2014 ඔක්තෝබර් මස 31 වැනි සිකුරාදා

2014-10-30 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.129.5200 , විකුණුම් මිල රු.132.4000 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.206.3100 , විකුණුම් මිල රු.212.2100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5600 , විකුණුම් මිල රු.167.9100 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.134.6600 , විකුණුම් මිල රු.139.5500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.115.1200 , විකුණුම් මිල රු.119.0100 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.7700 , විකුණුම් මිල රු.117.0600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.100.8600 , විකුණුම් මිල රු.104.1600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.1833 , විකුණුම් මිල රු.1.2208 |

එදා මුහුදු කොටි හිටිය වාකරේ අද මුහුදු වැද්දෝ

වාකරේ කතන්දරේ - 2

2013 මැයි මස 12 11:50:04 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

 

 

1990 වසර පමණ වන විට වාකරේ යනු ඉතා දියුණු නගරයකි. එයට හේතුව එහි යුද හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමය. යුද හමුදා කඳවුර ස්ථාපිත කිරීමත් සමග වාකරේ නගරය ආශ‍්‍රිතව මග දෙපස නිවාස තනාගත් ජනයා ඒවායෙහි පදිංචි වූහ. වාකරේ තුළින් නගරයක අසිරිය මැවෙන්නට පටන් ගත්තේ එතැන් සිටය.

1995 වසර පමණ වනවිට තත්ත්වය වෙනස්වීමට පටන් ගත්තේය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සැහැසි ග‍්‍රහණයට ගම නතුවන්නේ ඔය කාලයේ දීය. කොටි තර්ජන හමුවේ ගම්මු ගම හැර ගියහ. මේ කාලය වනවිට හමුදාව ද වාකරේ අතහැර ගොස් සිටියේය. ජනයාගෙන් හිස් වූ වාකරේ නගරය කොටින්ගේ අත්අඩංගුවට පත් විය. ගම්වැසියන්ගෙන් හිස් වූ නිවෙස් කොටි කඳවුරු බවට පත් විය.

කොටි සාමාජිකයෙක් කොටි සංවිධානයෙන් ඉවත් වී වාලච්චේන හමුදා කඳවුරට බාර වූයේ ඒ අතරවාරයේ දී ය. ඒ 1998 වසර විය. වාකරේ ගම්මානයේ යථා තත්ත්වය කොටි සාමාජිකයා හමුදාවට විස්තර කළේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, එක්තරා රාත‍්‍රියක දී කොටි කඳවුරු පිරිවැරූ වාකරේට ගුවන් ප‍්‍රහාරයක් එල්ල විය.

වාකරේ සුන්බුන් ගොඩක් බවට පත්විය. වාකරේ යළිත් නැගී සිටින්නේ 2001 සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුවයි. ගම්මු යළිත් වාකරේට ආහ. අටවාගත් නිවාස මත සිට ඔවුහු යළිත් ජීවිතය සොයන්නට පටන් ගත්හ.
අභාග්‍යයකි!
රටම කැළඹූ සුනාමිය වාකරේටත් ආවේය. ඒ ජනයා උන්හිටිගමන් උන්හිටිතැන් අහිමි වූ සරණාගතයෝ බවට පත් වූහ. උදම් රළට බිලි වූ නෑදෑවරුන් පනස් අට දෙනෙකුගේ දුක්බර මතකය ඔවුන් සතු වූ එකම වත්කම විය.

ඒ සුනාමිය නිමාවන විට තවත් සුනාමියක් ඇති විය. ඒ කොටි සංවිධානය අභ්‍යන්තරයේ ය. කොටි සංවිධානයේ දෙවැනි නායකයා වූ කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් බිඳී ගියේය. ප‍්‍රභාකරන්ගේ කණ්ඩායම හා කරුණා ගේ කණ්ඩායම් අතර දරුණු සටන් මහ දවාලේ ද ඇවිළී ගියේය.

ජෙගන් අපට වැදගත් වන්නේ මෙම පරිසරය තුළය. මහා වීර පවුලක සාමාජිකයකු වූ ජෙගන් මෙම ගැටුම දෙස බලා සිටියේ සෙසු ගම්වැසියන් සේම තිගැස්සුණු මනසිනි.

‘‘අපේ ගමේ අය කොහොමත් කරුණා අම්මාන්ට පක්‍ෂයි. එයා දරදඬු නෑ. ඒ වුණත් ස්වර්ණම් මාස්ටර් වගේම පොට්ටු අම්මාන් හරි වසයි. මේ ගොල්ලෝ මරා ගන්නකොට ගමේ අය දෙගොල්ලන්ටම විරුද්ධව හිටියා. ඒ අයට පාරේ යන්න බැරි විදියට ගස් කපලා පාරට දැම්මා. අන්තිමට ප‍්‍රභාකරන්ගේ කණ්ඩායම යන්නට ගියා.’’ ජෙගන් කීවේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කුරිරුකම පිළිබඳව ජෙගන් කතා කළේය.

‘‘අපේ ගමේ හිටියා ගුරුවරියක්. එයා හරිම ලස්සනයි. හැබැයි එයා එල්.ටී.ටී.ඊ. එකට බැඳුණේ නෑ. කිසිම සහයෝගයක් දුන්නෙත් නෑ. මේ ගුරුවරිය දිනාගන්න කොටි සංවිධානය ලොකු උත්සාහයක් ගත්තා. ඒත් හරි ගියේ නෑ. අන්තිමට කොටි සංවිධානය මේ ගුරුතුමිය හමුදාවට ඔත්තු දෙනවා කියලා බොරු ප‍්‍රචාරයක් ගෙනිච්චා. එක දවසක් අපි බලනකොට කට්ට මුරිප්පු හන්දියේ ගහක ගුරුතුමිය බැඳලා වෙඩි තියලා මරලා තිබුණා. එදා මුළු ගමම කම්පා වුණා. ඒත් කොටින්ගේ තුවක්කු ඉස්සරහා අපි මොකද කරන්නේ?

 

ජෙගන්

 

එසේ ප‍්‍රශ්න කරන ජෙගන් මෙසේද කීවේය.
‘‘අපේ ගමේ ප‍්‍රධානම ආදායම් මාර්ගය ධීවර කර්මාන්තයයි. අපේ අය අල්ලන මාළු ඔක්කොම කොටි සංවිධානයට දෙන්න  ඕනෑ. ඒ අය මාළු කිලෝවක් ගන්නේ රුපියල් 200ට. එහෙම අරගෙන අපේ මිනිසුන්ටම රුපියල් 800ට 900ට විකුණනවා. අපිට ඒ කාලේ ජීවිතයක් තිබුණේ නෑ මහත්තයෝ..’’ ඒ ජෙගන් ගේ හඬය.

නැගෙනහිර මුදාගැනීමේ මහා මානුෂික මෙහෙයුම මාවිල්ආරුවෙන් ඇරැඹී ආවේ 2006 වසරේ දීය. ඒ යුගයේ රැයක් දවාලක් නැතිව අහසේ වෙඩි පුපුරන්නට පටන් ගත්තේය. කාලතුවක්කු පුපුරා යන හඬින් පොළොව දෙදරුම් කන්නට පටන් ගත්තේය. ජීවිතය හා මරණය අතර තිබුණේ ඉතා පටු බිම් තීරයකි. ජෙගන් ලා ඒ පටු බිම් තීරයේ වැතිර ජීවිතය යදිමින් සිටියහ.

‘‘කොටි සංවිධානය අපට යන්න දුන්නේ නෑ. ඒ අය අපිව පළිහක් බවට පත් කරගෙන තමයි යුද්ධ කළේ. ඒ පළාතේ සියලූම ජනතාව යුද සරණාගතයන් බවට පත් වෙලා එක පොදියට එකම තැනකට වෙලා ඉන්නවා. කොටි කරන්නේ එහෙම මිනිස්සු ඉන්න තැනට වෙලා කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කරන එකයි. අපි විරෝධය පළ කළාම අපිට ගහනවා. වෙඩි තියලා මිනිස්සු මැරුවා. නිස්කාරනේ මැරුම් කන්න බැරි හින්දා අපි ඉවසගෙන හිටියා.’’

හමුදා ක‍්‍රියාන්විතය වාකරේ ආසන්නයටම පැමිණියේය. එහෙත් කොටි කියා සිටියේ හමුදාවට ‘‘දුවන්න ගහන’’ බවය. එහෙත් ඒ වචන ජෙගන්ලා විශ්වාස නොකළහ. යුද්ධයේ යථා තත්ත්වය ඔවුහු හොඳ හැටි තේරුම් ගෙන සිටියහ.

‘‘අම්මයි, තාත්තයි, අක්කයි, නංගියි, මමයි ඇඳුම් විතරක් අරගෙන එළියට බැහැලා හිටියේ. අපි වාකරේ මහ කැලේ හිටියේ. දහස් ගාණක් මිනිස්සු හිටියා. අපි මොනවාහරි රත් කරගෙන කෑවා. කොටි තුවක්කු තියාගෙන වටේ ඇවිදිනවා..’’

‘‘එතැනින් බේරිලා යන්න මාර්ගයක් තිබුණේම නැද්ද?” අපි විමසුවෙමු.

‘‘අන්තිම දවස් වෙනකොට මෙහෙම දෙයක් වුණා. කොටි සාමාජිකයන්ට සල්ලි දුන්නාම ඒ අය කොටි නායකයන්ට හොරෙන් හමුදා පාලන ප‍්‍රදේශයට ඒ කිට්ටුවට ගිහින් ඇරලවනවා. ඔය විදියේ දේවල් තමයි සිද්ධ වුණේ. කොහොමහරි හමුදාව කිට්ටුවට ආවම කොටි ඔක්කොම පැනලා ගිහිල්ලා. ඊට පස්සේ අපි ගඟ වගේ කඩාගෙන හමුදා පාලන ප‍්‍රදේශයට ආවා.’’ ඒ ජෙගන්ගේ ඉරණම විසඳුණ ආකාරය වේ.

 

 

හමුදා පාලන ප‍්‍රදේශයට ගිය ජෙගන්ලා ට සරණාගත කඳවුරක මාස හතරක කාලයක් ගත කිරීමට සිදුවිය. මාස හතරක් ඇවෑමෙන් යළිත් වාකරේට පැමිණි ජෙගන්ලාට ගම දකින්නට ලැබුණේ නැත. දක්නට ලැබුණේ සුන්බුන් ගොඩක් පමණි. ඒ සුන්බුන් අතරින් ඔවුන්ට තම නිවෙස් සොයා ගැනීමට, ඒවා තිබූ තැන් සොයා ගැනීමට අපමණ වෙහෙසක් දැරීමට සිදුවිය.

‘‘දැන් තමයි අයියේ ජීවත් වෙනවා කියලා හිතෙන්නේ’’ තමන්ගේ දුක සැප බැලීමට දකුණේ සිට පැමිණි නාඳුනන නෑයට ඔහු ‘‘අයියේ’’ කියා ඇමතුවේය. සත්තකින්ම අපට අවැසිව තිබෙන්නේ එවැනි නෑදෑකම්ය.

ටී.ජී. කුරුකුලසිංහම් වාකරේ, උරියන් කට්ටු වැඩිහිටි සංගමයේ ලේකම්වරයා ය. එමෙන්ම සිවිල් ආරක්‍ෂක කමිටුවේ සභාපතිවරයා ය. හැටඅට හැවිරිදි කුරුකුලසිංහම් මට වඩාත් වැදගත් වූයේ ඔහු විවාහ වී සිටින්නේ සිංහල කාන්තාවක සමග වීම නිසාය.

‘‘එයාගේ නම එච්.ඊ. අනුලාවතී. එයාගේ ගම ගාල්ලේ. ඒ කාලේ මම වාකරේ ඩිපෝවේ වැඩ කළේ. වාකරේ - මඩකළපුව බස් එක තමයි මම එලෙව්වේ. එයා පත්වීමක් ලැබිලා මඩකළපුව රෝහලට ආවා. මගේ බස් එකේ තමයි යන්නෙ - එන්නේ. මම යෝජනාව දැම්මා. එයත් කැමති වුණා. ඊට පස්සේ ගෙවල්වල අයගේ ආශිර්වාදය ඇතිව අපි විවාහ වුණා...’’

කොටි ත‍්‍රස්තවාදීන් ගිනි ලෑවේ ඒ අසිරිමත් මිනිස්කමටය. එදා ආදරයට ජාති භේද තිබුණේ නැත. මාළුන් ගී ගයන නගරයේ ඔවුහු පෙමින් වෙළී අනාගතය ගැන සිහින මාලිගා තනමින් ඔබ - මොබ ඇවිද ගියහ. එහෙත් ජාතිවාදයේ සැඩ රළ ප‍්‍රවාහය වාං දමන්නට පටන් ගත්තේය. උතුර, දකුණ, නැගෙනහිර යා කළ සමගියේ පාලම් බිඳී ගියේය. ඒ මතකය කුරුකුලසිංහම් ගේ මතකයේ තැන්පත්ව තිබෙන්නේ මෙසේය.

‘‘අපි ඒ කාලේ විවෘතව දේශපාලන කටයුතු කළා. අපේ පළාතේ හිටියේ කේ.ඩබ්ලිව්. දේවනායගම් ඇමතිතුමයි. අපි එතුමන් එක්ක එකතුවෙලා වාකරේ සෑහෙන්න තරමට දියුණු කළා. පනිච්චන්කර්නි පාලම හැදුවේ ඒ කාලෙදියි. වාකරේ රෝහල ඉදිකළෙත් ඒ කාලෙදියි. 1984 දී වාකරේට විදුලිය ලබා දෙන්න ලක්‍ෂ 54ක් පාස් වෙලයි තිබුණේ. ඒත් ඒවා ඔක්කොම යුද්දෙට බිලි වුණා.’’ කුරුකුලසිංහම් කියයි.‘‘අපේ ගමේ ධර්මදාස කියලා කෙනෙක් හිටියා. එයා සිංහල. බැඳලා හිටියේ දෙමළ ගෑනු කෙනෙක්ව. එයාලට පුත්තු දෙන්නෙක් හිටියා. ඒ දෙන්නම එල්.ටී.ටී.ඊ. යට ගියා. ඒ අය හිටපු කඳවුරේදී, මම හමුදාවට ඔත්තු දෙනවා කියලා මාව මරන්න  ඕනෑ කියලා සාකච්ඡුා කරලා. අර පුතාලා දෙන්නා ඒක ධර්මදාසට කියලා ධර්මදාස මට ඇවිත් කිව්වා. පස්සේ මම මඩකළපුවට ගියා. එතැනින් අම්පාරේ ඩිපෝවට මාරුවක් හදාගෙන ගියා. අවුරුදු කිහිපයකට පස්සේ මම මගේ සහෝදර සහෝදරියන් බලන්න වාකරේ ගියා.’’

 

එය බිහිසුණු ගමනක් වේ යැයි කුරුකුලසිංහම් සිතුවේ නැත. එහෙත් නොසිතූ දේ සිතීමට හෝ කාලයක් ඉතිරි වූයේ නැත.

‘‘මම ගෙට ගොඩවුණා විතරයි. එල්.ටී.ටී.ඊ. එකේ දෙන්නෙක් අපේ ගෙදරට ආවා. ඒ ආපු දෙන්නා කවුද දන්නවද? අපේ ගෙදර වැඩට හිටිය කොලූවයි. හරක් බඳින්න හිටපු කොලූවයි. ඒ දෙන්නා මාව අල්ලාගෙන කොටි කඳවුරකට අරගෙන ගියා. මගේ අත් දෙක පිටිපස්සට වෙන්න බැඳලා තිබුණේ. මගේ මිනිය දාන්න වළක් හාරලා තිබුණේ. මට වෙඩි තියන්න ඔන්න මෙන්න කියලා තිබියදී මුළු ගමම කොටි කඳවුරට ආවා. මගේ ලොකු මස්සිනා ගමේ ග‍්‍රාමසේවක. ඒ අය ඔක්කොම ආවා. අන්තිමට කොටින්ට මාව මරන්න බැරි වුණා. එදා ගමෙන් පිට වුණාට පස්සේ මම ආපහු ගමට ආවේ 2002 වසරේ සාම ගිවිසුමෙන් පස්සෙයි.’’

සාමයේ බලාපොරොත්තුව යට කරගෙන සුනාමි රැුල්ල නැගී ආවේය. වාකරේ නගරය අතුරුදන් විය. 

‘‘සුනාමියෙන් පස්සේ රාජ්‍ය නොවන සංවිධාන ගොඩාක් වාකරේට ආවා. ඒ අය තමයි මුහුදු වෙරළට මීටර් සියයකට ඈතින් ගෙවල් හැදුවේ. ඒ නිසා අද වාකරේ ගෙවල් තියෙන්නේ අතුරු පාරවල්වල. මහ පාර කිට්ටුව ගෙවල් නෑ. කොහොම වුණත් යුද්ධය අවසන් වෙනකොට අපේ සියලූම දේපල විනාශ වෙලා තිබුණා. යුද්දෙන් පස්සේ අපි ආවේ සහරා කාන්තාරයකටයි.’’

කුරුකුලසිංහම්ට කීමට අවනඩුවක් ද තිබේ.

‘‘2008 වසරේ දී ජනාධිපතිතුමා වාකරේට ආවා. අපිව නැවත පදිංචි කරවන්න සියලූම උපදෙස් දුන්නා. වන්දි ගෙවන්න කියලත් නියෝග කළා. ඒත් තවම ඒවා කිසිවක්ම ක‍්‍රියාත්මක වුණේ නෑ.’’

සාමයේත් සංවර්ධනයේත් අරුණැල්ල යට දිවි ගෙවන මිනිසුන්ගේ දුක්ඛිත ජීවිතය එපරිදිය. ඒ ජීවිත යළි නගා සිටුවීම රැුයකින් දෙකකින් කළ හැකි නොවේ. එහෙත් ඒ මිනිසුන්ගේ ඇත්ත ජීවන ගැටලූ හඳුනා ගනිමින් ඒවා විසඳීමේ ප‍්‍රායෝගික ක‍්‍රියාන්විතයක් ආරම්භ කළ යුතුව තිබේ. තිස් වසරක යුද්ධය තුන් වසරක වික‍්‍රමාන්විත මෙහෙයුමකින් ජයගෙන සිවු වසරක් ඉක්ම යන මොහොතේ ඒ ජන ජීවිතයේ ඇත්ත ඇතුළාන්තය මැනවින් පිරිසිඳ දැන විසඳුම් දිය යුතුය.
පොන්නම්බලම් සෙල්වරාජා ගැන විශේෂයෙන් ඔබට ලිවිය යුතුය. අම්පාරේ කාර්තිව් හි උපන් සෙල්වරාජා වාකරේට පැමිණ පෙළවහක් කරගත්තේය. ඒ පෙළවහත් සමග ඔහුට මුහුදු වැදි කුලකයේ සාමාජිකත්වය හිමිවිය. එදා වාකරේ ප‍්‍රසිද්ධ වූයේ මුහුදු කොටින්ටය. අද මුහුදු වැද්දන්ටය. ඒ කතාව සමගින් ලබන සතියේ දී හමුවෙමු.

 

 

සටහන - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්  / සේයාරූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය

 

වාකරේ කතන්දරේ - 1

 

අදහස්(8) බැලූවෝ (5116)

එදා මුහුදු කොටි හිටිය වාකරේ අද මුහුදු වැද්දෝ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ක්ලින්ටන් 2013-05-12 20:25:39

බොහොම හොදයි, නොදන්නා දේවල් දැනගත්තා. (නි)

පාල 2013-05-13 16:01:56

කවුරු මොනවා කිවුවත් අන්තර් වාර්ගික විවාහ වැඩි වීම සමගියට පාර කපන තවත් එක මාර්ගයකි. සුදු මිනිසුන් හා විවාහ වීමේදී සතුටින් පිනා යන අපේ වර්ගවාදීන් සිංහල දෙමල විවාහ වලට විරුද්ධ ඇයි? (නි)

උදය 2013-05-14 03:57:24

දෙමල සිංහල විවාහ වලට ලංකාවේ විරුද්ධ වෙනවා අඩුයි. දෙගොල්ලන්ගේම තියෙන්නේ එකම සංස්කෘතියක්. හැබැයි මුස්ලිම් ප්‍රශ්නේ හොදටම වෙනස්. ඒ ගොල්ලෝ එක්ක තමය් ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ (නි)

සම්පත් 2013-05-15 10:52:52

අපි නම් සිංහල දෙමල සමගියට ගොඩක් කැමති අය, යුද්ධ තිබුණත් නැතත්. (නි)

අජිත් 2013-05-15 11:01:55

ශ්‍රී ලංකාව එක්සත් රටක් වේවා! දෙමල මුස්ලිම් සිංහල වේවා! ආදරය කරන මිනිසුන් බිහිවේවා! (නි)

රාජරත්නම් 2013-05-16 02:22:08

අජිත්, ඔබ කියපුදේ හරි (නි)

දිසානායක 2013-05-16 17:54:10

මට දෙමළ තරුණියක් හා විවාහ වීමට වාසනාව ලැබේවා! (නි)

මාලක 2013-05-18 13:22:05

උදය වගේ හිතන අය ඉන්නකොට හැමදාම යුද්ද.(ස)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :