(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දෙවැනි ගමනට මනාලයා යොදාගත් හෝටලය හොඳ නැතැයි යෝජිත මනාලිය ආඩපාලි කීමෙන් උරණවූ මනාලයා මංගල්‍යය සම්පූර්ණයෙන්ම අතහැර දමා වෙනත් මනාලියක සොයන්නට වූ පුවතක් ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා විය.


යෝජනාවකින් මංගල්ලය තීරණය කෙරිණි. යහපත් ගතිගූණවලින් හෙබි මනාලයා ඉඩම් හිමි වැවිලිකරුවෙකි. මනාලිය ඉහළ මට්ටමේ රැකියාවක නිරතය. මනාලයා පොළවේ පය ගසා ජීවත් වුවත් මේ මනාලිය අඩි කිහිපයක් උඩීන් ජීවත් වෙන්නට උත්සාහ දැරූ බව කවුරුත් දන්නා රහසකි.


මනාලිය සිය මංගල දිනයට ප්‍රදේශයේ ඉහළම පෙළේ හෝටලයක් වෙන් කර ගත්තේ මනාලයාටත් නොදන්වා තනිවම ගිය ගමනේදීය. දෙවැනි ගමනට එම හෝටලය හෝ ඊටත් වඩා ඉහළ එකක් වෙන් කරගන්නා ලෙස ඇය මනාලයාගෙන් ඉල්ලා සිටියේ සතියකට පමණ පසුවය.


යහමින් මුදල් හදල් ඇති මසුරුකමින් මිදුණු මනාලයා ඒ අනුව පළමු දිනට වෙන් කළ හෝටලය දෙවැනි දිනටත් වෙන් කරගන්නට ගියේ සිය පියා සමගය. ඒ වනවිට වෙනත් පිරිසක් ඇණවුම් කර තිබීම නිසා මනාලයා පත්වූයේ උභතෝකෝටික ප්‍රශ්නයකටය. සතියකටත් එහා දිනක් මිස ඉන් මෙහා දිනයක් ලබාගත නොහැකි බව පැහැදිලිවීමෙන් පසුව මනාලයා කළේ ඊට ආසන්නයේම පිහිටි මධ්‍යම පන්තියේ හෝටලකට ඇණවුම බාරදීමය. අනතුරුව ඔහු ගියේ මනාලිය හමුවන්නටය.


සිදුවූ සියල්ල ඔහු නොවලහා මනාලියගේ පියාට කීය. “ඔව් පුතේ අපි එහෙමවත් කරමු“ අනාගත මාමණ්ඩිය කියද්දී මනාලිය දිව ආවේ යක්ෂාවේෂයෙනි. “මගේ යාළුවෝ ඔය තුට්ටු දෙකේ ඒව්වාට ගෙන්නන්න මට බැහැ. වෙන එකක් බලන්න“ ඇය අනාගත සැමියාට ගෝරනාඩු කළේ ඇගේ පියා අසීරුතාවට ද පත් කරමිනි.


මුවින් නොබැන නිවසට ගිය මනාලයා මඟුල් කපුවාට එන්න කියා පණිවිඩයක් යැවීය. ඔහු ආවේ “ඇයි මහත්තයා මට හදිසියේම එන්න කිව්වේ” කියා අසාගෙනය. සියල්ල පැහැදිලි කරදුන් මනාලයා දැන්ම මෙහෙම නම් ඉස්සරහට කොහොම වෙයි ද කියා හිතාගන්නත් බැරි හෙයින් යමක් කමක් රස්සාවක් නැතත් කමක් නැහැ, ගෙදර දොර බලාගෙන ඉන්න යහපත් කෙල්ලක් ඉන්නවා නම් බලන්නැයි ඉල්ලා සිටියේය. හෝටලයට කළ ඇණවුම ද අවලංගු කෙරිණි.