බෙදී වෙන්ව යෑමේ අවදානමක් හමුවේ තිබෙන එක්සත් ජාතික පක්ෂයේ එකිනෙකා නුරුස්සන නායකයින්, ප්‍රධාන විපක්ෂය වුව ඉතාම දුර්වල මට්ටමක පවතින පක්ෂයෙහිම තවදුරටත් රැඳී සිටිනු වස් ඉතා අවධාරණාත්මක අයුරින් එකිනෙකා හා සාකච්ඡා කරමින් සිටින්නේ ය.

මේ අරබයා තවත් රැස්වීමක් හෙට (27) පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනට සිය තනතුර අතහැර නොයනු ඇති අතර, ඔහු දිගටම පක්ෂ නායකත්වය හොබවනු ඇත. සජිත් ප්‍රේමදාස මහතා ඉහළට ගෙන ඒමට තැත් කරන වික්‍රමසිංහ එදිරිවාදීන්ගේ කණ්ඩායමට තමා සැලකිය යුතු තරම් සහන සලසා දී තිබෙන බව පවසන ඔහු, ඒ අරබයා ප්‍රේමදාසට විපක්ෂ නායකත්වය ලබාදීමට කටයුතු කර තිබීම සහ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය පිරිනැමීමට තීරණය කර තිබීම යන කාරණා පෙන්වා දේ.

මේ පදනමේ සිට තවදුරටත් අදහස් දක්වන ඔහු පවසන්නේ 2024 දක්වා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කිරීම සඳහා තමාට වරම් තිබෙන බවය. ඒ සඳහා තමාට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් මෙන්ම පසුපෙළ සාමාජිකයන් කිහිප දෙනෙකුගේම සහය හිමි බව වික්‍රමසිංහ පවසයි. පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුකළ හැක්කේ පක්ෂ සම්මේලනයක දී පමණකි. නමුත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටින මලික් සමරවික්‍රම, අජිත් පෙරේරා, හරීන් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ප්‍රමුඛ කණ්ඩායම අවධාරණ කර සිටින්නේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුකිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බවය.

හිටපු අගමැතිවරයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ හිමිකම් කියන පාර්ලිමේන්තුවේ කාර්යාල සංකීර්ණයක පසුගිය සිකුරාදා මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණ. එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, නවීන් දිසානායක සහ සාගල රත්නායක යන මහත්වරු රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටියහ. ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටියෝ, එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම්, මලික් සමරවික්‍රම සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු වූහ. ඉඩකඩ මදවීම නිසා කාර්යාල සංකීර්ණයට පිවිසගත නොවූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශාල කණ්ඩායමක් සිටියේ සාකච්ඡාවට දැඩිව අවධානය යොමු කැරය.

පසුගිය බ්‍රහස්පතින්දා (16) එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත දී, වික්‍රමසිංහ පක්ෂ - විපක්ෂ දෙපාර්ශවයේ නායකයින් සමග පැවැත්වුණු ගැටුම්කාරී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් පසුව දෙපාර්ශවය නැවත වරක් හමුවුණු පළමු අවස්ථාව මෙය විය. එම රැස්වීමේ සිදුවූ දෑ පසුගිය සතියේ මෙම තීරුවෙන් සවිස්තරව විස්තර කැරිණ. එහි වැඩි අවධානයක් යොමු කැරුණු කරුණ වූයේ රැස්වීම කල් තැබූ බව වික්‍රමසිංහ නිල වශයෙන් නිවේදනය කර සිටිය ද එය ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් නැවත කැඳවීමට කටයුතු සිදුවීමය. මෙම සැසියේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකයා ලෙස ප්‍රේමදාස පත් කර ගැනීම සඳහා පක්ෂව ඡන්ද 52ක් පළවිය. විපක්ෂව එකදු හෝ ඡන්දයක් ලැබුණේ නැත. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට ලියාපදිංචි දේශපාලන පක්ෂයක් සෙවීමේ කටයුතුවල හිටපු රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න නියැළී සිටියේ ය. පෙර අවස්ථාවක ඔහු එක්සත් ජාතික පක්ෂ නව ව්‍යවස්ථාවක මූලික සැකැස්ම පවා කෙටුම්පත් කර තිබිණ. ප්‍රේමදාස හිතවාදියකු වන හරීන් ප්‍රනාන්දු මහතා ඡන්දය ප්‍රකාශ කැරෙන ආකාරය සිය ජංගම දුරකතනයෙන් පටිගත කළේ ය. එය ඔවුන් කණ්ඩායම, එක්සත් ජාතික පක්ෂ නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට දිගුවක් එකතු කළ බවට සාක්කියක් පිණිස විය.

එහෙත් මේ සියල්ල වෙනස්ව ඇති බවක් පෙනේ. කරුණු කාරණා කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂය අතහැර යාමට ප්‍රේමදාසට වුවමනාවක් නැත. ඇතැම් විට ඔහුට සිය පියා වන දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා සිහිවූවා වන්නට පිළිවන. 1987 වසරේ එවක ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් තැබීමට සූදානම් වෙමින් සිටි අවදියේ, එදවස විපක්ෂ නායිකාව ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විපක්ෂය හා එක්කර ගනු වස් ජේ.ආර්. ගේ දෙවැනියා, එනම් අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ප්‍රේමදාසව පොළඹවා ගැනීමට උත්සාහ කළා ය. ගිවිසුම අත්සන් තැබීමට විරුද්ධ පාර්ශවයට ඔහු ද එකතු කරගැනීම ඇයගේ වුවමනාව විය. නමුත් ප්‍රේමදාස එම පෙළඹවීම්වලට නතුවූයේ නැත. ගිවිසුමට අත්සන් තැබීමට තමා විරුද්ධ මුත්, එයට සහාය දක්වන බව ඔහු ජනපති ජයවර්ධනට පැවසුවේ ය. අවසන ඉන්දු-ලංකා ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කළේ ද ප්‍රේමදාස ය. ඊට වසර කිහිපයකට පෙර එක්සත් ජාතික පක්ෂ නායක ඩඞ්ලි සේනානායක මහතාට අභියෝග කළ ඔහු, මහජන පෙරමුණ පිහිටුවීම සඳහා පක්ෂයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් පවා සේනානායක වෙත යොමු කර තිබිණ. නමුත් එවක එක්සත් ජාතික පක්ෂ මහලේකම් ගාමිණී ජයසූරිය මහතා එම ලිපිය ඩඞ්ලි සේනානායක අතට පත් නොකර, ඔහු අතම තබා ගත්තේ ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගැටලුවකින් තොරව නැවත එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට ප්‍රේමදාසට අවස්ථාව සැලසිණ.

ඉදින්, පසුගියදා පැවැති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී උද්ගත වූ තත්ත්වය සැලකුවහොත් කීමට තිබෙන්නේ එය පක්ෂ නායකත්වයෙන් ඉවත්වන්නැයි වික්‍රමසිංහට එරෙහිව පීඩනය එල්ල කිරීමට ගත් උත්සාහයක් හැරෙන්නට ඊට ඔබ්බට යන යමක් නොවන බවය. දේශපාලනමය වශයෙන් යම් පමණක පහරකෑමකට ලක්ව සිටිය ද නින්දා හා අපහාසවලට පාත්‍රව සිටිය ද එක්සත් ජාතික පක්ෂ නායකයා සිය ස්ථාවරයේ නොසැලී සිටියේ ය. පසුගිය සතියේ ඔහු එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස සජිත් ප්‍රේමදාසව නිල වශයෙන් නම් කළේ ය. පක්ෂයේ නියෝජ්‍ය නායකයා වන ප්‍රේමදාස, නැවත වරක් එම තනතුරේ පිහිටුවීමේ කිසිදු වුවමනාවක් තිබුණේ නැත. එය සැබැවින්ම දැනට යාමට හැකියාව තිබෙන්නේ මෙපමණ දුරකට පමණක් යැයි ප්‍රේමදාසට ලබාදුන් පණිවුඩයක් විය. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයන් පත්කිරීම සඳහා නාම ලැයිස්තුවක් සම්පාදනය කිරීමේ කටයුතුවල වික්‍රමසිංහ මේ දිනවල කාර්යබහුලව සිටී. එම සාමාජිකයන් කවුරුන් ද යන්න හෙට දිනයේම නිවේදනය කෙරෙනු ඇතැයි අපේක්ෂිත වුව ද මණ්ඩලයේ මුලු සාමාජික සංඛ්‍යාව පිරැවීමට දැන්ම පියවර නොගැනෙනු ඇතැයි දැනගන්නට ඇත. මෙතැන දී ද සාමාජිකයන් නම් කිරීමේ සම්පූර්ණ බලය ඇත්තේ වික්‍රමසිංහට ය. නාමයෝජනා මණ්ඩලයේ සිටින ප්‍රේමදාස ඇතුළු අනෙක් සාමාජිකයන්ට උපරිමයෙන් හැක්කේ ඉදිරිපත් වන නාමයෝජනාවකට විරෝධය දැක්වීමට පමණකි. ඔවුන්ට ඔවුන්ගේ නාමයෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොමැත.

නව සූත්‍රය
උද්ගතව තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා පසුගිය සිකුරාදා පැවැති සාකච්ඡාවේ දී, නව සූත්‍රයක් ඉදිරිපත් විය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස වික්‍රමසිංහ දිගටම කටයුතු කරනු ඇති අතර, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරනු ඇත්තේ සජිත් ප්‍රේමදාස ය. සන්ධානය යටතේ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් තෝරාගැනීම සඳහා නාමයෝජනා මණ්ඩලයක් පිහිටැවෙනු ඇති අතර, එය ප්‍රේමදාස යටතේ ක්‍රියාත්මක වනු ඇත. එක්සත් ජාතික පක්ෂය සඳහා නව නායකයෙකු පත්කර ගැනීම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව සිදුකිරීමට නියමිතය. නව නායකයා පත්කර ගැනීම අලුතින් පත්වන පාර්ලිමේන්තු කණ්ඩායම සහ ඇතැම් විට නව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ද සහභාගීත්වය ඇතිව හෝ නැතිව සිදුවනු ඇත. තමා ප්‍රතිපත්තිමය වශයෙන් මෙම සූත්‍රයට එකඟ බව වික්‍රමසිංහ පැවසුවේ ය. එසේ වුවත්, ගැටලු කිහිපයක් පැන නැගිණ. වික්‍රමසිංහ හිතවතෙකු වන රවී කරුණානායක මහතා මෙයට දැඩිව විරෝධය දැක්වූයේ ය. ජනපතිවරණ ප්‍රතිඵලයෙන් පසුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සමග ජාතික රජයක් ගොඩනගා ගැනීමට ඔහු යෝජනා කළ ද එය පොදු ජන පෙරමුණේ නායකයෝ සිනාවෙන්ම බැහැර කළහ. ප්‍රේමදාස මත තැබිය හැකි විශ්වාසය විමසුමට ලක්කරමින්, කරුණානායක සිය ගැටලු ඉදිරිපත් කළේ ය. හෙට (27) වැනිදා තෙක් සාකච්ඡාව කල් දැමුණේ මෙම අවස්ථාවේ දීය. අලුත් අවුරුද්දෙන් පසු වහාම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට බොහෝදුරට ඉඩ තිබෙන බැවින්, මතුව තිබෙන ගැටලු විසඳාගැනීමට එක්සත් ජාතික පක්ෂය අත ඇති කාලය අතිශයින් සීමිතය.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස ලත් පරාජයන් හා පසුබෑම් කොතෙකුත් තිබුණත්, නායකත්වයේ තවදුරටත් රැඳී සිටිමින් වික්‍රමසිංහ ඒ අරබයා අනුගමනය කරමින් සිටින දැඩි ස්ථාවරය සාර්ථක ප්‍රතිඵල, ඇතැම් අවස්ථාවල අමතර වාසි සලසා දෙමින් ද අත්කර දීමට සමත්ව ඇත. අඩුම තරමින් දැනට වික්‍රමසිංහ ඔහුට වුවමනා පරිදි කටයුතු කරනු ඇත. පීඩනය එල්ල කිරීමෙන් පමණක් එක්සත් ජාතික පක්ෂ නායකත්වය තමා වෙත දිනාගැනීමට හැකිවනු ඇතැයි ප්‍රේමදාස විශ්වාස කළේ ය. පක්ෂයේ ජනපතිවරණ අපේක්ෂකත්වය දිනාගැනීම සඳහා ඔහු අනුගමනය කළේ ද එයයි. එයින් පක්ෂයට අත්විඳීමට සිදුවූ විපාක අතිශය බරපතළ විය. වික්‍රමසිංහ හමුවේ ප්‍රේමදාස විතැන් වන තවත් සාධකයක් වන්නේ තමන් ඉදිරියේ තිබෙන ගැටලු මනාව හසුරුවා ගත හැකි මූලෝපායක් සකස් කරගැනීම සඳහා අවැසි වන ගැඹුරු දේශපාලන සවිංඥානයක් ඔහුට නොමැති වීමය. ජනපතිවරණයට පෙර සහ පසු ඔහුගේ ක්‍රියාකලාපය අධ්‍යයනය කිරීමෙන් මෙම කාරණය මොනවට වටහාගත හැකිය.

කොටින්ම, කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ අද දින කැඳවා තිබෙන එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ රැස්වීමේ දී, ප්‍රේමදාස කුමක් පවසා සිටිනු ඇතිදැයි යන්න පැහැදිලි නැත. මෙම රැස්වීම මුලින් සංවිධානය කැරුණේ පුළුල් සන්ධානයක් ඇතිකර ගැනීමට ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායම එළැඹි තීරණය යටතේය. නමුත් එවැනි ව්‍යායාමයක් දැන් සොයාගන්නටවත් නැත.

පක්ෂයේ නියෝජ්‍ය නායකයා මේ රැස්වීම සංවිධානය කර තිබෙන්නේ පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලන නායකයන්ට ස්තූති කරන්න. මෙය සන්ධානය නියෝජනය කරමින් කෙරෙන දෙයක් බවයි දැනගන්නට තිබෙන්නේ. නාමයෝජනා සම්බන්ධයෙන් මේ දක්වා අපි තීරණයක් අරගෙන නැහැ. දැන් ඒකට කාලය නොවෙයි. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් පැවසුවේ ය. රැස්වීමට සහභාගිවීම සඳහා තමාට ආරාධනයක් ලැබී තිබෙනවාදැයි පවා ඔහු නොදැන සිටියේ ය.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය තමා වෙතම රඳවා තබා ගනිමින්ම, පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයට නායකත්වය දීම ප්‍රේමදාසට ලබාදීමට එකඟත්වය පළකිරීමෙන් වික්‍රමසිංහ සිය දෙවැනියාට විශාල වගකීමක් පවරා තිබේ. ඒ අනුව මැතිවරණය සඳහා පූර්ණ සහාය ලබාදෙන බව වික්‍රමසිංහ සහතික කර තිබෙන්නේ වුව ද, මැතිවරණ ව්‍යාපාරයේ සම්පූර්ණ වගකීම පැවරෙනු ඇත්තේ ප්‍රේමදාසට ය. මැතිවරණ කටයුතු සඳහා කාර්යමණ්ඩල සාමාජිකයන් තෝරාගැනීමේ සිට, මූලෝපායන් සකස් කිරීම දක්වා සියලුම කාර්යයන් ඉටුකිරීමට සිදුවනු ඇත්තේ ඔහුට බව යන්න එහි අදහසය. මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයට දැඩි නැඹුරුවක් පෙන්වන අරමුදල් තර කිරීම්, එක්සත් ජාතික පක්ෂයට කෙසේ නම් දිනාගත හැකිදැයි යන්න පිළිතුරු සොයාගත යුතුවම තිබෙන වැදගත් පැනයකි. ජනපතිවරණය සඳහා අරමුදල් රැස්කිරීමේ දී, නොයෙක් ගැටලු පැනනැගිණ. ප්‍රේමදාසගේ සමීපතම හිතවතුන් බොහෝ දෙනෙක් දැන් නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ නායකත්වයයි. පසුගිය නොවැම්බර්යේ පැවැති මැතිවරණයේ දී, ඔවුන් සියලුදෙනාම පාහේ නියෝජනය කළ ආසනවලින් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්විය.

විපක්ෂ නායක ධුරය ලබාදීමට වික්‍රමසිංහ කටයුතු කිරීම හමුවේ දේශපාලනයේ නව හිනිපෙත්තට නැගීමේ අවස්ථාව ප්‍රේමදාසට හිමිව තිබේ. පසුගිය සිකුරාදා ඔහු ප්‍රථම වතාවට ව්‍යවස්ථා කවුන්සිලයේ රැස්වීමට සහභාගි විය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස යසන්ත කෝදාගොඩ මහතා පත්කිරීමටත්, අභියාචනාධිකරණයේ ප්‍රධානියා ලෙස ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා පත්කිරීමටත්, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබූ නිර්දේශයන්ට එහිදී අනුමැතිය හිමිවිය. කෝදාගොඩගේ නාම යෝජනා කර තිබුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාය.

විනිසුරුවරයෙකු අත්අඩංගුවට ගැනීමට ගැනුණු උත්සාහය
ව්‍යවස්ථා කවුන්සිලයේ සැලකිය යුතු කාලයක් සාකච්ඡාවට බඳුන් වූ කාරණයක් වූයේ වෘත්තියෙන් රංගන ශිල්පියෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පටිගත කර තිබූ හඬපට ප්‍රසිද්ධියට පත්වීමත් සමග අත්විඳීමට සිදුව තිබෙන අනිටු ප්‍රතිවිපාකයන් ය. මේ අරබයා එක් සංවේදී කාරණයකට - එනම් මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට කර තිබෙන නියෝගයට වැඩි අවධානයක් යොමු විය. නීතිපතිවරයා එවැනි නියෝගයක් නිකුත් කර තිබුණේ රාමනායක සමග යෙදී තිබෙන දුරකතන සංවාදයක් සම්බන්ධයෙන් විනිසුරු පිලපිටියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගත් පසුවය.

විනිසුරු පිලපිටිය අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා උපදෙස් දී තිබෙන බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශිකාව පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය. මේ ඇසූ රජයේ ඉහළම තලයේ නායකයන් පැහැදිලි ලෙසම නොසන්සුන් වූහ. එම එක් නායකයෝ අදහස් දක්වමින්, මෙවැනි ක්‍රියාවලින් අධිකරණය රජයට එරෙහිව නැගී සිටිය හැකි බවත්, එය දම්වැලක පුරුක් මෙන් එකිනෙක බැඳෙන සිදුවීම් දාමයක ආරම්භය විය හැකි බවත් පැවසුවේ ය. විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූලදැයි යන්න නිලධාරි මණ්ඩලයක අවධානයට යොමුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලැබිණ. එය නීතිපතිවරයා නිකුත් කළ නියෝගය දෙවැනි තැනට දැමීමක් බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. රජයේ ප්‍රධාන නීති බලධාරියා වන නීතිපතිවරයා නිකුත් කළ නියෝගයක්, නිලධාරීන් කණ්ඩායමක් යටතේ නැවත විමසුමට ලක්කිරීම සඳහා යොමුකිරීම, එයට ඌණ පූරණයකි.

අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ජනවාරි 15 වැනිදා නිකුත් කළ නිවේදනයක් නැවත නිකුත් කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය මාධ්‍ය අංශයට උපදෙස් දුන්නේ ය. එහි සඳහන් වූයේ මෙවැන්නකි.

පවත්නා නීතිවලට අනුකූලව රාජකාරි කටයුතුවල නියැලෙන විට නොබියව කටයුතු කරන්නැයි ජනපතිවරයා පොලිස් නිලධාරීන්ට උපදෙස් දේ. නීතිය රක්ෂා කිරීමේ නියුතු නිලධාරීන් ඔවුන්ගේ රාජකාරි කිසිදු බියකින් හෝ පක්ෂපාතීත්වයකින් තොරව ඉටුකළ යුතු බවත්, නමුත් එම කටයුතු පැහැදිලි ලෙසම පවත්නා නීතියට අනුකූල විය යුතු බවත් ජනපති ගෝඨභය රාජපක්ෂ පැවසුවේ ය.

අත්අඩංගුවට ගැනීම් සිදුවිය යුත්තේ එසේ අත්අඩංගුවට ගැනීමක් සිදුකළ යුතුම අවස්ථාවක සහ පැහැදිලි ලෙසම පවත්නා නීතියට අනුකූලව බව ජනපතිවරයා පැවසුවේ ය. අත්අඩංගුවට ගැනීමක් යනු දඬුවමකට අදාළ වන්නක් නොවන හෙයින් ද, එවැනි ක්‍රියාවක් සිවිල් වැසියන්ගේ විමුක්තියට සහ ඔවුන්ගේ වෙනත් වැදගත් අපේක්ෂාවන්ට ඍජු පහරක්, ගරුත්වය සහ සමාජයේ හිමි ස්ථානය අහිමිවීමට හේතු විය හැකි වන හෙයින් ද අත්‍යාවශ්‍යම අවස්ථාවක සහ පවත්නා නීතියට පැහැදිලි ලෙසම අනුගත වන බව සහතික කරගැනීමෙන් පසුව පමණක් අත්අඩංගුවට ගැනීමක් සිදුකරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ වැඩබලන පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට උපදෙස් දුන්නේ ය.

සම්පූර්ණයෙන්ම වෘත්තිමය මට්ටමින් ගැනෙන තීන්දුවක් මත පමණක් අත්අඩංගුවට ගැනීමක් සිදුකිරීම අවශ්‍ය බව සහතික කරගන්නැයි ජනපතිවරයා පොලිසියට වැඩිදුරටත් උපදෙස් දේ. අත්අඩංගුවට ගැනීමක් සිදුකිරීමේ දී, ජනතා නියෝජිතයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, වෛද්‍යවරුන් වැනි වෘත්තිකයන්ට, වැනි පුද්ගලයින්ට ඔවුන්ට හිමි නිසි ගෞරවය ලබාදිය යුතු බව ජනපතිවරයා පවසයි. එම සමානත්වයම ශ්‍රී ලංකාවේ අනෙක් සියලු පුරවැසියන්ටත් ලබාදිය යුතු බවට පොලිසියට උපදෙස් දුන් ජනපතිවරයා, කිසිදු ආකාරයක වෙන්කර සැලකීමකින් තොරව කටයුතු කරන ලෙසත්, වෙනත් වුවමනාවන්ට හෝ වෙනත් නුවුමනා බලපෑමකට යටත්ව කටයුතු නොකරන ලෙසත් වැඩිදුරටත් පවසයි.

නීතිපතිවරයාගේ නියෝගයට එරෙහිව අලුත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී, නීතිඥවරු විරෝධතාවක් පැවැත්වූහ. විරෝධතා වැකි සඳහන් පුවරු ඔසවාගෙන සිටි ඔවුහු නීතිපතිවරයා අධිකරණ කටයුතුවලට අතපෙවීම් සිදුකරන බවට චෝදනා කළහ. රජයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෝ ද, නීතිපතිවරයාට එරෙහිව අදහස් දැක්වූහ.

අතුරුදන්ව සිටින පුද්ගලයන්
රංජන් රාමනායකගේ හඬපට සමග රජය සිටින්නේ මෙරට අධිකරණ කටයුතු අරබයා නැගී තිබෙන ප්‍රශ්නාර්ථයක් හමුවේය. අනෙක් අතට, ඇතැම් අනාවරණයන්ගෙන් මෙරට අධිකරණයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුවලට යම් පදනමක් හිමිව තිබේ. ඇමරිකාවේ අනුග්‍රහය යටතේ, ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවට ඉදිරිපත් කර තිබෙන යෝජනාවලියේ අන්තර්ගත ප්‍රධාන කාරණය වන්නේ ද, මෙයයි. යෝජනාවලිය එළැඹෙන මාර්තු මාසයේ දී, නැවත වරක් ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ විවාදයට ගැනීමට නියමිතය. මෙම යෝජනාවලියෙන් (ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දක්වා තිබෙන) විදෙස් විනිසුරුවරුන් මෙරට අධිකරණ කටයුතුවලට සම්බන්ධ කරගත යුතු බවට නිර්දේශ කර ඇත. තවත් අතකින්, වෙනත් ප්‍රකාශයක් නිකුත් කළ ජනපති ලේකම් කාර්යාලය, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජනපතිවරයා කර තිබෙන ප්‍රකාශයක් වරදවා තේරුම්ගෙන තිබෙන බවක් නිවේදනය කළේ ය. ඔවුන් මෙම නිවේදනය නිකුත් කළේ ජනපති ගෝඨාභය රාජපක්ෂ හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ ප්‍රධානී හැනා සිංගර් සමග පැවැත්වූ හමුවකින් පසුවය.

ජනවාරි මස 21 වැනිදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ සිරස්තලයේ සඳහන්ව තිබුණේ මෙවැන්නකි.

මියගිය අය නැවත ගෙන්වන්නට මට බැහැ - යුද සමයේ අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු ශ්‍රී ලංකා නායකයා නවත්වයි.
මෙම වාර්තාව ලියා තිබුණේ මාරියා අල්-හබීබ් සහ දරීශා බැස්ටියන්ස් දෙපළ ය. ජනපති ගෝඨාභයගේ ප්‍රකාශය දැඩිව විවේචනය කර තිබූ එහි සඳහන්ව තිබුණේ මෙවැන්නකි.

“ශ්‍රී ලංකාවේ ඉතාම දීර්ඝ, අමානුෂික සිවිල් යුද්ධයේ දී අතුරුදන් වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන් දහස් ගණනක් ඔවුන්ගේ එම ආදරණීයයන්ට අත්වූ ඉරණම ගැන වදනක් හෝ දැනගැනීමේ වුවමනාවෙන් දල්වාගෙන තිබූ අපේක්ෂා, රටේ නව ජනපතිවරයා අකරුණාවන්තව කළ එක් ප්‍රකාශයකින් බිඳ දමා තිබේ.”

“අතුරුදන්වූවන් ඇත්තටම මරණයට පත්වෙලා ජනපති ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ ය. මට මරණයට පත්වූ අය ආපසු ගෙන්වන්නට බැහැ. රටේ ඉතිහාසයේ ඉතාම වේදනාබර පරිච්ඡේදයක් වසා දැමීමේ නොතිත් වුවමනාවකින් පසුවන රජය, ගණනින් 24,000ක් පමණ වන අතුරුදන්ව ඇතැයි වාර්තා වන ශ්‍රී ලංකා පුරවැසියන් වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීමට සැලසුම් කර ඇත. නමුත් 2009 වසරේ අවසානය දුටු, වසර 26ක් පුරා දිවූ සිවිල් යුද්ධයේ දී, අතුරුදන් වූ ඥාතීන් සිටින පවුල්වල අයවලුන් සියලුදෙනා ඒ අනුව කටයුතු කිරීමට සූදානම්ව නොසිටියහ. අතුරුදන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් පැවැති විමර්ශන දැන් වසා දමා ඇත. එවැනි තත්ත්වයක තමන් වසර ගණනාවක් තිස්සේ ජීවතුන් අතර ඇතැයි විශ්වාසයෙන්, තම ආදරණීයයන් සොයා කළ සෙවීම් සියල්ල ගඟට කැපූ ඉනි මෙන්ම ඇතැයි යන්න, අතුරුදන් වූ සාමාජිකයන් සිටින ඇතැම් පවුල් තරයේම බැහැර කළේ ය.”

“අවුරුදු 21ක්ම ගෙවිලා වුණත්, මගේ පුතා ජීවතුන් අතර නැති බව මම තවමත් විශ්වාස කරන්නේ නැහැ, රජය සහ දෙමළ කොටි බෙදුම්වාදීන් අතර ගැටුම් ඉතාම දැඩිව ඇවිළෙමින් පැවැති සමයක සිය පුතණුවන් අතුරුදන් වුණු විශාඛා ධර්මධාන පවසන්නී ය.“

“මම මෘත ශරීරයක් දුටුවේ නැහැ. මම ඔහු එනකම් තවමත් බලාගෙන සිටිනවා.”

“සිවිල් යුද්ධයේ වණ කැළැල් ශ්‍රී ලංකාවෙන් තවමත් මැකී ගොස් නොමැත. සිදුවූ විනාශය අතීතයට උරුම කර ඉදිරියට යෑමට රට උත්සාහ කළත්, යුද සමයෙන් පසුව ඇතිව තිබෙන සංචාරක පුනරුදය හමුවේ රටේ ඉහළ පන්තියේ හෝටල ඉදිකිරීමට, වෙළඳ සංකීර්ණ ඉදිකිරීමට පොළව කණින අවස්ථාවල සමූහ මිනී වළවල් සහ ගිනිඅවි ගබඩා මතුවීම අමුතු දෙයක් නොවේ.”

“දැන් පෙනෙන්නට තිබෙන්නේ ජනපති රාජපක්ෂ යුද සමයේ අවසාන පරිච්ඡේදය ද වසා දමා රටට නව යුගයක් උදා කිරීමේ වුවමනාවකින් සිටින බවකි. එය නම් අතුරුදන් වූවන් ලිපි ගොනුවකට සීමා කිරීමය...”

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත එහි නමින් සඳහන් නොකළ ද, ජනපති ලේකම් කාර්යාලය මේ හමුවේ නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන් විය.

අතුරුදන්ව ඇතැයි සඳහන් වන පුද්ගලයින් 20,000ක් පමණ සත්‍ය වශයෙන්ම මරණයට පත්ව ඇති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසී යැයි ඇතැම් අන්තර්ජාතික මාධ්‍ය ආයතන වාර්තා කර තිබේ. කෙසේ වුවත් මෙම වාර්තාවල අතුරුදන් වූවන් වෙනුවෙන් මරණ සහතිකයක් නිකුත් කිරීම සිදුවනු ඇත්තේ අදාළ සියලු විමර්ශන කටයුතු අවසන් කැරුණු පසුව යන ඉතාම වැදගත් කාරණය වුවමනාවෙන්ම හෝ වරදක් නිසා හෝ ඉවත්කර තිබෙන බව පෙනෙන්නට ඇත. තවද, ජනපති රාජපක්ෂ හෝ සිංගර් මෙනෙවිය කිසිදු අවස්ථාවක ප්‍රමාණය ගැන සංඛ්‍යාත්මක සඳහනක් කළේ නැත. මෙම කාරණය සම්බන්ධයෙන් දීර්ඝ අයුරින් සාකච්ඡාවක් සිදුකැරුණේ නැත.

ඉතාම කනගාටුදායක ලෙස මෙම පුවත් වාර්තාවල ජනපති ගෝඨාභය පැවසූ යැයි කියන ප්‍රකාශයක් උපුටා දක්වා තිබෙන අතර, එයින් ඔවුන් පවසන්නේ 20,000ක් පමණ වන අතුරුදන්ව සිටින පුද්ගලයින් මරණයට පත්ව ඇතැයි ජනපතිවරයා පිළිගෙන ඇති බවයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ කිසිදු අවස්ථාවක එවැනි කරුණක් නොපිළිගත් බවත්, අතුරුදන් වූ හෝ මරණයට පත්ව තිබෙන හෝ පුද්ගලයින් ප්‍රමාණය සම්බන්ධයෙන් ඔහු කිසිදු සංඛ්‍යාත්මක සඳහනක් නොකළ බවත් සඳහන් කළ යුතු ය.

ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ සිංගර් මෙනෙවිය අතර පැවැති සාකච්ඡාව ඉතාම සාමාන්‍ය, සුහද මට්ටමින් පැවැති සාකච්ඡාවක් වූ අතර, එහිදී මාතෘකා ගණනාවක් මුල්කර ගනිමින් දෙදෙන අදහස් හුවමාරු කර ගත්හ. දෙපාර්ශවයේම අන්‍යොන්‍ය වුවමනාවන් පවතින ක්ෂේත්‍ර සම්බන්ධයෙන් නව පරිපාලනයට එක්සත් ජාතීන් හට සහයෝගය දැක්විය හැක්කේ කෙසේදැයි යන්න සොයා බැලීම යන මාතෘකාවට ඔවුන්ගේ අවධානය යොමු විය. පැයක පමණ කාලයක් පැවැති සාකච්ඡාවේ දී, ජනපති රාජපක්ෂ දුගී බව තුරන් කිරීමට, අධ්‍යාපනයට පවතින අවස්ථා පුළුල් කිරීමට, කාලගුණ විපර්යාසයන්ට ප්‍රතිචාර දැක්වීමට සහ රජයේ දෙපාර්තමේන්තු ඩිජිටලීකරණය කිරීමට ඔහුට තිබෙන සැලසුම් ගෙනහැර දැක්වූයේ ය.

අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වන ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා වූයේ සිංගර් මෙනෙවිය යොමු කළ පැනයකට දුන් පිළිතුරක් ලෙසය. ශ්‍රී ලංකාවේ සාමය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නව පරිපාලනයට පවතින ප්‍රමුඛතා මොනවාදැයි ඇය විමසුවා ය. එයට පිළිතුරු දුන් ජනපතිවරයා, රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට, අදාළ ප්‍රදේශවලින් ජනතාව පොලිසියට අනුයුක්ත කරගැනීමට සහ අතුරුදන්ව සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් පවතින ගැටලුවට ප්‍රතිචාර දැක්වීමට ඔහුට තිබෙන සැලසුම් ගෙන හැර දැක්වූයේ ය.

මෘත ශරීර හමුව නොමැති නිසා අතුරුදන් වූවන්ට අත්වන්නට ඇති ඉරණම සම්බන්ධයෙන් කිසිවක් ඔවුන්ගේ පවුල්වල අය නොදන්නා බව ජනපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. කෙසේ වුවත් මෙම බොහෝ පවුල්, ඔවුන්ගේ අතුරුදන්ව සිටින සාමාජිකයන් බලහත්කාරයෙන් හෝ කුමන්ත්‍රණකාරී ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානයට බඳවාගෙන තිබෙන බව පිළිගෙන තිබේ. මේ නිසා අවශ්‍ය විමර්ශන කටයුතු අවසන් වූ පසුව, එම පුද්ගලයින් සඳහා මරණ සහතික නිකුත් කිරීමටත්, නැවත ජීවිතය ගොඩනගා ගැනීමට එම පවුල්වලට අවශ්‍ය සහාය ලබාදීමටත්, පියවර ගැනෙනු ඇත.

ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයන්ට පෙර පීඩනයක් ගොඩනැගීමට සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ යනු කළු චරිතයක් බව පෙන්වනු වස් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කිරීමට, දැනටමත් කටයුතු කැරෙමින් පවතින බව පැහැදිලිය.

මෙවන් කතිකාවතක් ඇතිව තිබෙන්නේ පැහැදිලි ලෙසම රැකියා වුවමනාවක් පවතින පුද්ගලයින් හට රැකියා 100,000ක් ලබාදීම සඳහා වන විශේෂ වැඩසටහනක් රජය හඳන්වාදීමට නියමිත බවට වාර්තා පළව තිබෙන අවස්ථාවක දීය. බහුකාර්ය සංවර්ධන කාර්යසාධන බළකායේ ප්‍රධානියා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්දා මල්ලවආරච්චි මහතා පත්කිරීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ නිර්දේශයකට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. මෙම රැකියා ලබාදීම සඳහා පුද්ගලයින් තෝරාගැනීමේ ක්‍රියාවලියට ඇතුළත් කරගත යුත්තේ ඉතාම දිළිඳු පවුල්වල අයවලුන් පමණක්ම බවට ජනපතිවරයා පසුගිය සතියේ උපදෙස් දුන්නේ ය. තෝරා ගැනීමේ ක්‍රියාවලියට කිසිවෙකුටවත් අතපෙවීමට ඉඩ නොදිය යුතු බවට ඔහු වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

රාමනායකගේ හඬපට සහ ඒවා ප්‍රසිද්ධියට පත්වීම හමුවේ වාර්තා වුණු සිදුවීම්, රටේ අනෙක් කාරණා පරදාගෙන ඉදිරියට පැමිණ තිබෙන බවක් පසුගිය සතිය දෙස බැලීමෙන් පෙනේ. විමර්ශන පැවැත්විය යුතුව තිබෙන කරුණු කාරණා සම්බන්ධව අදාළ පරිදි කටයුතු කිරීමට රජය පියවර ගත යුතුය. පහර ගැනීමකට ලක්වුණු බවට කතාවක් ගෙතූ ස්විස් තානාපති කාර්යාල නිලධාරිනී ග්‍රානියර් බැනිස්ටර් සම්බන්ධයෙන් රජය කටයුතු කළේ එලෙසය. එම සිදුවීම අරබයා පිටස්තර පාර්ශවයන්ගෙන් දුරකතන ඇමතුම් කිහිපයක්ම ලැබී තිබෙන බව මේ වන විට අනාවරණයව තිබේ. තවත් එවැනි කාරණා අනාවරණය වනු ඇති බව සහතිකය. ඒවා හමුවේ රජයේ ස්ථාවරය තවදුරටත් ශක්තිමත් වනු ඇති අතරම, පැහැරගැනීමක් සිදුව තිබෙන බවට නැගුණු එම චෝදනාවේ දී රජය නිසි පරිදි කටයුතු කර තිබෙන බව ද තවදුරටත් තහවුරු වනු ඇත.

2020-01-26 දින සන්ඩේ ටයිම්ස් පුවත්පතේ
පළවූ ලිපිය පරිවර්තනය කළේ

කෝවිද ගූණසේකර