දැනට පෙනෙන්නට තිබෙන කරුණුවලින් පැහැදිලි වෙන්නේ මෙවර ජනාධිපතිවරණය අනෙක් හැම වාරයටකම වඩා සුවිශේෂී එකක් වෙන බවය. මා එසේ කියන්නේ රටේ තිබෙන ප්‍රධාන දේශපාලන ධාරා දෙකම තම තමන්ගේ පක්ෂවලින් ඉදිරිපත් වෙන අපේක්ෂකයා කවුරුන්ද කියන කාරණයට විශාල අවධානයක් දෙන නිසා පමණක් නොවේ. මේ වනවිට ප්‍රධාන දේශපාලන ධාරා දෙකටම පිටින් සිටින නිර්පාක්ෂික සමාජය මේ ජනාධිපතිවරණය පිළිබඳව දක්වන උනන්දුව අනෙක් හැමවතාවකටම වඩා වැඩි බව මගේ තේරුම් ගැනීමය.

ඒ නිසාම මේ වාරයේ ජනාධිපතිවරණය කියන්නේ එකවිටම සටන් පාඨ දෙකක් ඉදිරියට දැමිය යුතු ඡන්දයක් බව මේ නිසා පෙනී යන කාරණයය. සටන් පාඨ දෙකක් යැයි කීවේ එකක් තමන්ගේ පාක්ෂිකයන් වෙනුවෙන් දැමිය යුතු නිසාය. අනෙක් සටන් පාඨය  නිර්පාක්ෂික ඡන්ද දායකයන් වෙනුවෙන් දැමිය යුතු නිසාය.

දේශපාලන සමාජයේ විවිධ පක්ෂවලට සම්බන්ධව සිටින ජනතාව මේ වනවිටත් ප්‍රධාන ධාරවේ දේශපාලනය වෙත නිශ්චිත වශයෙන්ම බෙදී සිටින බව අප හැමෝම දන්නා කාරණයක්ය. සිංහල ගමකට ගියොත් ඒ ගමේ ඡන්ද පෙට්ටියේ එජාපයට ඡන්ද කීයක් තිබේද සහ එයට විරුද්ධව පෙහොට්ටුවට කීයක් තිබේද කියන කාරණය හුඟක් දුරට නිවැරැදිව කිවහැකිව තිබෙන බව ගමේ දේශපාලනය කරන ඇත්තෝ දනිති. ඒ නිසාම මීට පෙර කාලවල ඡන්දයක් පටන් ගන්න කොටම එහි ජයග්‍රාහකයා කවුදැයි කීමේ හැකියාවක් සාමාන්‍ය ජනතාවට තිබුණි. කොටින්ම කියනවා නම් මීට පෙර ඡන්දවලදී ඡන්දදායකයන්ගෙන් බහුතරය හිටියේ කුමක් හෝ පක්ෂයකට ගැට ගැසීලාය. පක්ෂයකට අයිති නැති කාණ්ඩය වශයෙන් හිටියේ ඉතාමත් සුළුතර කණ්ඩායමක්ය. එහෙත් ඒ තත්ත්වය පසුගිය 2015 ජනාධිපතිවරණයෙන් පසුව වෙනස් වී ඇත. දැන් පාක්ෂිකයන්ගේ සංඛ්‍යාවේ ගණනටම නිර්පාක්ෂිකයින්ගේ ගණන ද සමාන වී තිබේ. ඒ හේතුව නිසාම මෙවර ජනාධිපතිවරණයේ ඍජු පණිවිඩ දෙකක් එක සටන් පාඨයකින් ලබා දීමේ අවශ්‍යතාවක් ඇතිවී තිබෙන බව පැවසීම ඉතාමත් නිවැරදිය.

නිර්පාක්ෂිකයන් ලෙසින් පෙනී සිටින බොහෝ අය විවිධ ආකාරයේ වෘත්තීය සංවිධාන ගොඩනඟා ගනිමින් සිටින්නේ මේ කියන අලුත් දේශපාලන ප්‍රවනතාවය හේතුවෙන්ය. පසුගිය සති අන්තයේ කොළඹ පැවති ස්වකීය ජාතික සම්මේලනය පැවැත් වූ වියත්මඟ සංවිධානයක් මුලින්ම ගොඩනැගුණේ සාම්ප්‍රදායික දේශපාලන ආකෘතියට පිටින් සිට රටේ ප්‍රශ්න දෙස බැලීමේ යාන්ත්‍රණයක් ලෙසින්ය. එවැනි ආකාරයේ වෘත්තීයවේදීන්ගේ අලුත් සංවිධානයක් වෙනත් ක්ෂේත්‍රවලද පසුගිය කාලයේ ගොඩනැගුණේ දේශපාලනය යනු අලුත්ම ආකාරයේ ව්‍යාපෘතියක් බවට මේ සමාජයේ අලුත් වටිනාකමක් එක් කරමින් බව මගේ අදහසය.

දැන් මේ ජනාධිපතිවරණයෙන් රට ඉල්ලන්නේ කුමන ආකාරයක නායකයකු ද යන කාරණය තවමත් පවතින්නේ සංවාදාත්මක තත්ත්වයකය. ඉදිරි සති කීපය තුළ ඒ ඒ පක්ෂ හෝ ඒ ඒ අපේක්ෂකයන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ මගින් ඉදිරිපත් කරනු ඇත්තේ තම පක්ෂයේ අපේක්ෂකයා ජයගතහොත් කරන්නේ කුමක්ද කියන කාරණය පිළිබඳවය. තවත් පැත්තකින් ඒ ඒ අපේක්ෂකයන් රට පිළිබඳව තමන් සිතන ආකාරය ගැන අලුත් යමක් ප්‍රකාශ කළ හැක්කේත් මේ කියන කාලය තුළදීය.

මේ රටේ දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාව වියයුත්තේ ආර්ථිකයද එසේත් නැතිනම් වෙනත් කාරණයක්ද යන ප්‍රශ්නය යළිත් වතාවක් දේශපාලනයේ න්‍යාය පත්‍රයට පැමිණීමට නියමිත බව අප කාටත් පෙනී යන වැදගත් කාරණයක්ය.

2015 මේ රටේ ජනාධිපතිවරණ දේශපාලනයේ ප්‍රධාන මාතෘකාව බවට පත්වූයේ ආර්ථික ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳව නොවන බව සමහරුන්ට තාමත් මතකය. එවකට සිටි මහින්ද රාජපක්ෂ රජය 2010 සිට දියත් කළ සුවිශාල ආර්ථික සංවර්ධන මොඩලය ප්‍රශ්නයට ලක් කිරීම 2015 ජනවාරිවරුන්ගේ දේශපාලනයේ පදනම බවට පත්වීම තේරුම් ගත යුත්තේ ග්‍රාමිස්චියානු අර්ථයෙන්ය.

අන්තෝනියෝ ග්‍රාමිස්චි කියන්නේ ඉතාලියේ කොමියුනිස්ට් පක්ෂයේ 1920 පමණ කාලයේ සිටි නායකයෙක්ය. ඔහු ඇතුළු කණ්ඩායම විසින් 1922 වර්ෂයේ ආරම්භ කරන ලද ඉතාලියේ විප්ලවය 1917 ලෙනින්ගේ විප්ලවය මෙන් ජය ගත්තේ නැත. ඒ පරාජයෙන් බලයට පැමිණියේ දෙවැනි ලෝක යුද්ධයේ බරපතළ චරිකයක් වූ බෙනීටෝ මුසලෝනිය. ඒ ඡන්දයෙන් බලයට පැමිණි බෙනීටෝ මුසලෝනිගේ පක්ෂය විසින් ග්‍රාමිස්චිව ඉතාලියේ සිර ගෙදරට යැව්වේය. පසු කාලයේ සිරගෙදර සටහන් හෙවත් Prison Notes කියා ප්‍රකාශයට පත්වී ඇත්තේ ග්‍රාම්ස්චි සිර මැදිරිය තුළ සිට ලියූ සටහන්ය. ඒ ලේඛනවල ඔහු කියන එක කාරණයක් වන්නේ සමාජයක හැසිරීම සාම්ප්‍රදායික මාක්ස්වාදී අර්ථයෙන් ආර්ථික සාධකය මගින් තීරණය වෙන්නේ යැයි කියවුණත් එය හැමතැනටම නිවැරැදි කාරණයක් නොවන බවය. ග්‍රාමිස්චිට අනුව සමහර සමාජවල දේශපාලන වෙනස්කම් සඳහා පදනම් වන්නේ ආර්ථික සාධකය නොව සංස්කෘතික හා දේශපාලන සාධකයන් බව කැපී පෙනෙන කාරණයකය. තමා කනබොන දේවල් හෝ වෙනත් ආර්ථික තත්ත්වයක් හෝ දෙස නොබලමින් නොපෙනෙන ලෝකය පිළිබඳව ඉදිරිපත් කරන අලංකාරිකයන් මත දේශපාලන බලය හුවමාරු වෙන බවට අවස්ථා පවතින බව තේරුම් ගත යුත්තේ ග්‍රාමිස්චියානු අර්ථයෙන් යැයි මා කීවේ ඒ නිසාය.

2015 ජනවාරිවරුන් ඉදිරිපත් කළ යහපාලනය කියන්නේම කිසිවෙකුත් තේරුම නොදන්නා නොපෙනෙන ලෝකයක් පිළිබඳව ඉදිරිපත් කළ ‘කෙබරයක්’ බව මේ වනවිට නොදන්නා කෙනෙක් නැතිවා වගේය. එහෙත් එවැනි අලංකාරිකයක් දෙස බලමින් ගමන් කිරීමට ජනතාව එකඟ වූ බව පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන කාරණයය. පැරණි කියමනක එන්නාක් මෙන් 2015 සිදුවුණේ ‘නොදන්නා මුවන් වෙනුවෙන් නෙළුෑ පළා’ කැපකරන ආකාරයේ වැඩක් බව සමහරුන්ගේ තේරුම් ගැනීමය. තමන් හොඳින් දන්නා ආර්ථික ජයග්‍රහණවලට වඩා නොපෙනන යහපාලන සිහිනයකට ඡන්දය ලබාදීම සුදුසු යැයි සිතන්නේ ඒ ආකාරයෙන් දේවල් තේරුම් ගැනීම නිසාය. දැන් මේ ජනාධිපතිවරණයේ දේශපාලන න්‍යාය පත්‍රය මූලික වශයෙන් පදනම් විය හැක්කේ ‘නොපෙනෙන යහපාලන කතාවලට නොව බිම පැළ කළ හැකි ආර්ථික සංවර්ධනයේ දිසාවකට’ බව මගේ තේරුම් ගැනීමය. වියත්මඟ වැනි වෘත්තීයවේදීන්ගේ ව්‍යාපෘති වෙතට වැඩි ආකර්ෂණයක් සමාජයෙන් යොමුවී තිබෙන්නේත් මේ කියන ප්‍රායෝගික ප්‍රතිපත්ති පදනම නිසාය.

මේ ජනාධිපතිවරණයේ එක් අපේක්ෂකයෙක් ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන කතා මගින් පෙන්නුම් කරන්නේ එතුමාගේ දේශපාලන දිසාව යෝජනා කෙරෙන්නේ වඩා සංවර්ධනකාමී තත්ත්වයක් ගොඩනැඟීමේ පරමාර්ථයෙන් බවය. ආර්ථික සංවර්ධනය සහ ජාතික ආරක්ෂාව ඒ සාකච්ඡාවල ප්‍රධානත්වයක් ගන්නා දැනටමත් ඉතාමත් පැහැදිලි කාරණාවක්ය. අනෙක් අතට මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියන වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිසාව යැයි පෙනී යන්නේ අලුත් ව්‍යවස්ථාවක් හැදීම සඳහා මේ රජය ගත් උත්සාහයේ මීළග පියවර ගොඩනැඟීමේ පැත්තට බව ඒ මහතා පසුගිය දවසක යාපනයේ කළ කතාවෙන් පෙන්නුම් කර තිබුණි.

මීට අමතරව සජිත් ප්‍රේමදස මහතාත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව කියන අතර ඔහුගේ දේශපාලන දිසාව වශයෙන් පෙන්නුම් කරන්නේ කුමක්දැයි පැහැදිලිවම කීමේ හැකියාවක් නොමැත්තේ විවිධතාවකින් යුත් ප්‍රකාශ දිනපතාම අසන්නට ලැබෙන නිසාය. ඒ මහතාගේ සංවර්ධන උපායමාර්ගය වන්නේ ජනතාවට නිවසක් සාදා දීම ඇතුළු සුබසාධන ව්‍යාපෘති ගෙන ඒම යැයි ඔහුගේ කතාවලින් පෙන්නුම් කළත් ආර්ථික හෝ ආරක්ෂාව පිළිබඳ ඔහුගේ පාලනයක් තුළ දෙනු ලබන ප්‍රමුඛතාව කවරේදැයි තවම කාටවත් කියන්නට හැකියාවක් නැති බව පෙනී යන කාරණයය.

මේ ප්‍රධාන අපේක්ෂකයන්ට අමතරව ජවිපෙ නායකයාත් මේ ජනාධිපතිවරණයට තරග කරන බව ගෝල්ෆේස් පිටියේදී පැහැදිලිවම කියා සිටි නිසා ඔහු යෝජනා කරන දිසාව කුමක් විය හැකිද යන්නත් අපේ අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය. පැරණි කියමනක එන ආකාරයට කිවහොත් ජවිපෙ වැනි පක්ෂ හැමදාම සිතුවේ ‘කෙසෙල් ගසක් සිටවන්නේ කෙසේද? කියා නොව අනුන් සිටවූ කෙසෙල් ගසක ගෙඩි බෙදන්නේ කෙසේද’ කියන කාරණය නිසා මේ වතාවේත් ඒ අයගේ දේශපාලන දිසාව මනෝරාජක තත්ත්වයකින් එහාට යන්නේද යන කාරණය විමසීම ඉතාමත් වැදගත්ය.

මේ ප්‍රධාන දේශපාලන ධාරා හැම එකක්ම මේ ජනාධිපතිවරණයේදී තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කළ යුත්තේ ස්වකීය දේශපාලන මැදිහත්වීමෙන් විසඳන්නට යන්නේ කුමන අභියෝගයක්ද යන කාරණය සිතේ තබා ගෙන බව මෙහිදී තේරුම් ගතයුතු වැදගත්ම කාරණයක්ය. අනෙක් අතට මීළඟ දේශපාලන වෙනස්වීම හුදු දේශපාලන කයිවාරුවකට එහා ගිය සමාජ හා ආර්ථිකමය වෙනසක් යෝජනා කළ යුතු බව මේ වනවිට මේ රටේ සෑම ක්ෂේත්‍රයකම මතුවෙමින් තිබෙන යෝජනාව බව පිළිගැනීම මෙහිදී ඉතාමත් අවශ්‍යය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය චරිත හේරත්