(කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය)
අප මේ කියන සිද්ධිය සිදුවී තිබෙන්නේ 1990 වර්ෂයේය. එකල හමුදා සාමාජිකයෝ  බොහෝ දෙනෙක් විවිධ හේතු මත සේවයට වාර්තා නොකොට සැඟවී සිටීමට පුරුදු වී සිටියෝය. ඔවුන් අත්අඩංගුවට ගැනීමට යුද හමුදා පොලිසිය නිරතුරුවම විමසිල්ලෙන් පසුවිය.


එක්තරා හමුදා කඳවුරක සාමාජිකයෝ දෙදෙනෙක් අඹ යහළුවෝය. ඔවුන් දෙදෙනා නිවාඩු යන්නේත්, නැවත කඳවුරට එන්නේත් එකටමය. රාජකාරි කළේ එකම මුර කුටියේය. එහෙත්, මේ දෙන්නා නිතරම ‘‘ඇබ්සන්ට්’’ සේවයට වාර්තා නොකරන) දෙන්නකු බව මුළු කඳවුරම දනී. එක්තරා කාලයකදී මේ දෙදෙනා ‘ඇබ්සන්’’ වී අපූරු වැඩ සටහනක් සමාජයේ ක්‍රියාත්මක කර තිබිණි. එනම්, කෙටි වේදිකා නාට්‍යයක් නිර්මාණය කර පාසල්වල ඉතා අඩු මුදලට රඟ දක්වමින් ගමින් ගමට පාසලෙන් පාසලට යෑමය. එකල එම නාට්‍යය සිසු දරුවන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්විය.


දිනක් පාසල් වේදිකාවක ඉතා උණුසුම් ලෙස නාට්‍ය රඟ දැක්වීම ආරම්භ විය. එක් සෙබළෙකු මහ රජතුමාය. අනෙකා මහ ඇමතිය.


රජතුමා ගරු ගාම්භීරව  වේදිකාවට සැපත් විය. වට පිට බලමින් ඈත මෑත උජාරුවෙන් බැලීය. එහෙත් රජතුමාට දැක ගත හැකි වූයේ පාසල් ගේට්ටුවෙන් ‘රතු හිස් වැසුම්’ පැළඳගත් යුද හමුදා  පොලිස් නිලධාරීන් ඇතුළුවන දර්ශනයකි. රජතුමාට හීන් දාඩිය දැම්මේය. ඔහු නාට්‍යයේ දෙබස් වෙනස් කරමින් මහ හයියෙන් මෙසේ කීවේය.


‘‘මහ ඇමතිය, මට මේ රාජධානියෙන් පලක් නැත. මගේ අග බිසවත්, දරු දෙදෙනාත් ඔබට බාරයි. ‘‘රතු තොප්පිකාරයෝ’ අප වටකර සිටිති. එබැවින් මා වහා පලා යා යුතු’’ කියමින් කොට බිත්තියෙන් එළියට පැන පස්ස නොබලා දුවන්නට විය.


මහ ඇමති වේදිකාවට පැමිණ අන්දුන් කුන්දුන් වී වට පිට බැලීය. යුධ හමුදා පොලිසිය දුටු ඔහුට කාරණය වැටහිණි ඔහුද මෙසේ කීය.


‘‘රජතුමණි ඔබ නැති රාජධානියෙන් අපට පලක් නැත. රතු තොප්පිකාරයන් අප ලුහුබැඳීමට ප්‍රථම මමද ඔබ සමග පලා එමි’’ යනුවෙන් කෑ ගසා කී ඔහුද බිත්තියෙන් බිමට පැන රජතුමා පසු පසම වේගයෙන් දුවන්නට විය.


මේ කිසිවක්ම නොදත් ගුරුවරු සහ සිසු දරු පිරිස ඉතා ආශාවෙන් ඊළඟ ජවනිකාව නැරඹීමට වේදිකාව දෙසම දෙනෙත් රඳවාගෙන සිටියහ එහෙත් පසුව මේ සිද්ධියේ සුල මුල හෙළිවිය යුද හමුදා පොලිස් නිලධාරින් පැමිණ ඇත්තේ රාජකාරි කටයුත්තක් වෙනුවෙන් විදුහල්පති හමුවීමටය. එය නොදත් හමුදා සෙබළුන් දෙදෙනා බියවී පලාගිය නිසා ඔවුන්ගේ වග තුගද හෙළි දරව් විය.


පසුව දින කීපයකින් සෙබළුන් දෙදෙනා ‘‘පොදු සමාව’ යටතේ කඳවුරට භාර වී ඇත. අදටත් ඔවුන් දෙදෙනාට ‘‘රතු තොප්පිකාරයන් එනවා’’ අපි පලා යමු’’ යැයි කී විට ඔවුන් දෙදෙනා ද එතනින් පලා යාමට පුරුදු වී සිටිති.