අප සියලු දෙනාටම පෞද්ගලිකත්වයක් තිබේ. එය ආරක්ෂා කරගැනීමට බලවත් උනන්දුවක් ඇත. තාක්ෂණික මෙවලම් හා නව මෘදුකාංග පද්ධති භාවිතා කරන උපායශීලීහු පෞද්ගලික තොරතුරු එකතු කර ගනිමින් සිටිති. එය විශාල ව්‍යාපාරයකි. අතුරු ව්‍යාපාර සෑහෙන ප්‍රමාණයකට ප්‍රයෝජනය ලැබේ.

නොදන්වා පෞද්ගලික දත්ත පැහැර ගැනීම සීමා කරන නීති රටට හඳුන්වා දිය යුතුව ඇත. එක පැත්තකින් සියලු තොරතුරු අනාවරණය වන ජන සමාජයක් ගොඩනැගෙන අතර ගෞරවනීය ආකාරයකට තොරතුරු එකතුකරන ක්‍රමයකට අවතීර්ණ විය යුතුය. යුක්ති සහගත තාක්ෂණික වාතාවරණයක් රට තුළ ඇති කරන්නට අප සූදානම්ද?

එක්තරා බැංකුවක් නොබෝදා මෙරට ඉහළ තනතුරක් දරන පුද්ගලයකුට ක්‍රෙඩිට් කාඞ් පතක් නිකුත් කිරීමට යෝජනා කළේය. අවශ්‍ය සියලු ලියැකියැවිලි බැංකුවේ මැදිහත්කරුවකුම සම්පූර්ණ කරන ලද අතර අයැදුම්කරුගේ අත්සන පමණක් ප්‍රමාණවත් විය. එය කොපමණ පහසු ජීවන රටාවක්දැයි මුලින් කී පුද්ගලයා කල්පනා කළේය. ක්‍රෙඩිට් කාඞ් පතක් යනු ගනුදෙනු කළ හැකි, අලුත් මිලදී ගැනීමේ හැකියාවක් ඇති කරන විශ්වාසදායක ක්‍රමයකි. පාලනයකින් තොරව ඇබ්බැහි වුවහොත් එය ඉතා නරක ප්‍රතිවිපාක ඇති කරයි. දින කිහිපයකට පසු බැංකුවේ නිලධාරිනියක් දුරකථනයෙන් කතා කළාය. ඇයට අනුව අයැදුම්කරගේ ණය ගෙවීමේ පසුබිම බැංකුව පරීක්ෂා කර ඇත.

මෙරට වාණිජ බැංකුවලට ලබා දී ඇති පහසුකම අනුව ණය තොරතුරු කාර්යාංශය සියලු ලාංකිකයන්ගේ ණය තොරතුරු එකතු කර ඇති අතර මුදල් ගෙවා වාර්තාවක් ලබා ගැනීමට හැකිය. කතා කරන ලද නිලධාරිනිය ණය පසුබිම ගැන සතුටුවී ඇති අතර එයට අමතර වශයෙන් මෙම පුද්ගලයා සතුව ඇති වෙනත් ක්‍රෙඩිට් කාඞ් හා ඒවායේ ණය සීමා ගැන පවා ඉතාම නිරවුල්ව කරුණු දක්වා තිබේ. ණය තොරතුරු කාර්යාංශය හෝ අන්තර් බැංකු සේවා මගින් එපමණ ගැඹුරට ගනුදෙනුකරුවන් ගැන දත්ත හුවමාරු කර ගැනීම පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවකි. බැංකුවක් සමඟ ගනුදෙනු කරනවිට එහි රහස්‍යභාවය ඉතා වැදගත්ය.

මහ බැංකු පනත අනුව එහි නියාමනයන්ට යටත් බැංකු සිය ගනුදෙනුකරුවන්ගේ තොරතුරු ආණ්ඩුවට පවා නිදහස් කරන්නේ නැත. අපරාධයක දී පවා බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණ නියෝගයක් අවශ්‍යය. එසේ තිබිය දී ක්‍රෙඩිට් කාඞ් නිකුත් කිරීමේ දී තොරතුරු බෙදා ගැනීමට ඇති නෛතික අවසරය කුමක්ද? ශ්‍රී ලංකා මහ බැංකුව මෙම රහස්‍ය තොරතුරු ලබාගන්නා ක්‍රම පද්ධති භාවිතා කරන බැංකු ගැන සොයා බැලීම සුදුසුය.
නූතන සමාජ ව්‍යුහය තුළ දත්තවලට විශාල අනුබලයක් තිබේ. විශේෂයෙන් සමාජ මාධ්‍ය ඇසුරු කරන්නන් නිරායාසයෙන්ම සිය තොරතුරු හෙළිදරව්කරන්නන් බවට පත්ව ඇත. ෆේස් බුක්, ට්විටර්, ඉන්ටග්‍රෑම් හෝ වී චැට් මගින් එදිනෙදා තමන්ගේ විස්තර යාවත්කාලීන කිරීම තුන්වැනි පාර්ශවයකට ව්‍යාපාරයක්වී ඇත.

කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ විශ්ලේෂකයකුට අනුව එදිනෙදා සමාජ මාධ්‍ය ඇසුරු කරන පුද්ගලයකු
ඔහුගැන අදාළ තොරතුරු පන්දහසක් දක්වා ලෝකයට හෙළිදරව් කරයි. එය විශාල ප්‍රමාණයකි. නම, ගම, සමාජ තත්ත්වය, අධ්‍යාපනය, කැමැති සංගීතය, යන එන තැන්, ගන්නා ආහාර පමණක් නොව දරන මතය ද දත්ත බවට හරවා තිබේ. ෆේස්බුක් ගිණුම් හිමියන් අතරින් පරිසරයට කැමැත්තක් දක්වන පිරිස වෙනම තෝරා වෙන්කරගත හැකිය. එම පිරිස ස්ත්‍රී පුරුෂ භාවය අනුව පමණක් නොව වයස් කාණ්ඩ අනුව ද බෙදා වෙන් කරගත හැකිය. පරිසර ප්‍රශ්න කෙරෙහි මතවාදයක් අවුලවනු සඳහා මෙම තෝරාගත් පිරිස වෙත පමණක් පණිවුඩයක් යැවීමට හැකියාව තිබේ. එයට ගැළපෙන පරිදි නිර්මාණය කරන ලද මෘදුකාංග අද භාවිතා කෙරේ. එය විශාල වෙළෙඳාමකි. එවැනි මෘදුකාංග නිපදවීමට කරන ආයෝජනය විශාලය. ඒවා භාවිතා කර එකතුකර ගන්නා තොරතුරු ප්‍රයෝජනයට ගැනීමට වෙළෙඳ සමාගම් සූදානම්ය. දේශපාලන පක්ෂ පවා අලුත් මතවාද පැතිරවීම සඳහා මෙවැනි ක්‍රම භාවිතා කරනු පෙනේ.

ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කළ ඇමරිකානු ජනාධිපතිවරණයේ දී තෝරාගත් පිරිස් වෙන් කිරීමට මෙවැනි ක්‍රම භාවිතා කරන ලද බව අනාවරණයවී තිබේ. බි්‍රතාන්‍ය බි්‍රක්සිට් ජනමත විචාරණයේ දී එයට එරෙහි දේශපාලන පක්ෂ සිය අනුගාමිකයන් හඳුනාගැනීමට මෙම දත්ත විශ්ලේෂණ උපයෝගී කරගෙන ඇත. ඒවා කරන ලද සමාගම් චෝදනාවට ලක්වී ඇති අතර සෘජුව හා අනියම් ආකාරයට ඉඩ දුන් සමාජ මාධ්‍ය ජාලාවලට අධිකරණයේ දඩ නියම කර තිබේ. සමාජ මාධ්‍යවලින් ඇති කරන ආකෘතිය පමණක් නොව දත්ත උකහාගෙන ඇති කරන කූට ව්‍යාපාරික පසුබිම ද බලවත් විවේදනයට ලක්ව ඇති බව සඳහන් කළ යුතුය.

වර්තමානයේ තමන් හැසිරෙන හා තීන්දු ගන්නා ආකාරය ක්ෂණයකින් සමාජමාධ්‍යවලින් හිතමිතුරන්ට දැනුම්දෙන සියලු දෙනා තමන්ගේ තොරතුරු ගැන ඇස ගසා සිටින ප්‍රජාවකට උදව් කරන බව තේරුම් ගත යුතුය. තමන් ආහාර ගත් තැනක් ගැන සටහනක් තබනවිට ඒවා එකතු කරන පුද්ගලයන් කොපමණ අවස්ථා ගණනක් හා කොපමණ මුදලක් වියදම් කරන්නට සමත් අයකු ද යන්න ගැන අධ්‍යයනය කරන්නට සමත්ය. ඒවා අලෙවි පර්යේෂණ අංශ සඳහා ප්‍රයෝජනවත්ය.

ශ්‍රී ලංකාව මෙවැනි පැති ගැන ගැඹුරට සොයා බලන්නේ නැත. වාණිජ බැංකු තමන්ගේ ගනුදෙනුකරුවන්ට දක්වන හිතවත්කම හා සමානව ඔවුහු අභ්‍යන්තරය ගැන සොයන පිරිසක් බවට පත්ව සිටිති. මේවායෙන් ගැලවෙන්නට පුළුවන්කමක් නැත. අද වනවිට මෙවැනි පැති පාලනය කරන ආකාරය ගැන සංවාදයක් ආරම්භ කර ඇති බව දැක්විය යුතුය. තුන්වැනි පාර්ශවයක් කිසිම අනුදැනුමකින් තොරව පෞද්ගලික දත්ත ලබා ගැනීමට වාරණය පනවන නීති සකස් කෙරෙමින් තිබේ. එය ඉතාමත් වැදගත්ය. සමාජයේ ජීවත්වන, එදිනෙදා ගනුදෙනු කරන කිසිවකු තමන්ගේ හැසිරීම අනුව එය දත්ත බවට හරවා ගනු ඇතැයි කල්පනා කරන්නේ නැත.

ඉතාමත් සූක්ෂම චරපුරුෂ සේවාවක් එදිනෙදා ජීවිතය ගැන බලා සිටිනවා යැයි හිතන්නේ නැත. එහෙත් එය සිදුවෙමින් තිබේ. තමන් ගැවසුන ප්‍රදේශය පමණක් නොව අනුභව කරන ලද ආහාරය පවා අනෙකෙකුට සොයාගත හැකි තාක්ෂණික යුගයක් නිර්මාණයවී ඇත. එය වැළැකිය නොහැකිය. කරුණු දැනගෙන තොරතුරු පිටතට ගැනීමට ඉඩ හැරීම සුදුසුය. ශ්‍රී ලංකාවේ තොරතුරු නියෝජිත තාක්ෂණික ආයතන මෙවැනි කරුණු විද්‍යාත්මකව සොයා බැලීම අවශ්‍යය.

සාරා කන්දෙගොඩ