මැගසින් බන්ධනාගාරයේ පලායෑමේදී එහි පුපුරුවා හැරි බිත්තියට වෘත්තාකාර හැඩයට සිදුරු හදා ඩයනමයිට් දමා තාප්පය පුපුරුවා හැරීමට රත්නපුර පල්ලේබැද්දේ පීරිස් ගේ තාක්ෂණය සමත් විය. බැංකු මංකොල්ලකෑමේදී දේශීය නිෂ්පාදිත බෝම්බද පරිහරණය කරන ලදී. කොල්ලකෑම් වලදී කැරලිකරුවන් ගේ ශක්තිය සහ උපක්‍රම විවිධාකාර විය.


කුලභේදය ජවිපෙ 2 වැනි කැරැල්ලේදී ප්‍රධාන වශයෙන් ඉස්මතු නොවුවද එය ඉඳහිට මතුවූ අවස්ථාවන්ද තිබිණි. ශ්‍රී ලංකාව තුළ කුල 15 ක් පමණ ඇති අතර අදාල කුලයන් පාරම්පරික වෘත්තීන් සමග අතීතයේදී බෙදුණේ මෙසේය. ගොවිගම ඉඩම් හිමි ප්‍රභූ, ගොවිතැන, ගවපාලනයද, කරාව මත්ස්‍ය කර්මාන්තයද, සලාගම කුරුඳු තැලීමද, දුරාව රා මැදීමද, හුණුඅලුහුණු කර්මාන්තයද, නවන්දන්න ලෝකුරු වැඩද, රදා රෙදි ඇපිල්ලීමද, වහුම්පුර හකුරු සෑදීමද, කුඹල් වලං සෑදීමද දුර ඇත්ගොව්වන්, බෙරවා නක්ෂත්‍ර සහ නැටුම් වැඩද, බත්ගම බර උසුලන්නෝ සහ සේවකයින්ද ගහල මලබෙර ගැසීමද, කින්නර හණ කර්මාන්තයද, හුලවාලි පුලන්නෝ සහ කොහු ඉදල් සෑදීමද වෙන්වී ඇත.


ජවිපෙ 2 වැනි කැරැල්ලේදී විවිධ බැංකු සහ මුදල් කොල්ලකෑම් කළ අනාවරණයට ලක්වූ පුද්ගලයින් නියදියක් ලෙස ගත් කළ ඔවුන් ගෙන් බහුතරයක් වහුම්පුර කුලයට අයත් වේ. කිතුල් ගස ආශ්‍රිතව ජීවත්වූ ඔවුහු ඈත අතීතයේ රට රැකි පාරම්පරික සන්නද්ධ හේවායෝ වූහ. බි්‍රතාන්‍ය භටයින් 1803 දී උඩරට ආක්‍රමණය කර අගනුවර අල්ලාගත් පසු එම බලකොටුවට කඩා පැන ඔවුන් පරාජය කළ පිරිස දේව වංශික හෙවත් වහුම්පුර නියෝජනය කළ අය වෙති.


කැරලිකරුවන් විසින් අරමුදල් තරකිරීම සඳහා පැහැර ගන්නා ලද රත්තරන් කිලෝ 60 ක් ආරක්ෂක අංශ මගින් සමන් පියසිරි ප්‍රනාන්දු ගේ එක් නවාතැනක් වූ බොරලැස්ගමුව නිවසකදී 1989 නොවැම්බරයේ අත්අඩංගුවට ගන්නා ලදී. එම නිවස මාතරගේ දොන් ආරියදාස නමට ජවිපෙ මගින් මිලදී ගෙන තිබූ අතර ඔහු මහාධිකරණ විනිසුරු එෆ්.ඩී.එන්. ජයසූරිය විසින් 1992 දී බරපතළ වැඩ ඇතිව වසර 2 ක සිර දඬුවමක් පනවා එය වසර 10 කට අත්හිටුවන ලදී. ජවිපෙ මගින් හයිඞ් පිටියේදී 1977 පැවැත්වූ රැස්වීමට පැමිණි ආරියදාස එවකට දෙහිවල සත්වඋද්‍යානයේ සේවය කළ අතර පසුව ජවිපෙට එක්විය. පසුව කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු 1988 පෙබරවාරි මස පූර්ණකාලිනයෙකු විය. මොරටුවේද ඔහු නමින් ලක්ෂ 45 ක නිවසක් මිලදී ගෙන තිබිණි. එම නිවසේ තැන්පත් කර තිබුණේ බැංකු වලින් පැහැරගත් රත්තරන් බව ඔහු පිළිගත්තේය. එමෙන්ම නිවසේ අත්අඩංගුවට ගත් අවස්ථාවේ තිබූ රුපියල් ලක්ෂ 23 ක මුදලක්ද ආරක්ෂක අංශ මගින් සොයා ගනු ලැබීය.


ජවිපෙ 2 වැනි කැරැල්ල පරාජයත් සමගම ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වීමෙන් අසරණ වූ පවුල් සංඛ්‍යාව 10,000 කට අධිකය. එසේ අසරණවූ පවුල් වෙනුවෙන් හැකි පමණින් සරණක් වන්නට ඉතිරි වූ කැරලිකරුවෝ කිහිපදෙනෙක් අවස්ථා ගණනකදී ප්‍රමුඛත්වය ගත්හ. ඉන් එක් කණ්ඩායමක ප්‍රබල ක්‍රියාකාරිකයා වූයේ කඩවත පදිංචි උදය කුමාර රණතුංගය. දිවයින පුවත්පතේ කර්තෘ මණ්ඩලිකයෙකු ලෙස ලේඛකයා කටයුතු කළ කාලයේ පුවත්පතේ පිටු සැකසුම් ශිල්පීන් අතර රණතුංගද විය. උපාලි පුවත්පත් ආයතනයට රණතුංග බැඳුණේ 1982 පෙබරවාරි 2 ය. ඔහුගේ සේවක අර්ථසාධක අයදුම් පත්‍රය ලේඛකයා පුරවා දුන් අතර එහි අංකය 383 ය. දිවයින ඉරිදා සංග්‍රහය ආරම්භ කළ මුල්ම සේවකයින් අතර ආධුනිකයෙකු වශයෙන් ඔහුද විය.

රණතුංග ජවිපෙට එක්වූයේ පිටු සැකසුම් ශිල්පියෙකු වූ මොණරාගල සුමිත් රණසිංහ හරහාය. කටුනායක ගුවන් හමුදා කඳවුරට 1988 අප්‍රේල් 22 දෙවන වරට පහරදී ආයුධ විශාල තොගයක් පැහැරගත් ජවිපෙ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ කටුනායක සුමිත් එදිරිසිංහ කටුනායක ගුවන් හමුදා කඳවුර තුළදීම වෙඩි වැදී මිය ගියේය. පසු කාලයේ රණතුංග සිය මිත්‍රයා වූ රණසිංහ ගිය මග අනුගමනය කරමින් ජවිපෙ ක්‍රියාකාරිකයෙකු බවට පත්විය. රණතුංගගේ මව ගුරුවරියක් වූ අතර ඔහුට සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියක් වූහ.


බොරැල්ල කේන්ද්‍ර කරගනිමින් ලක්දිව පුවත්පත 1992 ජනවාරි 26 පළමු කලාපය ප්‍රකාශයට පත්වූ අතර ඒ වන විට රණතුංග එහි ප්‍රධාන පිටු සැකසුම් ශිල්පියා විය. පසුව 1992 මැද භාගයේදී ඉන් ඉවත්විය. රත්මලානේදී 1992 අගෝස්තු 14 සිදුවූ රුපියල් ලක්ෂ 48 දුම්රිය වැටුප් මංකොල්ලය පසුපස හඹාගිය පොලිසියට අවසානයේ උදය කුමාර රණතුංග කොටුවිය. දෙවන කැරැල්ලේ මියගිය සගයින් ගේ දරු පවුල් ආරක්ෂා කරනු වස් රණතුංග ජවිපෙ වෙනුවෙන් තවත් පිරිසක් සමග එය සිදුකළේය. දුම්රිය වැටුප් මංකොල්ලයේදී කැරලිකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්වී දුම්රිය සේවකයින් තිදෙනෙක් මරුමුවට පත්වූ අතර 9 දෙනෙකු තුවාල ලැබීය.


පොලිස් අත්අඩංගුවේ සිටි රණතුංග පසුව මහර බන්ධනාගාරයට මාරුකර යවන ලදී. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයටද කරුණු ඉදිරිපත් කෙරිණි. ඔහු සිය මවට 1993 සැප්තැම්බර් 2 ලිපියකින් කියා සිටියේ “මිහිතලය ලෙයින් සහ කඳුලින් පිරී තිබේ” යන්නය. මහර බන්ධනාගාරයේදී ඇතිවූ ගැටුමකින් උදය කුමාර රණතුංග ඇතුළු රිමාන්ඞ් සිරකරුවන් 5 දෙනෙකු 1993 සැප්තැම්බර් 6 ඝාතනය කර තිබිණි. ඒ අතර රණතුංග සමගම ගම්පහ ලක්ෂ්මන් ධර්මසිරි, ගම්පහ රවින්ද්‍ර බැද්දෙවිතාරණ, රාජාංගණයේ රෝහිත සේනාධීර, බදුල්ලේ විමලදාස මහර බන්ධනාගාරයේදී ඝාතනයට පත්වූ අය අතර වූහ. බන්ධනාගාරයෙන් එම සිරකරුවන් පලා යෑමේදී එම ගැටුම සිදුවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පසුව නිවේදනය කළේය.


කඩවත සූරියගම පදිංචි රණතුංග ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අත්අඩංගුවේ පසුවූ ඔහුගේ බිරිඳ ස්වර්ණා රාජපක්ෂ පැය කිහිපයකට ලැබුණු අවසරය මත බන්ධනාගාර නියාමකවරියන් සමග පැමිණ දේහය අසල වැලපෙනු ලේඛකයාට දක්නට ලැබිණි. සිඟිති දියණිය වූ හෙළ මේධානි බිම සෙල්ලම් කරමින් සිටියාය. රණතුංග සිය දියණියට මේධානි කියා නම දුන්නේ කටුනායක 2 වැනි ප්‍රහාරයේදී මරුමුවට පත් කැරලිකාරිනියක වූ මේධානි සිහිවීම සඳහාය. දෙටු ප්‍රවීණ පුවත්පත් කලාවේදී අජිත් සමරනායක අවමගුල් සභාවේදී සිය හඬ මෙසේ අවදි කළේය. මේ වැතිර සිටින්නේ සොරෙක් මංකොල්ලකාරයෙකු නොව මිනිස් වීරයෙකි. නමුත් එය එසේ යැයි පිළිගනු ඇත්තේ වර්තමානයේදී නොව අනාගතයේය.


ජවිපෙ 2 වැනි කැරැල්ලේදී කැරලිකරුවන් සිය ගණනක් පක්ෂ අරමුදල් තරකිරීමේදී මෙලෙස සමුගත්තෝය. ඔවුහු ගමන් කළ මාර්ගය කෙසේ වෙතත් ඔවුන් තුළ වූයේ නිදහස්, සාධාරණ සහ සමාන සමාජ අවස්ථා වලින් යුත් සමාජවාදී සමාජයක් බිහිකිරීමේ අභිලාෂය විය හැකිය.