IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පත්වීම් ලිපිය ගන්න එන උනන්දුව රාජකාරියටත් තියා ගනිමු

රාජ්‍ය සේවය යනු වැටුපකුත් ලබමින් පින් රැස්කරගත හැකි පුණ්‍ය භූමියකි. පුද්ගලයකුගේ උපතටත් පෙර සිට මරණයෙනුත් පසු දක්වා සේවාව සලසන රාජ්‍ය සේවයේ උතුම් ගුණාංග අපරිමිතය. රාජ්‍ය සේවය අහස වගෙයි. නිර්මාණශීලි ගතානුගතිකත්වයෙන් බැහැර වූ නව මංපෙත් සොයන නිලදරුවන්ගේ අත්තටුවල සවිය තියන තරමට ඉගිලෙන්න පුළුවන් පරාසයක විහිදෙන රාජ්‍ය සේවය ජන ජීවිතයේ කොටසක් නොව මුළු ජනජීවිතයම වේ. එබැවින් රාජ්‍ය සේවකයාගේ සේවාව සෘජුවම මානව සංවර්ධනයටත් සමාජ සංවර්ධනයටත් සහේතුක වේ.

නවක උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට කුළුදුලේ පැමිණි ආදරණීය සැමට ප්‍රශස්ත රාජ්‍ය සේවකයකුවීමටත් සතුටෙන් සහ අභිමානයෙන් සේවය කිරීමටත් වැටුපට ණය නැති වැටුප තමන්ට ණය වන ආකාරයේ සේවාලාභියාගේ ආදරයට ගෞරවයට පාත්‍රවන කීර්තිමත් නිලදරුවකුවීමේ මාර්ගෝපදේශයක් ලෙස මෙම සටහන තබන්නෙමි.

දශක කිහිපයක පටන් රාජ්‍ය සේවයට උපාධිධාරී අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සිදුවේ. මෙහි පවතින විශේෂත්වය විධිමත් වූ සේවාරම්භක පුහුණුවක් ලබාදීමට අදාළ බලධාරීන් හා නිලධාරීන් කටයුතු කිරීමය. එය පැසසිය යුතුම කරුණකි.

රාජ්‍ය සේවකයා දැනුම, කුසලතාව, ආකල්ප, අත්දැකීම් සහ පළපුරුද්දෙන්’ සන්නද්ධ කර වැඩබිමට සේවාවට අනුයුක්ත කිරීම කළමනාකරණයේ ඉතා වැදගත් අත්‍යවශ්‍ය වූ කරුණකි.

නිදහස් අධ්‍යාපනය, ප්‍රාථමික ද්විතීයික හා උසස් අධ්‍යාපනය ලබන අප අපේ රට දැය සමය වෙනුවෙන් සක්‍රියව දායකවිය යුතුය. මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයා නිරතුරුවම ඒ පිළිබඳව ගැඹුරින් සිතිය යුතුය.

අප රටේ සේවකයන් ලක්ෂ 16ක් සිටින බව අප සැම දන්නා කරුණකි. එක් රාජ්‍ය සේවකයකු දිනකට විනාඩියක් වැඩ නොකර සිටියොත් විනාඩි ලක්ෂ 16ක් විනාශ වේ. එය මානව අවුරුදු බවට පරිවර්තනය කළ විට, එක් විනාඩියක් වැඩ නොකර සිටියොත් මානව අවුරුදු 2 1/2ක් දවසකට විනාශ වේ. ලැබෙන හැම තත්ත්පරයකම තම රාජකාරිය නොපිරිහෙළා ඉටුකළ යුතුය.

රාජ්‍ය සේවකයා වෙනුවෙන් ලබාදෙන හිමිකම් වරප්‍රසාද අයිතිවාසිකම් අනුග්‍රහය සහ ප්‍රතිලාභ වෙනුවෙන් ‘බලාපොරොත්තු වන්නේ වගකීම් හා යුතුකම් පමණි’. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තම රාජකාරි ඉටුකිරීම ඉතා වැදගත් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

එක් රාජ්‍ය සේවකයකු දිනකට එක හාෆ්ෂීට් එකක් නැතිනම් එක ඒ-4 කොළයක් නිකරුණේ භාවිත කළොත් දිනකට කොළ ලක්ෂ 16ක්. ඒ කියන්නේ කොළ 500 පැකට් 32000ක් අපතේ යනු ඇත. පැකට් එකක මිල රු. 900යි. (දළ වශයෙන්) පැකට් 32000ක මිල රු. 28,80,000/-කි. අවුරුද්දට වැඩකරන දින 200ක් සඳහා මිලියන 576ක් වැය වනු ඇත.

මේ මුදලින් ලක්ෂ 50ක් වටිනා ගෙවල් 100ක් පමණ දුප්පත් මිනිසුන්ට සාදා දිය හැකිය.

ඒ නිසා රාජ්‍ය සේවකයන් වන අප සම්පත් අරපිරිමැස්මෙන් භාවිත කිරීමට සිතට ගත යුතුය. ගෙදර දොරේ තමන්ගේම සම්පත් ආරක්ෂා කරනවාටත් වඩා වැඩි වගකීමකින් හා වගවීමකින් යුතුව රාජ්‍ය සේවයට අදාළ හා අයත් සම්පත් සුරැකීම ආරක්ෂා කිරීමට සියලුම රාජ්‍ය සේවකයන් තම දැඩි අවධානය යොමු කළ යුතුයි.

රාජ්‍ය සේවයට පැමිණෙන නවකයන් ඔවුන්ට පත්වීම් ලිපි ලබාදීමට කැඳවූ විට පෙ.ව. 9.00ට කැඳවූයේ නම් කලින්ම ඇති බසයෙන් හෝ දුම්රියෙන් පැමිණ අදාළ ස්ථානයට පැයකට දෙකකට කලින් පැමිණෙන්නේ ඉතා කැමැත්තෙනි, ආශාවෙනි. කිසිම කෙනෙක් කිසිම හේතුවක් කියමින් ප්‍රමාද නොවේ. ඉතා කැමැත්තෙන් ආශාවෙන් නවකයන් ලෙස පත්වීම් ලැබීමට දහසකුත් එකක් බලාපොරොත්තු සහිතව එන ඔබ විශ්‍රාම ගන්නා දින දක්වාම එකී කැමැත්ත, ආශාව සමඟ රැකියාවට පැමිණීම ඉතා වැදගත්ය. රැකියාව හැම දෙනාගේම විනෝදාංශය විය යුතුය. තමන්ගේ රැකියාවට සහ රැකියාව කරන ස්ථානයට ගෞරව කළ යුතුය. ආදරය, සෙනෙහස දැක්විය යුතුය.

කොවිඩ්-19 කාලයේ නිවසේම රැඳී සිටි රාජ්‍ය සේවකයාට තම මුළු වැටුපම ලැබුණි. කුලී වැඩ කරන්නන්, කම්කරුවන්, ස්වයංරැකියාවල නිරතවන්නන් සහ ව්‍යාපාරිකයන් ආදීන්ට පවා කොවිඩ් වසංගත සමයේ මාසික ආදායම් නැතිවීමෙන් විශාල ජීවිත අරගලයක යෙදීමට සිදුවිය. රාජ්‍ය සේවකයාට එවැනි ගැටලුවලට මුහුණ පෑමට සිදු නොවුණු බව අප සියලුම දෙනා දන්නා කරුණකි. එපමණකුදු නොව නායයාම්, සුළි සුළං, ගංවතුර, සුනාමි තත්ත්වයන්ගෙන් කවරාකාර වූ ස්වභාවික ආපදාවකදී ද රාජ්‍ය සේවකයාගේ වැටුප ඔවුන්ට ලැබුණි.

හදිසි නීතිය ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවල පවා ඔවුන්ගේ වැටුප් ගෙවනු ලැබීය. එනිසාවෙන්ම අප රාජ්‍ය සේවය පිළිබඳව තමන් හදාවඩාගත් ආදරණීය දෙමව්පියන්ට තරමටම ආදරය කළ යුතුය. සෙනෙහෙවන්ත විය යුතුය.

නවක පත්වීම් ලබා ඔබ, රාජ්‍ය සේවයේ යථෝක්ත ලක්ෂණ සහිතව සේවය කරන නිලදරුවන් දහදෙනෙකු පිළිබඳව සොයා බලන්න. ඔවුහු නිරෝගී හොඳ දරු පවුල් සහිත ආදරණීය සොඳුරු ජීවිත ගත කරන අය වෙති. රාජ්‍ය සේවය කෙරෙහි යහපත් ආකල්පවලින් තොරව කටයුතු කරන අයවලුන්ගේ ජීවිත විමර්ශනයට ලක් කරන්න. ඔවුන්ට විවිධ රෝගාබාධ, පවුල් ප්‍රශ්න, නඩුහබ වැනි බොහෝ ප්‍රශ්න සමග ජීවත්වීමට සිදුව ඇති බව නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇත. ඊට හේතුව සොබාදහමේ විශ්ව ශක්තියයි. අප වපුරන දේට අස්වනු පමණක් අපට නෙළාගත හැකිය. අප වී වැපුරුවොත් බත් අනුභව කළ හැකිය. බජිරි හෝ ගොජිරි වපුරා බත් කෑ නොහැකිය. ඔබේ සේවාවද එසේමය. ඔබ අර්ථාන්විත රාජ්‍ය සේවකයකු වූවොත් මහජනතාව සේවාලාභියා ඔබට පෙරළා ආදරය කරනු ඇත. ගරු කරනු ඇත. ආශිර්වාද කරනු ඇත. එවැනි නිලධාරීන්ට ජනතාව ආමන්ත්‍රණය කරන්නේ ‘අපේ’ යන විශේෂණ නාමය මුලට යොදමිනි. අපේ මහත්තයා, අපේ නෝනා වන්නේ එවිටය. එයින් ලැබෙන ආත්ම තෘප්තිය, රැකියා තෘප්තිය මිල මුදලින් හෝ කිසියම් වූ භෞතික දෙයකින් මිනිය නොහැකිය. එම නිරාමිස සතුට විඳි රාජ්‍ය සේවකයකු එය කිසිදා අත්නොහරිනු ඇත. මිනිසුන් වෙනුවෙන් සේවය කර ලබන සැබෑ සතුට කිසි දෙයකට නොදෙවෙනිය. එහි ඇති අපූර්වතම සොඳුරු බව විඳ බලන්න ඔබේ ජීවිතය මොනතරම් නම් අර්ථපූර්ණ වේද යන වග. එය අත්විඳින්න. එසේ ලැබෙන සොමි ගුණය, සිසිලස ඔබේ ජීවිත ද සුඛිත මුදිත කරනු ඇත. නවක නිලධාරීන් වශයෙන් රාජ්‍ය සේවයට පිය මනින ඔබට ඵලදායි රාජ්‍ය සේවකයෙකුවීමට යතුරු 5ක් අවශ්‍ය වේ.

1. දැනුම
දැනුම ආකාර තුනකින් ලැබේ.
විධිමත් දැනුම – සම්මන්ත්‍රණ, සැසි, වැඩමුළු ආදියෙන් ලබන දැනුම, නොවිධිමත් දැනුම – සමාජය නමැති විශ්වවිද්‍යාලය කියවා ලබන දැනුම.
වඩාත් වැදගත් වන්නේ නොවිධිමත් දැනුමයි. මිනිසුන්ගේ දුක, කඳුළ, වේදනාව සහ ඔවුන්ගේ සැබෑ ප්‍රශ්න හඳුනාගත හැක්කේ නොවිධිමත් දැනුම මනාව ළඟා කරගෙන ඇත්තේ නම් පමණි.

2 කුසලතා
මානව සබඳතා, අන්තර් පුද්ගල සබඳතා ගොඩනැගීමේ කුසලතාව, සන්නිවේදන කුසලතාව, තාක්ෂණික කුසලතාව, මානුෂීය කුසලතාව (මානව ගුණාංග හා මානව ධර්මතා) ක්ෂණික, නිවැරදි, විධිමත් තීරණ ගැනීමේ හැකියාව. ප්‍රශ්නයක සැබෑ ස්වරූපය හඳුනාගැනීමේ විග්‍රහ කරගැනීමේ විශ්ලේෂණය සහ විමර්ශනය කිරීමේ හැකියාව, මනා සැලසුම් කිරීමේ සංවිධානය කිරීමේ පරිපාලනය කිරීමේ, අධීක්ෂණය කිරීමේ හැකියාව.

3. ආකල්ප
ධනාත්මක සිතිවිලි අභියෝග අවස්ථාවක් කරගැනීමේ හැකියාව, සෑම අඳුරු වළාවකම රිදී රේඛාවක් ඇති බව විශ්‍වාස කිරීම, සතුට පරම ධනය බව තරයේ විශ්‍වාස කිරීම, ආත්මාභිමානය, හීනමානයෙන් හා අභිමානයෙන් තොර අභිමානය, දරාගැනීමේ හැකියාව සොඳුරු සුන්දර බව, ප්‍රියමනාප බව යහපත් ආකල්ප ඇති අයෙකුගේ ප්‍රමුඛ ලක්ෂණ වේ.

4. අත්දැකීම්
රාජ්‍ය නිලධාරියකුට අත්දැකීම් ඉතා වැදගත් වේ. අහන, දකින, ඇසෙන, පෙනෙන හැම දෙයකින්ම ඉගෙන ගත යුතුය. කුඩා කල අසා පුරුදු, දැකපුරුදු, හුරුපුරුදු, පළපුරුදු, ගුරුපුරුදු වැනි පුරුදු විශාල ප්‍රමාණයකින් ගොඩනැගෙනවා සේම රාජ්‍ය සේවයේ යහපත් ධනාත්මක දෑ ජීවිතයට එකතු කරගත යුතුය. ජ්‍යෙෂ්ඨ අත්දැකීම් සහිත පළපුරුදු සැමගේ දැනුම අත්දැකීම් හරහා දැනුවත් විය යුතුය. සිද්ධි අධ්‍යයනයක් තුළ ලැබිය හැකි අත්දැකීම් අපරිමිතය. වැඩ කිරීම තුළ ලබන අත්දැකීම් හරහා අත්පත් කරගත හැකි දැනුම හා කුසලතා ද අපමණය.

5. පළපුරුද්ද
අත්දැකීමට වඩා එහාගිය දෙයකි. පළපුරුද්ද. තමා ලබන අත්දැකීම් භාවිතයෙන් වැඩකිරීම තුළ අත්පත් කරගත් දේ පළපුරුද්දයි. යකඩයක් තිරිහන් කර තලා කැති, උදළු ඇතුළු නිර්මාණ කරනවා වගේ වැඩ පරිසරයේ තැලෙන පොඩි වෙන කොට පරිණත බව ඇති වේ.

නවකයන් ලෙස රාජ්‍ය සේවයට සපැමිණෙන ආදරණීය ඔබ නිරතුරුවම ප්‍රශස්ත නිලදරුවකුවීමට අදිටන් කරගන්න. ඒ සඳහා සතපහක් වියදම් වන්නේ නැත. අවශ්‍ය වනුයේ හිතහදාගැනීම පමණි. හැමගේම ආදරයට පාත්‍රවන නිලදරුවකුවීම කොපමණ භාග්‍යයක්ද යන්න වැඩ පරිසරය තුළ ඔබට දැනේවි. අපේ රටේ පළාත් 9, දිස්ත්‍රික්ක 25, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331, ග්‍රාම නිලධාරී වසම් 14022  30,000කට අධික ගම් ගොඩැලිවල මිලියන 21.3ක් වන අපේ ජනතාවට සේවය කිරීමට ඔබට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස මෙය සලකන්න.
මිනිසුන්ගේ බොහෝ ගැටලු විසඳීමට වැදගත්ම කාරණයක් නම් හොඳින් ඔවුන්ට ඇහුම්කන්දීමයි. සේවාලාභියාට සේවය කිරීමේදී අනතිමානි ගුණය ද ඉතා වැදගත් වේ. අපි හානවා පෝරුගානවා වගේ බර වැඩ රාජ්‍ය සේවයේ නැත. ඇතැම්විට දවසකට ලිපි කිහිපයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම පමණක් වීමට පුළුවන. හදවතින් මනසින් හා බුද්ධිය පාවිච්චි කර ප්‍රායෝගික විසඳුම් අපේ මිනිසුන්ට ලබාදිය යුතුය. සේවාලාභියාගේ කාලය ඉතා වටිනා බව පූර්වයෙන් විශ්‍වාස කළ යුතුය. වැලිගොඩදාන අයෙකු, කුලී වැඩක් කරන අයෙකු එදිනෙදා හරිහම්බ කරන අයෙකු යම් සේවාවක් ලබාගැනීමට අපගේ කාර්යාලවල දින ගණන් රස්තියාදු වන්නේ නම් එය කොතරම් අපරාධයක්ද?
රාජ්‍ය සේවයේ සේවය පදනම් වන්නේ බොහෝවිට ලිපි මඟිනි. එබැවින් ලිපි හුදෙක් කඩදාසියක් පමණක් ලෙස අපි නොදැකිය යුතුයි. එය ජීවිතයක් පවුලක්, පරම්පරාවක කතාවක් විය හැකියි. අප වෙත ලැබෙන ලිපියක් ලේ, මස්, ඇට, නහර සහිත දෙයක් යන හැඟීමෙන් සැලකිය යුතුය.
පෙර රාජ්‍ය සේවයේ, එනම් අසූවේ දශකයට පෙර තුන්දා නීතිය, හත්දා නීතිය ලෙස ලිපිවලට පිළිතුරු යැවීමේ ප්‍රමිති පැවතී ඇත. තුන්දා නීතිය යනු ලිපිය ලැබී දින තුනක් ඇතුළත අවසාන පිළිතුරක් යැවිය නොහැකි නම් අතුරු පිළිතුරක් හෝ ලියුම්කරු වෙත යැවිය යුතුය. හත්දා නීතිය යනු දින හතකින් අනිවාර්යෙන් ලියුම්කරු වෙත අවසන් පිළිතුරු යැවිය යුතුය. මොන තරම් ශික්ෂණයක්ද?

නිවැරදි, විධිමත් දේ කරන්න කිසිම විටෙක බිය විය යුතු හෝ පසුබට නොවිය යුතුය. යටහත් සේවකයන් ලෙස මහජනතාවට සේවය කළ යුතුය. සේවාලාභියාට සේවය කළ යුතුය. දුරකතන ඇමතුමකට පිළිතුරු දීම පවා මානව දයාවෙන් කළ යුතුය. ලේ ඥාතීන්ට කතා කරන්නාක් මෙන් සේවාලාභියා ඇමතිය යුතුය. ඒ සඳහා ස්වයං විනය ස්වයං අභිප්‍රේරණය වර්ධනය කරගත යුතුය.

විශ්‍රාම වැටුප් සහිත සුරක්ෂිත රැකියා අවස්ථාවක් ලබා අපි සේවා ලාභියන් අපේ මහජනතාවගේ ඉල්ලීම් හැකි හැම විටම ඉටු කරදීමට උත්සුක විය යුතුයි. නීති, රෙගුලාසි ප්‍රකාරව කිසිම ආකාරයකින් ඉටු කළ නොහැකි දෙයක් වුවත් ඉටුකළ නොහැකි බව හේතු සාධක සහිතව, පිළිගත හැකි පරිදි සරලව වටහා දිය යුතුයි. රාජ්‍ය නිලධාරීන් එසේ කටයුතු කිරීම තුළින් රාජ්‍ය නිලධාරියාත් රාජ්‍ය සේවයත් පැසසීමට ලක්වනු ඇත. පැසසීම නැතත් අවම වශයෙන් අපකීර්තියට ලක් නොවනු ඇත.
රාජ්‍ය නිලධාරීන් වැඩ කරන ස්වභාවය අනුව හතරාකාර වේ.
හඬ පමණක් ඇති වැඩ නොමැති
වැඩ පමණක් ඇති හඬ නොමැති
හඬ හෝ වැඩ නොමැති
හඬත් වැඩත් ඇති

ඔබ අනිවාර්යයෙන්ම හඬත්, හැඩත්, වැඩත් යන ආකාරයෙන් සේවය කළ යුතුයි. කරනු ලබන රාජකාරියට වටිනාකමක් ලැබෙන්නේ එවිටයි.

හැමවිටම තමන්ට පැවරෙන විෂයයට අමතරව තමන්ගේ දැනුම, කුසලතාව, හැකියාව රාජ්‍ය සේවයට දායක කළ හැකි හැම අවස්ථාවකම එම සේවය නොපිරිහෙළා ලබාදිය යුතුය. විවිධ අය විවිධ දේවලට දස්කම් දක්වයි. පරිගණක භාවිතය, විදුලි - ජල සම්පාදන වැඩ, දේශන කිරීමේ හැකියාව, නිවේදන කටයුතු ආදි විවිධ හැකියාවන් තමා සතුවිය හැකිය. ඔබට එකතු කළ වටිනාකමක් එයින් ලැබෙන අතර ආයතනයට ද ඔබ නැතිවම බැරි චරිතයක් බවට පත්වනු ඇත.

(***)



අදහස් (20)

පත්වීම් ලිපිය ගන්න එන උනන්දුව රාජකාරියටත් තියා ගනිමු

Bamunuarachchi Tuesday, 29 September 2020 07:21 AM

තියාගමු නොවෙයි තියා ගන්න ඔර්ඩර් දෙන්න. ඔබට මේ වැඩේ කරන්න පුලුවන්ද.?

:       2       2

BamunuarachchiTuesday, 29 September 2020 12:38 PM

මොකක්ද මේ ගොන් වැඩේ..? එක්කෝ අදහස සම්පූර්ණයෙන් දාන්න. නැතිනම් නොදා ඉන්න.., විකෘති කරන්නේ නැතිව.

:       1       3

ranjiTuesday, 29 September 2020 01:55 PM

50000කට, අපි ඒ ගැන සලකා බලනවා...!!! 

:       0       0

sisiraTuesday, 29 September 2020 01:58 PM

මෙයාලා කියන්නේ, ඔයාගේ මොලේ විකෘති වෙලා කියලනේ..

:       0       0

BamunuarachchiTuesday, 29 September 2020 12:39 PM

ඔබට මේ වැඩේ කරන්න පුළුවන්ද නෙවෙයි, කරන්න...

:       1       2

dhamneth Tuesday, 29 September 2020 11:24 AM

ඉතාමත් කාලෝචිත, වැදගත් ලිපියක් නවකයින්ට...

:       0       3

Raveendra Tuesday, 29 September 2020 11:40 AM

රජයේ සේවකයන් පිං රැස්කිරීම කෙසේවෙතත් තොග වශයෙන් තමන් පව් පුරවාගන්න අතරම අහිංසක මහජනතාවටද පව් පුරවා ගැනුමට දායකවීමද කරන බවක් කිවයුතුමයි. එලෙසම ඉතාමත්ම අතළොස්සක් රජයේ නිලධාරින් තමන් ලබනා වැටුපටත් වඩා සේවයක් මහජනතාවට ලබාදෙන බවත් කීමට කැමැත්තෙමු. එවන් නිලධාරීන්ට සැමදාම සැමවිටම යහපතක්ම වේවා..!!

:       0       5

addin Tuesday, 29 September 2020 01:33 PM

කවුද මෙයාට මෙච්චර හුළං ගැහුවේ..? පුපුරන්න ඔන්න මෙන්න..

:       5       2

ලලිත් ජයවීර - අම්බලන්ගොඩ.. Tuesday, 29 September 2020 04:33 PM

මමත් හිටපු වැඩ බැලූ විදුහල්පතිවරයෙක්... දකුණුු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ අවශ්‍යතාවය, අනුදැනුම සහ ආරක්ෂාව මත අම්බලන්ගොඩ නගර සභාවේ උප සභාපති විසින් අනවසරයෙන් පාසල් ගොඩනැගිල්ලක් කඩා ඉවත් කරගෙන ගොස් කරන ලද මහා පරිමාණයේ රාජ්‍ය දේපළ වංචාවක් වසන් කරන්න මගේ වැඩ තහනම් කරල මාව සේවයෙන් පහ කරලයි තියෙන්නේ... මට වෙච්ච අසාධාරණයට මම දැන් වසර 9ක් තිස්සේ ලිපි ලියනවා. මගේ උස අඩි 5 යි අගල් 4 යි. මට වෙච්ච අසාධාරණය සම්බන්ධයෙන් හුවමාරු වූ ලිපි අන්තර්ගත ලිපි ගොනුවල උස අඩි 6යි. ඕක තමයි අපේ රාජ්‍ය සේවයේ තරාතිරම. මම දකුණු පළාතේ ප්‍රධාන ලේකම්ට ලිපියක් යොමු කළාම, ප්‍රධාන ලේකම් කරන්නේ චෝදනාවට ලක්වෙච්ච අධ්‍යාපන ලේකම්ට කියනවා ඒ පිළිබ‍ඳ පරීක්ෂනයක් කරලා මටත් පිටපතක් එක්ක එතුමා දැනුවත් කරන්න කියලා. හරියට හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ. අනේ මට කියන්න, මේකද රාජ්‍ය සේවය කියලා කියන්නේ...? ඔබ කියන රාජ්‍ය සේවයක් දැන් නැහැ. ඒ ගැන මම හොඳින් දන්නවා. බොහෝ වගකිව යුතු ආයතන හරියට ලිපියක්වත් ලියන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. පුලුවන් නම් මාව කැඳවන්න. මම එන්නම් ලිපිගොනු ටික අරගෙනම...

:       0       7

ChampaTuesday, 29 September 2020 05:55 PM

රාජ්‍ය සේවය පින් රැස් කරගත හැකි පුණ්‍ය භූමියක් කියන අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්තුමිය, රාජ්‍ය සේවයේම නියුතු වෙලා හිටිය මේ ලලිත් ජයවීර මහත්මයාගේ පැමිණිල්ල ගැන විභාගයක් කරලා ඔබට පින් පිණිස ඔහුට සාධාරණය ඉෂ්ඨ කරලා, ඔබ කියන පින් කතාව නවකයන්ට ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්න.

:       1       2

නිමල් Tuesday, 29 September 2020 11:56 PM

අද දින පුවත්පතකට ලියන ලද ලිපියක් මගින් වගාවේ නියැලෙන පුරවැසියෙක් සමස්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටම හොඳ චරිත සහතිකයක් දී තිබෙනවා. ඊට අනුව එම දෙපාර්තමේන්තුව තද නිද්‍රාවට වැටිලාලු!

:       0       1

ලලිත් ජයවීර - අමබලන්ගොඩ Wednesday, 30 September 2020 12:49 AM

මම අම්බලන්ගොඩ ධම්මකුසල විදුහලේ වැඩ බලපු විදුහල්පති... ගොඩනැගිල්ලක් කඩාගෙන ගියපු එක ගැන පරීක්ෂා කරමින් ඉන්නකොට තමයි පාසල වහන්නේ. වහන්නේ වෙන අවශ්‍යතාවයකට නොවෙයි. ඒ පිළිබඳ කරපු පරීක්ෂණයේ ලිපිගොනු ගෙනියන්න. පාසලේ ලොග්පොත, අත්සන් පොත සමග තවත් රාජ්‍ය ලිපිගොනු 26ක් ගෙන ගියා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඇවිත්... මම පැමිණිලි කළා හැම තැනටම. එහෙම දෙයක් අරං ගිහිං නැහැමයි කියලයි කිව්වේ. අන්තිමට තොරතුරු කොමිසමෙන් වැඩේ තද කළාම නැවත පරීක්ෂණයක් කළා. මම සේවයෙන් පහ කරලා.. වසරක් ගියාට පස්සේ කියනවා ලිපිගොනු ටික තියෙනවා කියලා. අන්තර්ගහණයට අදාලව මම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගෙන් ලිපියක් ඉල්ලුවා. ඒක රාජකාරියක්. ලිපිය නිකුත් කරනවා මම සේවයෙන් පහ කරලා අවුරුදු එකහමාරක් ගියාට පස්සේ... මේවා නිකන් පෙම් හසුන් නොවෙයි. රාජ්‍ය ලිපිලේඛන... මේකද රාජකාරිය කියලා කියන්නේ...? ඔය කියන සුරතල් කථා මට නම් ප්‍රායෝගික නැහැ. ලිපිගොනු ටික හොරකම් කරන්න කෙනෙක් යෙදෙව්වේ දකුණු පළාත් අධ්‍යාපන ලේකම්... අන්තිමට තද වෙනකොට කලින්ම පැන්ෂන් යැව්වා. ඒක කලේ පීඑස්සි ලේකම් සහ ප්‍රධාන ලේකම් විසින්. මට කියන්න ඕකද රාජ්‍ය සේවය කියලා?. ලංකාවේ ගොඩක් ආයතන තියෙන්නේ හොරුන් ආරක්ෂා කරන්න...

:       0       2

ලලිත් ජයවීර - අම්බලන්ගොඩ Wednesday, 30 September 2020 01:00 AM

ගෝකුල මැතිණියනි. මම තමයි ලලිත් ජයවීර. මම කියනවා බය නැතිව ලංකාවේ ගොඩක් රාජ්‍ය ආයතන තියෙන්නේ අපරාධකරුවන් ආරක්ෂා කරන්න කියලා. ඒත් මම ගරු අධිකරණය ගැන තවමත් දැඩිසේ විශ්වාස කරනවා. අපිට පිහිටක් වෙන්නේ එතැනින් විතරයි. හරියට කරුණු ඉදිරිපත් කළොත් ගරු අධිකරණය අපි වගේ සාමාන්‍ය පුරවැසියන්ට අනිවාර්යයෙන්ම පිහිට වෙනවා. ඒ අනුව තමයි දකුණේ මහ ඇමති සහ නිලධාරින් එක්වෙලා ගන්න ගිය පාසල් ඉඩමක් අපි බේරගත්තේ... නැත්තම් දැන් ඒකෙ කෑලිත් නැහැ. ගොඩක් මැදහත් තැන්වලට ලිපියක් යොමු කළාම නැවත ඒ ලිපිය වෙනත් තැනකට යොමු කරනවා දිනයක්, සිරස්තලයක් මොකවත් නැතිව. පිටපතක් මටත් එවනවා. පසු විපරමක් කරනකොට මමවත් දන්නේ නැහැ. මොකක් ගැන කවදා, කාට ලියපු ලිපියක්ද කියලා. මේකද මැතිණියනි, රාජ්‍ය සේවය? දකුණු පළාතේ විනය පරීක්ෂණ කියන්නේ තනිකරම බිස්නස් එකක්. මගේ පාසලේ ගිණුමේ තිබුණේ රුපියල් 60000 ක් විතර... පරීක්ෂණයට ගිය වියදම රුපියල් ලක්ෂ 10ක් විතර. වසර 5 කට වැඩි කලක් මට එරෙහිව පරීක්ෂණය කළා. බොරු කියූ හැමෝටම හොඳ හොඳ තනතුරු ලැබුණා. මාව කැඳවන්න. මම එන්නම් රාජ්‍ය සේවයේ තරාතිරම ගැන කියලා දෙන්න.

:       0       3

ලලිත් ජයවිර - අම්බලන්ගොඩ. Wednesday, 30 September 2020 01:31 AM

රාජ්‍ය සේවයේ අවංක, එඩිතර නිලධාරින් ඉන්නේ අතළොස්සයි. 90% ක්ම එහෙයියෝ. එහෙයියෙක් නොවුණොත් ඉහළට යන්න බැහැ. අවංක නිලධාරීන්ට තැනක් නැහැ. අම්බලන්ගොඩ පැත්තේ පාසල් වලත් එහෙම තමයි. එක පාසලක ශ්‍රේණිධාරි විදුහල්පතිවරු 4 දෙනෙක් සිටියදී දේශපාලන හෙන්චයියෙක් වෙච්ච අභ්‍යාසලාභී කෙනෙක් පත්කළා වැඩබලන විදුහල්පති වශයෙන්. පස්සෙ ඉතිං තැනකට ආවා තමයි. මුලු නගරයම දන්නවා මිනිහගේ පැටිකිටිය. ඔය වගේ උදාහරණ ඕනෑතරම් දෙන්නම්. පහුගිය කාලේ දකුණු පළාතේ හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු ඔක්කොම වැඩ බලපු කට්ටිය. දැනුම් එහෙම තමා. ඒ වුණාට සුදුස්සන් ඉන්නවා... වැඩබලන අය යටතේ. මේකද රාජ්‍ය සේවය? මේ අය තමයි මාව ගෙදර යැව්වේ බොරු කියලා. අනේ මාව ප්‍රසිද්ධ දේශනයකට කැඳවන්න. මම කියලා දෙන්නම් දැන් ලංකාවේ රාජ්‍ය සේවයක් නැහැ. ඉතුරුවෙලා තියෙන්නේ වහල් සේවයක් විතරයි කියලා. අපේ අතිගරු ජනාධිපතිතුමා මේක දැක්කොත් මට අවස්ථාවක් ලබලා දෙන්න. මම කියන්නම් සැලසුම් සහගත අපරාධකරුවන්ටත් වඩා දරුණු අපරාධකරුවන් පිරිසක් දැන් රාජ්‍ය සේවයේ ඉන්නවා කියලා. මට දැන් වයසයි. මගෙන් එහෙම හරි වැඩක් ගන්න. අනාගතයට ප්‍රයෝජනයක් වේවි...

:       0       4

manel bogahapitiya Wednesday, 30 September 2020 10:13 AM

සියලු දෙනාම කියවිය යුතු ලිපියක්... මගේ අත්දැකීම් අනුව මේවා සහතික ඇත්ත.

:       0       2

Prasantha Wednesday, 30 September 2020 11:33 AM

සියලුම ශ්‍රී ලාංකිකයින්ට හොඳ ලියුමක්..

:       0       2

vidya Wednesday, 30 September 2020 04:56 PM

නංගී ඔයාෙග් අදහස් හරිම අගෙයි. නමුත් ඔයාත් ටිකක් ව්‍යායාම් කරලා සෞඛ්‍යය ගැන හිතන්න. මේක වරදවා තේරුම් ගන්න එපා.

:       0       0

Rohana Thursday, 01 October 2020 01:52 AM

මේ අදහස් සියල්ලම රාජ්‍ය සේවකයන්ට ඉතා වැදගත්. ඒ්‍ත් රාජ්‍ය සේවයේ සමහර තනතුරු රැකගැනීමටත් උසස්වීම් ලබාගැනීමටත් දේශපාලන හිතවත්කම් අවශ්‍යයි. මේ නිසා සැබෑම සුදුස්සන්ට අසාධාරනයක් වෙනවා. මේවා නවත්වන්න බැරි මොකද?

:       0       0

Bamunuarachchi Thursday, 01 October 2020 03:08 AM

මම කුඩා කාලේ අසල්වැසි රජයේ නිලධාරීන් සඳුදා උදේ රැකියාවට යාමට ඉරිදා සූදානම් වූ ආකාරය දැක්කා. සපත්තු පොලිෂ් කරලා, ඇඳුම් මැදලා පහුවදාට කාර්යාලවලට යන්න සූදානම්... ඒ වගේම උදෙන්ම පළමු සුබපැතුම ලැබෙන්නේ ට්‍රොලි බස් කොන්දොස්තරගෙන්... එහෙම තිබුණු රට බල්ලාට ගිහින් තියෙන්නේ..

:       0       0

Bamunuarachchi Thursday, 01 October 2020 03:46 AM

ඊයේ 30 වැනිදා ඉඩම් සම්බන්ධ වැඩකට මම දෙල්කඳ පිහිටි රජයේ කාර්යාලයකට ගියා. එහිදී ඒ සඳහා සිටිය නිලධාරිනිය තමන්ගේ රාජකාරිය නොදන්නා බව හොඳට පෙන්නුම් කළා. සිදුවිය යුත්ත මොකක්ද කියා දන්න නිසා වැඩිදුරටත් කතා කිරීමේදී අර මිස් ගාවට යන්න කිව්වා. ඒ මිස් හිනාවෙලා කාරණය අහලා කළ යුත්ත එම මොහොතේම කළා. වැඩක් කරගන්න එන මිනිස්සුන්ව එවැනි නිලධාරීන් අමාරුවේ නොදමන්න. පළමු පත්වීම් ලබා එන නිලධාරීන්ට තම විෂය හරිහැටි කියාදෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 23 0

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 11 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 479 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 268 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 93 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 321 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1555 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site