉන් අනතුරුවය.

සිසුවිය ප‍්‍රතිකාර ලබමින් සිට ඇත්තේ පේරාදෙණිය රෝහලේ 16 වැනි වාට්ටුවේ. මම ඒ වාට්ටුවට ගොස් එහි සිටි හෙදියන් හමුවී ඇය ගැන විස්තර විමසා සිටියා. ඇයගේ වම් පාදයට දැඩි ලෙස හානි සිදුවී ඇති බවත් දකුණු පාදයට කිසිදු ආකාරයක හානියක් සිදුවී තිබුණේ නැති බවත් මට හෙදියන්ගෙන් දැනගැනීමට ලැබුණා. වම්පාදය ශල්‍යකර්මයකින් කපා දැමීමට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් තීරණය කර තිබුණත් ඇයගේ මව්පියන් එයට අකමැත්ත ප‍්‍රකාශකර තිබුණි. ඒ නිසා  මව්පියන් ඇය කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇති බවත්  එම රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් දැනගත්තා.  ඒ රෝහලේදී ද ඇයගේ හානියට පත්ව තිබූ වම්පාදය ශල්‍යකර්මයකින් ඉවත් කරලා නැහැ යැයිද වෛද්‍ය ජනක ජයසූරිය මහතා පවසයි.

හදිසි අනතුරකට ලක්වෙලා මිය ගිය සිසුවියගේ හානි වෙලා තිබුණේ වම් පාදයටයි. ඡායාරූපයේ ඉන්නා සිසුවියගේ නැත්තේ දකුණු පාදයයි. ඉතිං මගේ ප‍්‍රශ්නය මෙයයි. හදිසි අනතුරින් මිය ගිය සිසුවියගේ අවතාරය ඉස්කෝලෙ ඉන්නවා කියලා කියන්නේ මොන පදනමක් මතද? වෛද්‍ය ජනක ජයසූරිය මහතා ප‍්‍රශ්න කරයි.

මේ වගේ බොරු කතාවලට රැවටිලා අනවශ්‍ය ලෙස බියට පත්වීමට කලින් බුද්ධිමත්ව හිතලා ගවේෂණය කරපුවාම මේ වාගේ කතාවල ඇත්ත ඇති සැටියෙන් හෙළිවෙනවා. ඔබ හැඟීම්වලට වහල් නොවී බුද්ධියට තැන දෙන්න සෑම විමට පුරුදුවන්න යැයි වෛද්‍යවරයා විශේෂ ඉල්ලීමක් ද කර සිටී.

භූතයින්, අවතාර ගැවසෙන ස්ථානවලට මහ රෑ ගොස් පරීක්‍ෂණ පවත්වලා තියනවා. ඒත් තවම එහෙම භූතයෙක් හෝ අවතාරයක් මට නම් හම්බවෙලා නැහැ. වෛද්‍ය ජනක ජයසූරිය මහතා පවසයි.

කෙනකු මරණයට පත්වීමෙන් පසු ඔහුගේ ආත්මය භූත ආත්මයක්, අවතාරයක් ලෙස සැරිසරන්නේ දැයි යන්න විමසා සිටියේ හම්බන්තොට මහ රෝහලේ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය සුමිත් අඹේපිටිය මහතා ගෙනි.

මේ ඒ පැනයට විශේෂඥ වෛද්‍ය සුමිත් අඹේපිටිය මහතා දුන් පිළිතුරයි.

”යම් පුද්ගලයකු මිය ගිය පසු ඔහුගේ ආත්මය භූතාත්මයක් ලෙස සැරිසරනවා යැයි පැවසීම කිසිම විද්‍යාත්මක පදනමක් නොමැති මිථ්‍යාවක්. භූතාත්මවලට ජීවත්ව සිටින මිනිසුන්ව  ලෙඩ කිරීමට වෙනම බලපෑම් කිරීමට හැකියාවක් තිබෙන බවටත් ඇතැමුන් තුළ විශ්වාසයක් පවතිනවා මේවාත් මිත්‍යා විශ්වාස පමණයි.

ස්වසනය සහ හෘද ස්පන්ධනය නැවත යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වන සේ නතරවීම එම නිසා මොළයට රුධියර සැපයීම විනාඩි 4කට වඩා වැඩි කාලයක් නතරවීම නිසාත් මොළයේ නියුරෝන ෙසෙල විනාශවී මොළය හා මධ්‍ය ස්නායු පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය නැවත යථා තත්ත්වයට පත්කළ නොහැකි ලෙස ඇණ හිටීම මරණය ලෙස හඳුන්වනවා.

මෙවැනි ආකාරයට මරණයක් සිදුවෙද්දී ඔහු හෝ ඇයගේ සිරුරෙන් ආත්මයක් පිටවී යනවා යැයි කීම කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති කතාවක්. ඉතිං මේ පදනමෙන් ගත්තාම ඔය කියන පාසලේ ඉගෙනගත් දැරියක් මිය ගිය පසු ඇයගේ භූතාත්මය සැරිසරනවා යැයි කීමත් බොරුවක්. භූතාත්ම, අවතාර කියලා දෙයක් නැහැ. ඒවා ඇතැමුන් සිතින් මවාගත් මනස්ගාත බව කියන්න පුළුවනි යැයි විශේෂඥ වෛද්‍ය අඹේපිටිය මහතා අවසන් වශයෙන් පැවසීය.

තොරතුරු තාක්‍ෂණය පිළිබඳ ඉංජිනේරුවරයෙකු වන ඩිල්ෂාන් ජයසූරිය මහතා මේ අවතාර පින්තූරය ගැන විග‍්‍රහයක යෙදෙමින් පැවසුවේ මෙවැනි කතාවකි.

පරිගණක ආශ‍්‍රයෙන් ඔය වගේ අවතාර ඡායාරූප බොහොම අපූරුවට කිසිම කෙනකුට සැකයක් ඇති නොවන ආකාරයට සකස් කරන්න පුළුවනි. ඒ තරමට අද තාක්‍ෂණය දියුණුයි. මේ වාගේ ඡායාරූප මවන එක වර්තමානයේ බොහෝම පහසු දෙයක්. මේ කියන අවතාර ඡායාරූපයත් ඔය වගේ නිර්මාණයක් විය යුතුයි. ඒ ගැන විවාදයක්  සැකයක් නැහැ.

මට මේ වගේ නිර්මාණයකට හොඳම උදාහරණයක් කියන්නත් පිළිවන් ප‍්‍රභාකරන් වගේ කෙනෙක් තමාගේම මළ සිරුර දෙස බලාගෙන සිටින අන්දම දැක්වෙන ඡායාරූප  පෙළක් ඒ කාලයේ අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රචාරය කර තිබුණා. මේ ප්‍රෝඩාව කළේ දෙමළ ඩයස් පෝරාව. ඔවුන් එදා එවැනි ප්‍රෝඩාවක් කළේ ප‍්‍රභාකරන් අපේ රණවිරුවන් අතින් මැරුම් කෑවේ නොමැති බවත් ඔහු තාම පණ පිටින් ඉන්නා බව ලෝකයා ඉදිරියේ කියා පෑමටයි. දෙමළ ඩයස් පෝරාව ලෝකයා රැවටීමට ගත් මේ උත්සාහය වැඩක් වුණේ නැහැ. මෙය පරිගණක ආශ‍්‍රයෙන් කරපු නිර්මාණයක් බව පසුව ඔප්පුකර පෙන්නුවා. ඉන්පස්සේ ජාත්‍යන්තරය ඇත්ත කතාව  පිළිගත්තා යැයි ඉංජිනේරු ඩිල්ෂාන් ජයසූරිය මහතා පවසයි.

අද්භූත ඡායාරූපයක් සිතා මතා නිර්මාණය නොකළ බවත් හෙද පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරියෙක් කියා සිටියත් ඡායාරූපය ගත්තා යැයි කියන නවක හෙදිය හමුවීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය.

හෙදියක ගත් බව කියන කැමරාවේ මියගිය සිසුවියකගේ අවතාරය තිබීමත් විදුහල  ගත් ඡායාරූපවල එවැනි අවතාරයක් දිස් නොවීමත් හේතු ගැන මෙන්ම වම් පාදයට දැඩි ලෙස හානිව සිටියදීත් මියගිය සිසුවිය අවතාරයක් වී සැරිසරන විට දකුණු කකුල අහිමිවී තිබීමට හේතු සාධක කවරේ ද යන්න ගැනත් සිහි බුද්ධියෙන් යුතුව විමසා බලන විට මේ අවතාර කතාව හුදු නිර්මාණයක් බව  ඕනෑම කෙනෙකුට පසක් වනවා නොවනුමානය.

කොතරම් කාර්ය බහුල වුවත් වෛද්‍ය ජනක ජයසූරිය මහතා මේ පිළිබඳව ගවේෂණය කිරීම නිසා මේ පාසල් අවතාර කතාවේ ඇත්ත ඇති සැටියෙන් හෙළිවී ඇත.

සටහන - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය

වෛද්‍ය ජනක ජයසූරිය

වෛද්‍ය ජනක ජයසූරිය

අදහස්(68) බැලූවෝ (16020)

මහනුවර පාසලක සැරිසරන මියගිය සිසුවියකගේ අවතාරය ගැන කළ ගවේෂණයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

චතුර 2012-08-05 14:45:41

මොකෝ මේ දොස්තර මහත්තයා බය වෙලා වගේ? (නි)

අමරා 2012-08-05 18:29:54

මේක ඇත්ත වෙන්න පුළුවන්. ආසාවෙන් මිය ගියහම මෙවැනි දේවල් වෙනවා. (නි)

fb-icon චරිත් 2012-08-05 18:33:39

විශිෂ්ටයි. (නි)

පවිත්‍ර 2012-08-05 19:33:28

හොල්මනක් ඇවිල්ලා බෙල්ල මිරිකන එක ඉවසන්න පුලුවන්. මෙතුමා හොල්මන් විශ්වාස කරන්නේ නැහැ කියලා කියාපු හන්දා තවත් දෙයක් කියලා යන්න ඕනෑ. ඒත් මේක පත්තරෙට කියලා වැඩක් නැහැ. කමක් නැහැ. මගෙ අදහසත් දාලම යන්නම්.

මෙතුමා දන්නවා ඇතිනෙ අන්වීක්ෂය ගැන. ඉතිං ඒක හදපු මනුස්සයාම තමයි මුලින්ම බැක්ටිරියාවන්ගෙ ක්ෂුද්‍ර ජීවීන්ගේ පින්තුර ඇඳලා තියෙන්නේ. ඉතිං මට තියෙන ප්‍රශ්නේ ඒ මනුස්සයා ඕවා බලන්න කලින් ඔය දේව වාදය එහෙම මුල් බැහැගෙන තිබ්බ යුගයේ බැක්ටීරියාවන් ක්ෂුද්‍ර ජීවීන් එහෙම හිටියෙ නැද්ද? ඊට කලින් කවුරු හරි කෙනෙක් කිව්වනම් අපේ මේ හම උඩත් දහස් ගානක් ජීවීන් ඉන්නවා කියලා , ඒ කාලෙට සාපේක්ෂව මිනිසුන් අර කියපු මනුස්සයට හිනා වෙනවා පිස්සෙක් කියලා. හේතුව කාගෙවත් ඇහැට ඕකුන් පේන්නේ නෑනේ. ඒවා පැත්තකින් තියන්නකො. ඔබතුමාත් රසායන විද්‍යාව එහෙම හදාරලානේ ඉන්නවා ඇත්තේ. ඔය කියන පරමාණු එහෙම කවුරුවත් දැකලා නෑනේ. ඒවත් එක එක අය විවිධ පරියේෂණ කරලා තමයි හොයාගෙන තියෙන්නෙ. ඇයි ඒවා ඉස්සර තිබ්බෙ නැද්ද? ඒ වගේ තමයි මේකත්. ඔබතුමාටවත් මටවත් බැහැ හොල්මන් ඉන්නවයි කියලා තරක කරන්න, වගේම හොල්මන් නැහැයි කියලා තර්ක කරන්නත්. හැම වෙලෙම මජ්ජිම පඨිපදාවෙන් හිතන්න පුරුදු වුණොත් ඔබලා අප අතරෙ ගැටුම් ඇති වෙන්නෙ නැහැ. (නි)

ධනුෂ්ක 2012-08-05 19:37:03

මා හට මෙහි විද්‍යාත්මක පසුබිම මෙහි පැහැදිලි කිරීමට නොහැක. මේ සියලු දේ ඔබ සතු විද්‍යාත්මක දැනුමෙන් විසඳීමට උත්සාහ දැරීම මෝඩකමකි. විශේෂයෙන් මෙවැනි සියලු ඡායාරූප නිර්මාණය කළ ඒවා යයි කිව නොහැක. මෙවැනි අමනුස්සයින් ඡායාරූප ගතවෙන අන්දම මට මෙහි පැහැදිලි කළ නොහැක. මමද මෙවැනි සිද්ධීන් අත්දැක තිබේ. (නි)

චරිත් 2012-08-05 19:49:30

ඡායාරූපයේ සිටින ගැහැණු ළමයාගෙ දකුණු කකුල තියෙනවා ,වේගයෙන් ඇවිදිනවා වගේ පෙනෙන නිසා එම කකුල පැහැදිලිව පෙනෙන්නේ නැහැ. හැබැයි වම් කකුලේ මොකක්දෝ ප්ලාස්ටරයක් වගේ දෙයක් තිබෙනවා වගේ පෙනෙනවා. මේ නම් ඒ ගැහැණු ළමයම තමයි. (නි)

ඉන්ද්‍රනාත තේනුවර 2012-08-05 20:00:59

මේක අඩු ෂටර් ස්පීඩ් එකක් භාවිතා කරල පින්තූරයක් ගනිද්දි සිද්ධ වන ඉතා ම සරල සංසිද්ධියක් විතරයි.

පින්තූරය ගත්ත කෙනා මේ අඩු ෂටර් ස්පීඩ් කතන්දරේ දන්නෙ නැති වෙන්න පුලුවන්. නමුත්, කැමරාව ඉතා ම සරල එකක් වුණත්, කැමරාව ඒ බව දන්නවා. ඒ නිසා පවතින ආලෝකයෙන් පින්තූරයක් ගන්න ගියා ම කැමරාව අඩු ෂටර් ස්පීඩ් එකක් භාවිතා කරමින් එය අපට ලබා දෙනවා. හරියටම මේ ෂටරය ක්‍රියාත්මක වන මොහොතේදී මේ දොර හරහා දැරියක් ඉක්මන් ගමණින් ගිහින් තියෙනවා. ඇගේ එක් පාදයක් බිම තබල අනෙක් පාදය ගන්නා අවස්ථාවෙ තමයි ෂටරය වැඩ කරල තියෙන්නෙ. එතකොට ඒ අඩු ෂටර් ස්පීඩ් එක ඇරිල තියෙන කාල සීමාවේදි බිම තියපු කකුල ස්වල්ප වේලාවක් එතැන නතර වෙලා තියෙන නිසා එය සටහන් වෙනවා. නමුත් අනෙක් කකුල වේගයෙන් චලනය වන නිසා එය සටහන් වන්නෙ නැහැ.

අපි රැවටුනාට කවදා හරි අහල තියෙනවාද කැමරාවක් රැවටුණා කියලා? අපි හොල්මන් අවතාරවලට බය වුණාට කවුරු හරි අහලා තියෙනවාද කැමරාවක් හොල්මනකට බය වුණා කියලා? නැහැ නේද? (නි)

fb-icon මදුෂික සමරසේකර 2012-08-05 20:13:26

ස්තුති දොස්තර ජනක ජයසූරිය ... (දී)

fb-icon මධුෂික 2012-08-05 20:13:05

මෙම ලිපියට ලංකාදීපයට ස්තූතියි! (නි)

fb-icon මධුෂික 2012-08-05 20:21:27

මෙම පින්තුරයේ හෙදියක් තමන්ගේ නිල ඇදුමින් ඉන්නවා වෙන්න බැරිද? (නි)

බණ්ඩාර 2012-08-05 21:53:33

මේ කියවෙන අවතාර කතාව නම් බොරුවක් බව පෙනෙනවා. ජනක ජයසුරිය මහත්මා හට ඒක ඔප්පු කරලා පෙන්නුවාට ස්තුති වෙනවා. ඒත් වෛද්‍ය සුමිත් අඹේපිටිය මහත්මයා කරා වගේ ජීවය කියන්නේ භෞතික ශරීරය විතරක් කියන තර්කය ඉදිරිපත් කරමින් ලෝකය පහදන්න එපා කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා. (නි)

fb-icon සුරේෂ් ධනංජය සමරසිංහ 2012-08-05 22:09:27

මම මේ අවතාරය ගැන කතා කරනවා නෙමේ. එක ඇත්තක් වෙන්නත් පුළුවන්. බොරුවක් වෙන්නත් පුළුවන්. මොකද අපි එහෙම දැකල නැහැනේත මේ වෛද්‍යවරු පැහැදිලි කරන ආකාරය. බුදුදහමට ලොකු චෝදනාවක් එල්ල වෙනවා. මේ ඒ අය දන්න තරම. වෛද්‍යවරයා කොහොමද කියන්නේ මරණයෙන් පස්සේ ගන්ධබ්බ බාවයක් හා පුනුරුප්පතියක් නෑ කියලා. ඒක ඔප්පු කරන්න පුළුවන්ද? (ත)

සමීර -ඉතාලි 2012-08-05 22:42:48

වෛද්‍ය ජනක ජයසූරිය, ඔබතුමාගේ ප්‍රකාශය නිවැරදියි. ඔබට ස්තුතියි.. (ත)

වාස දයාරත්න 2012-08-05 23:00:56

සොයාගත් දේට වඩා සොයා නොගත් දේ මිහිපිට බොහොමයක් තිබිය හැක. (ත)

ලංකානාථ 2012-08-06 04:48:10

ඇත්ත, මේ පුවතත් සමඟ තියන ඡායාරූපය වගේ එකක් පරිඝණකයෙන් හදන්න පැය බාගයක්වත් යන එකක් නෑ.

නමුත් මේ තියෙන්නේ ඔය කියන ඡායාරූපයේ මුල් පිටපතනම්, මට හිතෙන්නේ මෙය හුදෙක් අඩු සංවාරක වේගයකින් (හා විශල ද්වාරයකින්) ගත් ඡායාරූපයක්. මට පෙනෙන විදියටනම් මෙහි සිටින්නේ දුව යන හෙදියක්. (නිල ඇඳුමෙන්)

මෙය සැණෙළියකින් තොරව පරිමණ්ඩිත ආලොකයෙන් ගත් ඡායාරූපයක්. (ත)

රන් 2012-08-06 05:33:04

මෙහි මුල් ඡායාරූපය වෙනත් වෙබ් අඩවියකින් දැක්කා. එහි ඇති EXIF දත්ත අනුව එම පින්තූරය ගැනීමේදී shutter speed එක තත්. .25යි. මෙවනි අඩු shutter speed සහිතව පින්තූරයක් ගත්විට වේගයෙන් දිව යන කෙනෙක් ඡායාරූපගත වන්නේ මෙහෙමයි. මෙහි පෙනෙන්නේ තැනැත්තියක් වේගයෙන් දිවයද්දී ගත් පින්තූරයක්. ඇය දිවයද්දී වම් කකුල බිම තබා දකුණු කකුල ඉදිරියට ගන්නා ආකාරයි ඔය පෙනෙන්නේ. ඡායාරූපය ගැනීමට ගතවූ තත්. 0.25 ක කාලය තුල ඇගේ වම් කකුල නිසලව තිබියදී දකුණු කකුලත් දෑතත් හිසත් ගමන්කොට තිබෙනවා. ඇයට ඉදිරියෙන් ඇති පඩිය දිහා හොඳින් බැලුවොත් දකුණු කකුලේ ඡායාව දැකගත හැකියි. දෑතේත් හිසේත් ඡායාවන්ද පැහැදිලිව පෙනෙනවා. පැහැදිලිවම මෙය කිසියම් අයෙක් දිවයද්දී අඩු shutter speed සහිතව ගත් ඡායාරූපයක්. මීට පෙර ගත් ඡායාරූපය සෙලවී තිබුනෙත් අඩු shutter speed එක නිසා වෙන්න ඇති. (ත)

අසිරු 2012-08-06 06:22:44

ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඔය වගේ දේවල් පරිගණකයෙන් හදන්න පුළුවන්. එහෙම නැතත් කැමරාවෙන් ඔය වගේ දේවල් වදින්න පුළුවන්. එහෙම වැදුණු ඒවා මා ගාවත් තියෙනවා. මේවා ප්‍රචාරයෙන් වෙන්නේ මැරුණු ළමයාට අපහාස වෙන එක විතරයි. (නි)

දිලිප් 2012-08-06 09:34:50

බොරුයි කියන්න බැහැ. (නි)

සංජීව 2012-08-06 11:20:47

දැන් මේකද මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය? (නි)

සෞම්‍ය 2012-08-06 11:59:58

මේ හෙදියෝ කරුවත් රැ 12 විතර සුදු ඇඳුම් ඇදගත්ත කෙනෙක් හිටියද කියල හොයල බලල තියනවද ?කැමරාවේ තාක්ෂනය හොයල බලන්න කලින් එය හොයල බැලුවොත් නරකද ? (දී)

සම්පත් රාජපක්ෂ 2012-08-06 13:06:22

ඉතා සරල ඡායාරූපයක්.ඒ වගේ වැදුණු ඒවා මා ළගත් තිබෙනවා. (නි)

රකිත 2012-08-06 13:43:49

මේ කතාව රිවිර පත්තරේ තිබිච්ච එක තරම්ම බොලදයි . මේ ෆොටෝ එක ගැන අහන්න ඕනි අයගෙන් අහන්නේ නැතුව වටෙම්ම අහල. (වි)

තාරුක 2012-08-06 16:02:05

රෑ 12ට කවුරුවක් සුදු ඇදුම් ඇදගෙන ඉන්නේ නැහැ. නලීන්, නිකන් මෝඩයේක වගේ කියවන්න එපා. (නි)

ෂාන් 2012-08-06 21:16:27

හොල්මන් නැහැ කියන කියන්න බැහැ. හැබැයි තමන්ගේ හිත තමා හැම දේකටම මුල් වෙන්නේ.

