මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන් නොව නිහඬව ජනතාවට සවන්දීමෙන්. 


මේ අපූරු න්‍යාය ලොවට කියා දුන්නේ විශිෂ්ට ගණයේ විද්‍යාඥයකු මෙන්ම ඉන්දීය ජනතාවගේ සදාදරණීය ජන නායක වූ ආචාර්ය අබ්දුල් ක්ලාම් විසිනි. 
ඔහු පරාම්පරික දේශපලනඥයකු හෝ ධනවතකු නොවේ. ඉතාම දිළිඳු ප්‍රාන්තයන් වූ තමිල්නාඩුවේ මුස්ලිම් පවුලක උපත ලැබූ ස්ව උත්සාහයෙන් ද දියුණු වූ චරිතයක් වීම සුවිශේෂීය. ඒ නිසා ඔහුට ධනේශ්වර සමාජයෙන් එල්ල වූ අභියෝග ද අති විශාලය. ඒ සියල්ලම ඔහු ජය ගත්තේ නව දේශපාලන පරපුරට ද ආදර්ශයක් වෙමිනි. 


1990 වකවානුයේ රාමේශවරම් හි විසු ක්ලාම්ගේ මුතුන් මිත්තෝ පෝක් සමුද්‍ර සන්දීය හරහා ශ්‍රී ලංකාව භාණඩ ප්‍රවාහනය කළහ. ඉන්දියාව ආසන්න පම්බන් දූපත දක්වා දිවු ඔරු සේවයේ හිමි කරුවෝ ද වූහ. 1915 දී පම්බන් දූපත හරහා වැටුණු පාලම නිසා ඔවුන්ගේ ව්‍යාපාර පිරිහී ගියේය. 


ක්ලාම්ගේ පියා පම්බන් දූපතේ මුස්ලිම් පල්ලියේ ඉමාමිවරයා වූවේ අනිකුත් ආගමික පූජකයන්ගේ ද එකඟතාවෙනි. කෙසේ වුවද පත්තර විකිණී​ෙමන් ගෙදරට සුළු ආදායමක් සොයා දීමට කුඩා ක්ලාම්ට සිදු විය. 


දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු තරගකාරීව උඩු ගුවනට රොකට් යැවීමට ඇමරිකාව හා රුසියාව උත්සාහ කළහ. ඒ කාලේ ඉන්දියාවේ තාක්ෂණය පැවතියේ පහළ මට්ටමිනි. 1950 ඉන්දියාව ද රොකට් තැනූහ. 


චන්ද්‍රිකා තාක්ෂණයෙන් නිපද වූ රොකට් ගුවන් ගත කරන ස්ථානයට ගෙන ගොස් ඇත්තේ බර කරත්ත හා පාපැදිවල පටවා ගෙන යැයි ක්ලාම් අතීතාවර්ජනය කළේය. 
ස්වොත්සාහයෙන් ඉගෙනුමේ පරතෙරට ගිය අබ්දුල් ක්ලාම් තරුණයා මදුරාහි විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යා උපාධිය ලැබීය. පසුව ඉන්දිය හමුදාවේ තාක්ෂණික පර්යේෂණ වලට එක් වූ අතර හෙළිකොප්ටර් සහ රොකට් යන්ත්‍ර රැසක් නිපදවනු ලැබීය. 


ඒවා සර්ව සම්පූර්ණ නිෂ්පාදන නොවුවත් ක්ලාම්ට විද්‍යාඥයා යන නාමය ලැබීමට ඒ සුදුසුකම් හොඳින්ම සෑහුණු බව සමකාලීන මිතුරෝ පවසති. 
තාක්ෂණික අතින් මෙන්ම ආර්ථික අතින් ද බටහිර රටවලට ළං විය නොහැකි මට්ටමේ තිබු ඉන්දියාව නව නිෂ්පාදන අත්හදා බලමින් රජයේ අවධානය දිනා ගනිමින් විශිෂ්ට ගණයේ සැලසුම් ව්‍යාපෘති තුළින් සාර්ථකත්වය කරා ගෙන ගියේ අබ්දුල් ක්ලාම්ගේ උර හිස මතිනි. 


භෞතික විද්‍යාඥයකු ලෙස ලැබු විෂය මූලික දැනුම සමග ගුවන් යානා තාක්ෂණය පිළිබඳ ලත් පරිචය තුළින් හා ඉංජිනේරු කුසලතාව තුළින් ඔහු දිරි ගැන්වූ න්‍යෂ්ටික වැඩසටහන් සම්භාවනාවට පත් විය. 


සියරට තුළින්ම අග්නි හා පෘථිවි මිසයිල පද්ධතිය මවුබිමට උරුම කර දුන් නිසා මිසයිල මිනිසා යන ආදර නමින් ක්ලාම් හැඳින්විණ. 


ඔහු පොක්රාන් - 2 නමැති න්‍යෂ්ටික අවි නිෂ්පාදන පද්ධතියට ද දායකත්වයට ලබා දුන්නේ න්‍යෂ්ටික බලය තුළින් රටට අවශ්‍ය විදුලි බලය නිපදවීමට ගිය අවස්ථාවේ ජනතා විරෝධයක් පැන නැගුණ අතර ක්ලාම් ඊට මැදිහත් වී කරුණු දක්වා ජනතාව සන්සුන් කළේය. 


නව තාක්ෂණය පිළිබඳ නව පරපුර දැනුම්වත් කිරීමට එකම බාධාව වූයේ වැඩිහිටියන්ගේ ආකල්ප වෙනස් කිරීම මහත් සටනක් කිරීමට ඔහුට සිදු විය. වරක් අබ්දුල් ක්ලාම් යටතේ සේවය කළ විද්‍යාඥයකුට එක්තරා නව නිෂ්පාදන ප්‍රදර්ශනයක් තම දරුවන්ට පෙන්වීමට අවශ්‍ය විය. උදෑසනම ගොස් හවස් වරුවේ නිවාඩුවක් අයැදුම් කළ ඔහුව රජකාරි නිසා ඉක්මණින් ගෙදර යාමට අමතක විය. රෑ බෝවී දෙගිඩියාවෙන් ගෙදර ගිය නිලධාරියාට දරුවන් එහි නොමැති බව පෙනුණි. 


‘‘කෝ දරුවෝ නිදිද? ඔහු බිරිඳගෙන් ඇසුවේ බැනුම් අසන්නට බලාගෙනය. බිරිඳ මවිත වූවාය. 


‘‘ඇයි ඔයාලගේ කන්තෝරුවෙන් නිලධාරියෙක් එවලා තිබුණා. ඉතින් මං ළමයි යැවුවා.’’ 


නිලධාරියාගේ අස් උඩ ගියේය. වහා සොයා බැලු ඔහුට දැන ගන්නට ලැබුණේ තම ප්‍රධානියා වූ අබ්දුල් ක්ලාම්ම පැමිණ දරුවන් ප්‍රදර්ශන ශාලාවට රැගෙන ගිය බවයි. දරු පරපුර ගැන ක්ලාම් කෙතරම් උනන්දු දැයි මෙයින් පෙනේ. මෙවැනි අපුරු වැඩ නිසා අබ්දුල් ක්ලාම් යන නාමයට දරුවෝ ප්‍රිය කළ අතර රාජ්‍ය නායකයෝ පවා ඔහු හමු වීම අපේක්ෂා කළහ. 
අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ සමයේ රොකට් නිපදවීමේ ව්‍යාපෘතියට කැබිනට්ටුවේ හා පාර්ලිමේන්තුවේ අනුමැතිය නොලැබුණි. වහාම අබ්දුල් ක්ලාම් යොදවා එම කටයුතු සඳහා අනුමැතිය ගත් අතර ඔහු කළ ජාතික සේවයට ගෞරව පිණිස 2002 දී ජනාධිපතිධුරය පවා පිරිනමන ලදි. එය සිදු වූයේ ඉන්දීය කොන්ග්‍රසයේ හා භාරතීය ජනතා පක්ෂය යන දෙකේම අනුමැතියෙනි. 


එපමණක් නොව යුරෝපා පාර්ලිමේන්තුව ද අබ්ල් ක්ලාම් ශ්‍රේෂ්ඨ නායකයකු ලෙස පිළිගෙන ව්‍යක්ත දෙසුමකට ඇරයුම් කළේය. 


බලයේ සිටින තාක් කල් ඥාති සංග්‍රහයට හා පරිසර විනාශයට ඔහු වැට බැන්ඳේය. රටට කැප වූ ක්ලාම් තම විවාහ ජීවිතයට ද තිත තැබුවේය. 

 

ජනාධිපත් ක්ලාම්ගේ සොහොයුරා රාමේශ්වරම්හි කුඩ සහ සපත්තු මසන්නෙකි. එහෙත් රජ ගෙදර ඔහුට ඉඩක් නොලැබුණි. වෙන එකක් තබා තමාට ලැබෙන ජනාධිපති වැටුප පවා ඔහු දුප්පත් ගැමියන්ට අතදිග හැර වැය කළේය. 


‘‘මගේ ඔක්කොම නඩත්තුව රජය දරනවා නම් මට මොනවට ද තවත් වැටුපක්.’’ ඔහු ඇසීය. මහලු වයසේදීත් මන්දිරය තුළ රැඳී නොසිට දුර බැහැර පළාත්වල සංචාරයේ යෙදෙමින් නව පරපුරට තම ජීවිතයේ අත්දැකීම් කියා දෙමින් ඔවුන් ඊට පෙරට ගෙනයාමට උපදෙස් හා ආදර්ශන සැපයු ජනපති ක්ලාම් දරු සම්පත් නොමැති වුවද රටේම දරු පරපුරට ආදරය කළේය. 


එයාලා ලොකු වුණාම කැමති කවුරු වෙන්න ද? මුම්බායිහි ගුරුවරයෙකු ළමුන්ගෙන් ඇසීය. අපි කැමැතියි, අබ්දුල් ක්ලාම් කෙනෙක් වෙන්න. ළමෝ එකහෙළාම කෑ ගැසුවේලු. 
83 වැනි වියේදී ද අබ්දුල් ක්ලාම්ගේ අදසක් තරුණයකුගේ සේම ජවසම්පන්න විය. අඩුවෙන් කතා කරන ගමන් වැඩියෙන් වැඩ කිරීමට ඔහුගේ න්‍යාය විය. මං මෙතරම් මහා දැනුමක් රැස්කර ගත්තේ කොහොමද කියලා සමහරු අහනවා. මං මහා විද්‍යාඥයෙක් නොවෙයි. ඇල්බට් අයිස්ටයින්ටත් විශ්ව විද්‍යාල උපාධි සහතික නැතත් ඕනෑතරම් සුදුසුකම් තිබුණා.
එතුමා පසුව ස්විස්ටර්ලන්තෙ පොලිටෙක්නික් ආයතනයෙන් තමයි උපාධි සහතිකේ ගත්තේ.කෙනෙකුගේ ජීවන ඇත්දැකීම් තුළින් ලැබෙන දැනුම උපාධි සහතිකේටත් වඩා ප්‍රබලයි. 
වයෝවෘද්ධ ජනනායකයා ගුවාමි ප්‍රදේශයේ ශිලෝස්හි පැවැති කළමනාකරණය පිළිබඳ ඉන්දීය සිසුන් දැනුම්වත් කරමින් එතුමා පැවසුවේය. 


‘‘ඔබතුමාට අසනීපයි වගේ. අපි දේශනය නවත්වත්තමු’’  සංවිධායකයෝ යෝජනා කළ ද එය නොසලකා සභාව ඇමතූ ජන නායකයාගේ අවසන් වදන් කීප එසේ පවසද්දී හෘදයාභාදයක් වැළඳුණි. 


ඉළඟ මොහොතේ මිසයිල වීරයා වේදිකාව මැඳ ඇඳ වැටුණේ ප්‍රේක්ෂකයන් කම්පාවට පත් කරමිනි. ඉන්දියාවේ ජ්‍යෙෂ්‍ඨතම යුග පුරුෂයාට පිරිනමන ගෞරවනාමය වන භාරත රත්න නාමයෙන් පිදුම් ලැබු ආචාර්ය අබ්දුල් ක්ලාම්ගේ හදිසි වියෝව අසා ඉන්දිය කලාපයම ශෝකාන්තයෙන්ම ඇළලී ගිය අතර අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් ද ශෝකාකූල වුවන් අතර වූවාය. 


දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව රාමේෂ්වරම්හි සිදු කරන ලදි. භාරතයේ තාක්ෂණික යුගය හඳුන්වා දුන්න මහා ප්‍රාඥයාගේ ගුණ සිහි වී නව පරපුර පවා වැලපුණහ. 


‘‘මා මළ දවසට රටේ නිවාඩු දිනයක් ප්‍රකාශ කරනවා වෙනුවට එදිනට නිවාඩු නොගෙන දින දෙකක වැඩ එදින කරනවා නම් එය මට දක්වන ලොකුම ගෞරවයයි.’’ 
ඒ. ආචාර්ය අබ්දුල් ක්ලාම්ගේ අවසාන ඉල්ලීම විය.

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය අන්තර්ජාලයෙනි