ගෙදරක සේම රටක ආර්ථික වර්ධනය සඳහා කළයුතු දේවල් සේම නොකළ යුතු දේවල් ද තිබේ. රටේ ආර්ථික වර්ධනය සඳහා කළයුතු හා නොකළ යුතු දේවල් පිළිබඳව කළයුත්තේ කුමක්ද විශේෂාංගයෙන් අද රටට කරුණු කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මූල්‍ය කළමනාකරණ අධ්‍යයනාංශයේ සම්මානිත මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතාය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේම ආදි ශිෂ්‍යයකු වන මහාචාර්ය බණ්ඩාර, ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාද වෙයි.

නිදහස ලබන විට එනම් 1948 වන විට දකුණු ආසියාවේ පොහොසත්ම රට ලංකාවය. එකල වැඩිම විදේශ විනිමය සංචිත හිමි රටද ලංකාවම විය. එහෙත් නිදහස ලබා වසර 71 ක් ගතවන 2019 වන විට, රට තිබෙන්නේ ආර්ථිකමය වශයෙන් ඛේදවාචකයකය. ඒ අංශ කීපයකිනි. අද දකුණු ආසියාවේ පහළම ආර්ථික වර්ධනය තිබෙන්නේ ලංකාවේය. එසේම අද රටේ පවතින්නේ විශාල ණය බරක් සහිත ආර්ථිකයකි.

නවසිය හතළිස් අට (1948) වන විට ලංකාවට වඩා බොහෝ පසුපසින් සිටි අනෙකුත් රටවල් අද වනවිට ලංකාව පසුකරගෙන ගොස් විශාල ආර්ථික වර්ධනයක් අත්කරගෙන තිබේ. මේ වනවිට බංග්ලාදේශය ද සිටින්නේ අපට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. ලංකාවේ ආර්ථිකය මෙසේ කඩාවැටීමට බලපෑ හේතුසාධක රාශියකි.

ඒ සාධක අතර ප්‍රබල හා මූලික වන්නේ දූරදර්ශී ස්ථාවර ආර්ථික සංවර්ධන උපාය මාර්ගයක් නොමැතිකමය. ආණ්ඩු මාරුවන වාරයක් පාසා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් වෙනස් වෙයි. ඒ නිසාම ආයතනයේ ස්ථාවර වර්ධනයක් සිදුනොවෙයි. 1948 වනවිට පැවැති විශාල විදේශ සංචිත නිසාම කිසිම ක්‍රමානුකූල වැඩපිළිවෙළක් නැතිව රටට අනවශ්‍ය පරිදි ආනයන කටයුතු පවත්වාගෙන යාම එදා සිටම දකින්නට ලැබෙන තත්ත්වයකි. මෙරටෙහි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත අංශවල වර්ධනයක් ඇතිකිරීමට පියවර නොගැනීම බරපතළ කාරණයකි.

තවත් බරපතළ කාරණයක් වන්නේ ජනතාව අපේක්ෂා නොකළ සුබසාධන කටයුතු කෙරෙහි රජයන් යොමුවීමය. එය පටන්ගත්තේ හාල් නොමිලේ ලබාදීමෙනි. පසු කාලවල හඳුන්වාදුන් ජනසවිය හා සමෘද්ධි වැනි ආධාර නිසා ඵලදායි කාර්යවලට යොදවාගත හැකිව තිබූ මෙරට ශ්‍රම සම්පත කම්මැලි, නිෂ්පාදන ආර්ථිකයට දායක නොවන ශ්‍රම සම්පතක් බවට පත්කෙරිණි. එමගින් පුරවැසියන් අතරේ ඇතිකළ යැපුම් මානසිකත්වය රටේ ජනතාව ඵලදායි ආර්ථික කටයුතුවලට යොදාගැනීමට විශාල බාධාවක් විය. එය රටෙහි සමස්ත ශ්‍රම ඵලදායිතාව පහතවැටීමට හේතුවක් වී රටෙහි ආර්ථික සංවර්ධනය අඩපණ කිරීමට ප්‍රබල ලෙස දායක විය.

රටක සංවර්ධනයට විනයගරුක හැසිරීම ඉතාමත් අත්‍යවශ්‍ය සාධකයකි. අලුතින් සංවර්ධනය වූ සෑම රටක් දෙසම විමසිල්ලෙන් බැලූවිට ප්‍රත්‍යක්ෂ වන්නේ ඒ සෑම රටක්ම දේශපාලන, පරිපාලන හා සමාජ හැසිරීම වැනි සෑම අංශයකින්ම ඉතාමත් ඉහළ විනයක් පවත්වාගෙන ගොස් තිබෙන බවය. මෙයට තිබෙන හොඳම නිදසුන සිංගප්පූරුවය. එවැනි රටවල දේශපාලකයන් පමණක් නොව රටේ පුරවැසි සියල්ලෝද සිය රාජකාරිවලදී පමණක් නොව එදිනෙදා ජීවිතයේදී තම වගකීම් හා යුතුකම් මැනවින් ඉටුකරති. එය ඒ රටවල වංචාව හා දූෂණය අවම කිරීමටද හේතුවී තිබේ.

විනය සම්බන්ධයෙන් ගත් විට ලංකාවේ පවතින්නේ කනගාටුදායක තත්ත්වයකි. රටේ ඉහළම පුරවැසියාගේ සිට පහළම පුරවැසියා දක්වාද ඉහළම ආයතනයේ සිට පහළම ආයතනය දක්වාද විනය බරපතළ ලෙස පිරිහී පවතී. වියයුත්තේ ලොකු පොඩි උස් මිටි භේද නොසලකා විනය නිසිලෙස ක්‍රියාත්මකවීමය. විනය කඩකරන අයට තරාතිරම නොබලා දඬුවම් කළ යුතුය.

දේශපාලකයන් සිය කාර්යභාරය හා වගකීම නිසියාකාරව හඳුනා නොගැනීමද ලංකාවේ ආර්ථික සංවර්ධනයට ප්‍රබල බාධාවකි. මැති ඇමැතිවරුන්ගේ කාර්යභාරය වියයුත්තේ නීතිරීති සම්පාදනය කිරීම හා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව තීරණ ගැනීමය. ඒ නීතිරීති හා ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ කාර්යභාරයක් නොවිය යුතුය. ඒ කාර්යභාරය පැවරිය යුත්තේ පරිපාලන නිලධාරීන්ටය. මැති ඇමැතිවරුන් කළයුත්තේ ඒ නිලධාරීන් අධීක්ෂණය කිරීමය. තමන් සකස් කළ නීතිරීති හා ප්‍රතිපත්ති එලෙසින්ම ක්‍රියාත්මකවේදැයි සොයාබැලීමේ බලයක් හා අයිතිවාසිකමක් මැති ඇමැතින්ට තිබිය යුතුය. එහෙත් ලංකාවේ සිදුවන්නේ එය නොවේ. ඔක්කොම කණපිට කීවා සේ අපේ රටේ සිදුවන්නේ සියලු කටයුතුවලට මැති ඇමැතීන් මැදිහත්වීමය. ඇතැම් විට ඒ මැදිහත්වීම් සීමා මායිම්ද ඉක්ම යයි. ඒ නිසා දූෂණ හා වංචා සම්බන්ධ චෝදනා දේශපාලකයන්ට නිරන්තරයෙන් එල්ල වෙයි. ඒ අනුව ඒ තත්ත්වය උදාකරගෙන තිබෙන්නේ මැති ඇමැතිවරුන් විසින්මය. එනම් මැති ඇමැතිවරු දූෂිතයෝය වංචනිකයෝය යන සමාජ මතය ගොඩනඟාගෙන තිබෙන්නේ සහ ඒ සඳහා පාර කපාගෙන තිබෙන්නේ ඒ මැති ඇමැතින්මය.

මැති ඇමැතීන්ගේ අනවශ්‍ය මැදිහත්වීම් හේතුවෙන් රජයේ නිලධරයෝද සිය කාර්යභාරය නිසිලෙස ඉටු නොකරති. දූෂිත මැති ඇමැතීන් ආදර්ශයට ගන්නා ඇතැම් නිලධරයෝ ද දූෂණ වංචාවලට පෙළඹෙති. මැති ඇමැතීන් සේම නිලධරයන්ද දූෂණ හා වංචාවලට යොමුවූවිට රටේ සංවර්ධනයට වෙන්කෙරෙන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් නියමිත අරමුණු කරා යොමු නොවූ විට අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරාගැනීමටද නොහැකි වෙයි. එහෙයින් දේශපාලකයන් නීතිරීති හා ප්‍රතිපත්ති සම්පාදනයට පමණක් සීමාවී ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම පරිපාලන නිලධාරීන්ට පැවරිය යුතුමය. එසේ පවරා නිරන්තරයෙන් අධීක්ෂණය කිරීමෙන් අපේක්ෂිත ඉලක්ක සපුරා ගත හැකිය.

මෙරට විදේශ වෙළෙඳ ප්‍රතිපත්තියේද පවතින්නේ රටට නොගැළපෙන දේවල්ය. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මත කිසිම පාලනයකින් තොරව අපේ රටට භාණ්ඩ හා සේවා ආනයනය කරයි. ඒ නිසා මෙරට පැවැති ඇතැම් කර්මාන්ත ද අඩපණ විය. ආනයනික විදේශ භාණ්ඩ සමඟ අපේ කර්මාන්තකරුවන්ට තරග කළ නොහැකිය. එසේම දේශීය පාරිභෝගිකයන් විදේශීය භාණ්ඩවලට දක්වන කැමැත්තද මත මෙරට පැවැති කර්මාන්ත රාශියක් වැසීගියේය. විවෘත ආර්ථිකය යටතේ ආරම්භ කළ බොහෝ කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය දේවල් විදෙස් රටවලින්ම ගෙන්වයි. හොඳම උදාහරණය ඇඟලුම් කර්මාන්තයයි. ඇඟලුම් කර්මාන්තයට අත්‍යවශ්‍ය දේවල්වලින් 90% ක්ම විදෙස්වලින් ආනයනය කරයි. ඒ සඳහා දේශීයව ගන්නේ ශ්‍රම දායකත්වය පමණකි. අමුද්‍රව්‍ය හා අනෙක් සියල්ල රටින් ගෙන්වා ශ්‍රම දායකත්වය පමණක් දේශීයව ලබාගෙන මෙරට කර්මාන්ත සංවර්ධනය කළ නොහැකිය. මෙරට ශ්‍රම වෙළෙඳපොළේ පවතින්නේද අඩු ශ්‍රම ඵලදායිත්වයකි. අධික නිවාඩු, අසීමාන්තික වෘත්තීය සටන් සේම රේගුවේ හා අනෙකුත් රාජ්‍ය අංශවල පවතින අකාර්යක්ෂමතාවද මත මෙරට ඉතිරිවී තිබෙන කර්මාන්තද වැසී යන ප්‍රවණතාවක් පවතී.

ලංකාවේ පවතින සම්පත්වල ස්වභාවය දෙස බලන විට අපට වඩාත් ගැළපෙන්නේ අධික ප්‍රාග්ධනයක් අවශ්‍ය වන බැර කර්මාන්ත නොව ශ්‍රම සූක්ෂමතාව මත පදනම් වන දේශීය කර්මාන්තය. මෙහිලා ඉතා වැදගත් වන්නේ දේශීය ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීමයි. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීමට දිරිදෙන ප්‍රතිපත්ති හඳුන්වා දිය යුතුය. ඒ සඳහා බදු සහන, දිරිගැන්වීම් හා වෙළෙඳපොළ පහසුකම් සැපයීමට රජයේ අවධානය යොමුවිය යුතුය. ඉන්දියාව, චීනය වැනි විශාල වෙළෙඳපොළක් පවතින රටවලට අවශ්‍ය උපාංග හා පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි කර්මාන්ත බිහිකිරීම කෙරෙහි අවධානය යොමුකිරීම යුගයේ අවශ්‍යතාවකි.

කෘෂිකාර්මික අංශයෙහි නිෂ්පාදනය වැඩි දියුණු කිරීමද අත්‍යවශ්‍ය කාරණයකි. ඒ සඳහා ඉඩම් පරිභෝජනය ක්‍රමවත් විය යුතුයි. ඊට අමතරව භෝග විවිධාංගීකරණය, රසායන ද්‍රව්‍ය භාවිතය, මහා පරිමාණ ගොවිපොළ ක්‍රමය හා කෘෂි යන්ත්‍ර සූත්‍ර භාවිතය කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතුය. සුළු පරිමාණ කෘෂි උපකරණ මෙරටෙහි නිෂ්පාදනය කළ යුතුය. එසේම කාබනික පොහොර නිෂ්පාදනය ද ඉහළ නැංවිය යුතුය. සමූහ ගොවිපොළ ක්‍රමය පිළිබඳව ගොවීන්ගේ අවබෝධය වැඩිදියුණු කළ යුතුය. එසේම සාම්ප්‍රදායික නොවන අපනයන භෝග වගා සංවර්ධනය කිරීමද කාලීන අවශ්‍යතාවකි. අපනයනය කරන කෘෂි භෝගවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හා එය ආරක්ෂා කරගැනීමට ඒ ක්ෂේත්‍රයෙහි සිදුවන අක්‍රමිකතා වැළැක්වීමට පියවර ගත යුතුය. මේ සම්බන්ධයෙන් දැක්විය හැකි හොඳම උදාහරණය තේ ය. අතීතයේ ලෝක වෙළෙඳපොළෙහි පළමු තැන හිමිවී තිබුණු අපේ තේවලට දැන් හිමිවී ඇත්තේ හතරවැනි තැනය. එසේ වී තිබෙන්නේ තේ නිෂ්පාදනයෙහිදී සහ අපනයනයේදී සිදුවන විවිධ අක්‍රමිකතා හේතුවෙනි. මේ තත්ත්වයන් වළක්වාගැනීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒ අක්‍රමිකතා ඉහළ යන්නේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවන හෙයිනි.

අපනයන සංවර්ධනයේදී තවත් වැදගත් ප්‍රධාන සාධකයක් වන්නේ පුහුණු ශ්‍රමය අපනයනය කිරීමය. දැනට ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ආදායම් මාර්ගය වන්නේ ගෘහ සේවය සඳහා කාන්තාවන් රට යැවීමය. එමගින් රටේ සමාජ ප්‍රශ්න රැසක් ඇතිවී තිබේ. එසේම එමගින් විදේශීයව රටට අවමානයක්ද වී තිබේ. මේ තත්ත්වය වළක්වාගත හැක්කේ ගෘහ සේවය සඳහා නුපුහුණු කතුන් යැවීම වෙනුවට පුහුණු හෙදියන්, පුහුණු කාර්මිකයන් හා පරිගණක ශිල්පීන් ලෙස පුහුණු ශ්‍රමිකයන් වෙනත් රටවලට යැවීමෙනි. දියුණු යුරෝපා රටවලින් පුහුණු හෙදියන්ට තිබෙන්නේ ඉහළ ඉල්ලීමකි. මධ්‍යම මට්ටමේ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය පුහුණු තාක්ෂණික ශිල්පීන් සේම පරිගණක සේවා සඳහා ද ඒ රටවල විශාල ශ්‍රම හිඟයක් පවතී. ඒ රටවල රැකියා වෙළෙඳපොළට පුහුණු ශ්‍රමිකයන් යැවීමට පියවර ගැනීමෙන් ලංකාවට දැනට වඩා විදේශ විනිමය උපයාගත හැකිය. එසේම එමගින් මෙරට පවතින රැකියා ප්‍රශ්නයටද යම් ප්‍රමාණයක විසඳුමක් ලබාගත හැකිය.

නිදහස් අධ්‍යාපනය හා රැකියා වෙළෙඳපොළ අතර පවතින පරතරයද බරපතළ කාරණයකි. නිදහස් අධ්‍යාපනය ඉතා වැදගත්ය. එහෙත් ප්‍රශ්නයක්ව ඇත්තේ නිදහස් අධ්‍යාපනයෙන් උත්පාදනය කරන ශ්‍රමිකයන් රටේ ආර්ථික සංවර්ධන අවශ්‍යතාවලට නොගැළපීමය. වර්තමානයේදී නිදහස් අධ්‍යාපනයෙන් බිහිකරන හෝ නිර්මාණය කරන ශ්‍රමිකයන්ගේ හැකියා හා කුසලතා ශ්‍රම වෙළෙඳපොළේ පවතින අවශ්‍යතාවලට නොගැළපෙයි. ඒ නිසා ප්‍රධාන ප්‍රශ්න දෙකක් පැනනැඟ තිබේ. ඉන් එකක් වන්නේ රැකියාවලට අවශ්‍ය කුසලතාවලින් යුක්ත ශ්‍රමිකයන් නොලැබීම නිසා කර්මාන්ත හා සේවා අංශවලට අවශ්‍ය ශ්‍රමිකයන් ලබාගැනීමට නොහැකිවීමෙන් ඒ කර්මාන්ත හා සේවා අංශ අඩපණ වීමය. නිදහස් වෙළෙඳ කලාපවල පුරප්පාඩු ලක්ෂ දෙකක් පමණ තිබුණත් ඒ සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් දේශීයව සපයා ගැනීමට නොහැකිවීම මේ සම්බන්ධයෙන් දැක්විය හැකි කදිම නිදසුනකි.
දෙවැනි ප්‍රශ්නය වන්නේ ඉගෙනගත් තරුණයන්ට, විශේෂයෙන්ම මෙරට විශ්වවිද්‍යාලවල උපාධිධාරීන්ට රැකියා නැතිකමය. ලංකාවේ පවතින්නේ රැකියා හිඟයක් නොවේ. රටේ පවතින්නේ තිබෙන රැකියාවලට අවශ්‍ය සුදුසුකම් හා කුසලතා සහිත ශ්‍රමිකයන් නොමැතිකමය. මේ තත්ත්වය දුරුකිරීමට පළමුව කළයුත්තේ දිගු කාලයක් ක්‍රියාත්මක වන ස්ථාවර ආර්ථික සංවර්ධන සැලැස්මක් සකස්කිරීමය. අනතුරුව ඒ සඳහා අවශ්‍ය වන්නාවූ ශ්‍රම සම්පත පිළිබඳ අධ්‍යයනයක් කර එවැනි ශ්‍රමිකයන් බිහිකිරීමට ඉවහල්වන අයුරින් පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස්කිරීමය. ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා වූ සමස්ත අධ්‍යාපන ක්‍රමයම රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගෙන වෙනස් කළ යුතුය. නවීකරණය කළ යුතුය. වෘත්තීය පුහුණු පාඨමාලාද එලෙසම නවීකරණය කළයුතුමය. එය ඉතා ඉක්මනින් කළයුතු බව රැකියා විරහිත උපාධිධාරීන් මහ පාරේ කරන සටන්වලින් අවබෝධ කරගත යුතුය.
 
උපාධිධාරීන්ටත් රැකියා නොමැතිකම ඔවුනගේ ප්‍රශ්නයක් නොව රටේ පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්නයකි. අධ්‍යාපන ක්‍රමය වෙනස් කළයුත්තේ නූතන ලෝකයට ගැළපෙන ලෙසය. එහිදී පරිගණක හා තාක්ෂණික අධ්‍යාපනය කෙරෙහි සේම භාෂා දැනුම හා ආකල්ප වර්ධනය කෙරෙහිද අවධානය යොමුකළ යුතුය. ඒ ආර්ථික සැලසුම් සේම අධ්‍යාපන ප්‍රතිපත්තිය ද අඛණ්ඩව දිගු කලක් කාලීනව කළයුතු වෙනස්කම් ද කරමින් ක්‍රියාත්මක කළ යුතුය. නොඑසේම ආණ්ඩුවෙන් ආණ්ඩුවට, ඇමැතිගෙන් ඇමැතිට එය මාරු කළහොත් සිදුවන්නේ වැටී සිටින වළේ එරී වැනසීයාමය.

සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්