2014 ඔක්තෝබර් මස 23 වැනි බ‍්‍රහස්පතින්දා

2014-10-23 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.129.3100 , විකුණුම් මිල රු.132.1900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.206.8200 , විකුණුම් මිල රු.212.7500 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.4600 , විකුණුම් මිල රු.167.8000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.134.5200 , විකුණුම් මිල රු.139.4100 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.114.2900 , විකුණුම් මිල රු.118.1500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.4100 , විකුණුම් මිල රු.116.6700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.101.1300 , විකුණුම් මිල රු.104.4600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2008 , විකුණුම් මිල රු.1.2390 |

සිනමාව හැඩ කළ මීදෙණිය වලව්වේ පුංචි මැණිකේ

2013 ඔක්තෝබර් මස 13 13:58:15 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

 

 

රැලි රැලි අල්ලා හැඩ කළ බෝරිච්චි අත් දැමූ ගවුමෙන් හැඩවූ මීදෙණිය වලව්වේ පුංචි මැණිකේ නාහෙට නාහන හිතුවක්කාරියක නොවුණත් පා පොඩි බිම ඔබා ඇවිදින වියේ සිටම පුංචි දඟකාරියක වූවාය.

එහෙත් මීදෙණිය රටේ මහත්තයාගේ මද්දුම දියණිය රුවට පිපුණු මලක් සේ මීදෙණිය වලව්වම පහන් කළාය. ඒ ඇගේ කවට කෙළි සිනා හඬින් පවුරක්ව නැඟුණ වලව්වේ විසල් ගාම්භීරත්වයට ළා සඳ කිරණක් වන් මෘදු සුන්දරත්වයක් නිතැතින්ම එක්වූ හෙයිනි.

අයිරාංගනී රොක්සානා මීදෙණිය පසු යුගයක අයිරාංගනී සේරසිංහ ලෙස කලාව නම් අඹරේ යුගයෙන් යුගයට දිදුලන තරුවක්ව රැුඳෙනු ඇතැයි වලව් පරපුරේ නෑ හිත මිතුරන්ට එදා කෙසේවත් නොසිතෙන්නට ඇත. ඒ වලව්වක ඉපදී හැදෙන වැඩෙන පුංචි මැණිකෙලා ලොකු මැණිකෙලා වෙද්දීම පරපුරට සරිලන පරපුරකින් කුමරෙකු සොයා රන් හුයෙන් බැඳෙන බැඳීමකට සුබ නැකත් සෑදීම මවුපියන්ගේ බලාපොරොත්තුව වීම එකල දකින්නට තිබූ සමාජ සම්ප‍්‍රදාය වූ නිසාය.

එනමුත් ඉරණම වරෙක සියල්ලට වඩා බලවත්ය. අතරමග නතර කළ නොහැකි වූ ගමනකට බලවත් වූ ග‍්‍රහ තරු බලයද හේතු වූවාට සැක නැත. සිරියාවට සිනාසෙන සිරියාවන්ත අත්තම්මා කෙනකු ලෙස මුණුපුරු ආදරයට පත් ඇය අදටත් බොහෝ දෙනා විසින් අමතනු ලබන්නේ චණ්ඩි නැන්දා නොඑසේ නම් චණ්ඩි අත්තම්මා නමිනි.
 

අයිරාංගනී තරුණ වියේදී...
 
අයිරාංගනීගේ මව සහ පියාගේ මංගල ඡායාරූපය.
 
පුතුන් දෙදෙනා සමග.

ඇය ඉපදුණේ මුදුගොමුව යන ගම්මානයේය. වනමල් පිපෙන, අඹ, දඹ, නාරං, දොඩම් ගස් රූස්සෙට හැදුන, බණ්ඩි ගොයම් කලට වේලාවට කිරි වැදෙන අසිරිමත් සිරියාවෙන් තුඩ තුඩ සතුටම රැඳුන පුංචි ලස්සන ගම්මානයකය. පුරහඳ කඳු ගැටයකට ඉහළ අහසේ මෝදු වී මුළු ගම්මානයම සඳඑළියෙන් නහවන රාති‍්‍රයෙන් බබළන ගම්මානයකය.

‘‘ඇත්තටම ඒ ගම්මානය හරිම ලස්සනයි. ඒක හරි පුංචි ගමක්. රුවන්වැල්ලෙන් කෑගල්ල පැත්තට හැතැප්මක් විතර දුර යද්දී තමා මුදුගොමුව ගම හමුවෙන්නේ. අම්මයි, තාත්තයි, මමයි, අක්කයි, මල්ලියි, නංගියි තමා පවුලේ හිටියේ. නංගි නම් පුංචි කාලයේ ඉඳන්ම හැඳුනේ අපේ ලොකු අම්මා ළඟ. ඒ ලොකු අම්මට දරුවෝ හිටියේ නැති නිසා. ඉඳලා හිටලා නංගි ගෙදර ආවා. ඒ නිසා අක්කයි, මායි, මල්ලියි තමා එකටම හැදුණේ.

මගේ තාත්තා රටේ මහත්තයා කෙනෙක්. අම්මා තාත්තාගේ වැඩයි අපේ වැඩයි බලාගෙන ගෙදරට වෙලා හිටියා. ඒ කාලය අදට වඩා හරි වෙනස්. කරවනැල්ල ඉස්පිරිතාලයේ දොස්තර මහත්තුරු, ආණ්ඩුවේ රැුකියා කරපු එක්කෙනෙක් දෙන්නෙක් ඒ කාලේ ? අපේ ගෙදර ඇවිත් අම්මයි තාත්තයි එක්ක කතා බහ කරලා ආගන්තුක සත්කාර විඳලා යනවා. අද වගේ හුඟක් දුර විහිදුන සමාජ සම්බන්ධතා එදා තිබුණේ නෑ.

ගෙදර තිබුණේ වත්තක් මැද්දේ හරි නිදහස් පරිසරයක. අප දුවලා පැනලා හිතේ හැටියට සෙල්ලම් කළා.
අපිත් අපේ ගෙදරට ආ අයගේ ගෙවල්වලට ඉඳලා හිටලා ගියා. ගමේ හිටපු ළමයි එක්ක අපි සෙල්ලම් කළා. කතා බහ කළා. ගමේ ළමයි එක්ක සෙල්ලම් කරන්න එපා කතා බහකරන්න එපා එහෙම කියලා අම්මා තාත්තා කවදාවත් අපට තහංචි දැම්මේ නෑ. අපි හැදුණේ වැඩුණේ ඒ ළමයි එක්ක තමයි.’’

ඒ අතීත මතක කන්දරාවක මතක අල්පමාත‍්‍රයක් පමණී.

වයලට් එල්ලාවල සහ ජෝශප් හර්කියුලිස් මීදෙණිය යුවතිපතීහු පාරම්පරික උරුමයෙන්ම ධනවත්තු වූහ. මෝරන තල මල සේම සාර සුබාවට ගෙවුණු ජීවිතවල සැප සතුට හැරෙන්නට සංකා දුක් වේඳනා රැඳුණේම නැති තරම්ය. පිය විප්පයෝග දුක් දෝමනස්යකදී හැරෙන්නට හඬන්නට කරුණක් තිබුණේම නැති තරම්ය.

‘‘මගේ ලොකු නැන්දා තමා ඇඞ්ලින් මොලමුරේ කියන්නේ. ලොකු නැන්දා විවාහ වෙලා හිටියේ. ඒ.එෆ්. මොලමුරේ මහත්තයත් සමග. ලොකු නැන්දා මාව පුංචි කාලයේදීම කොළඹ එක්ක ආවා. නැන්දාගේ ගේ තිබුණේ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය ආසන්නයේමයි. නැන්දා මාව ශාන්ත බිජට් කන්‍යාරාමයට ඇතුළු කළා. මම එහි ඉගෙන ගත්තේ අවුරුද්දක විතර කාලයක්.

අක්කා ගියේ බිෂොප් විද්‍යාලයට. මටත්  ඕනෑ වුණා අක්කා ගිය ඉස්කෝලෙට යන්න. මොකද අක්කා ගෙදර ආවම මා වෙන ඉස්කෝලෙකට යන ළමයෙක් කියලා මා දිහා බලන්නෙවත් නෑ. ඒ නිසයි මටත් බිෂොප් විද්‍යාලයට යන්න වුවමනා වුණේ.
අවුරුදු 6 ක් විතර වෙද්දී මම බිෂොප් විද්‍යාලයට ඇතුළු වුණා. බිෂොප් විද්‍යාලයේ නේවාසිකාගාරයේ තමා මම නැවතී හිටියේ.’’
පුංචි බාධා කිරීමක් කරන්නට සිත්වුණේ නේවාසිකාගාර ජීවිතය කෙළෙසදැයි අසන්නට සිත්වූ නිසාවෙනි.

‘‘නේවාසිකාගාරයේ යාළුවෝ හුඟාක් හිටියා. ඒ සමහර යාළුවෝ අද වෙද්දී මේ ලෝකය අත්හැරලා ගිහින්. ජීවත්ව ඉන්න යාළුවෝත් එක්ක එදා තිබුණු මිත‍්‍රත්වය අදටත් එහෙමම තියෙනවා. මගේ ළඟින්ම හිටපු යෙහෙළියත් මේ වෙද්දී මැරිලා. එයා දක්ෂ ගෝල්ෆ් ක‍්‍රීඩිකාවක්. නම ෆ‍්‍රෑම් ප‍්‍රනාන්දු. විවාහ වෙලා හිටියෙත් දක්ෂ ගෝල්ෆ් කී‍්‍රඩකයකු සමග. ඉන්න යාළුවෝ අදටත් ඉඳලා හිටලා හම්බවෙනවා.

විදේශීය ශිෂ්‍යාවනුත් නේවාසිකාගාරයේ හිටියා. ඒ අයත් එක්කත් අපි හරිම යාළුයි. චීනයේ, එංගලන්තයේ, ජපානයේ, මාලදිවයිනේ මේ වගේ හුඟාක් රටවල ළමයි නේවාසිකාගාරයේ හිටියා. ජපන් යුද්ධය කාලයේ ඒ ජපන් ළමයි ඉස්කෝලෙන් අයින් වෙලා ගියා. මම අදටත් දන් නෑ එයාලා කොහේද ගියේ කියලා. ඒ ජපන් ළමයි ගියාම අපට හුඟාක් දුක හිතුණා. ඒ අපි යාළුවෝ විදිහට හිටපු නිසා. ජාති ආගම් භේදයක් නැතුව තමා අපි හැඳුණේ වැඩුණේ.නේවාසිකාගාර ජීවිතේම කාලසටහනක් වගේ. උදේට දඩා බඩාං ගාලා සීනුව නාද කරද්දී ඇහැරෙන්න  ඕනෑ. සීනුව ඇහෙන හැම දවසකම මම කල්පනා කරනවා කවද්ද අප්පේ මේ බෙල් එකෙන් අයින් වෙන්නේ කියලා.

නැගිටලා දත් මැදලා මූණු හෝදලා ලෑස්තිවෙලා අපි යන්නේ කෑම ශාලාවට දෙන දේ කන්න  ඕනෑ. එහෙම තමා නේවාසිකාගාර නීති. ඊළඟට අපි ”චැපල්” එකට යනවා. ඒ යාඥාවට. යාඥාවෙන් පසුව තමා ඉස්කෝලෙ නිල ඇඳුම ඇඳගෙන පාසල් යන්නේ.

මම ඉස්කෝලේදී පියානෝව ගහන්න ඉගෙන ගත්තා. නෙට්බොල්, ටෙනිස් කී‍්‍රඩා කළා. සෙනසුරාදට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය පිහිණුම් තටාකයට අපව එක්ක යනවා පිහිණුම් කී‍්‍රඩාව උගන්වන්න. මා පුංචි කාලයේ සිටම පිහිනුම් කී‍්‍රඩාව කළා.

මගේ තාත්තගේ අම්මා කි‍්‍රස්තියානි, එතකොට ඒ අත්තම්මට වයස අවුරුදු 84 යි. ඒ අත්තම්මා කීවා එයාට ජෙරුසලමට යන්න  ඕනෑ එතන තමයි එයාට මැරෙන්න  ඕන කියලා. එයා හොඳ බැතිමතියක්. ජෙරුසලමෙදිම තමා අත්තම්මා මැරුණේ. එයා වැළලූවෝත් එහෙමයි. ලස්සන සොහොන් කොතක් එයා වෙනුවෙන් ජෙරුසලමේ ඉදිවී තිබෙනවා.

මගේ අත්තා හොඳ බෞද්ධයෙක්. පන්සල තිබුණේ නිවෙස කිට්ටුවමයි. ඒ නිවෙසටම හැමදාම වගේ හාමුදුරුවෝ වැඩම කළා. හාමුදුරුවෝ වෙනුවෙන් සුදුරෙද්ද එළපු පුටුවක් සහ බුලත් හෙප්පුවක් හැමදාම වගේ ලෑස්ති වුණා.

අත්තා හැමදාම පන්සලට දානය දුන්නා. බෞද්ධx කි‍්‍රස්තියානි හොඳ සම්මිශ‍්‍රණයක් ඒ නිවෙසේ තිබුණා. අත්තා හැමදාම කීවා ඉරිදාට කාරෙක ලෑස්ති කරනවා අත්තම්මට පල්ලියට යන්න. හැම ඉරිදාම අත්තම්මා අවිස්සාවේල්ල පල්ලියට ගිහින්  ඕගන් එක වාදනය කරනවා. මම සිංදු කියන්න ඉගෙන ගත්තේ පල්ලියෙන්. ඒත් අත්තම්මා හාමුදුරුවන්ට දානය බෙදලා පිළිගන්වන්නෙත් හරිම භක්තියකින්. මට රොක්සානා කියන නම දුන්නෙත් අත්තම්මා. ඒ මා කිතුණු බැතිමතෙක් ලෙස බෞතිස්ම කරද්දී. බෞතිස්ම ලැබුවාට බෞද්ධ කි‍්‍රස්තියානි මිශ‍්‍ර පරිසරයක තමා මම හැදුණේ.’’

