විකිණීමට ඇති දේශපාලන පක්ෂ-2

 

ලංකා ද්‍රවිඩ සංගමය රාජ නීතිඥ ජී. ජී. පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුතුව දෙමළ ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් මතවාදයක් ගොඩනංවමින් සිටියේය. ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය ප්‍රකාශයට පත් වූ අවස්ථාවේදී යාපනයේ තරුණ සංගමය මගින් මෙහෙයවන ලද මැතිවරණ වර්ජන ව්‍යාපාරයට එය සහයෝගය දුන්නේය. ඒ නිසා උතුරු පළාතට වෙන්කර තිබුණු ආසන හතරක් වසර තුනක් පමණ හිස්ව තිබුණි. එහෙත් 1934 දී පමණ හිස්ව තිබුණු පේදුරුතුඩුව ආසනයට ඉදිරිපත් වූ පොන්නම්බලම් මහතා ආසනය දිනාගෙන පනහට පනහේ ව්‍යාපාරය ඉදිරියට ගෙන ගියේය. 


දකුණු ඉන්දියාවෙන් කෝපි වගාව සඳහා ගෙන අවුත් උඩරට මධ්‍යම කඳුකරයේ වතුකරයේ පදිංචිකර සිටි වතුකම්කරුවන්ගෙන් පැවත එන ලක්ෂ සංඛ්‍යාත පිරිස නියෝජනය කරමින් ලංකා ඉන්දියානු සංගමය නමින්  දේශපාලන පක්ෂයක් බිහි වී තිබුණි. රාජ්‍ය මන්ත්‍රණ සභා අවධියේදී නතේස අයියර් නම් කම්කරු නායකයා හැටන් ආසනය දිනාගෙන සිටි අතර 1947 මහා මැතිවරණයේදී නාවලපිටිය, තලවකැලේ, බදුල්ල, නුවරඑළිය, මස්කෙළිය, කොටගල යන වතුකරයේ ආසන සියල්ලම එම පක්ෂයට හිමිවීම විශේෂත්වයක් විය. ඒ අතර ඩී.ඇස්. සේනානායක රජයේ නියෝජ්‍ය නායකයා මෙන්ම පළාත් පාලන හා සෞඛ්‍ය ඇමැති සහ පාර්ලිමේන්තුවේ සභානායකවරයා ද වූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂය සමග ඇතිකර ගත් මතභේදයක් නිසා රජයෙන් ඉවත්ව විපක්ෂයට එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීම එම යුගයේ ඇති වූ  විශාල පෙරළියක් වූවේය. මෙහිදී එජාපය ආරම්භ වූ ආකාරය ගැන ද කෙටි සඳහනක් කිරීම උචිතය. සෝල්බරි කොමිසම මෙරටට පැමිණීමෙන් පසු බ්‍රිතාන්‍යයේ වෙස්ට් මිනිස්ටර් ආකෘතියට අනුව ඩොමිනියන් තත්ත්වයේ වගකීමේ ආණ්ඩු ක්‍රමයක් සහ නිදහසක් ලැබෙන බවට ඇඟවීම් පළවුණි. 1946 රාජකීය සන්නසක් හෙවත් රජුගේ නියෝගයක් මගින් ඒ බවට ප්‍රකාශයක් නිකුත්ව තිබුණි. මේ බව වටහා ගත් දේශීය නායකයෝ එක්රැස්ව පොදුජනතාව නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වීමේ අවශ්‍යතාව සලකා 1946 සැප්තැම්බර් 06 වැනිද‌ා කොළඹ කුරුඳුවත්තේ ෆාම්කෝම් මන්දිරයේදී රැස්ව මෙම පක්ෂය පිහිටුවා ගත් අතර එහි නායකයා වූවේ ඩී. ඇස්. සේනානායක මහතාය. නියෝජ්‍ය නායක වශයෙන් බණ්ඩාරනායක මහතා ද ලේකම් වශයෙන් සර් උක්වත්තේ ජයසුන්දර හා එච්. ඩබ්ලිව්. අමරසූරිය යන මහත්වරුද්‍ පත්වූහ. එවකට පැවැති ලංකා යෝනක සංගමය, මැලේ සංගමය මෙන්ම එවකට මහත් පිරිහීමකට ලක්ව සිටි ලංකා ජාතික සංගමයේ ඉතිරිව සිටි පිරිස් ද මෙයට එක්වූ බව කියනු ලැබේ. එහෙත් ටික කලකින්ම ඇති වූ යම් යම් මතභේද මත රජයෙන් ඉවත් වූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ පිරිසක් 1951 සැප්තැම්බර් 02 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීම මෙරට දේශපාලන බලතුලනය වෙනස් කිරීමට සමත් වූ කේන්ද්‍රීය සාධකයක් වූ බව ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන කාරණයකි. එකල යූ.ඇන්.පී. විරෝධී ප්‍රධාන බලවේගය ලෙස පෙරමුණේම සිටි වාමාංශික බලවේගය පසුපසට කරමින් පෙරට ඒමට නව පක්ෂයට හැකි විය. එම කඳවුර අනුගමනය කළ මාක්ස්වාදී සහ විප්ලවවාදී දේශපාලන න්‍යාය ධර්මයට මෙරට බහුතරය වූ ගැමි ගොවි ජනතාව රුචියක් දැක්වූවේ නැත. පෞද්ගලික ජනප්‍රියත්වය පදනම් කරගෙන රට මැද ඡන්ද කොට්ඨාස කීපයක් එම පක්ෂවලට දිනාගත හැකි වූවා වුවත් සමස්තයක් වශයෙන් ගැමි ජනතාව ඒ කෙරෙහි ඇදී ආවේ නැත. බුදු දහමින් පෝෂණය ලද එම ජනයා ආයුධ සන්නද්ධ විප්ලවයක් මගින් රාජ්‍ය බලය අත්පත් කරගැනීම වැනි ලේ වැගිරීම් හෝ එන රුසියන් විප්ලවවල ආකෘතියක් ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක කිරීමට කැමැත්තක් දැක්වූවේ නැත. ඒ නිසා සිංහල භාෂාව. බෞද්ධ සංස්කෘතිය මහා සංඝයා වහන්සේලා, පිරිවෙන් අධ්‍යාපනය, දේශීය වෛද්‍ය ක්‍රමය, ස්වභාෂා ගුරුවරයා ආදී සමාජයේ නොවැදගත් යයි සලකන තැනක් නොමැතිව සිටි ජන කණ්ඩායම්වල සුබසිද්ධිය වෙනුවෙන් කළ ශ්‍රීලනිපයේ ආමන්ත්‍රණය මහත් සේ ඵලද‌ායක වූවේය.


පක්ෂ සහ ලාංඡන මෙසේය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත
එක්සත් ජාතික පක්ෂය අලියා
ලංකා සම සමාජ පක්ෂය යතුර
ෆෙඩරල් පක්ෂය ගෙය
ලංකා කොමියුනිස්ට් පක්ෂය තරුව
මහජන එක්සත් පෙමුණ රෝදය
ජාතික විමුක්ති පෙරමුණ අහස් යානය
(රාජරත්න මහතාගේ)
ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කුඩය
ලංකා ද්‍රවිඩ සංගමය බයිසිකලය
සමාජවාදී මහජන පෙරමුණ ඇස
ස්වාධීන සම්මේලනය තරාදිය
සිංහල ජාතික සංගමය ලාම්පුව
උඩරට පෙරමුණ ඔරලෝසුව
බෞද්ධ ජනරජ පක්ෂය මල
ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සංගමය ගස
ලංකා ධර්ම සමාජ පක්ෂය බසය
බෝසත් බණ්ඩාරනායක පෙරමුණ සමනලයා
ද්‍රවිඩ කථා කරන්නන්ගේ පෙරමුණ කෝප්පය
ලංකා  සමාජවාදී පක්ෂය මේසය
ශ්‍රී ලංකා ජාතික පෙරමුණ හැන්ද
මුස්ලිම් ජනරජ පක්ෂය හැළිය
ඊළ තමිල් ඔට්ටුවෙයි මුන්තනි - නැව
සමස්ත ලංකා ඉස්ලාම්වාදී එක්සත් පෙරමුණ – පායන හිරු

 



කොයි කව්රුත් කුමක් කීව ද මෙම යුගය වන විටත් කිසිදු දේශපාලන පක්ෂයකට නිශ්චිත ලකුණක් නීත්‍යානුකූලව වෙන්කර දී තිබුණේ නැත. පක්ෂ ක්‍රමය විධිමත්ව හැඩගැසී නොතිබුණු මුල් යුගයේ එජාපයෙන් සමහර ආසනවලට නිල අපේක්ෂකයන් කීප දෙනා බැගින් ඉදිරිපත්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. 1947 ප්‍රථම මහා මැතිවරණයේදී බෙලිඅත්ත, උඩුගම, පොළොන්නරුව වැනි ආසනවලදී පැවති වාතාවරණය නිරීක්ෂණය කිරීමෙන් මෙම තත්ත්වය අවබෝධ කරගත හැකිය. පොළොන්නරුවේ ආසනයේ සමස්ත අපේක්ෂක සංඛ්‍යාව හය දෙනෙක් වූ අතර එයින් පස් දෙනෙක්ම එජාප අපේක්ෂකයෝ වූහ. ඒ අයට එරෙහිව පක්ෂය තහනම් කිරීම හෝ වෙනත් විනය ක්‍රියාමාර්ග ගැනීමක් සිදු නොවූවා පමණක් නොව ඔව්හු දිගටම පක්ෂයේ රැඳී සිටියහ. දිවයින පුරා තරගවැදුණු අපේක්ෂකයෝ තමනට රුචි ලාංඡනයක් මත තරග වැදුනහ. මැතිවරණ නීතියේ පවතින අඩුපාඩු මකා ගැනීම සඳහා 1956 බණ්ඩාරනායක රජය මගින් වෝල්ටර් තල්ගොඩපිටිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුමාගේ සභාපතිත්වයෙන් පත්කරන ලද මැතිවරණ කොමිසන් සභාවේ නිර්දේශය පරිදි එද‌‌ා හැටියට  විශාල සංඛ්‍යාවක් ලෙස පෙනී ගිය පක්ෂ විසිතුනක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කොට ඒවාට නියමිත ලාංඡන ද ගැසට් මගින් ප්‍රකාශ කරන ලදී. එය ප්‍රථම වරට ක්‍රියාත්මක වූවේ 1960 මාර්තු මස 19 වැනිද‌ා පැවැති මහා මැතිවරණයේදීය.


වර්තමානයේ සජිත් ප්‍රේමදාස මහතා මුහුණ දෙන අර්බුදයේ ආරම්භය සටහන් වන්නේ මෙතනිනි. පිළිගත් දේශපාලන පක්ෂයක ප්‍රධාන ලේකම්වරයා නාමයෝජනා පත්‍රයකට අත්සන් තැබීම අත්‍යවශ්‍ය විය. 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව සම්මත වීමත් සමග සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමෙන් පසු මෙම තත්ත්වය තවදුරටත් සංකීර්ණ විය. ලියාපදිංචි පක්ෂයක හිමිකාරිත්වයක් පැවතීම අතිශය වාසිසහගත වරප්‍රසාදයක් බවට පත් විය. එම පක්ෂ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සමහර අපේක්ෂකයෝ තමාට හිමිවන වරප්‍රසාද ප්‍රධාන අපේක්ෂකයෙකුට ලබා දී පසුව වෙනත් වාසි ලැබූහ. පක්ෂ ලාංඡනය පවරා දීම් ද සිදුවිය. එක්සත් ජාතික පක්ෂයේ නිල ලාංඡනය වන අලියා ලකුණ ප්‍රේමද‌ාස මහතාට ලබා ගැනීමට නොහැකිව ඇත්තේත් හංසයා හෝ හදවත ලාංඡනය ලබා ගැනීමට බාධා මතුව ඇත්තේත් මෙම නීතිමය පදනම මතය.


ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ ඉතා යහපත් අංග රාශියක් පවතින බව නොරහසකි. රෝමය එක් දිනකින් ගොඩනැගුමක් නොවේ යැයි කීවාක් මෙන් මෙම සංකල්පය ද ශත වර්ෂ ගණනාවක් පරිණාමය වෙමින් සංවර්ධනය වූ ඒවාය. ග්‍රීසියේ සහ රෝමයේ පැරණි රාජ්‍යවල  මෙන්ම බ්‍රිතාන්‍යයේදීත් ඉන්පසුව ප්‍රංශයේත් මේවා සාම්ප්‍රද‌ායිකව වර්ධනය වූ බව විශ්වාස කෙරේ. ඒ යහපත් අදහස් අපේ රටේදී අල්ලා ගනු ලබන්නේ වැරදි තැනෙනි. නිදසුනක් ලෙස ගතහොත් පක්ෂ දේශපාලන ක්‍රමය ඉතා යහපත් සංකල්පයකි. එහෙත් අපේ රටේදී එය භාවිත වන්නේ ගහමරා ගැනීමට මාර්ගයක් වශයෙනි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ අවභාවිතයකි. පක්ෂ නාමයන් හා ලාංඡන කුලියට දීමේ ව්‍යාපෘතිය ද එවැන්නකි. පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් පොකුරු පිටින් කලඑළි බැසීම නිසා සිදු වූ අලකලංචිය ජනතාවට අමතක වීමට තරම් කාලයක් තවමත් ගතව නැත. එයින් ඡන්ද ද‌ායකයා මංමුළා කිරීමට ගොදුරු වූවාක් මෙන්ම අමාරුවෙන් දෛනික දිවිය පවත්වාගෙන යන දුප්පත් රටකට රුපියල් කෝටි සිය ගණනක් වැඩිපුර වැය කිරීමට ද සිදුවිය. මේ යන ගමනේ හැටියට ජනාධිපතිවරණ හෝ මහා මැතිවරණ එළඹෙන සමයේදී පක්ෂයක් හෝ ලාංඡනයක් කුලියට දීමට තිබේ.’ යනුවෙන් පුවත්පත් දැන්වීම් පළවෙන්නට පටන් ගතහොත් එය ද පුදුමයට කරුණක් නොවන බවට සටහන් කර තැබීමට මම කැමැත්තෙමි.

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය අන්තර්ජාලයෙනි