IMG-LOGO

මුහුදට විසිකළ මළසිරුරු වරායට ගොඩගසයි

(මෙම ලිපියේ මුල් කොටස 18 වැනිදා පත්‍රයේ පළවිය.)

කොළරාව ඒ වන විට ශ්‍රී ලංකාව තුළ බහුලව පැතිර යන රෝගයක්ව නොතිබුණු නිසා, මෙම රෝගය වැළඳුණු අය රට තුළට ඒම වැළැක්වීම වැදගත් විය. කෙසේ වූවද මුලින්ම අනුගමනය කළ පියවර මුළුමනින්ම අසාර්ථක විය. ඉතා දුර්වල මට්ටමේ නිරෝධායන වැඩපිළිවෙළක් මන්නාරමේ තිබිණි. සංක්‍රමණික ශ්‍රමිකයන් රට තුළට පිවිසෙන ස්ථානය වූ මන්නාරමේ පැවැති එම නිරෝධායන කටයුතුවලින් වැඩක් නොවූ බව පෙනී ගියේය.

කොළරා කොමිසමේ වාර්තාවේ මෙසේ සඳහන් විය.

කම්කරුවන් පිවිසෙන විට සහ පිටත්ව යද්දී පරීක්‍ෂාවට භාජන කෙරිණි. යම්කිසි නැවක රෝගීන් සිටියේ නම්, ඔවුන් කහ කොඩියක් ඔසවා සංඥා කෙට එම රෝගීන් වෙනත් ස්ථානයක ගොඩ බැස්සවිය. ඔවුන් පැමිණීමේදී හෝ පිටවයාමේදී රෝගීන් වැඩිපුර නොසිටියද, ඔවුන් ගමනාරම්භ කළ වෙලේ පටන් පාරේ දී රෝගය ඔවුන්ගෙන් පැතිරයන්නට ගත්තේය.’’

කම්කරුවන් කොළඹ හරහාද පැමිණි අතර 1870 ගණන් ආරම්භ වෙද්දී බොහෝ සෙයින් නගරය පුරා කොළරාව පැතිරෙන්නට ගත්තේය. එවර නගරය හරහා ඉන්දියාවට යාම් ඊම් සිදුවීමේ භයානක ප්‍රතිඵලය අවධානයට ලක් වූයේය. 1875 පටන් දිය කඩනයේ සිට, උඩරට කඩුගන්නාව දක්වා කම්කරුවන් ගෙන යන දුම්රිය සේවාවක් ඇරඹුණේය. එතැන් සිට කෝපි වගා කරන දිස්ත්‍රික්කවලට ඔවුන් විසුරුවා හරින ලදී තවදුරටත් කොළඹට පැමිණෙන සෑම නැවකම කොළරා රෝගියකු සිටියේ නම් ඔහු නිරෝධානයට ලක් කළ යුතු වූවත් එය ක්‍රියාත්මක කිරීම දුෂ්කර බව පෙනී ගියේය.
මෙම අනිවාර්ය නිරෝධායනයෙන් මගහැරීමට, ජනප්‍රිය උපායක් යොදාගත් බව ප්‍රධාන සිවිල් වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.ආර්. කිංසි විස්තර කොට කියා ඇත.

‘‘නැව්වල තිබෙන කොළරා රෝගීන්ගේ මළ සිරුරු, යාත්‍රා කරන අතර තුරුම රහසේ මුහුදට විසිකරන ලදී. ඔවුන් මෙරටට පැමිණි බවට කිසිම වාර්තාවක් එවිට ඉතිරි නොවීය. ඉන් පසු ඔවුන්ගේ සිරුරු කොළඹ සමීපයේ වෙරළට ගොඩ ගසා ආවිට ඉතා ප්‍රවේශමෙන් කරන ලද මරණ පරීක්ෂණයකින් අනතුරුව ඔවුන් මිය ගිය රෝගය කොළරාව වග හොඳින් සනාථ වූයේය.

වරායට තරමක් ඈතින් වෙරළ දිගට මගීන් ගොඩ බැස්සවීම මගින්ද නැව්වලට නිරෝධායනවලින් මගහැරිය හැකි විය. එහෙත් නිරෝධායනයට ලක් කර තබා ගත්තවුන් සම්බන්ධයෙන්ද යම් යම් ගැටලු මතු වූ බව 1894 දී කිංසි නිරීක්‍ෂණය කර තිබේ.

රෝගය වැළදීමට ගතවන කාල පරිච්ඡේදය බෙහෙවින් අවිනිශ්චිත විය. ඇතැම් විට නිරෝධායන කාල පරිච්ඡේදය තුළදී ඊට ගත වන කාලය (සීමා) වූයේ නැත. පොලිසිය මුරට තබා තිබුණද ඊටම ඇරෙන්නට පොලිසියට නොහැකි විය. නිරෝධායනයට ලක්වූවන් මගින්ම රෝගය පැතිර යන බවක්ද පෙනුණි. නැවක හෝ හුදෙකලා කළ රෝහලක රෝගී, නිරෝගී දෙගොල්ලන්ම එකට සිරකොට තබා ගැනීම ම්ලේච්ඡ ක්‍රියාවක් වූවා පමණක් නොව එය රෝගය නොනැසී පවත්වා ගැනීමටද හේතු විය. එයින් රෝගය තවත් දරුණු වූ බවට මට සැකයක් නැත.

1870 ගණන්වල මැද භාගය වන විට තත්ත්වය නරක අතට හැරුණේ රට පුරා විවිධ තැන්වල බෝවෙමින් රෝගය පැතිරෙන්නට ගත් නිසාය. වඩාත් කනස්සල්ලට පත් කිංසි, ඉන්දියවෙන් රට තුළට කම්කරුවන් ගෙන ඒම මුළුමනින්ම නවතා දමන්නට යෝජනා කළේය. එහෙත් එවැනි දැඩි පියවරක් ගන්නට ආණ්ඩුකාරවරයා එකඟ නොවූයේ ඒ මගින් වැවිලිකරුවන්ගේ කෝපය ඇවිස්සෙන නිසාය. කොළරා රෝගීන් රට තුළට ඒම වැළැක්වීම අසීරු වූ ආකාරය ගැන විස්තර කරමින් කිංසි මෙසේ ලීවේය.

‘‘නිරෝධායනය යොදාගෙන, රට බෝවන රෝගවලින් වෙන්කොට තබා ගැනීමට දැරූ උත්සාහයන් කොතරම් ඵලදායී වූවත්, දිවයිනට ප්‍රවේශ වෙන වරායේදී කිසිම රෝගියකු, නොසිටියද, එම නිරෝගී කම්කරුවන් පැමිණි පළමු හෝ දෙවැනි දිනයේදී ලෙඩින් වැටෙන බවක් පෙනෙන්නට විය. ඉන්දියාවේ සිට එන වෙළෙන්දන්, වන්දනාකරුවන් සහ වෙනත් මගීන්, තුළින්ද කොළරාව රට තුළට එන්නට හැකියාව තිබුණේ. ඔවුන්ට කිසිදු සීමාකරණයකින් තොරව එරට සිට මෙරටට එන්නට ඉඩ දුන් නිසාය.
වාණිජමය අවශ්‍යතා, මහජන සෞඛ්‍යයට එරෙහිව මතු වීම නිසා නිරෝධායන නියාමනයන් ක්‍රියාත්මක කළ නොහැකි විය යනුවෙන් කිංසි ඒ ගැන ලීවේය.

1889යේ සිට 1892 දක්වා කොළරාව මහා පරිමාණයෙන් පැතිරුණු අතර නැවත එය 1894 දී හිස එසවූයේය. ඒ සම්බන්ධයෙන් කිංසිගේ සාක්‍ෂිය මෙසේය.

‘‘බෝවෙන රෝගවලින් ඈත් වීමේදී නිරෝධායන කෙරෙහි තැබූ සියලු විශ්වාසයන් අත්හැර දමන ලදී. ඒ සඳහා තිබූ රෙගුලාසි වෙනස් නොකළ බව සැබෑය. කලින් කලට සාමාන්‍ය තොරතුරු ලෙස ඒවා නැවත නැවත පළකෙරිණි. එහෙත් වසර ගණනාවක් යන තුරු ඒවා ක්‍රියාත්මක කරනු ලැබුවේ. ඕනෑවට එපාවටය. බොහෝ විට ඒවා ක්‍රියාත්මක කරනු ලැබුවේ අන්තර්ජාතික වාණිජ පරමාර්ථ ඔවුන් පත් කරගැනීමට විනා රට තුළ රෝග වැළැක්වීම නොවේ.’’

කෙසේ වූවද 1896 ඉන්දියවේ වසංගත පැතිරීම ආරම්භ වීමත් සමග නිරෝධායනය හා බැඳුණු ගැටලු නැවත කරළියට ආවේය. එහිදී ආණ්ඩුව තුළත්, වෙළඳ කවයන් තුළත් නැවත භීතියක් හටගත් ආකාරය යටත් විජිත ලේකම් ඊ.එන්. වෝකර් මෙසේ නිරීක්‍ෂණයට ලක් කොට ඇත.

ශ්‍රී ලංකාව තුළ පෙනෙන්නට ඇති වසංගත තත්ත්වය නිසා සහතික වශයෙන්ම, යුරෝපය වෙත හඳුන්වා දුන් ශ්‍රීලාංකිය අපනයන නිෂ්පාදන සම්පූර්ණයෙන් තහනම් වෙන තත්ත්වයකට මග පෑදෙනු ඇත.
සැලකිල්ලට ගත් සියලු කරුණු අභිබවා මෙම ආර්ථික සාධක සැලකිය යුතු තත්ත්වයක් උදා වූ නිසා, රජය නිරෝධායන ක්‍රියා පිළිවෙළේ ඈතට දිවෙන වෙනස්කම් ඇති කිරීමට කඩිනම් පියවර ගත්තේය. 1899 දී උතුරුදිග මහා මාර්ගය (Great North Road) හරහා කම්කරුවන් මන්නාරමට ගෙන ඒම සම්පූර්ණයෙන් නවතා දමන ලදී. රටට ඇතුළු විය හැකි එකම නිල වරාය කොළඹ ලෙස නම් කෙරිණි. කම්කරුවන් හුදෙකලා කිරීමේ සහ නිරෝධායනය කිරීමේ කඳවුරුත් රාගම ඉදිකෙරුණේ කොළඹ සිට රේල් පාරත් ඊට යා කරමිනි.

රාගමට පවා ඕනෑම දිනක එන කම්කරුවන් සංඛ්‍යාව වැඩි වීම හේතුකොටගෙන දැඩි අපහසුතා පැන නැගුණි. ආසාදනයට ලක් වූ බවට රෝග ලක්‍ෂණ පහළ වන මුල් දින 5 ක කාල පරිචේඡේදය පුරාම රෝගීන් සියලු දෙනා නවතා තබා ගැනීම දුෂ්කර විය. කලාතුරකින් රෝගය වැළඳුණු අයෙක් ඒ බව හසු නොවී බේරී ගියහ. එවැනි අවස්ථාවක කඳවුරෙන් නිදහස් කර එවනු ලැබූ රෝගී කම්කරුවා, කොළරාවත් සමඟ දුම්රියපොළට ආවේය.

දකුණු ඉන්දියාවේ රෝගය පැතිරී තිබුණු ප්‍රදේශවලින් අසාමාන්‍ය ලෙස කම්කරුවන් වැඩි සංඛ්‍යාවක් එවන අවස්ථාවලදී, ඒ වන විටත් සෙනග පිරි කඳවුරට එන කම්කරුවන් කෙළින්ම වතුවලට යැවීමද පුරුද්දක් කරගෙන තිබුණේය. එම අවස්ථාවල එම කම්කරුවන් වත්තේ අනෙක් කම්කරුවන්ගෙන් හුදෙකලා කොට තබන ලෙස වතු අධිකාරී වරයාගෙන් කරන ලිඛිත ඉල්ලීමක් ඒ සමඟ තැපෑලෙන් යවන ලදී. බොහෝ විට එම ඉල්ලීම රැගත් ලිපිය තැපෑලෙන් ආවේ ප්‍රමාද වෙලාය. කෙසේ වූවද එහි ප්‍රතිඵලය වූයේ වත්තේ අනෙක් අයටත් කොළරාව බෝවීමයි.

එහි ප්‍රතිඵලයක් ලෙස 1906 පටන් කොළරාව පැතිරි ප්‍රදේශවලින් එන සියලුම කම්කරුවන් රාගම කඳවුරේ දින 5ක් හුදෙකලා කොට තැබීම සිදුවිය.

එහෙත් සංක්‍රමණික කම්කරුවන් දිගින් දිගටම ඉන්දියාවේ සිට අගනගරය හරහා පැමිණීම කවදාටත් වඩා අගනුවරට තර්ජනයක් විය. ඒ සමඟම මන්නාරම හරහා ඉන්දු - ලංකා දුම්රිය මාර්ගය විවෘත වීමත් සමඟ 1917 දී අගනගරය හරහා සංක්‍රමණික කම්කරුවන් ගෙන ඒම නතර විය. ඒ සමගම ඉන්දියාවේ මන්දපාන් හි නිරෝධායන කඳවුරක් ඉදි වූයේය.

එවිට පවා නිරෝධායන වැඩ පිළිවෙ​ෙළ් යම් යම් අඩු ලුහුඬු තා ඇති විය. එම වැඩපිළිවෙළ අනුගමනය කිරීමේදී පන්ති පක්‍ෂපාතී භාවය යොදා ගැනීම ඉන් එකකි. ශ්‍රී ලංකාවට පිවිසෙන, පළමු සහ දෙවැනි පන්තියේ මගීන් මන්දපාන් හි නවතා ගැනීමකින් තොරව එවනු ලැබුවේය. ඔවුන් පරීක්‍ෂාව යටතේ රඳවාගත් අවස්ථාවල පවා එම පුද්ගලයන් බෝවෙන රෝගය ගෙන යන බවට නැවත නැවත පෙනී ගියේය.

නිරෝධායන වැඩපිළිවෙළේ මොනයම් අඩුපාඩු තිබුණද, එම වැඩපිළිවෙළ නොතිබුණේ නම් මෙරට ජනයා මීට වැඩියෙන් බෝවන රෝගවලට ලක්වීමේ අවදානමට පාත්‍රා වනු ඇත. කොළරාව වසංගතය පැතිරයන ඉන්දීය උපමහද්වීපයට යාබදව ජීවත් වෙමින් දෛනිකව එහි වැසියන් සමඟ සම්බන්ධතා පත්වන්නට සිදු වූ නිසා මෙම අවදානම බෙහෙවින් වැඩි වූයේය. සැක සහිත රෝගීන් හුදෙකලා කර තැබීම පෙරගණක් සේ ක්‍රියාත්මක වූයේය. ජනතාව අතර බොහෝ සෙයින් කොළරාව පැතිර යාම ඒ මගින් වැළකිනි. කාලයෙන් කාලයට නිරෝධායන කාර්යයේ කාර්යක්‍ෂමතාව වර්ධනය වී හොඳ ප්‍රතිඵල ඇති වූ බවට වරින් වර කොළරාව පැතිරි ගිය සෑම අවස්ථාවකම තහවුරු වූයේය. 1900 දී මේ ආකාරයට අවස්ථා 11 කදී. රාගම කඳවුරේ කොළරාව පැතිර යාමෙන් මේ බව තහවුරු විය.

කඳවුර නොතිබෙන්නට එවැනි පුද්ගලයන් රට තුළ නිදහසේ සැරිසරා රෝගය බෝකරනු නියතය.

පැතිරයාම සීමා කිරීම
රෝගය පැතිරයන්නට ගත් කල එය පැතිරීම සීමා කිරීම අසීරු කටයුත්තකි. මුල් කාලයේ, වසංගතය ගැන දැනුමක් හෝ පෞද්ගලික අත්දැකීමක් නොතිබුණු බලධාරීහු 1866 යාපනයේදී මෙන් අසරණ වූවෝය.
එහිදී ඔවුහු රෝගීන් වෙන්කොට තැබීමට වත් උත්සාහයක් නොගත්හ. තවත් දින දෙක තුනක් ගත වූ විට රෝගය දසත පැතිරී ගිය ආරංචිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන කාර්යාලයට ආවේය. 1880 දී ප්‍රදේශ කිහිපයක් පුරා රෝගය අධිවේගයෙන් පැතිර ගියේය.

කෙසේ වූවද කාලයත් සමඟ රෝගය පාලනය කිරීමට පරිපාලනය, යාන්ත්‍රණ කිහිපයක් එක් කොට යෙදුවේය. ඒ හේතුවෙන් දහවැනි සිය වස නිමා වෙද්දී රෝගය පැතිරයන වේගය රෝගීන් 200යේ සිට දහසකට සීමා කරන්නට හැකියාව ලැබිණි. මෙසේ රෝගය පැතිරයාම අඩුකිරීමට හැකිවීම ජයග්‍රහණයක් වූයේ, මං මාවත්, දුම්රිය මාර්ග දැල් රටා පුළුල් වෙමින් පවතිද්දී ගමන් බිමන් යන ජනගහනයද වැඩි වී තිබූ නිසාය. රෝග මර්දන උත්සාහයත් මේ අයුරින් සාර්ථක වීමට නිරෝධායන ක්‍රියාමාර්ගයේ වර්ධනයත්, පැතිර යාම සීමා කිරීමට යොදාගත් තාක්‍ෂණයත් යන දෙකම උපකාරි වූයේය.

රෝගය පැතිරයාම නවතා දැමීමට අවශ්‍ය වූවත් මුල් කාලයේදී ඒ සන්නිවේදනය කිරීම බෙහෙවින් අසීරු විය. ඒ අතින් රෝගය පැතිරීම සීමා කිරීමට ටෙලිග්‍රාෆ් ක්‍රම ව්‍යාප්ත කිරීම අතිශය වැදගත් විය. 1857 කොළඹ හා ගාල්ල සම්බන්ධ කරමින් පටන්ගත් ටෙලිග්‍රාෆ් සේවා ප්‍රගතියක් අත් කරගනිමින් ව්‍යාප්ත වෙමින් 1900 වන විට සියලුම නගරත්, තවත් ප්‍රදේශත් සම්බන්ධ කර ගත්තේය. ඉන් පසු පුවත් ශීඝ්‍රයෙන් ගමන් ගත් ආකාරය ප්‍රධාන සිවිල් වෛද්‍ය නිලධාරී කිංසි 1857 දී මෙසේ දුටුවේය.
1875 ජුනි 16 වැනිදා මහනුවර රජයේ ඒජන්ත තැන වෙත අනුරාධපුර රජයේ ඒජන්තවරයා වෙතින් විදුලි පුවතක් ලැබුණේය. එහි කියා තිබුණේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි සංග්‍රමණිකයන් අතර කොළරා රෝගීන් කිහිපදෙනෙකු සිටින බවකි. ඒ වාර්ෂිකව අනුරාධපුරය බලා වන්දනා නඩ යන කාලය විය. එහිදී රට මැද පාරෙන් ගමන් නොයන ලෙස වන්දනාකරුවන්ට අනතුරු හඟවා තිබිණි.
රෝග පැතිරීම සීමා කිරීමට බලධාරින් පියවර කිහිපයක් අනුගමනය කර තිබුණේය. එහිදී වඩාත් වැදගත් කටයුත්ත ලෙස සලකා තිබුණේ රෝග බෝ වූ පුද්ගලයන් හුදෙකලා කොට තිබීමය.

ඔවුන්ගෙන් තවත් අයට බෝ වීම වැළැක්වීම උදෙසා.
(a) පොලිසිය මුර සේවා යොදාගෙන රෝගය පැතිර ඇති ප්‍රදේශ කරා, වාහන ගමනා ගමනය තහනම් කිරීම.
(b) පොලිස් මුර යොදා කොළරා පැතිරි ගිය ප්‍රදේශවල වාසය කරන අය හුදෙකලා කිරීම.
(c) රෝගය බෝ වූ පුද්ගලයන් ඉන්නා සියලුම නිවාසවලට පිරිසිදු ජලය සැපයීම.
(d) මිය ගියවුන් සෑහෙන තරම් ගැඹුරේ මිහිදන් කරවීම, නියමිත මාර්ගයේ අදාළ නිවසට පැමිණෙන තුරුම කොස්තාපල්වරයකු රඳවා තබා මේ ගැන අවධානයෙන් පසුවීම ආදී පියවර ගෙන තිබිණි.

 

පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ
ඡායාරූප - අන්තර්ජාලය අනුග්‍රහයෙනි

 



අදහස් (0)

මුහුදට විසිකළ මළසිරුරු වරායට ගොඩගසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 332 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 808 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site