ධනුෂ්ක 2012-08-07 01:23:35

මේක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් දොස්තර මහත්තයා බය වෙලා වගේ? (නි)

ලංකේෂ්වර 2012-08-07 05:36:27

රකිතට අපි එකඟයි. දොස්තර මහත්තයා මීට වඩා ලේසි දෙයක් බුද්ධිමත්ව හිතලා ගවේෂණය කරලා දැනගත්තානම් හොඳයි නේද?

මරණය ගැන ඔබේ වෛද්‍ය විද්‍යාත්මක පදනම පැහැදිලියි. මරණයෙන් පසු ගැනත්, ආත්මය ගැනත්, විද්‍යාත්මකව තාම සාධනය කරලා ඔප්පු කරලා නෑ නේද? ඔබ පිළිගනී හෝ නොගනී මුත් තාම ඒ කොටසට යම් තරමින් හෝ විග්‍රහයක් කර ඇත්තේ ආගම් වලින් පමණයි.

මට බුදුදහමේ විග්‍රහය සක් සුදක් සේ පැහැදිලි වූ සේම, තවකෙනෙකුට අන්‍ය විග්‍රහයක් පැහදිලි වියහැක. මෙවැනි සංවේදි මතෘකාවලින් (ආගම් හා මළ මිනිසුන්) බැහරව මීට වඩා රටට වැදගත් දෙයක් සමඟ ඔබේ ඡායාරූපය පත්තරේ දාගත්තානම් පංකාදුයි. (දී)

ඩොක්ටර් ඩූ ලිට්ල් 2012-08-07 05:43:24

කෝ මේ කියන භූතයා මට පේන්නේ නැහැනේ . පල්ලෙහා ෆොටෝ එකේ ඉන්න කෙනාද? (දී)

ෂෙහාන් 2012-08-07 06:17:17

අනේ මගේ ෆොටෝ එක වැදිලා නෑනේ...... (ත)

ෂෙරීෆ් 2012-08-07 07:22:28

මම බොහොම බයවුණා, මගේ පණ එපා වුණා. (නි)

ශ්‍රියාණි 2012-08-07 13:06:37

මමත් ඔය වගේ ඡායාරූප දැකලා තියෙනවා. එත් මීට වැඩිය මිනිස්සුන්ට හිතන්න තව කොපමණ දේවල් තියෙනවාද? (නි)

ප්‍රවීන් - මැනිලා 2012-08-07 13:09:34

මේ පාසල් නිල ඇදුමක් නොවෙයි. හෙදියකගේ නිල ඇදුමක්. (නි)

උත්පලා බණ්ඩාර 2012-08-07 16:42:41

මේක මං පිළිගන්නවා. මංළගත් මේවගේ ඡායාරූප තියෙනවා.. හෙළි කරන්නෙ නැහැ.. මක්නිසාද යත් මම ඒ ගැන තව හොයනවා..!!(නු)

රෝහන 2012-08-07 18:02:26

ඔන්න මම නම් දන්නෙ නැහැ. (නි)

fb-icon Kukulegama Gunarathana 2012-08-07 18:13:46

ඉන්ද්‍රනාත තේනුවර නිවැරදියි.. පවිත්‍ර ගෙ විග්‍රහය ඉතාමත් සාධාරණයි..!!(නු)

ලහිරු බණ්ඩාර 2012-08-07 18:31:25

ඔව්.. මම නං හිතන්නෙ බොරුවක්..!!(නු)

fb-icon Sandeep Jayasôôriya 2012-08-07 19:46:23

විද්‍යාත්මකව උප්පු කළ නොහැක (අ)

සරත් ගුණතුංග 2012-08-08 05:34:51

මෙහි ලියැවෙන්නේ මගේ අදහස පමණයි. මේ ගැන කිසිම වෛද්‍යවරයෙකුට විෂේශඥ භාවයෙන් කථා කරන්න හැකියාවක් මම දන්නෙ නැහැ. මගේ අදහස වෛද්‍යවරුන් දන්නෙ වෙන සාස්තරයක්, මේක වෙන සාස්තරයක්. බෞද්ධ පිලිගැනීම් අනුව භූමි 31ක ජීවීන් සිටින බව සඳහන් වෙනවා. අභිධර්මයට අනුව මනස වෙනස් අදහස් දරන්නෙ. බටහිර වෛද්‍ය ශාස්ත්‍රය වෙනත් දෙයක් ප්‍රකාශ කරනෙ. බුද්ධාගම ඇත්තේ ඥාණවන්තයන්ට පමණක් බවත් බුද්ධාගමේම සඳහන් වෙනවා. තර්කයෙන්වත් කිසිම විද්‍යාත්මක ඥාණයකින් බවත් බුද්ධාගමේ ඇති දේවල් ඔප්පුකරන්නවත්, බැරි බව සඳහන් වෙනවා. බුද්ධාගමේ හැටියට අවබෝධයෙන් මේගැන බලන අයට එහි ඇති සත්‍යතාවය පෙනෙන බව ලියැවී තියෙනවා.(නු)

