2005 ජනාධිපතිවරණයත් තවත් තීරණාත්මක මැතිවරණයක් වුණා. ඒක එක්සත් ජාතික පක්ෂයට විශාල අභියෝගාත්මක එකක් වුණා. ඒ වෙලාවෙ රටේ මිනිස්සු හිතුවේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරාවි කියලා. රටේ විවිධ කොටස් මේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් හිටියා. 


ඒ වෙනකොට චන්ද්‍රිකා කුමාරතුංගගේ වාර දෙකේ පාලන කාලය අවසන් වෙලා තිබුණේ. ඒ පාලනය රටේ විශාල බිඳවැටීමක් කරලා තිබුණේ. රට ඉතාම අමාරු අඩියකට වට්ටල තිබුණේ. උතුරේ එල්.ටී.ටී.ඊ ප්‍රශ්නයත් වැඩිවෙලා තිබුණේ. රටේ මේ තිබුණු අර්බුදකාරී තත්ත්වයත් එක්ක රනිල් වික්‍රමසිංහට වාසියක් තිබුණා. චන්ද්‍රිකා කුමාරතුංගට එල්ලවෙච්ච චෝදනා හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාල ගරා වැටීමක හිටියේ. මේ අතරේ ශ්‍රීලනිපයට තිබුණු ලොකුම අර්බුදය වුණේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක.


පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා අනුර බණ්ඩාරනායක වෙයි කියලා ගොඩක් අය හිතාගෙන හිටියා. මොකද ඔහු ඒ වගේ අදහසක් විටින් විට ප්‍රකාශ කරලත් තිබුණා. පක්ෂය අතරමංවීමක හිටියේ. අනුර බණ්ඩාරනායක ජනාධිපති අපේක්ෂකයා කරනවද? නැද්ද? කියලා. එහෙමත් නැත්නම් ඒ වෙනකොට අගමැති විදියට කටයුතු කරපු මහින්ද රාජපක්ෂට ඒ අවස්ථාව ලැබෙනවද කියන එකත් විවාදාත්මකව තිබුණෙ. ඒ වෙනකොට මහින්ද රාජපක්ෂ ගැන ජනාධිපති අපේක්ෂකයා විදියට වැඩි කතාබහක් ඇතිවෙලා තිබුණෙ නෑ. මහින්ද අගමැති වුණාට පස්සෙ තමයි ජාතික නායකයෙක් මට්ටමට පිළිගැනීමක් ලැබුණේ. ඊට කලින් සාමන්‍ය ඇමතිවරයෙක් විදියට තමයි පිළිගැනීම තිබුණේ.


මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකකම ලබාගන්නෙත් අගමැතිකම ලබාගන්නෙත් චන්ද්‍රිකා කුමාරතුංගගේ කැමැත්ත උඩම නෙවෙයි. දෙකම ඔහුට නොදී බැරි තැනකට චන්ද්‍රිකා කුමාරතුංගව පත්වුණා. මහින්ද රාජපක්ෂ උපක්‍රමශීලීව විවිධ පිරිස් හරහා බලපෑම් කරවලා තමයි ඔහුගේ තැන ලබාගත්තේ. එතන ඉඳලා තමයි ඔහු ඊළඟ ජනාධිපතිවරණයට තරඟ කරනවා කියන කාරණය ඉදිරියට දැම්මේ. ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා තීන්දු කරන්න පක්ෂය කමිටුවක් පත්කළා. අලෙවි මව්ලානාගෙ ප්‍රධානත්වයෙන් තමයි මේ කමිටුව පත්වුණේ. ඒ කමිටුව අවසන් මොහොතේ තීන්දු කළා මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා විදියට නම්කරන්න. ඒ එක්කම අගමැති අපේක්ෂකයා විදියට අනුර බණ්ඩාරනායකගෙ නම නම් කරලා තිබුණා.


එක්සත් ජාතික පක්ෂය ඒ මොහොතේ කල්පනා කළේ මහින්ද රාජපක්ෂ ඉදිරිපත්වීම යූ.එන්.පියට ඒ තරම් අභියෝගයක් නෙවෙයි කියල. මහින්දයි රනිලුයි අතර තරගයේදී පහසුවෙන්ම රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන්න පුළුවන් කියල තමයි යූ.එන්.පී ය හිතුවෙ. රටේ විවිධ කොටස් රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය පිළිබඳ ලොකු තක්සේරුවක සහ බලාපොරොත්තුවක හිටියා.


 

මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවා බොහෝ දෙනෙකුගෙ සහයෝගයක් ලැබුණේ නෑ. චන්ද්‍රිකා කුමාරතුංග වැඬේ මගඇරලා වගේ හිටියේ. අනුර බණ්ඩාරනායකත් ඒ තරම් සහයෝගයක් දුන්නේ නෑ. රැස්වීම්වලට සහභාගි වෙලා ජනතාව අමතන්න. ශ්‍රීලනිපයේ ජනප්‍රිය කථිකයෝ බොහෝදෙනෙක් පස්ස ගැහුවා. රත්නසිරි වික්‍රමනායකගෙ සහයෝගයත් නොලැබුණු තරම්. මේ අයටත් මහින්දගෙ ජයග්‍රහණය ගැන විශ්වාසයක් තිබුණේ නෑ.

 

 


තව කොටසක් ලබන සතියට....

 

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි