(රොමේෂ් මධූෂංඛ)

ඊලාම් දේශයක සිහිනය කරපින්නාගෙන සිටි කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනයත් කොටි සංවිධානයේ පළමු සාමාජිකයා මියගිය දිනයත් සමරා කොටි මහවිරු සතිය නොවැම්බර් 21 වැනිදා සිට 27 වැනිදා දක්වා මීට වසර ගණනාවකට පෙර සිට සමරනු ලැබිණි.

කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය වූ නොවැම්බර් 26 වැනිදාත් එම සංවිධානයේ කර්නල්වරයකු වූ ශංකර් ආරක්ෂක අංශ ප්‍රහාරයකින් 1982 වසරේ නොවැම්බර් 27 වැනිදා මිය යාමෙන් එවක සිට යුද්ධය අවසන් භාගය වන තෙක් මහවිරු සතිය සැමරිණි.

කොටි නායකයාගේ උපන්දිනය වූ 26 වැනිදා ඔහු වෙනුවෙන් එහි සාමාජිකයින් තම නායකයාට උපන්දින තෑගි වශයෙන් ලබා දුන්නේ උතුරු නැගෙනහිර කොහෙ හරි අසරණ සිංහල හෝ මුස්ලිම් හෝ ආරක්ෂක අංශ සාමාජිකයින් වෙඩි උණ්ඩ වලින් හෝ කපා කොටා මරා දමා සිදු කරන ලේ වැගිරිණි. මේ කොටි නායකයා සිටියේ නම් 65 වියේය. අද වන විට කොතරම් ලේ වැගිරීම් සිදු වෙලාද රට කොතරම් අඳුරු අගාදයකට ගොස්ද යන්න සිතා ගැනීමට නොහැකි තරමය .

නොවැම්බර් 27 වැනිදා සවස කොටි සංවිධානයේ සිට මිය ගිය තම දරු දැරියන් සිහිකරමින්  ඔවුන්ගේ දෙමාපියන් ඥාතීහු එදා ඉදිකරන ලද මහවිරු සොහොන් සමීපයේ හිඳ එදින රාත්‍රිය වනතුර හඬාවැලපෙන අතරතුර කොටි නායකයා එම ජනතාව අමතමින් කියා සිටියේ ලබන වසරේ මහවිරු දිනය වන විට ඊලාම් දේශයක් ගොඩ නඟන බවකි.

උතුර වෙලාගත් ඒ ඊලාම් සිහිනය සිහිනයක්ම වෙමින් වැගිරූ ලේ ගංගාවන්හි ශාපයෙන්ම කොටි නායකයාගේ අවසානයත් සමඟ සියල්ලක්ම අවසන් විය.

2009 වසරේ මැයි 19 වැනිදායින් පසුව කොටි සංවිධාන කතාවන් තුරන් වී යන්නට පටන් ගත්තේය.

එදා මියගිය මහවිරුවන් සැමරූ සොහොන් සියල්ලක්ම ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේ එම ජනතාවගේ හිතේ ඇති වූ යුද මානසිකත්වය අකා මකා දමන්නටය. එය යහපත් ක්‍රියාවක් බව බොහෝ දෙනෙකුගේ මතය විය.

නමුත් යුද්ධය අවසන් වී වසර 10 ක ගත වන විට අලු යට තිබූ ගිනි පුපුරු හිස එසවීමට පියවර ගන්නා අයුරු පසුගිය වසර කිහිපය තුළ දක්නට ලැබිණි. උතුරු පළාත් සභාව මගින් මහවිරු සැමරුම ජාතික ශෝක දිනයක් වශයෙන් පත් කිරීමටද උත්සහ ගත් අයුරු කැපී පෙනුනේය. එලෙසින්ම කොටි නායකයාගේ මරණය ප්‍රසිද්ධියේ සමරන්නට තරම් ඇතැම් පිරිස් එඩිතර වූ අතර ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ වෙතට ද යම් කිසි සීමාවකට යාමට හැර වෙන කරන්නට දෙයක් තිබුණේ නැත.

2019 වසරේ ද මහ ඉහළින් මහවිරු සමරන්න ඇඟිලි ගනිමින් සිටි කොටි හෙවනැලි වෙතට ගැසූ හෙන පහරක් සේ ආණ්ඩු පෙරළිය බාධකයක් විණි. ප්‍රසිද්ධියේ මහවිරුවන් සමරපු කොටි හෙවනැලි සැඟව ගියේය. උතුර පුරාම මහවිරු සැමරුම් සංවිධානය කර තිබුණ ද එය එක්තරා මියගිය පිරිසක් සිහිපත් කිරීමක් පමණක්ම විය. ඒ වෙනුවෙන් දේශපාලනික සහයෝගයක් හෝ වෙනත් අතහිත දීමක් දක්නට නොලැබිණි.

ඊට හොඳම නිදසන සැපවුයේ යාපනය විශ්ව විද්‍යාලයෙනි. සෑම වසරකම කොටි නයකයාගේ උපන්දිනය වෙනුවෙන් නොවැම්බර් 26 වැනිදාට සරසවිය තුළ කේක් කැපීම අනිවාර්ය වී තිබුණි.

මෙවර ආණ්ඩු පෙරලියත් සමඟ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ද පළමු වතාවට වෙනස් තීරණයක් ගත්තේය. ඒ සියලු සරසවි සිසුන් විමතියට පත් කරමිනි. පළමු වතාවට යාපනය විශ්වවිද්‍යාල භූමිය තුළ කිසිදු මහවිරු සැමරුමක් සිදු නොකරන ලෙසටත් එසේ මහවිරු සැමරුම් කරනු ලබන සිසුන්ට විනයානුකූල පියවර ගන්නා බවට දුන් නියෝගයත් සමගය.

එම නියෝගය යාපනය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයට මෙන්ම සියලු කාර්ය මණ්ඩලයටන්ට දැනුම් දෙනු ලැබීමෙන් පසුව කොටි අවතාරත් සමඟ සෙල්ලම් කරමින් සිටි සිසුන්ට එය හෙණ පහරක් සේ විය. නමුත් එම සිසුන් සෑම වසරකම මෙන් මෙවර ද සරසවිය තුළ හොර රහසේ කොටි නායකයාගේ උපන්දිනය වෙනුවෙන් කේක් කැපීමට කතිකා කර ගත්හ.

මෙය ද සැල වූ යාපනය සරසවියේ පාලනාධිකාරිය විසින් දෙවැනි වරටත් දැඩි තීන්දුවක් ගනිමින් සරසවියේ කිසිදු පීඨයක කිසිදු සිසුවකුට නොවැම්බර් 27 සහ 28 දිනයන් හි සරසවි භූමිය තුළට ඇතුළු වීම තහනම් කරමින් නව නියෝගයක් නිකුත් කිරීමය.

නමුත් යාපනය සරසවියේ පාලනාධිකාරියේ නියෝගය නොසළකා හරින ලද යමෙකුගේ රූකඩ වී ඇතැයි සැක කෙරුණු සිසුහූ 50 ක් පමණ අනවසරයෙන් විශ්ව විද්‍යාල භූමියට ඇතුළු වී මරවිරු සැමරීම සිදුකළහ.

එමෙන්ම මහවිරු සැමරුම් වෙනුවෙන් දේශපාලනික පැත්තේන් කවදත් හඬ නැගූ ප්‍රභාකරන්ගේ මස්සිනා කෙනෙකු වෙච්ච දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේසිවාජිලිංගම් ද මෙවර ඉතා නිශ්ශබ්දව පස්ස දොරෙන් ගොස් යාපනයේ පමණක් මහවිරු සැමරුම කළේය.

එමෙන්ම මෙවර උතුරු පළාතේ පිහිටි යාපනය, වව්නියාව, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයන් හි මහවිරු සැමරුම් සංවිධානය වී තිබුණේ 50 කටත් අඩු ප්‍රමාණයකි. එහි ප්‍රධාන සැමරුම කිලිනොච්චිය කනකපුරම් පැරණි මහවිරු සුසාන භූමිය ස්ථානයේ දී පැවැත්විණි.

මෙවර මහවිරු සැමරුමට තවත් අංගයක් එක් වී තිබුණි. ඒ යාපනය නල්ලූර් ප්‍රදේශයේ දී යුද්ධයෙන් මිය ගිය මහවිරුවන්ගේ යැයි ප්‍රකාශිත මහවිරු නම් 25,000 කගේ පමණ නම් ලැයිස්තුවක් ප්‍රදර්ශනය කිරීමය. එම නම් ලැයිස්තු කොටි සංවිධානයේ නිල පුෂ්පය බවට සැළකූ නියඟලා මල එකතු කරමින් ප්‍රදර්ශනය කර තිබූ අතර යුද්දයේ දී මිය ගිය අයගේ නම් ජනතාවට දැනගැනීමටත් ඔවුන් වෙනුවෙන් සෙත් ශාන්ති පැවැත්වීම සිදුවිය.

එමෙන්ම මහවිරු ප්‍රධාන සැමරුම සිදු කෙරුණු කිලිනොච්චිය කනකපුරම් සුසාන භූමියේ සුපුරුදු පරිදි මහවිරු සැමරුම 27 වැනිදා රාත්‍රියේ පැවැත්විණි. මෙවර මහවිරු සැමරුම් වෙනුවෙන් දෙමළ ජනතාවගේ නායකයින් යැයි කියාගත් කිසිවෙකු දකින්නට නොලැබුණි. දේශපාලඥයෝ නොමැති විය. සියල්ලන්ම මිය ගිය අයගේ ඥාතීන් පමණක් වූහ.

තම දරු මුණුබුරන් වෙනුවෙන් හඬනවා හැරෙන්නට මේ වැසියන්ට ඉන් එහාට කිරීමට දැන් කිසිවක් ඉතිරිව නැත. තමන්ගේ දරු මුණුබුරන්ගේ මතකයන් පමණක් ඉතිරිව තිබෙනා මොහොතක ඇත්ත වශයෙන්ම මේ වැසියන් මෙන්ම සරසවි සිසුන් සහ සිවාජිලිංගම්ලා ද කෝපාවිෂ්ඨ විය යුත්තේ ලංකාවේ වෙනත් පාර්ශවයක් හෝ ආරක්ෂක අංශ සමඟ නොව ප්‍රභාකාරන් සමඟය. එදා ප්‍රභාකරන් ඊනියා ප්‍රතිපත්තියේ සිට යුද ප්‍රකාශයක් නොකළා නම් අදටත් මිය ගියා යැයි පැවසෙන දෙමළ තරුණ තරුණියන් 25,000ම ජීවතුන් අතරය. මේ වැසියන් අදටත් සතුටින් කාලය ගතකරමින් සංවර්ධිත උතුරක් දැක ගැනීමට අවස්ථාව උදාවන්නට තිබිණි.

වසර 30 ක් අනාගතය අතීතයට ඇද දැමූ ප්‍රභාකරන් සිහිපත් කර කේක් කැපීම කොතරම් නම් සාධාරණයක් දැයි සිතීමට තරම් බාලයන් කව්රුන්දැයි දැන් ජනතාවටද වැටහී ඇත.

ඒ නිසාම ඔවුන් අද මහවිරු සොහොන් වෙතට අවුත් හඩාවැටෙන්නේ කිසිදු ප්‍රතිඵලයක් නොමැති මුලාවක් වූ යුද්ධයෙන් තමන්ගේ අසරණ දරුවන් අහිමි කරවූවන්ට එරෙහිව බව සැබෑ සත්‍යයයි.

දැන් සියල්ලක්ම සිදුවී හමාරය කොටි සෙවනැලි ලෝකයේ බොහෝ රටවල හිස එසවීමට වෙර දරද්දී එම සංවිධානය උපත ලද රටේ  එවැනි වාතාවරණයක් යළි ඇති නොවීමට වග බලා ගත යුතුව තිබේ.