(රත්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන) 
තම ඥාති දියණියක හමුවීමට දකුණේ උණ වලට සම්බන්ධ ප්‍රදේශයක යාමට පැමිණි දුර බැහැර මොනරු සිටින ප්‍රදේශයක පුද්ගලයකුගේ මුදල් පසුම්බිය නැතිවීම නිසා සිදු වූ අපූරු සිද්ධියක් පිළිබඳව එක්තරා ප්‍රදේශයකින් වාර්තා වේ. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 


ඔහු බැලූ බැල්මට පෙනුමෙන් ගම්බද ප්‍රදේශයක ජීවත් වන විදුහල්පතිවරයෙකු හෝ සිංහල වෙද මහත්මයෙකු යැයි නිගමනය කිරීමට යමෙකුට අපහසු නැත. 


ඔහු දුර බැහැර සිට උදේ පාන්දරින් නැගිට බස් රථයක නැගී ඇත්තේ අවශ්‍යතාවකට තම ඥාති දියණියකගේ නිවසට යාමටත් වෙස් මුහුණක් වැනි කලාත්මක භාණ්ඩයක් මිලදී ගැනීටමත් අදිටන් කර ගනිමිනි. 


තද බඩගින්නක් දැනුණු බැවින් යමක් සප්පායම් වී පළමුව වෙස් මුහුණු මිලදී ගැනීම සඳහා සුදුසු යැයි සිතූ ඔහු බස් රථයේ තද නින්දකින් පසු හිටි හැටියේම නැගිට වෙස් මුහුණුවලට ප්‍රසිද්ධ නරගයකින් බැස ගත්තේය. 


බසයෙන් බැස සාක්කුවට අත දැමූ විට දෙවියන් සිහි විය. ජාතික ඇඳුමේ මුදල් පසුම්බිය තිබූ සාක්කුව පිටින්ම කපාගෙන ගොසිනි. මුදල් පසුම්බිය නොමැතිව මහත් වේදනාවෙන් කල්පනා කළ ඔහු තම ඥාති දියණියගේ නිවෙසට යාමට ක්‍රමයක් ගැන සිතුවේය. ඒ වනවිට එම ප්‍රදේශයට යාමට තමාගේ අතේ ඉතිරිව තිබුණේ ඉහළ සාක්කුවේ තිබූ රුපියල් 10 ක් වැනි කුඩා මුදලක් පමණි. බඩගින්න ද තදින් දැනුණේය. එහෙත් එය දැන් දැනෙන්නේ නැත. ඔහුට බසයෙන් යාමට තවත් රුපියල් පනහක් හෝ අවශ්‍යය. 


ඔහු දස අතේ කල්පනා කළේය. අවසානයේ ලැජ්ජාව පසෙක තබා තමා මුහුණදුන් සිදුවීම කියා රුපියල් 50ක් කාගෙන් හෝ ඉල්ලා ගැනීමට සිතුවේය. එබැවින් මේ සඳහා සුදුසු තේ කඩයක් ගැන සිතූ ඔහු එහි ගොස් විස්තරය කියා රුපියල් පනහක් දෙන ලෙස ඉල්ලා සිටියේය. මුදලාලි එය නොඇසුනාක් මෙන් නැගිට කුස්සිය දෙසට පිය මැන්නේය. පසුව ඔහු කල්පනා කළේ රෙදි කඩයකට යාමටය. එවැනි කඩයකට ගොස් සිද්ධිය පවසා රුපියල් පනහක් ඉල්ලා සිටි නමුත් සවසට මුදල් නිවැරදිව බේරා දැමිය යුතු බවත් ලාච්චුවෙන් කිසිදු මුදලක් ලබා දිය නොහැකි බවත් අයකැමි කීය.

 
එය ද අසාර්ථක වූ ඔහු පාරේ යන වැදගත් යැයි හැඟී ගිය මහත්මයෙකුට විස්තරය කියා රුපියල් 50ක් ඉල්ලා සිටියේ මහත් බලාපොරොත්තු ඇතිවය. 


ඔහු සාක්කුවේ තිබූ මුදල් පසුම්බිය ගෙන මොනර කොළ අතරින් මාරු කාසි රුපියල් හතක් ගෙන දික් කළේ අමනාපයෙන් මෙනි. කාරුණිකව එය ප්‍රතික්ෂේප කර දමා සිඟමන් යදින්නකු නොවන බව පවසා දස අතේ කල්පනා කර කොච්චියේ හොරට යෑමට ඔහු තීරණය කළේය. එසේ ඇවිද ගෙන යන විට පාරේ වාඩි වී සිටින සිඟමන් යදින යාචකයකු දැක ඔහුට ළං වී සියල්ල පැවසීය. ආපසු ගමට යාමට පෙර පැමිණ ආපසු දෙන බව පවසා රුපියල් පනහක් ඉල්ලා සිටියේය. 


සියල්ල සංසුන්ව අසා සිටි හිඟමන් යදින්නා ‘මහත්මයාට කෑමත් නැහැනේ. බඩගින්නේ යන්න එපා’ පවසා සඟවා ගෙන තිබූ මුදල් ටිකක් ඇද ‘මේක මට ආපසු එපා. මහත්තයා බඩගින්නේ යන්න එපා. උදේට මොනවා හරි කාලා යන්න’ යැයි පවසා රු. 200 ක් දුන්නේය. 


මුව නොසෑහෙන සේ පිං දී ඔහු ඉවත් වූයේ ආපසු යාමට පෙර ඥාති දියණියගෙන් ඉල්ලා ගෙන පැමිණ මේ උතුම් මිනිසාට රුපියල් පන්සියයක් හෝ ලබා දී තම යුතුකම ඉටු කරන බව සිතමිනි.