(තිහගොඩ - උපසේන ලියනගම)
පොළොන්නරුව පැත්තේ කාර්යාලයක ලිපිකාර මහතකු පසුගියදා නගරයට ගිය ගමනකදී මහමග දිවුල් ගොඩක් තබාගෙන අලෙවි කරන වෙළෙන්දකුගෙන් ඉදුණු දිවුල් ගෙඩි පහක් මිලයට ගෙන ගෙදර ගියේ තමා මෙන්ම බිරිය ද දිවුල් කිරිවලට දැඩි කැමැත්තක් දැක්වූ හෙයිනි.


ගෙදර ගිය සැණින් ඒවා බිරියට දී ඇඟ සෝදාගෙන එනවිට කුස්සිය පැත්තෙන් අමුතු කලබලයක් වූ හෙයින් ඔහු ඒ දෙසට ගියේය.


‘මේ මල ජරාව කොහෙන්ද ගෙනාවේ’ බිරිය කීවේ කැබැලි කරන ලද කුණුවී ගිය දිවුල් කැබැලි කිහිපයක් පෙන්වමිනි. 


‘ඔක්කොම එක වගේ නරක් වෙලා’ ඇය කීවාය.


කෝපයට පත් ඔහු දිවුල් කැබැලි කිහිපයක් කඩදාසියක ඔතාගෙන ආපසු වෙළෙන්දා සොයා ගියේ ඒවා අලුත් ඒවාට මාරු කරගන්නටය. මේ කතාව වෙළෙන්දාට කී පසු ඔහු ද කලබල වී ‘තොගේ, තොගේ ගන්නකොට ගෙඩියෙන් ගෙඩිය හොඳ ද බලන්න මට බෑ. දැන් බිඳපු ඒව මට මොකටද’ කීවේ දුක්බරවය. 


පාරිභෝගිකයාට යකා නැග්ගේ ‘තොගේ තොගේ’ කියපු කතාවටය. ‘මට ද යකෝ තොගේ කිව්වෙ’ ඔහු තර්ජනාත්මකව විමසූ විට ‘නෑ නෑ තොග ගණනේ කියපු එක’ වෙළෙන්දා කීවෙන් ඔහු මඳක් පසුබා සිට ‘මේ වගේ ජරාව විකුණන්න එපා’ කියමින් ආපසු ගියේ තමා ගැනම ලජ්ජාවෙන්ලු.