කොරෝනා වසංගතය නිසා අසරණ වී සිටින විදෙස්ගත අපේ ජනයා මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය ජාවාරම්කාර මාෆියාවකට හසුවී තිබෙන බවත් එය ජනාධිපතිතුමාගේ අපේක්ෂාව නොවන බවත්, රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු පුවත් සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළේය. නිරෝධායන හෝටල්කරුවන්ගේ දූෂිත ක්‍රියාවලිය නිසා නිරෝධායනය ජාවාරමක් වී ඇති බවත්, ඒ හේතුවෙන් විදෙස්ගත ශ්‍රමිකයන් අන්ත අසරණ භාවයට පත්වන බවත්  ඒ තත්ත්වය නිසා ආණ්ඩුව අප්‍රසාදයට පත්වන බවත් ඇමති නාමල් රාජපක්ෂ ද පසු ගිය දිනක ප්‍රකාශ කළේ ය. ඒ දෙදෙනාගේ ප්‍රකාශ මෙවර කිවිදා දැක්මට මා ලියන ලිපියට පදනම් වූ ආසන්න හේතුව මිස එකම හෝ අවසාන හේතුව නොවේය. කොරෝනා ජාවාරම් පිළිබඳ විපක්ෂයේ පුද්ගලයන් නගන චෝදනාවලට වඩා ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙක් සහ කැබිනට් ඇමතිවරයකු නගන මේ චෝදනාව සහ මැසිවිල්ල බලවත් ය. තීරණාත්මකය. නොසලකා හැරිය නොහැකිය.

“වන ගහනයේ නෑඹුල් තැන් මිනිසාගේ ගඳින් ඉහවහ ගිය කල්හි ඇතිවන තත්ත්වය කුමක්ද? හුදෙක් පණ නල රැකගැනීම පමණක් ඉතිරිව ඇත්තේය” යනු, සොබාදහම ස්වකීය ආත්මය කරගත් රතු ඉන්දියානු නායක සියැටල්ගේ ප්‍රකාශයක් ය. දැන් සිදුවන්නේ මේ හා සමාන දෙයකි. එනම් මානව සමාජයේ සකලවිධ නෑඹුල් තැන්, දඩාවතේ යාමට බාධාවක් සීමාවක් නැති, වෙළෙන්දන්ගේ වෙළෙඳපොළ ගඳින් ඉහවහ ගොස් ඇත. පොදු ජනයා පණ නල රැකගැනීම ට දරන වෙහෙසත් වෙළෙඳපොළ මාෆියාවේ ගොදුරක් බවට පත් වී ඇත. මේ තත්ත්වය රාජ්‍යය විසින් ජනතාවාදීව වෙළෙඳපොළ නියාමනය නොකරණ අපවැනි බොහෝ රටවල සාමාන්‍ය ජනයා මුහුණ දෙන බිහිසුණු ඛේදවාචකයක් ය. මා මිත්‍ර, “කිවි දා දැක්ම” ලියුම්කරු වන, පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් නිතර නිතර ප්‍රකාශ කරන “වෙළෙඳපොළ ජයග්‍රහණ” යනු, පොදු ජනයාට මෙවැනි අසරණකමක් අත්පත් කරදෙන ක්‍රියාවලියක් හරහා ලබා ගන්නක් විය යුතු ය. ඔහු ගේ මතය වූයේ වෙළෙඳපොළ ජයග්‍රහණ අගය කළයුතු බව ය. මා දිගටම ලියූ දෑ සහ කියූ දෑ ඔහුගේ ඒ මතයට විරුද්ධ ය.

මානව සමාජයේ සියල්ල වෙළෙඳපොළ තර්කනය විසින් හසුරුවනු ලැබීමට විරුද්ධ වීම යනු වෙළෙඳපොළ ට එරෙහි වීමක් නොවේ ය. මා පසු බසින්නේ වෙළෙඳපොළ සියල්ල තීරණය කරන වෙළෙඳ සමාජ-ආර්ථික ක්‍රමයකට නොව, සමාජ-සාමුහිකත්වය මත පදනම්ව පොදුජන යහපත මුල් තන්හි ලා කටයුතු කරන සමාජ-වෙළෙඳපොළ ක්‍රමයකට ය. නග්න වෙළඳ සමාජ ක්‍රමයකට වඩා, සමාජ-වෙළෙඳ ක්‍රමයක් අනුමත කිරීමට අපට සිදුවන්නේ මුළුමනින්ම වෙළඳපොළ ප්‍රතික්ෂේප කිරීම මේ මොහොතේ ක්ෂණිකව කළ හැකි හෝ කළ යුතු දෙයක් නොවන නිසා ය. යම් රටක  රාජ්‍යයට වඩා වෙළෙඳපොළ බලවත්වන්නේද එවැනි තැනක සමාජ සුබසාධනය බරපතළ අර්බුදයකට සහ ඛේදවාචකයකට ලක් වීම අනිවාර්යය. රාජ්‍යයට වඩා වෙළෙඳපොළ බලවත් වූ සමාජයක ස්වරූපය වන්නේ රටේ සෑම ප්‍රතිපත්තියක් ම වෙළඳපොළ තර්කනය විසින් මෙහෙවනු ලැබීමය.

 එවැනි සමාජයක පොදු ජනයාට අත්වන ඛේදජනක ඉරණමින් ඔවුන් බේරා ගැනීම වෙනුවෙන් රාජ්‍යයට කළ හැකි දෙයක් නැතුවා නොව, රාජ්‍ය යාන්ත්‍රණයම වෙළෙන්දන් සහ වෙළෙඳ තර්කනය විසින් හසුරුවනු ලැබීම නිසා එසේ කිරීමට වුවමනාවක් ඇතිවන්නේ නැත. මේ තත්ත්වය වඩාත් භයානක වන්නේ වෙළඳාම, දේශපාලනය සහ පරිපාලනය ඒකාබද්ධ වූ විට ය. එය ප්‍රශස්ත වූ වෙළෙඳාමක් හෝ දේශපාලනයක් හෝ පරිපාලනයක් හෝ නොව ජාවාරමකි. ලෝකයේ බොහෝ රටවල් අද ගොදුරු වී ඇත්තේ ඒ ජාවාරමටය. එය මා කලක සිට හඳුන්වන්නේ සහචර ධනවාදය ලෙසිනි. ඇමති නාමල් රාජපක්ෂ සහ රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු වෙනත් වචනවලින්, එනම් නිලධාරීන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ මාෆියාවක් ගැන කියන කතාවෙන් පැහැදිලි කරන්නේ මේ සහචර ධනවාදයේ ස්වරූපය ගැනය. එනම් එහි ස්වරූපය තේරුම් ගැනීම සඳහා වන සජීවී උදාහරණ ගැනය.

ජනසමාජයට බලපාන ඕනෑම ව්‍යසනයක් ස්වකීය ලාභ රේට්ටු වැඩිකරගැනීමේ වෙළෙඳපොළක් බවට පත් කර ගැනීමේ  හැකියාව සහචර ධනවාදය සතුව පවතී. එය තේරුම් ගැනීම සඳහා කොරෝනා වසංගතය ජාවාරම්කාර වෙළෙඳපොළක් වී ඇති ආකාරය කෙරෙහි අවධානය යොමු කරන්න. හෑන්ඩ් සනිටයිසර් කුඩා කුප්පියක මිළ ගැන හිතීමෙන් පටන් ගන්න. ඉන් පසු ෆෙස් මාස්ක්, පීසීආර් පරීක්ෂණ, ඔන්ලයින් අධ්‍යාපනය, නිරෝධායන හෝටල්, එන්නත් දක්වා සිතා බලන්න. ඒවා ගැන හිතනවිට, ජයග්‍රහණය කර ඇත්තේ වෙළෙඳපොළ පමණක් මිස පොදු ජනතාව නොවන බව ඔබට වැටහෙනු ඇත.

මෙවැනි සන්දර්භයක ජනතාවගේ විරෝධතා ක්‍රියාමාර්ග හුදු ආණ්ඩුවකට එරෙහිව පමණක් මෙහෙයවීම සහ දියත් කිරීම වනාහි අපරිණත දේශපාලනයකි. සැබෑ විරෝධතා ඉදිරිපත් විය යුත්තේ ආණ්ඩුත් යට කරගෙන හෝ අල්ලා ගෙන සිටින වෙළෙන්දන්ට සහ ඔවුන්ගේ වෙළෙඳපොළ ජාවාරමට එරෙහිව ය. වෙළෙඳපොළ අණසක බලවත් වූ සමාජයක ආණ්ඩු යනු ඒ වෙළඳපොලේ ම කොටසක් විනා පොදුජන සමාජයේ මිතුරෙක් නම් නොවේය. මැතිවරණයක දී පාලක බල හවුල් වලින් අප ඇසිය යුතු වැදගත් ම කාරණය වන්නේ ඔබලා මේ දුෂ්ඨ ජාවාරම්කාර සහ බාල වෙළඳපොළ, ජනයාගේ පැත්තේ සිට ගනිමින් නියාමනය කරනවාද යන්නය. ඊට දෙන විශ්වාසදායී පිළිතුර මත දේශපාලන තීරණ ගැනීම ජනයාගේ වගකීමක් ය.

ලෝකයේ මහා ආර්ථික විද්‍යාඥයන් සහ විශ්ලේෂකයන් මේ දිනවල වෙහෙස නොබලා  දිවා රෑ  දෙකේ ම තම මනස මෙහෙයවන්නේ කොරෝනා නිසා වැටුණු වෙළඳපොළ ගොඩ ගන්නට සහ වසංගතය විසින් විවරකොට ඇති නව වෙළඳපොළ අවස්ථා හඳුනා ගැනීමටය. එසේ නොමැතිව, බිඳ වැටී ඇති අසරණ වී ඇති ජන-ජීවිතය ගොඩනැගීමට හෝ ඔවුනට පිළිසරණ සෙවීමට නම් නොවේය. එය තේරුම් ගැනීම සඳහා ලංකාවේ ග්‍රාමීය ජනයාගේ දරිද්‍රතාව, තමන්ගේ ලාභ රේට්ටු උපරිම කර ගැනීම් සඳහා වූ ණය වෙළෙඳපොළක් බවට පත්කර ගන්නා, ක්‍ෂුද්‍ර මුල්‍ය සමාගම්වල, ඇතැම් බැංකුවල සහ මූල්‍ය ආයතනවල ජාවාරම්කාර ක්‍රියාවලිය සිහියට නගා ගන්න.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එකාබද්ධව  නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වන හෙළිදරව් කිරීම් ගැන අවධානය යොමු කරමු. කොරෝනා වසංගතය, ලොවපුරා මිනිස් ජීවිත විශාල වශයෙන් අහිමිවීමට හේතුවී ඇති අතර මහජන සෞඛ්‍ය, ආහාර පද්ධති සහ සේවා ලෝකය පෙර නොවූවිරූ ආකාරයෙන් අභියෝගයට ලක් වී ඇත. වසංගතය නිසා ඇතිවන ආර්ථික හා සමාජීය බිඳ වැටීම් ව්‍යසනකාරීය. මිලියන ගණනින් ජනයා අන්ත දරිද්‍රතාවට ඇදවැටීමේ අවදානමකට ලක්ව සිටින අතර, දැනට මිලියන 690 කට ආසන්න යැයි ඇස්තමේන්තු කර ඇති මන්දපෝෂණයෙන් පෙළෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වසර තුළ දී තවත් මිලියන 132 කින් ඉහළ යාහැකිය. එනම් එම සංඛ්‍යාව මිලියන 822ක් වනු ඇත.

ව්‍යවසායන් මිලියන ගණනක් පැවැත්මේ තර්ජනයකට මුහුණදෙයි. ලෝකයේ බිලියන 3.3 ක ගෝලීය ශ්‍රම බලකායෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ගේ ජීවනෝපාය අහිමිවීමේ අවදානමට ලක්ව සිටිති. අවිධිමත් ආර්ථික සේවකයන් විශේෂයෙන් අවදානමට ලක්ව ඇත්තේ බහුතරයකට සමාජ ආරක්ෂණ හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් නොමැති නිසා සහ ඵලදායී වත්කම් සඳහා ප්‍රවේශ අහිමිවී ඇති බැවිනි. අගුලු‍දැමීම් නිසා ආදායමක් උපයාගැනීමට ක්‍රමයක් නොමැතිව බොහෝ දෙනකුට තමන් සහ ඔවුන්ගේ පවුල් පෝෂණය කිරීමට නොහැකිවීම තව තවත් වැඩි වේ.

වසංගතය සමස්ත ආහාර පද්ධතියට බලපා ඇති අතර එය අස්ථාවර කොට ඇත. දේශසීමා වැසීම, වෙළෙඳ සීමාවන් සහ හුදකලා කිරීමේ පියවර මඟින් ගොවීන්ට යෙදවුම් මිලදී ගැනීම සහ ඔවුන්ගේ නිෂ්පාදන විකිණීම, කෘෂිකාර්මික කම්කරුවන්ට අස්වැන්න නෙළීම වැළකී ඇත. ඒ හේතුවෙන් දේශීය හා ජාත්‍යන්තර ආහාර සැපයුම්දාම කඩාකප්පල් වී සෞඛ්‍ය සම්පන්න, ආරක්ෂිත සහ පෝෂණීය ආහාර වේලකට ඇති ප්‍රවේශ අඩුකර ඇත. වසංගතය නිසා රැකියා අහිමි වී මිලියන ගණනකගේ ජීවනෝපාය අවදානමට ලක්ව ඇත.

මේ සඳහන් කළේ  එම නිවේදනයේ සඳහන් හෙළිදරව් කිරීම්වලින් ඉතා සුළු ප්‍රමාණයක් වුවත් ලෝකයක් හැටියට අප මුහුණ දෙමින් සිටින තත්ත්වය තේරුම් ගැනීමට එය ප්‍රමාණවත් ය. මේ ගැන කිසිදු හෘද සාක්ෂියකින් හෝ හිරිකිතයකින් තොරව මෙරට ඇතැම් නිලධාරීන්, ජාවාරම්කාර මහා පරිමාණ ව්‍යාපාරිකයන් සහ දේශපාලකයන් එක්ව සිදුකරන, (එනම් ඇමති නාමල් රාජපක්ෂ සහ රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු විසින් නොබියව හෙළිදරව් කර ඇති) ජාවාරම්කාර මාෆියාව නැවත්වීම ආණ්ඩුවට පමණක් කළ නොහැකිය. එහෙත් ඒ සඳහා වූ වැඩි වැඩ කොටසක් නම් ආණ්ඩුවට කළ හැකිය. නාමල් සහ අරුන්දික තබා ඇත්තේ ඒ සඳහා වූ පළමු පියවර ද යන්න අප දන්නේ නැත. එය එසේ වුවහොත් ඔබට සුබ නව වසරක් ලැබෙනු ඇත.

(***)
කොළඹ විශ්වවිද්‍යාලයේ  
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක