අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි හරියක් පඩි වැඩි කර ගැනීමටය. නැතිනම් පොදු පහසුකම් ලබා ගැනීමටය. ගෝඨාභය ජනපති විසින් උද්ඝෝෂණ පැවැත්වීම සඳහා ගාලු මුවදොර වෙනම ස්ථානයක් වෙන් කර එහි නාම පුවරුවක් ද සවි කරන ලද්දේ නොබෝදාය. ඔහු මෙය සිදු කළේ ඉතිහාසයේ පළමු වරටය. 


මෙම කරුණු මා ගෙන හැර පෑවේ මීට වසර 98 කට පමණ පෙර එනම් 1922 දී ලංකාව පාලනය කළ බ්‍රිතන්‍යයේ සුද්දන් විසින් ලංකාවේ පුරවැසියන් වෙත ඇඟ බද්දක් පැනවීම සහ ඊට එරෙහිව රට පුරා පැන නැගුණ උදඝෝෂණ ව්‍යාපාරය සාර්ථක වූ අයුරු පෙන්වා දීමටය. අද නම් රට පුරා පවත්වන විවිධ උද්ඝෝෂණ වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නේ කීයෙන් කීයද? එදා මේ ඇඟ බද්දට එරෙහිව ලංකාවේ පොදු ජනතාව ගෙන ගිය සාමකාමී උද්ඝෝෂණය දැවැන්ත මහජන බලවේගයක් බවට පත් වුණේ කම්කරු නායකයෙකු වූ ඒ. ඊ. ගුණසිංහයන්ගේ මැදිහත්වීම නිසාය. එදා ඇන්. ඇම්., කොල්වින්, දොස්තර වික්‍රමසිංහ ආදීන් විසින් ඇරඹූ සුද්දන්ගේ පොපිමල් ව්‍යාපාරයට එරෙහි සූරියමල් ව්‍යාපාරය මෙන්ම මෙම ඇඟ බද්දට විරුද්ධව පැවැත් වූ විරෝධතාවය තුළින් පොදු ජනතාව තුළ ජාත්‍යාලය සහ ජාතිමමත්වය උද්දීපනය වූ බව කිවයුතුය. 


ඒ.ඊ. ගුණසිංහගේ මෙහෙයවීමෙන් ඇඟ බද්දට අකමැති බව දක්වමින් පැවැත් වූ විරෝධතාව මෙතෙක් ලංකාවේ පැවැත් වූ සියලු වර්ජන හා උද්ඝෝෂණවලට වඩා ප්‍රබල විය. 
එදා සුදු පාලකයින් විසින් රුපියල් 2ක වාර්ෂික ඇඟ බද්දක් සෑම පුරවැසියෙකු විසින්ම රජයට ගෙවිය යුතු යයි නීතියක් පනවා තිබුණි. මේ ඇඟ බද්ද ගෙවිය නොහැකි අය දිනක් මහ මඟ ගල් කැඩීම අනිවාර්ය කොට තිබුණි. තරුණ ලංකා සංගමයේ සාමජිකයෝ රුපියල් 2 ක ඇඟ බද්ද ගෙවනු වෙනුවට පාරේ ගල් කැඩීමට තීරණය කළහ. මුලින්ම එයට බොහෝ දෙනා එකඟ වූ නමුත් අවසානයේ ඒ.ඊ. ගුණසිංහ මහතා පමණක් මරදානේ මහ පාරේ ගල් කැඩීම ආරම්භ කළේය. පුරා දිනයක්ම වෙහෙස වී මිටියකින් කළු ගල් කැඩූ ඔහුගේ දෑත් වලින් ලේ ගලන්නට ද විය. 


මුලින්ම 2000 ක පමණ පිරිසක් ඔහු හා එක්වූහ. පසුව එම පිරිස 8000 දක්වා වැඩි විය. ඇඟ බද්ද නොගෙවා ගල් කැඩීමට පටන් ගත් පිරිසගේ සංඛ්‍යාව දස දහස් ගණනින් වැඩි වීමත් සමගම ඉංග්‍රීසි පාලකයින් විසින් මේ ඇඟ බද්ද ඉවත් කරන ලදී. 


1923 දී දිවයින පුරා මහා දුම්රිය වැඩ වර්ජනයක් ඇරඹිණි. ඊට නායකත්වය දුන්නේ ද ගුණසිංහයන්ය. වර්ජනය අවසන් වන තෙක් කෝලාහල කිරීම්, අසභ්‍ය වචන පාවිච්චි කිරීම, මත් පැන් පානය හා දුම්පානය තහනම් කරමින් වර්ජකයින්ගෙන් දිවුරුමක් ලබා ගැනීමට මේ කම්කරු නායකයා සමත් විය. ලංකා කම්කරු සංගමයේ නායකයා වශයෙන් ඔහු එදා මෙවැන්නක් සිදු කිරීම පසු කලෙක ලංකාවේ වෘත්තිය සමිති ක්‍රියාධරයින් තුට්ටුවකට නොසැලකූ ඇයුරු රහසක් නොවේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකරු තනතුරකින් ජීවිතය අරඹා පසුව කොළඹ කොම්පඤ්ඤවීදියේ ඇන්ඩර්සන් විදුහලේ විදුහල්පති තනතුර හෙබවූ ඔහු 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට මැද කොළඹ නියෝජිතයා වශයෙන් තේරීපත්‍් විය. ලෝක කම්කරු දිනය වන මැයි දිනය ප්‍රථම වරට ලංකාවේ උත්සවාකාරයෙන් පැවැත්වීමට මුල් වූයේ ද මේ කියන ඒ. ඊ. ගුණසිංහය. 1943 සිට 1946 දක්වා කොළඹ ප්‍රථම සිංහල නගරාධිපති වශයෙන් සේවය කළේ මේ කම්කරු නායකයාය. 1947 මැතිවරණයේදී මැදකොළඹින් නැවත රාජ්‍ය සභාවට තේරී පත් වූ ඔහු ඩී. ඇස්. සේනානායක රජයේ කම්කරු හා සමාජ සේවා ඇමැති පදවිය හෙබවීය. ලිපිකරුවෙකු ඇමැති තනතුර දක්වා ඉහළට ගියත් මේ ගුණසිංහයන් තනතුර අනුසාරයෙන් හිස උදුම්මවා ගත්තේ නැත. ඔහු නිතරම එරෙහි වූයේ දේශපාලනයට පිවිසුන රට වනසන නීලකාස හොරුන්ටය. එදා අනගාරික ධර්මපාලතුමාගේ බුද්ධගයාව බේරා ගැනීමේ කටයුතුවලදී ඉන්දියා ජාතික සංගමයට කරුණු පැහැදිලි කිරීමට ඉන්දියාවට යැවූ නියෝජිතයා ඔහුය. ලංකාවේ කම්කරු ජනතාවට අයිතිවාසිකම් රාශියක් ලබා දීමට ක්‍රියා කළ ඔහු ජාතික නිදහස් සටනට උරදුන් අයුරු දන්නේ කීයෙන් කී දෙනාද? 


අමද්‍යප ව්‍යාපාරයේ මෙහෙයවන්නෙකු වූ ඔහු දේශපාලනය අනුසාරයෙන් සතපහක් වත් යටිමඩිගැසූ අයෙකු නොවේ. නිදහස් අධ්‍යාපනයේ පියා වූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ඔහුගේ සමකාලීන මිතුරෙක් විය. කන්නන්ගර අධ්‍යාපන ඇමැතිවරයා මැතිවරණයෙන් පරදවා ගෙදර යැව්වාක් මෙන් මේ කම්කරු නායකයාට ද ලංකාවේ පොදු ජනතාව  කෘතගුණ සැලකුවේ 1956 දී මැදකොළඹ අසුනින් ඔහු පරදවා ගෙදර යවමිනි. 


අවංක ජාතිමාමක හොරකම පිටු දකින විශිෂ්ට දේශපාලකයින්ට ලංකාවේ ජනතාව සලකන්නේ මෙහෙමය.

 

 

 

 

සිරී හීන්පැල්ල
ඡායාරූප අන්තර්ජාලයෙනි