අපේ රටේ දේශපාලනයේ තවත් වැදගත් අවස්ථාවක් මීළඟ වර්ෂයේ පළමු මාස කීපය තුළ සිදුවීමට නියමිතය. ඒ කියන්නේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වර්ෂයේ පළමු මාසය 06 ඇතුළත පැවැත්වීමට නියමිත බවය. කොහොමටත් පාර්ලිමේන්තුවේ මැතිවරණය පැවැත්වීමෙන් තොරව ශක්තිමත් ආණ්ඩුවක් හැදීමේ කිසිදු ඉඩක් කාටවත් ලැබෙන්නේ නැති බව දැන් හොඳටම පැහැදිලිය. ඒ නිසාම ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව වෙන කවරදටත් වඩා වැඩියෙන් මේ කාලය වන විට මතුවී ඇති බව ඉතාමත් පැහැදිලිය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්කිරීම සඳහා රටේ බහුතර ජනතාව ඡන්දය පාවිච්චි කළ ආකාරය මගින් පෙන්නුම් කරන්නේ 2015 පැවති මහ මැතිවරණයේ ජනමතයේ වලංගුභාවයක් දැන් නැති බවයි. ඒ නිසාම නිවැරැදි ජනමතයක් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරවීමට නම් ඉක්මන් මැතිවරණයක් අත්‍යාවශ්‍යය.
මා මේ සටහනින් මතුකරන්නේ ඉක්මන් මැතිවරණයක අවශ්‍යතාවටත් වඩා වැදගත් වූ කාරණයක් පිළිබඳවය. එනම් අපේ රටේ මැතිවරණ දේශපාලනයේ ස්වභාවය පිළිබඳව යළිත් වරක් විමර්ශනශීලීව කල්පනා කිරීමේ ඇති වැදගත්කම පිළිබඳවය.

අපේ රටට ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියේ මැතිවරණ දේශපාලනයක් ලැබුණේ බ්‍රිතාන්‍යයන්ගෙන් ය. ඒ මැතිවරණ ආකෘතිය අප ලබා ගත්තාට එහි අන්තර්ගතය යම් ආකාරයකින් වෙනස්වූ බව මුලසිටම පෙන්නුම් කළ කාරණයක් විය. ඒ කියන්නේ මුලදී තිබුණ වැඩවසම් සමාජ ආකෘතියටම අලුතින් පැමිණි ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියෙන් මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ක්‍රමවේදයත් අනුගතවීමය. වැඩවසම් සමාජ ආකෘතියක් කියන්නේ සමාජයේ එක් කණ්ඩායමක් පමණක් බලය අත්පත් කරගෙන සිටීමත් ඒ බලය උපතින්ම හිමි දෙයක් ලෙසින් ඒ අය කල්පනා කිරීමත්ය.

පාලනය කරන්නා සහ පාලිතයා යනු ජනතාවගේ ඡන්දයෙන් තීරණය වෙන එකක් නොව උපතින්ම හිමිවෙන එකක් යැයි සිතන මෙම වැඩවසම් ආකෘතියේ දේශපාලනය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ අලුත් තත්ත්වය යටතේ නිමාවිය යුතුව තිබුණත් සිදුවුණේ ඒ තත්ත්වයම වෙනස් ආකාරයකින් ඉදිරියට යාමය. අදටත් සමහර මන්ත්‍රීවරුන් සිතන්නේ මන්ත්‍රීකම යනු තමන්ගේම බුක්තියට යටත්වූ කලාපයක් කියාය. සමහර මන්ත්‍රීවරුන්ගේ කථා තුළින් පෙන්නුම් කරන ‘මන්ත්‍රීධුරය යනු තමන්ගේ පසුපස මිදුල (Backyard) ලෙසින් වූ මතය’ ගොඩ නැඟුණේ මෙම වැඩවසම් ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් ප්‍රවේණිය පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදයක් මතුවීම හේතුවෙන්ය.

1978 අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මේ තත්ත්වය තවදුරටත් නරක දිසාවටම වර්ධනය වූ අතර මන්ත්‍රීධුරය යනු එහි මූලික පරමාර්ථ වෙතින් ඉවතට ගැලවී ගිය වෙනමම තත්ත්වයක් බවට පත්වූ බව ඉතාමත් පැහැදිලිවූ කාරණයත්ය. 1978 ව්‍යවස්ථාවේ හඳුන්වාදුන් සමානුපාතිකව මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදය හේතුවෙන් සල්ලිකාර හා සෙල්ලක්කාර පන්තියේ සමහරුන්ට පාර්ලිමේන්තුව යාමේ වරම් ලැබුණේ මේ තත්ත්වයට සාපේක්ෂකවය.

පාර්ලිමේන්තුව කියන්නේ කුමක්දැයි අමතකවෙන තත්ත්වයට මේ වන විට වර්ධනය වී ඇති බව මගේ අදහසය. අද සිදුවී තිබෙන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යන නාමය යටතේ න්‍යායිකව හෝ ප්‍රායෝගිකව පාර්ලිමේන්තුවාදයට කිසිඳු සම්බන්ධයක් නැති විකාරරූපීව වැඩ කරන සමහරුන්ගේ යැපුම් ස්ථානයක් බවට මේ ආයතනය පත්වීමය. (මෙයින් කියන්නේ පාර්ලිමේන්තුවේ සිටින හැමෝම ඒ තත්ත්වයට පත්වී ඇති බව නොවන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු නැත) එහෙත් සාමාන්‍ය අර්ථයෙන් රටේ ප්‍රගමනයට වැඩ කළ හැකි අය මේ පාර්ලිමේන්තු ව්‍යාපෘතියේ සිටියත් ඒ අය ඉදිරියට ඒමේ ඉඩකඩක් නැති නිසා ඉදිරියෙන්ම පේන්න සිටින්නේ බාල පන්නයේ කාණ්ඩය බව මේ වන විට පෙනී යන කාරණයයි. 225 එපා යැයි සමහරුන් හඬ නඟන්නේ මේ තත්ත්වයට සාපේක්ෂකව වන අතර එයින් තේරුම් ගත යුත්තේ මේ පාර්ලිමේන්තුවේ සිටින හැමෝම එපා යන හැඟීම නොව බව මගේ අදහසය.

විශේෂයෙන් පසුගිය 2015 යහපාලනයැයි කියාගත් ආණ්ඩුවේ පාලනයට එරෙහිව නැඟී සිටි ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ නායකයන් මේ පාර්ලිමේන්තු ක්‍රමය යම් පමණකට හෝ ධනාත්මකව යොදවන්නට මහන්සිවූ අය බව පිළිගැනීම ඉතාමත් නිවැරැදිය. එහෙත් සමස්තයක් ලෙසින් මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ කඩා වැටීමට ලක්වීමේ අභියෝගය ජයගැනීමෙන් තොරව මේ ක්‍රමය ඉදිරියට රැගෙනයාමේ ඉඩක් නැති බව මේ වන විට හැම පැත්තෙන්ම පෙනෙන්නට තිබෙන කාරණයයි.

පාර්ලිමේන්තුවක් කියන්නේ කුමක් සඳහා ද යන මූලික ප්‍රශ්නය මෙහිදී අප මතු කළ යුතු ප්‍රධාන කාරණයක්ය. මූලික වශයෙන්ම පාර්ලිමේන්තුවක් කියන්නේ රටේ ස්වාධිපත්‍යයේ හිමිකාරිත්වය ඇති ජනතාව විසින් තමන්ගේ අභිලාෂයට අනුව රට පාලනය කරගෙන යාම සඳහා ගොඩනඟා ගත් ක්‍රමවේදයක් ලෙසින් තේරුම් ගැනීම නිවැරැදිය. මෙය තේරුම් ගැනීම පහසු වෙන ආකාරයෙන් කිවහොත් පාර්ලිමේන්තුවේ බල ව්‍යුහයේ ආකෘතිය මගින් කියවෙන්නේ රටේ අයිතිකාරයන් (හෝ රටේ සාමාජිකයන්) එක්වී තීන්දු තීරණ ගැනීමේ ක්‍රමවේදයක් යැයි කීම නිවැරැදිය.

මේ කාරණය සාම්‍යයක් මගින් පැහැදිලි කරන්නේ නම් ගමේ මරණාධාර සමිතියේ ක්‍රියාකාරීත්වය සමඟ එකට ගළපා තේරුම් ගත හැකිය. ගමේ මරණාධාර සමිතියේදී කරන්නේ එම සමිතියට සම්බන්ධ සාමාජිකයන් සියලු දෙනා හෝ ඒ අයගේ බහුතර කණ්ඩායම එක ශාලාවකට රැස්වී සාකච්ජා කර අත් ඔසවා කැමැත්ත පළකිරීමෙන් යම් යම් තීරණ ගැනීමය. දැන් රටක් සම්බන්ධයෙන් ද තීරණ ගැනීමේ දී සිදුකරන්නේ මේ වගේම දෙයක්ය. රටේ සාමාජිකයන් හෙවත් ඡන්දදායකයන් (මරණාධාර සමිතියේ මෙන්) සියලු දෙනාවම එක ශාලාවකට එකට එකතු කිරීමේ ප්‍රායෝගික හැකියාවක් නැති නිසා මෙහිදී කරන්නේ සාමාජිකයන් සියලු දෙනා අයිති වෙන ආකාරයට රටේ පාලන ව්‍යුහය කොටස් 225 වෙන් කිරීමය. එසේ වෙන්කර ගත් කොටස් 225 සඳහා ඒ ඒ කොටසේ අනෙක් අය නියෝජනය කිරීමට හැකි එක් අයකු තෝරා ගැනීම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ සිදු වෙන මූලික ක්‍රියාදාමයි.

ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වීම යැයි කියන්නේ මරණාධාර සමිතියේ මෙන් ඍජුව හැම සාමාජිකයාම එක ශාලාවකට රැස්වී තීරණ ගැනීමේ හැකියාවක් නැති නිසා අප තෝරාගත් නියෝජිතයන් එක ශාලාවකට රැස්වී තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාදාමයටය. ඒ ක්‍රියාදාමයේ පදනම හා අවශ්‍යතාව වන්නේ සියලු සාමාජිකයන් වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට තාවකාලිකව ලබා දුන් බලයක් බව තේරුම් ගැනීම මෙහිදී ඉතාමත් වැදගත්ය.

මීළඟට වැදගත්ම කාරණය වන්නේ පාර්ලිමේන්තුවට යවන නියෝජිතයන් රටේ ජනතාවගේ අයිතිය ක්‍රියාත්මක කළ යුත්තේ කුමන ක්ෂේත්‍රවලද යන කාරණයයි. පාර්ලිමේන්තුවේ කාර්යභාරය මූලික වශයෙන් කොටස් තුනකින් යුක්ත වන අතර ඒවා වන්නේ 1. රටට අවශ්‍ය ව්‍යවස්ථා හා පනත් ඇතුළත් නීති හැදීමේ කාර්යය. 2. රටේ ප්‍රගමනයට සම්බන්ධ ප්‍රතිපත්ති (වාර්ෂික මූල්‍ය ප්‍රතිපත්තිය වූ අයවැය වාර්තාව වැනි) සාකච්ජා කර සම්මත කර ගැනීම සහ 3. ජනතාවගේ බදු මුදල් හා ණය ගැනීම හරහා ක්‍රියාත්මක වන රටේ ජාතික මුදල් හා රාජ්‍ය යාන්ත්‍රණයේ ආයතනික ව්‍යුහ පිළිබඳව (කෝප් කමිටුව වැනි) විවිධ යාන්ත්‍රණ හරහා පසුවිපරම් කිරීමයි. මේ මූලික කටයුතු තුනට අමතරව ජනාධිපතිවරයා එතුමාගේ විධායක බලය ක්‍රියාත්මක කිරීමට පහසු වන පරිදි ගොඩනඟන කැබිනට් මණ්ඩලයට සම්බන්ධවීමට මේ අය අතරින් කොටසකට හැකියාව ලැබෙන අතර ඒ විධායකත්වයේ රැකියාව (ඇමැතිකම) කළ යුත්තේ තමන්ගේ ප්‍රධාන කාර්යය වන ව්‍යවස්ථාදයකත්වයේ ඉහතින් දැක්වූ වැඩ කටයුතු තුන සිදු කිරීමට යටත්ව බව මෙහිදී සඳහන් කළ යුතුම කාරණයකි. හොඳ ඇමැතිවරුන්වීමට උත්සාහ දරන තරමටම හොඳ ව්‍යවස්ථාදායකයන් වීමට උත්සාහ දැරීම අත්‍යවශ්‍ය බව මෙහි ඇති වැදගත්ම පණිවිඩයය.

දැන් අපේ රටේ පාර්ලිමේන්තුව පිළිබඳව මා මුලින් කී කාරණයට නැවතත් අවධානය යොමු කිරීම වැදගත්ය. ප්‍රජාතන්ත්‍රවාදය මේ රටට පැමිණියේ ප්‍රභූතන්ත්‍රවාදයට (වැඩවසම් ක්‍රමයට) එරෙහිව වූවාට ඒ අලුත් ප්‍රජාතන්ත්‍රවාදය 1948 අත්පත් කර ගත්තේ එක්තරා ආකාරයක ප්‍රභූතන්ත්‍රයේ කණ්ඩායමක් වීමත් 1978 පසුව සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ මේ ව්‍යාපෘතිය සල්ලිකාරයන් හා සෙල්ලක්කාරයන් අතට පත්වීමත් හේතුවෙන් මේ වන විට ගොඩනැගී ඇත්තේ මේ පාර්ලිමේතු ක්‍රමය ඒ තුළ සිටින හොඳ අයට පවා ආරක්ෂා කරගත නොහැකි අර්බුදජනක තත්ත්වයකට පත්වීමය. අලුත් තරුණ සමාජයේ බොහෝ අය මන්ත්‍රීවරුන් නොසලකා හරින ප්‍රවණතාවක් ගොඩනැඟී ඇත්තේ මේ තත්ත්වය නිසාය.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය යළි අත්පත් කරගැනීමේ පළල් උත්සාහය ගත හැක්කේ එළඹෙන මහ මැතිවරණයේ දී ප්‍රධාන පක්ෂ සියල්ලම මේ තත්වයට ගැළපෙන ආකාරයෙන් තම තමන්ගේ නියෝජිතයන් මැතිවරණය සඳහා ඉදිරිපත් කිරීමෙන් බව මගේ අදහසයි. මෙහිදී දැනට සිටින මන්ත්‍රීවරුන් අතරින් මේ තත්ත්වය තේරුම් ගත හැකි අය කළ යුත්තේ කලබලයට පත්වීම හෝ ලැයිස්තුවට වැටෙන්නට ඉඩ තිබෙන සියල්ලටම පහරදීමට යොමුවීම නොව පළල් ආකාරයෙන් මේ අභියෝගය තේරුම් ගනිමින් යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැඟීමට සම්මාදම්වීමය.
සරල අදහසින් අප පිළිගත යුත්තේ මන්ත්‍රීධුරය යනු කාගේවත් ‘පසුපස මිදුලක්’ ලෙසින් වෙන කාටවත් එන්නට නොදී රැක ගත යුතු දෙයක් නොව ජනතාවට අයිති දෙයක් බව රටේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් තේරුම් ගනිමින් සිටින බවය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්