හිටපු ඇමැතිවරයකු වූ ධර්මසිරි සේනානායක මහතාගේ 20 වැනි ගුණානුස්මරණය (හෙටට) 24 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

රත්න දේශප්‍රිය සේනානායක (හිටපු නියෝජ්‍ය ඇමැති) ‘ලංකාදීප’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස කටයුතු කරමින් සිටියදී (1947) ආනන්දයේ ඉගෙනුම ලබමින් සිටි ධර්මසිරි ඔහු හමුවීමට නිතරම වාගේ යුනිෆෝම් එක පිටින්ම ‘ලංකාදීප’ කාර්යාලයට ගියේය. එවකට රත්න දේශප්‍රියගේ බාල සොහොයුරාට කර්තෘ මණ්‍ඩලයේ සාමාජිකයන් ආදරයෙන් කතා කළේ පුංචි මල්ලි කියාය. පුංචි මල්ලි එසේ පැමිණියේ පත්‍රයේ පළවා කර ගැනීමට ලිපි ද රැගෙනය.

මහානාම දිසානායක, ධර්මසිරි ජයකොඩි, දීගොඩ පියදාස ආදී ජ්‍යෙෂ්‍ඨ පත්‍ර කලාවේදීහු ඒ ලිපි සකස්කොට ලංකාදීප පත්‍රයේ පළ කරදී ඔහුට ධෛර්යය දුන්හ. ඒ ලිපි පළකර දීමෙන් පසු තමාට ලැබුණු පොකට් මනිවලින් පොත පත මිලදී ගත් සැටි පසුව මේ රටේ ජනමාධ්‍ය ඇමැති වූ ධර්මසිරි සේනානායක මහතා එදා තමාට අත හිත දුන් පත්‍ර කලාවේදීන්ට තමාගේ ඇති ගෞරව ආදරය ප්‍රසිද්ධ රැස්වීම්වලදී පවා කීමට කෘතවේදී විය.

ධර්මසිරි සේනානායක යනු මහත්මා දේශපාලනයට තවත් වචනයකි. වචනයේ පරිසමාප්ථාර්ථයෙන්ම ඔහු මහත්මයෙකි. නිකැළැල් දේශපාලන චරිතයකි.

ධර්මසිරි අල්විස් සේනානායක 1933 මාර්තු 30 වැනිදා මිනුවන්ගොඩදී උපත ලැබීය. ඔහු ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේය. ඔහු සමග ආනන්දයේ එක පන්තියේ ඉගෙන ගත් සිසුන් අතර දයානන්ද ගුණවර්ධන, ආරිය රාජකරුණා (මහාචාර්ය), එස්. සුබසිංහ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, එල්මෝ ගුණරත්න (මේ තිදෙනාම පසුව ලංකාදීප ප්‍රධාන කර්තෘවරු වූහ.), එම්.එච්. ගුණතිලක (මහාචාර්ය), විජේරත්න වරකාගොඩ, දයානන්ද කුමාරදාස (පසුව ලංකාදීප නියෝජ්‍ය කර්තෘ), සුමිත්ත අමරසිංහ වෙති.

සේනානායක මහතාගේ ජීවිතය පුරාම දක්නට තිබුණේ චාම්, සැහැල්ලු සරල දිවි පෙවතකි. බුදු දහම ගැන බොහෝ පොතපත කිය වූ ඔහු සිංහල හා ඉංග්‍රීසි දෙබසින්ම බෞද්ධ සංස්කෘතිය ගැන ලිපි ලීවේය. කලක් ලංකාදීප පත්‍රයේ ‘වනාහි’ තීරු ලිපියද ලියා ඇත. ආනන්දයෙන් පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයට ගිය ඔහු වඩාත් වාමාංශික දේශපාලනයට නැඹුරු විය. 1952 සිට 1955 දක්වා ඔහුගේ සමකාලීන සරසවි සගයන් වූයේ ලීල් ගුණසේකර, නෙවිල් ජයවීර, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, ආරිය රාජකරුණා, ඊ.එම්.ජී. එදිරිසිංහ. සුගතමුණි ඥාන සිරි, එම්.ඒ. ද සිල්වා (හිටපු දිනමිණ කර්තෘ), හේමසිරි ප්‍රේමවර්ධන, පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ නිමල් කරුණාතිලක, පියදාස විජේසිංහ, පී.ඕ. විමලනාග, නිශ්ශංක ජයවර්ධන, එස්.ඩී. සපරමාදු, රිජ්වේ තිලකරත්න ආදීහුය. කොමියුනිස්ට් ශිෂ්‍ය සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ ධර්මසිරි සේනානායක ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය ලබා නීති විද්‍යාලයට බැඳී අධි නීතිඥවරයෙක් වූයේය. ඒ අතරම ඔහු විදුදය සරසවියේ කථිකාචාර්යවරයෙකුද වී ඇත.

ධර්මසිරි සේනානායක මහතා දේශපාලනයට තරග වදින්නේ එසේ මෙසේ දේශපාලන චරිතයක් සමග නොවේ. ඒ දේශපාලනයේ පරිණත ප්‍රබල සේනානායක කෙනෙකු වූ ඩඩ්ලි සේනානායක මහතා සමග දැදිගම ආසනය වෙනුවෙනි. ඒ 1970 දීය. ඩඩ්ලි සේනානායක මහතා අඹේපුස්ස තානායමේ තේ බොමින් සිටියදී ගමේ කවුරුත් ගරු කරන වැඩිහිටියෙක් ධර්මසිරි තරුණයා කැඳවා ගෙන ඒ අසලට ගියේය.
‘ඩඩ්ලි හාමු මේ තමුන්නාන්සේ එක්ක ඉල්ලන ඉලන්දාරියා, මුන්නැහේත් අද්වකාත් කෙනෙක්.’

‘මම දන්නවා මුන්නැහේගේ සහෝදරයනේ රත්න දේශප්‍රිය. මාත් එක්ක දැදිගමට තරග කළා නොවැ. එයා හොඳම මහත්තයෙක්. අපි දෙන්නම ඇඩ්වකේට්ලානේ. එන්න ධර්මසිරි අපි තේ බොමු.’

ඩඩ්ලි සේනානායක මහතා තම ප්‍රතිවාදියාට ආරාධනා කළේ ආ ගිය තොරතුරු විමසමිනි.

දැදිගම ජනතාව ධර්මසිරි සේනානායක මහතා ඇමැතුවේ දැදිගම පුංචි මහත්තයා යනුවෙනි. දැදිගම ලොකු මහත්තයා වූයේ ඩඩ්ලි සේනානායක මහතාය. 1970 මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාර්තාගත ජයක් ලබා ගත්තත් ඩඩ්ලි සේනානායක මහතා දැදිගම දිනාගත්තේ ධර්මසිරි තරුණයාට වඩා වැඩි ඡන්ද 1067 ක් ලබා ගනිමිනි. ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසු 1973 පැවැති අතුරු මැතිවරණයට තරග කළ ධර්මසිරි සේනානායක මහතා එජාපයෙන් තරග කළ රුක්මන් සේනානායක මහතාට පරාජය වූයේ ඡන්ද 4509 කිනි.

1977 මැතිවරණයේදී ද ධර්මසිරි මහතා එජාපයෙන් තරග කළ නිශ්ශංක විජේරත්න මහතාට ඡන්ද 6732 කින් පරාජය විය. දැදිගම ජනතාව පරාජයෙන් නොසැලුණු පුංචි මහත්තයාව කිසිදා අමතක කළේ නැත. 1989 පැවැති මහ මැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 24,715 ක් ලබා දෙමින් ඔහු පාර්ලිමේන්තුවට යැව්වේ ඒ නිසාය. 1994 මහ මැතිවරණයේ දී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි සේනානායක මහතා ජනමාධ්‍ය, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ධුරයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයත් හිමි කර ගත්තේය. 2000 වසරේ ජූලි 24 වැනිදා ඔහු මිය යන තෙක්ම එම පදවි දැරුවේය.

හාස්‍යය, උපහාසයට කැමැති සේනානායක මහතා පක්ෂ පාට නොබැලූ, කාටත් සම මෙත් වැඩූ මානව හිතවාදියෙකි. සේනානායක මහතා මට සමීපව හඳුනා ගන්නට ලැබුණේ 1995 සුමති සම්මාන උළෙල සංවිධාන කරන කාලයේ සිටය. 1995 සිට 1999 දක්වා සුමති සම්මාන උළෙලේ ප්‍රධාන අමුත්තා වූයේ ඒ මහතාය. වරක් සම්මාන උළෙලට ඒ මහතා පැමිණියේ තරමක් පමා වෙලාය. එසේ පැමිණි සේනානායක මහතාට ආරාධිත අමුත්තෙකු ලෙස උළෙලට සහභාගි වූ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා කී දෙයක් මා ඇතුළු කිහිප දෙනෙකුට ඇසුණි. ඒ කීවේ කුමක් දැයි කවුරුත් කුතුහලයෙන් සිටියෝය. ප්‍රධාන අමුත්තා වූ සේනානායක මහතා වේදිකාවට ගොස් කළ කතාවෙන් ඒ රහස හෙළි විය.

‘ගරු ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමැතිතුමා මම එන්න ප්‍රමාද වෙනකොට හිතුවලු මනමාලියක් කැටුව මම එනවා ඇති කියලා. බැරි වෙලාවත් මම මනමාලියක් කැටුව ආවා නම් ඇයට ඉඳගන්න වෙන්නේ මගේ ඔඩොක්කුවේ. මොකද මම තනිකඩයෙක් නිසා මට තියලා තියෙන්නේ එක ආසනයයි.’ සේනානායක මහතා සභාව සිනා ගන්වමින් කීවේය.

සුමති සම්මාන උළෙලේ විශේෂිත සම්මාන ප්‍රදානය කරන හැමවිටම සම්මානලාභී නිළියන්ට හාද්දක් දීමට සේනානායක මහතා අමතක නොකළේය. තනිකඩයකු වූ තමා මේ අවස්ථාව පැහැර නොහැරීමට වග බලා ගන්නේ ඒ නිසා යයි මාලිනී ෆොන්සේකාට සම්මානයත් සමග හාද්දක් දීමෙන් පසු ප්‍රධාන අමුත්තාගේ කතාවේ දී ඔහු කීවේ සභා ගර්භයම සිනා ගන්වමිනි. තමා සංවිධායක මහතුන්ගෙන් ඉල්ලා සිටින්නේ හැම උළෙලකදීම මේ අවස්ථාව දෙන ලෙස බව ඔහු කී විට සභාව මහ හඬින් සිනාසුණේය.

එදින සම්මාන උළෙලින් පසු පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයේ දී ප්‍රවීණ රංගවේදී ටෝනි රණසිංහ, සේනානායක මහතාගෙන් අපූරු ප්‍රශ්නයක් ඇසුවේය.

‘ඇමැතිතුමා ඇයි අපිව සිප නොගන්නේ?’

සිනාසෙමින් ඇමැතිතුමා ටෝනිට දුන් පිළිතුර අසා සිටි අය සිනාවුවද ඒ පිළිතුර මෙහි ලිවීමට මට නොහැකිය.
1989 පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක වූයේ ගාමිණී ෆොන්සේකා නම් විශිෂ්ට රංගවේදියාය. පාර්ලිමේන්තුවේ දිවා භෝජනයෙන් පසු නියෝජ්‍ය කතානායක කාර්යාලයට එක්ව අල්ලාප සල්ලාපයෙන් සිටින සීමිත පිරිසට ධර්මසිරි සේනානායක, මහින්ද රාජපක්ෂ යන ශ්‍රී ලංකා මන්ත්‍රීන් දෙදෙනාද බුද්ධික කුරුකුලරත්න යූ.ඇන්.පී. මන්ත්‍රීවරයාද ඇතුළත් වූහ. ඔවුහු යාන්ස් කියමින් ද තමන්ට සිදු වූ රසබර තොරතුරු ආගිය කතා සිහිපත් කරමින් ද සතුටු වූහ. ගාමිණී ෆොන්සේකා කෙසේ හෝ තම මිත්‍රයන් තිදෙනාම (ධර්මසිරි, මහින්ද හා බුද්ධික) චිත්‍රපට නළුවන් කිරීමට සමත් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගාමිණී 1992 අධ්‍යක්ෂණය කළ ‘නොමියෙන මිනිසුන්’ චිත්‍රපටයේ චරිත තුනකට ඔවුහු තෝරා ගනු ලැබූහ. ධර්මසිරි සේනානායකයන් වැඩිහිටි කාරුණික පියෙකු (සංගීතා වීරරත්නගේ පියා) ලෙසද මහින්ද රාජපක්ෂයන් යුද හමුදා කර්නල්වරයකු ලෙසද බුද්ධික කුරුකුලරත්නයන් කතෝලික පියතුමෙකු ලෙසද රඟ පෑ නොමියන මිනිසුන් චිත්‍රපටය 1994 වසරේ තිරගත විය. ඒ චිත්‍රපටයේ දුම් පයිප්පයක් බොමින් විවේකයෙන් සිටි වයෝවෘද්ධ ජීවිතය දෙස දයාබරව බලන පියා ලෙස ධර්මසිරි සේනානායකයන් රඟපෑවේය.

පාර්ලිමේන්තු විවාදයට දක්ෂ ධර්මසිරි සේනානායක මහතා කිසි දිනෙක අපහාස උපහාස ලෙස කතා කර නැත. ඉහවහා ගිය මානව දයාවෙන් පිරි ඔහුගේ පාර්ලිමේන්තුවේ අපූරු කතාවක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී විමලසේන ඉහළගම වරක් ලියා තිබුණේ මෙසේය.
එයාර් ලංකා එමිරේට්ස් ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදය ඉතාමත් රසවත් විය.
විපක්ෂය රජයට පහර පිට පහර දුන්නේය.

මේ විවාදයේදී සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා වූ ධර්මසිරි දැඩි අසීරුවකට පත් වූයේය. එහෙත් ධර්මසිරි ඒ බවක් පෙන්නුවේ නැත.
විවාදය යන අතරතුර ලේඛන මිටියක් කිහිලිගන්වාගෙන පුවත්පත් ගැලරියට පැමිණි ධර්මසිරි ‘මේ ලෝකෙ දෙයක් මම දන්නෙ නැහැ. උත්තර දෙන්න වෙලා තියෙන්නෙ මට. ඒ වුණාට මේ මල්ලියා අරින්නෙ නෑ’ කියමින් ලේඛන මාධ්‍යවේදීන්ට බෙදා දී යළි සභා ගර්භයට ගියේය.

විවාදයේදී ධර්මසිරි දැඩි අසීරුතාවකට පත්වූ බව දුටු එවකට විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ මහතා සිය කතාව වෙනත් අතකට හරවමින් මොනවා වුණත් තමා තුළ තරහක් නැති බව කීවේ මෙසේය.

‘හොඳ ප්‍රතිපත්තිගරුක බෞද්ධයෙක් හැටියට මා තුළ ආශාවක්, වෛරයක් නෑ. මා ළඟ තියෙන්නේ මෛත්‍රිය පමණය.’
රනිල් ඒ වචන කීපය කියා අවසන් කරන්නටත් පෙරම ඉද්ද ගැසුවා සේ සිය අසුනෙන් නැගී සිටි ධර්මසිරි ‘මම නම් මෛත්‍රියට ඇරෙන්නට අනිත් ඔක්කෝටම ආසයි’ කීවේ දෙපිලම සිනාගස්වමිනි.

මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග විවාහ පත්වී සිටියේය.

ධර්මසිරි සේනානායක නම් මේ විශිෂ්ට දේශපාලනඥයා ගැන මගේ පෞද්ගලික ජීවිතයේ විශේෂ මතක සටහනක් ගැන සඳහන් කරමින් මේ ලිපිය අවසන් කරමි.

මෙයට හරියටම වසර 45 කට පෙර 1975 ජනවාරි 25 වැනිදා කොළඹ ගාලු පාරේ සමුද්‍ර කලාගාරයේ මා විසින් අඳින ලද පොත් පිටකවර 100 ක ප්‍රදර්ශනයක් සිංහල ලේඛක සංවිධානයේ සභාපති ලීල් ගුණසේකර මහතා විසින් පවත්වන ලදී. සමුද්‍ර කලාගාරය අයිතිව තිබුණේ සංචාරක මණ්ඩලයටය. එහි සභාපතිව සිටි ධර්මසිරි සේනානායක මහතා අංකුර චිත්‍ර ශිල්පියකු වූ මට නොමිලයේ එම ශාලාව ලබා දුන් බව කෘතවේදීව සඳහන් කරමි. එදා එම ප්‍රදර්ශනය විවෘත කිරීමට ඒ මහතා සංචාරක ඇමැති පී.බී.ජී. කළුගල්ල මහතා සමග සහභාගි වූහ. ඒ අවස්ථාවට සහභාගි වූ ඔවුන් දෙදෙනා හා මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, ජේ. වික්‍රමසිංහ (හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ), එඩ්වින් ආරියදාස හා ලීල් ගුණසේකර යන මහත්වරුන් සමග පොල්තෙල් පහන් දල්වන අවස්ථාවේ ඡායාරූපයක් මා සතුව ඇත. එය ඩී.බී. ලියනගේ නම් ලේක් හවුසියේ ඡායාරූප ශිල්පියා විසින් ගන්නා ලද්දකි. එහි විවරණයක් දිනමිණට ලියා තිබුණේ සරත් ප්‍රේමතිලක (පසුව ක්‍රීඩා කර්තෘ) විසිනි.

(*** ඒ.ඩී. රන්ජිත් කුමාර)