IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සරසවි අහිමිවුණු සිසුන්ට සරසවි වරම්

 

(මහාචාර්ය  - ලක්ෂ්මන් ආර්. වටවල)

 

සුදුසුකම් ලත් උ/පෙළ  150,000 ක් පමණ වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් 25,000 ක් විශ්ව විද්‍යාලවලට ඇතුළත් වෙති. තවත් 125,000 ක් ඉතිරිවෙති. මින් පෙනී යනුයේ සමත්වන්නන් අතරින් 17% ක් පමණක් විශ්ව විද්‍යාලවලට ඇතුළු වුවද 83% ක් මගහැරී යන බව ය.

ඕනෑම රජයක මුලික අරමුණ විය යුතු, ශ‍්‍රී ලංකාවෙහි උසස් අධ්‍යාපනය සඳහා ඇති අවස්ථා උපරිමකරණය කිරීම අප විසින් කළ යුතු ය. ආර්ථිකයේ සංවර්ධනය සඳහා, තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, විද්‍යාව සහ තාක්ෂණය, ව්‍යාපාර කළමනාකරණය සහ සේවා අංශවල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට  නව හැකියා සහ අමතර සංඛ්‍යාවක් උත්පාදනය කරමින්, ඉල්ලූම පවත්නා උපාධි වැඩසටහන් සලසාදීමේ ඒකාන්ත අවශ්‍යතාවක් ඇත.

ව්‍යක්තව ඉංග‍්‍රීසි භාෂාවෙන් කථා කළහැකි තොරතුරු තාක්ෂණ සහ ඉංජිනේරු උපාධිධාරීන් විශාල සංඛ්‍යාවක් සිටින ඉන්දියාව ඔවුනට සේවා නියුක්තිය සහ හොඳ වැටුප්ද ලබා දෙමින්, රටට අගනා විදේශ විනිමය උපයා ගන්නා ලෝකයේ    බහිර්සේවාර්ථන කර්මාන්තයේ ගමනාන්තයක් වී ඇත. එසේවී ඇත්තේ, අවශ්‍ය නිපුණතා, සුදුසුකම් සහ සංඛ්‍යාවන්ගෙන් උපාධිධාරීන් බිහි කිරීමට ඔවුන්ගේ ඇති හැකියාව නිසාය. 

තමන්ට සිය මවු බිමෙහිදී ලබාගැනීම අහිමිකරන උපාධියක් ලබා ගැනීම සඳහා, අපගේ තරුණ පිරිස්, වටිනා විදේශ විනිමය ද යොදා ගනිමින්, දහස් ගණනින් පිට රටට ඇදෙති. මෙම බලගතු ගැටලූ ජනතාවට විසඳුම් අවශ්‍යව ඇත.

විශ්ව විද්‍යාල අධ්‍යාපනඥයන්, වෘත්තිකයන් සහ රටේ ව්‍යාපාරික ප‍්‍රජාවගේද සහාය ඇතිව මෙයට විසඳුමක් සපයාගෙන තරුණයන්ට විශ්ව විද්‍යාල අවස්ථා සපයා දීම රජයේ ප‍්‍රමුඛතාවක් විය යුතුය.   ඔවුන් අප රටෙහි අනාගතය වන අතර ශ‍්‍රී ලංකාවෙහි ආර්ථික වර්ධනයට ඔවුනට දායකවීමට හැකිවනු ඇත.

ශ‍්‍රී ලංකාව දැනුම් කේන්ද්‍රයක් බවට පත්කිරීමට නම්, අප වඩා විශාල සංඛ්‍යාවකට, විශේෂයෙන් සුදුසුකම් ලත් තරුණයන්හට, උසස් අධ්‍යාපනය සැපයීමේ විකල්ප ක‍්‍රම දෙස යොමුවිය යුතුය.

විශ්ව විද්‍යාලයට ඇතුල්වන ශිෂ්‍යයින්ගේ දැනට පවතින 16% සිට 20% දක්වා වූ  ප‍්‍රතිශතය, 50% ඉක්මවන ප‍්‍රමාණයකට වැඩි කළ යුතුය.  හැකියාව, දැනුම, භාෂා ව්‍යක්තතාව,  විශේෂයෙන් ඉංග‍්‍රීසි භාෂාව, පර්යේෂණ කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම සහ තරුණයන්ට, විදේශයන්හි ඉඩ ප‍්‍රස්ථා සොයා යාම වෙනුවට, සිය මවුබිමෙහිම අනාගතයක් සැපයෙන ශික්ෂණයන්හි  පුහුණුව ලැබීමට අප අවස්ථාව සපයා දිය යුතුය. 

වර්තමානයේ බොහෝ විදේශ විශ්ව විද්‍යාල, කිසියම් හෝ රාජ්‍ය අධ්‍යාපන අධිකාරියක පාලනයකින් තොරව, පෞද්ගලික ආයතන ඔස්සේ උපාධි පිරිනැමීමේ වැඩ සටහන් පවත්වාගෙන යයි. මෙම උපාධි වැඩසටහන් ඉදිරිපත් කරනුයේ ඉතා ඉහළ පිරිවැයකට වන අතර ඒවා දේශීය වශයෙන් පාලනයකට ද යටත් නොවේ. තවද, බොහෝ සිසුහු බැංකු ණය ලබාගැනීම සඳහා සිය මවුපියන්ගේ නිවාස සහ දේපළ උගසට තබා විදේශ විශ්ව විද්‍යාලවලට ඇතුළත්වෙති.

එහෙයින්, සිය මවුබිමෙහි විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහිමිවන විශාල සංඛ්‍යාවකට, දරා සිටිය හැකි පිරිවැයක් යටතේ ගුණාත්මක භාවයෙන් යුතු විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් සැපයීම සඳහා අප විසඳුමක් සැපයිය යුතු අතර, අනෙකුත් රටවල් මගින් ඒ සම්බන්ධයෙන් සපයා ඇති විසඳුම් සැලකිල්ලට ගත යුතුය. 

ශ‍්‍රී ලංකාවට ඇති ඉතාමත් විශිෂ්ට අවස්ථාවලින් එකක් වනුයේ, ඉතාමත් සාර්ථක වී ඇති විවිධ විශේෂායන යටතේ විශ්වවිද්‍යාල උපාධිධාරීන් විශාල සංඛ්‍යාවක් බිහිකර ඇති විශ්වවිද්‍යාලවලට අනුබද්ධ විද්‍යාල පවතින ඉන්දියානු ආකෘතිය පිළිබඳව සැලකිල්ල යොමු කිරීමයි.

මෙම ක‍්‍රමය යටතේ විද්‍යාල පද්ධතිය ඔස්සේ විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සඳහා ඇතුළත්කර ගන්නා  සංඛ්‍යාව ක්ෂණිකව ඉහළ නංවනු ඇත. එහිදී, ඇතුළුවීම විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම විසින් හසුරවනු ඇති අතර, සියලූවිෂය මාලා සැපයීම හා  විභාග පැවැත්වීමද  විශ්වවිද්‍යාල මගින් සිදුකෙරේ.

සියලූසිසුන්ට දරාගත හැකි පිරිවැයක් යටතේ අධ්‍යාපනය ලබාදීම විද්‍යාල මගින් සිදුකරනු ඇත. අරමුදල් අවශ්‍යවන ශිෂ්‍යයන් සඳහා රජය මගින් හෝ මහපොළ භාරකාර අරමුදලින් ශිෂ්‍යත්ව ලබාදීම හෝ පසුගිය අයවැය මගින් කරනලද පරිදි බැංකුවලින් සැපයෙන ණය පහසුකම් ලබාදීම මගින් සිදු කළ හැකිය.

අනුබද්ධ විද්‍යාල ක‍්‍රමය අපගේ ආසන්නතම අසල්වැසියා වන ඉන්දියාව විසින් මනාව අත්හදා බලා පරීක්ෂාකරන ලද ක‍්‍රමයක් වන අතර, එමගින් උසස් අධ්‍යාපනය ලබාගැනීම සඳහා උනන්දුවන විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට ප‍්‍රතිලාභ ලබාදීමත්, ජාතික ආර්ථිකය සංවර්ධනය සඳහා විශාල ලෙස දායක වීමත්, සිදුකර ඇත.

ඉන්දියාවෙහි, එක් විශේෂ ප‍්‍රදේශයක් තුළ ප‍්‍රාදේශික පාලනය ඇති  විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් පනත යටතේ පිහිටුවන ලද විශ්ව විද්‍යාල ඇත.

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙහි අලූත්ම දත්තවලට අනුව විශාලතම විද්‍යාල සංඛ්‍යාවක් සහිත ප‍්‍රථම විශ්වවිද්‍යාල පහ පහත සඳහන් වේ.

1. අනුබද්ධ විද්‍යාල 901 ක් සහිත හයිදරාබාද් ඔස්මානියා විශ්ව විද්‍යාලය

2. අනුබද්ධ විද්‍යාල 735 ක් සහිත පුනේ විශ්ව විද්‍යාලය

3. විද්‍යාල 800 ක් සහිත නාග්පුර් විශ්වවිද්‍යාලය

4. විද්‍යාල 735 ක් සහිත රාජස්ථාන් විශ්වවිද්‍යාලය

5. විද්‍යාල 711 ක් සහිත මුම්බායි විශ්වවිද්‍යාලය

උදාහරණයක් ලෙස, පුනේ හි, පුනේ, අහමඞ්නගර් සහ නාසික් යන දිස්ත‍්‍රික්ක තුන කෙරෙහි පාලනය ඇති පුනේ විශ්ව විද්‍යාලය ඇත. ඒ හා සමානව, මහාරාෂ්ට‍්‍ර ජනපදයෙහි  අවුරන්ග්බාඞ්, කොල්හාපුර්, අමරාවතී, නන්ඬේඞ් සහ සොලාපුර් යන දිස්ත‍්‍රික්ක සහිත මුම්බායි විශ්ව විද්‍යාලය ඇත. මේ සියල්ල පළාත් රාජ්‍ය විසින් පිහිටුවන ලද පළාත් රාජ්‍ය විශ්ව විද්‍යාල වන නමුත් ඒවා සමස්ත ඉන්දියාවෙහිම සහ ලෝකය පුරාද පිළිගනු ලැබේ. මේ සියලූ විශ්වවිද්‍යාලවලට ඔවුන්ගේ පාලනය යටතේ වූ අනුබද්ධ විද්‍යාල ඇත. වසර පහකට පෙර පුනේ විශ්ව විද්‍යාලයට 550,000 ක ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිත අනුබද්ධ විද්‍යාල 474 ක් පැවතී අතර මුම්බායි විශ්ව විද්‍යාලයට ශිෂ්‍යයන් 650,000 ක් සහිත අනුබද්ධ විද්‍යාල 531 ක් වීය. විෂය මාලාව සහ විභාග පරිපාටිය විශ්ව විද්‍යාලය මගින් තීරණය කරනු ලබන අතර විභාග පැවැත්වීම සිදු කරනු ලබන්නේද විශ්වවිද්‍යාලය මගිනි. අවසාන උපාධිය විශ්ව විද්‍යාලය මගින් පිරිනමනු ලැබේ. අනුබද්ධ විද්‍යාල රටෙහි උසස් අධ්‍යාපන පද්ධතියෙහි මුඛ්‍ය ප‍්‍රතිෂ්ඨාව වන අතර ඒවා උපාධි අපේක්ෂක ශිෂ්‍යයින් 89.3% ක් ද පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන් 72.2% ක්ද බඳවා ගැනේ.

දිල්ලි විශ්ව විද්‍යාලය ඉන්දියාවේ විශාලතම විශ්ව විද්‍යාල අතරින් එකක් ලෙස සැලකේ. දැනට, උපාධි  අපේක්ෂකයන් 114,494 ක් සහ පශ්චාත් උපාධි අපේක්ෂකයන් 17,941 කගෙන් සමන්විත නිත්‍ය සිසුන් 132,435 ක් සහිතව නගරය පුරා විහිදුණු පීඨ 16 ක්, අධ්‍යයන දෙපාර්තමේන්තු 86ක්, විද්‍යාල 77 ක් සහ අනෙකුත් පිළිගත් ආයතන 5 ක්  ද පවතී. අවිධිමත් අධ්‍යාපන වැඩ සටහනෙහි ද සිසුන් 261,169 දෙනෙක් සිටින අතර ඔවුන්ගෙන් 258,831 දෙනෙක් උපාධි අපේක්ෂක සිසුහු ද, 2,238 දෙනෙක් පශ්චාත් උපාධි අපේක්ෂක සිසුහු ද වෙති.

දිල්ලි විශ්ව විද්‍යාලය යටතෙහි වර්ග තුනක විද්‍යාල පවතී. ඉන් සමහරක් මුළුමනින්ම රජයෙන් අරමුදල් සැපයෙන ඒවාය. පෞද්ගලික විද්‍යාල ද ඇත. අරමුදල් සැපයුම සහ කළමනාකරණය මත පදනම්ව ඒවා පහත දැක්වෙන ලෙස වර්ගීකරණය කර ඇත.

විශ්ව විද්‍යාලය මගින් පවත්වාගනු ලබන විද්‍යාල, භාරකාර මණ්ඩල විද්‍යාල, දිල්ලි රාජ්‍ය විද්‍යාල ඒවා වෙයි.

මදුරාසි විශ්ව විද්‍යාලයට අනුබද්ධ විද්‍යාල 115 කි.  ඒවායෙහි, රැුකියාවෙහි නියුතු වැඩිහිටියන්ගේ ඉල්ලීම් ඉටුකිරීම සඳහා සන්ධ්‍යා පන්ති පැවැත්වීමද සිදු කෙරේ. අනුබද්ධ විද්‍යාලවල ලියා පදිංචිවූ සිසුන් සංඛ්‍යාව 150,000 ක් පමණ වේ.

ක‍්‍රමවත්ව පන්ති පැවැත්වීමේ වගකීම ඇත්තේ විද්‍යාල වෙතය. විද්‍යාල, උපාධි සහ පශ්චාත් උපාධි පන්ති පවත්වන අතර විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙහි සම්මතවලට අනුව ආචාර්ය සහ අනෙකුත් කාර්ය මණ්ඩල පවත්වා ගැනේ. පරිපාලනමය සහ අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වගකිව යුතුවේ.

විද්‍යාලයකට, අනුබද්ධතාව  ලබාගැනීම සඳහා විශ්ව විද්‍යාලය මගින් නියම කරන ලද සම්මත පවතින අතර ඒවා සම්පූර්ණ කිරීමෙන් පසුව අනුබද්ධතාව ප‍්‍රදානය කෙරේ.

ප‍්‍රදාන දිය හැකි සහ ප‍්‍රදාන දිය නොහැකි යනුවෙන් විද්‍යාල කාණ්ඩ දෙකක් ඇත. ප‍්‍රදාන දියහැකි යන්නෙන් අදහස් වනුයේ ඒවාට රජයෙන් ප‍්‍රදානයන් දෙනු ලබන බව වන අතර එහෙයින් ඒවායේ ගාස්තුද සැලකිය යුතු ලෙස අඩුය. මෙම විද්‍යාල සඳහා ගාස්තු නියාමනය කිරීමට රජය මගින් ස්ථාපිත කරන ලද ගාස්තු කමිටුවක් ද වේ.

විභාග, විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන අතර විද්‍යාල විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඇති හෙයින් විද්‍යාලවල සිසුහු මෙම විභාගවලට පෙනී සිටිති.

විශ්වවිද්‍යාල විදුහල්වල ඉඩම්, ගොඩනැගිලි, ආචාර්ය සහ ආචාර්ය නොවන කාර්යමණ්ඩල, පුස්තකාල, රසායනාගාර යනාදිය සඳහා අනුබද්ධ කිරීමේ නියාමන පවතී.   

ඉන්දියාවෙහි බොහෝ විද්‍යාල සහ පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවනු ලැබ ඇත්තේ භාරකාර මණ්ඩල ආඥා පනත යටතේ වන අතර ඒවා ලාභ නොලබන සංවිධාන වන අතර, ස්වයං අරමුදලින් සම්පාදනය වේ.  විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම යටතේ ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල සහ ස්වයං අරමුදල් සම්පාදනය කරගනු ලබන වෙළඳ සහ වාණිජ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරන ලද සහ දැනට කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශය යටතේ පවතින ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකරුවන්ගේ ආයතනය සහ සහතික ලත් කළමනාකරණ ගනකාධිකරුවන්ගේ ආයතනයවලට සමානව, ශ‍්‍රී ලංකාවෙහි අධ්‍යාපන අංශය සඳහා යොදා ගතහැකි ඉතාමත් හොඳ සංකල්පයක් වනු ඇත.

විශ්වවිද්‍යාල විද්‍යායතන පිහිටුවීමට සහ අදාළ රෙගුලාසි සම්පාදනය සඳහා විශ්වවිද්‍යාල පනත සංශෝධනය කළ යුතුය.

මෙම වැඩ පිළිවෙළ සාර්ථක භාවයට පත්කිරීම් වස්, පැරණි සහ ප‍්‍රකට විශ්වවිද්‍යාල ප‍්‍රධාන භූමිකාවක් ඉටු කරමින්, විශ්වවිද්‍යාල  විද්‍යායතන අනුමත කිරීම සඳහා සියලූවිශ්ව විද්‍යාලවලට අධිකාරීබලය ලබාදිය යුතුය.

(අ) දැනට ක‍්‍රියාත්මකව පවතින පෞද්ගලික අධ්‍යාපන ආයතන අනුබද්ධ විද්‍යාල පිහිටුවීම සඳහා ධෛර්යමත්කළයුතු අතර බැංකු විසින්, මේවා අරමුදල් සැපයීම සඳහා ප‍්‍රමුඛත්වයෙන් යුතු ව්‍යාපෘති ලෙස සැලකිය යුතුය. යම් යම් පෞද්ගලික විශ්වවිද්‍යාල සහ විදේශ සම්බන්ධතාව සහිත විශ්වවිද්‍යාල සම්බන්ධ දැනට කරනු ලබන අන්දමට, සුදුසුකම් ලැබූ නමුත් විශ්ව විද්‍යාලවලට ඇතුළු වීමට නොහැකිවන ළමයිනට සපයන ණය ක‍්‍රමය මීට සම්බන්ධ කිරීමට රජයට හැකිය.

(අ) සියලූ අනුබද්ධ විද්‍යාල ලාභය සඳහා වූ සංවිධාන නොවිය යුතු අතර, භාරකාර මණ්ඩල ආඥා පනත හෝ සීමාසහිත වගකීම්වලින් යුක්ත සීමිත සමාගම් ලෙස පිහිටුවීම වඩා සුදුසුය. මෙම සංවිධාන ස්වයං අරමුදල් සලසා ගන්නා ආයතන වනු ඇති අතර කිසියම් හෝ අතිරික්තයක් වේ නම් ඒවා ආයතනයේ සංවර්ධනය සඳහා යොදා ගනු ඇත.

ආරම්භක අදියරයන්හිදී ග‍්‍රාමීය සහ අනෙකුත් දිස්ත‍්‍රික්කවල විශ්වවිද්‍යාල විද්‍යායතන සඳහා රජයේ ගොඩනැගිලි සහ පාසල් පරිශ‍්‍ර පස්වරු සැසි සඳහා ලබාදෙනු ඇත.

