කමල් අද්දරආරච්චි රංගන ශිල්පියෙකි. සරලව කිවහොත් නළුවෙකි. නළු රස්සාවෙන් අඹු දරුවන් පෝෂණය කළ නොහැකි නිසා ටින් මාළු කර්මාන්තයට බට බව කමල් කියයි. එහෙත් දැන් තමා මෙතෙක් නොතිබූ ප්‍රශ්න ගොඩක පැටලී සිටිනබව මේ කර්මාන්තකරුවා කියයි. ඔහු කියන්නේ හුදෙක් තමාගේ ප්‍රශ්න ගැන නොව ටින් මාළු කම්හල් හිමියන්ගේ ප්‍රශ්න පිළිබඳවය. කමල් දැන් දේශීය ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම්ය. ඔහු මේ නඟන්නේ ඒ සියලු දෙනාගේ හඬය.

අප ජීවත්වන්නේ මේ ලෝකයේ තිබෙන පුදුම රටකය. රට ඇතුළේ සියලු සම්පත් තිබියදී රට වටේම මහ මුහුද තිබියදී දිය ලුණු පවා පිටරටින් ආනයනය කරයි. මම කලාකරුවෙක්මි. රංගන ශිල්පියෙකි. එසේනම් මගේ රක්‍ෂාව කිරීමට පුළුවන් විය යුතුය. මගේ රැකියාව කරගෙන අඹු දරුවන් පෝෂණය කිරීමේ හැකියාව මට තිබිය යුතුය. එහෙත් අද මට මගේ රැකියාව කරගෙන ජීවත්විය හැකි තත්ත්වයක් මේ රටේ නැත. අද මා කරන්නේ රඟපෑම නොව සැමන් නිෂ්පාදනයයි. මෙය මේ ලෝකයේ තිබෙන පුදුම රටක් ලෙස හැඳින්වීමට මා පෙළඹෙන්නේ එහෙයිනි.
 
මෙය මට පමණක් උදාවී තිබෙන තත්ත්වයක් නොවේ. ක්‍ෂේත්‍ර ගණනාවක නියුතු ලාංකිකයන් බහුතරයකට අද උදාවී ඇත්තේ ඒ ඉරණමය. මාධ්‍යවේදීන්ටද ඒ ඉරණමම අත්වී තිබේ. මාධ්‍යවේදියෝ රටක සිව්වැනි පුරවැසියෝය. ඔවුනට ඉහළින් සිටින්නේ ජනාධිපති, පාර්ලිමේන්තුව හා අධිකරණය පමණකි. එනම් විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ යන ආයතන තුන පමණකි. ඒ ආයතනවල සිටින පුද්ගලයන් කරන්නේ මොනවාදැයි ජනතාවට දන්වා ඒ පිළිබඳව ජනතාවගේ ප්‍රතිචාරය නැතිනම් ජනමතය ඒ ආයතන තුන වෙත ගෙනයාම මාධ්‍යවේදීන්ගේ හා මාධ්‍ය ආයතනවල කාර්යභාරය විය යුතුය. එහෙත් මාධ්‍යයටද අද ඒ කාර්යභාරය ඉටුකිරීමට නොහැකිව තිබේ. මාධ්‍ය ආයතන ඇද දමා ඇත්තේ තරගයකටය. ඒ තරගය සිදුවන්නේ දේශපාලන චරිත ගැන කතා කරමිනි. දවස පුරාම කරන්නට සිදුවී තිබෙන්නේ එයයි. එසේ වූ විට මාධ්‍යයට නිශ්චිත, ඉහත කී කාර්යභාරය ගිලිහී යයි. ජනතා හඬ යටපත් වෙයි. මාධ්‍යවේදීන් හා කලාකරුවන් ගැන මා කතා කළේ උදාහරණ දෙකක් ලෙස පමණි. මෙලෙස ගත හැකි තවත් උදාහරණ රාශියක් තිබේ.

පවතින මේ තත්ත්වය මත අද මා කතාකරන්නේ කලාවට අදාළ ප්‍රශ්න ගැන නොව දේශීය සැමන් නිෂ්පාදකයන්ට තිබෙන ප්‍රශ්න පිළිබඳවය. සැමන් නිෂ්පාදකයන්ට තිබෙන ප්‍රශ්න පිළිබඳව අප 2015 සිට වෙන් වෙන් ගොස් කිවයුතු හැමෝටම කීවෙමු. විවිධ අමාත්‍යාංශවලටත්, විවිධ ආයතනවලටත් ජීවන වියදම් කමිටුවටත් ගතවූ අවුරුදු හතරේදී අප ගිය වාර ගණන අනන්තය, අප්‍රමාණය. එහෙත් කිසිම ප්‍රතිඵලයක් අත් නොවිණි. කිසිදු ප්‍රතිඵලයක් අත් නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මීට සති තුනකට පමණ පෙර සියලු සැමන් නිෂ්පාදකයන් එකතුවී කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා අපි අපේ ප්‍රශ්න රටටම ඇසෙන සේ හඬනගා කීවෙමු. ඒ ප්‍රවෘත්තී සාකච්ඡාවේදී අප එනම් දේශීය සැමන් නිෂ්පාදකයන් ආණ්ඩුව කරන අයට දැල්වූයේ රතු එළියකි. අප එය කළේ කැමැත්තකින් නොවේ. අපි කවුරුත් සාමකාමී මිනිස්සු වෙමු. එහෙයින් රතු එළිය දැල්වීමේ වුවමනාවක් අපට නොතිබිණි. සාමකාමී මිනිසුන් ලෙස අපි ඉතා අහිංසකව සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීමට අවුරුදු 4 ක් තිස්සේ උත්සාහ කළෙමු. අප යදින්නන්, හිඟන්නන් බවට පත්කළෝ පාලකයෝය. රටකට වටිනාම මිනිසුන් විය යුත්තේ රටේ ජාතික නිෂ්පාදිතය ඉහළ දැමීමට කටයුතු කරන කර්මාන්තකරුවෝය. රටක දළ ජාතික නිෂ්පාදිතය පල්ලම් බහින විට රටේ සමස්ත ආර්ථිකයම පල්ලම් බසින බව අප කිවයුත්තක් නොවේ. එය ඉහ මොළ තිබෙන ඕනෑම පුද්ගලයකුට ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි කාරණයකි. එහෙත් රතු එළි දල්වන්නට අපට සිදුවූයේ වගකිවයුත්තන් එය එලෙස අවබෝධ කර නොගැනීම නිසාය.
 
2015 වන තෙක් ටින් මාළු නිෂ්පාදකයන්ට ප්‍රශ්නයක් නොතිබිණි. මිල ගණන් මදි. බදු වැඩියි. වැනි කිසිම ප්‍රශ්නයක් එදා නොතිබිණි. දේශීය ටින් මාළු කර්මාන්ත රැකගැනීමට ඉවහල් වන ආකාරයේ බද්දක් ආනයනික ටින් මාළු සඳහා එකල පනවා තිබිණි. එකල දේශීය කර්මාන්තකරුවන් නිදහසේ තම කර්මාන්ත කරගෙන ගිය අතර පිටරටවලින් ටින් මාළු ආනයනය කර වෙළෙඳාම් කරන්නෝද තම ව්‍යාපාර යහමින් කරගෙන ගියහ.
 
පැවැති සාධාරණ බද්ද හේතුවෙන් දේශීය කර්මාන්තවලටද ප්‍රශ්නයක් පැන නොනැඟිණි. එහෙත් 2015 දී හිටි අඩියේ ටින් මාළු අත්‍යවශ්‍ය භාණ්ඩයක් කර ටින් මාළු ආනයනයේදී එතෙක් අය කළ බද්ද සියයට පනහකින් කපා හැරිණි. එතෙක් ටින් මාළු ආනයනය කිරීමේදී කිලෝවකට රුපියල් 102 ක බද්දක් පනවා තිබිණි. එහෙත් ඒ බද්ද එකවර කිලෝවකට රුපියල් 52 දක්වා රුපියල් 50 කින් අඩු කළේ හිටි අඩියේය. ඒ නිසා ආනයනික ටින් මාළු හා දේශීය ටින් මාළු විකුණුම් මිල අතර ඇතිවූයේ රුපියල් 20 ත් 22 ත් අතර පරතරයකි. සරලව කිවහොත් දේශීය ටින් මාළුවලට වඩා රටින් ගෙනා ටින් මාළුවල මිල රුපියල් 20 ත් 22 ත් අතර ගණනකින් පහළ වැටිති. එය එසේ වූ විට අප ටින් මාළු නිපදවන්නේ කෙසේද? නිපදවන ටින් මාළු විකුණන්නේ කෙසේද? අඩු මිලට මිලදී ගැනීමට ටින් මාළු තිබියදී වැඩි මිලක් ගෙවා මිලදී ගන්නේ කවරහුද? අවුරුදු කීපයක් තිස්සේ අප මුහුණ දී සිටින්නේ ඒ බරපතළ ප්‍රශ්නයටය. ප්‍රශ්නය බරපතළ වූවාට ඇත්තේ සරල විසඳුමකි. එහෙත් නොකෙරෙන්නේද එයමය.

ඒ තත්ත්වය මත අපි යළි යළිත් ජීවන වියදම් කමිටුව වෙත හිඟමනේ ගියෙමු. අනේ අපට මෙහෙම කරන්න එපායි අපි යාඥා කළෙමු. එහිදී අපට ඒ දෙවිවරුන් කියා සිටියේ හරි එහෙනම් ඔයගොල්ලෝ සතොසට විකුණන්න කියාය. සතොස ඔයාලගේ නිෂ්පාදන මිලදී ගනියි. සතොසට රජයෙන් පාරිතෝෂිතයක් ගෙවන්නෙමුයි ඒ දෙවිවරු අපට කීහ. සතොස වෙළෙඳ පොළේ තිබුණේ සීමාසහිත ඉඩකි. අපේ නිෂ්පාදන මිලදී ගත්තේ සතොස පමණකි. අදටත් තත්ත්වය ඒකය. එහෙත් ප්‍රශ්නයකට තිබෙන්නේ සතොස අපෙන් භාණ්ඩ මිලදී ගත්තත් මුදල් නොගෙවීමය. සතොස අපට ගෙවන්නට තිබෙන මුදල රුපියල්  මිලියන ගණනාවකි. සතොස පරිපාලනය කඩාවැටී හමාරය. දැන් අපට ඒ වෙළෙඳ පොළත් නැත. රටින් ගෙන්වන සමහර ටින් මාළු වර්ගවල ක්‍ෂුද්‍ර ජීවීන් සිටින බවට ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයෙන් හා එස්.එල්.එස්. තත්ත්ව පාලන මණ්ඩලයෙන් අනාවරණය කරගත් පසු දේශීය ටින් මාළුවල ඉල්ලුම යළි ඉහළ ගියේය. එහෙත් සැලසුමක් නොතිබුණු නිසා ඒ ඉල්ලුමට සැපයීම සඳහා හිටිහැටියේ නිෂ්පාදනය ඉහළ දැමීමේ හැකියාවක් අපේ කර්මාන්තකරුවන්ට නොතිබිණි.

අපේ රටේ තිබෙන ටින් මාළු නිෂ්පාදන කම්හල් ගණන පහකි. ඒවායේ සේවය කළ පිරිස 750 ත් 800 ත් අතර වූහ. ඒ ගණන ඍජු රැකියා කළ පිරිසය. වක්‍ර රැකියා කළ පිරිස 3000 ටත් ඉහළය. එසේම අපේ කම්හල් පහටම අවශ්‍ය ටින් නිෂ්පාදනය කළේද මෙරට කම්හල් දෙකකය. ඒ දෙකෙහි කී දෙනකු රැකියා කරන්නේදැයි අපි නොදනිමු. 2015 ට පෙර පැවැති ආණ්ඩුව අපට කියාසිටියේ ටින් මාළු කම්හල් හැකිතරම් විවෘත කරන ලෙසය. දේශීය ආයෝජකයන්ට තනියෙන් ව්‍යාපාර පටන් ගත නොහැකි නම් විදේශීය ආයෝජකයන් සමග ඒකාබද්ධ වී ව්‍යාපාර ආරම්භ කරන්නැයි පැවැති රජය අපෙන් ඉල්ලා සිටියේය. අප ක්‍රියාත්මක වූයේ ඒ රජයෙන් ක්‍රියාත්මක කළ ආයෝජන දිරිගන්වන ඒ ප්‍රතිපත්තිය මතය. රටින් ගෙන්වන ටින් මාළු කිලෝවක් සඳහා රුපියල් 102 බද්ද දමා තිබුණේ දේශීය කර්මාන්ත රැකගැනීම සඳහාය. රටකින් බඩු ගෙනැවිත් විකුණන පුද්ගලයා වෙළෙන්දෙකි. එහෙත් පැවැති රජය සමයේ අසීමාන්තික බදු දමා වෙළෙඳාම අධෛර්යවත් කළේද නැත. මා ටින් මාළු නිෂ්පාදන කර්මාන්තයට පිවිසෙන්නේ ඒ පරිසරය මතය. මා මගේ කම්හල ආරම්භ කළේ කැනේඩියානු ආයෝජකයකු සමඟය. එහෙත් 2015 න් පසු එතෙක් පැවැති බද්ද සියයට 50 කින් අඩුකිරීම මත සැමන් ටින් රටින් ගෙන්වීම පිම්මේ ඉහළ ගොස් තිබේ. පසුගිය මාස හයේදී අවුරුද්දකට ප්‍රමාණවත් තරම් ටින් මාළු රටින් ගෙන්වා තිබෙන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලින් අනාවරණය වෙයි. එය වෙනදාට වඩා දෙගුණයකින් ඉහළයාමකි.
 
දේශීය කර්මාන්තකරුවන්ගේ ගෙල මිරිකා, දේශීය කර්මාන්ත වසාදමන්නට පාර කපා වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියේ මහිමයෙන් අපේ ටින් මාළු කම්හල් පහෙන් එකක දැන් නිෂ්පාදන කටයුතු කෙරෙන්නේම නැත. අනෙක් කම්හල් හතරේද සියයට 100ක ධාරිතාවයෙන් නිෂ්පාදන කටයුතු කෙරෙන්නේ නැත. ඒ කම්හල්වල දැන් නිෂ්පාදන කටයුතු කෙරෙන්නේ සියයට 60 ක පමණ ධාරිතාවයකිනි. සියයට 100 කින් නිෂ්පාදන කටයුතු නොකරන්නේ වෙළෙඳ පොළක් නැති හෙයිනි. රටින් ගෙනා ටින් මාළුවලින් වෙළෙඳපොළ පිරී පවතින හෙයිනි. නිෂ්පාදන කටයුතු පහළ දැමීමට සිදුවීම නිසා අපේ ටින් මාළු කම්හල්වල සේවකයන් 200ක් පමණ ඉවත්කිරීමට කම්හල් හිමියන්ට සිදුවිය. ඒ ඇතැම් සේවකයන් දැන් තම හාම්පුතුන්ට එරෙහිව නඩු දමා තිබේ. ඒ නිසා දැන් අපේ ඇතැම් කම්හල් හිමියන්ට උසාවිවල රස්තියාදු වෙමින් නැති ප්‍රශ්න ඇතිකර ගනිමින් නැති වියදම් මවාගනිමින් කම්හල් පවත්වාගෙන යාමට සිදුවී තිබේ. මා සිටින්නේ මගේ විදේශ ආයෝජකයා තම කොටස් කොයි වෙලාවේ විකුණා දමා යාවි දැයි බියකිනි. කලාවෙන් සැනසීමක් නැතිව ටින් මාළු නිෂ්පාදනයට බට මා දැන් සිටින්නේ එවැනි අවිනිශ්චිත තත්ත්වයකය. රටේ පුරවැසියන්ට එතෙක් නොතිබූ ප්‍රශ්න ඇතිකරන නැති ප්‍රශ්න මවන කබලෙන් ළිපට ඇදදමන මේ රාජ්‍ය ප්‍රතිපත්තියෙන් දේශීය කර්මාන්ත වළපල්ලට යනවා මිස ඒ කර්මාන්ත දියුණු වෙන්නේ කෙසේද? රැකියා කරන මිනිසුන්ට රැකියා නැති කරන මේ රාජ්‍ය ප්‍රතිපත්තියෙන් රටේ විරැකියා ප්‍රශ්නයට පිළියම් ලැබෙන්නේ කෙසේද? පිළියම් ලැබෙනු ඇතැයි විශ්වාස කරන්නේ කෙසේද? එහෙත් එසේ සිතන්නැයි කතාකරන, මවාපාන, විශ්වාසකරන, නායකයන් ගැන අපි කුමක් කියමුද?

පසුගිය රජයේ චීන වන්දනාව විවේචනය කළ මේ රජයේ නායකයන්ද දැන් වන්දනා කරන්නේ චීනයටමය. එහෙත් චීනය තම දේශීය කර්මාන්ත රැකගැනීමට කරන කැපවීම අපේ නායකයන්ට නැ්තතේ ඇයිද යන්න අපට බරපතළ ප්‍රශ්නයකි. චීනය තම රටේ ටින් මාළු නිපදවා අපනයනය කරන කම්හල්කරුවන්ට සියයට 12 ක දිරිගැන්වීමක් ලබාදෙයි. චීනය එසේ කරන්නේ විදේශ විනිමය ලබාගැනීම සඳහාය. නූතන ලෝකයේ වැඩිම ආර්ථික වර්ධනය පවතින්නේ චීනයේය. එය සියයට අටටත් වැඩිය. ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට හතරටත් අඩුය. සියයට අටකටත් වැඩි වේගයකින් ආර්ථිකය වර්ධනය වන චීනය තම රටේ විදේශ විනිමය ගොඩ වැඩිකර ගැනීමට තමන්ගේ රටේ ටින් මාළු නිෂ්පාදකයන්ට 12%ක දිරිගැන්වීමක් ලබාදෙන විට සියයට හතරකින්වත් ආර්ථිකය වර්ධනය නොවන ලංකාවේ පාලකයන් රටේ තියෙන විදේශ විනිමය ටිකත් රටින් පිටට යැවීම සඳහා කම්හල් වසාදමා හැකි තරම් රටින් බඩු ගෙන්වයි. රටට අත්‍යවශ්‍ය රටේ නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ රටින් ගෙන්විය යුතුමය. එසේ කිරීම ගැන අපට විවේචනයක් නැත. එහෙත් මේ රටේ පාලකයෝ රට වටේ මුහුද තියෙද්දි මාළුත් කරවලත් රටින් ගෙන්වති. ටින් මාළුද රටින් ගෙන්වති. ටින් මාළු කම්හල් රටේ නැතිනම් එසේ කිරීමේ වරදක් නැත. එහෙත් දැන් මේ කෙරෙන්නේ රටේ තිබෙන ටින් මාළු කම්හල් වසා දැමීම සඳහා ටින් මාළු රටින් ගෙන්වීමය. රටෙන්වත් ලෝකයෙන්වත් ඉගෙන නොගන්නා මේ පාලකයන් සැරැසෙන්නේ රට කොතැනකටද රැගෙන යන්න දැයි අපට ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි.

මෙහි තිබෙන බරපතළ ප්‍රශ්නය වන්නේ ටින් මාළු රටින් ගෙන්වන ක්‍රමයයි. වාණිජ බැංකු හරහා කෙරෙන ඒ ලියවිලි ප්‍රතිග්‍රහණය නමින් හඳුන්වන ක්‍රමය යටතේ රටින් බඩු ගෙන්වන්නේ අත් පිට මුදලට නොවේ. බැංකු ණය, ණය වර හෝ ලීසින් පහසුකම් මතද නොවේ. රටින් ගෙන්වා ගන්නා භාණ්ඩවලට මාස තුනක්, හයක් හෝ අවුරුද්දක් ඇතුළත මුදල් ගෙවන බවට බැංකුවකින් ලබාගන්නා ඉහත කී ලියවිලි ප්‍රතිග්‍රහණ සහතිකය මත බඩු ගෙන්වා ගනියි. මේ ක්‍රමය යටතේ අතේ ශත පහක් නැතිව මිලියන, බිලියන ගණන්වල ගනුදෙනු කළ හැකිය. එසේ ගෙන්වා ගන්නා සැමන් ටින් එකක් විකිණිය යුත්තේ රුපියල් 160 කට විය හැකි වුවත් මේ වෙළෙන්ඳෝ රුපියල් 160 කට විකිණිය යුතු ඒ සැමන් ටින් තොග පිටින් රුපියල් 150 බැගින් විකුණති. එසේ විකුණා ඒ මුදල්වලින් වෙන වෙන ව්‍යාපාරද කරති. නැතිනම් බැංකුවල ස්ථාවර තැන්පතු දමා පොලිය උපයති. මාස තුනක් හයක් හෝ අවුරුද්දක් අනුන්ගේ සල්ලි වලින් ව්‍යාපාර කරති. මෙය පැහැදිලිවම මුදල් විශුද්ධිකරණයට උඩ ගෙඩි දෙන පිළිවෙතකි. ජීවන වියදම් කමිටුව ඇතුළු රජයේ බොහෝ තැන්වලට අපි මේ කරුණු සුපැහැදිලිව පෙන්වා දුන්නෙමු. ඒ පුද්ගලයන්ගේ නම් ගම් දැනට මම හෙළි නොකරමි. දැන් එයට වෙලාව නොවේ. එහෙත් ඒ සඳහා වෙලාවක් පැමිණෙන බව මම දනිමි. එදාට මම ඒ සියලු නිලබලධාරීන්ගේ නම් ගම් හෙළිකරන්නෙමි.

දැනට ක්‍රියාත්මක රාජ්‍ය ප්‍රතිපත්තිය මත අපේ කම්හල් වැසීයමින් පවතී. සමස්ත ධාරිතාවෙන් නිෂ්පාදන කටයුතු නොකෙරෙයි. ඒ නිසාම අපේ ධීවරයන්ගෙන් අපට මාළු මිලදී ගැනීමට නොහැකිව තිබේ. ධීවරයන් එදා අපට සැපයූ ලින්නෝ මාළු කිලෝවකට අප දුන්නේ රුපියල් 160 ක් තරම් ඉහළ මිලකි. අද අපේ ධීවරයන්ට මාළු විකුණාගත නොහැකිව ඉවතදැමීමට සිදුවී තිබේ. දැන් වෙළෙඳපොළක් නැති නිසා ඇතැම් ධීවරයන් මුහුදු යන්නේද නැත. මුහුදු යන ධීවරයෝ ගොඩට ගෙනෙන මාළු හරිහැටියට ගබඩා කරගැනීමට ක්‍රමයක් නැතිව සිටිති. කල්තබා ගැනීමට හා ක්‍රමවේදයක් සහිතව බෙදාහැරීමට නොහැකිව සිටිති. ධීවරයන් අද සිටින්නේ එවැනි ප්‍රශ්න ගොඩකය. ධීවරයන් සේම ටින් මාළු නිෂ්පාදකයෝත් ඔවුන්ගේ කම්හල්වල සේවකයෝත් ටින් නිෂ්පාදනය කරන කම්හල් අයිතිකරුවෝත් ඔවුන්ගේ සේවකයෝත් මේ කර්මාන්ත ආශ්‍රිතව වක්‍ර රැකියා කළ සියල්ලෝත් අද වළේ වැටී සිටින්නේ රාජ්‍ය ප්‍රතිපත්තියේ මහිමයෙනි. අපේ රටට, රටේ භූමියට වඩා තුන් හතර ගුණයක් විශාල මුහුදු තීරයක් හිමිවී තිබේ. ඒ මුහුදු තීරයේ මාළු අල්ලන්නේ ඉන්දීය ධීවරයෝය. ලංකාවේ මුහුදත් එහි මාළුත් රටේ ධීවරයන්ට අහිමිවී තිබෙන්නේද පාලකයන්ගේ වරදිනි. මේ රටේ සිටින්නෝ අදූරදර්ශී පාලකයෝය. රජයේ නිලධාරියෝද එබන්දෝය. ඒ කිසිවෙක් රට වෙනුවෙන් තම වගකීම් ඉටු නොකරති.

ටින් මාළු නිෂ්පාදකයන් ලෙස අප ආණ්ඩුවෙන් ඉල්ලන්නේ සහන හෝ සහනාධාර නොවේ. අපේ පළමු ඉල්ලීම වන්නේ ආනයනය කරන ටින් මාළු වලින් අය කළ කිලෝවට රුපියල් 102 බද්ද යළි පනවන ලෙසය. එසේ කළහොත් දේශීය කර්මාන්තවලට යළි පණ ලැබෙන අතර රටේ බදු අදායමද ඉහළ යයි. එසේම රටින් පිටට යන විදේශ විනිමය රට ඇතුළේ නවතියි. අපේ දෙවැනි ඉල්ලීම වන්නේ ලියවිලි ප්‍රතිග්‍රහණය (Document Acceptation)  මත රටින් බඩු ගෙන්වන ක්‍රමය තහනම් කළ යුතු බවය. එය තහනම් කළයුත්තේ මුදල් විශුද්ධිකරණය රටේ නීතියෙන් තහනම් බැවිනි. ඒ ඉල්ලීම් ඉටුකිරීමට ආණ්ඩුවට ශත පහක්වත් වැය නොවෙයි. අවශ්‍ය වන්නේ ඒ තීන්දුව ගෙන එය නීතිගතකිරීමය. එසේ කළහොත් ටින් මාළු කර්මාන්තය අවුරුද්දකදී යළි ගොඩගත හැකිය. රටට අවශ්‍ය තරම් ටින් මාළු නිපදවා යුරෝපයට පවා අපනයනය කළහැකිය. එමගින් රටේ විදේශ මුදල් සංචිත ඉහළ යන අතර රැකියා උත්පාදනයද ඉහළ යයි. රජයේ බදු ආදායම්ද ඉහළයයි.

සාකච්ඡා සටහන

ගුණසිංහ හේරත්