(සමන්ත යහම්පත්)

ආසියාවේ මහා සිනමාකරුවකු මෙන්ම හෙළයේ මහා සිනමාවේදියා ලෙස ද සැලකූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් අපෙන් සමුගෙන මාස 9ක් ගෙවී ගොස් තිබේ. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාත් බිරිඳ වන  “හෙළ සිනමා කිවිිඳිය” ලෙස  සැලකෙන ප්‍රවීණ සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් මහත්මියත් ජීවත් වූ ඩික්මන් පාරේ (දැන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත) පිහිටි නිවස අතහැර දමා යෑමට ඇයට සිදුවී තිබේ. 

පුරා අවුරුදු 50ක් මේ දෙදෙනා ජීවත් වූ මෙම නිවස ලාංකීය සිනමාවේ මහ ගෙදර යයිද ඇතැමෙක් කියති. මක්නිසාද යත් බොහෝ සම්මානනීය සිනමාවේදීන් සිය මුල් කාලයේදී ලෙස්ටර් ශූරීන්ගේ ගුරුහරුකම් පතා එම නිවසට ආ බැවිනි. 

මෙම නිවස ජාතික උරුමයක් ලෙස රැක ගැනීමට කිසිම රජයකට හෝ නිලධාරීයකුට උවමනාවක් තිබුණේ නැත. මෙම නිවස රැක ගැනීමේ අවශ්‍යතාව පිළිබඳවත් ආචාර්ය ලෙස්ටර් ශූරීන්ගේ සිහිනය වූ සිනමා සංරක්ෂණාගාරයක අවශ්‍යතාව පිළිබඳවත් ලංකාදීපයේ ‘රසවින්දන’ අතිරේකයෙන් විවිධ අවස්ථාවලදී පෙන්වා දුන්නද ඒවා බීරි අලින්ට වීණා වාදනය කිරීමක් වැනි විය. 

දැන් සියල්ල සිදුවී හමාරය. අපි රටක් වශයෙන් ඒ පිළිබඳ ලජ්ජා විය යුතු නොවන්නේද? 
හෙළයේ මහා සිනමාවේදියා වෙනුවෙන් ගෞරවය  පුද කරන්නේ මෙලෙසද? 

ඒ පිළිබඳ සිතීම දැන් අතීතයට ගිය කාරණයක් පමණි. ලාංකීය සිනමාවේ මතක සියල්ල සිතේ තබා ගනිමින් ඇය දුක්බර ලෙසින් තමන් වසර 50 ක් ජීවත් වූ නිවස හැර දමා යන්නට තීරණය කර තිබේ. 

නිවස හැර දමා යෑමට ඇය ගත් තීරණයත්, සිනමාව පිළිබඳවත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන් පිළිබඳවත් ඇය හා කළ කතාබහ මෙසේ පෙළ ගැසේ.

හෙළයේ මහා සිනමාවේදියා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ඔබතුමිය අඩසියවසක පමණ කාලයක් පදිංචිවී සිටි නිවෙස අතහැර යන්න හදන බව ආරංචියි. ඒ කතාවේ පසුබිම මොකක්ද ?

අපි දැන් සිටින නිවසට ආවේ 1969 වසරේ. මේ අවුරුද්දට අවුරුදු 50ක් වෙනවා. අපි එනවිට ඒ කාලයේ හැටියට මේ නිවස එතරම් හොඳට තිබුණේ නෑ. ගරා වැටුණු විදිහට තිබුණේ. අපි ඒක හදාගෙන වගේ තමයි පදිංචියට ආවේ. එංගලන්තයේ හිටියා ප්‍රනාන්දු කියලා පවුලක්. ඒගොල්ලො අපිට ගේ හදාගෙන බලාගෙන අපේ වගේ හිටියට ඉන්න දුන්නට අයිතියක් තිබුණේ නෑ. අපි ඉන්නවාට කුලියක් ගෙව්වා. 

ආචාර්ය ලෙස්ටර් පීරිස් මහත්මයා නැතිවෙන්න ඉස්සෙල්ලාම ඒ අය අපටත් නොකියා කම්පැණියකට මේ ගේ විකුණලා තිබුණා. ඒගොල්ලන්ට මුදල් අවශ්‍යතාවක් තිබෙන්න ඇති. නමුත් ඒ අය ඩොක්ටර් පීරිස් ජීවතුන් අතර ඉන්දැද්දීවත් මටවත් ලොකු ප්‍රශ්නයක් ඇති කළේ නෑ. ඒ අය හොඳ මිනිස්සු. 

ඒ අය මේ වෙනුවෙන් හුඟාක්  මුදල් වැය කරලා තිබෙන හින්දා ඒ අය මගෙන් ඇහුවා මෙය ආපහු ලබාගන්න පුළුවන්ද කියා. මොකද ඒ අය බිස්නස් එකක් වශයෙන් මෙය අරගෙන තිබුණේ. ඒ අයගේ සහයෝගයත් එක්කලා, මාත් මුදල් කොටසක් දාලා මිරිහානේ පැත්තේ ගෙයක් ගත්තා. මොකද මේ ගේ අපට අයිති නැහැනේ. ඒකයි යථාර්ථය. ඉතිං ඒ හින්දා යන්න මම තීරණය කළා. තීරණය කියන්නේ එකක්. නමුත් ඉතිං හිත ඇතුළේ දුකක් තිබෙනවා. 

ඇත්තටම මේ නිවස ලාංකීය සිනමාවේ එක් සන්ධිස්ථානයක්. මෙහි මතක සටහන් කොතරම්ද කියා නිම කරන්න බැරි තරම්. එහෙම නිවසක් අත්හැර යාම ගැන ඔබතුමියට දුකක් ඇතිවෙන එක සාධාරණයි. එහෙම නේද? 

ඇත්තෙන්ම ඔව්. අපේ හොඳම චිත්‍රපට හැදුණෙත් මෙහෙ ඉන්න කාලේ. මගේ චිත්‍රපට කලාව පටන් ගත්තේ මෙහේදී. අධ්‍යක්ෂවරියක් වශයෙනුත්, සංස්කරණ ශිල්පිනියක් ලෙසත් මේ නිවසේදී කළ වැඩ කොටස නිම කරන්න බැරි තරම්. එදා අපත් සමග සිටි හුඟාක්  අය අද නැති වෙන්නත් පුළුවන්. මේ නිවස අපේ සිනමාවේ මහගෙදරක් වගේ තිබුණේ.

ඕනෑම රැයක් ගත කරන්න හැමෝටම පුළුවන් තත්ත්වයක් තිබුණේ. මේක ගෙයක් නොවෙයි. සිනමාවේ එක් සංධිස්ථානයක්. ඇත්තටම සිනමාවේ එක් කොටසක් වගේ තමයි මේ නිවස තිබුණේ. අපට මේ නිවස ගන්න මුදල් තිබුණෙත් නෑ. ඒ අයටත් උනන්දුවක් තිබුණෙත් නෑ විකුණන්න. 

එක කාලයක උනන්දුවක් තිබුණ මේක විකුණන්න. එතකොට නීති ප්‍රශ්න තිබෙන්න ඇති. කලාකරුවෝ විදිහට අපි චිත්‍රපට කළා මිසක් මුදල් උපයන දේවල් කළේ නෑ. මට තිබුණු දේපළත් කලින් කළ විකුණලා ඒවාත් සිනමාවට යට කළා.  මේක සුවිශේෂි නිවසක්. ඒ හින්දයි මේ පාරත් (ඩික්මන් පාර) ඩොක්ටර් පීරිස් නමින් නම් කළේ. ඉතිං අවුරුදු 50ක් කියන්නේ කොයිතරම් කාලයක්ද? ඩොක්ටර් පීරිස් නැතිවුණාට පස්සේ ඇතිවු පාළුව කිසිදා මැකෙන එකක් නෑ. දැන් මේ ගෙදර බඩු මුට්ටු ඔක්කොම වගේ ඇදලා තිබෙන්නේ. ඉතිං මෙහි ඉඳගෙන උදේ තේ කොප්පයක් බොනකොට මට සිතුණේ මේක ලොකු හිස් පාළුවක් තිබෙනවා ජීවිතේ කියා. නමුත් යථාර්ථයට මුහුණ දෙන්න ඕනෑ නේද? අපිත් දැන් වයසට යන කාලයක්. 

ඔබතුමිය බොරලුගොඩ පරම්පරාවේ තැනැත්තියක්. ඒ ඥාතීන් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළට ගිය අය. ඒ අයටවත් වුමනාවක් තිබුණේ නැද්ද මේ නිවස රැක ගන්න. 

එහෙම ඉතිං රැක ගන්න කියා දෙයක් ඔවුන් සිතුවේ නැතිව ඇති. අනෙක ඉතිං මේවාට අපිම වගකියන්න ඕනේ නේද? අපටත් ඉතිං දෙමවුපියන්ගෙන් ලැබුණු දේපළ වුණත් රැක ගන්න තරම් උනන්දුවක් තිබුණේ නෑ. අපේ දේපළ විකුණලා සියලු දේ කැප කළේ සිනමාවටයි. ඒක තමයි යථාර්ථය. මට මතකයි ඩොක්ටර් පීරිස් නැතිවූ වෙලාවේත් මේ නිවස කෞතුකාගාරයක් කරනවා කියලා කතා කළා. දේශපාලනඥයෝ මේ ගැන ඒ වෙලාවේ ලොකුවට කතාබහක් ගෙන ගියා. නමුත් ඒවා  කට වචනයට විතරයි. අනෙක මගේ වයසත් එක්ක ඕවා ගැන කතා කරන්න ගියොත් මානසිකව තවත් මම වැටෙන්න පුළුවන්.  

නිදහසේ මේ කාලය ගත කරලා තව චිත්‍රපටයක් හදන්නත් ආසාවක් තිබෙනවා. එහෙම ලැබුණොත් ඊට වඩා තෘප්තියක් මට නෑ. එතැන තමයි මම ඉන්නේ. හොඳ තේමාවක් එක්ක චිත්‍රපටයක් කරන බලාපොරොත්තුව ඇරෙන්න වෙන කිසිම දෙයක් මා තුළ නෑ. 

මේ නිවස කෞතුකාගාරයක් බවට පත් කර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියාට ගෞරව කිරීමට පාලකයන්ට ඉඩ තිබුණා නේද? වෙන රටවල මහා සිනමාකරුවන්ගේ නිවාස ඒ තත්ත්වයට පත්කර තිබෙනවා. නමුත් අපට ඇයි ඒ අගය නොවැටහුණේ? ඔබතුමියට මොකද ඒ ගැන සිතෙන්නේ?

වෙන රටවල එහෙම තිබෙන බව ඇත්ත. ඔබ කියු ආකාරයට ඩොක්ටර් පීරිස්ගේ අගය පාලකයන්ට දැනෙන කොට දැන් හුඟාක් ප්‍රමාද වැඩියි. ඉතිං මේ අවසාන කාලයේ ඕවා ගැන ගැටලු ඇති කර ගන්නයි, මිනිසුන්ගේ හිත් රිද්දවන්නයි වැඩක් නෑ කියලයි මට හිතෙන්නේ. අපි පුළුවන් විදිහට ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ.

ඔබතුමිය මේ නිවස හැරයන බව දැනගත් විටදීවත් අදාළ බලධාරීන් හෝ ඥාතීන් කතා කළාද? මොනවද ඔවුන් පැවසුවේ?

නෑ. එහෙම දෙයක් ඔවුන්ට මම කිව්වෙත් නෑ. අත්සන් කළාට පස්සේ තමයි මම සමහරුන්ට ඒ ගැන කිව්වේ. මගේ පවුලේ කවුරුවත් දැනගෙන හිටියේවත් නෑ. මමයි, රියදුරයි මාව බලාගන්න කෙනයි විතරයි ඒ බව දැනගෙන හිටියේ. මම සිතුවා මේ ගැන කියන්න ගියොත් එක එක අය එක එක දේවල් කියාවි. එයින් තව මට මානසිකව ප්‍රශ්න ඇති වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ. ඉතිං හරි හෝ නරක කියලා මම ඒ තීරණය ගත්තා. හරිද වැරදිද කියලා මම තවම දන්නේ නෑ. අලුත් ගෙදරට ගිහින් බලන්න ඕනේ. 

මට මේ නිවසින් අයින් වෙන්න අවසාන දිනය දීලා තිබෙන්නේ මේ මාසයේ 17 වැනිදා. නැතිවුණොත් මට වන්දියක් ගෙවන්න වෙනවා. මිරිහාන පර්චස් 12ක ඉඩමක් තුළ තිබෙන නිවසකට යන්නේ. බලමු ඉතිං එතනට ගියාම තමයි මොකද වෙන්නේ කියලා. 

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් ජීරිස් මහා සිනමාවේදියා මියගොස් දැන් මාස 9ක් විතර වෙනවා. ඔබතුමියට මොකද දැන් සිතෙන්නේ?

මට හිතා ගන්න බැහැ මෙච්චර කාලයක් ගතවුණා කියලා. ඒක තවම නිකම් ඊයේ පෙරේදා වගේ. හැම තිස්සේම ඩොක්ටර් පීරිස් ගැන කතා වෙනවා. පුවත්පත්වල පළවෙනවා. හැම තිස්සේම ඔහු මතක් කරනවා. පුද්ගලයකු වශයෙනුත් එතුමා හරිම කරුණාවෙන් කතාකරන කෙනෙක්. කාගෙවත් හිත රිද්දන්න කැමති නෑ. ඒ මතකය තවම මගේ සිතේ තිබෙනවා. මා තුළ හැමදාම ඩොක්ටර් පීරිස් ඉන්නවා. 

අපි දෙන්නා විවාහ වුණේ 1964 දී. අපේ විවාහ දිවියේ 50 වැනි සංවත්සරයත් මේ  නිවසේදී සමරන්න ලැබුණා. එතුමා අවුරුදු 99 ක් වනතුරු ජීවත් වුණා. මම හිතන්නේ එක අතකින් ඔහු නිදහස්. අන්තිම අවුරුදු 2 තුලදී දැනුම, කල්පනාව තිබුණාට නියම විදියට ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් ශක්තියක් එතුමාට තිබුණේ නෑ කියලයි මට සිතෙන්නේ. ඒ වුණාට සාමාන්‍යයෙන් දෙයක් වටහාගැනීමේ ශක්තිය තිබුණා. කොහොම වුණත් මට නම් එතුමා තවමත් ඉන්නවා වගෙයි හිතෙන්නේ. 

ආචාර්ය පීරිස් කියු දේවල් පිළිබඳව පාලකයන්, බලධාරීන් කිසිම දෙයක් නොකිරීම ගැන ඔබතුමියට දුකක් නැද්ද? එතුමාගේ සිහිනයත් මේ නිලධාරීන් බොරුවක් කළා නේද? 

හැම පාලකයෙක්ම හැම නිලධාරියෙක්ම ඩොක්ටර් පීරිස්ගෙන් ඇහුවාම හැම තිස්සේම කිව්වේ සංරක්ෂණාගාරයක් හදන්න කියලයි. එයාගේ ගැනවත් අපි හිටිය මේ නිවස ගැනවත් එතුමාගේ කටින් කවදාවත් කිසිම දෙයක් කියැවිලා නෑ. එයා හැම තිස්සේම පැවසුවේ මේ සිනමාව රකින්න ඕනේ, නියම විදියට සංරක්ෂණාගාරයක් හදලා මේ චිත්‍රපට ආරක්ෂා කරගත යුතුයි කියලයි. එයාගේ එකම සිහිනය වෙලා තිබුණේ ඒකයි. ඒකවත් හරියට කෙරුණේ නෑ. ආයතනවල ප්‍රශ්න නිලධාරීන්ගේ ගැටුම් නිසා ඒවා හැමදාම පස්සට ගියා. 

හැමෝම කඹ ඇද ඇද සිටියා මිසක් ඒවා කෙරුණේ නෑ. දැන් ඉතිං යන්තම් පොඞ්ඩක් සංරක්ෂණයක් තිබෙනවා. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පිහිටුවා තිබෙන කොටසක් නිසා ඒකේ වායුසමීකරණ කාමරයක් තිබෙනවා. චිත්‍රපට සංස්ථාවේ වායු සමීකරණවත් හරියට තිබුණේ නැහැනේ. අපි පිටරට යනකොට අපේ චිත්‍රපටත් ගෙදර වායු සමීකරණයේ තිබූ දේවල් ඒ අයට භාර දුන්නාට පස්සේ ඒවාත් හුඟාක් ඒවා නැතිවෙලා ගියා. 1956 ඉඳලා ඩොක්ටර් පීරිස් කතාකළේ මේ සංරක්ෂණ ගැනයි. ඒක ගැන නියම අවබෝධයක් මේ අයට නෑ. සංරක්ෂණය වගේම පුනරුත්ථාපනයක් කරන්නත් ඕනේ. මේවා අලුතින් ඩිජිටල් ක්‍රමයට හරි අලුත් කරගත යුතුයි. නමුත් ඒවා කෙරුණේ නෑ. කෙරෙන්නේ නෑ. උනන්දුවක් ඇත්තෙත් නෑ. ඒ අපේ ඉතිහාසයයි. අනාගත පරපුරට ඒවා නැතිවීම දුකක්. 

දැන් ඔබතුමියත් සිනමාවෙන් ඈත්වෙලාද ඉන්නේ? 

සිනමාවෙන් අයින් වෙන්නේ නම් නෑ. දැන් ඉතිං ඇඟේ තිබෙන ශක්තිය වුණත් අඩුයි. චිත්‍රපටයක් කරන්න සෑහෙන්න මහින්සි වෙන්න ඕනේ. චිත්‍රපටයක් කරන්න ආසයි. මම දන්නේ නෑ අවස්ථාව ලැබෙයිද කියා. මුදල් ගොඩක් ඒ වෙනුවෙන් ඕනෑ. අනෙක් එක ප්‍රදර්ශනයත් දැන් හුඟාක් අවුල් ජාලාවක් වෙලා. සිංහල චිත්‍රපටවලට දී තිබු තිර කාලයත් දැන් ඉවර වෙලා. ඕනෑම දෙයක් ඕනෑ ඕනෑ විදියට පෙන්වන්න පුළුවන් වෙලා. අද කිසිම පාලනයක් නැතිවීම දුකක්. මම ඒවා ගැන වැඩිය දන්නේ නෑ. විමසීමෙන් ඉඳලත් නෑ. ප්‍රමිතියක් නෑ. කොහොම විදියට චිත්‍රපට රිලීස් වෙනවාද කියා මා දන්නේ නෑ. 

ඉස්සර ෑ සිනමාව ප්‍රතික්ෂේප කළා. ඊට වඩා ඉහළ ප්‍රමිතියෙන් යුත් 2ණ, 4ණ සිනමාවක් ගැන හැමෝම කතා කළා. නමුත් දැන් නම් ෘඪෘ ජංගම දුරකතනවලින් හැදු චිත්‍රපටත් තිරගත වෙනවා. ඒ හින්දා චිත්‍රපට 100ක්  විතර පෝලිම් ගැසිලා පෙන්වන්න බැරිව ඒවා වර්ග කිරීමක් නෑ. මම දන්නේ නෑ මේවායේ නියම තත්ත්වය මොකක්ද කියලවත්. හැබැයි මම දන්න විදියට නම් මේ සියල්ල නරක පැත්තට  ගිහිල්ලා වගෙයි පෙනෙන්නේ. 

ඔබතුමියට අපේ සිංහල සිනමාව පිළිබඳව අද දවසේදී මොකද සිතෙන්නේ? 

මට නම් ලොකු කලකිරීමක්  සිතෙනවා. මම හිතන්නෙ නෑ ලොකු අනාගතයක්  අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියා සිංහල සිනමාවේ. ලොකුම වෙනසක්  වුණොත් ඒ ගැන හිතන්න පුළුවන් වේවි. ප්‍රේක්ෂකයන්  අද වෙනස් වෙළා. එදා කිව්වා ගැලරියට හදන චිත්‍රපට තිබුණ කියලා. අද ඉතිං හැමෝම ගැලරියේ ඉන්නවා වගෙයි තමයි පේන්නේ. කිසිම රුචිකත්වයක් නෑ. හොඳ රුචිකත්වයක් තිබෙන සීමිත කොටසකුත් ඉන්නවා. ඒක තව දියුණු වෙලා ලොකු ඉල්ලීමක් ආවොත් මේ සිනමාවේ වෙනසක් ඇතිවේවි.