IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හරිපාරේ වම ආවානම් රට හරිතැන

ජයතිලක ද සිල්වා

දේශපාලන නිදහසින් පසු අප රට පාලනය කෙළේ දක්ෂිණාංශික හෝ දකුණට බර මැදි මාවතක් ගත් දේශපාලන පක්ෂ විසිනි. වඩා නිශ්චිතව කිවහොත් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසිනි. පසුව කී පක්ෂය සාමාන්‍ය ව්‍යවහාරයෙහි වමට බර පක්ෂයක් සේ හැඳින්වුව ද එය නිවැරැදි ම නො වේ. ශ්‍රීලනිපය හැමවිටම ක්‍රියා කෙළේ දක්ෂිණාංශික ප්‍රතිපත්තිවලට වමේ සහාය ලබා ගැනීමට ය. එය සමඟ සන්ධානගත වූ වමේ පක්ෂ ද සිය ස්වාධීනත්වය රැක ගන්නට අසමත් වූවා පමණක් නොව බොහෝ අවස්ථාවල සිය අනන්‍යතාව ද නැති කැරැ ගත්තේය. එම සන්ධාන බොහෝ විට බිඳ වැටුණේ වමේ පක්ෂ නෙරපා දැමීමෙනි. පසු ව එක්සත් ජාතික පක්ෂය ද සිය ශක්තිය ප්‍රවර්ධනයට වමේ සහාය පැතී ය. 

කිසිද‌ා පූර්ණ දේශපාලන බලයක් හිමි නොවුව ද මෙරට සමාජ සංවර්ධනයට වම සැපැයූ දායකත්වය අනල්ප ය. නිදහස් අරගලයට වම ඉටු කළ මෙහෙවර එහි හතුරෝ පවා පිළිගනිත්. 

එසේම පසුගිය සියවස මුල දී නැඟී ආ වෘත්තීය සමිති ව්‍යාපාරය ජව සම්පන්න හා සටන්කාමී තත්ත්වයකට දියුණු කෙළේ ද වාම පක්ෂ විසිනි. එම ව්‍යාපාරයෙහි සියලු ජයග්‍රහණ පිටුපසම පාහේ වම සිටියේය. පැය අට වැඩ දිනය, අර්ථසාධක අරමුදල, වැඩකරන ජනයාට වන්දි ගෙවීම, නිවාස උපරිම හිමිකම් පනත, කුඹුරු පනත හා අඳ ගොවි අයිතිය ආදිය නිදසුන් කිහිපයෙකි. ඇතැම් ජයග්‍රණ පසුව නෛතිකව උදුරා ගැනුණ ද එය වෙනම කතාවකි. වමට හෙණ වැදුණේ හිඟන්නාගේ තුවාලය මෙන් පැවැති අසමගිය හේතුවෙනි. පළමු බෙදීම බාහිර හේතු පදනම්ව හටගත්තකි. මෙරට පළමු වැනි සමාජවාදී පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය එදා බෙදු​ණේ සෝවියට් දේශයෙහි කොමියුනිස්ට් පක්ෂයෙහි බෙදීමකට සමාන්තර ව ය. එරට පිළිබඳ ප්‍රතිපත්තිය අරබයා ය. එම බෙදීමෙන් වමෙහි බලය තරමක් දුබල වුව ද 1947 මැතිවරණ ප්‍රතිඵල අනුව සමගි වී නම් ආණ්ඩුවක් පිහිටුවන ඉමට පැමිණීමට වම සමත් වූවේය. එහෙත් පාෂාණිභූත න්‍යායාත්මක අගති හේතුවෙන් එම අවස්ථාව වමට සහ රටට අහිමි විය. එහෙයින් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් විය. 

ඉනික්බිති ස්වාධීන රාජ්‍යයක් වශයෙන් රටෙහි ඉදිරි ගමනෙහි දී දේශීය ධනේශ්වරයෙහි කාර්යභාරය සහ එක්සත් පෙරමුණු පිළිබඳ ව වූ ව්‍යවහාරික සහ න්‍යායාත්මක මතභේද අනුව වම යළි බෙදිණි. මෙම වෙනස්කම් පිටුපස යථාර්ථයෙහි වූ වාස්තවික සාධක මෙන් ම නායකත්වයන්හි දැනුම, අවබෝධය සහ රුචි අරුචි අනුව පැවැති මනෝමූල සාධක ද පැවැතියේ ය. එහි එක් ප්‍රතිඵලයක් වූයේ පසුගිය සියවසෙහි හයවන සහ හත්වන දශකවල උපත ලද නව වමකි. එවක හටගත් ජාත්‍යන්තර කොමියුනිස්ට්වාදී සහ වැඩකරන ජනතා ව්‍යාපාරයෙහි චීන - සෝවියට් බෙදීම එයට ආසන්න උත්තේජනයක් සැපැයුවේය. අද නව වමට ද වසර 40-50ක අතීතයක් ඇති අතර සාම්ප්‍රදායයික සහ නව වම අතර බෙදුම් රේඛාව ද අඳුරු වෙමින් පවතී. වම විද‌ාරණයෙහි ඇමීබා ලක්ෂණය තවමත් නිම ව නැති සේ ය. 
බහුජන අරගලයට වඩා පාර්ලිමේන්තු අරගලයට ප්‍රමුඛත්වය දීමෙහි සහ පූර්වෝක්තය අපරෝක්තයට අවනත කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස ජාතිවාදය නමැති පිළිලය වමට ද පැතිරිණි. ජාතික ප්‍රශ්නය උග්‍රවීම හේතුවෙන් සහ 1983 දෙමළ විරෝධී කළු ජූලිය ඇවෑමෙන් ඇති වූ තිස් හැවිරිදි යුද්ධයෙහි දී පාලකයන් ක්‍රියාත්මක කළ ජාතිවාදී දෘෂ්ටිමය අධිකාරය හමුවෙහි වමේ පක්ෂ ද ඒ සමඟ එක්කෝ පෑහුණේය. නැතහොත් එයට යටත් ව නිසොල්මන් වූවේය. 

 ඒ අතර බලයට ඒමට ඇති තදියම නිසා දෝ ඇතැම් නව වමෙහි බලවේග ද ජාතිවාදයට නැඹුරු වන්නට විය. එය අවසානයෙහි වම කුඩා කණ්ඩායම් දක්වා කැබැලි වන්නට හේතුකාරක වූ බව කිව යුතු ය. 

වම දුබල වීමට එහිම මායා හා දුර්මත ඉවහල් වූ බව පෙනේ. නිදසුනක් වශයෙන්, සාම්ප්‍රදායයික වම සහ එහි අනුගාමිකයන් බහුතරයක් තවමත් සිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාමාංශික දේශපාලන පක්ෂයක් බව ය. එසේම ඔවුහු එහි අනුප්‍රාප්තික පිටපතක් බඳු පොදු ජන පෙරමුණ තක්සේරු කරන්නේ ද එලෙස ම ය. ඊට වඩා මුළාවක් පැවැතිය නොහැකි ය. එම සංවිධාන දෙකෙහිම ධජ පතාකය වන්නේ නව ලිබරල්වාදය වන අතර ජාතිවාදය ඒවායේ මුඛ්‍ය ලක්ෂණයකි. අධිරාජ්‍ය විරෝධී සටන් පාඨ බලය ලබා ගැනීමට උපයෝගී කැරැ ගන්නා ප්‍රයෝගයකි. එම පක්ෂවල සර්වසාම්‍ය ස්වභාවය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන් ඒවා අතර ඔබ මොබ පනින පහසුවෙන්ම පැහැදිලි ය. බලයෙහි සිටි කල ජේම්ස් පැකර්ලා මෙහි බින්න බැස්ස වීමටත් ඇමෙරිකන් යුද භටයන්ට මෙරට විවේක ගැනීමෙහි පහසුකම් සැපැයීමටත් ශ්‍රීලනිප ආණ්ඩු ක්‍රියා කිරීමෙන්ම ඔවුන්ගේ ව්‍යාජ අධිරාජ්‍ය විරෝධය හෙළිදරවු වී ඇත. තව ද, වරක් මෙරටින් පිටුවහල් කරන ලද සහ විවාදාත්මක ඇමෙරිකානු සාම හමුදාවට යළි පැමිණෙන ලෙස යහපාලන ආණ්ඩුව ආරාධනා කෙළේ ද ශ්‍රීලනිපයෙහි පූර්ණ අනුග්‍රහය සහිත ව ය. 

අද අප මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වයෙහි දී ශක්තිමත් වමක් තිබිණි නම් අප මෙතරම් අසරණ නොවන බව, මෙතරම් අපේක්ෂා සුන් තත්ත්වයකට පත් නොවන බව බොහෝ දෙනා විශ්වාස කරත්. ඇත්තටම, තනි තනිව හෝ හවුලේ හෝ මෙරට පාලනය කළ සියලු පක්ෂ වර්තමාන අර්බුදයට වගකිවයුතු ය. දැන් මුහුණ දෙන ව්‍යවස්ථා අර්බුදය දිග්ගැස්සීමට ද දෙගොල්ලෝම වග කිව යුත්තෝය. ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්නට ඔවුන් අසමත්ව ඇතිවා පමණක් නොව ඔවුන් ළඟ ඒවාට විසඳුම් ඇත්තේ ද නැත. ඒ ගැනට වඩා ඔවුන්ගේ වුවමනාව කෙසේ හෝ බලය ඩැහැගැනීම පමණකි. කිසිදු ප්‍රධාන ප්‍රශ්නයකට ඔවුනට ජාතික ප්‍රතිපත්තියක් නැත. ජාතික ප්‍රශ්නය ගත්ත ද, අධ්‍යාපන සේවාව ගත්ත ද, ප්‍රවාහනය ගත්ත ද තත්ත්වය එක සේ ශෝචනීය ය. බහුතරයක් වන ගොවි ජනතාවගේ දැවෙන ප්‍රශ්න දිනෙන් දින උග්‍ර වෙයි. රාජ්‍ය පරිපාලනය බිඳ වැටී ඇත. අල්ලස හා දූෂණය ඉහළ සිට පහළට මුළු සමාජ දේහය පුරාම පැතිර අවසාන ය. එය නොවැළැක්විය හැකි බවට භයානක විශ්වාසයක් පැතිරෙන අතර සංවර්ධනයක් වෙත් නම් අල්ලස පැවැතියාට කමක් නැතැ යි යන මතයක් ද වර්ධනය වෙයි. 

මේ අතර පැරැණි වමේ ඇතැම් පිරිස් තවමත් සියලු ප්‍රශ්නවලට විසඳුම් දීමට සමත් මැජික් බලයක් සහිත ඉන්ද්‍රජාලිකයකු වන් ගැලැවුම්කරුවකු පසුපස හඹා යති. සිය ධනේශ්වර සගයන් මෙන්ම ඔවුන් ද වර්තමාන තත්ත්වය විග්‍රහ කරන්නේ මීළඟ මැතිවරණයෙහි දී ජය ගන්නා සන්ධානයකට එකතු වන අභිලාෂයෙනි. 

ඒ කුමක් වුව ද දීර්ඝකාලීන සහ න්‍යායයික ප්‍රශ්න නිරාකරණය ඉදිරියට තබා ජනතා ප්‍රශ්නවලට, විශේෂයෙන්ම දුප්පතුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන ප්‍රායෝගික අරගලයක් සඳහා එක්වන්නට වමේ පක්ෂ හා කණ්ඩායම් අසමත්වීම අභාග්‍යයකි. එවන් න්‍යායයික මතභේද නිරාකරණය ජන අරගලයෙහි පොදු සමගියක පසුතලයෙහි වන සහ වසර කිහිපයක් වුව ගතවන ක්‍රියාදාමයක් තුළින්ම විසඳා ගැනීම වඩා ප්‍රඥ‌ාගෝචර වනු ඇත. 

යමෙකුට නිවැරැදි ස්ටාලින් ද ට්‍රොට්ස්කි ද, නැතහොත් කොමියුනිස්ට්වාදය ආඥ‌ාද‌ායත්වයක් ද ප්‍රජාතන්ත්‍රවාදයක් ද, නැතහොත් ගර්බචොව් විමුක්තිද‌ායකයෙක් ද ද්‍රෝහියෙක් ද යනාදිය කල්පාන්තරයක් වුව සාකච්ඡා කළ හැකි ය. එහෙත් හදිසි ප්‍රශ්නය ජනතාවගේ අයිතීන් සහ අවශ්‍යතා වෙනුවෙන් කළ යුතු එක්සත් අරගලයක් සඳහා සමඟියක් ඇති කැරැ ගැනීම ය.

 



අදහස් (0)

හරිපාරේ වම ආවානම් රට හරිතැන

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 256 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 63 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 608 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 294 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 116 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 335 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site