අවශ්‍යතා සහිත සිසුන් සඳහා රජය මගින් ශිෂ්‍යත්ව අරමුදලක් ස්ථාපනය කිරීම කළ යුතුය.

විද්‍යාලවලට ඇතුළත් කරගැනීම්, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම මගින්, අනෙකුත් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගැනීම් හා සමානව, උසස් පෙළ ප‍්‍රතිඵල මත පදනම්ව සිදු කරනු ඇත.

උපාධි සහතිකය, විශ්වවිද්‍යාල මගින් අනුබද්ධ විද්‍යාලයේ නම සහිතව නිකුත්කරනු ඇත. විෂය මාලාව, විශ්වවිද්‍යාල මගින් සපයනු ඇති අතර විභාග ද විශ්ව විද්‍යාල මගින් පවත්වනු ඇත.

වඩා වැඩි සිසුන් සංඛ්‍යාවකට උපාධි සුදුසුකම් ලබා ගතහැකිවනු ඇති අතර රට තුළ වඩා වැඩි උගත් තරුණයන් සංඛ්‍යාවක් සහ වඩා ඉහල පුහුණුවක් සහිත පුද්ගලයන් සංඛ්‍යාවක් බිහිවනු ඇත. උසස් අධ්‍යාපනය සඳහා යන ශිෂ්‍යයන්ගේ ප‍්‍රතිශතය අප‍්‍රමාදව 50% ක් දක්වා වැඩිවීමත් ඉන්පසුව වාර්ෂිකව ඉහළ යාමත් සිදුවනු ඇත.

දේශීය ශිෂ්‍යයන්හට පාඨමාලාවන් දැරියහැකි වියදමකට සැපයෙනු ඇති අතර රටින් බැහැරට යැවෙන වටිනා  විදේශ විනිමය ඉතිරිවනු ඇත.  

දේශන පැවැත්වීම සිදු කරන විශ්වවිද්‍යාලවල දේශීය මහාචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන්ට ඔවුන් කරන දුෂ්කර කර්තව්‍යය සඳහා ප‍්‍රමාණවත් ලෙස ප‍්‍රදාන ලබාදෙනු ඇති අතර, එමගින් රටට බරපතළ ගැටලූවී ඇති බුද්ධි ගලනයේ නැවතුමක් සිදුවනු ඇත.

විදේශ විශ්වවිද්‍යාලවල සිටින්නන්හට ආපසු ශ‍්‍රී ලංකාවට පැමිණීමට සහ ඔවුන්ගේම විද්‍යාල ආරම්භ කිරීමට අනුබල දීමක් කරනු ඇති අතර එමගින් විදේශවල සිටින ශ‍්‍රී ලාංකිකයන් ආපසු සිය රටට ආකර්ෂණය කරගනු ඇත.

දැනට අඩු සැපයුමක් ඇති, පුහුණු තරුණයන් ප‍්‍රමාණවත් සංඛ්‍යාවක් සිටීම නිසා විදේශ වෙළඳපොළ සඳහා දැනුම පාදක කරගත් ව්‍යාපෘති ආරම්භ කිරීම පිණිස, වඩා වැඩි ඍජු විදේශ ආයෝජන ප‍්‍රමාණයක් ආකර්ෂණය වනු ඇත.

රජය, පහසුකම් සපයන්නකු වියහැකි අතර, විශ්ව විද්‍යාල සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම මගින් මෙම විද්‍යාලවල ගුණාත්මක භාවය සහ ගාස්තු පාලනය කිරීම කළ හැකිය.

ඉල්ලූමක් ඇති කුසලතා සහ ශිල්පක‍්‍රම සඳහා වැඩි විද්‍යාල සංඛ්‍යාවක් ස්ථාපනය කළහැකි අතර එමගින්, ආර්ථික සංවර්ධනය ද, කර්මාන්ත, වාණිජ සහ සේවා අංශ, වැවිලි කර්මාන්තය සහ කෘෂිකර්මය යන අංශවල සංවර්ධනයක් ද ඇති කෙරෙනු ඇත.   

මෙම රටෙහි තරුණයන්,  ඔවුන්ගේ මවුබිම තුළදීම  උපාධියක් ලබාගැනීම සඳහා ඇති හැකියාව දකිනු ඇති අතර, එමගින්, සිය දරුවන් උසස් අධ්‍යාපනය සඳහා විදේශවලට යැවීමට තමන් සතුව ඇති කිසියම් හෝ වත්කමක් උගස් කිරීමට සිදුවන මවුපියන්ගේ ගැටලූ ද එමගින් සහනය කෙරෙනු ඇත.

සිය ව්‍යාපාරවලහි සේවා නියුක්ත කරවීම සඳහා ප‍්‍රමාණවත් පුහුණු පුද්ගලයන් සංඛ්‍යාවක් සොයාගතහැකි වීම නිසා,  සේව්‍ය පක්ෂයද සතුටට පත්වනු ඇත.

