IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉරණමට හිස නමා පක්ෂ නායකත්වය අත්හළ රාහුල් ගාන්ධිගේ පුරාවත

 

පසුගිය දිනවල පැවැති ඉන්දියානු මහා මැතිවරණයේ දී තමා නායකත්වය දුන් කොන්ග්‍රස් පක්ෂය ලැබූ දැවැන්ත පරාජයේ වගකීම භාර ගනිමින් රාහුල් ගාන්ධි එම ධුරයෙන් ඉල්ලා අස්වූ බව පසුගිය සතියේ දී මාධ්‍ය අනාවරණය කරන ලදී. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ දේශපාලන ඉතිහාසය සහ එම දෙරටේ දේශපාලන ගමන් මගේ සමගාමිත්වය ගැන යම් පමණක හෝ අවබෝධයක් ඇත්තෙකුට මෙම ප්‍රවෘත්තියේ ඇති ඓතිහාසිකමය අගය සුළුපටු නොවේ. විශේෂයෙන්ම පරම්පරා පහක් තම අත පවත්වාගෙන ආ ඉන්දියාව නමැති මහා රාජ්‍යයේ පාලනය පිළිබඳ රන් කිරුළ එසේ විසිකර දැමීමට රාහුල් ගාන්ධි තරුණයා එඩිතර හා නිර්ලෝභී වේද යන සැකය මතුවීම සාධාරණය. භාරත දේශය නිදහස ලැබීමට පෙරත්, පසුවත් නේරු - ගාන්ධි පවුල් ඒකකය සතුව පැවැති දේශපාලන ශක්තිය ගැන සලකන විට එසේ සිදුවේ යයි කිසි සේත්ම බලාපොරොත්තු විය නොහැක්කකි. 
දේශය වෙනුවෙන් පැවැති කැපවීම සහ පරිත්‍යාගය නිසාම ගොඩනැගුණු එම ජන ප්‍රසාදය එක් මැතිවරණ පරාජයකින් සියල්ල දමා ගසා නිවසට යාමට ඉඩ දේවි යයි සිතීමට ඉඩක් නැත. විශේෂයෙන් දකුණු ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ හැසිරීම ගැන දන්නා කෙනෙකුට මෙවැනි දේ අසා දැක හොඳට හුරුපුරුදුය. ප්‍රතිවාදී පක්ෂයේ නොයෙකුත් චෝදනා පිළිගෙන පාලකයන් ගෙදර යවන මෙම රටවල ජනතාවෝ ඊළඟ මැතිවරණයේදී එම අයවලුන්ම වීරයන් ලෙස බලයටපත් කරනු පමණක් නොව ධාතු කරඬු සේ හිස මතින් බලයට ගෙන එති. පාකිස්තානයේ භූටෝවරුන්, ඉන්දියාවේ නේරු ගාන්ධිවරුන් ලංකාවේ සේනානායක, බණ්ඩාරනායක සහ රාජපක්ෂවරුන් මෙම සත්‍යය ගැන නැවත නැවතත්  ඔප්පු කර ඇති බව සඳහන් කළ යුතුය.


ඉන්දියාවේ නිදහස් සටනේත්, නිදහසෙන් පසු දසක කීපයක් යනතුරුම එරට ප්‍රධානතම දේශපාලන ධාරාව ලෙස අවිවාදයෙන් පිළිගැනුණේ ඉන්දියානු ජාතික සංගමයයි. එරට ඉතිහාසය වෙනස් කිරීමට තරම් ශක්තිමත් ක්‍රියාදාමයකට උර දුන් එම බලවේගය 1883 තරම් ඈත වකවානුවේ දී ගොඩනැගීමට මුල් වූවේ විශ්‍රාමික සිවිල් සේවකයකු වූ ඇලන් ඕක්ටේවියන් හියුව් නම් බි්‍රතාන්‍ය ජාතිකයා යැයි ඇසීම පාඨකයාට මවිතය දනවන තොරතුරක් විය හැකිය. යටත් විජිත පාලනයේ උසස් නිලධාරින් ලෙස පැමිණි නමුත් ස්වදේශිකයන් කෙරෙහි මානුෂික ඇසින් බලා ඔවුන්ට විමුක්තිය ලබා ගැනීමට උනන්දුවක් දැක්වූ යුරෝපීයයෝ කලාතුරකින් සිටියහ. ලංකාවේ ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරයකු ලෙස කලක් කටයුතු කළ ජෝර්ජ් වෝල්, අග්‍ර විනිශ්චයකාර සර් ඇලෙක්සැන්ඩර් ජෝන්ස්ටන්, දිසාපතිවරයකු ලෙස මෙරට සේවයට පැමිණ පසුව ජනතා වරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ එච්. ආර්. ෆ්‍රීමන් එවැන්නෝය. ඉන්දියානු ජාතික කොන්ග්‍රසය ආරම්භ කිරීමට ඔක්ටේවියන් හියුම්ට සහාය දුන් ප්‍රධානතම ස්වදේශීය පුද්ගලයකු වූයේ බෙංගාලයේ එවකට සුප්‍රකට දේශපාලනඥයකු වූ පොමේෂ් චන්ද්‍ර බැනර්ජිය. ඉන්දියානු ජාතික වැදගක්කම් ගැන සාකච්ඡා කිරීමට උගතුන්ගේ වේදිකාවක් අවශ්‍ය යැයි වටහාගෙන සිටි ඔව්හු කල්කටා විශ්වවිද්‍යාල උපාධිධාරීන් රැසක් මෙම සංවිධානය සඳහා කැඳවීම් කළහ. ඒ අනුව 1883 දී නියෝජිතයින් 72 කුගෙන් සැඳුම්ලත් සභාවක දී කොන්ග්‍රසය ආරම්භ කළ අතර, එහි ආරම්භක සාමාජිකයා වූවේ පෙර සඳහන් කළ පොමේෂ් චන්ද්‍ර බැනර්ජිය. එයට විවිධ පළාත් නියෝජනය කරමින් ප්‍රබල දේශපාලනඥයෝ රාශියක් සහභාගිව සිටියහ. එම පුරෝගාමීන් අතර ස්කොට්ලන්ත ජාතික තවත් සිවිල් නිලධාරියකු වූ විලියම් වෙදර්බර්න්, ඩඩා බායි නෞරොජි ආදීහු ද වූහ.


ඩඩාබෝයි නෞරෝජි වනාහි ෆාර්සි සම්භවයක් සහිත භාරත දේශයට මනා සේ ආදරය කළ විද්වත් නායකයෙකි. මහා රාෂ්ට්‍රයේ වෙසෙමින් එහි ජනතාව සංවිධානය කරමින් විවිධාකාරයෙන් දේශ සේවයේ යෙදුණු බුද්ධිමතෙකි. වර්ෂ 1892දී බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට තරග කර එහි පදිංචිව සිටින ඉන්දියානු ජාතිකයන්ගේ නියෝජිතයකු වශයෙන් පාර්ලිමේන්තුවට පත්වූ බව ද කියනු ලැබේ. ඉන්දියානු ජාතික සංගමයේ ආරම්භක නායකයා වූවා පමණක් නොව එය දේශව්‍යාප්ත ජාතික බලවේගයක් බවට පත් කිරීමට ද ඔහු මහත් කැපවීමෙන් කටයුතු කළේය. බොම්බාය ප්‍රදේශයේ ප්‍රබල සමාජ සේවකයකු වූ ෆෙරෝස් ෂෙහා මේතා පූනානි නගරයේ වාසුදේවෝ ජෝෂි, ආදී ප්‍රභූහු ද මෙම කාර්යයේදී මහත් උනන්දුවෙන් කටයුතු කළහ.

 

 


මේ අය දිගින් දිගටම සමස්ත ඉන්දියාව පුරාම සියලුම ප්‍රාන්තවල සංචාරය කරමින් මිත්‍ර පිරිස් පක්ෂය වෙත යොමු කිරීමට කටයුතු කළහ. එසේ සම්බන්ධ වූ පිරිස් අතර මූලිකම අය වූවේ පන්ජාබයේ සර්දාර් භගන් සිං, බෙංගාලයේ දේශබන්දු චිත්තරංජන් දාස් මහා රාෂ්ට්‍රයේ ගෝපාල් කෘෂ්ණ ගෝඛලේ, පන්ජාබයේ ලාල් ලාජ්ජක් රායි, මහා රාෂ්ට්‍රයේ ලෝක මාන්‍ය බාල ගංගාධාර තිලක්, සුරේන්ද්‍රනාත් බැනර්ජි, (බෙංගාලය) ඇනී බැසන්ට් (එංගලන්තය) බඩාබායි නෞරජි, උත්තර ප්‍රදේශයේ මොනිලාල් නේරු ආදීහු වූහ. මෙයින් අපේ මෙම ලිපියට භාජනය වන්නේ අලහබාද්හි විසූ ජ්‍යෙෂ්ඨතම සහ කීර්තිමත්ම නීතිඥවරයාද වූ මොතිලාල් නේරුය. ඔහු උත්තර ප්‍රදේශයේ අලහබාද්හි පදිංචියට පැමිණියේ කාශ්මීරයේ සිටය. එය දිග කතාවකි. මෝගල් අධිරාජ්‍යයේ අවසාන භාගයේ විසූ එක් රජ කෙනෙකු සංචාරයක් සඳහා දිල්ලියට පැමිණියේය. එකල අග නගරය වූවේ ටජ්මහලය පිහිටා ඇති අග්‍රා නගරයයි. දිල්ලියට පැමිණි මෝගල් අධිරාජ්‍යයා විසින් හඳුනා ගන්නා ලද රාජ් කෞල් නම් පඬිවරයාට කාශ්මීරයට පැමිණ පදිංචි වන ලෙස ආරාධනය කර ගම් බිම් හා වස්තුව විශාල ප්‍රමාණයක් ප්‍රදානය කරන ලදී. එයට හේතුව ඔහු මහා පාණ්ඩිත්‍යයෙන් යුතු උගත් බුද්ධිමත් දැනුමැත්තෙකු වූ නිසාය. පෙර පාරම්පරිකව කෞල් වංශිකයන් වූ මෙම පෙළපතේ අය තම නිවාසය ලෙස තෝරා ගත්තේ ඇළක් අසල පිහිටි මහා මන්දිරයකි. එම ඇළ අසල යන වචනය දේශීය භාෂාවෙන් නහාර් නම් විය. එය ව්‍යවහාරය අනුව වෙනස් වී ඇළ ළඟ අය යන අර්ථයෙන් නේරු නම් ලද්දෝය. ක්‍රමයෙන් කෞල් යන පාරම්පරික නාමය අත්හැර දැමූ ඔවුහු දිගටම නේරු යන නාමය භාවිත කිරීමට පුරුදු වූහ. මෙම පරපුරේ ඇත්තෝ දේශප්‍රේමයෙන් ඔද වැඩුණු බහුශ්‍රැත පාණ්ඩිත්‍යයෙන්ද යුතු වූ ප්‍රභූවරු වූහ. මෙම පවුලේ සාමාජිකයකු වූ මොනිලාල් නේරු බැරිස්ටර්විභාගයෙන් සමත්ව අලහබාද් උසාවියේ වාදිතසිංහයා විය. පෙර කී අන්දමින් ඉන්දියානු ජාතික සංගමයට බැඳුණේ මෙම කීර්තිමත් නීතිඥයාය. ඔහු එම දේශපාලන බලවේගයට මහත් ශක්තියක් විය.
බි්‍රතාන්‍ය යටත් විජිත පාලනයේ උම්මත්තක ඩයර් නම් හමුදා නිලධාරියකු විසින් හින්දු අලුත් අවුරුදු උත්සවයක් සඳහා පන්ජාබයේ අම්රිත්සාර්හි ජාලියන්වලාබාග් ක්‍රීඩාපිටියට රැස්වූ විසි දහසක පිරිසකට එල්ල කරන ලද වෙඩි ප්‍රහාර නිසා හාරසියයක පිරිසක් මරණයට පත්වූ අතර, තවත් දෙදහසක් දෙනා බරපතළ තුවාල ලැබූහ. මෙම අමානුෂික ක්‍රියාව ඉන්දියානු ජාතික හදවතටම වැදුණු මිටි පහරක් බදු වේදනාවක් එරට ජනතාවට දැනුණි. බි්‍රතාන්‍ය අධිරාජවාදය කෙරෙහි ඇති වූ දේශානුරාගී හැඟීමෙන් වෙළී ගියේය. මේ අපරාධය පිළිබඳ සාධාරණ විනිශ්චයක්ද නොකෙරුණු වාතාවරණය හමුවේ ඉන්දියානු ජාතික සංගමය විසින් පරීක්ෂණ කොමිසමක් පත් කරන ලදී. එහි සභාපතිවරයා වූවේ අධිනීතිඥ මොතිලාල් නේරුය. මෙම කාර්යභාරය සපුරාලීමෙන් පසු ඉන්දියානු මහජනතාව අතර ඉමහත් කීර්තියට පත්විය. ඉන් පසු පූර්ණකාලීන දේශපාලනයට පිවිසි ඔහු එරට කීර්තිමත් දේශපාලනඥයකු බවට පත්විය. ඊළඟට ඉන්දියානු ජාතික සංගමයේ සභාපති ධුරයට පත්වීමෙන් පසු එහි ප්‍රබලම දේශපාලකයා බවට ද පත්විය. ඒ 1919 අප්‍රේල් 13 වැනිදාය. නොබෝදා රාහුල් ගාන්ධි විසින් අතහැර දමා නික්ම ගියේ එදා මොතිලාල් නේරු විසින් ආරම්භ කරන ලද දේශපාලන උරුමයයි. එරටට නිදහස ලැබීමට පෙර 1931 දී මොතිලාල් නේරු අභාවප්‍රාප්ත විය.


මේ වන විට ඉන්දියාවේ අනුත්තර දේශපාලනඥයා සහ විමුක්ති අරගලයේ ප්‍රමුඛයා බවට පත්ව සිටියේ මොහන්දාස් කරම්වන්ද් ගාන්ධි හෙවත් මහත්මා ගාන්ධිය. ඔහු රාජ්‍යයේ තනතුරු අපේක්ෂා කළ අයෙකු නොවූවා සේම නිදහසෙන් පසු අග්‍රාමාත්‍ය තනතුරට පුහුණු කරන ලද්දේ මොතිලාල් නේරුගේ එකම පුත්‍රයා වූ ශ්‍රී ජවහර් ලාල් නේරුවය.
මොතිලාල් නේරුගේ අලහබාද්හි පිහිටි ආනන්ද භවන් නමැති මහා මන්දිරය රජමාලිගයකට සමාන ලෙස පැවති බව කියනු ලැබේ. එසා මහාසර ධන කුවේරයෙකු ලෙස උපත ලබා බි්‍රතාන්‍යයේ කේම්බි්‍රජ් සරසවියේ අධ්‍යාපනය ලබා අධිනීතිඥයකු ලෙස සමත්ව ආපසු මව්බිමට පැමිණි වහාම ජාතික නිදහස සඳහා වූ සටනට එක්වූවේය. ගාන්ධි විසින් දියත් කරන ලද අවිහිංසා සටනේ ප්‍රථම අරගලය වූවේ බි්‍රතාන්‍යයෙන් ගෙන්වන ලද රෙදි පිළි මිලදී ගැනීම වර්ජනය කිරීමයි. ඒවා භාවිත කරමින් සිටි පුද්ගලයෝ නිදහසේ නාමයෙන් එම ඇඳුම් පැලඳුම් එක් රැස් කර ගිනි තබා බි්‍රතාන්‍යයන්ට අතුල් පහරක් දුන්හ. භාරත භූමියේ දස දහස් සංඛ්‍යාත ස්ථානවල මෙසේ රෙදිපිළි ගිනි තැබීම් සිදු විය. අනෙක් සටන් මාර්ගය වූවේ බි්‍රතාන්‍ය පාලනයට සහයෝගය නොදීමය. මෙම සහයෝගතා වර්ජනය ව්‍යාපාරය අංශ තුනකින් සමන්විත වූවේ රජය වර්ජනය, සහයෝගිතා වර්ජනය සහ සත්‍යග්‍රහයයි. මෙය අවිහිංසාවාදී සටන් ක්‍රමයක් වුවද බි්‍රතාන්‍යයන්ට එය මරු පහරක් සේ වේදනා ගෙන දුන්නේය. එනිසා ත්‍රිවිධ හමුදාවම යොදවා එම සටන් උපාය මාර්ග දුර්වල කිරීමට ඔව්හු ක්‍රියා කළහ. මර්දනය එල්ල කරන්නට කරන්නට සටන වර්ධනය විය. හතළිස් කෝටියක ඉන්දියානු ජනතාවගෙන් බහුතරය මෙම සටනට ආශිර්වාදය පුද කළ නිසාය. මෙම අරගලයේ ප්‍රමුඛ නායකයා මහත්මා ගාන්ධි වූ අතර නියෝජ්‍ය නායකයා නිසැකවම ජවහර් ලාල් නේරු විය. එනිසා තරුණ නේරු බි්‍රතාන්‍යයන්ගේ ඇසේ ඇනෙන කටුවක් බවට පත් විය. එහි ප්‍රතිඵලය වූවේ බන්ධනාගාර ගතවීමට සිදුවීමයි. කොතරම් දේශපාලන කටයුතුවල යෙදුනත් පියා වූ මොතිලාල් නේරු සුඛෝපබෝගී ජීවිතයකට හුරුව කුමාරයෙකු මෙන් දිවි ගෙවූ තම පුත්‍රයා වූ ජවහර්ලාල් සිරගත වනු දැක්මට කැමතිවූවේ නැත. පියාගේ මතය අනුමත නොකළ පුත්‍රයා දිගටම නිදහස් සටන අත නොහරිමින් දිගින් දිගටම සිරගත වීමට මග සලසා ගති. සිය බිරිඳ වූ කමලාදේවි මෙන්ම දියණිය වූ ඉන්දිරා නේරු කුමරිය ද සටනට පොලඹවා භාරත මාතාවගේ නිද්‍රාශීලීව සිටි දියණිවරුන් සටන් මාර්ගයට ගෙන ඒමට කටයුතු කළේය. එමගින් මහා කිවි සරෝජිනී නායිදු, කමලාදේවි චට්ඨෝපාධ්‍යාය ආදි නායිකාවන්ගේ මෙහෙයවීම ද ඇතිව විශාල කාන්තා පිරිසක් සටනට ඇදී ආහ. මෙය එයට මහත් වාසියක් විය. මෙසේ සත්‍යග්‍රහයක් සඳහා සහභාගි වෙමින් සිටියදී කමලා දේවිය පොලිස් බැටන් ප්‍රහාරයකට ලක්ව රෝගාතුර වූවාය. එය ක්‍රමයෙන් බරපතළ වත්ම ඇයට ප්‍රතිකාර සඳහා විදේශයකට ගෙන යාමට ද නේරුට සිදුවිය. පසුව ඉන්දියාවට පැමිණ අසාධ්‍යව සිටිය දී බිරිඳට සාත්තු කිරීමට හෝ රැකබලා ගැනීමට ජවහර්ලාල්ට අවස්ථාවක් නොවීය. එක්කෝ ඔහු සටනේය. නොඑසේ නම් සිරගතවය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට බැලූ බි්‍රතානීහු සටනින් ඉවත් වන්නේ නම් පූර්ණකාලීනව රෝගී කමලාදේවිය බලා ගැනීමට ඉඩ සලසන බව දැනුම් දුන්හ. එය උභතෝකෝටික ප්‍රශ්නයක් සේ ජවහර්ලාල්ට දැනුණි. සිරගත ජීවිතය නිම කර බිරිඳට උපස්ථාන කරනවාද?, නැතිනම් සටනේ සිටිමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ක්‍රියා කරනවාද? යන දෙපැත්තේ දෝලනය වෙමින් පීඩා වින්දේය. එහෙත් කමලා දේවිය ද නේරු මෙන්ම වීරෝදාර දේශප්‍රේමී කාන්තාවකි. ඇය සිය සැමියාට උපදෙස් දුන්නේ “මරණය කොහොමත් ලැබෙන දෙයක්. මගේ රෝගී තත්ත්වය ගැන සලකා විමුක්ති සටන අතහරින්න එපා. මා මිය ගියත් සටනට යන්න.” නේරු එම උපදෙස පිළිගත්තේය.

 

 


මහත්මා ගාන්ධි සමග එක්වී නිදහස් සටනේ විවිධ ක්‍රියාකාරකම්වල නියුක්ත විය. නැවත නැවතත් සිරගත විය. මෙසේ විසි දෙවතාවක් සිරගත වූ බව කියනු ලැබේ. විවිධ අවස්ථාවන්හි ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ සභාපති ධුරය දැරූ ඔහු නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැතිවරයා බවට ද පත්විය. ඉන්පසු ඒකාබද්ධ ඉන්දියානු රාජ්‍යය ගොඩනැගීමට ඔහු දායක විය. ඒ සඳහා ඔහුගේ කැබිනට් සගයෙකු වශයෙන් ස්වදේශ කටයුතු ඇමැති සර්ද්‍රර් වල්ලහායි පතේල් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම වෙනුවෙන් අධිකරණ ඇමැති අම්බෙඞ්කාර් ද ඉටු කළ සේවය සහ ලබා දුන් සහයෝගය අතිමහත්ය.


ඉන්දියාවේ දේශපාලන තත්ත්වය ආරම්භයේ සිටම ගලාගිය ආකාරය ශ්‍රී ලංකාවේ මිම්මෙන් අනුමාන කළ නොහැක. එය බොහෝ විට පැවැතියේ ආගමික හෝ ජාතිකත්වය පිළිබඳ මුහුණුවරකිනි. ක්‍රිස්තු වර්ෂ අටවන සියවසේ ආරම්භයත් සමග වාගේ අරාබිවරුන්ගේ ආක්‍රමණ ඇති විය. ප්‍රථමයෙන්ම වෙළෙඳ කටයුතු සඳහා ඉන්දියාවට පැමිණි ඔව්හු පසුව දේශපාලන රණකාමය ඔස්සේ දේශපාලන ආක්‍රමණ ආරම්භ කළහ. ක්‍රි.ව. 713 තරම් ඈත යුගයේ දී පහළ සින්දු නදී ප්‍රදේශය මුස්ලිම් පාලනයට ගොදුරු වී තිබුණි. මේ හේතුව නිසා වයඹ දිග ඉන්දියාවේ මක්රාන් සහ බෝලාන් යන ගිරි දුර්ග මාර්ග කපොලු දෙක පහසුවෙන් මුස්ලිම්වරුන්ට යාම් ඊම් සිදු කිරීමට හැකි වාතාවරණයක් ඇති විය. මෙම පහසුකම නිසා නොයෙකුත් ආක්‍රමණිකයෝ භාරතයට පැමිණියහ. මොංගෝලියාවෙන් සහ ඇප්ගනිස්ථානයෙන් වරින් වර පැමිණියහ. වරක් දිල්ලි සුල්තාන් රාජ්‍යයක් පිහිටුවා ගත් අතර, සබුක්තිජින් ප්‍රථම මුස්ලිම් පාලකයා ලෙස ඉන්දියාවේ කොටසක් පාලනයකරන ලදී. ඔහුගෙන් පසු සෂ්ණියේ මුහම්මද්, සූර්හි මහම්මද්, අලාඋද්දීන් ආදී නොයෙක් පාලකයෝ බිහිවූහ. මෙම කණ්ඩායමේ අවසාන පාලකයන් වූවේ මෝගල් රජ පරපුරයි. වයඹ දිගින් පැමිණි බාබුර් සහ ඔහුගේ පුත් මහා අක්බාර් ඇතුළු මෝගල්වරුන්ගෙන් බි්‍රතානීහු බලය අත්පත් කර ගත්හ. මෙවැනි ක්‍රියා නිසා පන්ජාබය, බෙංගාලය, වයඹ දිග දේශ සීමා ප්‍රාන්තය, බලුකිස්තානය ආදී ප්‍රදේශවල මුස්ලිම් ජනගහනය අධික වූවේය. ඉන්දියානු දේශපාලනයේදී ඉන්දියානු ජාතික සංගමයට ප්‍රථම අභියෝගය ඉන්දිරිපත් වූවේ මෙම මුස්ලිම් ජනතාව සම්බන්ධව සිටි මුස්ලිම් ලීගය නම් දේශපාලන පක්ෂයයි. හින්දු ප්‍රදේශම ලද කුඩා දේශපාලන පක්ෂ පැවතිය ද ඒවාට කොන්ග්‍රසයේ ශක්තියට අලගු තැබිය හැකි බලයත්වත් දිනා ගැනීමට නොහැකි විය. මුස්ලිම් ලීගයේ නායකයා බවට පත්ව පකිස්තානය නමින් වෙනම රාජ්‍යයක් දිනා ගැනීමට මග පෙන්වූ මොහමඞ් අලි ජින්නා පවා එවැනි බෙදුම්වාදී ප්‍රතිපත්තියකට තල්ලු වූවේ පසුකාලයකදීය. ඒවාට අධිරාජ්‍යවාදීන්ගේ බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තියේ උපක්‍රමශීලිත්වය ද බලපාන්නට ඇතිවා නිසැකය. බෙංගාලය නැගෙනහිර පාකිස්තානයට අයත් වූ අතර, බටහිර බෙංගාලයේ හින්දු බහුතරයක් සිටි නිසා එම කොටස ඉන්දියාවට අයත් විය. පන්ජාබයට අත්වූයේ ද එම ඉරණමමය. අනෙකුත් මුස්ලිම් ප්‍රාන්ත වූ වයඹ දිග දේශසීමා ප්‍රාන්තය, සින්දීය, බලුකිස්තානය ද පාකිස්තානයට එකතු කරන ලදී. මෙසේ මුස්ලිම් රාජ්‍යයක් වශයෙන් බෙදී ගියා වුවද ඉන්දියාවට අයත් වූ ප්‍රාන්තවලද තවදුරටත් කෝටි ගණනක් මුස්ලිම්වරු ඉතිරි වූහ. කාශ්මීරය, හයිද්‍රාබාදය, උත්තර ප්‍රදේශයේ මෙන්ම දකුණු ඉන්දියාවේ ද මෙවැන්නෝ බොහෝ වූහ.


කොන්ග්‍රස් පක්ෂය වූකලී ආගමික රාජ්‍යයකට කිසි කලෙකත් අනුබල දුන්නේ නැත. එසේ වුවත් පාකිස්තානයට බෙදී යාමට ඉඩ දීමේ වරද නිසා නිදහසේ නායකයා වූ මහත්මා ගාන්ධි මරා දමනු ලැබීය. අවිහිංසාවාදය ප්‍රධාන ආයුධය කොටගෙන සමස්ත ඉන්දියාව පුරා සංචාරය කරමින් ජාතික නිදහස උදාකර දුන් නායකයා මරා දැම්මේ හින්දු අන්තවාදී ආර්. ඇස්. ඇස්. පක්ෂයේ අනුදැනුම පරිදි එහි ප්‍රබලයකු වූ නතුරම් විනායක් ගොඞ්සේ නම් අපරාධකරු විසිනි. දීර්ඝ නඩුවිභාගයකින් පසු ඔහු පෝරකය මතදී මරණීය දණ්ඩනයට යටත් කළ බවද අමතක කළ යුතු නොවේ. එකල මෙම ආර්.එස්.එස්. කණ්ඩායමේ ප්‍රතිපත්ති ඉතසිතින් අනුමත කළ ජාන් සාන්ග් නම් පක්ෂයක්ද විය. අතල් බිහාර් වජ්පායි මහතා නායකත්වය දැරූ එම පක්ෂයට හිමි වී තිබුණේ ලෝක් සභා මන්ත්‍රී ආසන තුනක් පමණි. බොහෝ ඈත අතීතයක සිට භාරතය කුමාරවරුන්ගේ (මහා රාජාවරුන්ට අයත්) ලොකු කුඩා රාජ්‍ය විශාල සංඛ්‍යාවකින් යුක්ත විය. සුඛෝපභෝගී සල්ලාල ජීවිත ගත කරමින් අලි ඇතුන් දිවියන් මරා විනෝද වෙමින් ජනතා බදු මුදලින් ප්‍රකෝටි ගණන් ධනය සහ මුතු මැණික් රැස් කරමින් සුර සැප විඳි මොවුන්ගේ අයිතිවාසිකම් සඳහා ද ස්වතන්ත්‍ර පක්ෂය නමින් දේශපාලන පක්ෂයක් නිදහස් ඉන්දියාවේ පැවතුණි. රාජස්ථාන ප්‍රාන්තය ඇසුරේ ජනප්‍රියත්වය ලැබු එම පක්ෂයට ද පාර්ලිමේන්තු ආසන හයක් හතක් දිනා ගැනීමට හැකිවිය. කේ. ඇම්. වී. නම්බුරිපාද්ගේ නායකත්වයෙන් කේරල ප්‍රාන්තයේ කොමියුනිස්ට් පක්ෂය ඉතා බලවත් විය. ජෝති බාසු නම් වූ ජනප්‍රිය නායකයා යටතේ බටහිර බෙංගාලය ද කොමියුනිසිට් පක්ෂය බලවත් විය. ශ්‍රී නේරු අගමැති පදවියට පත් වූවේ අති බහුතර ආසන කොන්ග්‍රසය දිනාගෙන බලයට පත්විය. හතර වටේටම ඉන්දියාවට සිටියේ සතුරු බලවේගය. එම නිසාම ඉන්දියාවට චීනය, පාකිස්තානය වැනි රටවල් සමග යුද්ධ ගණනාවකට මුහුණ දීමට සිදුවිය. ශ්‍රී නේරුගේ රජය මේ සියල්ලට අභීතව මුහුණ දුන්නේය. ඒ සියල්ලටම වඩා පෘතුගීසි අධිරාජ්‍යයේ ආසියානු කලාපයේ මූලස්ථානය වශයෙන් පැවැති භාරතයේ ගෝව ප්‍රාන්තය බේරා ගැනීමට කළ යුද්ධය ජයග්‍රහණයෙන් නිම කළ ශ්‍රී නේරු අගමැතිවරයා වරක් ලංකාවට පැමිණි විටෙක වතු කම්කරු නායකයෝ තම ප්‍රශ්නය විසඳා දෙන ලෙස ඉල්ලා සිටියහ. එයට පිළිතුරු දුන් අගමැතිවරයා කීවේ, “මම ඒ ගැන බලන්නම්. එහෙත් මට ඉන්දියාවේ ප්‍රශ්න හැට කෝටියක් තිබෙනවා. ඒ රටේ සෑම පුරවැසියෙක්ම මට ප්‍රශ්නයක්. ඒ ගැනත් හිතන්න” කියාය. මෙවැනි පසුබිමක් තුළ ශ්‍රී නේරු 1964 දී පරලෝ සැපත් විය.

 

 


ශ්‍රී නේරුගේ තැන ගැනීමට තරම් ඒ හා සමාන දේශපාලන පෞරුෂයක් ඒ වන විට ඉන්දියාවේ ජාතික සංගමය තුළ ගොඩනැගී තිබුණේ නැත. එහෙත් නේරුගේ රජයේ ස්වදේශ කටයුතු ඇමැති ගුල්සාරි ලාල් නන්ද මහතා වැඩබලන අගමැති තනතුරට පත්විය. කොන්ග්‍රස් ජාතික කමිටුව පසුව රැස්වී නව අගමැති ලෙස ඉතා සරල යහපත් මිනිසෙකු වූ ලාල් බහදූර් ශාස්ත්‍රී මහතා අග්‍රාමාත්‍ය ධුයට පත් කළහ. එකල ඉන්දු පකිස්තාන යුද්ධයක් ඇවිළී ගිය අතර ඒ පිළිබඳ සාම සාකච්ඡාවක් සෝවියට් රුසියාවේ මැදිහත්වීමෙන් රුසියාවේ ටස්ටන්ට් නගරයේ දී පැවැත්වුණි. එම සාකච්ඡා කාලය තුළදී රෝගාබාධයකට ලක්වූ ඉන්දියානු අගමැතිවරයා 1966 ජනවාරි මාසයේදී පරලෝ සැපත් විය.


මේ වන විට කොන්ග්‍රස් පක්ෂය තුළ නොයෙකුත් අර්බුද නිර්මාණය වෙමින් තිබුණි. උග්‍ර දක්ෂිණාංශික නායකයකු වූ මොරාජි දේශායි අගමැති තරගයට ඉදිරිපත් විය. මෙවිට පක්ෂයේ ප්‍රබලයන් විශාල පිරිසක් පක්ෂය එක්සත් කර සමබරව සහ ආරම්භක නායකයන්ගේ අරමුණු ඔස්සේ එය මෙහෙය විය හැක්කේ නේරු පවුලේ සාමාජිකයකුටම පමණක් බව වටහාගෙන ජවහර්ලාල් නේරුතුමාගේ එකම දියණිය වූ ඉන්දිරා ගාන්ධි නායකත්වයට පත් කර අගමැති ධුරය පිරිනමන ලදී. මේ වන විට ඇය නේරු පියාගේ මගපෙන්වීම යටතේ ප්‍රවෘත්ති ඇමැති ධුරය භාරගෙන කටයුතු කරමින් සිටියාය. පියාගේ ලේකම්වරිය ලෙස ද ළමා කාලයේ සිටම නිදහස් අරගලයේ යෙදීමෙන් ලද අත්දැකීම් ද සමග ඇය දේශපාලන පන්නරය අවශ්‍ය පමණටම ලබා සිටිය නිසා මහා භාරතයේ අග්‍රාමාත්‍ය ධුරය වැනි වගකිවයුතු ධුරයක් මෙන්ම නේරු අගමැතිවරයා ලංකාවේදී ප්‍රකාශ කළාක් මෙන් ප්‍රශ්න හැට කෝටියක් ද තම උර මතට ගත්තාය.

 


ඉතිරිය ලබන සතියට.


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

ඉරණමට හිස නමා පක්ෂ නායකත්වය අත්හළ රාහුල් ගාන්ධිගේ පුරාවත

ඔබේ අදහස් එවන්න

Foreign

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ
2023 නොවැම්බර් මස 14 3069 1

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත


ඉන්දියාව කුල්මත් කළ මිසයිල මිනිසා
2020 මාර්තු මස 28 12656 3

මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 826 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 758 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී
2020 මාර්තු මස 28 414 0

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
2020 මාර්තු මස 28 567 0

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site