2017 පෙබරවාරි මස 24 වැනි සිකුරාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

ඇස්ස ගසා දරුවන් මැරූ වළගම්බා

2016 සැප්තැම්බර් මස 29 14:23:55 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

අදහස්(11) බැලූවෝ (13020)

  3  

 

 

මහා කළු සිංහලයා යන විරුදාවලිය ලත් “වළගම්බා රජතුමා”(ක්‍රී. පු 89-77) ගැන නොදන්නා සිංහලයෙක් නම් මෙරට සිටිය නොහැක. පෘතුගීසි, ලන්දේසී, ඉංග්‍රීසින්ගේ පැමිණීමට පෙර මෙරට සිංහලයන් මුහුණ දුන්නේ දමිළ ජාතීන්ගේ ආක්‍රමණයන්ටය. වළගම්බා රජතුමාට ඔවුන් හා යුද්ධ කර පැරදී, වසර ගණනාවක් සැඟව ජීවත් වීමට සිදු වූයේ එහි ප්‍රතිඑලයක් වශයෙනි. පැරදී සේනා සංවිධානය කරමින් මෙරට ඇවිද ගිය තැන් බොහෝය. ඇත්තෙන්ම නොගිය නොගැවසුණ තැනක් නැති තරම්ය. බොහෝ කාලයක් ගත කර ඇත්තේ මහනුවර හාරිස්පත්තුව ප්‍රදේශයේ වීම ද විශේෂත්වයකි. ඉන් “මැදවල” ප්‍රදේශයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. වළගම්බා රජතුමාගෙන් වසර 137 කට පසුව රජවන ගජබා රජු (ක්‍රි.ව 114- 136) සොළී රටෙන් ගෙන ආ, දොළොස් දහසක ජනයාගෙන් හාරසීයක් පදිංචි කරවන්නේ බලවිට රටේය. ඉන්පසුව බලවිට රට ”සාරසිය පත්තුව” විය. කාලයත් සමඟ සාරසිය පත්තුව “හාරිස්පත්තුව” ලෙසින් භාවිත කිරීමට පටන් ගත්තේය. හාරිස්පත්තුවට අයත් මැදවල ගමෙහි ජීවත් වූ, වළගම්බා කුමාරයාගේ ජීවිතයේ අප්‍රකට කතා බොහොමයකි. 

 


වළගම්බා කුමාරයා සිය මව්බිසව සමඟ පලා යාම2
ක්‍රි.පු 88 වසරේ එක දවසෙක සවස් කාලයේ තරුණ සහ මැදි විය අතර පසු වූ කාන්තාවක් තවත් කිහිප දෙනෙකු සමඟ කුරුණෑගල හරහා “කටුපුඑ නුවර” (මහනුවර) ට ගමන් කරමින් සිටින්නේ විඩාබර ගතියකිනි.  ඇයගේ එක්පසෙක කුඩා දරුවෙකි. ඊට අමතරව ගමන් මල්ලක් ද ඇයගේ උරහිසෙහි එල්ලෙමින් තිබේ. මුහුණ පියකරුය. විඩාබර ගතිය ඇයව තෙහෙට්ටුවට පත් කර ඇත. එක්වරම දකින කෙනෙකුට කුඩා දරුවා වඩා ගෙන පැමිණෙන තැනැත්තිය දාසියක ලෙස සිතනවා නිසැකය. ගලගෙදර කපොල්ල පසුකර ඉදිරියට ගමන් කරන පටු මාර්ගය අවසන් වන්නේ තැනිතලා බිමකිනි. වර්තමානයේ එතැන හෑදෙණිය නමින් හඳුන්වයි. එදා එම ප්‍රදේශය අයත් වූයේ බලවිට රටටය. හෑදෙණියෙන් වමට කුඩා අඩි පාරකි. එහි මිනිසුන් දෙදෙනකු සහ කාන්තාවක් නැවතී ගිමන් හරිමින් සිටිනු දක්නට ලැබේ. 


කුඩා දරුවා වඩාගෙන පැමිණෙන කාන්තාවගේ විඩාබර ගතිය දකින නැවතී සිටින කාන්තාව ඔවුන්ට අනුකම්පා කර පිහිට වීමට සිතයි.                             ඔබලා මේ සවස් යාමේ කොහෙද යන්නේ. ඇය තම හඬ අවදි කරයි. ඉදිරියට හමුවෙන්නේ කැලෑව. සතුන් ඉන්නවා. ඔය කුඩා ළමයත් එක්ක ගමන් කිරීම භයානකයි. එම නිසා අපිත් එක්ක යමු. අපේ ගෙවල් තියෙන්නේ මේ ළඟයි.        

අපි එන්නේ අනුරාධපුර ප්‍රදේශයේ ඉඳලයි.  මේ දවස්වල එහි හරිම කලබල. ජීවත්වීමට තරම් සුදුසු නැහැ. මගේ ස්වාමිපුරුෂයාත් සටන්වල දී මිය ගියා. අපි ආරක්ෂක ස්ථානයක් සොයමින් යනවා. මට සෝමා කියන්න. හොඳයි සෝමා.  අදට අපි අපේ ගෙදරට යමු. පසුව යන්නේ කොහේද කියා හිතමු. 
ඒ ආකාරයෙන් ඔවුන් සියල්ල ගමන් කරමින් සිටින්නේ මැදවල ප්‍රදේශයටය. වර්තමානයේ මැදවල නමින් කුඩා නගරයක් පිහිටා තිබුණද, එදා “මැදවෙල” යනුවෙන් හඳුන්වා ඇත්තේ විශාල කුඹුරු යායක් පිහිටි සාරවත් ප්‍රදේශයකටය. එහි වටේටම කඳු පංතියකි. මැද කුඹුරු යාය අපමණ සුන්දරත්වයක් පරිසරයට එක් කරයි. අදට ද එදා තිබු සුන්දරත්වය ඒ ආකාරයෙන්ම පවතිනවා යැයි සිතේ. 

 


වළගම්බා කුමාරයාගේ මව්බිසව දාසියක වෙයි4
මේ මැදවෙල කුඹුරු යාය අස්වද්දා තියෙන්නේ චාමචන්දා නැමති බ්‍රාහ්මණයෙකි. හාරිස්පත්තුව ප්‍රදේශයේ ජනාවාස ආරම්භ වූ මුල් කාලයේ අනුරාධපුර ප්‍රදේශයේ සිට චාමචන්දා බ්‍රහ්මණයා ඇතුඑ පිරිසක් මෙම ප්‍රදේශය හරහා ගමන් කර තියෙනවා. අඳුර වැටීගෙන එන විට ඔවුහු ගමන් කරමින් සිටියේ වර්තමානයේ “නියඹේපොල” කියන ස්ථානයෙනි. එහි සුදුසු ස්ථානයක් තෝරා රාත්‍රිය නැවතී ගත කර ඇත්තේ පසු දින පිටත්ව යාමේ අදහසින් විය යුතුය. ඔවුහු රැගෙන පැමිණි බඩු බාහිරාදිය සමඟ බෝධි පැළයක් ද තිබුණි. එය ඔවුන් නැවතී සිටි ස්ථානයේ ආරක්ෂිතව තැන්පත් කර ඇත. දවස් ගණනාවක් එක දිගට පැමිණි නිසා ඔවුහු දින කිහිපයක් මෙහි ගත කිරීමට සිදු විය. අවසානයේ එතැනින් නික්ම යාමට දිනය පැමිණ, බෝ පැළය තැන්පත් කළ ස්ථානයෙන් ලබා ගැනීමට ගියත්, එහි මුල් පොළොවට ඇද රෝපණය වී තිබුණේ සියලු දෙන පුදුමයට පත්කරමිනි.  ආශ්චර්යකි. මෙම බෝධින් වහන්සේට සුදුසු ස්ථානය මෙය වන්නට ඇති. බෝධි පැළය මෙහි වැඩෙන්නට හරිමු. මෙයින් කියවෙන්නේ මෙම භූමියේ ඇති වාසනාව නොවේද? බෝධීන් වහන්සේ නැතුව අපට තව දුරටත් ඉදිරියට යාමට හැකියාවකුත් නැහැ. එම නිසා අපිත් මේ අසලම පදිංචිය සඳහා තැනක් තෝරා ගනිමු. බ්‍රහ්මණයා තම පිරිසෙන් අසා, තීරණය කර ඒ අසලම පිහිටි “තෝරදෙණිය” කන්ද පිහිටි ප්‍රදේශයේ නිවෙස් සාදා පදිංචි විය. 


ජීවත්වීම සඳහා ආහාර ද අවශ්‍යය. ඒ සඳහා පහළ කොටසේ කුඹුරු යායක් අස්වද්දා තිබේ. එම කුඹුරු අස්වැද්දූ ප්‍රදේශය නම් කර තිබෙන්නේ “මැදවෙල” යන නමිනි. එම නම තැබීමට හේතු වී ඇත්තේ, කන්ද වටේ මැද වෙල පිහිටා තිබූ නිසා යැයි හාරිස්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති මැදවෙල රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දෙහිගම චන්දරතන හිමිපාණන් වහන්සේ පවසයි. 


කුඩා දරුවා සමඟ පැමිණි කාන්තාව වන සෝමා  ඇතුඑ පිරිස අවසානයේ එදින රාත්‍රි ගත කිරීම සඳහා දොරණෑගම ප්‍රදේශයේ ගමගෙදරට පැමිණියහ. පසුව එහි නැවතීමට තීරණය කරන ලදී. එවකට එම ගමෙහි ප්‍රධානියා වාසය කළ එම නිවෙස අසල කුඩා වරිච්චි බිත්ති සහිත පොල්අතු සෙවිලි කළ ගෙයක් සාදා දුන්නේය. ගමගෙදර වැඩ කරමින් ඇය කුඩා දරුවා රැක බලා ගත්තේ තම ඇස් දෙක මෙනි. දැන් දැන් ගමගෙදර ඉවුම් පිහුම් කටයුතු, රෙදී සේදීම, අතුපතු ගෑම ආදී වැඩ කටයුතු සිදු කරන්නේ සෝමාය. ඇය දාසියක් මෙන් වැඩ කරන්නීය. එහෙත් ඔවුන් කාගේ කවුරුන්ද යන්න කිසිවෙක් දන්නේ නැත. 
එක් දවසක් මෙම දාසියගේ පුතා නිවෙසින් පිටත්ව සෙල්ලම් කිරීම සඳහා ගම මැද පිහිටි වෙල්යාය වෙත ගමන් කරමින් සිටියේය. එහි එක් ස්ථානයක ළමුන් කිහිප දෙනෙක් තැඹිලි වතුර බොමින් සිටි අතර, ඔවුන් වෙත ගොස් මට තැඹිලි වතුර ටිකක් දෙන්නේ නැතිදැයි ඇසීය.        

උඹට ඕන ඇස්ස ගහලද. නැතුවද? එක් කටකාර කොලුවෙක් ඇසීය. 


කාලය වේගයෙන් ගෙවි ගියේය. කුඩා දරුවා දැන් වයස අවුරුදු දහතුනක පමණ වයසේ පසුවන ගැටවරයෙකි. ගමෙහි එවන් වයසේ පසුවන දරුවන් සමඟ කෙළි දෙලෙන් කාලය ගත කරයි. දහවල් සවස වේලාවක් අවේලාවක් නොමැතිව දරුවා සෙල්ලම් කිරීමට නිවෙසින් බැහැරව යයි. ඔහු ගැන සොයා බැලීමට සිටින්නේ මව පමණයි. මවගේ ආදරය නිසාම දරුවාට අවශ්‍ය නිදහස ලබා දී තිබුණි. 

1
ගමගෙදර වැඩ කරන අතර ආහාර පිසීම සඳහා ඇය දහවල් කාලයේ තම නිවෙසට පැමිනෙන්නීය. ආහාර පිසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්නේ ගම ගෙදරිනි. එක දවසක් හාල් ටිකක් ලබා ගැනීම සඳහා තම හාම්පුතාගේ නිවෙසට යන සෝමා.  

අනේ හාමිනේ හාල් ඇටයක්වත් ගෙදර නැහැ. මෙහෙත් හාල් නැහැ බං.  වී ටිකක් නම් දෙන්න පුඑවන්. එහෙත් ගමගෙදර ඉන්නේ මාත් සේවිකාවකුත් පමණයි. ඉනිමඟකුත් නැහැ. අටුවට ගොඩවෙන්න උඹටත් බැහැ. මටත් බැහැ. ඇයටත් බැහැ.  ඉතිං අපි මොකද කරන්නේ.  වී පුරවා ඇති අටුව අඩි පහක්, හයක් පමණ උසය. එයට ගොඩ වීමට හැකියාව ඇත්තේ පිරිමියකුට පමණි. කාන්තාවකට එය අපහසුය.    

 මොහොතක් කල්පනා කළ සෝමා, දරුවා කුසගින්නේ තැබිමට හැකියාවක් නැත. වී අවශ්‍ය වූ හෙයින් සිය උරහිස මතට නැඟ වී ටිකක් රැගෙන දෙන්න යැයි පැවසීය. 


එදවස සාමාන්‍ය කාන්තාවකගේ ඇඟ වසා ගත්තේ අද මෙන් ශරීරය සම්පූර්ණයෙන්ම ආවරණය කර ගැනීමෙන් නොවේ. ඉණෙන් පහළ කොටස රෙද්දකින් ද, උඩ කොටස ආවරණය සඳහා රෙදි කැබැල්ලක්ද ප්‍රයෝජනයට ගත්තාය. පපුව ප්‍රදේශය ආවරණය කරන රෙදි කැබැල්ල පිටුපසින් ගැටගසා ගනී. ඒ නිසා පිටුපස බොහෝ ප්‍රදේශයක් නිරාවරණය වී තිබුණි. මේනිසා සෝමාගේ උරහිසෙහි පා සටහන් කිහිපයකි. මේ කිසිවක් නොදන්නා සෝමා නිවෙසට ගොස් වී කොටා සහල් කර ආහාර සකස් කරමින් සිටින්නීය.  ඒ අතර සෙල්ලම් කිරීමට නිවෙසින් බැහැරව ගිය දරුවා ආපසු පැමිණියේය. මවගේ උරහිසෙහි ඇති පා සටහන් දකින ඔහු ඒ ගැන ඇයගෙන් විමසයි. මවද සිදු වූ දේ විස්තර කර පවසන්නීය.    

 මවගේ උරහිසට නැඟීමට ඉඩ ලබාදුන්නේ ඇයි. මා පැමිණෙන තෙක් සිටියා නම් මම ඇයගේ උරහිසට නැග වී අරගෙන දෙනවානේ.  පුතා කළබල වෙන්න එපා. අපි ගැන තවම කවුරුවත් දන්නේ නැහැ. කිසියම් හෙයකින් දැන ගතහොත් එය අපගේ ආරක්ෂාවට තර්ජනයක් වේවී. නිසි කාලය පැමිණෙන තෙක් ඉවසා ඉන්න. ඇය ඔහුගේ හිස අත ගා ආදරයෙන් පවසන්නීය.      

දරුවා ආහාරද නොගෙන කෝපයෙන් යුතුව නිවෙසින් පිටව ගොස් අනෙක් දරුවන් සෙල්ලම් කරන ස්ථානයේ නැවතුණි.

 


වළගම්බා කුමාරයා සොයා සේනාව පැමිණෙයි
එදින තවත් අපූර්ව දෙයක් සිදුවෙමින් පැවතිණි. ඉතාමත් අලංකාර ලෙස සරසා ගත් ඇතෙක් ඇමතියන් කිහිප දෙනෙක් හේවායන් පිරිසක් සමඟ වූ සේනාවක් ළමුන් සෙල්ලම් කරන ස්ථානයට පැමිණියහ. වර්තමානයේ එතැන මුල්මැඩිනාව නමින් හඳුන්වයි. එහි විශාල නුග ගසක් පැවති අතර, කිසිවෙකුටත් නොපෙනෙන ආකාරයෙන් සෝමාගේ දරුවා ගසට නැඟ අතු පතරේ සැඟවිණි. නුගගස අසලට පැමිණි හස්තියා ගස මුල දණගසා ගත්තේ රැස්ව සිටි ජනතාව පුදුමයට පත්කරමිනි. සැඟ වී සිටි දරුවාට ගසෙන් බසිනවා හැර වෙනත් විකල්පයක් නොමැත. ඔහු ගසෙන් බැස රාජ පුරුෂයන් ඉදිරියට පැමිණියේය.    

මේ ඉන්නේ අපේ වළගම්බා කුමාරයා. අපි ඔබතුමා සොයන්න කොතරම් වෙහෙසුනාද. කුමාරයා මහත් හරසරින් පිළිගෙන ඇතු පිට ඉන්දවා, පසුව මව ද රැගෙන ආපසු අනුරාධපුරයට   (කුළුගම්මන සිය පත්තුවේ පල්කුඹුරේ මුල්මැඬිියාවේදී වළගම්බා කුමරු හැඳිනගත් රාජකීය ඇතු දණ ගැසීම වූ සිද්ධිය පිළිබඳ තොරතුරු සඳහන් කරමින් කෙටූ ගලක් එම ස්ථානයේ තිබූ බව ලෝරි පවසයි. මෑතක් වනතුරු එම සිද්ධිය කෙටු ගලක් සහ නුග ගසක්ද පිහිටා තිබු බව පූජ්‍ය දෙහිගම චන්දරතන හිමිපාණන් වහන්සේද තහවුරු කරයි.) 


මේ ආකාරයෙන් වළගම්බා කුමාරයා තම මව් බිසව සමඟ අනුරාධපුරයේ සිට හාරිස්පත්තුවට පැමිණ තිබෙන්නේ ඇයිද යන්න නිස්චිත තොරතුරු නොමැත. එසේ වුවත්, ජනප්‍රවාදයෙහි සඳහන් වන ආකාරයට සද්ධාතිස්ස රජතුමාගේ අග බිසව සිය බාල පුතු වූ වට්ටගාමිණී අභය හෙවත් වළගම්බාවත් රැගෙන පලා යාමට සිදු වන්නේ සද්ධාතිස්ස රජතුමාගේ තෙවෙනි පුතු වූ ඛල්ලාටනාග රජුව සිටියදී, ඔහු මරා දැමීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවීම නිසාය. එතුමාගේ වෙනත් බිසවකගේ දුවක වූ සුමනා දේවියගේ අභය, උත්තර, තිස්ස යන පුතුන් තිදෙනා විසින් කළ කුමන්ත්‍රණයක් හෙළිවීම නිසා බව සඳහන්ය. පසුව ඔවුන් තිදෙනා ගිරි නිඝන්ටයාගේ ආරාමයේදී ගින්නකට පැන සියදිවි නසා ගත් පුවතක් ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාස පොතෙහි සඳහන් වේ. 

 


ඇස්ස ගැසු අයුරින් දරුවන් මැරූ හැටි
ඛල්ලාටනාගගේ අභාවයෙන් පසු ඊළඟට රජකමට සුදුසු වළගම්බා කුමාරයා සොයා අනුරාධපුරයේ සිට සේනාව පැමිණ තිබෙන්නේ ඒ නිසාය. වළගම්බා කුමාරයා අනුරාධපුරයට පිටත්ව යාමට පෙර කෝපයෙන් යුතුව මවගේ උරහිසට පය තැබූ දරුවා පමණක් නොව, තැඹිලි වතුර ඉල්ලීමේ දී ඇස්ස ගසා දෙන්නද කියා ඇසූ දරුවෝ ද මීට අයත් වූහ. ඒ අනුව  “හැට ඈඳැත්තක්” දරුවන් ඝාතනය කළ බවකි. වර්තමානයේ “පැට්ටාදෙණිය” නමින් හැඳින්වෙන්නේ එම දරුවන් ඝාතනය කළ භූමිය බවට පිළිගැනීමක් ඇත. 


රාජපුරුෂයන් ගමෙහි සිටි සියලුම පිරිමි දරුවන් පැට්ටාදෙණියේ කුඹුරු යායට ගෙන ගොස්, එහි වලවල් හාරා ළමුන්ගේ හිස පමණක් පොළොවෙන් උඩට මතුව එන අයුරින් තබා, ඇතෙකු බැඳි නඟුලක් ආධාරයෙන් ලියද්ද පුරා ගමන් කරවා ඇත්තේ ඇස්ස ගසන ආකාරය සිහි ගන්වමිනි.  ඒ ආකාරයෙන් පැටවුන් වැනි දරුවන් මරා දැමූ ස්ථානය පැට්ටාදෙණිය නමින් ව්‍යවහාරයට පැමිණ තිබේ. එය සංකේතවත් කිරීම සඳහා මැටි මුට්ටියක් කොස් ගසක එල්ලා තබා ඇත. එම කොස් ගස දොරණෑගම කෘෂි සේවා මධ්‍යස්ථානයේ පිහිටා ඇත. (මෙම කොස් ගස මෑතක සිට විනාශයට යමින් පැවතීම කනගාටුවට කරුණකි. වසර සිය ගණනක් පැරණි මෙම කොස් ගස වලගම්බා කුමාරයා ගේ ජීවිත කතාවේ තවත් බොහෝ තොරතුරු සැඟව තිබෙනවාට සැක නැත. එම නිසා එය විනාශයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අදාළ බලධාරීන් විසින් කිසියම් පියවරක් ගනු ලැබිය යුතුව තිබේ.) 

 

24_RA_P_4

චාමචන්දා බ්‍රහ්මණයා විසින් අස්වද්දන ලද මැදවෙල කුඹුරු යාය. මැදවල යන නම එම ප්‍රදේශයට ලැබුණේ මෙම කුඹුරු යාය නිසාය    

 


ජය සංඛය තෙවරක් නාද වීම
මැදවල සන්නසෙහි සඳහන් වන ආකාරයට වළගම්බා රජතුමා දෙවන වර මැදවලට පැමිණ තිබෙන්නේ දෙමළ ආක්‍රමණය නිසා සිය බිසව ද සමගින් මායා රටට පලා යන අතරතුරදීය. පසුව මලය රටේ බලවිටි රටට පැමිණ වසර දාහතරක් වාසය කළේය. සේනා සංවිධානය කරමින් අප්‍රසිද්ධියේ ජීවත් වූ රජතුමා. තවත් දවස් කිහිපයක් ගත කිරීමෙන් පසු මෙසේ සිතන්නට විය.        

මා වැන්නෙකුට තවදුරටත් අප්‍රසිද්ධියේ ජීවත්වීමෙන් පලක් නැත. දෙමලුන් සමූහ ඝාතනය කළ යුතුය. රජු වහාම කටුපුඑ නුවරට (මහනුවරට) ගොස් එහි සඟවා තිබූ මඟුල් කඩුව ගෙන  මුල්මැඬිනාවට (මුල්මැඬියාව) ගියේය. එහි දී ආසනයක් සකස් කර ජය සංඛය ඒ මත තබා අධිෂ්ඨාන කර සිටියේ නැවතත් තමන් හට රජවීමට ලැබෙන්නේ නම්, ජය සංඛය ආකස්මිකව නාද විය යුතුය කියාය.                                                                                         පුදුමයකි. සංඛය නාද විය. එක් වරක් පමණක් නොව, තෙවරක්ම නාද වූයේ සේනාවෝ ද විස්මයට පත් කරමිනි. සේනාවට ද එයින් පිබිදීමක් ඇති විය. තම ප්‍රාර්ථනය ඉටු වන බව තවදුරටත් පසක් කර ගත් රජතුමා වහාම සේනාව කැටුව අනුරාධපුරයට ගොස් දෙමලුන් හා යුද්ධ කර ඔවුහු මරා නැවතත් රාජ්‍යය අත්පත් කර ගත්තේය. 


වළගම්බා රජතුමා අනුරාධපුරයේ අභයගිරි විහාරය ඉදිකිරීමටත් පෙර මැදවෙල විහාරය කරවූ බව ප්‍රදේශයේ ජනතාව අතර පවතින පිළිගැනීමය. ක්‍රි.ව 1755 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පූජා කරනු ලැබ ඇති තඹ සන්නසට අනුව මෙම විහාරය කරවා ඇත්තේ වළගම්බා රජතුමාය. (ක්‍රි.පූ 89-77). එය දිගින් අඟල් පහළොවක් හා පළලින් අඟල් තුනක් පමණ වේ. මෙම රජමහා විහාරය කරවීමට හේතු වී ඇත්තේ තමන් බොහෝ කාලයක් දුක් ගෙන ජීවත් වූ ප්‍රදේශය චිරාත් කාලයක් පවතින ආකාරයේ යමක් සිදු කිරීමට අවශ්‍යව තිබූ හෙයිනි. ඒ අනුව වළගම්දෙණියේ මාලිගා සාදා, තුන්බෝ පිහිටුවා මැදවෙල විහාරය කරවූ බව එහි සඳහන් වේ. 


කුඩා කළ මැදවෙල ප්‍රදේශයේ හැදී වැඩී අනුරාධපුරයට ගොස් දෙමලුන් හා සටන් කළද, පැරදී පළා යාමට සිදු විය. ඉන්පසු දෙවෙනි වරට පැමිණ වසර දාහතරක් සැඟව ජීවත් වෙමින් සේනාව සංවිධානය කරන්නේ  මැදවල ආශ්‍රිත ප්‍රදේශයෙහිය. එයට කෘතගුණ සැලකිමක් වශයෙන් මැදවල විහාරස්ථානය ඉඳි කෙරේ. මැදවෙල විහාර ඉතිහාසයේ දෙවැනි අදියර එළඹෙන්නේ කුරුණෑගල යුගයේදීය. ඒ නාගල වනරතන නම් හිමි නම නිසාය. 


කුරුණෑගල රජකම් කළ හතරවන පැරකුම්බා රජු සහ යුවරජු බෝධා මාපානන්ද අතර යුද්ධයක් පැවති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නාගල වනරතන හිමියන් ඇතුඑ භික්ෂූන් වහන්සේලා කිහිප නමකට පලා යාමට සිදුවිය. නාගල වනරතන හිමියන් පලාගොස් නැවතුණේ මැදවෙල පිටියේය. ඒ වන විට මැදවෙල විහාරය නටඹුන්ව පැවතියේ ය. මේ බව දැදිගම සිටි රජතුමාට දැනුම් දීමෙන් පසු සත් රියන් දෙමහල් පිළිමගෙයක් තනන ලද අතර, එහි උඩ මාලයෙහි වැඩ සිටින පිළිම තුන් නමක් කරවා, වියත් සිත්තම් හා බිත්තිවල රූප 1196 ක්ද, යට මාලයෙහි මී ලීයෙන් කළ තොරණක් සහිතව වඡ්‍රාසනාරූඩ පිළිමයක්ද, ශක්‍ර, බ්‍රහ්ම, විෂ්ණූ, මහේෂ්වර ආදී ප්‍රතිමාද කරවා දිව්‍ය ලෝකද, බුද්ධ චරිතයට අදාළ අවස්ථාවන් හා ජාතක කතාද අඳින ලදී. ඉන්පසුව මෙම විහාරය ප්‍රතිසංස්කරණය කර ඇත්තේ ගම්පොළ පරාක්‍රමබාහු රජතුමාය. මේ අවස්ථාව වන විට වැඩසිට ඇත්තේ නවරත්න චන්දාජෝති යන හිමිවරුන්ය.  


එක් දවසෙක පරාක්‍රමබාහු රජතුමා ගම්පොළ සිට කුරුණෑගලට ගමන් කරමින් සිටිය දී මැදවෙල විහාරය ආසන්නයේ ඇති රත්ඇළ ළඟදී රාජකීය හස්තියා දණ ගැසුවේය. එම අවස්ථාවේ දී රජතුමා ඇමතියන් ගෙන් විමසා සිටියේ මේ ආසන්නයේ කිසියම් විහාරයක්, දාගැබක් හෝ බෝධියක් තිබේදැයි යන්න විමසා බලන ලෙසය. ඒ අනුව නවරත්න හිමියන් ගෙන්වා සියලු තොරතුරු දැන ගත් පසු, රජු අණ කර සිටියේ සාරසිය පත්තුවේ සියලුම ප්‍රධානීන්ට මෙම විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු අරඹන ලෙසය. විහාර කර්මාන්තය අවසන් වූ පසු රාජකීය හස්තියාගේ දළින් නිමවන ලද බුදුපිළිම දෙකක්ද පූජා කරන බවට ද රජු පොරොන්දු විය. එවිට හස්තියා නැඟිට පුරුදු පරිදි ගමන ආරම්භ කළේය. 

 


පල්ලැක්කිය නිසා මැදවෙල විහාරයට ගමක් අහිමි වීය
ඓතිහාසික මැදවෙල රජමහා විහාරය සම්බන්ධ තවත් කතාවක් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේදී සිදු වී තිබෙන බව සි.එච් ලොරිගේ ඨ්’ෑඔඔෑෑඍ ධත්‍ ඔ්‍යෑ ක්‍ෑභඔඍ්ඛ ඡඍධඪෂභක්‍ෑ ධත්‍ ක්‍ෑශඛධභ   නම් කෘතියෙහි සඳහන් වේ. එවකට උඩරට රාජ්‍යයේ රජුට පමණක් දෙවෙනි වූ බලවත්ම පුද්ගලයා වූයේ පිළිමතලව්වේ මහ අදිකාරම්ය. ඔහුගේ බිරිඳ වන මාරලන්ද කුමාරිහාමි පරිවාර කන්තාවන්ද කැටුව උඩරට මහනුවර සිට සත් කෝරළය වෙත ගමන් කරන අතර, සිය ගමන් මඟ ආසන්නයේ මැදවල රජ මහා විහාරස්ථානය පිහිටා තිබුණි. තවදුරටත් ඇයට දෙපයින් ඇවිද යාමට හැකියාවක් නොමැති බැවින්, විහාරස්ථානයට ගොස් නායක ස්වාමීන් වහන්සේ ගෙන් විහාරස්ථානය සතු “පල්ලැක්කිය” ලබා දෙන ලෙස ඉල්ලීමක් කළාය.    

සාංඝික දේපළක් කාන්තාවක ගේ පරිහරණය සඳහා දීම අකැපයි කුමාරිහාමි. එම නිසා ඔබතුමියගේ ඉල්ලීම ඉවත දැමීමට සිදුවෙනවා යැයි පැවසීය.  රජුගේ බලවත් පුද්ගලයාගේ බිරිඳගේ ඉල්ලීම පවා ප්‍රතික්ෂේප කිරීමට තරම් උන් වහන්සේ එඩිතර විය.                                                                           තමන්ට සිදු වූ මදිපුංචිකම ගැන අමනාපයෙන් ඇය සිය ගමන ගියාය.  එම පල්ලැක්කිය විහාරස්ථානයට පූජා කර තිබෙන්නේ වළගම්බා රජතුමාය. එම නිසා එය විහාරස්ථානය සතු දේපළකි. මේ බව පිළිමතලව්වේ අදිකාරම්ට පැමිණිලි කිරීමේ ප්‍රතිඑලය වූයේ, පල්ලැක්කිය ලබා ගැනීමට නොහැකි නිසා, විහාරය සතු දේපලක් වූ අංගොඩ ගම ආපසු ගෙන දළදා මාලිගාවට පූජා කිරීමට මහ අදිකාරම විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පොළඹවා ගැනීමයි. මැදවෙල විහාරයට මේ ආකාරයෙන් ගමක් අහිමි කළ පල්ලැක්කිය තවමත් එම විහාරස්ථානය සතුව පවතී. 


ස්තුතිය -: හාරිස්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති මැදවෙල රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දෙහිගම චන්දරතන හිමිපාණන් වහන්සේට. විහාරාධිකාරි දෙහිගම සුමංගල හිමියන් වහන්සේට සහ මැදවල එල්.පී.ජී ලලිත් ලේල්වල, ඒ. අලවත්තේගම, ඔස්මන්ඞ් ඒකනායක, නවරත්න බණ්ඩා විරකෝන්, ඩී.එම් ගංගප්ප්‍රිය දිසානායක යන මහත්වරුන්ට. 

m

අදහස්(11) බැලූවෝ (13020)

ඇස්ස ගසා දරුවන් මැරූ වළගම්බා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

හසිත 2016-10-02 05:03:14

ඉතාම වැදගත් ලිපියක් .ලංකාදීපයට ස්තුතියි.ගමේ නම මැදවෙල වශයෙන් භාවිත කරනවා (බ)

හසිත 2016-10-02 05:07:20

මෙතරම් වටිනා විහාරයකට හා ප්‍රදේශයට ලැබිය යුතු නිසි වටිනාකමක් ලැබී තිබේද? මැදවෙල මිනිස්සු මීට වඩා සංවිධානාත්මකව වැඩ කරනවානම් අද තියන තත්වයට වඩා දියුණුවක් අත්කරගන්නා තිබුණා. (බ)

ඇන්ජලෝ 2016-10-05 01:18:22

රටේ පොහොසත් පන්සල් වල සල්ලි මේ වගේ රැකගතයුතු පන්සල් නඩත්තුවට යොදනවා නම් හොඳයි (නි)

රසාදරී 2016-10-12 03:23:57

ඉතාම හොඳ ලිපියක්

ආදිත්‍ය 2016-10-27 05:01:46

අහිංසක දරුවන් සියල්ල මරපු එකේ සාධාරණද? (බ)

විමල් 2016-10-27 13:59:02

1815 රජු පාවාදී හෝ ප්‍රජාතන්ත්‍රවාදය ආ එක හොඳයි (නි)

ප්‍රියන්ත 2016-10-29 00:32:59

ඉතාම වැදගත් ලිපියක්. මෙවැනි ලිපි ඉදිරිපත් කිරිම ගැන ලංකාදීපයට ගොඩාක් ස්තුතියි! (නි)

fb-icon බන්දු ධර්මරත්න 2016-11-29 11:55:32

ඊතා හොඳ ලිපියක්. මෙවැනි ලිපි තව තවත් පල කරන මෙන් ලංකාදීපයෙන් ඉල්ලා සිටිමි. (හේ)

සම්පත් 2017-01-06 08:53:32

හොද ලිපියකි. (ම)

චූලනී 2017-01-07 13:49:57

මෙය ඉතිහාසය සම්ම්බන්ධ ලිපියකි. වළගම්බා රජුගේ බොහෝ ක්‍රියාවන් මෙන්ම විවිධ ප්‍රාතිහාර්යයන්ද මෙහි සඳහන් වේ.

ජයකොඩි 2017-01-28 04:17:24

ඉතාම වැදගත් ලිපියකි. පළකිරීම සම්බන්ධව ස්තුතියි! (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :