ලියෙෆ් නිකොලායෙවිච් තෝල්ස්තෝයි(1828 - 1910) රුසියානු සාහිත්‍යයේ විශිෂ්ටතම නවකතාකරුවා ලෙස සැලකේ. ඔහු සිය පරිණත අවධියෙහි රචනා කරන ලද ‘යුද්ධය හා සාමය’ කෘතිය විචාරකයන්ගේත් පාඨකයන්ගේත් වෙසෙස් අවධානයට ලක්වීය. සිය ශිෂ්‍ය අවධියේ කසාන් විශ්වවිද්‍යාලයට ඇතුළුව ඉංග්‍රීසි, ඉතාලි, ග්‍රීක යන භාෂා උගත් තෝල්ස්තෝයි නීතිය ද හැදෑරීමක නිරත විය.

ඔහු යස්යානා පෝල්යානා නම් ග්‍රාමයේ පැරණි වංශවත් සිටු පරපුරක උපත ලැබුවේය. රුසියාවේ කොකේස් ප්‍රදේශයේ තුර්කි ගරිල්ලන් හා සටන් කිරීමට හමුදා සේවයට බැඳුණු ඔහු ඉන් ලද අත්දැකීම් සිය නිර්මාණ සඳහා ද යොදා ගත්තේ ය.

‘ළදරුවිය, ළමාවිය හා තරුණවිය’(1852) තෝල්ස්තෝයි රචනා කළ පළමු කෘතිය වූ අතර එය ස්වයං චරිතාපදාන ලක්ෂණ පෙන්වන්නක් වශයෙන් සැලකේ. ‘යුද්ධය හා සාමය’(1869), ‘ඇනා කැරනිනා’(1873), ‘ඉවාන් ඉලියෙවිච්ගේ මරණය’(1886), ‘ක්‍රොයිට්ෂර් සොනාටා’(1889) යන නවකථා තෝල්ස්තෝයිගේ අනන්‍යතාව මතු කළ නිර්මාණ කෘති වේ.

‘මිනිසෙකුට කෙතරම් ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය ද’(1886), ‘යක්ෂයෝ’, වැනි කෙටිකථා සහ කෙටිනවකථා සම්බන්ධයෙන්  ඔහු උනන්දු වූව ද ඔහුගේ කෙටිකථාවල සාධනීයතාව පරයා ඉස්මතුවන්නේ නවකථාවල ගුණාත්මකභාවය යි. සාහිත්‍ය නිර්මාණ හැරුණුවිට ඔහු රචනා කළ ‘කලාව යනු කුමක්ද?’(1897) සහ ‘මගේ පාපොච්චාරණය’(1881) වැනි ග්‍රන්ථ ද සාහිත්‍යකරුවන් අතර ප්‍රකට ය. තෝල්ස්තෝයිගේ අවසාන කෘතිය වශයෙන් සැලකෙන ‘හජ්ජි මුරාඩ්’ ප්‍රකාශයට පත්වීමට ප්‍රථමව ඔහු මිය ගිය අතර ඔහුගේ ග්‍රන්ථ ප්‍රකාශනය සම්බන්ධයෙන් පැවති ආරවුල් තත්ත්ව පිළිබඳව ද සමාජ කතිකා ගොඩ නැඟී තිබේ.

සෝන්යා ඇන්ඩ්‍රියෙව්නා නම් තැනැත්තිය හා විවාහ වීමෙන් පසු ඔහුට දරුවන් 12දෙනෙකු ලැබූ අතර ඉන් කිහිපදෙනෙක් ම අකාලයේ මිය ගියහ. තෝල්ස්තෝයිගේ විවාහ දිවිය සම්බන්ධයෙන් පවා වෙන ම සාහිත්‍යයක් පැවති අතර පෞද්ගලික තතු සම්බන්ධයෙන් රචනා වී ඇති ග්‍රන්ථ ද බහුලය.

1915 ඔක්තෝම්බරයේ පැවති රුසියානු විප්ලවයට අවැසි සමාජමය බලවේගය සිය සාහිත්‍යය කෘතීන්ගෙන් විශද කිරීම හේතුවෙන් රුසියානු විප්ලවයේ කැඩපත වශයෙන් ඔහුව නම් කර ඇත. සිටු තනතුර ඉවත ලා රුසියානු ගැමියකු වශයෙන් සාමාන්‍ය ගොවි ජනයා හා තෝල්ස්තෝයි ගොඩනඟා ගත් අව්‍යාජ දිවිපෙවෙතත්, රදල ජනයාගේ සැබෑ තතු සිය නිර්මාණවලින් හෙළිකිරීමට පෙලඹීමත් නිසා පිටිසරබද රුසියානු ජනතාව පවා ඔහු කෙරේ ගරු බුහුමන් දැක්වූහ. තෝල්ස්තෝයිගේ චරිතප්‍රදාන, ලිපි, දින සටහන් මුද්‍රණය කිරීම සඳහා පෙර’පර දෙදිග ම ලේඛකයන් උනන්දු වූ අතර ඔහුගේ නිර්මාණ අරබයා වත්මනෙහි ද සංවාද හා පර්යේෂණ සිදුවෙමින් පවතී.

ඇනා කැරනිනාට බලපෑ සැබෑ සිදුවීම   

යුද්ධය හා සාමය නම් ඓතිහාසික නවකථාව රචනා කිරීමෙන් පසුව තෝල්ස්තෝයි දැඩි වෙහෙසකින් සහ සෞඛ්‍ය තත්ත්වයෙහි පීඩාකාරී ස්වභාවයකින් පසුවිය. එය දුරලීමේ අටියෙන් හෙතෙම රුසියාවේ සමාරා නම් ප්‍රදේශය බලා පිටත්විය. ඒ 1872 වසරේදීය. සමාරාවට ගොස් තමා උපන් ගම්මානය වූ යස්යානා පෝල්යානාවට නැවත පැමිණි අවස්ථාවේදී තවත් නවකථාවකට අවැසි අත්දැකීමකට මුහුණ දීමට ඔහුට හැකිවිය.

යස්යානා පෝල්යානාවේ සිය වතුයාය සමීපයෙහි ජීවත් වූ බිබිකොව් නමැති ඉඩම් හිමියාගේ (නීත්‍යනුකූල ලෙස විවාහවීමකින් තොරව දිවි ගෙවූ) බිරිඳ වූ ඇනා ස්ටෙපානොව්නා පිරෝගෝවා ජනවාරි 4 වන දින දුම්රියකට පැන සිය දිවි නසාගත්  පුවතක් ඔහුට අසන්නට ලැබිණි. අදාළ දුම්රිය ස්ථානයට ගොස් විමසීමෙහි දී එකී කාන්තාව සියදිවි නසාගනු ලැබුවේ සිය සැමියාගේ අනියම් ප්‍රේමයක් හේතුවෙන් බව තෝල්ස්තෝයි දැනගත්තේ ය. තෝල්ස්තෝයිගේ භාර්යාව, සෝන්යා ඇන්ඩ්‍රියෙව්නාගේ දින සටහනක මෙම විස්තරය පැහැදිලිව දක්වා තිබේ.

“උගත් හෝ ධනවත් හෝ නොවූ, වයස අවුරුදු පණහක් පමණ වන ඒ. එන්. බිබිකොව් නමැති අසල්වාසියෙක් අපට සිටියි. තමාගේ මිය ගිය බිරියගේ දුර ඥාතිවරියක් වූ ඇනා ස්ටෙපානොව්නා ඔහුගේ ගෘහ පාලිකාව හා අනියම් බිරිය ලෙස ඔහුගේ නිවසෙහි වාසය කළ අතර ඈ තිස්පස් වැනි වියෙහි හෝ ආසන්න වයසක පසු වූ අවිවාහක කාන්තාවක් වූවා ය.

බිබිකොව් සිය පුතුට සහ ඥාති දියණියට උගැන්වීමට සිය නිවසට ගුරුවරියක ගෙන්වා ගත්තේ ය. ඈ හුරුබුහුටි ජර්මන් ජාතික යුවතියක් වූවා ය. බිබිකොව් ඇය හා ආලයෙන් බැඳුණු අතර තමා විවාහ කරගන්නා ලෙසට අයැදීය.

මේ හේතුවෙන් ඔහුගේ අනියම් භාර්යාව වූ ඇනා ස්ටෙපානොව්නා වරදකාරී සිතැතිව සිය මව බැලීමට ටූලා ප්‍රදේශය බලා පිටත් වූවා ය. නමුත් එහි යෑම වෙනුවට ඇනා සිය රෙදි බෑගය ද අතැතිව ළඟ ම ඇති යාසෙන්කි දුම්රිය ස්ථානය වෙත ගොස් ඒ වනවිටත් ධාවනය වෙමින් පැවති භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියකට පැන සිය දිවි නසාගත්තා ය.

පසුව ඇගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණයකට භාජනය කරන ලදී. ලියෝ තෝල්ස්තෝයි එම ස්ථානයට ගිය අතර කුඩු වී තිබූ ඇගේ හිසත් අංග ඡේදනය වී තිබූ ඇගේ සිරුරත් යාසෙන්කි හි බැරැක්ක මත තිබෙනු ඔහු දුටුවේය. මෙය දුටු තෝල්ස්තෝයි අතිශය කම්පනයට පත් විය. ඔහු දැනසිටියේ ඇනා ස්ටෙපානොව්නා උස, ස්ථුල රුසියානු පෙනුම සහිත මුහුණක් සහ ගති ලක්‍ෂණ සහිත, තලෙළු පැහැති සමක් සහ අළු පැහැති දෑස්  ඇති, ලස්සන නොවන මුත් ආකර්ෂණීය කාන්තාවක ලෙසිනි” යැයි ලියෝ තෝල්ස්තෝයි සහ සමකාලීනයන්ගේ අත්දැකීම් සිහිවීම යන මැයෙන් මාගරට් වෙට්ලින් විසින් ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය කරයි.

සෝන්යාට අනුව ඇනා කැරනිනා කෘතිය පිළිබඳව 1870 පමණ සිට තෝල්ස්තෝයි අවධානයෙන් සිට ඇත. ඔහුට අවශ්‍ය වූයේ සමාජ සම්මතයට එදිරිව ගමන්ගත් රුසියානු ඉහළ පන්තියේ විවාහක කාන්තාවක පිළිබඳ නවකථාවක් රචනා කිරීමට බවත්, ඇය සමාජයේ දෝෂදර්ශනයට ලක්වන ආකාරයේ ගැහැනියක් වනු දැකීම නොව අනුකම්පාව හිමිවිය යුතු තැනැත්තියක වනු දැකීමට බවත් සෝන්යාගේ දින සටහන් අධ්‍යයනයෙන් දැනගත හැකිය.

තෝල්ස්තෝයිගේ අදහස වූයේ මහා පීටර් රජු (ක්‍රි.ව. 1672 - 1725) තේමා කරගනිමින් නවකථාවක් ලිවීමටයි. ඊට පෙර දේශපාලනික නවකථාවක් රචනා කළ බැවින් ඔහුගේ අවධානය යොමු වූයේ රුසියාවේ පාලකයන් විෂයෙහි ඓතිහාසිකමය වශයෙන් සමාජයේ සිදු වු විපර්යාස එක්තරා ආකෘතියකට අනුයුක්ත කිරීමට යි. එහෙත් ඔහු ලිවීමට සැරසුණු එම නවකතාව වෙනුවට වෙනත් නවකතාවක් ලිවීමට ඔහුගේ සිත පෙළඹවූ ඇනා ස්ටෙපානොව්නාගේ සිදුවීම සිදුවිය. එවකට ඔහු ලිවීමට සූදානමින් සිටි දේශපාලනික නවකතාව පසුකලකදී හජි මුරාඩ් ලෙස රචනා කළේය.

මේ අවධිය වනවිට ප්‍රංශ සාහිත්‍යයේ බලපෑම රුසියාවට බහුලව ලැබෙමින් තිබූ කාලවකවානුවක් වූ බැවින් කාන්තාවන් ප්‍රධාන චරිතය කරගනිමින් ගුස්ටාව් ෆ්ලෝබෙයාර්ගේ එමා බෝවාරි ඇතුළු ශෝකාත්ම නවකතා බිහිවෙමින් පැවතිණි. මෙම සාහිත්‍ය කෘති තෝල්ස්තෝයි ද ඇසුරුකරන්නට ඇත.

කෙසේ වුවත් ඇනා ස්ටෙපානොව්නාගේ සියදිවි නසා ගැනීමේ පුවත තෝල්ස්තෝයි රචනා කිරීමට සූදානම් වූ නවකථාවට අවැසි අනුභූතිය සැපයීය. ඇනා ස්ටෙපානොව්නා දිවිනසාගැනීමේ ආරංචිය සැලවී තෝල්ස්තෝයි දුම්රිය ස්ථානයට යෑම හා ඇනාගේ මළ සිරුර දැකීම, නවකථාව අවසානයේ මතක ආවර්ජනයක් ලෙස දැක්වේ. මෙහිදී තෝල්ස්තෝයි ඇනා ස්ටෙපානොව්නාගේ මළ සිරුරෙහි දුටු සියල්ල ඇනාට ද ආරෝපණය කරයි.

‘උන්මන්තකයකු සේ තමා දුම්රිය පළට දිව ආ අවස්ථාවේ ඇනා නමැත්තියගෙන් ඉතිරි වී තිබුණ දෑ මතක් විය. සිඳී බිඳී ගිය ඇගේ සිරුර මඩුවක තබා තිබිණ. මොහොතකට පෙර ඈ වෙත තිබූ ප්‍රාණයේ උණුසුම තවමත් ඒ සිරුරේ රැඳී තිබුණේ ය’ යයි ස්වර්ණකාන්ති රාජපක්ෂ පරිවර්තනය කළ ඇනා කැරනිනා කෘතියේ සඳහන් වේ.

පෞද්ගලික ජීවිත තතු

යුද්ධය හා සාමය නවකථාවට සාපේක්‍ෂව ඇනා කැරනිනා නවකථාව රචනා කිරීමේදී තෝල්ස්තෝයිගේ පෞද්ගලික ජීවිතය අභ්‍යන්තරයෙන් බලපැවැත් වූ ධර්මතා සහ පසුබිම් සාධක ජෝජ් බේලි සූක්ෂ්මව ග්‍රහණය කරගෙන ඇති සැටියක් පෙනේ.

“ඔහු තුළ ම වැඩී වර්ධනය වූ වස්තුවිෂයක් යුද්ධය හා සාමය නවකථාවෙහි තිබූණිග පවුල තුළ පැවති ඔහුගේ අභිමානය ඔහු කිසි දිනෙක පූර්ණ වශයෙන් පිළි නොගත්තේ ය.

මේ අතර ඇනා කැරනිනා නවකථාව බිහි වූයේ ඔහු තමාගේත් තමා අයත් සමාජ පංතියේත් ජීවන රටා පිළිබඳව හටගත් සැක සංකාවන්ගෙන් බලවත් චිත්ත පීඩාවට පත්ව සිටි කාලයක දී ය. ඒ සමාජ පංතියෙන් ඈත්ව තමා හුදකලාව සිටින බව ඔහුට වඩ වඩාත් තදින් දැනිණි.

තම විවාහයත් පවුල් ජීවිතයත් පිළිබඳව වර්ධනය වූ දොම්නසකින් පෙළුණු ඔහු තමාගේ පැරණි ජීවිතය අතහැර දැමීම සඳහා ද, නව ධර්මතාවයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා ද උපන් ආශාවෙන් ගුප්ත ලෙස පීඩාවට පත් කෙරිණි. ඒ නව ධර්මතාව වූ කලී, ඔහුගේ ජීවිතයේ අවසන් වසර කිහිපය තුළ දී ඔහු හඳුනාගත් න්‍යාය විය. ඔහුට අවැසි වූයේ තමා තුළ වර්ධනය වෙමින් පැවති නාටකය පිළිබිඹු කිරීම සඳහා බාහිර තේමාවකි. ඇතැම්විට ඒ නාටකය අඩු කරමින් සාහිත්‍ය කලා පදනමින් හෝ විසඳන තේමාවකි. එය ඔහු චිත්ත පීඩාවට පත් කළ සිතිවිල්ලක් වූවා මිස තවදුරටත් ඔහුගේ සිත් ගත් කථාවස්තුවක් පිළිබඳව සොයා බැලීමේ ප්‍රශ්නයක් වූයේ නැත” යයි බේලි පවසයි.

යුද්ධය හා සාමය රචනා කිරීමෙන් පසුව මානසික බිඳවැටීමකට ලක් වූවා සේ අතර ඇනා කැරනිනා රචනා කරන අවධියේ දී ද තෝල්ස්තෝයිගේ යම් විපරීතතාවකට මුහුණදෙමින් සිටින්නට ඇති බව ඔහුගේ ජීවිත කථාව අධ්‍යයනයෙන් හෙළි වේ.

ඇනා කැරනිනා මඟින් තෝල්ස්තෝයි තම පෞද්ගලික ජීවිතයේ හා විවාහ ජීවිතයේ පැතිකඩ විදාරණය කරනබව සෝන්යා ද පවසා තිබේ.

ඔහු මෙම නවකථාව රචනා කරන කාලය ඇතුළත ඔහුගේ පවුලේ බාල දරුවා වූ පෙට්කා මිය ගියේ ය: ඔහුගේ නැන්දණිය වූ තත්යානා මිය ගියා ය: පවුලට අලුතින් එක් වූ ළදරුවා මරණයට පත්විය: බිරිඳ මළ දරුවකු බිහි කළා ය. ඇනා කැරනිනා ප්‍රකාශයට පත්වීමෙන් පසු ඔහුගේ සහෝදරයා ද මිය ගියේ ය. මෙවන් පසුබිමක් තුළ තෝල්ස්තෝයි මානසික ව්‍යාකූලත්වයකට පත්වීම පිළිගත හැකි තත්ත්වයකි.

ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා දෙදෙනාගේ ජීවන පුවත් ද සමාන බවක් උසුලයි. මොවුන් තම සැමියන්ට වඩා වයසින් වසර දහසයක් පමණ බාලය. ස්වාමියාගේ පාර්ශ්වය බලවත්වීම (ස්ටෙපානොව්නාගේ සැමියා බිබිකොව් යස්යානා පෝල්යානාවේ ධනවත් ඉඩම් හිමියෙකු වූ අතර කැරනිනාගේ සැමියා අලෙක්සෙයි සුප්‍රසිද්ධ දේශපාලනඥයෙකි).

විවාහ ජීවිතයේ තතු, ඊර්ෂ්‍යාව හේතුවෙන් සිය දිවි නසාගැනීමට පෙළඹීම, ඒ සඳහා දුම්රිය ස්ථානය යොදාගැනීම යනාදිය මෙම කාන්තාවන් දෙදෙනා සම්බන්ධව සාදෘෂ්‍ය වේ. 

ස්ටෙපානෙව්නාට අවශ්‍ය වූයේ ටූලා හි පදිංචි සිය මවගේ නිවස වෙත යාමට යි. නමුත් ඈ එහි යෑම වෙනුවට දුම්රියකට පැන දිවිනසා ගනී. නවකථාවේ ඇනා ද රොන්ස්කි හමුවීමට ඔහුගේ මවගේ නිවසට යෑමට සිතුව ද රොන්ස්කි එනු ඇතැයි සිතන දුම්රිය ස්ථානයෙහි දී දුම්රියකට පැන සියදිවි හානි කරගනී.

ඩිල්ෂානි චතුරිකා දාබරේ