සුදු ජාතිකයෙකු වූ ඔහු ආයතනයක උසස් නිලධාරියෙකි. ජීවත් වූයේ බිරිඳ සහ කුඩා දරු දෙදෙනා සමඟය. ඔහුට රියැදුරෙකු, අරක්කැමියෙකු සහ නිවසේ ආරක්‍ෂාවට පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියෙකු ද ආයතනයෙන් සපයා තිබිණි.


ඉතා කාරුණික අයෙකු වූ ඔහු රියැදුරාටද, අරක්කැමියාටද, ආරක්‍ෂක නිලධාරියාටද මුදලින් උදව් කිරීමට නිරතුරුවම කටයුතු කළේය. සේවකයින් තිදෙනා නිවෙසට පැමිණ අවුරුද්දක් ගතවිය. තම මුදල් නිවසේ තැන් තැන්වල තැබීම සුදු මහතාගේ සිරිතය. දිනක් ඔහු රුපියල් ලක්‍ෂයක් පන් දහසේ නෝට්ටුවලින් ලබාගෙන නිදන කාමරයේ අල්මාරිය මත තැබීය. ඔහුට එය මතක් වූයේ මසක් ගතවූ පසුය. 


මුදල් ගණන් කර බැලූ ඔහුට පන්දහසේ නෝට්ටු දෙකක් අඩු බව දක්නට ලැබිණි. බිරිඳ පැවසුවේ ඇය මුදල් නොගත් බවය. නිවස තුළට පැමිණෙන්නේ අරක්කැමියා පමණි. ඔහුගේ යහපත් ගතිගුණ නිසා ඔහු සැක කිරීමට සුදු මහතා මැලිවිය. සුදු මහතා, බිරිඳ සහ දරුවන් සමග දින කිහිපයකට තම මව් රටට ගියේය. රියැදුරාට සහ අරක්කැමියාට නිවාඩු ලැබිණි. සුදු මහතා ඇතුළු අය ආපසු පැමිණි පසු රියැදුරා සහ අරක්කැමියා සේවයට පැමිණියහ. 


සුපුරුදු පරිදි කාලය ගෙවෙන්නට විය. සුදු මහතාගේ ළමයින් දෙදෙනා රටින් ගෙනා සෙල්ලම් බඩු නිවසේ තැනින් තැන විසිකර තිබිණි. දිනක් සුදු මහතාගේ මුදල් නැවත නැති විය. වහාම නිවස තුළ දමා තිබූ සෙල්ලම් බඩු ඔහු එකතු කරන්නට විය. ඒවා සීසීටීවී කැමරාය. අරක්කැමියා මුදල් සොරකම් කරනු එහි අගේට සටහන්ව තිබිණි. අරක්කෑමියා සේවයෙන් පහකෙරුණි.
ක්‍රිස්ටෝපර් සීපියන්