කඩුවෙල හිටපු නගරාධිපති සහ කඩුවෙල ශ්‍රීලනිප සම සංවිධායකවරයෙකු වූ ජී. එච්. බුද්ධදාස මීට වසර පනහකට පමණ පෙර කරුණා සමග විවාහ වී මුලින්ම පදිංචියට ගියේ බත්තරමුල්ලේ 8 කණුව ප්‍රදේශයේ තිබූ කුලී නිවසකටය. සිළුමිණ පත්‍රයේ පළවූ දැන්වීමක් දැක 8 කණුව ප්‍රදේශයට ගිය නව යුවළ මසකට රුපියල් 75 ක් පමණ වූ කුලියක් ගෙවීමේ පොරොන්දුව මත එහි පදිංචියට ගියහ.


ගෙදරට අවශ්‍ය වළන්, පිඟන් මිලදී ගැනීමටවත් තමන් අතේ මුදලක් නොතිබූ නිසා කරුණාගේ බැංකු පොතේ තිබූ රුපියල් 500 ක මුදල ගෙන එම අවශ්‍යතා ටික යන්තමින් පිරිමසා ගත් බව හෙතෙම පවසයි.


මේ අතර ගමේ විසූ තම දෙමාපියන්ගේ යැපීම සඳහා ද මාස්පතා රුපියල් 100 ක් ගෙදරට යැවීම ඔහු මොනම හේතුවක් නිසාවත් අතපසු නොකළේය. ඒ වනවිට ඔහුගේ පියා මියගොස් සිටි අතර මවටත්, නංගිලා දෙන්නාටත් ජීවත්වීමට සිදුවී තිබුණේ පියාගේ විශ්‍රාම වැටුපෙන් හා බුද්දෙ මාස්පතා එවූ මුදල යන්තමින් පිරිමසා ගෙනය.
මෙලෙස මාස කීපයක් 8 කණුව ප්‍රදේශයේ පිහිටි කුලී නිවසේ විසූ ඔවුන්ට උඩුමුල්ල පාරේ පිහිටි ඊට වඩා තරමක් ලොකු නිවසක් රුපියල් 90 ක මාසික කුලියකට සොයා දුන්නේ කරුණාගේ අයියා කෙනෙකි.


බුද්දෙලාට ඕනෑ නම් මේ ගේ සින්නක්කරේටම ගන්න වුණත් පුළුවන් මොකද මම මේ ගෙවල් අයිතිකාරයා හොඳට අඳුනනවා යි ඔහු කියා තිබුණද ඔවුන්ගේ ආදායම් තත්ත්වය අනුව එවැන්නක් ගැන සිතීමටවත් නොහැකි විය. එහෙයින් ඒ ගැන කලබල නොවූ ඔවුහු තවත් ටික කාලයක් එම කුලී නිවසේ වාසය කළහ.


මෙන්න මේ කාලේ බත්තරමුල්ල විහාර මාවතේ ඉඩමක් කැබලි කර විකුණන බව අහන්න ලැබුණා. මම නිකමට වගේ ඒ පැත්තෙ ගිහින් බලනකොට ඒක අපූරු ඉඩමක්. කොහොම හරි ඒ වෙනකොට ඉතිරි වෙලා තිබුණේ පර්චස් 49 ක් විතරයි. ඒ ඉඩම රුපියල් 9000 කට විකුණන්න අයිතිකාරයා කැමැති වුණත් අපි ළඟ එච්චර මුදලක් තිබුණේ නෑ. පස්සේ කරුණා වැඩ කරපු වාට්ටුවේ සිස්ටර් කෙනෙක් එයාට ඒ මුදල දීල තිබුණා. ඒ මුදලෙන් තමයි අපි විහාර මාවතේ ඉඩම ගත්තේ යි කියමින් තමන් දැනට පදිංචිව සිටින ඉඩම මිලදීගත් ආකාරය ගැන විස්තර කරන බුද්දෙ වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ අසල විසූ තරමක චණ්ඩි පහේ පුද්ගලයෙකු එම ඉඩම් හිමියා සමග එහි අයිතිය සම්බන්ධයෙන් කලකෝලාහල ඇතිකරගෙන සිටි බවය.


“ඔය ඉඩමට අයිතියක් මටත් තියෙනවා”යි කී එම තැනැත්තා බුද්දෙ කටින් බය කර ගැනීමට සූදානම් වුවද “ඒක මම දන්නෙ නැහැනේ. මම මේ ඉඩම සින්නක්කරේට අරගෙන තියෙන්නේ. ඒ නිසා ඔහෙත් එක්ක මට කතාවක් නෑ”යි කී බුද්දෙ එම පුද්ගලයා සමග වැඩිපුර කතාබහට නොගියේය. එහෙත් තමන් එම ඉඩමට ගිය අවස්ථා කීපයකදීම ඉහත සඳහන් චණ්ඩි පහේ පුද්ගලයා ඈතට වී නමක් සඳහන් නොකර බැණ වැදුණේය. 


“අර මිනිහ අපටනේ ද ඒ බණින්නේ”යි ඒ දුටු කරුණා ඇසුවද ඔහුගේ පිළිගැනීම වූයේ නමක් සඳහන් නොකර බැණීම ගැන තමන් කලබල නොවිය යුතු බවය. කෙසේ වෙතත් තමන්ගේ කටේ සද්දයට බුද්දෙලා බියට පත්වී ඇතැයි එම පුද්ගලයා සිතුවේය. ඒ අනුව ඔවුන් කටින් බයකර එළවා දැමීමට හැකි වෙතැයි සිතූ එම තැනැත්තා බුද්දෙලා ඉඩමට පැමිණි බොහෝ අවස්ථාවලදී ඒ අසලට පැමිණ අමු තිත්ත කතාවෙන් බැණ වැදුණේය.


“හරි මේකා හදන්නේ මාව කටින් බයකර ගන්න නේ. එහෙම නං මමත් මූව බයකර ගන්න ඕනෑ”යි සිතූ බුද්දෙ රුපියල් තුනයි පනහකට පිටකොටුවෙන් සෙල්ලම් පිස්තෝලයක් මිලදී ගෙන තිබුණේ එක්තරා යටි අදහසක් ඇතිවය. එය තනිකරම සෙල්ලම් බඩුවක් වුවද එහි පෙනුම සැබෑ පිස්තෝලයකට සමාන වූ බව හෙතෙම පවසයි.


ඊට පසුදා ඉරිදා දිනයක් වූ බැවින් බුද්දෙ තම බිරිඳ ද සමග එම ඉඩමට ගොස් තිබුණේ එය ටිකින් ටික හෝ සුද්ධ කිරීමේ අදහසිනි. කෙසේ වෙතත් ඔහු කරුණාට නොදන්වාම අර සෙල්ලම් පිස්තෝලය ද ඉණේ ගසාගෙන ගියේය.


මමයි කරුණයි ඉඩමට ගිහින් විනාඩි දහයක්වත් ගියේ නෑ. මෙන්න අර මිනිහා පොල්ලකුත් උරුක් කරගෙන අමු තිත්ත කුණුහරුපයෙන් බැණගෙන වැට අද්දරට ආවා. ඒ මිනිහා මහ කේඩෑරි මිනිහෙක්. ඊටත් ඒ මොහොතේ කරටිය කැඩෙන තරමට බී ගෙනයි හිටියේ. ඒ සැරේ මම ඇහුවා තෝ කාට ගහන්නද යකෝ ඔය පොල්ලක් අරගෙන ආවෙ කියලා. මම එහෙම අහන ගමන්ම ඉණේ ගහගෙන තිබුණු සෙල්ලම් පිස්තෝලයත් අතට ගත්තා. මගේ අතේ තිබුණු ඒ පිස්තෝලෙ දැක්ක විතරයි මෙන්න අර යකා ආපහු හැරිලා පණ කඩාගෙන දුවන්න පටන් ගත්තා.


බුද්දෙ අදටත් එම සිද්ධිය සිහිපත් කරන්නේ සිනාසෙමිනි. එලෙස දුවගිය එම තැනැත්තා තවත් පිරිසක් සමග ආපසු එතැයි ඔහු සිතුවද හෙතෙම යළි නාවේය. මේ අතර එම සිද්ධිය ඒ අසල විසූ කීපදෙනෙක්ම දැක තිබුණහ. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ විහාර මාවතේ කෙළවරේ පිහිටි ඉඩම මිලදී ගෙන ඇත්තේ වැලිගම පළාතේ නොම්මර එකේ චණ්ඩියෙකු යැයි ගමපුරාම ප්‍රසිද්ධ වී යාමය.


කෙසේ වෙතත් බුද්දෙ ඉණේ ගසාගෙන සිටි පිස්තෝලය සෙල්ලම් බඩුවකැයි නොදත් කරුණා ඒ මොහොතේ සිට පටන්ගත් චුරු චුරුව නතර කරන ලද්දේ ඔන්න එහෙනං තමුසෙම බලාගන්නවා මේක ඇත්ත පිස්තෝලයක්ද කියලා යි කියමින් එය ඇගේ අතට දීමෙන් පසුවය.

 

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූප අන්තර්ජාලයෙනි