අලුත් ආණ්ඩුව තාක්ෂණය ගැන අවධානය යොමු කරමින් සිටී. ජනතාවට සේවය කරනු සඳහා තොරතුරු තාක්ෂණය බහුලව භාවිත කළ හැකිය. ලෝකයේ නොයෙක් තැන කෘතීම බුද්ධිය උපයෝගී කරන අතර මිනිස් ශ්‍රමයට නොදෙවෙනි, පැය විසිහතර පුරා සේවය කරන රොබෝවරුන් ලබා දෙන ආර්ථික ජවය බලවත් එකකි. ශ්‍රී ලංකාව පරිවර්තන යුගයක් අභිමුවෙහි සිටී.

පොදු ජනතාව තාක්ෂණයට සමීපය. තාක්ෂණික සාක්ෂරතාව හොඳ මට්ටමක තිබේ. ජනගහනයට වඩා වැඩි දුරකතන සංඛ්‍යාවක් රට තුළ භාවිත කරන අතර එය හොඳ ප්‍රවණතාවකි. බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය තාක්ෂණයට නතු වෙමින් තිබේ. වසර විස්සකට කලින් තමන්ගේ මුදල් ආපසු ගැනීමට පැය ගණන් පෝලිමේ සිටි අතර අද ස්වයංක්‍රීය මැෂිමකින් මුදල් ආපසු ගැනීමට විනාඩියක් දෙකක් ප්‍රමාණවත්ය. එහෙත් එම විනාඩිය වෙනුවෙන් ගාස්තුවක් අය කෙරේ. මෙරට වාණිජ බැංකු අනුගත වී ඇති තාක්ෂණය පිටුදකින ප්‍රතිපත්ති ගැන අවධානය යොමු කළ යුතුය.

ශ්‍රී ලංකා මහබැංකුව මෙරට වාණිජ බැංකු හා මූල්‍ය ආයතන දෙස අවධානයෙන් සිටී. මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය ගැන සුපරීක්ෂණයක නිරතය. එහෙත් බැංකු අයකරන ගාස්තුවලින් ගනුදෙනුකරුවන් පීඩාවට පත්වන බව කල්පනා නොකරන්නේ ඇයි? තාක්ෂණය භාවිත කරන ගනුදෙනුකරුවන්ට අමතර බදු පැනවීම නුසුදුසුය. අනවශ්‍ය ගාස්තු අය කිරීම ගැන අවස්ථා ගණනාවකදී ජනතාව කරුණු පෙන්වා දී තිබේ. එහෙත් බැංකු ආණ්ඩුවට ගෙවන බද්ද සැලකිය යුතු ප්‍රතිශතයකි. ආණ්ඩුවට ආදායමක් ලැබෙන හෙයින් බැංකු කවර ක්‍රමයකින් හෝ පොදු ජනතාවගේ ගිණුමෙන් යමක් අතට ගෙන තමන්ට ලැබෙන්නට සැලැස්වීම බාධා කළ යුතු පියවරක් යැයි ආණ්ඩුව නොසිතන බව පෙනෙන්නට තිබේ.

2018 අයවැය යෝජනාවලදී පැවැති ආණ්ඩුව මැද මැලන බද්ද බැංකුවලට පැනවීය. රාජපක්ෂ ආණ්ඩුව ගත් ණය ආපසු ගෙවීම සඳහා බැංකු දායක වියයුතු අතර උපහාසයෙන් යුතුව පනවන ලද එම බද්ද ගනුදෙනුවලදී සෑම රුපියල් දහසකින්ම ශත විස්සක් රජයට අය කරන යෝජනාවකි. ගනුදෙනුකරුවන්ගෙන් අයකරන බවට මුලින් යෝජනා වූ නමුත් පසුව එය බැංකු විසින් ගෙවිය යුතු එකක් විනා ගනුදෙනුකරුවන්ට බලනොපාන බව නිවේදනය කෙරිණි. ශත ගණනක් යැයි එය නොසලකා හරින්නට ඉඩ තිබේ. පැවැති ආණ්ඩුව වසරකට රුපියල් මිලියන විසි දහසක් උපයන්නට ඉලක්ක කළේය. 2018 වසරේ හා 2019 වසරේ එකී ආදායම මහා භාණ්ඩාගාරයට ගෙවන්නට මෙරට බැංකු ක්‍රියා කළේද යන්න ගැටලුවකි.

ඇත්ත වශයෙන්ම වාණිජ බැංකු හා මූල්‍ය සමාගම් මෙම බද්ද අනියමින් ගනුදෙනුකරුවා වෙත පැවැරීය. මහ බැංකුව එය ඉවසන ලද බව පෙනේ. නොයෙක් විෂම ගාස්තු ගිණුම් හිමියන්ට පනවන ලද අතර ඒවා සාධාරණ නැත. අවම ශේෂය එයින් ප්‍රධාන එකකි. විවිධ බැංකු අවම රු. දහසක සිට උපරිම රු. එක්දහස් පන්සියයක් දක්වා මුදලක් ඉතිරි කිරීමේ ගිණුමේ අවම ශේෂය වශයෙන් පවත්වාගෙන යා යුතු බව නියම කර තිබේ.

ජංගම ගිණුම් වෙනුවෙන් රු. පහලොස් දහසක සිට ඉහළටය. ජංගම ගිණුම කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාවට සිය තැන්පත් ගිණුම තුළ අවශ්‍ය ශේෂයක් පවත්වාගෙන යාමට බල කළ යුතු නැත. තමන්ට ලැබෙන තැන්පත් නැවත පොලියට දෙන බැංකු එයින් ආදායමක් උපයයි. ගනුදෙනුකරුවන්ගේ ගිණුම ආදායමක් කරගන්නේ ඇයි? ගිණුම් ලක්ෂයක් ඇති බැංකුවකට ලක්ෂ දාහක අරමුදලක් නිරායාසයෙන්ම හැදේ. එක පැත්තකින් මෙම මුදල බැංකුවට ආර්ථික වාසියකි. අනෙක් පැත්තෙන් මෙම අති විශාල මුදල සංසරණය නොවීම ආර්ථිකයට අවාසියකි. රට තුළ ඇති බැංකු පද්ධතිය රඳවා ගෙන ඇති අනිවාර්ය ඉතුරුම් ප්‍රමාණය ගණන් බැලුවහොත් එය සංසරණය නොවීම ආර්ථික වර්ධනය අඩාල කරන හේතුවක් බව පැහැදිලිය.

වර්තමානයේ රාජ්‍ය හා පෞද්ගලික අංශය සිය සේවකයන්ට වැටුප් ගෙවන්නේ බැංකු ගිණුම්වලට බැර කිරීමෙන්ය. ලැබෙන වැටුප සම්පූර්ණයෙන්ම අතට ගැනීම ශ්‍රමිකයන්ගේ අයිතියකි. එයින් කොටසක් ගිණුමේ අනිවාර්ය ඉතිරි කිරීම වශයෙන් පවත්වාගෙන නොයන සෑම ගනුදෙනුකරුවකුම මාසයකට රු. විසිපහක් බැංකුවට ගෙවයි. මෙම ගාස්තුව සාධාරණීකරණය කළ හැකිද? මහබැංකුව මෙම ගාස්තුව ගැන කියන්නේ කුමක්ද? වැඩකරන ජනතාවට සිය වැටුප අතට ගැනීම අවහිරකරන බැංකු ක්‍රමයක් රටට ඵලක් නැත. එම අවහිර කරන ධනය සංසරණය නොකිරීම වරදක් බව නොසිතන ප්‍රතිපත්ති සම්පාදකයෝ මැදමුලන බද්ද වෙනුවෙන් අනියම් ආකාරයකින් අනුමැතිය දී තිබේ.  

සාමාන්‍ය ජනතාව විද්‍යුත් කාඞ්පත් භාවිත නොකර මුදල් ගැනීමට කවුන්ටරයට පැමිණීම වරදක් වී තිබේ. මෙරට ඇතැම් බැංකු රු. ලක්ෂ දෙකක් දක්වා ටෙලර් යන්ත්‍රවලින් ගැනීමට ඉඩ දී ඇති අතර එය භාවිත නොකර කවුන්ටරයට පැමිණ පාස් පොතින් මුදල් ලබා ගැනීමේදී වතාවකට රුපියල් දහයක සිට ඉහළට ගාස්තුවක් අය කෙරේ. එය යුක්ති සහගතද?

තවත් බැංකු ශේෂය සහතික කරනවිට රු. හාර සියයක මුදලක් අය කරයි. වීසා හා අධ්‍යයන කටයුතුවල බැංකු ගිණුම්වල පවතින ශේෂය නිවරැදිව පෙන්විය යුතුය. එය ආදායම් මාර්ගයක් බවට හරවා ගැනීම සුදුසු නැත. පරිගණකයකින් කඩදාසි පිටපතක් ගෙන ගනුදෙනුකරුට නිකුත් කිරීමට රුපියල් හාරසියයක් අයකරන බලය මහබැංකුව පවරා දී තිබේද? අනෙක් සමහර බැංකු මුදල් තැන්පත් කිරීම ද යන්ත්‍රවලට බාර දී තිබේ. කවුන්ටරවලට පැමිණ මුදල් තැන්පත් කරන අයගෙන් අමතර ගාස්තුවක් අය කෙරේ. එය බැංකුවල මානව සම්පත සීමාකිරීමේ උපක්‍රමයකි. එහෙත් සාමාන්‍ය ගනුදෙනුකරුවන් වන්දිගෙවිය යුතුය. තාක්ෂණ හැකියාව නැති සාමාන්‍ය ජනතාවට වන හිරිහැරය ගැන බලධාරීන්ට අවබෝධයක් නැත.

වත්මන් ආණ්ඩු සිය පළමු කැබිනට් හමුවේ දී බදු සංශෝධනය කර තිබේ. බැංකු හා මූල්‍ය අංශයේ බලපවත්වන ලද බදු ගණනාවක් ඉවත් කර ඇත. එය වාණිජ බැංකු හා මූල්‍ය ආයතනවලට වාසියකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අනවශ්‍ය ගාස්තු අත්හරින පියවරකට යා යුතුය. ටෙලර් යන්ත්‍රයකින් මුදල් ගැනීමේදී ගාස්තු අය කළ යුතු නැත. අවම ශේෂය පවත්වාගෙන යන නීතිය වහාම අහෝසි කළ යුතුය. ගනුදෙනුකරුවන්ගෙන් යැපෙන බැංකු ක්‍රමය නතර කළ යුතුව තිබේ.

සාරා කන්දෙගොඩ