ක්‍රිස්තු පූර්ව 5 වැනි සියවසේ පටන් වරින්වර ලක්දිවට පැමිණි ඉන්දීය සංක්‍රමිකයන් පදිංචි වූ මුල්ම ප්‍රදේශයක් ලෙස හම්බන්තොට අපගේ ඉතිහාසයට එක්වෙයි. ක්‍රි.පූ. 5 වැනි සියවසේදී රෝහණ නැමති කුමාරයෙකු විසින් රෝහණ නම් ජනපදය පිහිට වූ බව මහාවංශයේ සඳහන් වේ. පසුව උප රාජධානියක් ලෙස හැඳින් වූ එම ප්‍රදේශයට වර්තමාන හම්බන්තොට දිස්ත්‍රික්කය මුළුමනින්ම අයත්ව තිබුණි. එයට අමතරව මොනරාගල දිස්ත්‍රික්කයේත්, රත්නපුර දිස්ත්‍රික්කයේත් යම් භූමි ප්‍රදේශයක් රුහුණට අයත් වූ බව සමහර ඉතිහාසඥයන්ගේ මතයයි.


එම රෝහණ රාජධානියේ අගනුවර වූයේ මහාගාම හෙවත් මාගමයි. දේවානම්පියතිස්ස මහරජුගේ බාල සොහොයුරු මහානාග යුවරජු මාගමට පැමිණ රෝහණ දේශයේ පාලකයා බවට පත්වූ බව ඉතිහාසය කියයි. 


මහානාගගෙන් පසු යටාලතිස්ස රජු හා ඔහුගෙන් පසු ගෝඨාභය රජුත්, ගෝඨාභය රජුගෙන් පසු කාවන්තිස්ස රජුත් රෝහණ දේශයේ රජ වී පාලනය කළ බව සඳහන්ය. මෙම කාල පරිච්චේදයන් තුළ රුහුණු ප්‍රදේශයේ සෑම ස්ථානයකම මෙන් වෙහෙර විහාර ඉදිකරවා ඇති බව මූලාශ්‍ර පෙන්නුම් කරයි. ඒ අනුව ඉදිවූ වෙහෙර විහාර හා ස්මාරක අතර තිස්සමහාරාම රාජමහා විහාරය නාගමහා විහාරය තිස්සමහාරාම සඳගිරි සෑය, තිස්සමහාරාම මැණික් වෙහෙර, යටාල විහාරය, උද්ධකන්දර රාජමහා විහාරය, තුල්‍යධාර පබ්බත විහාරය, අංජලිගල විහාරය, බඳගිරිය රාජමහා විහාරය, යාංගල රජමහා විහාරය, ආදී වෙහෙර විහාර ප්‍රධාන ස්ථානයක් ගනී.


මෙවැනි වෙහෙර විහාර හම්බන්තොට දිස්ත්‍රික්කය පුරාවටම දක්නට ලැබේ. එම පුරාතන වෙහෙර විහාරස්ථාන අතුරින් අම්බලන්තොට උඩබැරගම විල්ගම්වෙහෙර රජමහා විහාරස්ථානය හා සබැඳි සිදුවීමක් පිළිබඳව මාගේ මතක සටහනක් ගෙන හැර දක්වමි.

 

විජේතුංග මහතා බිරිඳ සමග

 


රුහුණු රාජධානිය පැවති සමයේ ඉදිවූ අම්බලන්තොට උඩබැරගම විල්ගම් වෙහෙර පුරාණ රාජමහා විහාරය අම්බලන්තොට නගරයේ සිට සැතපුම් 3ක් පමණ බැරගම ප්‍රදේශයට ගිය විට හමුවන විහාරස්ථානයකි. මෙය අම්බලන්තොට ප්‍රදේශයේ සමෘද්ධිමත් විහාරයක්ව පැවති බවට එහි ඇති පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂයන් සාක්ෂි දරයි. පවුරකින් වට වූ චතුරස්‍රාකාර මළුවක් තුළ පිහිටි ගොඩනැගිලි කිහිපයක නටබුන් ද මළුවට පිටතින් පිහිටි තවත් ගොඩනැගිල්ලක නටබුන් ද රමණීය වෙල්යායකින් වට වූ චෛත්‍යයකින් ද සමන්විත මෙම විහාරස්ථානය ඓතිහාසික අතින් ඉතා වැදගත් තැනක් ගනී.


මෙම විහාරස්ථානය පිළිසකර කර දෙන ලෙසත් විශේෂයෙන් චෛත්‍ය රාජයාණන් වහන්සේ ඇතුළු වන්දනීය ස්ථාන පිළිසකර කරදෙන ලෙසත් එවකට එම විහාරස්ථානයේ අධිපති පදවිය දැරූ බැරගම සුමනසිරි ස්වාමීන් වහන්සේ මාගෙන් ඉල්ලා සිටියේ මා එම ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා රාජ්‍ය ඇමති පදවිය දැරූ 1994 වසරේදීය.


ඩී. බී. විජේතුංග ජනාධිපතිතුමාගේ පාලන සමයේ දී මාගෙන් කරන ලද මෙම ඉල්ලීම ඉටුකරලීමට මා හට පහසු වූයේ ජනාධිපතිතුමා මෙවැනි ඉල්ලීම් ඉටුකිරීමට නොපැකිළ ඉදිරිපත්වීම නිසයි. මෙබඳු ඉල්ලීම් රැසක් එවකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ විහාරස්ථාන රැසකින් ඉදිරිපත් වූ අතර ප්‍රතිපාදන වෙන්කර දීමට ජනාධිපතිතුමා උනන්දුවීම නිසා මා හට ඒවා ඉටුකරදීම පහසු විය. ඒ අනුව මෙම විල්ගම් පුරාණ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව ජනාධිපතිතුමා දැනුම්වත් කළ විගස එතුමා කීවේ ඇමතිතුමා මේ වැඬේ ඉතා හොඳින් කරවල දෙන්න. වැඩ ඉවරවුණාම මටත් කියන්න. මමත් ආසයි ඔය පැත්තෙ ඇවිල්ල පන්සල බලලා පුරාවිද්‍යාත්මක නටබුන් බලලා යන්න කියලා. එතුමාගේ ඒ ප්‍රකාශයෙන් මා සතුටු වූයේ මෙවැනි වැඩකට රටේ පාලකයා පැමිණීම නිසා වෙනත් සංවර්ධන වැඩ කීපයක් ද එම ප්‍රදේශය ආශ්‍රිතව ඉටුකර දෙන්නට පුළුවන්කම ඇතිවන හෙයිනි. ඒ අනුව අවට ගම් කීපයකට විදුලිය ලබාදීමට ද හැකිවූ බව මතක් කරනුයේ කෘතඥතා පූර්වකවය.


කෙසේ හෝ විල්ගම් විහාරයේ පිළිසකර වැඩ අවසන් වූ පසු මා ජනාධිපතිතුමාට ආරාධනා කළේ පහසු දිනක විහාරස්ථානයට පැමිණෙන ලෙසයි. ඒ අනුව පහසු දිනක් මා හට දැන්වූයෙන් විහාරාධිපති හිමිපාණන්ටත් දන්වා උත්සවයක් සංවිධානය කළෙමු. කෙසේ වුවත් මා හටද අතපසු වූයේ එවකට අම්බලන්තොට සිට උඩබැරගම දක්වා වූ අබලන්ව පැවති මහාමාර්ගය ප්‍රතිසංස්කරණය කරවා දීමටයි. තැන්තැන්වල වළවල් හෑරී ඉතා අබලන්ව පැවති මෙම මාර්ගය පිළිසකර කිරීමට අමතක වූ අතර යොදාගෙන තිබූ දින අනූවත් ඒ දිනවල පැවති දැඩි වර්ෂාපතනයත් නිසා සුළු දින කීපයක් ඇතුළත ප්‍රතිසංස්කරණයක් කරදීමට නොහැකි බව මහාමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මා හට දැන්වූහ. 

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේතුංග මහතා හමුවීමට ගිය අවස්ථාවක්.

 

 

පසුව මා කල්පනා කළේ දැන් කිසිවක් කරන්නට වෙලාවක් නෑ කොහොම හරි මාර්ගයේ අපහසුතා මැද්දේ හරි ජනාධිපතිතුමා ගෙන්වීමේ කටයුත්ත කරමු යනුවෙනි.ඒ අනුව නියමිත දිනට ජනාධිපති විජේතුංග මැතිතුමා අම්බලන්තොට නගරයට පැමිණියේ හෙලිකොප්ටරයෙනි. එසේ පැමිණි එතුමාට අම්බලන්තොට සිට උඩබැරගම දක්වා යාමට සිදුවූයේ කාරයකිනි. ඒ අනුව මාගේ නිල රථය ඒ සඳහා සූදානම් කර තිබුණි. අම්බලන්තොට ඓ්රපුත්ත මහා විද්‍යාලයට හෙලිකොප්ටර් යානයෙන් පැමිණි ජනපතිතුමා ඉන් අනතුරුව මාගේ වොල්වෝ නිල රථයට ගොඩවූ අතර එතුමාත් මාත් වාහනයේ පසුපස අසුනේ වාඩිගත්තෙමු. ඉදිරිපස අසුනේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා අසුන්ගත් අතර මාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු එකවරම එතැනට පැමිණ රියැදුරු බස්සවා ඔහු රියැදුරු අසුනේ වාඩිවිය. මාගේ ලේකම්වරයෙකු නිසා මා කිසිවක් නොකී අතර සමහර අවස්ථාවල ඔහුද මාගේ වාහනය ධාවනය කරන ලද අයෙකු වූ බැවින් ඒ ගැන විශේෂත්වයක් නොදැනුණි. කෙසේ වුවද අම්බලන්තොට නගරය පසුකර ගෙන උඩ බැරගම පාරේ මද දුරක් යන විට මා හට දැනුණේ රියැදුරු වාහනය ගෙන යන ආකාරය එතරම් සතුටුදායක නැති බවයි. සමහර විට වැඩි වේගයෙන් යන ඔහු සමහරවිට හෙමින් යයි. පාරේ හෑරී ඇති වළවල්වල ද වැටෙන වාහනය සමහර විට පාරේ අයිනට ද ගමන් කරයි. රියැදුරුගේ රාජකාරියේ යම් අමුත්තක් ඇති බව මට හොඳ හැටි තේරුණු අතර ජනාධිපතිතුමා ද එක් වරක් මාගෙන් ඇසුවේ ’‘මේ පාර හුඟක් කැඩිලා නේද? වළවල් හුඟක් තියෙනව නේද?” කියලයි. මා ඒ ප්‍රශ්නවලට ’ඔව් සර්’ කියා පිළිතුරු දෙමින් වෙනත් මාතෘකා ද කථා කරමින් ගියේ රියැදුරුගේ ධාවන තත්ත්වය අසතුටුදායක බව වැටහුණු බැවිනි. කෙසේ හෝ එම අසතුටුදායක රිය ධාවනය තුළින්ම විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා විහාරස්ථානයේ උත්සවයට සහභාගි වී එම කටයුතු සියල්ල මැනවින් ඉටු කළේය. මේ අතරතුර වෙනත් වාහනයක පැමිණි මාගේ නියම රියැදුරු කැඳවූ මා ආපසු අම්බලන්තොටට එන ගමනේ දී රිය ධාවනය කරන ලෙස ඔහුට දැන්වූයෙමි. එසේ නොවුණි නම් සම්බන්ධීකරණ ලේකම්වරයා යන අවස්ථාවේ සිදුකළ ආකාරයෙන් රථය ධාවනය කොට යම් අනතුරුදායක තත්ත්වයක් ඇති කරාවිදැයි මා හට සැකයක් ඇති වී තිබුණි. කෙසේ හෝ ආපසු අම්බලන්තොටට පැමිණි ජනාධිපතිතුමා මා හටද ස්තුති කොට නැවතත් ගුවනින් කොළඹ බලා පිටත්විය. ඊට දින 2 කට පසුව කොළඹ පැමිණ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට සහභාගි වීමට  ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය විට ජනාධිපතිතුමා ඔහුගේ කාමරයට කැඳවූ මා හට කීවේ “ඇමතිතුමා එදා අම්බලන්තොට දී අපි මාරක පිම්මකින් නේද බේරුණේ ” යනුවෙනි. එසේ කියූ එතුමා කීවේ “ඔය වගේ පුද්ගලයන් සේවයට යොදා ගැනීමේ දී ප්‍රවේශමෙන් ක්‍රියා කරන” ලෙසයි. “හොඳයි ජනාධිපතිතුමනි මා ඒ ගැන යම් පියවරක් ගන්නවා” යනුවෙන් කීවා පමණක් නොව යම් දෝෂයක් වුණි නම් සමාවෙන්න කියලත් කිව්වා. “නෑ නෑ ඒකට කාටවත් දඬුවම් කරන්න ඕන නැහැ. ඉදිරියට එහෙම නොවෙන්න ඕන හින්දයි මම කිව්වේ” යනුවෙන් පැවසුවේය. එසේ කරුණාවෙන් ජනාධිපතිතුමා කීවත් නැවත මා හම්බන්තොට පැමිණි විගස මත්පැන් බී රිය ධාවන කළ ලේකම්වරයා වහාම සේවයෙන් ඉවත් කිරීමට ක්‍රියා කළෙමි. සමහර නිලධාරීන් හා පුද්ගලයන් කෙතරම් වගකීම් විරහිතව ක්‍රියා කරනවා ද යන්න මෙම ක්‍රියාවෙන් මැනවින් පෙන්නුම් කරයි.