නවකතාකරුවකු, කෙටිකතා රචකයකු මෙන්ම පරිවර්තකයකු ලෙස ද ප්‍රකට පී.බී. ජයසේකර මහතාගේ නවතම කෘතිය ‘මා ප්‍රති මා’ නවකතාවයි.

නාඩන් දරුව, නිසල කඳු, මහ රෑ හමු වූ අරුම පුදුම බලු විපත, වැනි පරිවර්තන කෘතිද, කොටියා, ගොදුර අහිංසකයි. දුකෙන් තැවෙන දන, පොට ඇණය සහ මුරුච්චිය, වැනි කෙටිකතා සංග්‍රහද මරියා සිලොනිකා වස්තුව, අවලමා සහ ඇහැටුව, ඉක්බිති ඔහු මරාපීය, බලව කඳුළ ගිනි ගනී වැනි නවකතා ද ඔහුගේ කෘති අතර කැපී පෙනේ. ඉන් බොහොමයක් කෘති රාජ්‍ය සම්මාන ඇතුළු ප්‍රමුඛ පෙළේ සාහිත්‍ය සම්මාන උත්සවවලදී අවසන් වටය නියෝජනය කළ අතර ඉක්බිති ඔහු මරාපීය කෘතියට ගොඩගේ සාහිත්‍ය සම්මානය හිමි විය.

මේ  සංවාදය පී. බී. ජයසේකරයන් සමගිනි.

●    ඔබ මෑතක දී ආසියානු සාහිත්‍ය සමුළුව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණා. එහි දී ලැබූ අත්දැකීම් ලාංකික සාහිත්‍යයට ගළපාගත හැක්කේ කෙසේ ද?

    ආසියාතික ලේඛකයන්ගේ පළමු සම්මේලනය ලොව ළාබාල ම අගනුවර වශයෙන් සලකන කසකස්ථානයේ අස්ථානා අගනුවර දී පහුගිය සැප්තැම්බර් 04 වැනි දා ඇරැඹුණා.

චීනය, ඉන්දියාව, රුසියාව, ඉරානය, ජපානය, තුර්කිය, සෞදි අරාබිය, එක්සත් අරාබි ජනරජය, ඊශ්‍රායලය, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව, පිලිපීනය  ආදි රටවල් 43 කින් පැමිණි ලේඛකයන් 80 ක් විතර දෙනා ඊට සහභාගි වුණා.  බූකර් සම්මානය, දකුණු ආසියානු සම්මානය දිනූ ලේඛකයන් වගේ ම නොබෙල් සාහිත්‍ය ත්‍යාගයට නිර්දේශ වූණු ආසියාතිකයොත් එතැන හිටියා.

    අපි එකතුවුණේ ආසියාතික ලේඛකයෝ. අපි හැමෝ ම නමගිය බටහිර ලේඛකයන්ගේ නිර්මාණ කියවල තිබුණත් අපි අසල්වැසි ආසියාතිකයාගේ කවි නවකතා කෙටිකතා කියවලා නෑ. විශේෂයෙන් ඒ අඩුපාඩුව සාකච්ඡා වුණා.
    සමුළුවට සහභාගි වූ නොබෙල් සාහිත්‍ය සම්මානයට පවා නිර්දේශවුණු දකුණු කොරියානු ජාතික කොවුන් කවියාගේ කවියක් මං කියෙව්වේ ඒ සම්මේලනයට සහභාගිවෙන අතරේ එක් රැයක අන්තර්ජාලයෙන්.

    සමුළුව ඇමතූ එරට ජනාධිපති තම රටේ උසස් නිර්මාණ ඉංග්‍රීසියට පරිවර්තනය කරවීමේ ව්‍යාපෘතියක් සඳහා උපදෙස් දුන්නා. එම වැඩ සටහන ක්‍රියාත්මක කරමින් සමුළුවට සහභාගි වූ ආසියාතික ලේඛකයන්ගේ කෙටිකතා එකතුවක්  කසක් බසින් පිළියෙළ කිරීම සඳහා එම ලේඛකයන්ගේ නිර්මාණවල ඉංග්‍රීසි පරිවර්තන ලබා ගත්තා.

    ව්‍යාපෘතිය කෙතරම් ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක වූ වා ද කියනව නම් කසකස්ථාන් ඇතැම් ලේඛකයන්ගේ කවි එකතුවල ඉංග්‍රීසි පර්වර්තන ඒ දිනවල දීම අප අතට පත්වුණා. මේවා අපේ රටට මහත් ආදර්ශ.

●    ආසියානු කලාපයේ සාහිත්‍ය ක්‍ෂෙත්‍රය හා සසඳා බලන කළ ලාංකික සාහිත්‍යයේ තත්ත්වය ඔබ විමසන්නේ කෙසේ ද?.

    ඇතැම් ලාංකික ලේඛකයන්ගේ සාහිත්‍ය නිර්මාණ ජගත් තලයේ තියන්න පුළුවන් නිර්මාණ. විශේෂයෙන් ම කවිය සහ නවකතාව සාර්ථකව හොඳ දුරක් පැමිණිලා තිබෙනව. ඒත් මගේ අදහස අනුව සිංහල කෙටිකතාව ඒ තරම් දියුණු මට්ටමක නෑ.

කවිය වගේ ම කෙටිකතාව නිර්මාණය කිරීමත් ඉතා ම අසීරුයි.  ඒත් කවියේ සංක්‍ෂිප්ත භාවය කෙටිකතාවට අවශ්‍ය නෑ. අපේ විචාරකයන් වරදවාගත්තු තැනක් ඒක. ඒ නිසා ම සිංහල කෙටිකතා නිර්මාණකරුවාත් තම නිර්මාණ අනවශ්‍ය තරමින් කෙටිකරන්න යනවා. කෙටිකතාව කෙටි විය යුත්තේ දිගින් නොවේ, වෂ්තු බීජය සහ තේමාව වශයෙන් ගන්නා වූ පළලින්. එය තාර්කික ගැටුමෙන් යුතුව ගැඹුරට යා යුතුයි.

නොබෙල් සාහිත්‍ය ලාභී ඇලිස් මොන්රෝ ලියන්නේ කෙටිකතා පමණයි. ඒවා ඉතා දිගුයි. මං කියවල තියෙනවා පිටු අනූවකටත් වඩා දිගු ඇගේ කෙටිකතා. මගේ අදහස අනුව යම් කවියක් හරි කෙටිකතාවක් හරි අන් බසකට පෙරළෙන විට එයින් හැලී යන්නේ එහි ඇති බසේ හරඹයි.

●    ඔබේ මා ප්‍රති මා නවකතාව මෙවර බොහෝ සාහිත්‍ය උත්සව වල අවසන් වටය නියෝජනය කළත් ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී මුල් වටයෙන් ම හැලී ගියා නේ ද? මේ පොත වගේම තවත් පොත් කීපයක් එහෙම වුණා. අපේ රටේ සාහිත්‍ය සම්මාන උත්සව ගැන මොක ද හිතෙන්නේ?

    මගේ එම නවකතාව ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ මුල් වටයට ආවෙ නෑ. විද්‍යෝදය, ගොඩගේ සහ රාජ්‍ය සම්මානයන් හි දී එය අවසන් වටය කරා ආවා.

    ස්වර්ණ පුස්තක මුල් විනිසුරුමඬුල්ල එක්කෝ නවකතා කියවලා නෑ, එහෙම නැතිනම් වෙන කාගේ හරි බලපෑමකට යටත් වෙලා, එහෙමත් නැතිනන් තම හිතවතුන්ට සැළකීම සඳහා එම පොත් තෝරාගන්න ගොසින් හොඳ නිර්මාණ හැලිලා, එහෙමත් නැතිනම් ද්වේශ සහගතව ඇතැම් නිර්මාණ පිටු දැකලා. වෙන මොනව ද වෙන්න පුළුවන්.

සමහරු කියනවා විනිසුරුවන්ට කරනු ලැබූ ගෙවීම් මඳියි කියල. ඒ නිසා සාධාරණ විනිශ්චයක් දීමට බැරි උණා කියල. උසස් විභාග වල උත්තර පත්‍ර ඇගැයීම් කරන ගුරු භවතුන්ට ගෙවන්නේ ඉතා කුඩා ගෙවීම්. ඒක මගේ අත්දැකීම. ගෙවීම් අඩු නිසා අපි අසාර්ථක උත්තර ලියාපු ළමයින්ට සම්මාන දෙනව ද?. ගෙවීම් මඳිනම් විනිශ්චයට වාඩි නොවී හිටිම නම්බුකාරයි. මට විතරක් නෙමෙයි,  සෙසු සම්මානයට පාත්‍ර වූ ‘මකරානන්දය’ නවකතාවත් මුල් නවකතා අතර තිබුණේ නෑ. හැබෑට ම මේකට වගකියන්න ඕනෑ ප්‍රකාශක සංගමය. මං හිතනව ඒ අය සාහිත්‍ය හිතකාමී මහත්වරුන් නම් දැන්වත් ඇයි එහෙම වුණේ කියල උත්තර බඳින්න ඕනෑ.

●    නවකතාවේ හැඩය එදාට වැඩිය අද බොහෝ සෙයින් වෙනස් වෙලා. නවකතාවේ සමාජ සහභාගිත්වය ඔබ කොහොම ද හඳුන්වන්නේ?

    නවකතාවේ හැඩය වෙනස්කිරීමට බොහෝ නිර්මාණකරුවෝ උත්සූකවෙලා තියෙනවා. නොයෙක් ආකෘතීන් යොදාගෙන නවකතාව පෙළ ගැසීමට ගත් වෑයම් අපමණයි.

කවුරුත් දන්නව The Book Thief නවකතාවේ ඉදිරිපත් කරන්නේ ‘මාරයා’ කියල. එක්තරා උදයකින් අරඹා එදින හවසින් අවසන් වෙන ඉතා දිගු නවකතාවක් ඇලෙක්සැන්ඩර් සොලිසිනිට්සන් ලියා තිබෙනවා. එකිනෙක හා ගෙතුණු කථන තුනකින් හෙබි නවකතාවක් වැල්දිමිර් නොබොකෝෆ්ගේ Pale fire  නවකතාව. කෙසේ වූවත් හරාත්මක වශයෙන් නවකතාව දහනව වැනි ශතවර්ෂය වන විටත් ප්‍රබුද්ධත්වයට පත් ව තිබුණා.
 
ඇතැම් විටෙක අද නවකතාව පා සටහන් සහ රූ සටහන්වලින් සහ ඓතිහාසික දත්තයන්ගෙන් ගහන වෙනව. නවකතාව අපේ රාමුවලට කොටුනොකර වටහාගන්න එක ඉදිරිගාමීයි. වඩා හොඳ නවකතා ලියවුණත් නවකතාව හරස්කඩක් ලෙස ගෙන විග්‍රහකරගන්න ලෝක සාහිත්‍යයට යන්න වෙනව.

The Brief Wondrous Life of Oscar Wao    නවකතාවේ පා සටහන් එමටයි.  ප්‍රංශ ජාතික Andre Breton f.a Nadja  නවකතාවේ රූප ගොඩයි. 1928 ප්‍රකාශයට පත්කරපු ඒ නවකතාව අදත් කියවනවා. 1960 ගණන්වල ගුණදාස අමරසේකර ‘අලියා සහ අන්ධයෝ’ කියල විචාරපොතක් ලීවා. බොහෝ දෙනා සාහිත්‍යය අල්ලාගන්නේ අන්ධ මිනිහා අලියාගේ අල්ලාගත්තු තැන අනුව අලියා වටහාගන්නා ආකාරයට. ඔහු දන්නා අලියා, හැබෑ අලියා නොවේ.

●    දැන් පමණටත් වඩා නවකතා ලියැවෙන බවයි ඇතැම් විචාරකයන් කියන්නේ. ඒ පමණට පාඨක සමාජයේ වර්ධනයක් ඔබ දකිනවා ද?

    ලේඛකයාට පාඨක සමාජයේ වර්ධනය පේන්නේ තම නිර්මාණ අලෙවි වන තරමින්. වැඩිපුර අලෙවියට බලපාන සාධක කිහිපයක් තිබෙනව. සම්මාන ලැබීම එක සාධකයක්, වැඩිපුර සාකච්ඡාවීම තවත් කාරණාවක්.  මේවා දැන් සමහර වෙලාවට සාහිත්‍ය කටයුතු සිදුවෙන්නේ ‘ගරිල්ලා මාකටින්’ ක්‍රමයට. ඇතැම් විට කිසිම හිරිකිතක් නැතිව තමා ම තම නිර්මාණය ලියවනවා, ලියනවා.

    නවකතා වැඩිවන තරමට හොඳයි. කිසි ම පාඨකයෙකුට හැමදා ම එක ම තැන රැඳී ඉන්න බෑ. එයා වඩා හොඳ නිර්මාණ හොයාගෙන යනව. ලියන්නොත් පාඨකයො. නිරතුරුව පොතක් කියවීම මගේ පුරුද්දක්. හැබැයි දැන් එහෙම නැති ලියන්නොත්  ඉන්නවා. ‘ලියන්න ඔයතරම් කියවන්න ඕනෑ ද?’ කියල අහන ලේඛකයො ඉන්නව.

අපි ඉඳල හිටල පොතක් කියවල ඒක මෙතෙක් කියවපු හොඳ ම පොත කියල හිතනව නම් ඒක බරපතළ වැරැද්දක්.

සංවාද සටහන : ගාමිණි කන්දේපොළ