(*** මුදිතා දයානන්ද)

අන්තවාදයේ කෙළවර ත්‍රස්තවාදය බව දන්නා කිසිදු රාජ්‍ය නායකයෙක් අන්තවාදයට උදව් කරන්නේ හෝ එයට පවතින්න ඉඩ දෙන්නේ හෝ නැහැ. සහරාන්ලාගේ ගෝලයෝ නිදහස් කරන්න යම් අවස්ථාවක මගේ අත්සන ලබාගෙන තිබේ නම් එයට වගකිව යුත්තේ ඒ ලේඛන හැදූ නිලධාරින්. මා අත්සන් කරන්නේ ඔවුන් හැදූ ලේඛනවලටයි. ඒවා මොනවාද කියා මා එකින් එක බලන්නේ නැහැ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ මෙහෙයවීම යටතේ ඔහු මෙසේ සාක්ෂි ලබාදුන්නේය.

කොමිසම - ආරක්ෂක කවුන්සිලය රැස්වුණේ ඔබේ ප්‍රධානත්වයෙන් නේද?

සාක්ෂිකරු- ඔව්.

 

කොමිසම - එම රැස්වීම්වලට සම්බන්ධ වූ අය කවුද කියලා පසු කාලයක දැන ගන්නේ කෙසේද?

සාක්ෂිකරු - ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් විය යුත්තේ කවුද කියලා ගැසට් කර තිබෙනවා. ඒ අනුව එය සොයාගත හැකියි.

 

කොමිසම - එහෙත් එම ගැසට් කිරීමට අමතරව ජනාධිපතිගේ අභිමතය පරිදි කැබිනට් ඇමතිවරයෙක් හෝ වෙනත් ඇමතිවරයෙක් සම්බන්ධ කරගන්නත් පුළුවන් නේද?

සාක්ෂිකරු - ඔව්. එහෙම අවශ්‍ය අය අවශ්‍යතාව අනුව කැඳෙව්වා.

 

කොමිසම - 2018 ඔක්තෝබර් ආණ්ඩු වෙනසෙන් පසු නැවත රනිල් වික්‍රමසිංහ මහතා අගමැති බවට පත් වූ පසු ඔබ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් මේ කමිටුවට කැඳෙව්වා නේද? මොකක්ද එහි පදනම.

සාක්ෂිකරු - ආරක්ෂක කවුන්සිලය ගැන හා එකල විවිධ දේවල් ගැන එල්ල වුණ විවේචන හා මතවාද නිසා මම කල්පනා කළා මා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටින්න ආරක්ෂක කවුන්සිලයේ දී මොනවද කරන්නේ කියලා දන්න කීප දෙනෙක් සිටිය යුතුයි කියලා. ඒ නිසා ඔවුන් විරුද්ධ පක්ෂයේ වුණත් මගේ පක්ෂයේ අය නිසා මා වෙනුවෙන් ඔවුන් එයට ගෙන්වා ගත්තා.

 

කොමිසම - ආරක්ෂක කවුන්සිලයේ වාර්තා තබාගැනීමක් සිදුනොකරන නිසා එහිදී යම් කාරණාවක් කතා කළාම, ඒක කවුද කතා කළේ මොනවද කතා කළේ, මොකක්ද ඒ සම්බන්ධයෙන් ගත් පියවර කියලා  අනාගතයේ දී දවසක දැන ගන්න ඕන වුණොත් කොහොමද දැනගන්නේ?

සාක්ෂිකරු - මම කලින් කතා කළ දේවල් නිතරම පසු විපරම් කරනවා.

 

කොමිසම - ඔබ අමාත්‍යංශ කීපයක වගකීම් දරද්දි රටේ නායකයා ලෙස වගකීම දරද්දි මේ තැන්වල කතා කරන දේවල් මතක තබා ගන්නේ කෙසේද?

සාක්ෂිකරු - ඒක හිටපු හැම රාජ්‍ය නායකයකුටම පැවරුණ වගකීමක්. එයට අපි පුරුදු විය යුතුයි.

 

කොමිසම - 2018 ඔක්තෝබර් 26න් පසු ආණ්ඩු වෙනසක් වුණා. ඔබ මහින්ද රාජපක්ෂ මහතා අගමැති කළා. එහෙත් ඒ කාලයේ රැස්වූ ආරක්ෂක කවුන්සිලයට ඔහුව කැඳවා නැහැ. ඇයි ඒ?

සාක්ෂිකරු - එක පැත්තකින් මේ පත්වුණ ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාගයක් සිදුවෙමින් තිබුණා. ඒ වගේම පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා මහින්ද මහතා සහ මා  සාකච්ඡා කර එකඟතාවයකට ආවා මේ ප්‍රශ්න අවසන් වනතුරු ඔහු ආරක්ෂක කවුන්සිලයට සම්බන්ධ නොවන්න. ඔහු මට කිව්වා දැනට මම මේකට සම්බන්ධ නොවී ඉන්නම් කියලා. ඒ නිසයි ඔහුව කැඳෙව්වේ නැත්තේ.

 

කොමිසම - නැවත අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වෙනවා. ඉන්පසු හා පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර ආරක්ෂක කවුන්සිලය දෙවතාවක් රැස්ව තිබෙනවා. එහෙත් ඒ කිසිවකට වික්‍රමසිංහ මහතාට ආරාධනා කර නැහැ.

සාක්ෂිකරු - මට ඒ ගැන මතකයක් නැහැ.

 

කොමිසම - ඔහුට ඒ සඳහා ආරාධනා නොකළ බවට මේ කොමිසමේ දී සාක්ෂි ලබා දී තිබෙනවා නම් ඔබතුමා එය පිළිගන්නවා ද?

සාක්ෂිකරු - ගැසට් පත්‍රය අනුව ඔහු කැඳවීම අනිවාර්යය නැහැ. ඔහු එහි සාමාජිකයෙක් නෙවෙයි. ඒ නිසා ඔහු කැඳවා නැති වෙන්න පුළුවන්. මට ඒ ගැන මතකයක් නැහැ.

 

කොමිසම - ආරක්ෂක ලේකම්වරයා ඔබෙන් ඇහුවාම වික්‍රමසිංහ මහතාට ආරාධනා කරන්නද කියලා, ඔබ ඇහුවාලු ඔයාට පිස්සුද කියලා. ඔබතුමා එහෙම ඇහුවාද?

සාක්ෂිකරු - මම ඒ වගේ වචන නම් භාවිතා කරන්නේ නැහැ කොයිම වෙලාවකවත්. මට ඒක පිළිගන්න බැහැ.

 

කොමිසම - ඔබතුමා ආරක්ෂක කවුන්සිලයේ දී කතා කරද්දී වැඩිය උනන්දුවක් දක්වන්නේ මොනවාට ද?

සාක්ෂිකරු - ඒ ඒ වාකවානුවල ඇති වන තත්ත්වයන් අනුව මාතෘකා වෙනස් වෙනවා. මීතොටමුල්ලේ කසළ කන්ද නාය ගිය වෙලාවේ ඒ ගැන වැඩියෙන් කතා කළා. 2015, 16, 17 කාලයේදී අපේ රටේ ස්වභාවික විපත් ගණනාවක් සිදුවුණා. ඒ හැම තැනකටම පොලිසිය, හමුදාව සම්බන්ධ වුණා. ඒ නිසා මේ රැස්වීම්වල දී ඒවා ගැන කතා කළා. අපරාධ මර්දනය, පාතාලය, මත් ජාවාරම මර්දනය ආදී දේ ගැනත් කතා කළා. එල්ටීටීඊයේ නැවත නැගිටීමක් වෙනවාද කියන එක ගැනත් අපි විමසිල්ලෙන් සිටිය යුතු බවට කතා කළා. මඩකලපුව ප්‍රදේශයේ පොලිස් නිලධාරින් දෙන්නෙක් ඝාතනය කළ වෙලාවේ අපේ හමුදාපති සහ යුද හමුදා බුද්ධි අංශය සිටියේ එය එල්ටීටීඊයේ වැඩක් කියන මතයෙයි. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පස්සේ තමයි මේක සහරාන්ලාගේ වැඩක් බව තහවුරු වුණේ.

 

කොමිසම - මුස්ලිම් අන්තවාදය ගැන මෙහිදී කොපමණ වාර ගණනක් කතා කළා ද?

සාක්ෂිකරු - සංඛ්‍යාත්මකව ඒ ගැන කියන්න බැහැ. 2016 සිටම මේ ගැන අපි කතා කළා. ලෝකයේ අයි.එස් ව්‍යාප්තිය ගැන මුස්ලිම් අන්තවාදය පැතිරයාම ගැන අපේ රටේ මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාවන් ගැන අපි කතා කළා. මේවා අපේ රටට බලපෑම් කරන්න ඉඩ නොතැබිය යුතු බවට කතා කළා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දුන්නා.

 

කොමිසම - අසාද් සාලි මහතා මේ කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළා සහරාන් හෂීම් ගැන ඔබතුමාට අවස්ථා හයකදි පැමිණලි කළා කියලා. ඔබ හැමවිටම අවශ්‍ය පියවර ගත්තා නම් ඇයි අසාද් සාලි මහතාට හය වතාවක් ඔබට පැමිණලි කරන්න සිදුවුණේ?

සාක්ෂිකරු - මුස්ලිම් ජනතාව විවිධ ආගමික මතවාද අනුව බෙදී සිටියා. දේශපාලන පක්ෂ ගණනාවකට බෙදී සිටියා. සංස්කෘතික මත අනුව බෙදී සිටියා. ඔවුන් අතර විවිධ ප්‍රශ්න මතබේද තිබුණා. ඒවා තමයි මේ ගැටුම්වලට හේතුව. අසාද් සාලි මහතා මට පැමිණලි කළෙත් ඒ අනුව මතුවුණ ප්‍රශ්නයක්. ඒ ගැන මම ආරක්ෂක කවුන්සිලයේ දී කතා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දුන්නා.

 

කොමිසම - ඔබ එක් අවස්ථාවක දී දුරකථනයෙන් කාව හරි සම්බන්ධ කරගත් බවත් එහිදී ඇති වූ කතා බහ අනුව සහරාන් හෂීම් රජයේ ඔත්තුකාරයෙක් බවත් තමන්ට වැටහුණ බව සාලි මහතා කියනවා. ඔබ එය පිළිගන්නවාද?

සාක්ෂිකරු - අපේ පාලන කාලයේ දී නම් එවැනි දෙයක් වුණේ නැහැ. ඔය කියන විදිහේ දුරකථන ඇමතුමක් ලබාගත් බවක් මට මතකත් නැහැ. එහෙම ඇමතුමක් ලබාගැනීමේ වුවමනාවක් තිබුණෙත් නැහැ. කොහොම වුණත් සහරාන් රජයේ ඔත්තුකාරයෙක් ලෙස අපේ පාලන කාලයේ නම් යොදාගත්තේ නැහැ.

 

කොමිසම - ඔබ හැමවිටම කියනවා ආරක්ෂක කවුන්සිලයේ දී ඔබ අවශ්‍ය උපදෙස් දුන්නා කියලා. එහෙම නම් ප්‍රශ්නය විසඳෙන්න ඕනනේ. අප්‍රේල් විසිඑක ප්‍රහාරයෙන් පස්සෙත් ඔබ විශ්වාස කරනවාද ප්‍රශ්නය විසඳිලා කියලා?

සාක්ෂිකරු - ප්‍රහාරයෙන් පස්සේ ඉතාමත් කෙටි කාලයක් තුළ අපි සහරාන්ලාගේ සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කළා. මේ ප්‍රහාරයෙන් පස්සේ අයි.එස් සංවිධානයෙන් නිවේදනය කර තිබුණා එය තමන්ගේ ප්‍රහාරයක් බවට. එහෙම නම් ඔවුන්ට සහරාන්ලා සමග සම්බන්ධයක් තිබිය යුතුයි. විදේශ බුද්ධි අංශත් අපේ රටට ඇවිත් ඒ වෙලාවේ සහය දුන්නා සහරාන්ලා ගැන අයිඑස් සංවිධානය සමග සම්බන්ධකම් පවත්වන අය ගැන සොයන්න. ඒත් ඔවුන්ටත් මේ අයිඑස් සම්බන්ධය ගැන සොයා ගන්න බැරි වුණා.

 

කොමිසම - ඔබ හිතනවාද මේ ප්‍රශ්නය දැන් ඉවරයි කියලා?

සාක්ෂිකරු - අයිඑස්වරු ලෝකය පුරා ඉන්නවා. ඔවුන්ගේ මතවාදය විවිධ ආකාරයෙන් ලෝකය පුරා පතුරුවා හරිනවා. ඒ ක්‍රියාකාරකම් ගැන සැලකිල්ලට ගත්තාම මේක මෙතනින් අවසන් කියලා කියන්න බැහැ.

 

කොමිසම - ඒ කියන්නේ අනාගතයේදිත් මෙවැනි දෙයක් සිදුවිය හැකියි කියලද?

සාක්ෂිකරු - ඔව්. එහෙම වෙන්න පුළුවන්.

 

කොමිසම - ජාතික තවුහිද් ජමාත් සංවිධානයෙන් පරිභාහිරවත් අයිඑස් මතවාදය ප්‍රචාරය කරන අය සිටි බව ඔබ දන්නවාද? ඔවුන් ලංකාවේ තරුණයන් එම මතයට එක්කර ගන්න බව ඔබ දැන සිටියා ද?

සාක්ෂිකරු - ඔව්. එහෙම පිරිස් හිටියා.

 

ඉන්පසු කොමිසම එවැනි සංවිධානයක් විසින් කිසිවකුට යොමු කළ කෙටි පණිවුඩයක් තිරය මත ප්‍රදර්ශනය කරනු ලැබිණ. එහි සඳහන් වූයේ “අපිට කලින් වෙන කවුරු හරි සටන පටන් අරන් ද?” යන ප්‍රශ්නයකි.

කොමිසම - මේ පණිවුඩය අනුව පැහැදිලියි සහරාන්ලාට අමතරව තවත් පිරිසක් එවැනි ප්‍රහාරයකට සූදානම්ව සිටි බව.

සාක්ෂිකරු - ඔව්. එහෙම පේනවා.

 

කොමිසම - ලංකාවේ තරුණයන් පවුල් පිටින් සිරියාවට ගොස් අයිඑස්වරු සමග සම්බන්ධ වුණ බව ඔබ දැන සිටියා ද?

සාක්ෂිකරු - 2016-17 වැනි කාලයේ දී ඒ ගැන මම දැනුවත් වූ බව මතකයි. ආරක්ෂක කවුන්සිලයේ දී බුද්ධි අංශ ඒ ගැන කතා කළා.

 

කොමිසම - ඒ සම්බන්ධයෙන් පියවර ගන්න ඔබ උපදෙස් දුන්නා ද?

සාක්ෂිකරු - මේ අය ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා ආගමන විගමන පාලක සමග කතා කර අවශ්‍ය කටයුතු කරන්න කියලා මම උපදෙස් දුන්නා.

 

කොමිසම - ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා 2016 නොවැම්බර් 18 පාර්ලිමේන්තුවේ දී අයිඑස් සංවිධානය සමග ලංකාවේ තරුණයන් සම්බන්ධ වීම ගැන ප්‍රකාශයක් කරනවා. ඔහු කියනවා බුද්ධි අංශ ආරක්ෂක කවුන්සිලයේ දී මේ ගැන කතා කළත් ඵලක් වුණේ නැහැ කියලා. ඔවුන් කනස්සල්ලෙන් පසුවෙනවා කියලා.

සාක්ෂිකරු - මම ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. අපි මේ ප්‍රශ්නය දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තමයි සිරියාවට ගිය අය ලංකාවට පැමිණීම වැළැක්වීමට පියවර ගන්නත් යෝජනා වුණේ.

 

අයිඑස් මතවාදය ගැනත් ඉස්ලාම් අන්තවාදය ගැනත් ආරක්ෂක කවුන්සිලයේ දී සාකච්ඡා කළාම මම කැබිනට් මණ්ඩලයේදිත් ඒ ගැන අවධානය යොමු කළා. ඇමතිවරුන්ට උපදෙස් දුන්නා මේවා ගැන සෙවිල්ලෙන් ඉන්න කියලා. විශේෂයෙන්ම මුස්ලිම් ඇමතිවරුන්ට මම කිව්වා ඔවුන්ගේ සමාජයෙන් ඇති වන මේ ප්‍රශ්නය ගැන දැඩි සෝදිසියෙන් ඉඳලා එය පාලනය කරන්න කියලා.

 

කොමිසම - ඔබතුමා කාත්තන්කුඩි ගිහින් තියෙනවාද?

සාක්ෂිකරු - ඔව්.

 

කොමිසම - එහි පරිසරයේ වෙනස දැක තිබෙනවාද? විශේෂයෙන්ම දැන්වීම් පුවරුවල තියෙන්නේ ඉංග්‍රීසි හා අරාබි අකුරු. මේක වෙන නගරවල නැහැ නේද?

සාක්ෂිකරු - අරාබි අකුරු වෙන තැන්වල නැහැ.

 

කොමිසම - ඔබ කාත්තන්කුඩියේ හැර රට ඉඳි ගස් දැකලා තියෙන්නේ කොහේ දී ද?

සාක්ෂිකරු - පිටරට ගියාම දැකලා තියෙනවා. අරාබි රටවල විශේෂයෙන් තිබෙනවා.

 

කොමිසම - මේවා සිටුවා තිබෙන්නේ හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා බව කොමිසමේදී සාක්ෂි ලෙස ඉදිරිපත්ව තිබෙනවා.

සහරාන් හසීම් ඇතුළු කණ්ඩායම කාත්තන්කුඩි අලියාරි හංදියේ ගැටුමෙන් පසු අතුරුදන් වෙනවා. ඔහුගේ සහෝදරයන් දෙන්නෙකුත් අතුරුදන් වෙනවා. නමුත් ටික කලකින් එක සහෝදරයෙක් හා ඔහුගේ පියා පොලිසිය අත්අඩංගුවට ගෙන මඩකලපුව බන්ධනාගාර ගත කරනවා. ඒත් ටික කලකින්ම ඒ දෙන්නා බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා.’ ඔබ ඒ ගැන දැන සිටියා ද?

සාක්ෂිකරු- මම නම් ඒ ගැන දන්නේ නැහැ.

 

කොමිසම - වනාතවිල්ලුවෙන් පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් පොලිසිය සොයා ගන්නවා. ඒ සමග සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. ඒ අයගෙන් දෙන්නෙක් මාස තුනක් යන්නටත් පෙර නිදහස් කරනවා. ඒ නිදහස් වන්නේ ඔබතුමාගේ අත්සනින්. ඔබතුමා ඒ ගැන මොකද හිතන්නේ?

සාක්ෂිකරු - ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තේ අදාළ පරික්ෂණ කළ හා ඔවුන් නිදහස් කිරීමට ලේඛන සකස් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්. මට දවසකට ලිපි විශාල ප්‍රමාණයක් එනවා අත්සන් කරන්න. ඒ හැම එකක්ම මම පුද්ගලිකව කියවා බලන්නේ නැහැ. පහළ නිලධාරින් කියවා මගේ අත්සන යොදන්න ගෙන එන ඒවාට මම අත්සන් තබනවා. ඒ නිසා මෙහෙම දෙයක් වූ බව මට අවබෝධයක් නැහැ.

 

කොමිසම - ඔබ තුමා හැම විටම කියනවානේ හැම දේටම උපදෙස් දුන්නා කියලා. ඒවා ක්‍රියාත්මක වුණා නම් අප්‍රේල් විසිඑක ප්‍රහාරය සිදුනොවන්න තිබුණා නේද?

සාක්ෂිකරු - මම දුන් උපදෙස් පහළට ගලාගෙන යද්දි ඒ නිලධාරින් නිසි පරිදි කටයුතු කර නැති බව පැහැදිලි වෙනවා. එහි බොහෝ දුර්වලකම් තිබූ බව පිළිගන්න වෙනවා. එහෙම නොවුණා නම් මේ ප්‍රහාරය වළක්වා ගන්න හැකියාව තිබුණා.

 

කොමිසම - තොරතුරු ලැබී තිබියදීත් මේ ප්‍රහාරය වළක්වාගත හැකිව තිබූ ප්‍රහාරයක් බව බොහෝ දෙනා සාක්ෂි දෙමින් පැවසුවා. එය වළක්වාගන්න බැරි වුණේ ඇයි?

සාක්ෂිකරු - මේ තොරතුර ලැබී ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැකිව තිබූ සියලු දෙනා එයට වගකිව යුතුයි. ඒ වගේම මට මේ තොරතුරු ලබාදිය හැකිව තිබිය දී එය ලබානොදුන් අයත් මේකට වගකිව යුතුයි. ඒ තොරතුර මට ලබාදුන්නා නම් මම ඒ වෙලාවෙම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.

 

මම මගේ රටට ජනතාවට ආදරෙයි. කිසිම රාජ්‍ය නායකයෙක් තමන්ගේ රටේ අන්තවාදය ඇති වෙනවාට එකඟ වන්නේ නැහැ. අන්තවාදයේ කෙළවර ත්‍රස්තවාදය බව න්‍යායික අදහසක්. ඒක දන්න කිසිවෙක් අන්තවාදයට උදව් කරන්නේ හෝ එයට පවතින්න ඉඩ දෙන්නේ හෝ නැහැ. අධිරාජ්‍යවාදීන්ගේ පාලනයෙන් පසු ගෙවී ගිය වසර හැත්තෑවක පමණ පාලන කාලයේදී හැම ආණ්ඩුවකටම විවිධ ගැටුම්වලට මුහුණ දෙන්න සිදුවුණා. මුස්ලිම් දෙමළ ගැටුම්, දෙමළ සිංහල ගැටුම්, මුස්ලිම් සිංහල ගැටුම් ආදී විවිධ ප්‍රශ්න ඇති වුණා. වසර තිහක යුද්ධයක් පැවතුණා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාටවත් යුද්ධය පරාජය කරන්න බැරි වුණා. හිටපු හැම රාජ්‍ය නායකයෙක්ම තමන්ගේ පාලනය ගෙන ගියේ සතුටෙන් පහසුවෙන් නෙවෙයි. දුෂ්කරතා රැසක් මැද තමයි පාලනය ගෙන ගියේ. මටත් ඒ වගේ තමයි. මේක හරිම අමාරු දුෂ්කර කාර්යයක්.