සිසුනට උසස් අධ්‍යාපනය සඳහා සහ විශ්ව විද්‍යාලවලට අනුබද්ධ විද්‍යාලවලට යාමට අවකාශ සලසමින් සහ  විශ්වවිද්‍යාලවලට ඇතුළුවන සිසුන්ගේ ප‍්‍රතිශතය ඉහළ යාමෙන්, මූලික සහ ද්වීතීය අධ්‍යාපනය සඳහා ආයෝජනය කරන ලද මුදල්වලට ප‍්‍රමාණවත් ලෙස ප‍්‍රතිඵල ලැබෙනු ඇත.

අනෙකුත් විෂයවලට අතිරේකව විද්‍යාව සහ ශිල්ප ක‍්‍රම වඩා ප‍්‍රමුඛ ස්ථානයක් ගනිමින් ඉල්ලූම ඇති විෂය මාලා උගැන්වීම සඳහා පෞද්ගලික සහ රාජ්‍ය අංශය අතර ආසන්න සම්බන්ධතාවක් ගොඩනැගෙනු ඇත.

ඉන්දියානු තාක්ෂණ පිළිබඳ ආයතන සහ ඉන්දියානු කළමනාකරණ ආයතනවලට සමාන ශ‍්‍රී ලාංකික තාක්ෂණ ආයතන සහ කළමනාකරණ ආයතන පිහිටුවීම පිළිබඳව සලකා බැලිය හැකි අතර, දැනුවත්භාවය පිළිබඳ ආර්ථිකයේ සංවර්ධනය සඳහා මෙම ආයතනයන් ඍජු බලපෑමක් ඇති හෙයින් එයද  දැඩිව සලකා බැලිය යුතුය.



අදහස් (15)

සරසවි අහිමිවුණු සිසුන්ට සරසවි වරම්

sachith Tuesday, 12 December 2017 06:33 AM

මේ දේවල් වලට පොඩි හරි විසදුමක් තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය තියෙන්නේ. ඉතාම අඩු මුදලකට ජාත්‍යන්තරය පිළිගත් උපාධියක් ගන්න පුළුවන්. මේ ලිපියේ තිබ්බ "ව්‍යක්තව ඉංග‍්‍රීසි භාෂාවෙන් කථා කළහැකි තොරතුරු තාක්ෂණ සහ ඉංජිනේරු උපාධිධාරීන් විශාල සංඛ්‍යාවක් සිටින ඉන්දියාව" කරුණ ගැන හොදට හොයල බලන්න. අපේ රටේ ෆ්රීලාන්ස් කරන අයට තියෙන ලොකුම බාධාව තමයි ඔය කිව ඉන්දියානු තොරතුරු තාක්ෂණ කට්ටිය. ව්‍යාපෘති ඉතාම අඩු ගානට අරගෙන මැද දාලා යනවා සල්ලි අරන්.

:       6       20

MO77 Tuesday, 12 December 2017 07:50 AM

ආචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල, ඉන්දියාවේ උපාධිය ගැන දන්නේ නැහැ. ඉන්දියානු උපාධි අපේක්ෂකයකු ඇමරිකාවේ පශ්චාත් උපාධිය හැදෑරීමට අවශ්‍ය නම් ඉන්දියානු විශ්ව විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යනය පිළිබඳ පළමුවන වසර විභාගය සමත් විය යුතුය. මෙය ශ්‍රී ලාංකික සිසුන්ට අවශ්‍ය නොවේ. මේ මොහොතේ පාඨකයා ඉන්දියානු උපාධිය ගුණාත්මකව වටහා ගත හැකිය. ඉන්දියාවේ විශ්ව විද්‍යාල පද්ධතිය පවත්වාගෙන යනුයේ ඇයි? එහි විශාල ජනගහනය නිසා. ශ්‍රී ලංකාවේ විද්‍යාල 40 ක් අවශ්‍යයි. ආණ්ඩුව උසස් තත්ත්වයේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සහාය දිය යුතුය. මෙම පෞද්ගලික විශ්ව විද්‍යාල පෞද්ගලික-රාජ්‍ය සම්බන්ධතාවයෙන් ගොඩනගා ගත හැකි අතර ස්වාධීන කොමිසම අධ්‍යාපනයෙහි ගුණාත්මක භාවය පවත්වාගෙයන්න සහාය සැපයිය යුතුය. පෞද්ගලික හා රාජ්‍ය විශ්ව විද්‍යාලවල ස්ථිර අධ්‍යන කාර්ය මණ්ඩලයක් තිබිය යුතු අතර ඔවුන් ආචාර්ය උපාධිධාරීන් බඳවා ගත යුතුයි. වර්තමානයේ සියලු පෞද්ගලික අධ්‍යාපන ආයතන විශ්ව විද්‍යාල සඳහා අවම ප්‍රමිතියක් සපුරා නැත.

:       54       20

Mo77Wednesday, 13 December 2017 09:56 AM

ඉන්දියානු උපාධි අපේක්ෂකයකු ඇමරිකාවේ පශ්චාත් උපාධිය හැදෑරීමට අවශ්‍ය නම් ඉන්දියානු විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයනය පිළිබඳ පළමුවන වසර විභාගය සමත් විය යුතුය.

:       4       15

BamunuarachchiThursday, 14 December 2017 07:20 AM

මම 1964 උසස් පෙළ කරන කාලේ අපට භෞතික විද්‍යාව ඉගැන්නුවේ ඉන්දියානු බීඑස්සී තිබෙන ගුරුවරියක්. ඒ කලේ අපට තිබුන දැනුම එයාට තිබුනේ නැත. අපි බැරිම තැන අපේ ප්‍රින්සිපල්ට මේ ගැන කීවා එය හොඳට අහගෙන ඉඳලා අපිට බැනලා එල්වාගත්තා. ඒ ගුරු ගෞරවය තියන්න ඕනේ නිසා නමුත් ප්‍රින්සිපල් අපි කල චෝදනාවට නිසි පිළියම් යෙදුවා. මට පිටරටදී හමු උන ඉන්දියානුවන්ගේ දැනුම ඒ සමාන උගත් කමක් ඇති ලංකාවේ අයට සංසන්දනය කලාම අපේ අයගේ දනුම ඉහළයි. අපේකම්කරුව දෙදෙනෙක් එකට වැඩට දැම්මාම මුන් වැඩ කරනවාට වඩා කතා කොරනවා. එම නිසා මම කීව්වා ඉන්දියානුන් එක්ක අපේ සිංහල එක කම්කරුවෙක් වැඩට දාන්න කියලා. සුමානයක් යන කොට සිංහල එකා හින්දි ඉගනගෙන ඉන්දියානුවන් සමග නැවත පරණ විදිහටම කතාව. ඉගෙන ගන්න ඕනෙනම් අපේ මිනිස්සු එකට දක්ෂයි.

:       19       5

lalith Tuesday, 12 December 2017 07:56 AM

ඉන්දියානු තොරතුරු තාක්ෂණ කට්ටිය. ව්‍යාපෘති ඉතාම අඩු ගානට අරගෙන මැද දාලා යනවා සල්ලි අරන්. මේකට වගකියන්න ඕන ව්‍යාපෘති දෙන අය. හරියට හොයලා බලලා නිසි ක්‍රමවේදයකට දුන්නාම ඉවරයිනේ.

:       4       22

sachithTuesday, 12 December 2017 08:45 AM

ව්‍යාපෘති දෙන අය ගොඩක් වෙලාවට බලන්නේ මුදල ගැන. අපි ඩොලර් 1000 ට ඉල්ලන ව්‍යාපෘතිය ඉන්දියවේ අය ඩොලර් 300-400 ගන්නවා. පළපුරුද්දක් තියෙන අය අනිවාර්යෙන්ම මුදල වගේම පළපුරුද්දත් බලනවා.

:       2       21

ලුම්බිණි Tuesday, 12 December 2017 09:17 AM

"......මෙම සංවිධාන ස්වයං අරමුදල් සලසා ගන්නා ආයතන වනු ඇති අතර කිසියම් හෝ අතිරික්තයක් වේ නම් ඒවා ආයතනයේ සංවර්ධනය සඳහා යොදා ගනු ඇත......" මෙතන තමා ප්‍රශ්නය තියෙන්නේ. අපේ කට්ටිය හිතා ගෙන ඉන්නේ අධ්‍යාපනය නොමිලේ විය යුතු කියල නේ.

:       2       70

himal Tuesday, 12 December 2017 10:24 AM

අයියෝ ඔච්චර දඟලන්න ඕන නෑ, ලංකාවේ බාහිර උපාධි ක්‍රමය කියන්නෙත් ඔය වගේ ක්‍රමයක් තමයි.

:       35       19

GMOA Tuesday, 12 December 2017 05:40 PM

පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳයි වෙනත් ඕනෑම උපාධියකට. වෛද්‍ය විද්‍යාවට නොවේ.

:       117       67

BamunuarachchiSaturday, 16 December 2017 12:53 AM

මොකද වෛද්‍ය විද්‍යාවට පමණක් නරක වෙන්නේ? මගේ පවුලේ වෛද්‍යවරයා පෞද්ගලික ආයතනයකින් උපාධිය ගත්කෙනෙක්. වෛද්‍යවරයෙකුට වැරදුනොත් මිය යන්නේ එකවරකට එක්කෙනයි. නමුත් ඉන්ජිනේරුවෙකුට, පයිලට් කෙනෙකුට, කොටින්ම බස් ඩ්‍රයිවර් කෙනෙකුට පවා වැරදුනොත් එක්කෙනෙකුගේ සිට තුන්හාරසීයක් මියයනු ඇත. එම නිසා වෛද්‍යවරු පමණක් නොව සෑම වෘත්තිකයෙක්ම ඉහල මට්ටමේ වෘත්තීය අධ්‍යාපනයක් ලැබිය යුතුය. මේ රටේ ඉංජිනේරු වෘත්තීය ඉගැන්වීම් බාල නිසා පාලම්, ගොඩනැගිලි කඩාවැටී සියගණන් මියගියේ නැත. එසේනම් වෛද්‍ය අධ්‍යාපනයට පමණක් පෞද්ගලික අධ්‍යාපනය වරදින්නේ කොහොමද? ලෝකේ අනික් රටවල කෙරෙනවා නම් ඇයි අපේ රටේ බැරි?

:       2       67

Nimal Jayawardane Wednesday, 13 December 2017 03:33 PM

අපේ රටේ බොරුවෙන්, වංචාවෙන් විභාග සමත්වෙන අයත් නැතුව නොවේ. මේවට විසඳුම් දෙන එකත් ලෙහෙසි නැහැ.

:       3       4

Chandima Friday, 15 December 2017 07:38 AM

කෙලින්ම පටන්ගමු....... වෛද්‍ය උපාධිය සදහා කුමක් කල යුතුද? ඔයා ඒක අතහැරලද කතා කරන්නේ?

:       3       63

sampath Friday, 15 December 2017 11:02 AM

මේක සංකල්පයක් විදියට හරි කොහොම වුණත් පුද්ගලික අංශයේ තියෙන ඇතැම් ඉංජිනේරු පීඨ ගත්තොත් ඒ වගේ උගන්වන්නේ ඉංජිනේරු උපාධියක් නැති පුද්ගලයන්... ඉතින් තත්වේ හිතා ගන්න පුළුවන් නේද? ඊටත් අමතරව එයට ශිෂ්‍යයන් බඳව‍ාගන්නේ සාමාන්‍යපෙළ සමත් අය. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ උසස්පෙළ සමත් ශිෂ්‍යයන්ට යන්න බැරි බව පෙන්වලා පටන් ගන්න. පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඇත්තටම යන්නේ අන්තිමේදී සල්ලි තියෙන සාමාන්‍ය පෙළවත් නැති ළමයි. ලංකාවේ ඕනෙම විෂය ධාරාවක ඕනෙම පාඨමාලාවකට අදාල ‍මට්ටම ප්‍රකාශයට පත් කරන්න මොන විශ්ව විද්‍යාලයට ගත්තත් ප්‍රතිපාදන කොමිසමේ නිර්දේශවලට යටත්ව ශිෂ්‍යයන් සහ කථිකාචාර්යවරු බඳවා ගැනීම අනිවාර්ය කරන්න... ඒ වගේම අවම උපකරණ ලැයිස්තුවක් ප්‍රයෝගික විෂයන්ට තිබිය යුතුයි. නැත්නම් ප්‍රායෝගික දැනුම නැතිව සිද්ධාන්ත විතරක් උගනවනවා. මෙහෙම පාලනයක් යටතේ නියාමනයක් යටතේ ඔබතුමා කියන එකට එකඟ වියහැකිය.

:       21       3

BamunuarachchiSaturday, 16 December 2017 01:13 AM

සම්පත්, පාරේ තිබෙන කඩ, හෝටල් වල තරු 5 හෝටල්වල තිබෙන කෑම වලට වඩා හොඳ රස කෑම තිබෙන බවට බෝඩ් ගසා ඇත. ඔබ හොඳ කෑමවේලක් බලාපොරොත්තුව එම හෝටල් වලට රිංගන්නේ නැහැනේද? ඉතින් අධ්‍යාපනය ලැබීමටත් ගුරුවරු කව්ද කියා සොයාබලා එම ආයතනවලට ඇතුළු වෙන්න.

:       2       2

කුමාරි Tuesday, 19 December 2017 09:08 AM

වටවල මහතාගේ අදහස් සියල්ල ඇත්ත. අපේ රටේ ගොඩාක් අය විශේෂයෙන් කොහොම හරි උපාධියක් ලබා ගත්ත කෙනෙක් තව කෙනෙකු උපාධියක් ලබාගන්නවාට හරිම ඊර්ෂ්‍යයි. එයාලට ඕනේ එයාලගේ උපාධිය මාකට් කරගෙන අනිකාව කපාගෙන ඉන්න. ඒ නිසයි ගොඩාක් අය මේ ක්‍රම වලට විරුද්ධ වෙන්නේ ඇත්තටම ඉන්දියාව අධ්‍යාපනය අතින් අති සාර්ථකයි අපේ ලාංකිකයන් ඉගෙනීමට දක්ෂ බව ඇත්ත. ඒත් අධ්‍යාපන ක්‍රම වේදය ලංකාවේ ඉතාම පහළ මට්ටමක තියෙන්නේ.

:       2       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 311 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 70 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 648 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 305 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 128 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 338 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site