ඉල්මහේ බිලිගත් ජවිපෙ දෙවැනියා

 

මෙයින් පසුව ජවිපෙ බහුජන දේශපාලනය හා මැතිවරණ ව්‍යුහය තුළ තම කටයුතු වේගවත් කළ අතර ඉදිරි කාලයේ දී පැවැත්වීමට නියමිත මැතිවරණවලට මුහුණදීම සඳහා රුපියල් විසිපන් ලක්ෂයේ මැතිවරණ අරමුදලක් ගොඩනැගීම ද 1981 නොවැම්බරයේ දී ආරම්භ කරන ලදී. මැතිවරණ ක්ෂේත්‍රයේ දී ඊළඟට ජවිපෙ මුහුණදුන් ප්‍රබල අවස්ථාව වූයේ 1982 ජනාධිපතිවරණයයි.


ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා 1978 සම්මත කරගත් නව ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබුණේ 1984 දීය. එහෙත් මතුවෙමින් එන අර්බුදය තුළ එතරම් කාලයක් පමාවීම අවාසිදායක බව ජයවර්ධන ජනාධිපතිවරයා කල්පනා කළේය. ඒ අනුව පළමු ජනාධිපතිධූර කාලයට වසර 04 ක් පිරුණු විට අවශ්‍ය නම් ජනාධිපතිවරණයකට යාම සඳහා අවශ්‍ය නීතිමය අනුමැතිය 1982 අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත් තුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබා ගන්නා ලදී. 1982 ජනාධිපතිවරණය පවත්වන ලද්දේ ඒ අනුවය. මෙහිදී ජවිපෙ තම සටන් පාඨය සමග විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරමින් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවත් එහිදී වමේ පොදු අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ජවිපෙන් විය යුතු බවත්, ප්‍රකාශයට පත්කරන ලදී. මේ අවස්ථාවේ දී කොල්වින් ආර් ද සිල්වා (ලසසප) වමේ පොදු අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බව ප්‍රකාශ කළේය. ඒ සමගම වාසුදේව නානායක්කාර (නසසප) ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළේය. මේ තත්ත්වයන් සලකා බැලූ ජවිපෙ අවසානයේදී ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කළේය. ඒ අනුව දේශපාලන මණ්ඩලයේ දී ජනාධිපති අපේක්ෂකයන් වශයෙන් ගමනායක යෝජනා වූ විට ඔහු එය ප්‍රතික්ෂේප කරමින් වඩාත් සුදුසු හා ජනප්‍රියතම පුද්ගලයා රෝහණ විජේවීර බවත් ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය යුත්තේ විජේවීර බවත් ගමනායක යෝජනා කළේය. පක්ෂ සාමාජිකයන් එය අනුමත කරමින් ඒකමතිකව තෝරාගනු ලැබුවේ, විජේවීරය.


1982 ඔක්තෝබර් 20 පැවති පළමු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව ජවිපෙ තුන්වන දේශපාලන බලවේගය බවට හා වමේ ප්‍රධාන බලවේගය බවට පත්වෙමින් විජේවීර ඡන්ද 273,428 ක් ලබාගත්තේය. ජනාධිපතිවරණයේදී ජවිපෙ තුන්වැනියා බවට හා වමේ ප්‍රධානියා බවට පත්වුව ද ලැබුණු ඡන්ද ප්‍රමාණය බලාපොරොත්තු වූ ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රමාණවත් නොවීය. ඡන්ද ප්‍රතිඵලය සමග ජවිපෙ මහා නාය යාමකට හසුවුවාක් මෙන් පක්ෂයේ සාමාන්‍ය හිතවතුන්ද අර්ධකාලීනව හා පූර්ණකාලීනව වැඩකළ ඇතැම් සාමාජිකයෝ පක්ෂයෙන් හැලී යාමට පටන් ගත්තෝය. ජනාධිපතිවරණයෙන් පසු ජවිපෙ සිතා සිටියේ ඊළඟට පැවැත්විය යුතු මහමැතිවරණයට තරඟ කිරීමටය. එහෙත් 1982 ජනාධිපතිවරණය දිනාගත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරණ වේදිකාවල දී පැවසූ පරිදිම මැතිවරණ සිතියම හකුළා තැබීමට පියවර ගත්තේය. ඒ 1983 ට නියමිත මහ මැතිවරණය නොපවත්වා ජනමත විචාරණයක් පවත්වා ඒ වනවිටත් තිබූ පාර්ලිමේන්තුවේ කාලය තවත් වසර 6 කින් දීර්ඝ කර ගැනීමට තීරණය කිරීම මගිනි. කෙසේ වුවද මැර ක්‍රියා හා උපරිම ඡන්ද දූෂණ මැද ලාම්පු කළගෙඩි සෙල්ලම නොහොත් ජනමත විචාරණයෙන් ආණ්ඩුව ජය ගත්තේය. යෝජනාවට පක්ෂව (ආණ්ඩුවට) ඡන්ද 3,141,223 ක් ලැබී තිබූ අතර විපක්ෂව (කළගෙඩියට) ලැබී තිබුණේ ඡන්ද 2,605,983 ක් පමණි. ආණ්ඩුව වැඩි ඡන්ද 535,240 කින් ජනමත විචාරණය ජයගෙන තිබිණි.


පක්ෂය අනාගතයේ දී ගත යුතු මග පිළිබඳ මතු වූ අවිනිශ්චිත තත්ත්වය මත 1983 පෙබරවාරියේ දී පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට ගත් තීරණයකට අනුව මැයි මාසයේදී තංගල්ලේ විජිත රණවීරගේ නිවසේදී විශේෂ රැස්වීමක් පැවැත්විණි. මේ සාකච්ඡාවේදී පක්ෂයේ මහලේකම් ලයනල් බෝපගේ පක්ෂයේ ස්ථාවරය දැඩි ලෙස ප්‍රශ්න කළේය. වාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් ජවිපෙ ස්ථාවරය ඔහුගේ දැඩි විවේචනයට ලක්විය. බෝපගේ කියා සිටියේ වාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් ජවිපෙ පිළිවෙත දෙබිඩි පිළිවෙතක් බවයි. එහෙත් ඔහුගේ අදහස්වලට බහුතරයකගේ අනුකූලතාවක් නොලැබිණි.


සංවිධානාත්මක හා න්‍යායික අර්බුද හේතුවෙන් අභ්‍යන්තර පසුබෑමකට හා හැකිලීයාමකට මැයි වනවිට ජවිපෙ පත්ව සිටිය ද, 1983 විජේවීර ගමනායක මූලිකත්වයෙන් පවත්වන ලද මැයි පෙළපාළිය හා මැයි රැලිය රජයේ ආරක්ෂක අංශ හා පාලකයන් තැති ගැන්වීමට සමත් විය.


1983 ජූලි 23 වැනි දින උතුරේ හමුදා සොල්දාදුවන් පිරිසකට එල්ල වූ ත්‍රස්තවාදී බිම්බෝම්බ ප්‍රහාරයකින් සොල්දාදුවන් 13 දෙනෙක් මියයාමත් සමග එම සිදුවීම දඩමීමා, කරගනිමින් එජාපයේ පූර්ණ සහාය සහිතව රටපුරා 83 ජූලි 26 දින සිට ජාතිවාදී කෝලාහල ආරම්භ විය. හදිසි නීතිය උපයෝගි කර ගනිමින් ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂ තුනක් තහනම් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය. එසේ තහනම් කළ පක්ෂ වූයේ ජවිපෙ, කොමියුනිස්ට් පක්ෂය හා නව සම සමාජ පක්ෂයයි. මෙම පක්ෂ තුන තහනම් කරමින් ජයවර්ධන ආණ්ඩුව ප්‍රකාශ කළේ, මෙම පක්ෂ ජාතිවා දී කෝලාහල පිටුපස සිටින බවත් රට තුළ අරාජිකත්වයක් ඇතිකොට ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවත්ය. ඒ අනුව එජාපය විසින්ම ආරම්භ කළ ජාතිවාදී කෝලාහලය උපයෝගී කරගනිමින් ජවිපෙ, ආණ්ඩුව විසින් තහනම් කළ අතර ජවිපෙන් එල්ල වෙමින් තිබුණු දේශපාලන අභියෝගයට එසේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හා කුමන්ත්‍රණකාරී ලෙස පිළිතුරු සෙවීය. මාස කිහිපයකට පසු කොමියුනිස්ට් පක්ෂයෙත්, නව සම සමාජ පක්ෂයෙත් තහනම ඉවත් කළ ආණ්ඩුව ජවිපෙ තහනම දිගටම පවත්වාගෙන ගියේය. මේ තුළින් කොමියුනිස්ට් පක්ෂය හා නව සම සමාජ පක්ෂය තහනම් කිරීමේ වුවමනාවක් ජයවර්ධනට නොතිබුණු බව මෙයින් මනාව සනාථ වනු ඇත.


මේ අතර 1984 පෙබරවාරි 29 වැනි දින ලයනල් බෝපගේ ලියවිල්ලක් ඉදිරිපත් කරමින් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය. “ජවිපෙ තහනම ඉවත් කරනු” යන පක්ෂ තහනමින් පසු එළිදැක්වුණු ප්‍රථම පෝස්ටරයත් සමග ජවිපෙ යළි කරළියට පැමිණ සිටියේය. සීසී කඩව තිබූ පක්ෂය ගොනු කර ගැනීමට නව පක්ෂ ලේකම්වරයෙක් පත් කෙරිණි. ඒ උපතිස්ස ගමනායකය. රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, සුමිත් අතුකෝරල, පියදාස රණසිංහ, ගුණරත්න වනසිංහ, පී. ආර්. බී. විමලරත්න සහ නන්දතිලක ගලප්පත්තිගේ සාමාජිකත්වයෙන් පිහිටුවාගත් තාවකාලික දේශපාලන මණ්ඩලය විසින් මහලේකම් ධූරයට ගමනායක තෝරාගෙන තිබුණි. උපතිස්ස ගමනායක පක්ෂය යළි ගොඩනැගීමේ වගකීම සිය දෙවුර මතට ගෙන තිබුණේය. ඔහු වෙහෙස නොහඳුනන මිනිසෙකු වීම පක්ෂයට ආශිර්වාදයක් විය. ආණ්ඩුවට අභියාචනා කර පලක් නොවන තත්ත්වයක් තුළ පක්ෂය යළි සංවිධානය කරනවා හැර අන් විකල්පයක් විජේවීර සතුව තිබුණේ නැත. පක්ෂය ප්‍රති සැලසුම් කොට ප්‍රතිසංවිධානය කිරීමට විජේවීරගේ වුවමනාවට ගමනායකගේ ක්‍රියාකාරිත්වය මනාව ගැළපුණේය. රෝහණ විජේවීර රටට වඩාත්  විවෘත චරිතයක් වී තිබුණ ද, ගමනායකගේ රූපය කැමරා ඇසට පවා හසුව තිබුණේ ඉතා අඩුවෙනි. පුවත්පත් ඡායාරූප ශිල්පීන් කිහිපදෙනෙකු සතුව තිබුණේ ද ඔහුගේ පින්තූර එකක් හෝ දෙකක් පමණි. බොහෝ අය ගමනායක ගැන තොරතුරු දැන සිටියේ නැත.


පක්ෂ තහනමත් සමග ජවිපෙට සිදුවූයේ ඉතා සංකීර්ණ වටපිටාවන් තුළ අභියෝග රැසකට මුහුණ දෙමින් ක්‍රියාත්මක වීමටය. ඒ අනුව තහනම තුළ ක්‍රියාත්මක වීමට ජවිපෙ කටයුතු කළේය. ඒ අනුව රෝහණ විජේවීර තණමල්විලට ද අවසානයේ කිතුල්කොටේ හේනකද නවාතැන් ගත් අතර ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායකගේ වාසස්ථානය වූයේ බුත්තල ප්‍රදේශයේ හේනකි.


මර්දනය ඉවවැටී තිබීම නිසා ජවිපෙ යම් යම් ආරක්ෂිත ප්‍රදේශවල මෙබඳු නවාතැන් කල්තියා සූදානම් කර තිබිණි. රහසිගතව වැඩ කිරීමට තීරණය කළ ජවිපෙ මහා ලේකම්වරයා වූ උපතිස්ස ගමනායක භාරගත්තේ මුළු පක්ෂයම ඔසවා තම දෙවුර මත තබාගත්තාක් වැනි විශාල වූත් බැරෑරුම් වූත් වගකීමකි.


1986 වසරේ මුල් භාගය පමණ වන විට රටේ දේශපාලනය නොයෙකුත් හැලහැප්පීම් මැද ගලා යමින් තිබිණි. ජවිපෙ තහනම් කළ එජාප ආණ්ඩුව ඉතිහාසය පුරාම මෙරට ආණ්ඩු ක්‍රියා කරන ආකාරයට මේ වන විට ද ජවිපෙට එරෙහිව නොයෙකුත් අවලාද හා කුමන්ත්‍රණ දියත් කරමින් සිටියේය.

 

විජේවීර කොටි සමග ඉන්දියාවට පැනගොස් ඇතැයි ද, ජවිපෙ සාමාජිකයන් උතුරු - නැගෙනහිර පෙදෙස්වල කොටින්ගෙන් අවි පුහුණුව ලබමින් පසුවන බවද, නොයෙකුත් රූකඩ හා ද්‍රෝහීන් සම්බන්ධ කර ගනිමින් අවලාද හා බොරු බේගල් ප්‍රචාර දියත් කිරීම ද එක් උපක්‍රමයක් විය. ගමනායකත්, විජේවීරත් ජවිපෙ හොඳ සුසංයෝගයක් වූ නිසා ඔවුන් දෙදෙනා මතභේදයක් ඇතිකරගෙන පක්ෂයෙන් බෙදී වෙන්වී සිටින බවට බොරු ප්‍රචාරයක් දියත් කිරීම ඒ වන විට සතුරු එජාපයේ අලුත්ම අවලාදය විය. රෝහණ විජේවීර හා ගමනායක එක්ව රහසිගත කැසට් පටයක් මගින් ජයවර්ධන ආණ්ඩුවේ අවලාදයට එරෙහිව ඉතා තියුණු සහ සාරවත් කරුණු දැක්වීමක නිරත වූ අතර එහි ගමනායක ඉතා ස්ථිර හඬින් මෙසේ කීවේය.


“ජනතා විමුක්ති පෙරමුණු දෙකක් නැහැ. තියෙන්නේ එකයි. ඒ තමයි ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා නිර්මාණය කළ ජනතා විමුක්ති පෙරමුණ. එය අදත් හෙටත් කවදාටත් එහෙමයි.”


ජවිපෙ දේශපාලන මණ්ඩලය ප්‍රමුඛ මධ්‍යම කාරක සභාවේ සියලු සාමාජිකයන් සහභාගි වූ විශේෂ රැස්වීමක් කොස්ලන්ද ප්‍රදේශයේදී පැවැත්විණි. විජේවීර හා ගමනායක ඇතුළු ක්‍රියාකාරීන් 40 කට වැඩි පිරිසක් මේ සාකච්ඡාවට සහභාගි වූහ. දේශප්‍රේමී සන්නද්ධ අරගලය සඳහා පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීමට තීරණය කෙරුණු අතර දේශප්‍රේමී සන්නද්ධ අරගලය සඳහා තීන්දුවක් ගනු ලැබුවේ මේ තීරණාත්මක සාකච්ඡාවේදීය. පක්ෂය දේශපාලන අංශය, සන්නද්ධ අංශය ලෙස සංවිධානය කළ අතර රහස්‍යභාවය හා ආරක්ෂාව යන කරුණු එහිදී සැලකිල්ලට ගනු ලැබීය. ශිෂ්‍ය අංශයට අමතරව කාන්තා අංශයක් ද ගොඩනැංවිණි. සෑම ක්ෂේත්‍රයකටම ගමන් කිරීමට සැලසුම් සකස් විණි.


යටිබිම්ගත දේශපාලනයේ නිරත උපතිස්ස ගමනායක රටපුරා යමින් මේ කටයුතු සංවිධානය කළේය. දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් පැවැත්විණි. 1986 සැප්තැම්බර් මුල කොළඹ දී පැවති රැස්වීමක් ඇමතූ ගමනායක එක් පොලිස් බල ප්‍රදේශයකින් 25 කගෙන් සමන්විත කණ්ඩායම් ගොඩනංවන ලෙස උපදෙස් දෙනු ලැබීය. 1986 වසර අවසානය වන විට ජවිපෙ පූර්ණ කාලීනයන් 500 කට වැඩි සංඛ්‍යාවක් ගොඩනංවාගෙන සිටියේය. මසකට වරක් හෝ දෙවරක් දිස්ත්‍රික් කමිටු රැස්වීම් පැවැත්විණි. මුළු පක්ෂ සංවිධානයම විධිමත් හා සක්‍රීය සම්බන්ධීකරණයකින් ක්‍රියා කරන යාන්ත්‍රණයක් බවට පත්ව තිබිණි.


දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පිහිටුවීමෙන් පසුව එක් එක් දිස්ත්‍රික්කය සඳහා දේශප්‍රේමි සන්නද්ධ බළකායන් පිහිටුවීමේ සැලැස්ම යටතේ බළකායන් දොලහක් පිහිටුවන ලද අතර එහි අණදෙන නායකයා වූයේ කීර්ති විජේබාහු නමින් පෙනී සිටි සමන් පියසිරි ප්‍රනාන්දුය. දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයට අවි ආයුධ ලබාගැනීමේ අරමුණින් රජයේ හමුදා කඳවුරුවලට හා පොලිසිවලට ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්ම යටතේ 1987 මුලදී ප්‍රථම ප්‍රහාරය එල්ල කරන ලද්දේ මහනුවර පල්ලෙකැලේ හමුදා කඳවුරටය. එම ප්‍රහාරය සාර්ථක විය. මෙවැනි තීරණාත්මක ප්‍රහාර එල්ල කරන සෑම අවස්ථාවකම දේශපාලන මණ්ඩල රැස්වීමේදී එය සාකච්ඡා කර තිබුණත් යටිබිම්ගත විප්ලවවාදියෙකු ලෙසින් රහසිගතව ක්‍රියාකිරීම ගැන මනා හැකියාවක් අත්දැකීම් සහ දක්ෂතාවක් ඇති ගමනායකගේ උපදෙස් ලබාගැනීමට සමන් පියසිරි ප්‍රනාන්දු අමතක නොකළේය.


1987 ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග රට තුළ ඇවිළී ගිය ජයවර්ධන විරෝධය 1988 අගවන විට වඩාත් උත්සන්න වන්නට විය. ජයවර්ධන විරෝධී සටන ධනපති ක්‍රමයට, අධිරාජ්‍යවාදයට, ඉන්දියානු ව්‍යාප්තවාදයට හා බෙදුම්වාදයට එරෙහිව සටනක් බවට පත්ව තිබූ අතර එහි පෙරමුණ ගෙන ක්‍රියා කළේත්, සටන් කළේත් ජවිපෙ හා දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයයි.


රට භීෂණයේ කරවටක් ගිලී තිබූ මෙම අවදියේ මරා දැමීම් පැහැරගෙන යාම් වේගවත් විය. රට තුළ නිර්මාණය වූ මෙම බිහිසුණු තත්ත්වය සම්බන්ධයෙන් ජවිපෙ වඩාත් අවධානයෙන් පසුවිය. මුළු මහත් රටම අරාජිකත්වයේ ගිලි මළ කඳන් බහුල තත්ත්වයකට පත්වන විට අතරමග සමාදානයක් ඇතිකර ගැනීමේ වැදගත්කම ජවිපෙත් රජයත් එකවර තේරුම්ගත් අවස්ථා ද 88 - 89 සමයේ දක්නට ලැබිණි. එහෙත් හැමවිටම ජවිපෙ රජයෙන් අපේක්ෂා කළේ සැක නැති ක්‍රියා මාර්ගයන්ය. රජය නිතරම රහසිගත දේශපාලනයේ නිරත ජවිපෙ එළියට ගැනීම කෙරෙහි පමණක් අවධානය යොමු කළ අතර වඩාත් ඵලදායි අවසන් විසඳුමක් ඇති කළ යුතු බවට විශ්වාසය ඇතිකරවන ආකාරයේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොකළේය. මෙම තත්ත්වය ජවිපෙ දුටුවේය. එහෙයින් වඩාත් ඵලදායී විසඳුමක් නිර්මාණය කෙරෙන ආකාරයේ කොන්දේසි ජවිපෙන් ඉදිරිපත් විය. එහෙත් එම කොන්දේසි ඉටු කිරීමට රජය කිසිදු පියවරක් නොගත්තේය. ජවිපෙ ප්‍රධාන වශයෙන් කියා සිටියේ ජවිපෙ නායකත්වය විනාශ කිරීමේ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වෙමින් පවතින බවය. ජවිපෙ තහනම ඉවත් කළද අතුරු හමුදා සන්නද්ධ කුලී හේවායන් හරහා ජවිපෙ නායකත්වය විනාශ කිරීමේ සැහැසි කුමන්ත්‍රණයක් දියත් වන බව ජවිපෙ කීවේය. ඒ කියන දෙය බොරුවක් යැයි ඔප්පු කිරීමට රජය අසමත් විය.

 


මතු සම්බන්ධයි.

 

එම්. තාරික්
ඡායාරූප : අන්තර්ජාලයෙනි