හදිසියේම සිදුවුණු ආණ්ඩු මාරුව නිසා මේ රටේ ජනතාව අන්දමන්දව ගොසිනි. බැලු බැල්මට පෙනෙන්නේ මේ රටේ අගමැතිවරු දෙදෙනෙකු සිටින ආකාරයකි. එහෙත් අපේ රටේ පවතින නීතිය යටතේ සිටිය හැක්කේ එක් අගමැතිවරයෙකුට පමණි. ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ  නිරූපණය කිරීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. එනිසා එම කරුණු විධිමත් අයුරින් නුදුරේදී නිරාකරණය වනු අත.


මෙම ලිපිය සඳහා මාතෘකාව වන්නේ නීත්‍යානුකූලව අගමැතිවරයා තමා යයි කියමින් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා තමාගේ පදවියේ වලංගුභාවය පෙන්වීමට අවස්ථාව ලැබෙන තුරු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති නිල නිවස වූ අරලියගහ මන්දිරයේ නැවතී සිටිමයි. එහි හරි වැරැද්ද ගැන කිසිවක් ප්‍රකාශ කිරීමට අපට අයිතියක් නැත. එහෙත් අරලියගහ මැදුරේ සිදුවූ අතීත සිදුවීම් කිහිපයක් මතකයට ගැනීම මෙම ලිපියේ අරමුණ වේ. 


මේ කතාව මා සමග කීවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමණ්ඩියක සහ මෙරට දේශපාලන ඉතිහාසය පිළිබඳ විශාරදයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මහ ලේකම්වරයෙකුද වූ සෑම් විජේසිංහ මහතාය. එතුමා පැවසූ පරිදි ඩී. ඇස්. සේනානායක අගමැතිතුමාගේ ඉතා සමීප මිතුරෙකු වූ කොළඹ ව්‍යාපාරිකයෙක් සිටියේය. ඔහු නමින් ඬේවිඞ්ය. ධනවතෙකු වුවද ගැමියෙකුගේ ගති සිරිත් ඔහුට තිබුණි. සේනානායක මහතා හමුවීමට ඔහු නිතරම පාහේ අරලිය ගහ මන්දිරයට පැමිණියේය. අගමැතිතුමා විදේශ ගතවන අවස්ථාවලදීද එතුමාට සුබපැතීමට ඔහු එහි පැමිණීම සිරිතකි. සමුගැනිමෙන් පසු අරලියගහ මැදුරෙන් රත්මලාන ගුවන් තොටුපොළට යාමට පිටත්වන විට සේනානායක මහතා ඬේවිඞ්ට මෙසේ කීවේය. “ඬේවිඞ් මම එනකල් ලංකාව බලා ගනින්” සභානායක  ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා හෝ ඔහුගේ ඉවත්වීමෙන් පසු සභානායක වූ සර් ජෝන් කොතලාවල මහතා වැඩ බලන රාජ්‍ය නායක ධුරයේ කටයුතු කරන්නට ඇත. එහෙත් ඬේවිඞ් නොවරදවාම අගමැති නිවසට දිනපතාම උදේ අටට පමණ මිදුලේ තිබුණ අරලිය ගසක්  යටට වී සවස පහ පසුවෙන තුරු “රට පාලනය” කර ගෙදර ගියේය. අගමැති තුමා පැමිණෙන තුරු මෙම කටයුත්ත සිදුවේ. ඬේවිඞ් රට පාලනය කළේ එහෙමය. 
මුල් කාලයේ අග්‍රාමාත්‍ය කාර්යාලය පිහිටා තිබුණේ ගෝර්ඩන් උද්‍යානය ඉදිරිපිටය. වර්තමානයේ ආරක්‍ෂක හේතු මත ඒවා අධිආරක්‍ෂක කලාපයක් ලෙස නම්කර  ඇත. එම කාර්යාලයට රාජකාරි සඳහා පැමිණියා වුවත් ඩඞ්ලි සේනානායක මහතා පදිංචිව සිටියේ බොරැල්ලේ වුඞ්ලන්ඞ්ස් මන්දිරයේය. අගමැති තනතුර ලැබූ  පසුවත් ඔහු අරලියගහ මන්දිරයේ වාසය සඳහා පැමිණියේ නැත. ඔහුගෙන් පසු පාලනයට පැමිණි සර් ජෝන් කොතලාවල මහතාද පදිංචිව සිටියේ තමාගේ කඳවල වලව්වේය. එහෙත් අගමැති නිල නිවස වශයෙන් අරලිය ගහ මන්දිරය වෙන්ව තිබුණි. වාර්තාවල සටහන් වන අන්දමට 1956 මහා මැතිවරණය යූ.ඇන්.පී. ජයගන්නා බවට ජ්‍යොතිෂඥයෝ බොහෝ දෙනෙක් අනාවැකි පවසා තිබුණි. එම තොරතුරු මත පිහිටා සර් ජෝන් අගමැතිවරයා ජය පැන් සාදයක් සංවිධානය කළ බව වාර්තාවන්හි සඳහන්ව තිබේ. එය සූදානම් කළේ අරලියගහ මන්දිර  උද්‍යානයේය. එවකට එහි සාදවලට ආහාර පාන සැපයුම්කරු වූවේ කොළඹ වික්ටෝරියා හෝටලයට මෙම සාදය සඳහා කෑම බීමද ඇණවුම් කර තිබී ඇත. එදා මැතිවරණය පැවැත්වුණේ දින තුනකටය. එහිදී එක්සත් ජාතික පක්‍ෂයට පළමු දිනයේදී හිමිවූ ආසන අට හැර වෙනත් එකද ආසනයක්වත් හිමි නොවීය. ඒ නිසා සාද අවලංගු කිරීමට සර් ජෝන්ට සිදුවිය.


බණ්ඩාරනායක අගමැතිතුමාද එහි පදිංචියට නොගියේය. රොස්මීඞ් පෙදෙසේ අංක 65 වාසය කරමින් රාජකාරිය සඳහා අගමැති කාර්යාලයට ගිය බව එකල ලේඛකයෙක් සඳහන් කර ඇත. ඒ මහතාගේ අභාවයෙන් පසු අගමැති පදවියට පත්වූ විජයානන්ද දහනායක මහතා අරලියගහ මන්දියේ පදිංචියට පැමිණියේය. අවිවාහකයෙකු වූ හෙතෙම පැරණි සූට් කේස් දෙකක බඩු රැගෙන එහි පැමිණි බව කියැවේ. අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් ඔහුට වෙන්කර දෙන ලද විශාල කාමරයට ගොස් නිරීක්‍ෂණය කිරීමෙන් පසු ඔහු කියා ඇත්තේ මෙපමණ විශාල කාමරයක් තමාට අවශ්‍ය නොවන නිසා කුඩා කාමරයක් ලබාදෙන ලෙසය. සෑම ස්ථානයක්ම පරික්‍ෂා කළ ලේකම්වරයාට දැනගන්නට ලැබී ඇත්තේ කුඩා කාමර ඇත්තේ සේවකයන්ගේ පරිශ්‍රයේ පමණක් බවය. එම කොටසෙන් අගමැතිවරයාට නේවාසික පහසුකම් සලසාදීම නොසුදුසු නිසා මුලින් සඳහන් කළ විශාල කාමරය. ලෑලිවලින් දෙකට බෙදා කුඩා කර දහනායක අගමැතිවරයාට ලබාදී ඇත. ඔහුට එම කොටසත් ඉඩකඩ වැඩි වූ බව කියනු ලැබේ.  ඉතා සරළ මිනිසෙකු වූ දහනායක මහතා බහු භාණ්ඩ පරිහරණයෙන් තොර අයෙකු විය. එහෙත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්ව ලංකා ප්‍රජාතන්ත්‍රවාදි පක්‍ෂය පිහිටුවා ගැනීමෙන් පසු එහි ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන ගියේද අරලියගහ මන්දිරයේය. බණ්ඩාරනායක ඝාතනයේ සැකකරුවන්ද බලවතුන් වූ නිසාත් ඒ මත රටේ ඇතිවූ අස්ථාවර තත්ත්වයද නිසා දහනායක මහතාගේ ජීවිතයට නොයෙක් තර්ජන ඇතිවන්නට පටන් ගත්තේය. එයට විසඳුමක් වශයෙන් එම මන්දිරයේ තාප්පය අඩි හතරකින් උස් කළේය. එයට සමගාමිව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයක් ඇතිකර එහි අමාත්‍ය පදවිය සෙනෙට් මන්ත්‍රි ලෙයාඞ් ජයසුන්දර මහතාත් එම අමාත්‍යාංශයේ ලේකම් පදවිය එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස සේවය කළ සිඞ්නි සොයිසාද පත් කරන ලදී. මෙම ක්‍රියාමාර්ග නිසා අගමැති දහනායක විරුද්ධ පක්‍ෂයේ සහ ජනතාවගේ බලවත් අප්‍රසාදයට මෙන්ම දැඩි විවේචනයටද හේතු විය. එහි යථා ස්වභාවය කෙබඳුදැයි දැකගත හැකිවූයේ 1960 මාර්තු 19 වැනිදා පැවැති මහා මැතිවරණයේදී ඔහු තමා දීර්ඝ කාලයක් අපරාජිතව දිනාගත් ගාල්ල ආසනයෙන් පරාජයට පත්වීමෙනි. අගමැතිවරයෙකු ඡන්දයකින් තම ආසනය පරාජයවීමේ අත්දැකීම දැකගැනීමට ලංකාවාසි ජනතාවට  එමගින් අවස්ථාව  සැලසුනි. පොදු ජනතාවට ඉතා සමීපව සිටි දුප්පතාගේ හිතවතෙකු වශයෙන් ප්‍රකටව සිටි දහනායක මහතා ගාල්ල ආසනයෙන් පරාජයට පත්වීම බොහෝ දෙනාගේ මවිතයට හේතු වූ අතර බලය අතට පත්වීම නිසා තමාගේ පෙර පැවති සරල බව ජනතා හිතවාදීත්වය ආදි සියලු සදාචාර ගුණධර්මයන් අමතකව යාම නිසා  මෙවැනි ඉරණමකට මුහුණදීමට ඔහුට සිදුව තිබුණු බව සමහරුන් පැවසූ බව පුවත්පත්වල පළවිය. මැතිවරණ පරාජයෙන් පසු කබල් සූට් කේස් දෙකේ තිබුණු ලට්ට, ලොට්ට ටිකද මෝටර් රියකට පටවා ගත් හිටපු අගමැතිවරයා සුඛෝපභෝගි අරලියගහ මන්දිරය හැර ගිය බව කියනු ලැබේ.


එයින් පසු බලයට පත්වූ ඩඞ්ලි සේනානායක මහතාගේ රජය පැවතියේ මාසයක පමණ සුළු කාලයකි. එය හඳුන්වනු ලැබුවේ දින තිස් තුනේ ආණ්ඩුව වශයෙනි. බහුතර බලයක් නොමැතිවූ නිසා එම ආණ්ඩුව බිඳ වැටුණු අතර තුන් මසකින් පමණ එනම් 1960 ජූලි 20 වැනිදා තවත් මහා මැතිවරණයකට මුහුණදීමට ශ්‍රී ලාංකික ජනතාවට සිදුවිය. එහි ප්‍රතිඵලය වූවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බලයට පත්වීමය. ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලෙස වාර්තාවක්ද සහිතව ලෝකයේ අවධානයට ලක්වූ ඇය අරලියගහ මන්දිරයේ  වාසයට පැමිණියාය. එතෙක් පාළු නිල නිවසක්  වශයෙන් පවත්වාගෙන ගිය එම සුවිසල් නිවාසය ප්‍රථමවරට ළමා හඬ නැගෙන කුටුම්බයක් බවට පත්ව තිබුණි. සැමියා වියෝවී සිටියා වුවත් සුනේත්‍රා, චන්ද්‍රිකා සහ අනුර යන ළාබාල දරු තිදෙනා අගමැතිනිය සමග එහි පදිංචියට පැමිණියහ.  අනුර පුතා නිතර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු නිසා යම් කිසි නිලධාරියෙකු ඔහු සමග ක්‍රීඩාවට යෙදවීමට සිදුව තිබුණි. මෙයට විසඳුමක් වශයෙන් හොරගොල්ලට ආසන්න ගමකින් සොයාගත් ගැමි දරුවෙකු අරලියගහ මන්දිරයට කැඳවාගෙන වුත් තිබුණි. ටික දිනක් යනවිට එම දරුවාගේ අතට පන්දුව හුරුවිය. ඔහු අතින් අනුරගේ විකට්ටුව නිතර  බිඳී ගියේය. මෙයින් කනස්සල්ලට පත් අනුර මේ ගැන මවට පැමිණිලි කළේ මෙයා නිතරම මාව පරද්දනවා කියමිනි. රටේ අගමැතිනියගේ නියෝගය පරිදි විකට්ටුව නොබිඳෙන ලෙස පන්දුව යැවීමට අසරණ ගැමි දරුවාට සිදුවිය. එය ක්‍රිකට් සඳහා දේශපාලන අත පෙවීමක් ලෙස මහජන අවධානයට යොමුවූ සිද්ධියක් ලෙස වාර්තා වූ බවක් සඳහන්ව නැත. 


අරලිය ගහ මන්දිරය අධිකරණ කටයුතු සඳහා විමර්ශනය කෙරෙන මධ්‍යස්ථානයක්  ලෙස යොදා ගත් අවස්ථාවක් ගැනද සඳහන් වේ. 1962 වසරේදී සිදුවන්නට ගිය  හමුදා සහ පොලිසියේ උසස් නිලධාරීන් විසින් සැලසුම් කරන ලද රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණය  ගැන විමර්ශන සිදුකෙරුණේ අරලියගහ මැදුර කේන්ද්‍ර කර ගනිමිනි. එම පරීක්‍ෂණ කටයුතු පොලිසියට භාරදීමට බලධාරීහු අකමැති වූහ. එයට හේතු වූවේ නියෝජ්‍ය පොලිස්පතින් වූ සී. සී. දිසානායක, සිඞ්නි සොයිසා සහ ඊ. ආර්. සිරිචන්ද්‍ර යන තිදෙනාම මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැකකර අත්අඩංගුවට ගෙන තිබීමයි. එනිසා මෙම පරීක්‍ෂණවලට පොලිසියේ යම් යම් අංශවලින් බලපෑම් එල්ල වනු ඇතැයි යන සැකයක් රජයේ බලවතුන් තුළ තිබුණි. එම තිදෙනා පමණක් නොව පොලිස් අධිකාරි සහ උපපොලිස් අධිකාරි මට්ටමේ බොහෝ දෙනෙක්ද මෙම සිද්ධිය හේතුවෙන් අත්අඩංගුවට පත්ව තිබුණු බවද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ සැම දෙනාම රැගෙන එනු ලැබුවේ අගමැති නිල නිවසටය. චූදිතයන් එහි රඳවා ගනු ලැබූ අතර  කට උත්තර ගනු ලැබුවේ එවකට මුදල් ඇමති සහ දක්‍ෂ අධිනීතිඥවරයෙකු වූ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා විසිනි.


මෙම රජය විසින්  1964 දී කරළියට ගෙන ආ පුවත්පත් මණ්ඩල පනත, රා පනත සහ පුවත්පත් රජයට පවරාගැනීමේ පනත ආදි ක්‍රියාමාර්ග බොහෝ මතභේදයට ලක්වූ කරුණක් වූවේය. එයින් නැගී ආ මහජන උද්ඝෝෂණ හමුවේ පාර්ලිමේන්තුවේදී එක් ඡන්දයකින් රජය පරාජය  වී  බිඳ වැටුණු නිසා 1965 මාර්තු 22 වැනිදාට ඊළඟ මැතිවරණය පැවැත්වීමට නියමිත විය. එම ඡන්දයේ ප්‍රතිඵලය අනුව රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය ප්‍රධාන පක්‍ෂ දෙකෙන් එකකටවත් හිමිව තිබුණේ නැත. එක්සත් ජාතික පක්‍ෂයට ආසන 66ක්ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සමසමාජ සහ කොමියුනිස්ට් යන තුන් හවුලට ආසන 55ක්ද ලැබී තිබුණි. තවත් පක්‍ෂ ගණනාවක් ආසන සුළු සංඛ්‍යාව බැගින් දිනාගෙන තිබුණු  බව දක්නට ලැබුණි. ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ වහාම අරලියගහ මන්දිරය  හැර යාමට අගමැතිනිය උනන්දු නොවූවාය. මෙවැනි අවස්ථාවල බොහෝ විට සිදුවන්නාක් මෙන් ආසන 14ක් දිනාගෙන ඉතා තීරණාත්මක බලයකින් යුතුව සිටි උතුරු නැගෙනහිර දමිළ ප්‍රජාව නියෝජනය කළ ෆෙඩරල් පක්‍ෂය සමග දෙපාර්ශවයම සාකච්ඡා  ආරම්භ කර තිබුණි. එහෙත් පැවති වාතාවරණය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ තුන් හවුලට අවාසි සහගත විය. කලින් පැවති රජය පෙරළා දැමීමේදී ෆෙඩරල් පක්‍ෂය එ.ජා.පය සමග එක්ව කටයුතු කර තිබුණි. එම පදනම මත ඔවුන්ගේ සහාය ලබාගැනීම එ.ජා.පයට පහසු ක්‍රියාවක් විය. මෙම සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී අගමැති තනතුරෙන් ඉවත්වීම මදක් පමා කරන ලෙස භාරකාර රජයේ හවුල්කාර පක්‍ෂවල නායකයෝ අගමැතිනියට බරපතළ පීඩනයක් එල්ල කළහ. එහෙත් එවකට අග්‍රාණ්ඩුකාරවරයාව සිටි විලියම් ගොපල්ලව මහතා නිවැරැදි ලෙස අගමැතිනියට උපදෙස් දුන්නේ ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජනතා අභිලාෂය පැහැදිලි බවත් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ රජය වෙනස් කිරීම බව වටහාගෙන අගමැති තනතුරෙන් ඉවත්ව යන ලෙසය. එය එසේ සිදුවූවා වුවත් ජනතාවගෙන් යම් කොටස් තුළ බලයේ එල්ලී සිටීම ගැන කනස්සල්ලක් ඇතිවීම නොවැළැක්විය හැකි කරුණක් විය.


එසේ බලයට පත්වූ රජය අරලියගහ මන්දිරය පිළිබඳව අමුතුම පියවරක් ගත් ආකාරය මෙම ලියුම්කරුට මතකය. එම මන්දිරය බඳු සුඛෝපභෝගී නිවසක් හැරදමා යාමට අගමැතිනිය කැමැති නොවූවේ එහි ඇති සැප සම්පත්  නිසා යැයි අරුතක් හැඟවෙන පරිදි 1965 වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹට ඇදි එන දස දහස් සංඛ්‍යාත ජනතාවට මෙම මන්දිරය දැකබලා ගැනීමට අවස්ථාව සලසා තිබුණි. පැය ගණනක් පෝලිමේ සිට එයට ඇතුළු වූ වන්දනාකරුවෝ එහි සූදානම් කර තිබූ තේ පැන් සංග්‍රහයේ රසයද විඳ ගැනීමෙන් පසු මෙම සුවිසල් මන්දිරයේ අසිරිය නෙත් පුරා දැක ගත්හ. එසේ අගමැතිනියගේ කාමරය දැක ගත් සමහර කාන්තාවෝ එහි වූ විශාල යහනේ වැතිරී රාජ්‍ය නායිකාව ලද සුව පහසුව මොහොතකට වින්දනය කළ ආකාරය මට තවමත් අමතක නැත.

 


දිග කතාවක් කෙටියෙන් කීමට මම අදහස් කරමි. කාලය වේගයෙන් ගලා ගියේය. 1970 දී බලයට පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් පසු 1977 දී ජේ. ආර්. ජයවර්ධන  මහතා ජනතා වරමින් බලයට පත් වූවේය. 1977දී අගමැති වශයෙන් රට බාරගත් ජේ. ආර්. 1978 දී සම්මත කරන ලද දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක්‍රමයක් හඳුන්වා දීම මගින් 1978 පෙබරවාරි 4 වැනි දින ජනාධිපති පදවියට පත්විය. ඉන් පසු ආර්. ප්‍රේමදාස මහතා ද සහ අනතුරුව ඩී. බී. විජේතුංග මහතා රාජ්‍ය නායක පදවිය දැරූහ. 
එක් දහස් නවසිය අනූ හතරේ අගෝස්තු 16 වැනිදා පාර්ලිමේන්තු මහා මැතිවරණය පැවැත්වීමට ජනාධිපති ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතා කටයුතු කළේය. එහි ප්‍රතිපලය වූවේ දහ හත් වසරක් එක දිගට පැවැති එ.ජා.ප පාලනය බිඳ වැටෙන පෙර නිමිති පහළ වීමයි. එම තත්ත්වය ඇතිවීම ජනතා අභිලාෂය බව පෙනුණත් රජය පිහිටුවීමට අවශ්‍ය බහුතරය ප්‍රධාන කඳවුරු දෙකටම ලැබී නොතිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණට සහ එ.ජා.පයට කිට්ටුමම ලැබී තිබුණි. රජය පිහිටුවීමට සුළු ජාතික පක්‍ෂ කීපයක සහාය ලබාගැනීම මෙහිදී අවශ්‍ය විය. තීරණාත්මක වූවේ මුස්ලිම් කොන්ග්‍රසයේ ආසන කීපයයි. අවසානයේ එම පක්‍ෂයේ නායක අෂ්රොෆ් මහතා තීරණය කළේ පොදුජන එක්සත් පෙරමුණට සහාය දීමයි. මෙහිදී එ.ජා. පක්‍ෂයේ බලවත් පිරිසක් උත්සාහ කළේ තම පක්‍ෂයට බහුතරය ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට කාලය ගත යුතු බවයි. එහෙත් එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම අගමැති තනතුරෙන් ඉල්ලා අස්වී අරලිය ගහ මන්දිරයෙන් ඉවත්ව ගියේය. මහා මැතිවරණයේදී ජනතාව ඡන්දය ප්‍රකාශ කර තම පක්‍ෂයට ලබාදී ඇති පණිවුඩය වන්නේ තමන් විරුද්ධ පක්‍ෂයට යාම බව ඔහු තීරණය කළේය. අර්බුදයක් ඇතිවීමට ඉඩ නොතබා ඒ මහතා ගත් පියවර පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ නව පූර්වාදර්ශයක් ලෙස සටහන් තිබේ.


මේ සා වැදගත්කමක් උසුලන අරලිය ගහ මන්දිරය යනු කුමක්ද? යන්න ද මෙම අර්බුදකාරි මොහොතේ දී කෙනෙකුගේ සිතට නැගෙනුයේ  නම් එය අස්වාභාවික නොවේ. ඒ නිසා ඒ ගැන අපේ අවධානය යොමුවිය යුතුය. ලන්දේසි සමයෙන් පසු මෙම ඉඩම අක්කර හයක පමණ ප්‍රමාණයකින් සැදුම්ලත් බව කියනු ලැබේ. එකල මෙහි පැවැති සුවිසල් නිවාසය හඳුන්වන ලද්දේ ඩී. බ්‍රැන්ඩරි යන නාමයෙනි. එහි අරුත ‘ස්කාගාරය’ යැයිද මතයක් වේ. කෙසේ වුවත් මත්පැන් පෙරන ස්කාගාරයක් හෝ මත්පැන් ගබඩාවක් මෙහි තිබුණු බව පිළිගත් මතයයි. පසුව ප්‍රභූන්ගේ පදිංචිය සඳහා යොදා ගැනීමට විශාල කර තනවා ගත් ගොඩනැගිල්ල භාවිත කළ අය අතර මෙරට අධිකරණයේ විනිසුරුවරයෙකු වූ පෙඞ්රික් බෙරන් මයිලියස් එවකට මෙරට කුරුදු කාර්යාංශයේ ප්‍රධානියා වූ ජෝන් ටැල්බියෝෆ් ආදිහු මෙම මන්දිරයේ කලින් කලට පදිංචිව සිටි බව පැරණි වාර්තාවල දැක්වේ. ප්‍රධාන වෛද්‍යවරයෙකු හා පැරණි පුවත්පත් අයිතිකරු වූ ආචාර්ය ක්‍රිස්ටෝපර් බුලන්ද මෙහි පදිංචිව සිට ඇත. මෙම යුගයේ දී  මේ නිවසට යොදා තිබුණු ඩී, බ්‍රැන්ඩරි යන නාමය වෙනස් කර තිබේ. අලුත් නම වූවේ “ටෙම්පල් ටී්‍රස්” යනුයි. එනම් අරලියග ගස් යන අරුතයි. එම නම යෙදීමට හේතු වූයේ එම භූමියේ බොහෝ කලෙක සිට අරලිය ගස් දෙකක් තිබීමයි.
බි්‍රතාන්‍ය යටත් විජිත පාලනය විසින් 1903 දී මෙම මන්දිරය රජය සඳහා මිලට ගන්නා ලදී. ඒ ආණ්ඩුකාරවරයාගේ පදිංචිය සඳහාය. 1948 දී ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත්වීමත් සමග මෙය අගමැතිවරයාගේ පදිංචිය සඳහා යොදා ගත් බව පෙර සඳහන් කළෙමි. අපේ අග්‍රාණ්ඩුකාරවරුන්ටද ඉන් පසුව ජනාධිපතිවරුන්ටද වාසභූමිය වූ රජගෙදර අතහැර අරලියගහ මැදුරේ පදිංචියට කැමතිවූවේ පසුගිය ත්‍රස්තවාදී යුද සමයේදි ප්‍රහාර එල්ලවීමේ අවදානම වැඩියෙන් පැවති නිසාය.


අද අගමැතිවරු දෙදෙනෙක් රාජකාරියේ නිරත වන සෙයකි. එය ඉක්මනින්  සංවර්ධනයකට හොඳ මගක් වේ යැයි සිතිය හැකිය. එමෙන්ම නුදුරු දිනකදීම ආර්ථික අර්බුදය නිමා වී ආයෝජකයන් ගලාගෙන අවුත් ව්‍යවසායකයන් දස දහස් ගණනින් ඇතිවී ජනතාවන් අතර සාමය, අන්‍යෝන්‍ය  සහජීවනය සහ සංහිඳියාව  ඇතිවීමට හේතු වන්නේ නම් අගමැතිවරුන් දෙදෙනකු සිටියා වුවත් ජනතාව විරුද්ධ නොවෙනු ඇත. එහෙත් එය හේතුවන්නේ රට අගාධයට යැවීමට නම් ජනතා ජීවිත විනාශ කිරීමට නම් එවැනි ක්‍රියාවක් ජනතාවගේ දෝෂදර්ශනයට හේතුවනු ඇත. සියල්ල සිදුවිය යුත්තේ ජනතාවගේ යහපත පිණිසය. ඔවුන්ගේ ආරක්‍ෂාව පිණිසය. එසේ වන්නේ නම් තවත් අරලියගහ මන්දිරයක් තැනීමට වුවද ජනතාව එකඟවන බවට මට නම් සැකයක් ඇත්තේම නැත්තේ ය.

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි