සිරගෙදර කූඩුකර සිටි මෙම පිරිස යාබද කාමරවල සිට මරණය එනතුරු බලා සිටියහ. මරණීය දණ්ඩනය නියම කර ඇති නිසා සිරමැදිරියෙන් එළියට ගෙන වෙඩි තබන බව ඔවුහු දැන සිටියහ. හෙන්රි පේද්‍රිස් මහතාට මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට නියම කර තිබුණේ ජූලි අටවැනි දින පෙර වරුවේය. කිසිදු වරදක් නොකළ යහපත් පුරවැසියෙකු වූ ඒ මහතා මරා දැමීම ගැන නොයෙකුත් විරෝධතා එල්ල වෙමින් තිබුණි. ඒ මහතාගේ පියා රොබට් චාමස් ආණ්ඩුකාරවරයාට කරුණු දක්වමින් තම පුතාගේ ජීවිතය බේරා දෙනුයේ නම් ඔහුගේ බරට රත්තරන් හෝ මුදල් ලබා දෙන බව දැන්වීය. පසුව එය ඔහුගේ බර මෙන් තුන් ගුණයක් හෝ රත්රන් රාත්තල් දහසක් දක්වා වැඩිකිරීමට පියා කැමති විය.

 

මේ ගැන ආරංචි වූ සතුරු සුද්දෝ ක‍්‍රියාත්මක වූහ. මෙම බලපෑම් සාර්ථක වුවහොත් හෙන්රි පේද්‍රිස් මහතා නිදහස් වනු ඇතැයි අනුමාන කළ ඔවුහු තිරයෙන් පිටුපස වෙනම කුමන්ත‍්‍රණයක් සිදු කර නියමිත දිනයට පෙර ඔහු මරා දැමීමට කටයුතු සූදානම් කළහ. එම සංවේග ජනක සහ අහස පොළව නූහුලන මහා අපරාධය ගැන එදා හෙන්රි පේද්‍රිස් මහතා සමඟ එකට සිරබත් කමින් මරණ දඬුවමට නියම වී එම දිනය එනතුරා සිරබත් කමින් සිටි හන්වැල්ලේ පී. ඇස්. තිසේරා මහතා කර තිබූ ප‍්‍රකාශයක මෙසේ සඳහන් විය. මේ ඇසින් දුටුවෙකුගේ සාක්ෂියයි.

හෙන්රි පේද්‍රිස්

”එදා 1915 ජූලි හත්වැනිදාය. එදින උදේ 7.00ට පමණ බන්ධනාගාර සේවකයෙක් අප ඉදිරියට පැමිණ. තව ටික වේලාවකින් හෙන්රි පේද්‍රිස් මහතාට වෙඩි තබනවා යැයි කීවේය. උදේ 7.00 පමණ වන විට එතෙක් වෙන් වෙන්ව සිර මැදිරිවල රඳවා සිටි ප‍්‍රභූන් ඇතුළු අප සියලූ දෙනාම සිර ගෙදර සිර මැදිරිවලින් ඉවතට ගෙන ‘ඇල්’ හෝල් ශාලාවෙහි ආලින්දයෙහි එක පෙළට සිටින ලෙස එහි නිලධාරියෙක් අපට නියම කළේය. එවිට අපිද පෙළ ගැසී සිටියෙමු. බයිනෙත්තු ඇමුණූ රයිපල් දෙකක් අතින්ගත් යුද්ධ භටයන් දෙදෙනකු විසින් මැදිකර ගනු ලැබූ සිහින්දෑරි මනා පෙනුමෙන් යුත් කඩවසම් තරුණයෙක් අප ඉදිරියෙන් කැඳවා ගෙන ඉන් ඉවතට ගෙන යන ලද්දෝය. නගරාරක්ෂක නිල ඇඳුම පිටින්ම ගමන් ගත් ඒ තරුණයාගේ දෑතට මාංචු දමා තිබිණ. ඔහු පිටුපසින් යුද්ධ හමුදා විශේෂ කොමසාරිස් ඒ. සී.  ඕල්කට් මහතා ගමන් කළේය. පේද්‍රිස් මහතා බියක් සැකක් හෝ පැකිළීමක් හෝ නොමැතිව සුපුරුදු ලීලාවෙන් සිරුර ඍජුව තබාගෙන සිංහල වර්ගයාටම ගෞරවයක් වන පරිදි එඩිතරව එම අවසන් ගමන ගියේය. ඔහු නොපෙනී යන තුරුම අපි ඒ දෙස ඉතා  ඕනෑකමින් බලා සිටියෙමු. ඒ අවස්ථාවේ අපට ඇතිවුණු ශෝකය, සංතාපය විස්තර කළ නොහැකි පමණට ගැඹුරුය. ඒ වන විට මරණ දණ්ඩනයට නියම කරන ලදුව සිටි මගේ සිත භීතියෙන් ගැහෙන්නට විය. මට එදා ඇති වුණු බය  මෙපමණයැයි කියන්නට බැරිය. තව දින එකොළහකින් මටත් මේ ගමන යන්නට වෙනවා නේදැයි කල්පනා විය. එයින් මගේ මුළු සිරුරම ගැහෙන්නට වූවාක් මෙන් මට දැනුණි.

හෙන්රි පේද්‍රිස් සොහොන

නිතර කනගාටුවෙන් පසු වූ මට නොයෙක් විට අවවාද කරමින් සිතට අමුතු ධෛර්යයක් දුන් මගේ කල්‍යාණ මිත‍්‍ර ඇෆ්. ආර්. සේනානායක මහතා නිතරම කීවේ ”මෙලොව ජීවත්වීමේ වාසනාවක් තිබෙනවා නම් තමා ඒ වන විට යොදා තිබෙන උපක‍්‍රම අනුව මා මරණ දණ්ඩනයෙන් නිදහස් වන බවය. මෙසේ මට අවවාදය දෙමින් මට ධෛර්ය දුන් සේනානායක මහතා ඒ අවස්ථාවේදී කඳුළු වගුරුවමින් ශෝකවනු මම දුටුවෙමි. බන්ධනාගාරයෙන් ඉවතට කැඳවාගෙන ගිය පේද්‍රිස් මහතා පුටුවක හිඳුවා, ඔහුගේ මුහුණ ලේන්සුවකින් වසන්නට සූදානම් වන විට, එයට නොබියව ඉඩ නොදුන් බවත් මදකුදු බියක් නොදක්වා තුවක්කුවට ඔහු ළය දුන් බවත් එම සිද්ධිය බලාගෙන සිටි නිලධාරියෙක් අපට පැවසීය. 


හරියටම උදේ 8.00 වන විට වෙඩි හඬක් ඇසුණේය. තුවක්කු මානාගත් සොල්දාදුවන් සිව් දෙනෙක් ඔහුට බඹ කීපයක් ඉදිරියෙන් සිට නියමිත වේලාව පැමිණි විට වෙඩි තැබූ බව අපි ඇසුවෙමු. ඒ අවස්ථාවේ බන්ධනාගාරය එකම මළගෙයක් බවට පත් විය. වෙඩි හඬ ඇසී මිනිත්තු විස්සක් පමණ ගත විය. ලෙයින් නැහැවුණු පුටුවක් රැුගෙන බන්ධනාගාර නිලධාරියෙක් අප ඉදිරියට පැමිණියේය. ඔහු ගෙනා ඒ පුටුව එහි සිටි කීප දෙනෙකුගේම ඇෙඟ් හැපුණේය. එය පේද්‍රිස් තරුණයා හිඳුවා සිටි පුටුව විය. එය නැහැවී තිබුණේ ඔහුගේ රුධිරයෙනි. යුද්ධ හමුදා විශේෂ කොමසාරිස්වරයාද ක්ෂණයකින් පුටුව ගෙන ආ සේවකයා පසුපස ආවේය. ඔහු යථොක්ත සේවකයා අත තිබුණු පුටුව ඇෆ්. ආර්. සේනානායක මහතාට පෙන්නුවේය. ”ඇෆ්. ආර්. ඔය ඊනියා අමද්‍යප ව්‍යාපාර වැනි රාජද්‍රෝහී සංවිධාන පිහිටුවා ගෙන ආණ්ඩුවට හතුරුකම් කරන කාටත් මරණය සිදුවන්නේ මෙහෙම තමා” ඔහු කීවේය.


”මොනවා මෙබඳු ඉරණමකට? අපේ තරුණයෙකුට වෙඩි තබා, ඒ තරුණ ලෙයින් සේදුණු පුටුව ගෙනැවිත් අපට පෙන්වීමට තරම් ඔබලා නිවට නියාලූ බිය සුලූ ජාතියක්දැයි ඇෆ්. ආර්. සේනානායක මහතා විමසූවේය. අපගේ කෙනෙකුගේ වියෝවෙන් සංවේගයට පත්ව සිටින අපට මේ අවස්ථාවේ තමන් කළ අනුවණ ආඥානකම පෙන්වීමට සත්තකින්ම ඔබට ලජ්ජා නැද්ද? මගේම කෙනෙකු හැටියට මා සලකන පේද්‍රිස් තරුණයාගේ මේ සෑම ලේ බින්දුවක්ම ජාතියේ නාමයට කැපකොට ඇති බව සැලකිය යුතුය. ඔය පුටුව තෙත් වී තිබෙන රුධිර ධාරාව බින්දු වශයෙන් වෙන්කොට ගතහොත් මේ සෑම ලේ බිංදුවකටම වන්දි ගෙවන්නට බි‍්‍රතාන්‍යයන්ට සිදු වෙනවා නොඅනුමානයයි” ඇෆ්. ආර්. සේනානායක මහතා පැවසීය.


මෙබඳු වනචාරී ක‍්‍රියාවලින් මේ සිංහලයන් බිය වැද්දිය නොහැක. බියට පත් කළ නොහැක. ඉංග‍්‍රීසීන් යටතේ යටත් වැසියන් වශයෙන් සිටින විට මෙසේ කරන්නට බැරිකමක් නැත. එහෙත් එය හපන්කමක්ද? බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ ගෞරවයට පවා මෙය කැළලක් වන්නේය. මේවා අපට හඳුන්වන්නට සිදුවන්නේ  නීචකම් හැටියටය. මෙයින් සිංහලයන් තව තවත් මුරණ්ඩු වෙනවා මිස අකීකරු වෙනවා මිස බියට පත් වෙන්නේ නැත. කීකරුවන්නේ නැත. යම් දවසක මට මේ බන්ධනාගාරයෙන් නිදහස්ව පිටතට යන්නට ලැබුණොත් අපගේ ජාතික නිදහස ලබාගැනීම සඳහා සකල ලංකාවාසී ජනතාවටම රටේ පාලනය පිළිබඳ සියලූ බලතල ලබාදීම පරාධීනත්වයෙන් දුබලව සිටින ජනතාවට ස්වාධීනත්වය ලබාදීම සඳහා මා සතුව ඇති දේපොළ අවසාන ශතය දක්වා වැය කරනවා” යි ඇෆ්. ආර්. නම්වූ ප‍්‍රතාපවත් නායකයා ප‍්‍රතිඥා දුන්නේය.


හෙන්රි පේද්‍රිස් මහතාගේ දිවි තොර කිරීම සිදු වූයේ ඒ අයුරිනි. ඇෆ්. ආර්. සේනානායක මහතා සපථ කළාක් මෙන්ම අනෙකුත් ජාතික නායකයන්ගේද සහාය ඇතිව මෙරටට නිදහස ලබාගැනීමේ උදාර පරමාර්ථය ඇතිව ලංකා ජාතික සංගමය පිහිටුවනු ලැබීය. එමගින් ආණ්ඩු ක‍්‍රම ප‍්‍රතිසංස්කරණ උදෙසා නොයෙකුත් ඉල්ලීම් ඉදිරිපත් කෙරුණි. 1948 පෙබරවාරි 04 වැනිදා ලංකාවට නිදහස් සුවය විඳ ගැනීමේ භාග්‍යය අත් විය. මෙකී නිදහස ලබා ගැනීමේ අරගලයේ මූල බීජය රෝපණය වූවේ ඇෆ්. ආර්. සේනානායක මහතා කී පරිදිම එඞ්වඞ් හෙන්රි පේද්‍රිස් වීරයාගේ ප‍්‍රාණ පරිත්‍යාගයේදී වගුරන ලද දේශමාමක රුධිරයේ සරුපස මතය. එම බීජය වැඞී මහා වෘක්ෂයක් බවට පත්ව නිදහසේ මල්ඵල හටගැනී ඇත. ඒවා භුක්ති විඳින එම නිදහසේ උරුමකරුවන් වන අපි මෙවැනි උදාර වීරවරයන් ගෞරව බහුමානයෙන් යුතුව සිහිපත් කළ යුත්තෙමු. ඔවුන්ගේ එම උත්තුංග සේවාවට කෘතඥතාව පිරිනැමීම ජාතියේම වගකීමකි.

සෝමසිරි වික‍්‍රමසිංහ