දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලනඥයෝ ද මේ දිනවල මැතිවරණයට අවි මුවහත් කරමින් සිටිති. පැවැත්වීමට නියමිතව ඇත්තේ රටේ අනාගතය තීරණය කෙරෙන තවත් මැතිවරණයකි. මැතිවරණ යනු රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කෙරෙන මූලිකම අංගයයි. මැතිවරණ නොපවත්වන පසුබිමක ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමක් හෝ මුවහත් වීමක් නැත. නිරතුරු නිසි කල මැතිවරණ පවත්වන්නේ නම් ජනතාවට තම සිතැඟි පරිදි පාලකයන් තෝරා පත්කර ගැනීමට පුළුවන. එහෙත් ජනතාවට ඇති එම පරම අයිතිය අමතක කර තිබූ යුගයක් අපට තිබූ බව අමතක නොකළ යුතුය.

මීට දශක කීපයකට දී පෙර මෙන්ම වසර දෙක තුනකට පෙරදී ද අපි එවන් අත්දැකීම් ලැබුවෙමු. එවන් අවස්ථා ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කළ අවස්ථා හැටියට පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසූ අවස්ථා ලෙස අර්ථ ගැන්වීම කිසි ලෙසකින්වත් අසාධාරණ නැත.

ලොව සෑම රටක්ම පාහේ මේ වනවිට අනුගතව සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදීව ගොඩනැගුණු ක්‍රමයකටය. එනම් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයකටය. ඒ ඒ රටවල අනන්‍යතාව සුරකිමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ආණ්ඩු කිරීමට අවශ්‍ය ආකාරයට ව්‍යවස්ථා සකස්කර ගැනීම ද අමුතු දෙයක් නොවේ. එවන් ආණ්ඩුකරණයකට අවශ්‍ය ව්‍යවස්ථාවක් මෙරට ද ඇති බව යළි යළිත් මතක් කළ යුතු නැත. එයට අනුගතව රට පාලනයට පාලකයෝ බැඳී සිටිති.

රටේ වත්මන් නායකත්වය එකී බැඳියාව, වගවීම මැනවින් ප්‍රකට කරමින් සිටී. පවත්නා නීතියට ගරු කරමින් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ අවස්ථා ගෙවී ගිය කෙටි කාලය තුළ විරල නොවේ. ව්‍යවස්ථාමය අර්බුද ඇති කිරීමට අතැම්හු උත්සාහ කළහ. ඒ නැති අර්බුද ඇතිකර ප්‍රජාතන්ත්‍රවාදය අතරතුරට හෙළීම ඔස්සේ පටු දේශපාලන අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීමටය. මේවා එක්තරා ආකාරයකට දේශපාලන දහන්ගැටය. ඒවා නිසි පරිදි හඳුනාගෙන සූක්ෂමව කටයුතු කිරීමේ තීක්ෂණ බුද්ධියක් නායකත්වයකට තිබිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට පැන සිදුවන ක්‍රියා මැඬීමේ ශක්තිය ද ඒ තුළ අන්තර්ගත විය යුතු බවට සැක නැත. දේශපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් සබුද්ධික ජනතාව මේ කාරණා වටහාගෙන සිටිති. එක් දේශපාලන ප්‍රවාහයකට කොටුවී එම මතයෙන්ම අන්ධවී සිටින්නෝ මේවා නොදකිති.

අද රටේ ඇත්තේ වාමවාදී දේශපාලන නැඹුරුවකි. ධනවාදී කඳවුරට රට ඉදිරියට ගෙනයාමට නොහැකි බව තීන්දු කළෝ මේ රටේ බහුතර ජනතාවය. ඒ ඔවුන් දේශපාලනික වශයෙන් සවිඥානික වූ නිසාය. රටට ගැළපෙන දේශපාලන ධාරාව තෝරා ගැනීමට මෙරට ජනතාව සතු එකී හැකියාව අවතක්සේරු කිරීමට කිසි විටෙකත් නොහැක. රට විධිමත් කිරීමේ ක්‍රියාවලියක අවශ්‍යතාව මතු වූයේ අද ඊයේ නොවේ. සෑහෙන කලෙක පටන් එය ප්‍රකට වුණි. වංචාව, දූෂණය, මහජන මුදල් කොල්ල සිදුවන විට ජනතාවට අවශ්‍ය වූයේ ඒවාට එරෙහි පාලනයකි. ඒ වගේම විනය පිරිහී ගිය ආයතන යථා තත්ත්වයට පත්කිරීම යුගයේ අවශ්‍යතාවක් වූවේය. ආයතනවල පමණක් නොව සමස්ත රටම යම් විනයකට අනුගත කිරීමේ වුවමනාව පසුගිය කාලය පුරාම කැපී පෙනුනි. ලොව බොහෝ දියුණු රටවල විනයවත් බවත් නිරතුරු ප්‍රකටය. ඔවුන්ගේ දියුණුවේ රහස වී ඇත්තේ ද එකී විනයවත් බවය. එවන් විනයක් රටේ ගොඩනැගීම කිසි විටෙක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව අතික්‍රමණය කිරීමක් නොවේ. ඒ වගේම එය ආඥාදායකත්වයක් ලෙස අර්ථගැන්වීමට කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම් එහි කිසිදු සාධාරණත්වයක් නැත. අඥාදායක පාලන රටාවක් ගොඩනැගූ රටවල් ලොව පැවතිය ද දැන් ඒවා කඩා වැටී අවසන්ය.

විවිධ පුද්ගලයෝ දේශපාලනික අනාවැකි කියති. ඉඟි පළකරති. සැක පහළ කරති. එහෙත් ඒ සියල්ල යථාර්ථවත් වන්නේ නැත. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයත් ආණ්ඩුක්‍රම ඉතිහාසයත් ගමන් කරන්නේ සමගාමීවය. අවස්ථා ගණනාවක දී සාමකාමී ලෙස මේ රටේ බලය වෙනස් කර තිබේ. ඒ වගේම එකී සෑම මැතිවරණයකදීම උනන්දුවෙන් සහ උද්‍යෝගයෙන් බහුතරයක් ඡන්දය පාවිච්චි කර තිබේ. එයින් පෙන්නුම් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය අදහන පිරිසක් මේ රටේ වෙසෙන බවය. එනිසා එයින් පිට ආණ්ඩුකරණයකට ජනතාව ඉඩ නොදෙන බව තහවුරුය. කවුරු කුමන මතයක් දැරුව ද යථාර්ථය එයයි.

සාමාන්‍ය ජනතාව දේශපාලනිකව ප්‍රායෝගිකය. බෙහෙවින් බලසම්පන්නව පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉතාම සාමකාමී ලෙස 2015 මැතිවරණයෙන් වෙනස් කළේය. පළාත් සභා, පළාත් පාලන බලය පවා තිබූ එම ආණ්ඩුව වෙනස් කිරීමට මෙරට ඡන්දදායකයන් කටයුතු කළේ ඔවුන් දේශපාලනිකව සබුද්ධික වූ නිසාය. එපමණක් නොව කිසිදු ලෙසක වෙනස් කළ නොහැකි යැයි කියමින් තමාට තම පක්ෂයට ගැළපෙන ආකාරයට 1978 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කර ගත්තේය. එයින් ඇති කළේ ඒකාධිපති ජනාධිපතික්‍රමයකි. එහෙත් අද හඬ නගන ඇතැම් අය එදා එයට පක්ෂ වූහ. නැතිනම් නිහඬව සිටියහ. 1978 දී මුලින්ම ඉදිරිපත් කළ ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු නියෝජිතයන් තෝරා ගත්තේ ලැයිස්තු ක්‍රමයක් අනුවය. එකී තේරීම කළේ පක්ෂ මහ ලේකම්ය. එයින් ගොඩනැගුවේ පක්ෂ ඒකාධිපතිත්වයකි. එක්තරා ආකාරයක ආඥාදායකත්වයකි.

මනාප ක්‍රමය හඳුන්වා දුන්නේ අසූව දශකයේ දීය. තිබුණේ සමානුපාත නියෝජන ක්‍රමයකි. එහෙත් එවන් ක්‍රමයක් ඇති කිරීමට ජනවරමක් තිබුණේ නැත. එය ගෙනාවේ ද පස්සා දොරෙනි. මෙයින් පෙන්නුම් කරන්නේ එදා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට පැන ආඥාදායක මාවතක ගමන් කළ ආකාරයයි. ඒ වගේම තුනෙන් දෙකක බලයක් නැතිව ව්‍යවස්ථා වෙනසක් කළ නොහැකි වීම ද බෙහෙවින්ම ආසාධාරණය. එවන් පසුබිමක් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට ගැළපෙන්නේදැයි ගැටලුවකි.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරනවා වෙනුවට 1982 දී කළේ කුමක්ද? ඉතාම පහත් ආකාරයෙන් මහජන ඡන්දය කොල්ලකෑමය. මේ බව කියන්නේ එවකට මැතිවරණ කොමසාරිස්ගේ නිල වාර්තාවය. ජනතාවට මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට තිබූ අයිතිය වසර හයකට අහෝසි කිරීමක් හා සමාන ක්‍රියාවක් මෙහිදී සිදුවිය. ඒ වගේම නිදහස් හා සාධාරණ ලෙස ජනමත විචාරණය පැවැත්වූවා නම් සිදුවන්නේ කුමක්දැයි ඉතා පැහැදිලිවම ඉහත වාර්තාවේ සඳහන්ය. ජනාධිපති අපේක්ෂකයකු වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ඡන්දය පවා හොරට දමා තිබුණි. මැතිවරණ නීති අවලංගු කළේය. මේවා කළේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් වශයෙන් ද? ආඥාදායකත්වයක් හැටියට ද? එහෙත් ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ මෙවර මැතිවරණය වඩා නිදහස් හා සාධාරණව පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකසාදී තිබේ. මැතිවරණ කොමිසමට තීන්දු තීරණ නිදහසේ ගැනීමට අවකාශ සලසා ඇති බව නොරහසකි. යම් යම් මතභේදාත්මක අවස්ථා පසුගිය කාලයේ ඇතිවුවද ජනාධිපතිවරයා අනවශ්‍ය මැදිහත්වීම් කළේ නැත. ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන්ටම විසඳා ගැනීමට අවස්ථාව ලබාදුන්නේය. තමන්ට අයිති නොවන රාජකාරිවලට අත ගසන්නට ජනාධිපතිවරයා යොමු නොවන බව තහවුරු කෙරෙන හොඳම සාක්ෂිය වන්නේ ද මැතිවරණය සහ මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇතිවූ තත්ත්වයයි. මේ පාලන රටාව වඩා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් මිස අන්කවරක්දැයි සමාජය හමුවේ තබා විග්‍රහ කරගත යුතුය. ඒ වගේම ඡන්දය පාවිච්චි කළ අයගේ අත්, කට කැපූ අය, ඡන්දය දමන අයට මරණවරෙන්තු ලියූ අය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම විහිළුවකි.

රටේ පරිපාලන ජාලය ගෙවුණු වසර හතර පහේ දී අවුල් ජාලයක් බවට පත් වුණේය. එක් එක් ආයතන කඩා වැටුණේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. ඇතැම් ආයතන අමාත්‍යාංශ දෙක තුනක බලපෑම්වලට යටත් වන තත්ත්වයක් තිබුණි. ඉතිහාසයේ කිසි දිනෙක නොවූ විරූ ආකාරයෙන් ඇතැම් ආයතන අදාළ අමාත්‍යාංශයෙන් පවා ඉවත් කර තම ග්‍රහණයට ගත්තේය. ශ්‍රී ලංකා මහ බැංකුව එයට හොඳම උදාහරණයයි. එහි අනිටු විපාක කොතෙක්දැයි අමුතුවෙන් විග්‍රහ කළ යුතු නැත. රටට දරාගත නොහැකි පාඩුවක් කළේ මේ හරහාය. ඒ වගේම රටේ නායකයා ගන්නා තීන්දු ක්‍රියාත්මක නොකරන පසුබිමක් ඇතිවුණේය. නායකයා තීන්දු ගන්නා විට අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඒවාට එරෙහිව අවි මුවහත් කිරීමෙන් වූයේ රට අගාධයට ඇද දැමීමය. නිරන්තරයෙන් ගැටුම් ඇතිවන පසුබිමක් නිර්මාණය වූයේ එක් කල්ලියක් සියල්ල තීරණය කරන බලවේගය වූ නිසාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැටුම් පවා නිර්මාණය වූයේ මෙවන් පසුබිමකය. දකුණු අත කරන දේ වම් අත නොදන්නා ආණ්ඩුකරණයක ප්‍රතිඵලය වූයේ පාස්කු ප්‍රහාරය වැනි බරපතළ ඛේදවාචකවලට රට මුහුණ පෑමය. විනයක් සහිත පරිපාලන රාමුවක් රටේ ස්ථාපිතව පැවැතියේ නම් මෙවන් අර්බුදවලට රට මුහුණ දෙන්නේ නැත.

එනිසා ආයතන විධිමත් කරමින්, වංචාව දූෂණය පිටුදකිමින් ජනතාවට වඩා විධිමත් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ලබාදීම උදෙසා ගෝඨාභය පාලනය පියවර ගනිමින් සිටින බව පෙනෙන්නට තිබේ. කොරෝනා වසංගතය කෙටි කලකින් පාලනය කිරීමට යොදාගත් වැඩපිළිවෙළ සනාථ කරන්නේ එයයි. ආරක්ෂක අංශ මේ කටයුත්තට දායක කර ගැනීම නොවන්නට අපේක්ෂික ප්‍රතිඵල නොලැබෙන්නට තිබුණි. අවශ්‍ය අවස්ථාවේ අවශ්‍ය පුද්ගලයන්ගේ සහාය ලබාගැනීමේ කිසිදු වරදක් නැත. එය කුමන අංශයකට වුවද පොදුය. එවන් ක්‍රියා ආඥාදායකත්වයක් හෝ මිලිටරිකරණයක් වශයෙන් යම් කෙනෙකු විග්‍රහ කරන්නේ නම් එතැන ඇත්තේ වෙනත් අරමුණකි. ආයතන ගොඩනැගීමට හැකියාව දක්ෂතාව ඇති අය පත්කර ගැනීමේ වරදක් නැත. එය එක්තරා ආකාරයකට සිවිල් පරිපාලනය පහසු කරන පියවරක් වන්නට පුළුවන. සාම්ප්‍රදායික ක්‍රමයෙන් මිදී නවීන ලෝකය සමග තරග කළ හැකි පරිපාලන යාන්ත්‍රණයක් රටට අවශ්‍යය. කල්ලි කණ්ඩායම් තීන්දු තීරණ ගත් යුගය වෙනුවට වඩා ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡාවෙන් සම්මුතියෙන් තීරණ ගන්නා පසුබිමක් නිර්මාණය වෙමින් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ ප්‍රමුඛ ලක්ෂණ වන්නේ ඒවාය. තව තවත් උත්සාහ කළ යුත්තේ එවන් තැන් මුවහත් කර ගැනීමටය.

නිවහල් ධර්මිෂ්ඨ සමාජයක් වෙනුවෙන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත්තේය. එහෙත් එය සම්මත වූ පසු කළේ එයට කිසිසේත්ම නොගැළපෙන ක්‍රියාය. එය දෙවැනි නොවෙමින් 2015 බලයට පත් යහපාලන ආණ්‍ඩුව 19 වැනි සංශෝධනය ගෙනාවේය. එමගින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සම්පූර්ණයෙන් විකෘතියක් බවට පත්කළේය. විරුද්ධ පාක්ෂිකයා යටපත් කරන ක්‍රියාවලියක් මේ හරහා ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව නොරහසකි. යම් අයට ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයකට ඉදිරිපත් වීමට තිබූ ඉඩකඩ පවා 19 වැනි සංශෝධනයෙන් අහිමි කළේය. එදා  ජේ.ආර්. පාලන සමයේ ගෙනගිය දළදඬු පාලන රටාව 2015 න් පසුව වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වූ ආකාරයක් දැකගත හැකිය. එදා යාපනය සංවර්ධන සභා ඡන්දයේ දී කටයුතු කළේ කෙසේද? යාපනය පුස්තකාලය ගිනි තැබුවේය. දකුණේ තිබූ ප්‍රචණ්ඩත්වය උතුරටත් ව්‍යාප්ත කිරීමට උත්සාහ ගත්තේය. යහපාලන ආණ්ඩුව ඡන්ද පැවැත්වීම අතහැර දැම්මේය. පළාත් පාලන ඡන්දය ලබාගැනීමට සෑහෙන සටනක් කිරීමට සිදුවිය. ඔවුන්ගේ නොදැමුණු පාලනය හේතුවෙන්  පළාත් සභා මැතිවරණය අදටත් නැත. මෙවන් ක්‍රියා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක්දැයි ප්‍රශ්න කළ යුතුව ඇත. මිලිටරි පාලනය, ආඥාදායකත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අය මේවාට පිළිතුරු දිය යුතුය. එවන් පාලනයක් රටට අවශ්‍ය යැයි මෙයින් අදහස් කරන්නේ නැත. වඩා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය කුමක්දැයි හඳුනාගැනීමට මෙවන් කාරණා සසඳා බැලීම අවශ්‍යය.

19 වැනි සංශෝධනය සම්මත කළේ සියල්ල සුරක්ෂිත වන භාණ්ඩයක් හැටියටය. සියල්ලන්ගේ අයිතිය තහවුරු කෙරෙන්නක් හැටියටය. මෙයින් තහවුරු කෙරුණු පොලිස් කොමිසමේ තත්ත්වය කුමක්ද? යම් චෝදනාවකට පොලිස්පතිවරයාට මාංචු වැටුණු පසු ඔහු එම ධුරයෙන් ඉවත් කළ නොහැක. 19 වැනි සංශෝධනයේ ආනුභාවය එයින් ප්‍රකටය. මැතිවරණ කොමිසම ඊට නොදෙවැනිය. එය පාර්ලිමේන්තුවට වගකිවයුතු නැත. එය එතරම් බලසම්පන්නය. බැලූ බැල්මට හොඳය. එසේ නම් එම කොමිසමේ අය අනෙක් අයගේ විවේචනයට ලක් නොවන ආකාරයට කටයුතු කළ යුතුය. අපක්ෂපාතීත්වය ස්වාධීනත්වය ප්‍රකට කළ යුතුය. එය එසේ වූවාදැයි කතා කළොත් එය විහිළුවක් බවට පත්වනු ඇත. මෙවන් ක්‍රියා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට අනුගත වෙනවාද?

කෙසේ වුවත් ජනතාව අපේක්ෂා කරන ආර්ථික, සමාජ, සංස්කෘතික දියුණුව ඇති කිරීමට රටේ වත්මන් නායකත්වය පියවර ගනිමින් සිටින බව පැහැදිලිය. ඒ සෑම ජන කොටසකගේම අයිතීන් සුරක්ෂිත කෙරෙන රාමුවකය. ඒ වගේම ජනතාව පීඩාවට පත්කර ඇති මත්කුඩු, පාතාලය වැනි ප්‍රශ්න විසඳීම කෙරෙහි ද වෙනදාට වඩා වැඩි අවධානයක් යොමුව තිබීම සුබදායකය. රටේ සමස්ත ජනතාව බලාපොරොත්තු වන්නේ එවන් පියවරය. හිටපු හමුදා නිලධාරියකු නායකත්වයට පත්වූ පමණින් රට මිලිටරිකරණය වීමක් හෝ ආඥාදායකත්වයක් ගැන කතා කිරීම විහිළුවකි. දේශපාලනිකව සබුද්ධික මෙරට ජනතාව එවන් පාලනයක් ඉල්ලා සිටියේ ද නැත. ඔවුන් ඉල්ලා සිටියේ දක්ෂ පාලකයකු මෙන්ම රට සංවර්ධනයේ දී ඍජු තීන්දු ගත හැකි නායකත්වයකි. ඒ නායකත්වයේ ක්‍රියා කලාපය ප්‍රජාතන්ත්‍රවාදීව මිස අන් ක්‍රමයකට නොවන බව ඔප්පුකර අවසන්ය.


***
ජනාධිපති නීතිඥ
ආචාර්ය ජයතිස්ස ද කොස්තා