ඩී නන්දාලෝක හිමි 2012-08-08 06:51:11

ඒවා එසේ සිදුවිය හැකියි. (ත)

සමන් 2012-08-08 10:29:16

දැනට දන්නා විද්‍යාවෙන් පැහැදිලි කල නොහැකි දේවල් මිත්‍යාවන් ලෙස බැහැර කිරීම වැරදියි.භූත කතා බොහොමයක් ප්‍රබන්ධ වුවත් සත්‍ය සිද්ධීන්ද තිබිය හැක.කෙනෙකු ආශාවෙන් මියගිය විට මෙබදු සිද්ධීන් සිදුවිය හැකි බවයි මගේ අදහස.බුදුන් වහන්සේ පැවසුවෙත් සසර නැමති ගෙය සාදන්නේ තණ්හාව නැමති වඩුවා බවයි.ආගමටවත් විද්‍යාවටත් වහල් නොවූ මැදහත්ව සිදුකරන ගවේෂණයි අවශ්‍ය.(වි)

චන්දන 2012-08-08 11:17:45

ඔහොම බය හිතෙන කතා කියන්න එපා. (දී)

නිශාන්ත 2012-08-08 11:47:06

මමනම් හිතන්නේ ඔය සිද්දිය ඇත්ත එකක් (දී)

චන්දිම ගොඩගේ 2012-08-08 12:07:38

අනෙ අප්පෙ ඔන දෙයක් කරල මෙයාව ඔතනින් අයින් කර ගත්තනමි ලංකාවෙ අපට දෙවියනෙ කියලා හුස්ම ටිකක් ගන්න පුලුවන්. (දී)

fb-icon ආනන්ද 2012-08-08 13:57:32

කණගාටුයි, කාටවත්ම ඡායාරූපය ගත්ත ළමයා සොයා ගත නොහැකිවීම පිළිබදව. මුලින්ම ඒ ළමයා ගේ පරිඝණක දැනුම සොයා බැලිය යුතුයි. (නි)

සුමුදු 2012-08-08 16:52:48

මම දන්නේ නැහැ ඕවා. (නි)

රංග 2012-08-08 19:23:49

මේක බොරුයි කියන්නමත් බැහැ. (නි)

දුමීර 2012-08-09 13:12:33

දොස්තර කොහොමද බොරු කියන්නේ? එතකොට බුදු දහම බොරුද? මීට වැඩිය ගොඩක් උසස් විද්‍යාඥයින් පවා පිළිගෙන තිබෙනවා අවතාර ඇත්තයි කියලා. (නි)

සුරේශ් 2012-08-09 09:35:21

කට්ටියම අදහස් දැම්මට කිසිම දෙයක් විද්‍යාත්මකව බලන්න නැතිව තමයි හැම දෙයක්ම කියන්නෙ..!!(නු)

සුරේෂ් 2012-08-09 09:32:52

කට්ටිය කිසිම දෙයක් ගැන විද්‍යාත්මකව බලන්නේ නැතුව තමයි ප්‍රතිචාර දාලා තියෙන්නේ. (නි)

නුවන් 2012-08-09 10:34:47

විද්‍යාව සෑම වෙලාවකදීම නිවැරදි වෙන්නේ නැත. (නි)

අමර 2012-08-09 13:46:40

අපි නොදන්න දේ අවබෝධ කරාට ඔබට තුති...(ස)

තේජානි 2012-08-09 15:54:43

මේක ඇත්ත ඡායාරෑපයක් කියලා මෙච්චර දියුණු ලොවක අපි පිළිගන්නවාද?(නු)

ආචාර්ය වසන්ත ලියනගේ 2012-08-09 20:01:00

මෙම ඡායාරූපය පිළිබඳ කිසියම් විග්‍රහයක් කිරීමට මා අදහස් නොකරන නමුත් මෙවැනි සිදුවීම් ගැන අදහසක් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. ඡායාරූපයන්හි මිනිස් ඇසට ගෝචර නොවන්නා වූ දසුන් විද්‍යමාන වූ අවස්ථා ඇත. අප කිසියම් දෙයක් පිළිබඳව තේරුම් ගන්නේ ඇස, කණ, නාසය, දිව සහ සම යන අපගේ පංචේන්ද්‍රියන්ට ගෝචර වන්නා වූ භෞතික හෝ රසායනික ශක්තීන් මොළය මගින් විශ්ලේෂණයට ලක් කිරීමෙනි. නමුත් මෙහි සීමාකාරී බවක් ඇත. මිනිස් කණට ඇසෙන්නේ හර්ට්ස් 20-20000 අතර සංඛ්‍යාතවල ශබ්ද තරංග පමණි. වෙනත් සංඛ්‍යාත පරාසයන්ට හසුවන ශබ්ද තරංග මිනිසාට නොඇසේ. එසේම මිනිස් ඇසට පෙනෙන ආලෝක තරංග සංඛ්‍යාත වලද සීමාවක් පවතී. යන්ත්‍ර වලට වුවද මෙවැනි සීමාවන් පවතී. එබැවින් මිනිස් ඇසට හෝ කැමරා ඇසට ගෝචර නොවන්නා වූ හෝ ඇතැම් අවස්ථාවලදී පමණක් ගෝචර වන්නා වූ සංසිද්ධීන් මිත්‍යාවන් ලෙස බැහැර කිරීම විද්‍යාත්මක යැයි පවසන්නා තමන් දන්නා දෙයම පමණක් විද්‍යාව යැයි සිතන්නෙක් මිස තමා නොදන්නා බොහෝ දේ තිබිය හැකි යැයි සිතන සැබෑ විද්‍යා ගවේශකයකු නොවේ. (නි)

රනූසා 2012-08-11 07:09:41

අපි දන්නේ ටිකයි. නොදන්න දේ බොහොමයි. ඒ වගේම තමයි හොයාගත් කරුණු වලට වඩා හොයා නොගත් කරුණු බොහොමයි. (නි)

ප්‍රගීත් 2012-08-10 19:54:52

සමහරු මිත්‍යා දේවල් විශ්වාස කරන්න හරි කැමතියි. (නි)

ගයාන් 2012-08-10 20:30:52

මෙහෙම දේවල් වලින් අපට ඇති සෙතේ මොකක්ද? (නි)

අකිල 2012-08-10 21:23:01

ඔය කතා ඔක්කොම බොරු. හොල්මන් කියල ජාතියක් නැහැ (දී)

පූජා 2012-08-11 12:32:20

අනේ මන්දා විශ්වාස කරලත් බෑ නොකරත් බෑ... (ස)

රංජිත් 2012-08-11 12:56:58

මම නම් මේ වගේ අවතාර විශ්වාස කරන්නේ නැහැ. (නි)

fb-icon උමයංග 2012-08-11 13:07:27

ෆොටෝෂොප් වලින් දීපු ගේම් එකක්. මේක හදපු කෙනාට හැම තැනම හෙවනැල්ල අයින් කරන්න මතක් වුණත් සපත්තුවට යටින් හෙවනැල්ල අයින් කරන්න අමතක වෙලා. ඉතින් වැඩේ මාට්ටු! (ස)

දම්මික 2012-08-11 18:36:38

බොරු කතා (දී)

හර්ෂ 2012-08-11 19:12:17

මිනිස්සුන්ව බොරුවට බය කරන්න හදන බොරු (දී)

බණ්ඩාර 2012-08-11 20:02:30

කොහොමද කියන්නේ බොරු කියල. මෙහෙම දේවල් වෙන්න බැරිද (දී)

දේවි 2012-08-12 20:44:33

මේ ගවුමේ කිසිම රැල්ලක් පෙනෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක හෙදියකගේම ඇදුමක්. (නි)

නිරෝෂි 2012-08-17 14:59:32

තවත් එක් කතාවක්. (නි)

නිරෝශ් 2012-08-17 15:01:07

තවත් එක කතාවක් විතරයි...(ස)

උදේනි 2012-08-29 20:07:13

අපි හරියටම දන්නේ නැහැනේ. (නි)

සාරංග 2012-09-09 13:03:51

හොල්මන් හිටියත් නැතත් අපිට පළක් නැහැ. අපි තමයි මිහිපිට හොල්මන්. (නි)

රන්දික 2012-11-24 08:28:02

චලනය වන ඕනම වස්තුවක රූපය මෙවැනි විදියට පේන්න පුලුවන් හැබැයි වීඩියෝ එකක් දැම්මොත් සත්‍ය හොදට අවබෝද කර ගන්න පුලුවන්. (ස)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :