බොරැල්ල කනත්තේ විප්ලවය - 03

සවස 6.00 ට පමණ වෙත්ම බොරැල්ල කනත්ත පිරීගියේ දුක් අඳෝනා මුසු මහා බලවේගයකිනි. අතු ගංගා මහා ගංගාවට එකතුවන්නා සේ හතරවටින්ම ජනතා ගඟ ගලන්නට විය. කිසිවකු අත අවිආයුධ නොවූවද යුද්ධයට යන මහා සෙබළ බළකායක් සේ ගොඩනැගුණු ජනරලින් කනත්ත භූමිය පිරී ඉතිරී ගියේය. 


කනත්තේ ශාලාව තුළ ලෑලිවලින් තැනූ රාමු හතරක් විය. එකක් විශාලව තිබුණේ එහි මිනී පෙට්ටි හතරක් තැබීමට විය හැකිය. අනෙක් තැන මිනී පෙට්ටි තුන බැගින් තැබීමට විය හැකිය. අඩි දෙකක් පමණ උස අඩි යොදා ඒවා හතරැස් ආකාරයට හදා තිබුණි. 


ජීවිතයේ මුල්ම අත්දැකීම වූ බොහෝ දෙනෙකුට ඒ මොහොතට මුහුණදිය යුත්තේ කෙසේද යන්න ගැටලුවක් විය. යුද්ධයේදී මිය යන සෙබළුන් රජය මගින් එකගොඬේ රජයට අවශ්‍ය තැන මිහිදන් කිරීමේ ක්‍රමවේදයක මුල් අදියර මෙලෙස ආරම්භ කරන්නට සූදානම් වීමක් බව බොහෝ දෙනා මත පළකරන්නට වූහ. මෙය මිය යන සෙබළාට ගමේ කනත්තේ වැළලෙන අයිතිය අහිමි කිරීමක් බව ඔවුන් කියනු ඇසුණි. රජයේ මේ තීරණය ඉදිරියේ ජාතික බලවේගයක් ගොඩනගන්නට සුදුසුම වේලාව මේ යැයි සිතුවේ හේම ශ්‍රී අමරසිංහයන්ය. 


බි්‍රගේඩියර් කෙනක් පෙරේරා ඔහු අසලට පැමිණියේ මේ අවස්ථාවේදීය. හේම ශ්‍රීගේ උරහිසට අත තැබූ ඔහු කීවේ පුතා කලබලවෙන්න එපා බොඩිස් ටික තවම කොළඹට ඇවිත් නෑ. ආව ගමන් මෙහාට ගෙනෙයි කියාය.
මිනී තබන්නට සූදානම් කර තිබූ ශාලාව අද්දර අඩි විස්සකට පමණ බටහිරින් කපා තිබූ වළවල් 13 කි. ඒ වළවල් 13 කපා තිබුණේ අඩි 3 ක පමණ පරතරයක් තබා එක පෙළටය. වළවල් මත රිදී පැහැති බටවලින් නිමා කළ රාමු 13 කි. ඝණ පටිවලින් දේහයක් වළවල්වලට බැස්සවීම සඳහා යොදාගන්නා මෙවලම් සූදානම්කර තිබුණි. කරුවල වැටෙත්ම විදුලි ආලෝකයෙන් කනත්ත ඒකාලෝක විය. ලොකු ජෙනරේටර් දෙකක්ද සූදානම් කර තිබුණි. 


වළවල් 13 ට පසෙකින් අඩි 4ං4 ප්‍රමාණයේ කුඩා ටීපෝවකට සුදු රෙද්දක් එලා පැන්ටා බෝතල් 4ක් තබා තිබුණි. එය රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන් 13 දෙනා වෙනුවෙන් පාන්ශුකූලය දීමේ ගිලන්පසටය. මෙම ස්ථානයේ සිටි පිරිස අතරට මේ අවස්ථාවේ පැමිණි පුද්ගලයෙකි. ඔහු අමාත්‍ය ගාමිණි ජයසූරිය මහතාය. 


“අපි ගොඩක් උත්සාහ කළා සිරුරු මේ අයට අරන් දෙන්න. නමුත් ප්‍රසිඩන්ට් ඕඩර් එක තමයි ක්‍රියාත්මක වෙන්නෙ. කියන්න කනගාටුයි සමහරවිට මෙතෙන්ට ගෙනෙන එකකුත් නෑ.” ඇමතිවරයා එතැන සිටි පිරිසට එසේ කීවේය. 


රාත්‍රි 8.00ට තවත් ඇත්තේ විනාඩි පහක් තරම්ය. සෙබළ සිරුරු දැන්නම් නොලැබෙන බව ඔවුන්ට ඒත්තු යන්නට විය. ආරක්ෂකයෝ ගාමිණි ජයසූරිය ඇමතිවරයාද එතැනින් රැගෙන ගියහ. දැන් අසන්නට කෙනෙක්ද නැත. තැන තැන රැකවල්ලා සිටි හමුදා සෙබළු සහ පොලිස් නිලධාරීහුද නිසොල්මන්ය. 


අටට ඇත්තේ තවත් තත්පර ගාණකි. අට වූවා පමණි වළවල් වටා රැස්වූ ජනතාව සිය දෑත්වලින් වළවල් වසන්නට වූහ. ඇඟිලි පුපුරා යන තෙක් පස් ගොඩවල් සූරා වළවල් වසන්නට වූහ. බාර්ලි බෝතල් තබා තිබූ ටීපෝව, වළවල් මත තිබූ මිනී වළට බැස්සවීමට තිබූ රිදී රාමු, මෙවලම් ශාලාවේ තිබූ ලෑලි රාමු සියල්ලම එම වළවල්වල වැළලුණි. මුරට සිටි හමුදා සොල්දාදුවන් බලාසිටියා මිස කිසිදු විරෝධයක් දැක්වීමේ ශක්තියක් ඔවුන්ට නොවීය. 


තොපි එකෙක්වත් එන්න එපා ආවොත් තොපිත් මේ වළවල්වලම වළලනවා කියමින් දෑතින් වළවල් වසන්නෝ කෑ ගැසූහ. 


මේ සමග සෙනග අතරින් මතුවුණු පතාක යෝධයෙකි. අතපය වනමින් එන ඔහුගේ අත්පා වදින මිනිස්සු දෙපසට විසිවී වැටෙති පෙරළෙති. ඔහු කොළඹ දකුණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.සී.වී. ගාෆූර් මහතා බව හඳුනාගත්තා නම් ටිකදෙනෙක් විය හැකිය. මොකද මෙතැන සිටි බොහෝ දෙනා ගම්වලින් පැමිණි පිරිස් බැවින් මීට කලින් ගෆූර් දැක නොතිබෙන්නට ඇත. බොහෝ දෙනා ඔහුට යම් යම් දුක් ගැනවිලි ඉදිරිපත් කරන්නට වූහ. එහෙත් ඒවාට කන්දුන්නේ ඔහු නොවේ. 


ඒ මොහොතකින් විශාල ලෑල්ලක් උඩ කැරකෙනු පෙනුනි. එය මිනීපෙට්ටි තැබීමට ශාලාවේ හදා තිබූ ලෑලි රාමුවකින් ගැලවී මිනී වළේ නොවැළලී තිබූ ලෑල්ලකි. දෙවරවක් පමණ උඩින් කැරකුණ එම ලෑල්ල වේගවත්ව පතිත වූයේ ගෆූර් මහතාගේ ගෙල මතය. පිටුපසින් එය ගෙල මත පතිතවෙද්දී සද්දන්ත ගෆූර් මහතාගේ සිරුර බිමට පහත් වුණි. හොම්බ කට මුහුණ බිම නොවැදී බේරුණේ ඔහුගේම ශක්තිය නිසා විය හැකිය. 
ඒ පහර කාගෙන යළි කෙළින් වූ ඔහු තමාට ඒ පහර එල්ලකළේ කවුරුදැයි බලන්නටවත් නතර වූයේ නැත. සෙනග අතරින් පලා ගියේ මහා හූ හඬක් මැද්දේය.  


නයාට ගහල පොල්ල වරද්දා ගත්තයි කවුදෝ කියනු ඇසුණේ ගෆූර් නම් පොලිස් නිලධාරියා ගැන දන්නා කෙනෙකු විය හැකිය. 

 


(හේම ශ්‍රී අමරසිංහගේ 83 ජූලි පොත ඇසුරෙනි) 

 

 


වදාකඩ නවරත්න
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.