(තිහගොඩ උපසේන ලියනගම)
ඇඹිලිපිටිය පැත්තේ ගොවිමහතෙකි. මහ පරිමාණයෙන් හේන් වගාව කළ ඔහු එමගින්ම අතමිට සරු කරගත් අතර වී වගාව ද සරුවට කළේය.


මෙවර යල් කන්නයට පොහොර ලබා ගැනීමේ අයැදුම්පත් පිරවීමට කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා හමුවට ගිය ඔහු, වගාව සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් එළවළු ඇට පැකට් කීපයක් ලබා ගත හැකි දැයි කෘෂිකර්ම නිලධාරියාගෙන් විමසීය. ‘‘අමු මිරිස්, මාළු මිරිස්, බටු වගේ ඇට වර්ග තියෙනවා. ඒකට කෘෂිකර්ම කාර්යාලයට යන්න ඕනෑ. හැබැයි පැකට් නෑ. පුංචි හැන්දකින් එකක් ගොවියෙකුට ලැබෙනවා’’ නිලධාරියා පැවසීය.


සියලු තොරතුරු දැනගත් ඔහු පසුවදා කෘෂිකර්ම කාර්යාලයට ගියේ මිරිස් වර්ගයේ ඇට ටිකක් ලබා ගැනීමටය. නිලධාරියා කීවාක් මෙන් ඇට බෙදුවේ තේ හැන්දකිනි.


සර්, මම අක්කරයක විතර මිරිස් වවනවා. ඔය කං හැන්දෙන් එකක් මදි. මේකෙන් එකක් දෙන්න කියා ඔහු දිගු කළේ මෙතෙක් සඟවාගෙන සිටි පොල්කටු හැන්දකි. නිලධාරියා අන්දමන්ද වී වට පිට බැලුවාලු.