බි්‍රතාන්‍ය යටත් විජිත වියගසින් මිදී පවත්වන ලද දෙවැනි මහ මැතිවරණය 1952 දී පවත්වන්නට සිදු වූයේ, 1952 මාර්තු 22 වන දින අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ හදිසි අභාවය නිසාය. ඒ අනුව 1952 මැයි 24, 26, 28 හා 30 දින පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ආසන 54ක් ජයග්‍රහණය කර එහි නායක ඩඞ්ලි සේනානායක මහතා අගමැති ධූරයට පත්විය. දහ හතර දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍ය පදවිය ජේ. ආර්. ජයවර්ධන මහතාට හිමි විය. 
 
1953 වසර සඳහා මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ අය වැය ලේඛනයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ දැමීම තැපැල් ගාස්තු ඉහළ දැමීම හා නොයෙකුත් සහනාධාර ඉවත් කිරීම සිදුවූ අතර ඒ සඳහා ජනතා විරෝධය මතු විය. එහි ප්‍රථිඵලයක් ලෙස 1953 අගෝස්තු 12 වැනි දින වාමාංශික දේශපාලන පක්ෂ හා ශ්‍රී.ල.නි. පක්ෂය එක්ව මහා හර්තාලයක් ප්‍රකාශයට පත් කළේය. එම හර්තාලයේදී හමුදා හා පොලිස් වෙඩි ප්‍රහාර වලින් කීප දෙනෙකු මිය යාමෙන් ඇති වූ කම්පනය නිසා අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතා ඉල්ලා අස්වූ අතර සර් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යධූරයට පත්විය. ඔහුගේ අමාත්‍ය මණ්ඩලයට ජේ. ආර්. ජයවර්ධන මහතා බඳවා ගන්නේ සභානායක කෘෂිකර්ම හා ආහාර අමාත්‍යවරයා ලෙසය. 
 
මුදල් අමාත්‍යධූරය සර් ඔලිවර් ගුණතිලකට හිමිවිය. 1952 තෝරාගත් පාර්ලිමේන්තුවට 1957 දක්වා බලයේ සිටීමට හැකිවූවත් රාජ්‍ය භාෂාව සම්බන්ධව රට තුළ ඇතිවූ ප්‍රබල මතවාදය නිසා 1956 දී මහ මැතිවරණයකට යාමට සර් ජෝන් කොතලාවලට සිදුවිය. ඒ අනුව 1956 අප්‍රේල් 05, 07, 10 යන දින තුන මහ මැතිවරණය පැවැත්වීමට යොදා ගන්නා ලදී. එහිදී එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මෙහෙය වූ මහජන එක්සත් පෙරමුණ මන්ත්‍රීධුර 95න් 51ක් ජයගත් අතර එක්සත් ජාතික පක්ෂයට හිමි වුයේ ආසන 08 පමණි. හිටපු මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතා කැලණිය ආසනයට තරඟ කර 1952 දී වැඩි ඡන්ද 6235 කින් ජයගෙන තිබුණත් 1956 දී වැඩි ඡන්ද 22,836 කින් පරාජයට පත් වූයේ ආර්. ජී. සේනානායක මහතාටය.
 
ආර්. ජී. සේනානායක - ස්වාධීන - 37,023
ජේ. ආර්. ජයවර්ධන - එ.ජා.ප - 14,187
ඇම්. පී. පී. ඩබ්. ජයවර්ධන - ස්වාධීන - 377
ඇස්. ඒ. ඩී. ඇස්. ගුණවර්ධන - ස්වාධීන - 158
වැඩි ඡන්ද 22,836
 
ජේ. ආර්. ජයවර්ධන එ.ජා. පක්ෂයෙන් තරඟ කරද්දී ආර්. ජී. සේනානායක ම.එ.පෙ. සහයෝගය ඇතිව ස්වාධීනව තරඟ කළ අතර ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලකුණු කරමින් ආර්. ජී සේනානායක මහතා 1956 මහ මැතිවරණයේදී ජේ. ආර්. ජයවර්ධන පරාජය කරන ගමන්ම තවත් ආසනයක් ස්වාධීනව තරඟ කර එයද වැඩි ඡන්ද 24,907 කින් ජයගන්නේය. ඒ දඹදෙණිය ආසනයයි. 
 
ආර්. ජී සේනානායක - ස්වාධීන - 26,414
ඒ. ජී. පියදාස - එ.ජා.ප. - 1507
වැඩි ඡන්ද - 24,907
 
ලංකා ඉතිහාසයේ ඡන්ද කොට්ඨාස දෙකක් එකවර තරඟ කර දෙකම ජයගත් එකම අවස්ථාවත් මෙය වේ. ජයවර්ධන කෙනෙකු පරදා සේනානායකවරයකු ජයගැනීමද විශේෂයකි. ජේ. ආර්. ජයවර්ධන මහතා එවර කැලණි අසුනින් පැරදුණද 1960 මාර්තු සිට 1988 දෙසැම්බර් 19 දක්වා සෑම මහ මැතිවරණයකදී මෙන්ම ජනාධිපතිවරණ දෙකකදී එතුමා අපරාජිත මන්ත්‍රීවරයකු විය. ආර්. ජී. සේනානායක මහතා ද 1970 මහ මැතිවරණයේදී පරාජයට පත්වන තෙක් මන්ත්‍රීවරයකු ලෙස සෑම මැතිවරණයකදීම තේරීපත් විය.
 
 
 
 
 
 
 
බණ්ඩාරගම - සමරසේන මුදලිගේ