ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය අතරමැදි යුගයකට අවතීර්ණ වී තිබේ. තේ කර්මාන්තයේ අනාගතය ගැන තීරණ ගැනීම ඉතා වැදගත්ය. පවතින ගැටලු ජනාධිපතිවරණ වේදිකාව තුළ සාකච්ඡා කරන තැනට පත්ව ඇත. දේශපාලන තීරණ හා දේශපාලන නායකයන්ගේ මැදිහත්වීම අවශ්‍යය. තේ නිෂ්පාදනය, අපනයනය හා විවිධාංගීකරණය ගැන දේශපාලනයට පිටතින් තීරණ ගත යුතුව තිබේ. කසළ තේ ආනයනය නතර කරන වග ඡන්ද පොරොන්දුවක් විය යුතු නැත.

තේ දලු නෙළා ඒවායෙන් ලැබෙන ආදායමෙන් ජීවත්වන පිරිසට පමණක් නොව එයින් නැගෙන ආර්ථිකයට ද අලුත් දැක්මක් අවශ්‍යය.

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට අවුරුදු 150ක් සම්පූර්ණ වී තිබේ. 1970දී පමණ ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය ලෝක අවශ්‍යතාවෙන් සියයට හතලිහක් සම්පූර්ණ කරන්නට සමත්විය. දැන් එය සියයට 14.7 දක්වා පහත වැටී ඇත. තේ වගා කර ඒවා සකස්කර අපනයනය කරනු වෙනුවට දකුණු ඉන්දියාවෙන් තත්ත්වයෙන් බාල තේ ආනයනය කර ඒවා ප්‍රතිඅපනයනය ලාබ සහිතය. ව්‍යාපාරිකයෝ ලාබ ඉපැයීම අරමුණු කරගෙන බාල තේ ගෙන්වති. ඉන්දු ලංකා ගිවිසුම අනුව බදු සියයට පනහක් අඩු කර වසරකට තේ කිලෝ මිලියන 1.5ක් ගෙන්වන අවසරය රටට තිබේ. මෙරට කම්හල්වලින් ඉවත දමන තේ තොග එකතු කරන අතර එය තවත් ජාවාරමකි. මෙම කොටස් දෙක මිශ්‍ර කරන ව්‍යාපාරිකයෝ ඒවා ශ්‍රී ලංකා ඉස්තරම් තේ නාමය යටතේ පිටරටවලට අලෙවි කරන බව නොරහසකි. කලු තේ මිලට ගන්නා තොග ගැනුම්කරුවන්ගේ අදහස ඒවා ශීත රටවලට අලෙවි කිරීමය. තද කහට සහිත තේවලින් දෙතුන් වතාවක් උණු තේ කෝප්ප සකස් කරගත හැකි අතර එය වාසියකි.

 උසස් රස, උසස් නිෂ්පාදන යන පිරිසුදු කීර්තිය රටට අහිමි වෙමින් තිබේ. තේ වැවිලි සංගම් මෙම පැවැත්ම ගැන විරෝධය පළ කරති. සේවකයන් යොදා නිසි පදමට සකස් කරන තේ වෙන්දේසියට ඉදිරිපත් කර ඒවා විකුණන ඔවුහු අලෙවි වටිනාකම පවා ලැබෙන්නේ සති දෙකක සිට මාස හයක දක්වා ප්‍රමාදයකින් බව දක්වති. එහෙත් තේ ජාවාරම්කරුවන්ට එවැනි ප්‍රශ්න නැත. රටින් ගෙන්වන දේ මෙරට දී කවලම් කර ප්‍රතිඅපනයනය කෙරේ.

ශ්‍රී ලංකාව මිල වටිනාකමක් නංවා තේ අපනයනය කරන ප්‍රමාණය සමස්ත අපනයනයෙන් සියයට දහය නොඉක්මවයි. තොග තේ අපනයනය කරන අතර එයින් ලැබෙන ආදායම සාමාන්‍ය එකකි. ඒවා මිලදී ගන්නා තොග ගැනුම්කරුවෝ නිසි සේ අසුරා අලුත් පෙනුමක්දී ඉහළ ආදායමක් උපයති. මෙරට තේ තොග වශයෙන් ඉරානය, රුසියාව, ඉරාකය, තුර්කිය හා ලිබියාව යන රටවලට බහුලව යැවෙන විට යුරෝපා රටවල් තේ මිලදී ගන්නේ කෙන්යාව හෝ චීනයෙන්ය. එයට හේතුව තේ පානය සම්බන්ධ අලුත් ආකල්ප බව සඳහන් කළ යුතුය. සීතල අඩු කරන පානයක් වශයෙන් නොව ශරීර සෞඛ්‍යයට සුදුසු ශාක සාරයක් සේ හඳුන්වා දෙමින් තිබේ. අලුතින් හඳුන්වා දෙන කාබනික සහ විවිධ රස මුසු කළ තේ වර්ගවලට ඉහළ ඉල්ලුමක් ඇත. රසායනික නොයෙදූ කාබනික තේ ශරීරයට හිතකරය. කුළු බඩු රස මුසු කළ තේ ඉතා ආකර්ශණීය වී තිබේ. මේවා ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කෙරේ.

ජෙස්මින් නොඑසේනම් පිච්ච මල් තේ වර්ග අද වනවිට සෑහෙන ජනප්‍රියතාවක් දිනා තිබේ. පසුගිය අගෝස්තු මාසයේදී ලෝකයේ පළමු පිච්චමල් තේ සමුළුව චීනයේ පැවැත්විණ. නොයෙක් රටවලින් පැමිණි දස දහසක් දෙනා පිච්ච මල් තේ නිපදවීම, එහි වෙළෙඳපොළ හා අනාගතය අධ්‍යයනය කර ඇති බව චීනයෙන් ලැබෙන වාර්තා පෙන්වා දෙයි.

චීනයේ ගුවැන්ක්ෂි පළාතේ ෂුන්ග් හිදී මෙම සමුළුව පවත්වන්නේ එකොළොස් වැනි පිච්ච මල් තේ අලෙවි ප්‍රදර්ශනයට සමාන්තරවය. මෙම ප්‍රදේශය අද නම් කරන්නේ ලෝකයේ පිච්ච මල් කලාපය වශයෙන්ය. ක්‍රි.පූ. 206 දී හෙන් අධිරාජ්‍ය කාලයේ මැදපෙරදිග හා ඉන්දියාව ඔස්සේ චීනයට පිච්ච මල ලැබී ඇත. මල් සුවඳට අධිරාජිනියන් ඇලුම්කර ඇත. කුයින් අධිරාජ්‍ය කාලයේදී ව්‍යාප්තියක් සිදුවී ඇති බව දැක්වෙයි. අද වනවිට වර්ග හතරකින් යුතු පිච්ච මල් වගා කරන අතිවිශාල වගා ප්‍රදේශයක් ගුවැන්ක්ෂිහි තිබේ. හෙක්ටයාර් 7,200ක වගාවෙන් මල් මෙටි්‍රක් ටොන් 70,000ක් පසුගිය වසරේ නෙළා ගෙන ඇත. එක පෙත්තක් විහිදෙන, පෙරවරුවේ මල් පොහොට්ටු නෙළා ගන්නා වගාකරුවෝ ඒවා තේ කම්හල්වලට යවති.

නෙළා ගත් පොහොට්ටු සහ තේ කොළ මිශ්‍ර කරයි. දහ දොලොස් වතාවක් කවලම් කෙරේ. එම අවස්ථාවේදී පිච්ච මල් සුවඳ තේ කොළවලට උරා ගනී. ඉවත් කරන මල්වලින් ක්‍රීම් හා සුවඳ සෙන්ට් වර්ග තනන අතර අවසානයේදී වියළි මල් කුඩා බහාලුම්වල අසුරා විසිත්ත කාමර සැරසිල්ලක් සේ අලෙවි කරයි. එය විශාල ව්‍යාපාරයකි.

චීනයෙන් නිකුත් කරන ජෙස්මින් තේ ප්‍රමාණය ලෝකයේ ඉල්ලුමෙන් සියයට හැටකි. එයින් සියයට අසූවක් නිපදවන්නේ මෙම ගුවැන්ක්ෂි ප්‍රදේශයේය. සාමාන්‍ය තේ කිලෝවක් විකුණන මිල මෙන් තිස් හතළිස් ගුණයක් වැඩි මිලට මේවා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරන අතර අලිබාබා බිහිදොර එයට යටිතල පහසුකම් සම්පාදනය කර තිබේ. තැරැව්කරුවන් හෝ වෙන්දේසිකරුවන් යොදවා නැව්වලට පටවන්නේ නැති චීනයේ පිච්ච මල් තේ ලෝකය පුරා අලෙවි වාර්තා තබා ඇත.

ශ්‍රී ලංකාව කම්හල් 712ක් යොදවා වසරකට තේ කිලෝ මිලියන 300-320 අතර ගණනක් නිපදවන විට කෙන්යාව කම්හල් 110කින් තේ කිලෝ මිලියන 500ක් නිපදවයි. ලෝකයේ වැඩිම තේ අපනයනය කරන තැන ගිලිහුණ ශ්‍රී ලංකාව නිෂ්පාදන යාන්ත්‍රණයෙන් ද පසුපසට පැමිණ තිබේ. චීන ආදර්ශය ගතහොත් රටට උසස් තේ වර්ග හදන්නට බැරිකමක් නැත. උසස් තේකොළවලින් කුරුඳු හා කරාබුනැටි මුසුකර වෙනත් රස ඇති තේ නිපදවන අතරමැදි නිෂ්පාදකයෝ කිහිප දෙනෙක් මෙරට සිටිති. ඔවුන්ට ඇති අවස්ථාවලට වඩා බාධක වැඩිය. එම කර්මාන්තය පවා කරගෙන යන්නට ඇති අපහසුතා බලවත් බව ඔවුන් සඳහන් කරනු නිසැකය. ඉන්දියාවෙන් කසළ තේ ගෙන්වා කවලම්කර යැවීම ඉතා පහසු වකවානුවක අලුත් දෙයක් කරන්නට ප්‍රතිපත්ති හැදෙන්නේ නැත. තේ ආනයනය තහනම් කර තාවකාලික සහනයක් දෙන බව කියන ජනාධිපතිවරණ අපේක්ෂකයෝ තේවලින් පිච්ච මල සේ සුවඳ දෙන ශ්‍රී ලාංකික නමක් හදන්නට වැර වෑයම් කරන පිරිස ගැන හිතන්නේ නැත.

සාරා කන්දෙගොඩ