පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ ආණ්ඩු පෙරළිය නිසා මට යම්කිසි අපහසුතාවකට මුහුණ දීමට සිදුවිය. ඒ දේශපාලන වශයෙන් බලය පිළිබඳව ගැටලුවක් නොවේ. මේ සතියේ ලියන සමගාමි කතාව කුමක් විය යුතුද? යන කාරණය සම්බන්ධයෙනි. මගේ කාර්යාලීය ජ්‍යෙෂ්ඨයෙක් අහිංසක විහිළුවක්ද කළේය. ඔහු පැවසුවේ ඉතිහාසය යනු නැවත නැවතත් සිදුවන ක්‍රියාදාමයක් නම් මෙවැනි අත්දැකීමක් මෙයට පෙර ශ්‍රී ලංකාවේදී සිදු වී නැත්තේ ඇයි? කියාය. ඒ කතාව ඇත්තය. එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ විධායක ජනාධිපතිවරයා විසින් තම අගමැතිවරයා ඉවත් කළ අවස්ථාවක් සටහන්ව නැත. එයට හේතුව වන්නේ විධායක ජනාධිපති ක්‍රමය මේ රටේ ස්ථාපිත කර තවමත් ගතව ඇත්තේ වසර හතළිහක් පමණක් නිසාය. 


ප්‍රථම සිදුවීම වර්තමානයේ කරළියට පැමිණ තිබේ. දෙවැන්න සිදුවීමට තවත් වසර හතළිහකටත් වඩා ගත වනු ඇත. එම කථාව ලියනුයේ මා නොවන බව නම් මම හොඳින්ම දනිමි. මට තෝරා ගැනීමට සිදුවූයේ ජාත්‍යන්තර අත්දැකීමකි. මෙම සිදුවීම දෙක සමාන වන්නේ රාජ්‍ය නායකයා ඉවත් කිරීම යන සාධකයේදී පමණි. ඓතිහාසික දේශපාලන පදනම සහ පසුබිම මුළුමනින්ම වෙනස්ය. එහෙත් එම දෛවෝපාගත සිදුවීම ලෝක ඉතිහාසයේ ගමන් මග වෙනස් කිරීමට තරම් ප්‍රබල වෙනස් වීමක් වූ බව සත්‍යයකි. එනිසා සමස්ත ලෝකයේම වෙසෙන ඕනෑම පුරවැසියෙකුට අඩුවැඩි වශයෙන් බලපෑම් ඇති කරන ලද මෙම සිද්ධිය ඇති වූයේ සෝවියට් රුසියාවේය. 


ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය යැයි එකල ලෝකවාසී කොමියුනිස්ට්වරුන් සහ මාක්ස්වාදීන්ද ඔවුන්ගේ වෙනත් හිතවතුන් ද විසින් අභිමානයෙන් සහ ගෞරවයෙන් හඳුන්වන ලද අසිරිමත් සිදුවීමෙන් පසු ලෙනින්ගේ නායකත්වයෙන් බිහි කරන ලද නව පාලනය බොල්ෂේවික් (කොමියුනිස්ට්) පක්ෂයේ මෙහෙයවීමෙන් ගොඩ නගන ලදි. දෙවැනි නිකලස් සාර් රජුගේ දූෂිත වැඩවසම් පාලනය පෙරළා දමා රුසියානු ගොවි කම්කරු ජනතාවගේ සහාය හා උනන්දුව මත සිදු කරන ලද ආයුධ සන්නද්ධ විප්ලවය මගින් මෙම පාලනය ස්ථාපිත කරන ලද බව අපි දනිමු. කාල් මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස් යන චින්තකයන් දෙපොළ ලෝකයට හෙළි කරන ලද ආර්ථික දර්ශනය මත පදනම් වූ විද්‍යාත්මක සමාජවාදය නමින් අරුත් ගැන්වූ දේශපාලන මතවාදය ලෙනින්ගේ සෝවියට් රාජ්‍යයේ ප්‍රධානම බැඳීම විය. ජාති, ආගම් වැනි පටු බැඳීම්වලින් තොරව ධනපති සහ කම්කරු යන ප්‍රධාන බෙදීමට පමණක් සීමා කරනු ලැබූ විශාල ජනතාවක් මෙම රාජ්‍යය තුළ එක්සත් කරනු ලැබ තිබුණි. සාර් රුසියාව තුළ ප්‍රාන්ත වශයෙන් තිබුණු පළාත් සහ හමුදා බලයෙන් අත්පත් කර ගන්නා ලද ප්‍රදේශද අයත්වන ස්වතන්ත්‍ර ප්‍රදේශ ඒකාබද්ධව කර සෝවියට් සමාජවාදී සමුහාණ්ඩු සංගමය යන සුවිශාල රාජ්‍ය ස්ථාපිත කර තිබුණි. ලෝකයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් හයෙන් එකක් නියෝජනය කළ අතර එම ප්‍රාන්තයක් පාසා වෙන වෙනම සෝවියට් සභා පිහිටුවන ලදී. එම සෝවියට් සභා ඒකාබද්ධ කිරීමෙන් එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය  රාජ්‍යය ගොඩ නගා තිබුණි. මෙම සියලුම සැලසුම්වලට අමතරව රාජ්‍යයේ ඉහළම ආයතනය වූවේ කොමියුනිස්ට් පක්ෂයයි. එරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පවා මෙම ස්ථාවරය ප්‍රකාශ කර ඇති බව දක්නා ලදී. රාජ්‍යයේ නායකත්වය ප්‍රතිපත්තිය විදේශීය සම්බන්ධතා ආදී අත්‍යවශ්‍යම කරුණු ගැන තීරණ ගැනීමේ බලය එදා පැවතියේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ එයටත් ඉහළ පක්ෂ ව්‍යූහය වූ දේශපාලන මණ්ඩලයටයි. පක්ෂයේ මහ ලේකම්වරයා රාජ්‍ය නායකයා වීම එරට රජයේ ප්‍රතිපත්තිය විය. ලේකම් ධුරය ලබා ගැනීමක් රාජ්‍ය නායකත්වයේ අනුප්‍රාප්තිකයා වීමත් රඳා පැවතුණේ එයට පත්වන පුද්ගලයාගේ පෞරුෂය උපාය උපක්‍රම බලපෑ බව සෝවියට් දේශපාලන ඉතිහාසයේ මනාව දක්නා ලැබේ. 


බලය ලබා ගන්නේ සැලසුම් සහගතවය. මතුවිය හැකි තත්ත්වයන් කලින් තක්සේරු කොට අවස්ථාවෙන් අවස්ථාවට ගත යුතු පියවර නිගමනය කිරීමෙන් අනතුරුවය. බලය ලබා ගන්නේ වැරදීමකින් හෝ අත්හැරීමට නොවේ. ඕනෑම පරිත්‍යාගයක් හෝ හානියක් හෝ සිදුකර බලය රැකගැනීමේ අරමුණු ඇතිවය. ලෙනින්ගේ මරණයෙන් පසු ස්ටාලින් බලයට ඒමට අනුගමනය කළේ මෙම උපාය මාර්ගයකි. බලයට පැමිණීමෙන් පසු තම බලයට අභියෝග කළ හැකි සියලු දෙනාම විවිධ ක්‍රම මගින් අඩපණ කර දැමුවේය. එම සිදුවීම්වල සාධාරණත්වය අසාධාරණත්වය හෝ සෙවීමට හෝ ජනතාවට හෝ ඉඩක් නොවීය. ඔවුන් කළේ නායකයාගේ අණ පිළිපැදීම පමණකි. ස්ටාලින්ගේ මරණයෙන් පසු ඔහුගේ අනුගාමික වැලරෙන්ට් බෙරියා බලයට පත්වීම වළකා තම අතට ලබා ගැනීමට නිතිකා කෘෂෙප් තම සගයන් සමග සැලසුම දියත් කළේය. රතු හමුදාව සහ කේ. ජී. බීය කළේ අණ පිළිපැදීම පමණි. එදා පැවති සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සහ මහජන කොමිසාර් මණ්ඩලයේ ප්‍රථම නියෝජ්‍ය සභාපති බෙරියාට සහ ඔහුගේ කිට්ටුවර සගයන් සියලු දෙනාටම අත්වුවේ මරණයයි. ඒ ස්ටාලින්ගේ යුගයේ කළ පෙර වැරදි පිළිබඳව නඩු විභාග කිරීම මගිනි. කාලය ගතව ගියේය. චීන සහ රුසියානු යන කොමියුනිස්ට්වාදී මහ බලවතුන් දෙදෙනා අතර උග්‍ර මත භේද මතුවන්නට විය. ලෝකයේ සමාජවාදී ව්‍යාපාරය ඉදිරියට ගෙන යා හැක්කේ අධිරාජ්‍යවාදි රටවල් සමග සාමකාමී සහජීවනය මගින් පමණක් යැයි කෘෂෙප් නව මතයක් ඉදිරිපත් කළේය. න්‍යෂ්ටික බල කඳවුරු දෙකක් පවතින ලෝකයක යුද්ධයක් ආරම්භ වුවහොත් ජයග්‍රාහකයෙක්, සමාජවාදයක් තබා මිනිස් පුලුටක් එහි ඒක ඉතිරි නොවන්නේ යැයි කෘෂෙප් විග්‍රහ කළේය. එහෙත් චීන නායක මාඕ සේතුං අවධාරණය කළේ අධිරාජ්‍යවාදය යනු කඩදාසි කොටියෙකු බවත් එය විනාශ කළ හැක්කේ තුවක්කු බටය තුළින් පමණක් වන නිසා කෘෂෙප්ගේ සාමකාමී සහජීවන කතාව තමන් නොපිළිගන්නා බවත්ය. මාඕ තවදුරටත් විස්තර කළේ කෘෂෙප්ගේ මතය සංශෝධනවාදී විග්‍රහයක් වන නිසා ඔහු කොමියුනිස්ට්වාදියෙකු නොව සංශෝධනවාදියෙකු බවට මාඕ චෝදනා කළේය. මේ කියන යුගයේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් සිටි මා වටහාගත් අන්දමට කොමියුනිස්ට් වාදියෙකුට සංශෝධනවාදියෙකුයැයි චෝදනා ලබනවාට වඩා සියතින් මරණය ළඟා කර ගැනීම උතුම්ය. නැතිනම් පහසුය. සනීපය. එය එතරම්ම බරපතළ හා අවමන් සහගත චෝදනාවකි. මෙම අලකලංචිය නිසා සමස්ත ලෝකයේම කොමියුනිස්ට් ව්‍යාපාරය දෙදරා ගියේය. ලංකාවට ද මෙය ඉතා තදින් බලපෑවේය. කොමියුනිස්ට් පක්ෂය දෙකඩ විය. මෙම ජාත්‍යන්තර ප්‍රවණතාව කෘෂෙප්ට මහත් සේ අහිතකර ලෙස බලපෑවේය. ඉතා රහසිගත වැඩ පිළිවෙළක් මගින් කෘෂෙප්ගේ අගසව්වා වූ ලියොනිම් බ්‍රෙෂ්නොට් තම ගුරුවරයා පලවා හැර සෝවියට් නායකත්වය ලබා ගත්තේය. බ්‍රෙස්නොව් ලෝකයට ප්‍රකාශ කළේ “කෘෂෙප්ට වයසයි. ඔහු රෝගියෙක්. එයාට විවේකය අවශ්‍යයි. එනිසා ඔහු කැමැත්තෙන්ම විශ්‍රාම ගියා” යනුවෙනි. 


බ්‍රෙස්නොව්ගේ පාලන සමය අතිශයින්ම සීමා බන්ධනවලින් යුතු වූ බව බොහෝ විට මාධ්‍ය වාර්තා කළේය. ඒවා බටහිරෙන් අතිශයෝක්තියෙන් යුතුව ප්‍රචාරය කරන ලද ඒවා බවද සත්‍යයකි. ඒ වකවානුව තුළ නිලධාරිවාදය බොහෝ සෙයින්ම ඉස්මතුව පැවති අතර දූෂණය, වංචාව, අල්ලස ආදී දේ වඩාත් ඉස්මතුව පැවති බව කියනු ලැබේ. එමෙන්ම ආර්ථික පරිහානිය, බඩු මිල ඉහළ යාම. බඩු හිඟය, රැකියා හිඟය වැනි ජන පීඩක දුර්වලකම් ද නිතර පැන නැගෙන්නට විය. එවැනි තත්ත්වයන් බාහිර ලෝකයට අනාවරණයවීම වැළැක්වීම සඳහා නීති රීති දැඩි කරන ලද අතර එයට එරෙහි ජනතා උද්ඝෝෂණ ද මතුවීමට පටන් ගත්තේය. එකල සෝවියට් දේශයට එරෙහිව බටහිර ජන මාධ්‍ය වෙතින් නොයෙකුත් උපහාසාත්මක කතාන්තර ප්‍රචාරය කිරීම ද නොකඩවා සිදුවිය. 


එවැනි එක් කතාවක් මෙසේය. 


නිව්යෝක් නගරයේ එක්තරා උද්‍යානයකදී සුනඛයෝ කීප දෙනෙක් මුණ ගැසුනහ. එකෙකු පැමිණ තිබුණේ බි්‍රතාන්‍යයේ සිටය. ඔහු කීවේ තම හාම්පුතාගේ රැකියාව අහිමි වූ නිසා කෑම හිඟය තදින්ම දැනෙන බැවින් ආහාර සම්පාදනය අසීරු නිසා කෑම ටිකක් සොයාගෙන ඇමරිකාවට පැමිණි බවය. ඇමරිකාවේ සුනඛයා කීවේ තමා ශරීර අභ්‍යාසය සඳහා ඇවිදීමට උද්‍යානයට පැමිණි බවයි. ප්‍රංශයේ සුනඛයා කීවේ තම රට දැඩි නියඟයකින් පෙළෙන නිසා උග්‍ර ජල හිඟයකින් පීඩා විඳින බැවින් නෑමට සහ බීමට ජලය සොයා පැමිණි බවයි. සෝවියට් දේශයේ සිටද බල්ලෙක් පැමිණ නිටියේය. ඌ කියා සිටියේ සමාජවාදී පාලනය යටතේ තම රටේ ආහාර හෝ ජලය හිඟයක් නොමැති වූවත් පවතින මර්දනකාරී නීති රීති නිසා කථාකිරීමේ නිදහස නොමැති බැවින් ටිකක් නිදහසේ බුරන්නට මෙහි පැමිණි බවය. 


දීර්ඝ කාලයක් බලයේ සිටි ලියෝනීඞ් බ්‍රෙස්නොව් මහතා තනතුරේ සිටියදීම මිය පරලොව ගියේය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ යූරි ඇන්ඩ්‍රොපොව් තනතුර ලබා ඉතා ටික දිනකින් මරණයට පත් විය. අනතුරුව බලයට පත් චෙරනෙන්කෝට ද වැඩි කලක් ජීවත්වීමට නොලැබුණේ ස්වභාවික මරණයට ගොදුරුවු බැවිනි. මෙහි විශේෂත්වයක් වන්නේ රාජ්‍ය නායක චෙර්නෙන්කෝට මෙන්ම ඔහුගේ පූරෝගාමියා වූ අන්ද්‍රොපොට්ටද සෝවියට් දේශයේදී සිදුවන බලය මාරුවීමේ කටුක අත්දැකීමට මුහුණ දීමට සිදු නොවීමයි. 


අපේ මාතෘකාවට පිවිසෙන්නේ මෙතැන් සිටය. 1985 දී නායකත්වයට පත්වූවේ මිඛායෙල් ගොර්බචෝප්ය. බොහෝ මතබේදකාරි දේශපාලන චරිතයක් වූ ඔහු ගතානුගතික කොමියුනිස්ට්වාදියෙකු නොවීය. 

 


මතු සම්බන්ධයි.

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි