මීට සහභාගි වූවන් අතර පාෂාන්, අර්කම්, ඉහ්ෂාම්, ඉන්ෂාෆ්, ජමිල්, උමයර්, අබු හිතාම්, මුවාඩ්, නවුෆර්, මිල්හාන්, හස්තුන්, ගෆුර් සහ රිස්කාන් යන අය වූහ. මෙහිදී හස්තුන් ආරක්ෂක අංශවලට හසු නොවීම සඳහා සහභාගි වූවන්ගේ ජංගම දුරකතනවලින් වීපීඑන් තාක්ෂණය හරහා අන්තර්ජාලය භාවිත කරන ආකාරය සහ තම අනන්‍යතාව හෙළි නොවන ආකාරයේ ජංගම දුරකතන සිම්පත් මිලදී ගෙන භාවිත කරන ආකාරය පහදා දී ඇත. තවද පරිගණක හා ජංගම දුරකතන භාවිතයේදී තම අනන්‍යතාව හෙළි නොවන ආකාරයෙන් ඒවා භාවිත කරන ආකාරයද ඔහු විසින් විස්තර කර තිබිණි. මෙම පුහුණුවට සහභාගිවූවන් අතර වර්ෂ 2019 අප්‍රේල් 21 සහ 26 වන දිනවල මියගිය අය අතුරින් සහරාන්, හස්තුන්, ජමිල්, රිල්වාන්, මුවාඩ් සහ ෂයිනි වූහ.

ශාන්තිපුර පන්සල පාරේ අංක 56/1 දරණ ස්ථානයේ පිහිටි තක්ෂිලා නිවාඩු නිකේතනයේදී පැවැත්වුණ පුහුණු කඳවුරු 3.

මෙම නිවාඩු නිකේතනයේ භාරකරු ලෙස කටයුතු කර ඇත්තේ ශාන්තිපුර පන්සල පාරේ අංක 57 දරණ ස්ථානයේ පදිංචිව සිටි රංග ඉන්දික වීරසිංහ නමැත්තෙකි. ඔහු පදිංචිව සිට ඇත්තේ අදාළ නිවාඩු නිකේතනයට යාබද ස්ථානයකය. මෙම නිවාඩු නිකේතනයේ හිමිකරු වී ඇත්තේ කැලණියේ පදිංචි තක්ෂිලා ඉන්දික කුමාර නමැත්තෙකි. අවස්ථා 3කදී මෙහි පුහුණු කඳවුරු පැවැත්වුණු අතර, සහරාන් විසින් ඒවා මෙහෙයවා තිබිණි. හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන් විසින් ටී 56 ගිනි අවි සහ පිස්තෝල භාවිත කරන ආකාරය පිළිබඳ දේශන පැවැත්වූ අතර, එහිදී ප්‍රායෝගික ඉදිරිපත් කිරීම් ලෙස එම ආයුධ කොටස්වලට ගලවන ආකාරය සහ නැවත සවිකරන ආකාරයද ඉදිරිපත් කරන ලදී. බෝම්බ සාදන ආකාරය පිළිබඳව මොහොමඩ් හස්තුන් විසින් දේශන පැවැත්වීය.

අන්තවාදය පිළිබඳ දේශන පවත්වන ලද්දේ සහරාන් සහ නවුෆර්ය. මෙම දේශනවලට පැමිණීමට කණ්ඩායමේ පිරිස වෑන් රථ 2ක් භාවිත කර තිබේ. ඒ අතුරින් ඇතැමෙක් පොදු ප්‍රවාහන මාධ්‍යයන් භාවිත කොට නුවරඑළියට පැමිණ ඇති අතර, එතැන් සිට වෑන් රථ 2 කින් අදාළ ස්ථානයට පැමිණ තිබේ. පුහුණු කඳවුරු පැවැත්වූ කාල පරාසයන් මෙසේය.

අ. වර්ෂ 2018 මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 1 වැනිදා දක්වා 15, 20ක් අතර පිරිසක් පුහුණුවට සහභාගි වී ඇත.

ආ. වර්ෂ 2018 මැයි 4 වැනිදා සිට 6 වැනිදා දක්වා 30, 35 ත් අතර පිරිසක් පුහුණුවට සහභාගිවී ඇත.

ඇ. වර්ෂ 2018 මැයි 7 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත වුවද 8 වැනිදා දක්වා පමණක් පවත්වන ලද පුහුණුවට 25, 30 ත් අතර පිරිසක් සහභාගිවූහ. මෙම පුහුණු සැසි 3 සඳහාම වර්ෂ 2019 අප්‍රේල් මස 21 සහ 26 යන දිනවල මියගිය අය අතුරින් සහරාන්, ෂයිනි, හස්තුන් සහ රිල්වාන් යන අය සහභාගි වූහ.

හම්බන්තොට සිප්පිකුලම ෂිමිලා බේකරිය අසල අංක 67/4/1 යන ස්ථානයේ පවත්වන ලද පුහුණු කඳවුරු.
මෙම ස්ථානයේ හිමිකරු වන්නේ සෙයියදු මොහොම්මදු ෆවුෆාස් මවුලානා නමැති කටාර්හි සේවය කරන තැනැත්තකු වන අතර එහි කළමනාකරු ලෙස කටයුතු කර ඇත්තේ සෙයියදු මසුර් මවුලානා නමැත්තෙකි.
මෙහිදී පුහුණු කඳවුරු පැවැත්වූ කාල පරාසයන් වන්නේ වර්ෂ 2018 ජුලි මස 7 වැනිදා සහ 8 වැනිදා, එම මස 20 සහ 22 අතර කාලය තුළ, අගෝස්තු 26 සහ 28 කාලය අතරතුර, නොවැම්බර් මස 3 වැනිදා සහ 4 වැනිදා සහ දෙසැම්බර් 1 වැනිදා හා 2 වැනිදාය.

වර්ෂ 2018 ජුලි 7 සහ 8 දිනවල පැවැත්වුණු පුහුණු කඳවුර සඳහා 20, 25ක් අතර පිරිසක් සහභාගිවූ අතර, සහරාන් එය මෙහෙයවිය. මෙම කණ්ඩායමෙන් ඇතැමෙක් වෑන් රියකින් පැමිණ ඇති අතර, සෙසු අය හම්බන්තොට නගරයට පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිත කොට පැමිණ එතැන් සිට වෑන් රථයෙන් ගෙනවිත් ඇරලවා තිබේ. මියගිය අය අතුරින් මෙම පුහුණුවට සහභාගිවී ඇත්තේ සහරාන් සහ රිල්වාන්ය. ටී 56 අවියක් භාවිත කරමින් මෙහිදී මිල්හාන් අවි පුහුණුව ලබාදී ඇති අතර, බෝම්බ සකසන ආකාරය පිළිබඳ පුහුණුවක් ලබාදී ඇත්තේ රිල්වාන්, සහරාන් විසින් ඉස්ලාම් අන්තවාදය පිළිබඳවද, නවුෆර් විසින් අයි එස් සංවිධානය පිළිබඳවද දේශන පවත්වා තිබේ.

මීළඟ පුහුණු සැසිය පැවැති ජුලි 20 සහ 22 වැනිදා අතර කාලය තුළ 25, 30ත් අතර පිරිසක් ඒ සඳහා සහභාගිවී ඇති අතර, සහරාන් විසින් ඉස්ලාම් අන්තවාදය පිළිබඳවද, නවුෆර් විසින් අයි එස් සංවිධානය පිළිබඳවද දේශන පවත්වා තිබේ. හයතු මොහොමදු මිල්හාන් ටී 56 ගිනි අවි පිස්තෝල සහ පිහි භාවිතය පිළිබඳ පුහුණුව ලබාදී ඇති අතර, රිල්වාන් විසින් බෝම්බ සැකසීම පිළිබඳව දේශන පවත්වා ඇත. මියගිය අය අතුරින් සහරාන්, හස්තුන් සහ ඉල්හාම් අහමඩ් යන අය මේ සඳහා සහභාගිවී තිබේ.

අගෝස්තු මස 26 සහ 28 යන දින අතරතුර කාලයේ පැවැති මීළඟ පුහුණු සඳහා 30, 40ත් අතර පිරිසක් සහභාගිවී තිබේ. වෑන් රථ දෙකකින් සහභාගිවූ කණ්ඩායම් මේ සඳහා පැමිණ ඇති අතර, සහරාන් ඉස්ලාම් අන්තවාදය පිළිබඳවද, නවුෆර් විසින් අයිඑස් සංවිධානය පිළිබඳවද ඔවුනට දේශන පවත්වා තිබේ. හයතු මොහොමදු අහමදු මිල්හාන් විසින් ටී 56 ගිනි අවි, පිස්තෝල සහ පිහි භාවිතය පිළිබඳ පුහුණුව ලබාදී ඇති අතර, හජි මොහොමඩ් මොහොමදු හස්තුන් පුපුරණ ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පුහුණුව ලබාදී තිබේ. වර්ෂ 2019 අප්‍රේල් 21 සහ 26 දිනවල මියගිය අය අතුරින් සහරාන්, ෂයිනි, හස්තුන් සහ මුවාඩ් යන අය මීට සහභාගිවී ඇත. ඊට අමතරව සාදික් සහ ෂහීඩ් ද මේ සඳහා සහභාගිවී ඇත.

නොවැම්බර් 3 සහ 4 යන දින අතරතුර කාලයේ පැවැති මීළඟ පුහුණු සඳහා 25, 30 ත් අතර පිරිසක් සහභාගිවී තිබේ. සහරාන් විසින් ඉස්ලාම් අන්තවාදය පිළිබඳවද, නවුෆර් විසින් අයි එස් සංවිධානය පිළිබඳවද ඔවුනට දේශන පවත්වා තිබේ. හයතු මොහොමදු අහමදු මිල්හාන් විසින් ටී 56 ගිනි අවි, පිස්තෝල සහ පිහි භාවිතය පිළිබඳ පුහුණුව ලබාදී ඇති අතර, හජි මොහොමඩ් මොහොමදු හස්තුන් විසින් පුපුරණ ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පුහුණුව ලබාදී තිබේ. වර්ෂ 2019 අප්‍රේල් මස 21 සහ 26 දිනවල මිය ගිය අය අතුරින් සහරාන් සහ හස්තුන් මෙන්ම ෂහීඩ් යන අය මීට සහභාගිවී ඇත.

25ත් සහ 30 අතර පිරිසකගේ සහභාගිත්වයෙන් වර්ෂ 2018 දෙසැම්බර් 1 වැනිදා සිට 2 වැනිදා දක්වා මීළඟ පුහුණුව පැවැත්විණි. මෙම පුහුණු වැඩසටහනේදී ද සහරාන් විසින් ඉස්ලාම් අන්තවාදය පිළිබඳව දේශන පැවැත්වූ අතර, නවුෆර් විසින් 15 සංවිධානය පිළිබඳවත්, නුවර, දිගන සහ බේරුවල ප්‍රදේශ ආශ්‍රිත සිද්ධීන් පිළිබඳවත්, ෂයිනි විසින් ජිහාඩ් පිළිබඳවත් දේශන පැවැත්වූහ. හයතු මොහොමදු අහමදු මිල්හාන් විසින් ටී 56 ගිනි අවි, පිස්තෝල සහ පිහි භාවිතය පිළිබඳ පුහුණුව ද හජි මොහොමඩ් මොහොමදු හස්තුන් පුපුරණ ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පුහුණුවද ලබාදී තිබේ. මියගිය අය අතුරින් සහරාන්, රිල්වාන්, ෂයිනි සහ හස්තුන් මීට සහභාගිවී තිබේ. මෙම පුහුණුවීම් අවස්ථා හතරේදීම වර්ෂ 2019 අප්‍රේල් මස 21 සහ 26 වැනි දිනවල මිය ගිය අය අතුරින් සහරාන්, රිල්වාන්, ෂයිනි සහ හස්තුන් සහභාගිවී ඇත.

නුවරඑළිය අංක 181/01 බ්ලැක්ෆූල් නමැති ස්ථානයේ පිහිටි බ්ලූඅයිඉන් නමැති ස්ථානයේ පවත්වන ලද පුහුණුව.
මෙම ස්ථානය ikman.lk වෙබ් අඩවියේ දැන්වීමක සඳහන් වූ පරිදි තානායමක් ලෙස නීතා කමලිනින් මාටින්ස්ටයින් යන අයගේ හිමිකාරත්වය යටතේ පවත්වාගෙන ගොස් ඇති අතර, ගම්පොළ පදිංචි සුනිල් කුලරත්න නමැති අය විසින් එම ස්ථානය පවත්වාගෙන ගොස් ඇත. මෙහිදී පුහුණු කඳවුරු පවත්වා ඇත්තේ වර්ෂ 2018 ඔක්තෝබර් 6 සහ 7 දෙදින සහ නොවැම්බර් 16 හා 18 යන කාලය තුළය. මින් පළමු පුහුණු වැඩ සටහන සඳහා 20ත්, 25ත් අතර පිරිසක් සහභාගිවී ඇති අතර, ඔවුන් වෑන් රථ 2කින් මෙහි පැමිණ තිබේ. එහිදී සහරාන් විසින් ඉස්ලාම් අන්තවාදය පිළිබඳවද, නවුෆර් විසින් අයිඑස් සංවිධානය පිළිබඳවද දේශන පවත්වා ඇති අතර, ඉල්හාම් අහමඩ් විසින් ටී 56 ගිනි අවි සහ පිස්තෝල භාවිතය පිළිබඳව පුහුණුව ලබාදී ඇත. වර්ෂ 2019 අප්‍රේල් 21 සහ 26 වැනි දිනවල මියගිය අය අතුරින් සහරාන්, ඉල්හාම් සහ හස්තුන් සහභාගි වී ඇත.

නොවැම්බර් 16 සහ 18 වකවානුව තුළ පැවති පුහුණුව සඳහා 15, 25ත් අතර පිරිසක් සහභාගී වූහ. එහිදී ද සහරාන් විසින් ඉස්ලාම් අන්තවාදය පිළිබඳව දේශන පැවැත්වූ අතර නවුෆර් අයි.එස්. සංවිධානය පිළිබඳ දේශන පැවැත්වීය. ඉන් අනතුරුව මිල්හාන් ටී-56 ගිනිඅවි සහ පිස්තෝල භාවිතය පිළිබඳ පුහුණුව ද හස්තුන් පිහි භාවිතය පිළිබඳ පුහුණුව ලබා දී තිබිණ. වර්ෂ 2019 අප්‍රේල් 21 සහ 26 වැනි දිනවල මියගිය අය අතුරින් සහරාන් සහ හස්තුන් සහභාගිවී ඇත.

වර්ෂ 2018 දෙසැම්බර් 14 සහ 18 අතර කාලය තුළ හිඟුල, දෙල්ගහගොඩ අංක 130/B දරණ ස්ථානයේ හරියා මස්ජිද් තවුහිද් නමැති ඉස්ලාම් දේවස්ථානයේදී ෂහිඩ් සහ සාදික් විසින් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි දරුවන් සඳහා පවත්වන ලද පුහුණුව.

 මෙම නේවාසික කඳවුර සඳහා මාවනැල්ල, කඩුගන්නාව සහ දෙල්ගොඩ යන ප්‍රදේශවල සිට පැමිණි ළමයි 30ක් පමණ සහභාගි වූහ. ඔවුනට අයි.එස්. සංවිධානය පිළිබඳ දේශන පවත්වා ඇති අතර අයි.එස්. සංවිධානය විසින් කුඩා දරුවකු මරා දමන දර්ශනද ඔවුනට පෙන්වා තිබේ. එමෙන්ම දිගන ප්‍රදේශයේ සිදුවූ සිදුවීම් පිළිබඳව ඔවුනට විස්තර කොට ඔවුනටද එවැනි ප්‍රහාර එල්ල වුවහොත් ඔවුන්ද ප්‍රතිප්‍රහාර එල්ල කළ යුතු බව කියාදී තිබේ.

ඉහත සඳහන් පුහුණු කඳවුරුවලට අමතරව වනාතවිල්ලුව, කාර්තිව්හි සූරියා අරාබි පාසලේ ද වර්ෂ 2015 මුල් භාගයේ සිට වර්ෂ 2019 දක්වා කාලය තුළ පුහුණු කඳවුරු පවත්වා ඇත. මෙම ස්ථානය මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ MRCA/QM/PT/43 දරන ලියාපදිංචි අංකය යටතේ ලියාපදිංචි කර ඇති මද්‍රාසා පාසලකි. මෙම පාසල 1989 දී දහම් පාසලක් ලෙස අරඹා වර්ෂ 2011 දී මද්‍රාසා පාසලක් බවට පරිවර්තනය කර තිබේ. මෙහිදී පුහුණුව ලබාදී ඇත්තේ Save the Pearl (මුතු ඇටය සුරකිමු) නමැති සංවිධානය විසින් වන අතර අදාළ මද්‍රසා පාසලට ඇතුළත් කර ගන්නා ළමයින්ට පමණක් එම පුහුණුව ලබාදී තිබේ.

වර්ෂ 2015 මුල් භාගයේ සිට වර්ෂ 2017 අග භාගය දක්වා කාලය තුළ මෙම මද්‍රාසා පාසල සඳහා Save the Pearl (මුතු ඇටය සුරකිමු) නමැති සංවිධානය විසින් දරුවන් 26 දෙනකු පමණ ඇතුළත්කොට ගෙන ඇත. මෙම දරුවන් තෝරාගෙන ඇත්තේ මට්ටක්කුලිය, මාදම්පේ හා පුත්තලම වැනි ප්‍රදේශවල අනාථ තත්ත්වයට පත්වූ, මව හෝ පියා අතුරින් එක් කෙනකු පමණක් සිටින පවුල්වල හෝ සමාජය විසින් කොන් කරන ලද හෝ ජන කොටස් අතුරිනි. මෙම දරුවන් හට ටී-56 අවි පුහුණුව, කරාටේ පුහුණුව සහ අත් බෝම්බ සෑදීම පිළිබඳව පුහුණුව ලබාදී ඇති අතර අන්තවාදී වීඩියෝ දර්ශන පෙන්වීම සහ අන්තවාදී ඉස්ලාම් දේශන පැවැත්වීමත් සිදුකර තිබේ. මේ සඳහා සහභාගි වූවන් අතර සහරාන්, ඉල්හාම් අහමඩ්, පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ෂස්මින්, ඉල්හාම් අහමඩ්ගේ බිරිඳ වන දෙමටගොඩ පිපිරුමේදී මියගිය ෆාතිමා ජිෆ්රි, නවුෆර්, රිල්වාන් සහ අවශේෂ පිරිස වූහ.

මේ අතුරින් කාන්තා සාමාජිකාවන් සඳහා කාතන්කුඩි, පාලමුනෛ ප්‍රදේශයේදී දින 3 පුහුණුවක් ලබාදී ඇති බවට ද සාක්ෂි තිබේ. ඉල්හාම්ගේ බිරිඳ වන ෆාතිමා මොහොමඩ් ජිෆ්රි විසින් ඔවුනට කරාටේ පුහුණුව ලබාදී ඇත.

පුහුණු කඳවුරු පැවැත්වීමට අමතරව සහරාන් විසින් ඔහුට හා සිය කණ්ඩායම් සගයන් හට ආරක්ෂක අංශවලින් වසන්ව සිටීම සඳහා ආරක්ෂිත නිවස්න කිහිපයක්ම සූදානම් කරගෙන සිටි බවද අනාවරණය වී ඇත.
මේ අතරින් ප්‍රධාන නිවස්නයක් පිහිටා තිබුණේ පානදුර, පරත්ත පාරේ, ෂෙරීෆ් මාවතේ අංක 61/02 දරන ස්ථානයේ නස්මියා විලා නමැති ලිපිනයේය. බෝම්බ සාදන්නට ඇත්තේ මෙම ස්ථානයේ විය හැකි බව පෙනී යයි. කොළඹ නගරයේ හෝටල් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් ගමන් මලු ද රැගෙන අදාළ හෝටල් වෙත පිටත්ව ගොස් ඇත්තේද මෙම ස්ථානයේ සිට බව හෙළිදරව් වී තිබේ. මෙම නිවසින් සොයාගත් ද්‍රව්‍ය අතර විදුලි පරිපථ සටහන්ද වේ.

තවත් ආරක්ෂක නිවස්නයක් දළුවාකොටුව, ජනපද මාවතේ අංක 546/7/1 යන ලිපිනයේද පිහිටා තිබුණි. එය කුලියට ගෙන තිබුණේ අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි නමැත්තා විසින් සහරාන්ගේ උපදෙස් මතය. සාෆි සහ සහරාන් අතර සම්බන්ධය කාත්තන්කුඩියේ ක්‍රියාත්මක වූ දාරුල් අධා අද්දයියා පැවැති කාලය තරම් ඈත කාලයකට දිවේ. ඔහු සහරාන්ගේ රියැදුරා ලෙසද එකල කටයුතු කර ඇත. වර්ෂ 2017 නොවැම්බර් මැදවච්චිය, රබෑව ප්‍රදේශයේ පවත්වන ලද පළමු පුහුණු කඳවුර සංවිධානය කොට ඇත්තේ ද මොහුගේ නිවසේය. මාවනැල්ල සිදුවීමෙන් අනතුරුව සැඟවී සිටි සාදික් සහ ඔහුගේ පවුලේ අයටත් ඔහුගේ සොහොයුරු ෂහීඩ්ටත් රැකවරණය සැලසීම සඳහා මෙම නිවස්නය යොදාගෙන තිබිණි. මෙම නිවැසියෝ වනාතවිල්ලුව ප්‍රදේශයෙන් ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවීමත් සමගම ඉක්මණින් එම ස්ථානයෙන් ඉවත් වූහ.

කටුවාපිටිය, උලුඅම්බලමේ අංක 394/A/21, දොන් ඩේවිඩ් මාවත යන ලිපිනයේ පිහිටි ආරක්ෂක නිවස්නයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඉලක්ක කරගත් ප්‍රහාරය සඳහා හස්තුන් පිටව ගොස් ඇති බව අනාවරණය විය. වර්ෂ 2019 ජනවාරි 26 වැනිදා මෙම නිවස කුලී පදනම මත ලබාදීම සඳහා Ikman.lk වෙබ් අඩවියේ දැන්වීමක් පළකොට තිබූ අතර එම නිවස කුලියට ගැනීම සඳහා එම වසරේ පෙබරවාරි 4 වැනිදා බදු ගිවිසුමක් මුබාරක් නමැත්තෙකු විසින් අත්සන් කර තිබේ. වර්ෂ 2019 පෙබරවාරි 16 වැනිදා සිට මෙම ආරක්ෂක නිවස්නයෙහි පුද්ගලයන් පදිංචිව සිට තිබේ.

තවත් ආරක්ෂක නිවස්නයන් කිහිපයක් නින්දවූර්, සම්මන්තුරෙයි, සහින්දමර්දු, ගල්කිස්ස ස්පෑන් ටවර්ස්, වැල්ලවත්ත ස්පෑන් ටවර්ස්, මල්වාන, එඬේරමුල්ල, කොල්ලුපිටිය, තිරියාය, වාලච්චේනෙයි, කටුපොත, කුලියාපිටිය සහ හෙට්ටිපොළ යන ප්‍රදේශවල ද පවත්වාගෙන ගොස් තිබේ. මෙම ආරක්ෂක නිවස්න පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

අංක 5/5, 41 ස්පෑන් ටවර්ස්, ගල්කිස්ස
අංක 9/3, 41 ස්පෑන් ටවර්ස්, ගල්කිස්ස.
අංක 68/5/2, 70 ලකී ප්ලාසා, ශාන්ත අන්තෝනි පාර, කොළඹ 3.
අංක 546/7/1, ජනපද මාවත. දළුවාකොටුව, කොච්චිකඩේ.
අංක 394, රිදීවැලි පාර, කොච්චිකඩේ.
අංක 53, නස්මියා විලා, පරත්ත පාර, පානදුර.
අංක 48/2 වන හරස් පාර, නින්දවුර් 7 වන අදියර.
අංක 185, ජලල්දීන් පාර, අඩ්ඩාලච්චේනෙයි.
අංක 183, 3 වන හරස් වීදිය, සහින්දමර්දු  

 මෙම පුහුණු කඳවුරු පිළිබඳ සාක්ෂි විමර්ශන කොමිසම ඉදිරිපිට විභාග කෙරුණ සාක්ෂිවලට අන්තර්ගත වන අතර ඒවා ලබාගෙන ඇත්තේ වාචික සහ ලිඛිත සාක්ෂි මත පදනම්ව විමර්ශන නිලධාරීන්ගේ හා බුද්ධි අංශ සාක්ෂි ප්‍රකාශද ඇතුළත් වන පරිදිය.


ප්‍රහාර සඳහා සූදානම
 වර්ෂ 2019 මාර්තු 25 වැනිදා දැනට අත්අඩංගුවේ පසුවන සමීර් හමුවූ මුවාත් සහරාන් සහ නවුෆර් අතර උද්ගතවී ඇති ගැටුම් සහගත තත්ත්වයක් පිළිබඳ දැනුම්දී ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවශ්‍ය බව පැවැසීය. ඉන් දින දෙකකට පසු වර්ෂ 2019 මාර්තු 27 වැනිදා දැනට අත්අඩංගුවේ පසුවන සමීර් සහ තවත් දෙදෙනෙක් මුවාත් සහ ජමීල් හමුවී පානදුර පරත්ත පාරේ, ෂෙරිප් මාවතේ, අංක 61/02 දරන ලිපිනයේ පිහිටි නෂ්මියා විලා වෙත ගියහ. ඔවුන් එහි පැමිණෙන විට සහරාන් සහ හස්තුන් දෙදෙනා එහි සිටියහ.

කලින් සිදුවීම් කිපයක් පිළිබඳ විස්තර කරමින් සහරාන් විසින් සාකච්ඡාව ආරම්භ කරන ලදී. සූරා සභාව නම් වූ තීරණ ගැනීමේ පරිපාලන ව්‍යුහයක් මෙම කණ්ඩායම තුළ පැවැතිණි. මෙම සභාවේ සාමාජිකයෝ 13 දෙනෙක් පමණ සිටියහ. ඒ අතර සහරාන් සහ නවුෆර් ද වූහ. මෙම සභාවේ රැස්වීමකදී සහරාන්ගේ වැරදි 19 ක් පමණ මිල්හාන් විසින් ඉස්මතු කර ඇති අතර එම වැරදි හේතුවෙන් සහරාන් වෙනුවට නවුෆර් කණ්ඩායම් නායකත්වයට වඩාත් සුදුසු බව පවසා ඇත. මෙම රැස්වීම අතරතුර ඔවුන් සතු වූ ආයුධ සම සේ බෙදා ගනිමින් කණ්ඩායම් දෙකකට බෙදීම සඳහා යෝජනා වූ අතර එම කණ්ඩායම් දෙක පිළිබඳව ආරක්ෂක අංශවලට හෙළිදරව් කිරීමෙන් වැළැකීමටද යෝජනා ඉදිරිපත් විය. කෙසේ වුවද මෙම යෝජනාවට එරෙහි වූ ඉල්හාම් පවසා ඇත්තේ තමා කණ්ඩායමට අරමුදල් සපයන ලද්දේ සහරාන් කෙරෙහි වන ගෞරවය නිසා බවත් අවශ්‍ය නම් එක් නිවසක්, එක් වාහනයක් සහ එක් ආයුධයක් නවුෆර් වෙත ලබාදිය හැකි බවයි.

මීට කලින් සිදුවූවා යැයි පැවසෙන සිදුවීම් පිළිබඳ විස්තර කළ සහරාන් නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච්හි ඉස්ලාම් දේවස්ථානයකදී මුස්ලිම්වරුන් ඝාතනය කිරීමේ ක්‍රියාවට සහ සිරියාවේ අයි.එස්. සංවිධානයට එරෙහිව එල්ලවන ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ යුතු බව එහි සිටි පිරිසට දැනුම්දී තිබේ.

තවදුරටත් විස්තර කරමින් සහරාන් පවසා ඇත්තේ රිල්වාන් බෝම්බ සාදනු ඇති බවත් ඒවට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය දින 15කින් කල් ඉකුත් වන බැවින් එම කාල සීමාවෙන් පසුව ඒවා නිවැරදි ලෙස ක්‍රියාත්මකවේද යන්න අවිශ්වාස නිසා බෝම්බ සාදා දින 15ක් ඉකුත් වීමට පෙර ප්‍රහාරයක් දියත් කළ යුතු බවයි. හස්තුන් රිල්වාන් සහ ඉල්හාම් දෙදෙනා බෝම්බ සෑදීම සඳහා අවශ්‍ය දැනුම අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන ඇත.

එබැවින් ඔහු යෝජනා කර ඇත්තේ විදේශිකයන් නිතර ගැවසෙන හෝටල්, කැසිනෝ, සමාජ ශාලා සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කළ යුතු බවයි. එහිදී ඔහු මීගමුව ප්‍රදේශය පිළිබඳව විශේෂයෙන් සඳහන් කර ඇති අතර එහිදී මුවාත් පවසා ඇත්තේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තම නිවෙසට ආසන්නව පිහිටා ඇති බැවින් තමන් විසින් එල්ල කරන මරාගෙන මැරෙන බෝම්බ පුපුරවා හැරීමේ ප්‍රහාරය සඳහා එම ස්ථානය ඉලක්ක කරගත හැකි බවයි. එහිදී යෝජනා වී ඇත්තේ ප්‍රහාරය සඳහා විසි දෙනකු පමණ යොදාගත යුතු බවයි.
ෂැංග්‍රිලා හෝටලය වෙත බෝම්බකරුවන් දෙදෙනකු යෙදවීම සහ ප්‍රහාර එල්ල වූ සෙසු ස්ථාන වෙත එක් බෝම්බකරුවකු බැගින් පමණක් යොමු කිරීම පසුපස ඇති හේතු පිළිබඳ යම් අනුමානයන් ඇතිවී තිබේ. මේ සඳහා හේතු දෙකකි.

ඉන් එක් හේතුවක් වන්නේ බොහෝ දෙනා කණ්ඩායමට එක්වුවද සමහර විට සැලසුම් කළ පරිදි අවශ්‍ය වූ ප්‍රමාණයට බෝම්බකරුවන් සම්බන්ධ කර ගැනීම සඳහා සහරාන්ට හැකියාව නොලැබීම වේ.
දෙවනුව සහරාන් විසින් යෝජනාකොට ඇත්තේ ප්‍රහාර මාලාව අදියර තුනකින් දියත් කළ යුතු බවයි. පළමු පිපුරුමෙන් පසු එහි සිට පලා යන පුද්ගලයන් තවත් දෙවැනි පෙළ ප්‍රහාරයකින් ඉලක්ක විය යුතු බව සඳහන් වී ඇත. ෂැංග්‍රිලා හෝටලයේ සහරාන් විසින් පළමු පුපුරවා ගැනීම සිදු කිරීමෙන් පසු බේරීම සඳහා පලා යමින් සිටි පිරිස ඉලක්ක කර ගනිමින් ඉල්හාම් දෙවැනි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම මෙම අනාවරණයට සාක්ෂි සපයයි. මෙම දෙවැනි ප්‍රහාරය ඉව වැටීම නිසා කුඩා දරුවන් ඇතුළු පලා යමින් සිටි පිරිසගේ බියමුසු කෑගැසීම් එම ස්ථානයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන තුළින් නරඹන විට එය වඩාත් පැහැදිලි වේ.

මෙම උපක්‍රමය භාවිතය පිළිබඳ සැලැස්ම සම්බන්ධයෙන් තත් නිදසුනක් වන්නේ කොච්චිකඩේ දේවස්ථානය අසල පිපිරීමක් සිදු කිරීමේ අරමුණෙන් විරාමඝඨිකාවක් සමග පුපුරණ උපකරණ අටවන ලද ගෑස් සිලින්ඩර් සහිත වෑන් රථයක්ද නවතා තිබීමයි. එම ඇටවුම නියමිත පරිදි පිපිරීම විරාමඝඨිකාව දෝෂ සහිතවීම හේතුවෙන් සිදුවීම වැළකුණද එම පිපිරීමේදී ඉලක්කය විය හැක්කේ එසේ බේරීමට පලායන ජනතාවයි. මෙම ප්‍රහාරයේ තුන්වැනි අදියර තවත් පිපුරුම් මාලාවක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන්නට ඇත්තේ මුල් ප්‍රහාරවලින් තුවාල ලැබූවන් රෝහල් වෙත ප්‍රවාහනය කරන අවස්ථාවේදීය.

අදාළ රැස්වීමේදී ප්‍රහාර එල්ල කිරීමට නියමිත දිනය පිළිබඳ සහරාන් සාකච්ඡා නොකළ අතර ප්‍රහාරය සිදුවීමට දින තුනකට පෙර ඒ පිළිබඳ අදාළ රැස්වීමට සහභාගි වූ අය දැනුවත් කරන බව ඔහු පවසා සිටියේය. පසුකාලීනව ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණෙන් නුවරඑළිය ප්‍රදේශයේ විදේශිකයන් නිතර ගැවසෙන ස්ථාන පිළිබඳව නිරීක්ෂණයක් සිදුවී ඇති බවද සාක්ෂිවලින් අනාවරණය වේ.

සහරාන් ප්‍රහාරවලින් මියගිය බැවින් සැබවින්ම කණ්ඩායමේ නායකයා ඔහු ද යන්න පිළිබඳ බොහෝ මත පළවී ඇත. මෙම රැස්වීම සඳහා සහභාගි වූ අයට සහරාන් පවසා ඇත්තේ බංගලාදේශයේ අයි.එස්. සංවිධානයේ කණ්ඩායම් නායකයා සිදු කළ පරිදිම තමන්ද මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා සහභාගි වී මිය යන බවයි.


(***)