විප්ලවයක් යැයි ඇතැමුන් නම් කළ විප්ලවයක් සිදුකළා යැයි ඇතැමුන් කී 2015 ජනවාරි ආණ්ඩුව පරාජය වී මාස එකහමාරකි. පරාජය වුවත් ජයග්‍රහණය කළත් විප්ලව ඇති වූ රටවල ඒවා සැමරීම සාමාන්‍ය සිරිතකි. එහෙත් මෙ රට ‘ජනවාරි විප්ලවවාදීන්’ එවැනි සැමරීමකට සුදානම් වන බවක් නො පෙනෙන්නේ, ඒ අය මේ වචන භාවිත කළේ පොදුජනයා රැවටීමට පමණක් නිසා විය හැකිය. එදාත් ඉන් පසුවත් ජනවාරි දේශපාලනයට විරුද්ධව සිටි මා  සුදානම් වන්නේ ‘ජනවාරි විප්ලවය’ සැමරීම මුල් කරගෙන මෙවර කිවි දා දැක්ම ඉදිරිපත් කිරීමට ය.

ඇත්තට ම තියෙන ආණ්ඩුව නොව පරණ ආණ්ඩුව පිළිබඳ අතීත ආවර්ජනයක යෙදීම වැදගත් යැයි සිතුණේ එවැනි විමසීමක් හරහා උගත හැකි පාඩම් අපමණ බැවිනි. එසේම කුමන හේතුවක් නිසා හෝ කලක සිට, එළඹුණ හැම ජනවාරියක දී ම 2015 ජනවාරි ආණ්ඩු වෙනස අමතක කළ නොහැකි විමසිලිමත් මානසිකත්වයක් මා සතු ය. එමෙන්ම එකල ‘ජනවාරිවරුන්’ වර නැඟූ ‘ජනවාරි විප්ලවය’ ට පාදක කරගත් ‘යහපාලනය,  හොරු ඇල්ලීම, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සහ නීතියේ ආධිපත්‍යය පිහිටුවීම’ වැනි තේමා, පක්ෂ දේශපාලනයෙන් පිට පනිමින්, නැතහොත් පක්ෂ පාලනයෙන් එහාට යමින් බහුජන දේශපාලනයක් කරා ප්‍රසාරණය වූ ආකාරය විසින්, රටේ සුවිශේෂී දේශපාලන ප්‍රවණතා මතුවීම, යම් තරමකින් හෝ හඳුනාගනු ලැබීම අද දවසේ දේශපාලනයට ද වැදගත්ය යන සිතුවිල්ල ද මා සතුය.

ජනවාරි ආණ්ඩු වෙනස යම් කිසි දේශපාලන පක්ෂයක ජයග්‍රහණයක් යැයි වරදවා වටහා ගැනීම ජනවාරිවරුන් කළ පළමු වැරැද්දය. විශේෂයෙන්ම එජාපය සිතා සිටියේත් කියා සිටියේත් ක්‍රියා කළේත් ජනවාරි ජයග්‍රහණය තම පක්ෂයේ ජයග්‍රහණයක් ලෙස අවධාරණය කරමින්ය. එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිතා සිටියේ සහ ක්‍රියා කළේත්  තම ජයග්‍රහණය එජාපය නිසා ලද්දක් ය යන ස්ථාවරය මත පිහිටාය. පසුකාලීනව එජාප ආණ්ඩු කොටස සමඟ විරසකව සිටිය දී පවා ඔහු ප්‍රකාශ කළේ ස්වකීය ජයග්‍රහණය එජාපය නිසා සිදු වූවක් බවය. ඒ එජාප ය ට ඡන්දය දුන්නා යැයි සිතන ජනයා අමතා ය. විශේෂයෙන් ම 43 සුළුතර එජාප ආණ්ඩුව පිහිටුවීමේ දීත් ඒ ආණ්ඩුවේ මුල් කාලයේ දීත් අවසන් වකවානුවේ දීත් ඇමැති සහ අනෙකුත් තනතුරු ලබාදීමේ දීත් ඔහු කටයුතු කළේ ඒ විශ්වාසය මත පිහිටා ය. ඒ සා විශාල ජයග්‍රහණයක හිමිකරුවා එජාපය නම් ඒ එජාපය 2019 ජනාධිපතිවරණ යේ දී අන්ත පරාජයකට පත්වූයේ එජාප සාමාජිකයන් තම පක්ෂය හැර ගිය නිසා ද යන්න අප සිතා බැලිය යුතු කරුණක් ය.

ත්ත වශයෙන් ම 2015 ජනවාරි වෙනස පිටුපස සිටියේ පක්ෂයක් නොව නිර්-පාක්ෂික බහු ජනයා ය. 1956දීත් 1977 දීත් 1994  දීත් 2010 දීත් 2019 දීත් ඒ ජයග්‍රහණවල තීරණාත්මක සාධකය වූයේ නිර්-පාක්ෂික බහු ජනයා ය. එය එසේ වූයේ සහ වන්නේ, ඡන්දය දීමේ ප්‍රජාතන්ත්‍රවාදය (Voting Democracy) මිස පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සහ පක්ෂ දේශපාලන සංස්කෘතිය මෙරට ස්ථාපිත නොවී තිබීම නිසාය. මේ රටේ පක්ෂ යැයි කියා ගන්නා ප්‍රධාන ඒවා කිසිවක් දේශපාලන පක්ෂ පිළිබඳ ප්‍රශස්ත ආකෘති අනුව පක්ෂ නොව කතිපයාධිපති කල්ලිය. ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය පිළිබඳ අවුරුදු අසූ අටක් තිස්සේ තවමත් පවතින මහා හිඩැස ඒ කල්ලි දේශපාලනයේ පල විපාකයක් ය.

ඒ නිසාම නිර්-පාක්ෂික බහුජනයා, පක්ෂ දේශපාලනයට උඩින් ගිය බහුජන දේශපාලන නායකයකු මිස පක්ෂයක් යන්න එතරම් වැදගත් කොට සැලකුවේත් සලකන්නේත් නැත. මහජන එක්සත් පෙරමුණට වඩා ප්‍රමුඛ වූ පනස් හයේ බණ්ඩාරනායක, එජාපයට වඩා ප්‍රමුඛ වූ හැත්තෑ හතේ ජයවර්ධන, පොදු පෙරමුණට වඩා ප්‍රමුඛ වූ අනූ හතරේ චන්ද්‍රිකා, එජනිසට වඩා ප්‍රමුඛ වූ දෙදහස් දහයේ මහින්ද, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට වඩා ප්‍රමුඛ වූ දෙදහස් පහළොවේ මෛත්‍රී සහ පොදුජන පෙරමුණට වඩා ප්‍රමුඛ වූ දෙදහස් දහනවයේ ගෝඨාභය යනු ඒ බහුජන දේශපාලන සම්මුති විසින් දිනවන ලද නායකයෝය. පක්ෂවලට වඩා නායකත්වය ගැන විශ්වාසයෙන් සහ බලාපොරොත්තුවෙන් දින වූ නායකයෝය.
මේ තීරණාත්මක බහුජන සාධකය කලක සිට නම් කරන ලද්දේ පාවෙන ඡන්ද (floating votes) යනුවෙනි. එසේම ඒ නාමකරණයට අදාළ ජනයාගෙන් වැඩි ප්‍රතිශතයක් ලංකාවේ මුල් මැතිවරණවල දී සිය ඡන්දය භාවිතා කළේ සුබසාධන අරමුණු මුල් කරගෙන ය. ප්‍රතිමානාත්මක අදහස් පිළිබඳව වැඩි වටිනාකමක් දී ක්‍රියාකළ මැතිවරණ ද ඒ අතර විය. පනස්හයේ පාර්ලිමේන්තු මැතිවරණය එවැන්නකි. ඇත්ත වශයෙන් ම 2015 ජනාධිපතිවරණයත් 2019 ජනාධිපතිවරණයත් 56 ටත් වඩා වැඩියෙන් ප්‍රතිමානාත්මක අදහස් ක්‍රියාත්මක කර ගැනීමේ චේතනාව බලවත් කොට ගෙන ජනයා ක්‍රියාත්මක වූ ඒවා ය. සුවිශේෂී ප්‍රවණතාව වන්නේ මේ වනවිට පක්ෂ යැයි කියාගන්නා රංචුවල ස්ථාවර ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි ප්‍රතිශතයක් නිර්-පාක්ෂික බහුජන ඡන්ද වීම ය. එසේම මේ බහුජනයා පෙර නොවූ විරූ ආකාරයෙන් සුබසාධනය නොව ප්‍රතිමානාත්මක ඇගයුම් වෙනුවෙන් පෙනී සිටින්නන් වීම ය. එසේම රටේ මැද පාන්තික ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් සහ තරුණ ජනයාගෙන් වැඩි ප්‍රතිශතයක් මේ නිර්-පාක්ෂික බහුජන කලාපයට අයත් වීම ය.

මේ නිසා ආණ්ඩුවල ඉරණම තීරණය කරන්නේ පෙර පරිදි පක්ෂ යැයි කියා ගන්නා කල්ලිවලින් යැපෙන දිළින්දන්, පුලන්නන් සහ හිතමිතුරන් නොව, මැද පාන්තිකයන්ගෙන් සහ තරුණ ජනයාගෙන් සමන්විත ජාතික ප්‍රතිමාන ගැන වඩාත් කැපවෙන හෝ සිතන රටේ බහුතරයක් වන නිර්-පාක්ෂික බහු ජනයාය. එය හිස් පාලකයන්ට අභියෝගයකි. 2015 ජනවාරි ආණ්ඩුව මේ ගැන සිතුවේ නැත. ඒ ගැන ඔවුන්ට වගේවගක් තිබුණේ නැත.

ඒ නිසා ඒ ආණ්ඩුව කටයුතු කළේ නිතර දොර ළඟ පෙනෙන, කිටියන් සහ කුක්කන් ලෙස ඇඟ වටේ නිතර දැවටෙන, වටේ කැරකෙන, කෑම ඉල්ලන, අනුන්ට ගොරවන, වේදිකාවල කෑගහන අය සතුටු කිරීමට තනතුරු සහ වරදාන දීම ය. ඒ වරදාන ගත් කිසිවකුත් දේශපාලනයවත් ආණ්ඩුකරණයවත් හරිහැටි නො දන්නා වුන් ය. ඒ හේතුවෙන් අර ප්‍රතිමානාත්මක දේශපාලනයක් වෙනුවෙන් මැදිහත් වූ නිර්-පාක්ෂික බහු ජනයා නන්නත්තාර විය. යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, සොරුන් ඇල්ලීම, නීතියේ ආධිපත්‍යය පිහිටුවීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම වැනි ප්‍රතිමාන උඩු හුළඟේ ගසාගෙන ගියේ ය. ඒ ආණ්ඩුව 2019 නොවැම්බරයේ දී නෙළාගත්තේ එහි අස්වැන්න ය. එනම් නිර්-පාක්ෂික බහුජන අභිලාෂ කල්ලි දේශපාලනය යටපත් කිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලය.

ජනවාරි ආණ්ඩුව වරද්දාගත් අනිත් කාරණය වන්නේ මැතිවරණ ජය ගැනීම සඳහා සහාය වන උපකාර කළ සංවිධානාත්මක කණ්ඩායම් සහ ඒවායේ මැතිවරණ ක්‍රියාකාරිකයන් ආණ්ඩුකරණය සඳහා ද සුදුසුය යන්න විශ්වාස කිරීමය. බොහෝ දේශපාලන කථිකයන් සහ සහායකයන් මැතිවරණවල දී චණ්ඩින් වුවද ආණ්ඩුකරණ ක්‍රියාවලියේ දී කොයිතරම් නම් අදක්ෂයන් ද කියන කරුණ වේදිකාවල මහා කථිකයන් වී පසුව බරපතළ ඇමැතිකම් ගත් ඇමතීන් පවා ඔප්පු කළ සහ ඔප්පු කරන අත්දැකීම් බහුජනයා සතුය. එහෙත් ඒ පාඩම ජනවාරි ආණ්ඩුව ඉගෙන ගෙන තිබුණේ නැත.
ඒ වරද්දා ගැනීමෙන් පෙනී ගියේ ආණ්ඩුකරණය කොහොමත් නොදන්නා අපේ රටේ දේශපාලකයන් දේශපාලනයත් නොදන්නා බව මිස වෙන කුමක් ද? එසේම දේශපාලනය සහ ආණ්ඩුකරණය ජාතික දැක්ම සහ අරමුණු සාධනය සඳහා තුලනය කරන ආකාරය නම් අපේ රටේ පාලකයන් ඉතා වුවමනාවෙන් උගත යුතු ම දෙයක් ය.

ජනවාරි ආණ්ඩුවේ  අභ්‍යන්තර ගැටුම් ඒ ආණ්ඩුවට බොහෝ දේ වැරැද්දුවේ ය. ජනාධිපති සහ අගමැති අතර ගැටුම ඉන් ප්‍රධාන එකක් ය. ජනාධිපතිගේ සහ අගමැතිගේ පාර්ලිමේන්තු මැති ඇමති කණ්ඩායම් අතර ගැටුම් තව එකක්ය. ජනාධිපති ස්වකීය බලය වෙනුවෙන් වැඩකරන විට අගමැතිතුමාගේ බල ව්‍යාපෘතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් වැඩකරන්නට විය. එසේ කළේ දෙදෙනා එකිනෙකාට ප්‍රතිවිරුද්ධ මාර්ගවල ගමන් කරමින් ය. ජනාධිපතිගේ ජාතික අරමුණු යටපත් කරමින් ජනාධිපතිගේ ජාතික අරමුණු සමඟ කිසිදු සමානකමක් නැති අගමැතිගේ දේශපාලන සහ සංග්‍රහ අරමුණු සාධනය ඉස්මත්තට ආවේය. ඊළඟ වාරයක් ගැන නොහිතන ජනාධිපතිගේ අගමැති ඊළඟ නොව තවත් වාර කීපයක් රටේ බලය ලබා ගැනීමට ආශාවෙන් පෙළෙන්නෙකු වීම අර්බුදය තවත් වර්ධනය වීමට හේතුවක් විය. මේ සියල්ල මැද ඇමතීන් තම අමාත්‍යාංශ ස්වකීය වැයික්කි බවට පත්කර ගත්තේය.

ඒ ගැටුම් සහ පරස්පරතා රටේ ආණ්ඩුකරණ ක්‍රියාවලිය අර්බුදයෙන් අර්බුදයට යැවීය. ජනවාරි පොරොන්දු ප්‍රතිමාන වියළී ගියේ ය. ඒ අතරතුර  නිර්-පාක්ෂික බහු ජනයා අලුත් නායකයකු හොයන්නට පටන් ගත්තේය. ඒ තනි තනිවම ය. උගත් ‘ප්‍රභූන්’ සාමුහිකව ඊළඟ ආණ්ඩුවේ වරදාන ලබා ගැනීම අරමුණු කරගත් විවිධ සංවිධාන පිහිටුවා ගත්තේ ය. ඒ සියල්ලට උඩින් ගිය නිර්-පාක්ෂික බහු ජනයා ස්වකීය ජාතික අභිලාෂ සහිත ප්‍රතිමාන ඉටුකරගැනීම උදෙසා පක්ෂයක් සංවිධානයක් නොව නිර්-පාක්ෂික නායකයකු ජනාධිපති ලෙස තෝරා ගත්තේය. ඒ අලුත් නායකයා ඊළඟ මැතිවරණය සඳහා නොව රට හැදීම සඳහා පේ වෙන ආකාරය දෙස ඒ බහු ජනයා මේ අලුත් අවුරුද්ද ඇරඹුණු ජනවාරියේ සුබ සිහින සහිතව බලා සිටින්නේ පැරණි ජනවාරිය යළි උදා නොවේවා යන සුබ සිහින සහිතව ය. ඉතින් ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා. සෙස්ස පස්සට.

කොළඹ විශ්වවිද්‍යාලයේ​ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ
ධම්ම දිසානායක