රණවිරු ගායේ පැරැණි කතා 05 වැනි කොටස

 

2007 වසර අගදී මන්නාරමෙන් ආරම්භ වූ මෙම සටනේ දී පූනරින් ප්‍රදේශය කොටින්ට අහිමි වීම ඔවුන්ගේ ඊනියා ඊළාම් සිහින රාජ්‍යයේ මායාව බිඳ වැටීමේ සන්ධිස්ථානයක් වූවේය. ඊළඟ අරමුණ වූවේ පරන්තන් නගරය අල්ලා ගැනීමයි. දෙසැම්බර් ජනවාරි මාසවල උතුරට ඇද හැලෙන මෝසම් වැස්සේ පීඩාව නොතකා ඉදිරියට ඇදුණු රණවිරුවෝ ඇළදොළ ඔයවල් මෙන්ම විල් ජලාශ තරණය කරමින් පෙරටම ගියහ. කොටින් විසින් ඉදිකළ මහා පස් බැමි එකම මඩ වගුරක් බවට පත්ව තිබුණි. කරවටක් එරෙන මෙම පස් කඳු තරණය කිරීම යනු  මරණය සියතින් වැලඳ ගැනීමකි. 


විශේෂයෙන්ම විවෘත බිම් පෙදෙස් හරහා මෙම පස් කඳු තරණය කිරීමේ දී මග රැක සිටින සතුරාගේ වෙඩි උණ්ඩයට සහ කාලතුවක්කුවලට ගොදුරු වීම වැළැක්විය නොහැක. එහෙත් මාතෘ භූමියේ උතුම් නිදහස පිළිබඳ ශ්‍රේෂ්ඨ අරමුණ හමුවේ මේ බාධාවන් කිසිවක් හෝ තම ජීවිතය ගැන වූ ආදරය ද ඔව්හු දෙවැනි කොට සැලකූහ. ඔව්හු ජයග්‍රහණය කරාම ගමන් කළහ. ඔවුන්ගේ ඊළඟ තීරණාත්මක සටන් බිම වූයේ පරන්තන් නගරය අල්ලා ගැනීමයි. පරන්තන් අල්ලා ගැනීම යනු ඔවුනගේ ඊනියා රාජ්‍යයේ අගනුවර වු කිලිනොච්චිය පෙනෙන මානයට පැමිණීමයි. ඒ අනුව නව වසරේ ආරම්භයේ දී එනම් 2009 ජනවාරි 02 වැනිදා කිලිනොච්චිය කොටින්ගේ පාලනයෙන් ගිලිහී ගියේය. කොටි ත්‍රස්තවාදීන්ගේ දේශපාලන සහ පරිපාලන අගනුවර ලෙස සැලකූ මෙම බළකොටුව බිඳවැටීම දශක තුනකට ආසන්න යුද ගැටුමේ දී කොටින්ට අත් වූ දරුණුම පරාජය මෙන්ම ජාත්‍යන්තර තලයේ පවා ප්‍රචලිත වූ මහා අවමානය ද විය. ඊට පසු මුහමලේ කොටි ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ දැමූ රජයේ හමුදාවෝ 2009 ජනවාරි 14 වැනිදා මුහමලෙයි ප්‍රදේශය ද නිදහස් කර ගත්හ. ඒ අනුව මුළු යාපනය අර්ධද්වීපයම තම අණසකට පවරා ගත් සන්නද්ධ හමුදාවෝ අලිමංකඩ සහ චුන්ඩිකුලම් දක්වා ගමන් ඇරඹූහ. පල්ලායි, සොරොන්පත්තු සහ ඉයාකච්චි වෙතින් ද කොටි පලවා හරිමින් 2009 ජනවාරි 09 වැනිදා අලිමංකඩ අත්පත් කරගැනීම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් ලැබූ අසහාය ජයග්‍රහණයක් වූවේය. එතෙක් පැවැති නොයෙක් බාධකයන් අහෝසි කරමින් මව්බිමේ උතුර දකුණ යා කරමින්  ්- 9 මාර්ගය සම්පූර්ණයෙන් විවෘත කිරීමට ද එමගින් හැකි විය. ඒකීය රටක් වශයෙන් අනාදිමත් කාලයක් පැවැති ශ්‍රී ලංකා දේශය තුළ වෙනම රටක් නිර්මාණය කිරීමේ ප්‍රධාන දේශ සීමාව වූවේ අලිමංඩකයි. එහි කොටි ආධිපත්‍යය බිඳ දමා එම මර්මස්ථානය අල්ලා ගැනීම ශ්‍රේෂ්ඨ විජයග්‍රහණයක් ලෙස සලකන්නේ එබැවිනි.


මෙසේ සටන් වැදෙමින් පෙරටම ගිය හමුදාවෝ ්-4 බේස් කොටි හමුදා සංකීර්ණය තන්නිමුරුප්පුකුලම්, නයාරු සහ අලම්පිල් යන කොටි බළකොටු විනාශ කරමින් 2009 ජනවාරි 25 වැනිදා මුලතිව් කොටි මර්මස්ථානය ද නිදහස් කර ගත්හ. මෙම සටන්වල දී ත්‍රස්තවාදීහු ඉතා පහත් උපක්‍රම ද භාවිත කළහ. ඔව්හු හමුදාවන්ගේ ඉදිරි ගමන වළක්වා ලනු පිණිස කල්මදුකුලම් වැවේ බැම්ම පුපුරුවා ඔව්හු විශාල ජල ප්‍රවාහයක් මුදා හැරියහ. එහි අරමුණ වූවේ පෙරට එන හමුදාවන් විනාශ කිරීමයි. එහෙත් උපක්‍රමශීලි වූ රණවිරුවෝ එම භයානක උපද්‍රවවලට මුහුණ දෙමින් හානි අවම කරගෙන පෙරමුණ බලා ගමන් ගත්හ. ඒ අනුව ධර්මපුරම් හා විශ්වමඩු යන ප්‍රදේශ නිදහස් කර ගැනීමට රණවිරුවෝ සමත් වූහ.
මෙසේ පියවරෙන් පියවර ජයග්‍රාහීව ඉදිරියට යන රජයේ හමුදාවන්ට මුහුණ දීමට සිදුවූ බලවත්ම ගැටලුවක් වූවේ මෙහෙයුම් සිදුවන ප්‍රදේශවල ජීවත් වූ සිවිල් වැසියන් තමන්ගේ භාරයට ගත් කොටි ත්‍රස්තවාදීන් එම පිරිස් තමන් සමගම කැඳවාගෙන යාමයි. ඉදිරියෙන් පැමිණෙන හමුදා සේනාංකයන්ගේ ප්‍රහාරවලට මෙම සිවිල් ජනයා ගොදුරුවනු පිණිස මහා මිනිස් පලිහක් ලෙස මෙකී අහිංසක ජනතාව යොදා ගැනීම එමගින් සිදු කෙරුණි. කොටින්, ආරක්ෂක හමුදාවන් වෙත පහර දුන්නේ මෙම සාමාන්‍ය ජනතාව අතරේ සැඟවී සිටිමිනි. “දෙමළ ජනයාගේ විමුක්තිය උදෙසා සටන් කරනවා” යැයි දොඩවමින් කොටි තමන්ගේම සහෝදර දෙමළ ජනතාව හිංසනයට ලක් කළේ මෙවැනි අමානුෂික පිළිවෙත් අනුගමනය කරමිනි. මෙසේ නිර්මාණය කළ මිනිස් පලිහ සඳහා යොදාගත් සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව වූ දෙලක්ෂ පනස් දහසක සුවිශාල පිරිස මුදා ගැනීම ලෝක ඉතිහාසයේ සිදු වූ ඒ ආකාරයේ විශාලතම මෙහෙයුම බව යුද කටයුතු පිළිබඳ විශාරදයෝ ප්‍රකාශ කළහ.


මෙම මිනිස් පලිහ නිසා ආරක්ෂක හමුදාවන්ට නිදහසේ සතුරාට ප්‍රහාර එල්ල කිරීමේ අවස්ථාව අහිමි විය. එසේ වුවද අවසාන සටනේ දී ත්‍රස්තවාදය ඊළාම් සිහිනය සැබෑකර ගැනීමේ අසාර්ථක උත්සාහයක යෙදෙමින් දැවැන්ත විනාශයක් සිදු කළ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් 2009 මැයි 18 වැනිදා මුලතිව් හි කරයාමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ දී හමුදාව අතින් මැරුම් කෑම සිදු විය. ඔහු මෙසේ මරණයට පත්වූවේ ඔහුගේ සමීප සගයන් වූ කොටි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් සහ මුහුදු කොටි නායක සුසෙයි සමග ගිලන් රථයක නැගී පලා යමින් සිටියදීය. හමුදා වෙඩි ප්‍රහාරයෙන් ඒ දෙදෙනා ද මරුමුවට පත් වූහ. ප්‍රභාකරන් සමග වර්ග මීටර් 800ක පමණ බිම් කඩකට කොටු වී සිටි ප්‍රභාකරන් සහ ඔහුගේ පුත් චාල්ස් ඇන්තනි, කොටි දේශපාලන අංශ නායක පී. නඬේසන් සහ බිරිඳ සාම මහලේකම් කාර්යාලයේ ප්‍රධානියා වූ පුලිදේවන්, කොටි පොලිස්පති ඉලංගෝ, කොටි සන්නද්ධ අංශයේ නායක රමේෂ්, කොටි බුද්ධි අංශයේ නියෝජ්‍ය නායක කපිල් අම්මාන් ද මෙම සටනේ දී මරා දමන ලදහ.


සටන්වල දී මියගිය තවත් කොටි ත්‍රස්තවාදීන් විශාල පිරිසකගේ මළ සිරුරු අතර තිබී මේ අයගේ සිරුරු හඳුනාගත් බව නිවේදනය විය. මෙයට අමතරව මුල්පෙළේ කොටි නායකයන් වූ රත්නම් මාස්ටර් සහ සුධර්මන් ද මියගොස් සිටි බව කියවුණි. ප්‍රභාකරන් යුද මුක්ත කලාපයේ ගමන් බිමන් යෑම සඳහා ගිලන් රථයක් යොදා ගැනීම සිරිතක් කරගෙන තිබුණි. අවසාන මොහොතේ ඔහු පැන යාමට උත්සාහ කර තිබුණේ ද එමගිනි. මෙසේ සටන් බිමේ සිටි කොටි නායකයන් සමූල ඝාතනය කර ඔවුන්ගේ අවසාන බිම් කඩ ද රණවිරුවෝ අල්ලා ගත්හ. එමගින් ලංකාවාසී සියලු දෙනාට බියගෙන දෙමින් තිස් වසරක් පැවැති කෘර විනාශකාරී ඊළාම් යුද්ධය නිමාකර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ රණවිරුවෝ සමත් වූහ. ඔවුන්ගේ සේවය වඩ වඩාත් දැනෙන්නේ කොටි ත්‍රස්තවාදීන් සිදුකළ විනාශය සිහිපත් කරද්දීය. ඉතාම කෙටියෙන්  සඳහන් කළහොත් ඔව්හු මෙරට ජනාධිපතිවරයාව සිටි ආර්. ප්‍රේමදාස මහතා ඔහුගේ පරිවාර ජනයා ද සමග මහමග දී මරා දැමූහ. එමෙන්ම ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායාක, රන්ජන් විජේරත්න ආදී ප්‍රබල ඇමැතිවරුන් ද මරා දැමූහ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ඇසක් අන්ධ කළහ. ඉන්දියාවේ අගමැති රජිව් ගාන්ධි මරා දැමූහ. මෙවැනි බිහිසුණු තැනක තිබුණු රට නිදහස් කර ගත්තේ වීරෝදාර රණවිරුවන් විසිනි. එය රතු පලසක් මතින් ගොස් බන්දේසියක තබා ලබාගත් දෙයක් නොවේ. තම ඇස්, ඉස් මස් මෙන්ම ලෝහිතයෙන් පුදා ලැබ ගත්තකි.


ඒ නිසා මහත්වරුණි නැවත නැවතත් සිතා බලන්න. මෙකී රණවිරුවන්ට අවමන් නොකරන්න. අවලාද නොනගන්න. දේශපාලන කෝණවලින් බලා ඔවුන්ගේ සේවය ලඝු නොකරන්න. ඒ උදාර මිනිසුන් දැයට පරිත්‍යාග කළ ආදරණීය මෑනිවරුන්ට ප්‍රිය බිරින්දෑවරුන්ට නිගරු නොකරන්න. යමෙකු එසේ කළහොත් එය ආනන්තරිය පාපයක් සේ නිසැකම තමන් කරා එනු නියතය. මා එසේ කියන්නේ නිදහස් කරගෙන ඇති බිම් අඟලක් පාසා නොව වැලිකැටයක් පාසා මේ විරුවන් තම රුධිරය වගුරුවා ඇති නිසාය.

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය අන්තර්ජාලයෙනි