මීදෙණිය වලව්වේ පුංචි මැණිකෙලාගේ තනි නොතනියට මෙන් අලිxඇතුන් කිහිප දෙනෙක් ද සිටියහ.

‘‘ගෙයි පිටිපස්සේ තමා අලි බැඳලා හිටියේ. අපි පොඩි කාලේ අලි තුන් දෙනෙක් හිටියා. අපේ අත්තට නම් අලි හුඟාක් අයිති වෙලා හිටිය බව මම අහලා තියෙනවා.

එක අලියෙක්ගේ නම වාසනා. වාසනාට තමා අපි වැඩිපුරම ආදරය කළේ. එයා අපේ වාසනාවටම එයා පුංචි පැටියෙක් කාලයේදීම තාත්තට අයිති වෙලා තිබුණා. එයා වාසනාවන්තයි. ඒ නිසාමයි අපි එයාට වාසනා කියලා තිබ්බේ.

අනිත් අලි දෙන්නගෙන් එක් කෙනෙක්ගේ ඇස් පෙනීම අඩුයි.

 

අයිරාංගනීගේ සීයා සහ මිත්තනිය සිය දරුවන් සමග.

 


අපි එයාට කීවේ කණ අලියා කියලා. ඊළඟ කෙනා බණ්ඩා පැටියා. බණ්ඩා පැටියාගේ චණ්ඩිකම් වැඩියි. වාසනා වගේ කීකරු නෑ. පස්සේ අපි බණ්ඩා පැටියා චණ්ඩි වැඩි නිසාම වෙන කාටදෝ හදා ගන්න දුන්නා.

අපි පුංචි කාලයේ අලි එක්ක සෙල්ලම් කළා. හැබැයි වැඩිය අලින්ගේ පිට උඩ නම් ගියේ නෑ. මම දවසක් කණ අලියාගේ බඩයටින් රිංගන්න ගිහින් නම් අම්මගෙන් හොඳටම බැණුම් ඇහුවා.’’

ඇය ඒ අතීතය සිහිපත් කරමින් සිනාසුණාය.

ඒ සිතට අපට බලකරන්නේ ඒ කතාබහම තවත් දිගුවකට රැගෙන යන්නටය.

‘‘මගේ ලොකු අම්මාගේ දුවයි එයාගේ මහත්තයයි ඉන්දියාවට ගියා ටික දවසකට. ඒ යද්දී එයාලගේ පුංචි දරුවා අපි ළඟ තියලා ගියේ. හරිම ලස්සන පුංචි දරුවෙක්. මට දවසක් කවුදෝ කීවා අලියෙක්ගේ බඩ යටින් රිංගුවොත් පුංචි දරුවෝ හුඟාක් නිර්භීත වෙනවා කියලා මට එතකොට වයස අවුරුදු දාහතරක් විතර ඇති. මට උස්ස ගන්නත් බැරි තරම් මහතට හිටිය අර දරුවත් වඩාගෙන අර අලියාගේ බට යටින් රිංගුවා. අම්මාට ආරංචි වුණා විතරයි අම්මා මට හොඳටම බැණගෙන බැණගෙන ගියා. ඔයාට පිස්සුද වෙන කාගෙ දරුවෙක් නේද? මොනවා හරි වුණා නම් කියලා.

මම කීවා නෑ ඒ අලියා හරි හොඳයි කියලා. අම්මා කීවා ඌ සතෙක්නේ ඌ දන්නවායෑ මේ පොඩි එකෙක් ඔයා මෙහෙ ළමයෙක් කියලා. ඔන්න ඔහොම කියලා මට හොඳටම බැන්නා. පුංචි කාලයේ ඉඳන්ම මා දඟ ළමයෙක්. මගේ අම්මාගේ අම්මා මට චණ්ඩි කියලා නමත් දැම්මා. අදටත් හුඟ දෙනෙක් මට කතා කරන්නේ චණ්ඩි කියලා. සමහරු පුංචි අය මට චණ්ඩි නැන්දා, චණ්ඩි අත්තම්මා කියලත් කතා කරනවා. බෝතලේ වලව්වත් එක්ක අපේ ඍජු නෑදෑකමක් තිබුණේ නෑ. ඒත් බෝතලේ වලව්වේ පරපුරත් එක්ක අපේ බොහෝ කිට්ටු හිතවත්කමක් තිබුණා. යාළුකමක් තිබුණා.’’

‘‘ඞී.ඇස්. සේනානායක අගමැතිතුමා අපේ ගෙදර එනවා ඒ දවස්වල. අපේ නැන්දලා දිහාටත් එනවා. මට මතකයි  ඒ දවස්වල එතුමා අශ්වයා පිටේ එනවා. අශ්වයා පිටි පස්සේ බල්ලෝ ?නක් දුවගෙන එනවා. මම හරි බයයි. ඒ බල්ලෝ දකිද්දී. මම කාමරයට ගිහින් ඇද උඩ නගිනවා. ඒ බල්ලන්ට බයට. ඞී.එස්. අගමැතිතුමාට හොඳ ලොකු හිනාවක් තිබුණා.’’

‘‘මම එච්.එස්.සී. කරන්න මගේ නැන්දගේ දුව හිටිය පේරාදෙණියට ගියා. එයාගේ මහත්තයා ආණ්ඩුවේ ලොකු තනතුරක්  දරපු කෙනෙක්.

සේනානායක අගමැතිතුමා පේරාදෙණිය ඒ ගෙදරට ආවම හුඟාක් වෙලා කතා කර කර ඉන්නවා. එතුමා එක දවසක් අපට තමන් මුහුණ දුන්න කටුක අත්දැකීමක් අපට කීව හැටි මට තාම මතකයි. ඊයේ රෑ මට වෙච්ච දේ කියලා තමා කතාව පටන් ගත්තේ. අන්තිමේදී කීවේ මම මැරෙන්නම ගියා මා තව ටිකෙන් මැරිලා වැටෙනවා කියලා.’’

මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ එච්.එස්.සී. විභාගයට ඉගෙන ගත් අයිරාංගනී සිසුවිය ලංකා විශ්වවිද්‍යාලයට යන්නට වරම් ලද්දත් මීදෙණිය රටේ මහත්තයා ඊට එක හෙළාම විරුද්ධ විය. නෑදෑ හිතවතුන්ගේ තීරණය වුණේ ද සරසවිය ගැහැණු දරුවෙකුට ඔබින්නේ නැති බවය.

‘‘මම කන්නේ බොන්නේ නෑ කියලා කීවා මට සරසවියට යන්න නොදෙනවා නම්. එහෙම ඉඳලා රෑට හොරෙන් ශීතකරණය ඇරලා අනම් මනම් දේවල් අරගෙන කනවා. ඞී.ඇස්. අගමැතිතුමා තමා තාත්තට කීවේ දුවට විශ්වවිද්‍යාලයට යන්න දෙන්න. ඉස්සරහට ගෑනු ළමයි ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයට යයි කියලා. අන්තිමේ තාත්තා එකඟ වුණා. තාත්තා එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් කෙනෙක් වෙලත් තමා මාව විශ්වවිද්‍යාලයට යවන්න අකමැති වුණේ. තාත්තා කීවේම ලංකාවේ ගෑනු ළමයි විශ්වවිද්‍යාලයට යන්න  ඕන නෑ කියලා.

මම විශ්වවිද්‍යාලයට ගියේ අම්මාගේ හිතවතකුගේ නිවසේ සිටයි. සුමිත‍්‍රා පීරිස්ගේ මල්ලිත් මට සරසවියේදී හමුවූ හොඳම යාළුවෙක්. අපි හොඳම යාළුවෝ පස්දෙනෙක් හිටියා. මම හැදෑරුවේ කලා උපාධිය.

මම ඉස්කෝලේ යන කාලයේ සිටම නාට්‍යවලට සම්බන්ධ වුණා. උසස් බාලිකාවේ ඉද්දී අපේ ඉංගී‍්‍රසි ගුරුතුමියට  ඕනැ වුණා ඉංගී‍්‍රසි නාට්‍යයක් කරන්න. මා තමා එහි ප‍්‍රධාන චරිතය රඟපෑවේ. ඒක පිරිමි චරිතයක්. ඒ නාට්‍ය විවෘතව මහජනයාටත් පෙන්නුවා. ඒ නාට්‍ය බලන්න ආව එක්කෙනෙක් තමා වින්ස්ටන් සේරසිංහ කියන්නේ. මම දෙවැනි වතාවට විවාහ වුණේ එයත් එක්ක.

එයා මට පසුව කීවා එදා මාව දැක්ක පළමු දවසෙ කවදාවත් හිතුවේ නැතිලූ මම එයාගේ බිරිඳ වෙයි කියලා. සරසවියෙ ඉද්දීත් මම නාට්‍යවලට සම්බන්ධ වුණා. හැබැයි ඉංගී‍්‍රසි නාට්‍යයම තමා කළේ. විශ්වවිද්‍යාලයෙන් පිටතදී නිෂ්පාදනය කළ නාට්‍යවලත් රඟපෑවා. ඒ දවස්වල සල්ලිවලට නෙවෙයි රඟපෑවේ. අතින් වියදම් කරගෙන ගිහින් තමා නාට්‍යවලට සම්බන්ධ වුණේ.

ඒ කාලයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාත් එනවා ඔය නාට්‍ය බලන්න. එතුමාට හිතෙන්න ඇති මට රඟපාන්න පුළුවන් කියලා. ලෙස්ටර් මහත්තයා එංගලන්තයේ ඉඳන් ආව කාලය තමයි ඔය. මුලින්ම එතුමා මට ඇරියුම් කළේ වාර්තා චිත‍්‍රපටයක රඟපාන්න. මම එහි රඟපෑවා.’’

අයිරාංගනී නම් රංගනයේ කුසුම රේඛාව ඔස්සේ විකසිත වූයේ ඉනික්බිතිවය.

‘‘වේදිකා නාට්‍යවල රඟපාලා තිබුණ නිසා වෙන්නැති මට කැමරාව ඉස්සරහා එහෙම සබකෝලයක් වගේ හැඟීමක් දැනුණේ නෑ. ලෙස්ටර් මහත්තයා කියපු විදිහට රඟපෑවා. රඟපෑම අමාරුයි කියලා හිතුණේ නෑ. ඒ කාලයේ චිත‍්‍රපටයක රඟපෑමට ප‍්‍රධාන චරිතයකටත් රුපියල් 600 ක විතර ගෙවීමක් තමයි කළේ. මම කවදාවත් සල්ලි බලාගෙන නම් රඟපෑවේ නෑ.

මට පෙම්වතියගේ චරිතය රඟපාන්න කවදාවත් අවස්ථාවක් ලැබුණේ නෑ. මම අවස්ථාවක් ඉල්ලූවෙත් නෑ. අවස්ථාවක් දුන්නේ නෑ. හැමදාම රඟපෑවේ අම්මාගේ චරිතය. මට කවදාවත් රඟපාන්න යන්න එපා කියලා නම් ගෙදරින් බලපෑමක් ආවේ නෑ. ඒ ලෙස්ටර් මහත්තයා හොඳට අඳුරාගෙන හිටි නිසා වෙන්න ඇති. හැබැයි මම උඩරට නැටුම් ඉගෙන ගනිද්දී නම් අම්මා මට නැටුම් කරන්න එපා කීවා. ඒත් බෙරයක් තට්ටු වෙද්දී මට නිකම්ම නැටවෙනවා. එපා කියලා ඇති වෙලාම අම්මා පසුව එපා කියන එක අත්හැරලා දැම්මා.
චිත‍්‍රසේන මහත්තයා යටතේ තමා මම නැටුම් ඉගෙන ගත්තේ. මම ඉස්සරෝම සිංහල වේදිකා නාට්‍යයකට සම්බන්්ධ වුණේ හෙන්රි ජයසේන මහත්මයා යටතේ. ඒ අපට පුතේ මගක් නැතේ කියන නාට්‍යය.’’

සරසවියේ ඉගෙන ගනිද්දී කථිකාචාර්යවරයකු වෙත බැඳි අයිරාංගනී යුවතියගේ පේ‍්‍රම කතාවේ කෙළවර විවාහයයි. එහෙත් ඒ විවාහය අවසානයේ කැඩි බිඳී ගියේය.මම සේරසිංහ මහත්මිය වෙන්න ඉස්සර දිසානායක මහත්මියයි. ඒත් නොහොඳ සිටි නිසා ඒ විවාහය කැඩිලා ගියා. අපි කසාද බැන්දාම එයාට ඉගෙන ගන්න  ඕන කියලා අපි දෙන්නම එංගලන්තයට ගියා. මම එංගලන්තයේ ඉද්දී නාට්‍ය ගැන හැදෑරුවා. ඒ ”තියටර් ස්කූල්” එකකට සම්බන්ධ වෙලා. එංගලන්තයේ ඉඳන් ලංකාවට ආවට පස්සේ අපි දික්කසාද වුණා.

 

 

සරසවියෙන් පැමිණි පසු එංගලන්තයට යාමට පෙර මම වසරක් විතර මියුසියස් විද්‍යාලයේ ගුරුවරියක ලෙස ඉගැන්නුවා. ඒ තමා මගේ පළමු රැකියාව. එංගලන්තයේ සිට පැමිණි පසු මම ටයිම්ස් ආයතනයේ අවුරුදු හතරක් ජනමාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළා. රඟපෑම් කළෙත් මේ අතරෙමයි. ඊට පසු ශ්‍රී ලංකා ගුවන් විදුලියෙත් පසුව සංචාරක ක්ෂේත‍්‍රයෙත් රැකියාව කළා. පළමු විවාහයෙන් දික්කසාද වුණාට පසු මම වින්ස්ටන් සේරසිංහත් එක්ක විවාහ වුණා. ඒ වෙද්දී මා එයාව දැන අඳුර ගෙන හිටියා. අපි දෙන්නට පුතාලා දෙන්නෙක් ලැබුණත් ලොකු පුතා හදිසි අනතුරක් නිසා අපට නැති වුණා. මට මුණුපුරෝ දෙන්නෙක් ඉන්නවා.

මට මතකයි මගේ පුතාලා දෙන්නා පුංචි කාලේ මම සහ වින්ස්ටන් පුතාලා දෙන්නව අම්මා ළඟ තියලා රඟපෑම්වලට යද්දී පුතාල හයියෙන් හූ කියලා අඬනවා. ඒ ගැන හිතද්දී මට අදටත් දුක හිතෙනවා. ඇයි අපි දරුවන්ට එහෙම කළේ කියලා. හැමදාම පුතාලට කතන්දරයක් කියලා එහෙම තමා ගියේ.

ටයිම්ස් ආයතනයේ වැඩ කරද්දී මට හමුවුණු නිහාල් ප‍්‍රනාන්දු කියලා හොඳ මිත‍්‍රයෙක්. එයා ඡුායාරූප ශිල්පියෙක්. මගේ පවුලේ අයයි එයාගේ පවුලේ අයයි ඒ දවස්වල කැලෑවල ඇවිදින්න ගියා.  මම අදටත් ගහ කොළට සතා සීපාවට  හරි ආදරෙයි. මගේ නැතිවුණ පුතා සර්පයින්, සතුන්ට හරි ආසයි. ඒ කාලයේ මම මහත්තයා පුතාලා දෙන්නා හරි සතුටින් හිටියා. නිහාල් ප‍්‍රනාන්දු කියන්නේ මගේ ජීවිතය වෙනස් කරපු කල්‍යාණ මිත‍්‍රයෙක්.’’

 ජීවිතය දවසක් නම් මේ ඒ දවසේ සැන්දෑවයි. ළමා වියත්, තරුණ වියත්, මැදිවියත්  ගෙවා අහවරව අද ඇය වියපත් බව අත්විඳින්නීය.
‘‘අද ජීවිතය  කියන්නේ පොත් පත්. මගෙ ළඟ ලොකු පොත් එකතුවක් තියෙනවා. මම දැන් හරියට පොත් කියවනවා. පොත් එක්ක දවස ගෙවෙද්දී පාළුවක් දැනෙන්නේ නෑ.’’

බෝපතක් බෝ ගසින් ගිලිහී පොළොවට වැටෙන මොහොතක දැහැන්ගත සිත විසිර යයි. ඒ බිඳෙන සිත තවත් තැනෙක නවාතැන් සොයා යයි. ජීවිතය යනු නවාතැන් සොයා යන ගමනක්ම නොවේද? සමුගැන්මකට පෙර  සිත සිත මතම ලියා තැබූ සිතුවිල්ල එයයි.

 

 

සටහන : සංජීවිකා සමරතුංග / ඡායාරූප :ඇලෙක්සැන්ඩර් බාලසූරිය

 

අදහස්(20) බැලූවෝ (5709)

සිනමාව හැඩ කළ මීදෙණිය වලව්වේ පුංචි මැණිකේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සමන්ති 2013-10-13 19:08:59

ඔබ හරිම ලස්සනයි .කාමිනී මීදෙනිය සහෝදරියත් ලස්සනයි. (නදී)

දුමින්ද 2013-10-13 19:25:35

ඔබ තුමියට නිරෝගිමත් දීර්ගායු පතමි. ලංකාදීපයට ස්තුති රසවත් ලිපියකි.(නදී)

සුදීරා 2013-10-14 00:12:09

ඔබේ රඟපෑම් ඉතා විශිෂ්ටයි. ඔබට නිරෝගිමත් ජිවිතයක් වේවා!(නදී)

fb-icon විජිත පොන්සේකා 2013-10-14 05:55:00

ඔබ තුමියට දීර්ඝ ආයුෂ පතන්නෙමි. (නදී)

කුමාරි 2013-10-14 09:06:44

ඔබතුමියට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ සැමගේම මිත්තනිය ඔබයි. නිදුක් නිරෝගී වී දීර්ගායුෂ ලැබේවා! (නි)

සරත් 2013-10-15 15:09:14

ඔබට නිරෝගිමත් ජීවිතයක් සහ දීර්ඝායුෂ පතමි. (නි)

දම් 2013-10-15 16:51:25

ඔබ විශිෂ්ට නිහතමානී කෙනෙක් ඔබට නිරෝගී සැප ලැබේවා... (ස)

ඇනට් 2013-10-15 17:44:48

ජීවන ගමනට සුභ පැතුම්! (නි)

කැනඩා දිසා 2013-10-16 07:23:51

ආදරෙයි අම්මේ සදහටම ලොව තිබෙනතුරු .... (නි)

උපාලි 2013-10-16 08:57:51

අපි මුලින්ම ඔබතුමියව දැක්කේ "රේඛාව" තුලින්. "සංදේශයේ" බිත්තර විකුණලා ඔබව මරා දාන විට මට කඳුළු වැටුනා."ගම් පෙරළියේ" දී කොහොම වුණත් "දෙලොවක් අතර" දී මට ඔබ ගැන තරහක් ඇතිවුණා. " යශෝරාවයේදී"ඔබ හරිම උතුම් මාතාවක්. මේ වගේ විවිධ චරිත අපට ගෙන ආ ඔබතුමියට දීර්ඝායු වේවා! (නි)

රණා 2013-10-16 09:03:27

ඔබතුමිය මටත් අම්මා වගේ තමයි. ඔබතුමියට බොහෝ නිරෝගීව සියක් ආයු ලැබ සතුටින් ජීවත් වෙන්න වාසනා වේවා! (නි)

ටිරල් 2013-10-16 11:10:25

ඔබ විශිෂ්ට නිහතමානී කෙනෙක් ඔබට නිරෝගී සැප ලැබේවා!!!! (ස)

සැමුවෙල් 2013-10-16 11:13:10

මොකද මේ අම්මට සියක් ආයු ලබා ජීවත් වෙන්න කියලා කියන්නේ. අනේ අම්මේ සියක් නෙවී දෙසීයක් හරි ඔබ නම් කවදාවත් අපව දාල යන්න එපා. ඔබ නැත්නම් ඉතින් අපේ බොහෝ ටෙලි නාට්‍ය පිස්සන් කොටුවක්ම වගේ තමයි . (ස)

හේමන්ත 2013-10-16 13:09:10

මමත් ඔබේ පුතත් පාසල් යනවිට හමුවුනේ එකම බස් නැවතුමේ. අපි ඔහු දන්නා නමත් අසලට යන්න බයයි. කලිසම් සාක්කුවේ කමිස සාක්කුවේ සර්පයෝ ඉන්නවා. හෙළ සිනමාවට ආලෝකයක් වූ ඔබ තුමියට දිගාසිරි පතමි. (ස)

ජේ 2013-10-17 08:24:02

ඔබ ඉහළ පැලැන්තියේ කෙනෙක් වෙලත් කොතරම් නිහතමානීද? ඔබ උතුම් කෙනෙක්. දීර්ඝායුෂ ඔබට! (නි)

මර්වින් 2013-10-17 16:21:19

මෙවන් නිරහංකාර නිහතමානී අය බොහොම අඩුයි. ඔබ වැනි අය මේ රටේ පාලනයට පැමැනියේ නම්. (නදී)

අශාන් 2013-10-18 07:37:21

සිංහල සිනමාවේ ආදරණීය මිත්තනිය, ඔබට දෙවු රැකවරණ ලැබේවා! (නි)

ලකී 2013-10-19 12:35:41

සිංහල සිනමාවේ අත්තම්ම ඔබ අපට ආදර්ශයක් දීර්ගෞ වේවා! (අ)

සමන්ත 2013-10-19 20:37:49

අපි හැමෝම ඔබතුමියට අපේම අම්මට වගේම ආදරෙයි ...සුන්දර ලෝක මවාගෙන සිහින ලෝකයක ජීවත්වන අනෙක් නිළියන්ටත් ඔබතුමිය ආදර්ශයක් වේවා ..ඔබට නිරෝගී සුව (අ)

නිහාල් 2013-10-25 07:09:39

ඔබ රටට ආඩම්බරයක් අම්මේ (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :