පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණය මෙන් වෙනත් කිසිදු පළාත් පාලන මැතිවරණයක් මේ ආකාරයෙන් ආර්ථිකයට බලපෑම් එල්ල නොකළේය. 

ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක මැතිවරණයෙන් ලද පරාජය දේශපාලනය අස්ථාවරත්වයක්, දේශපාලන වශයෙන් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය කළා පමණක් නොව ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය ද පහත දැමීය. 

මෙම තත්ත්වය ආයෝජන අධෛර්ය පත් කරන අතර ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ප්‍රායෝගික සහ අත්‍යාවශ්‍ය තීරණ ගැනීමේ ආණ්ඩුවේ හැකියාව සහ ධාරිතාව තවදුරටත් පහත දමනු ඇත. විපක්ෂ කණ්ඩායම්වල විරෝධතා ආර්ථිකය තවදුරටත් දුර්වල කරනු ඇත. මේ වනවිට වර්ධනය වෙමින් තිබෙන දේශපාලන තත්ත්වය රටේ ආර්ථිකයට අනිටු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට හේතුවක් වනු ඇත.

දේශපාලන වාතාවරණය
පළාත්  පාලන ආයතන සියල්ල සඳහා එකම දිනක මැතිවරණය පැවැත්වීම මෙවර පළාත් පාලන මැතිවරණයේ විශේෂත්වයකි. එය පළාත් පාලන ඡන්දය කුඩා මහ මැතිවරණයක් එසේත් නැතිනම් ජනමත විමසුමක් බවට පත් කළේය. ආණ්ඩුවේ පක්ෂ දෙක සහ අනෙකුත් පක්ෂ මැතිවරණ වේදිකාවේ අදහස් දැක්වූයේ ද ඒ අයුරිනි. එහෙත් පළාත් පාලන ආයතනවලට සම්බන්ධ අර්බුද, ගැටලු හා ප්‍රශ්න සම්බන්ධයෙන් මැතිවරණයේදී අවධානය යොමු නොවූ තරම්ය. 

එපමණක් නොව ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පසු ආණ්ඩුවේ ජනප්‍රියත්වය මැන බැලූ පළමු අවස්ථාව වූයේ ද පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයයි. එමෙන්ම මෙවර පුංචි ඡන්දය එකිනෙකාට විරුද්ධව හැසිරුණු අදහස් ප්‍රකාශ කරගත් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ ජනප්‍රියත්වය මැන බලන්නක් ද විය. 

මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය
මැතිවරණ සටන ඇතැම් විටෙක මැතිවරණ ප්‍රතිඵලයටත් වඩා ඉස්මතු විය. සෑම පක්ෂයක්ම දැඩි ලෙස එකිනෙකාට විවේචන එල්ල කරගත්හ. එය ජාතික ආණ්ඩුවේ සමගියට බාධාවක් විය. තම පක්ෂ මුල් කරගෙන කටයුතු කිරීමට යෑමෙන් ජාතික ආණ්ඩුව පිළිබඳ ගැටලුවක් නිර්මාණය වූ අතර දැවැන්ත දේශපාලන අර්බුදයක් සහ දේශපාලනමය අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය කළේය. දේශපාලන යථාර්ථය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව තිබෙන බාධා යනාදිය කෙසේ වෙතත් මෙම තත්ත්වය ඉදිරි වසර දෙකක කාලය සඳහා ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් නිර්මාණය කර තිබේ. 

පක්ෂ දෙකේම ඇතැම් ඉහළ පෙළේ නායකයන් ජාතික ආණ්ඩුව පවත්වාගෙන යන බවත් පහළ මට්ටමේ එවැනි තත්ත්වයක් දක්නට නොමැත. එපමණක් නොව ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකයන් එකිනෙකා විවේචනය කරගන්නා අතරවාරයේදී මෙම අර්බුදයට තවත් පක්ෂයක් මැදිව සිටි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ගොස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම පක්ෂයයි. 

පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී ආසන ගණනක් හිමි පක්ෂය එක්සත් ජාතික පක්ෂය වුවත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිහිප අවස්ථාවකදීම ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ වෙනමම පක්ෂයක් නිර්මාණය වීම අනෙක් වැදගත් කරුණයි. 

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයට තරග වැදුණත් හෙතෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්  වී නොමැත. ඒ නිසාම මෙවර මැතිවරණය සිරිසේන සහ රාජපක්ෂ යන දෙදෙනාගේ ජනප්‍රියත්වය උරගා බලන සටනක් බවට පත්විය. 

ආර්ථික අවාසිය
මෙම පළාත් පාලන මැතිවරණය ආර්ථිකය පිටපුසට ගෙන යන්නක් බවට පත්ව තිබේ. මැතිවරණ ප්‍රතිඵලය ජාතික ආණ්ඩුවේ සමගිය දුර්වල කර තිබෙන අතර ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය කර තිබේ. ආණ්ඩුවේ ආර්ථික වැඩසටහන සම්බන්ධයෙන් අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබේ. එපමණක් නොව රටේ ආර්ථිකයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් ජාත්‍යන්තර තබා තිබූ විශ්වාසය කෙමෙන් කෙමෙන් අඩු වෙමින් තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයෙන් ලද දැවන්ත පරාජය වත්මන් ජනාධිපතිවරයාගේ දේශපාලන බලාධිකාරය දුර්වල කළ ද ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන බලය ඒ අයුරින්ම පවතී. ඔහු මීළඟ ජනාධිපතිවරණයට තරග කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ද මේ වනවිට විවාදයක් ඇති  වී තිබේ. එවැනි තත්ත්වයක් උඩ ජාතික ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැබෙනු ඇත්තේ ඉතා අල්ප සහායකි. 

මේ තත්ත්වයට වගකිව යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහු මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී ජාතික ආණ්ඩුවේ තම අනෙක් පාර්ශවයට විරුද්ධව මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කළ අතර එක්සත් ජාතික පක්ෂය නොමැති තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටවන බව අවස්ථා කිහිපයකදීම කීවේය. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටත් අඩු ආසන සංඛ්‍යාවකි. පාර්ලිමේන්තුවේ බහුතරය ආරක්ෂා කරගැනීමට එක්සත් ජාතික පක්ෂයට තවත් අවශ්‍යව ඇත්තේ මන්ත්‍රීවරුන් 7 දෙනකු පමණි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය ජාතික ආණ්ඩුව දුර්වල කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කළේය. ජාතික ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වය දුර්වලම කළේය. 


ආර්ථික කාර්යසාධනය 
ආර්ථිකයේ අව කාර්ය සාධනය, ප්‍රමාණවත් නොවන සහ පලදායී නොවන ප්‍රතිපත්ති, ආර්ථිකය දුර්වල කරන ක්‍රියාකාරකම් නොනවත්ව ක්‍රියාත්මක වීම, දූෂණ වංචා, නිලධාරීවාදය, අඩු ආර්ථික වර්ධනය ආදී අර්බුද, ගැටළු රැසක් මධ්‍ය වුවද සැලකිය යුතු ජයග්‍රහණ කිහිපයක් අත්පත් කරගැනීමට ජාතික ආණ්ඩුවට හැකියාව ලැබිණි. එසේ ලැබූ ජයග්‍රහණ ආර්ථික සංවර්ධනයට උපකාරී වන ඒවාය. ආර්ථික සංවර්ධනයට මූලික අවශ්‍යතා වන නීතිය හා සාමය සහ නීතියේ ආධිපත්‍යය වර්ධනය වීම එසේ ලැබූ ජයග්‍රහණය. ජාත්‍යන්තර සබඳතා වර්ධනය වීම අපනයන වර්ධනය කළේය. 

යුරෝපා සංගමයෙන් ලබාදෙන ජී.එස්.පී ප්ලස් සහනය ස්ථාපිත කරගැනීමට හැකි වීම තවත් ජයග්‍රහණයකි. එහි ප්‍රතිඵලයක් ලෙස මුහුදු ආහාර අපනයන සහ ඇඟළුම් අපනයන වැඩි වූ අතර සමස්ත අපනයනවල වටිනාකම ඩොලර් බිලියන 15ක වාර්තාගත අගයක් දක්වා ඉහළ ගියේය. 

වසර 2015  දී සහ 2016 දී මූල්‍ය ඒකග්‍රතාව බිඳ වැටුණ ද 2017 වසරේදී සැලකිය යුතු ලෙස අයවැය හිඟය පහළ ගියේය.එය වසර 2020 වනවිට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5කට ගෙන ඒමේ ඉලක්කයට යෑමේ පළමු පියවරක් ලෙස පෙන්වා දිය හැකියා. එහෙත් වත්මන් දේශපාලන ප්‍රවණතා සහ වාතාවරණය ඒ සියල්ල අවුල් කරනු ඇත. ආර්ථික වර්ධනය සහ ස්ථාවරත්වය අවදානම් තත්ත්වයකට පත් කරනු ඇත. 

විදේශ ණය කළමනාකරණය සඳහා පැහැදිලි සහ උපායමාර්ගික සැලැස්මක් ආණ්ඩුව සතු විය. එහෙත් වත්මන් තත්ත්වයත් සමඟ එම උපායාමාර්ගයට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවනු ඇත. රුපියල අවප්‍රමාණය වීම, වෙළෙඳ හිඟය වැඩිවීම, ආයෝජන ගලා ඒම අඩුවීම, ණය පිරිවැය වැඩිවීම යනාදිය සිදුවිය හැකිය. එක්වරම ඇති වූ දේශපාලන අවිනිශ්චිත තත්ත්වය පසුගිය කාලයේදී අත්පත් කරගත් ජයග්‍රහණ සියල්ල ආපසු හරවනු ඇත්දැයි සැක සහිතය. 


ආර්ථිකමය අනතුරු ඇඟවීම් 
වත්මන් දේශපාලන තත්ත්වය දෙස් විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය පළුදු කරනු ඇත. රටේ ණය ශ්‍රේණිගත කිරීම් අඩු කරනු ඇත. විදේශ ණය පිරිවැය වැඩි කිරීමට ද හේතුවක් වනු ඇත. ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැදගත් සහ අත්‍යාවශය පියවර ගැනීමට ආණ්ඩුවට තිබෙන හැකියාව සහ ධාරිතාව පහත දමනු ඇත. ඇතැම් විටෙක වත්මන් තත්ත්වය නිසා එවැනි පියවර ගැනීමට නොහැකි වීමට ද පුළුවන. 

වසර 2015න් පසු ආර්ථික වර්ධනය සියයට 5ක අගයකට ළඟා නොවූ තරම් වන අතර වත්මන් තත්ත්වය නිසා ආර්ථික වර්ධන වේගය තවදුරටත් පහත හෙළනු ඇත. 


ආර්ථික ප්‍රතිඵලය තීරණය වනු ඇත්තේ දේශපාලන අර්බුදය විසඳෙන ආකාරය අනුවය. එසේ වුවත් නව ආණ්ඩුවක් පත් වුවද නිවැරැදි ආර්ථික ප්‍රතිපත්ති ගත යුතුමය. ආණ්ඩුව ජනප්‍රියත්වය සහ දේශපාලන විරුද්ධත්වය පසකෙලා ප්‍රායෝගික සහ නිවැරැදි දැක්මකින් යුත් ආර්ථික ප්‍රතිපත්ති ගත යුතුමය. අවසානයේදී යහපත් ආර්ථිකයක් යනු යහපත් දේශපාලනයක් බව සියලු දෙනා සිහි තබා ගත යුතුය. එමෙන්ම ආර්ථික ප්‍රතිපත්ති ග්‍රාමීය බහුතර ජන කොටසට ප්‍රතිලාභ ගෙන දෙන අයුරින් සකස් කිරීම ද කළ යුත්තකි. 


අවසාන වශයෙන්
සියලු කරුණු සැලකිල්ලට ගැනීමේ දී වත්මන් දේශපාලන තත්ත්වය කිසි ලෙසකින් වත් ආර්ථික වර්ධනයට හිතකර නොවේ. රට හමුවේ තිබෙන ආර්ථිකමය අභියෝග බැරැරූම්ය. එම නිසා ජාතික ආණ්ඩුව ශක්තිමත් කර හොඳින් සැලසුම් කරන ලද ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කළ යුතුය. එමෙන්ම ඉන් නිස පල ප්‍රයෝජන ගැනීම සඳහා තීරණය කරන ලද ආර්ථික ප්‍රතිපත්ති නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලිය යුතුය. 

තනි තනි පක්ෂ වශයෙන් ලබාගන්නා ජයග්‍රහණවලට වඩා ජාතික ආර්ථික සංවර්ධනය ඉතා වැදගත් සහ සියල්ලටම ඉහළින් තිබෙන්නක් බව ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද අවබෝධ කරගත යුතුය. රට දැන් හතරමං හන්දියකට පැමිණ තිබේ. වැරැදි පියවර ගතහොත් රටේ ආර්ථිකය කඩා වැටෙනු ඇත. සමස්ත ආසියානු කලාපයම වේගයෙන් ඉදිරියට ගමන් කරමින් තිබේ.  නිවැරැදි පියවර නොගතහොත් කලාපයේ මන්දගාමී ආර්ථිකයක් හිමි එකම රට බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත. 
 
ආචාර්ය නිමල් සඳරත්න විසිනි

පරිවර්තනය හර්ෂණ තුෂාර සිල්වා